Monday, March 27, 2017

කවුරැත් කෙලින්නෙ දුප්පතාටමයි


බැදුම්කරයෙන්
ඊපීඑෆ් පාඩුව කෝටි 950ක්‌
මහ බැංකු අභ්‍යන්තර පරීක්‍ෂණයකින් හෙළිවේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි. 

ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනුවලින් රු. කෝටි 950 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තු මහත්මියගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එමගින් 2015 සහ 2016 යන වසර දෙකේ රජයේ සුරැකුම්පත්වල අර්ථසාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන ලදී.

මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේදී මෙම ගනුදෙනුවලට මහ බැංකුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනොගේ නම් ද අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මුදල් මණ්‌ඩලය වෙත වාර්තා කර තිබේ. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකු මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන අතර අනිත් නිලධාරියා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

මේ නිලධාරීන් දෙදෙනා එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ සමඟ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභ සිදුව ඇති බවත් මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.

මෙම වාර්තාව මගින් හෙළිකර ඇති අර්ථසාධක අරමුදලේ දැවැන්ත අලාභයට සෘජුවම වගකිවයුතු බවට නිලධාරීන් දෙදෙනකු හඳුනාගෙන ඇති බැවින් වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කොට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී නිහාල් ෆොන්සේකා සහ ක්‍රිෂාන්ත පෙරේරා යන මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බව ද මුදල් මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. අවසානයේ රටේ සේවක ප්‍රජාවගේ විශාලතම අරමුදලට සිදුකළ දැවැන්ත අලාභයක්‌ හමුවේ පවා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් සැහැල්ලු පිළිවෙතක්‌ අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව අදාළ සහකාර අධිපතිවරයාගේ සහ අර්ථසාධක අරමුදලේ නිලධාරියාගේ වැඩ තහනම් නොකර ඔවුන් එම තනතුරුවලම තබාගෙන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මෙතරම් විශාල මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ බවට මහ බැංකුවේම අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවකින් පැහැදිලිව චෝදනා එල්ල වී තිබියදීත් වත්මන් මහ බැංකු අධිපතිවරයා මෙවැනි පිළිවෙතක්‌ අනුගමනය කිරීම මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉමහත් විමතියට හේතු වී ඇති බව ද මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් 'දිවයින' ට වාර්තා වේ.

No comments: