Tuesday, March 28, 2017

ව්‍යවස්ථාව සහ ගෝමින් දයාසිරි මතය


යෝජිත නව ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කරන්න බෑ
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

සාකච්ඡා කළේ පාලිත සේනානායක

ශ්‍රීලනිප එජාප ප්‍රධාන පක්‌ෂ දෙක එකතු වී පිහිටුවා ගත් මෙම ආණ්‌ඩුවේ ප්‍රධාන අරමුණක්‌ වූවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමයි. පසුගිය ජනාධිපතිවරණ ගණනාවකදීම ජනතා ප්‍රතිඥාවක්‌ ලෙස ඉදිරිපත් වූ විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීම ද යෝජිත මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ එක්‌ අරමුණකි.

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය පසුගියදා කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පක්‌ෂ දෙකේ එකඟතාවයෙන් හවුල් ආණ්‌ඩුවක්‌ පිහිටුවූවද නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම ඊට වඩා බැරෑරුම් ක්‍රියාදාමයක්‌ බවයි. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

එජාප-ශ්‍රීලනිප ප්‍රධාන පක්‌ෂ දෙක එකතු වීමේ එක්‌ ප්‍රධාන අරමුණක්‌ වූයේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමයි. නමුත් එය දිගින් දිගටම කල්ගතවීම පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන් තීරණය කළේ මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව සමයේ නියෝජනය වූ බහුතරයකගේ කැමැත්ත අතරට මේ රටේ සුළුතරයගේ අදහස්‌ද ඇතුළත් කිරීමටයි. එම කාර්යය මේ ආණ්‌ඩුව භාරදුන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකයන්ටවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකයන්ටවත් නොව ලංකා සමසමාජ පක්‌ෂයේ සිටින බුද්ධිමතුන් වෙතටයි. ලංකා සමසමාජ පක්‌ෂයේ සිටින්නේ අවසානයේදී දක්‌ෂිණාංශයේ මතවලට යටත්වන පිරිසක්‌. කෙසේවෙතත් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සය කොමිටි වාර්තාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ඉදිරි ව්‍යාප්තියට විශාල බාධාවක්‌ වුණා. එහි ප්‍රතිඵලය වුණේ එම වාර්තා පාර්ලිමේන්තුවේ විවාද කිරීමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්‌ෂේප කිරීමයි. නව ව්‍යවස්‌ථාව අද නැවතී තිබෙන්නේ එතන. යම් හෙයකින් එම සය කොමිටි වාර්තා ඉදිරිපත් කළා නම් දකුණේ බහුතර ජනතාව එයට විරුද්ධ වන අතර උතුරේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගය එයට ලැබෙනවා නොඅනුමානයි.

ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට එකඟ වීමට හැකිවූ ප්‍රධාන පක්‌ෂ දෙකට එක්‌වී නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ඇයි?

අපේ රටේ ප්‍රධාන පක්‌ෂ දෙක එකතු වුවහොත් නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළ හැකි යෑයි කවරකු කල්පනා කළත් ආණ්‌ඩු පිහිටුවීම සහ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම යන්න එකිනෙකට ඉඳුරා වෙනස්‌ කාර්යයන් දෙකක්‌. ජනතාව ප්‍රතික්‌ෂේප කළ අපේක්‌ෂකයන්ට වුවද බලවත් තනතුරු ලබාදී ආණ්‌ඩුවක්‌ පිහිටුවාගන්නට පුළුවන්. එබඳු අයට කැබිනට්‌ තනතුරු පවා අද හිමිවී තිබෙනවා. ජනතාව ප්‍රතික්‌ෂේප කළ ශ්‍රීලනිප අපේක්‌ෂකයින්ට පවා මේ හවුල් ආණ්‌ඩුවේ එබඳු ඉහළ තනතුරු ලැබීමෙන් ශ්‍රීලනිපයට අනිවාර්යයෙන් ලැබිය යුතු ඔවුන්ගේ ඡන්ද එජාපයට හිමිවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මුහුණදී සිටින්නේ බලවත් අසීරුතාවකටයි. මේ අසීරුතාව යම් ආකාරයකට වළක්‌වාගැනීම සඳහා ආණ්‌ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය මෙම නව ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වීම වළක්‌වාලීමේ යම් ක්‍රියාදාමයක නිරතව සිටින බව මගේ කල්පනාවයි. නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් වූ සය කොමිටි වාර්තා එළිදරව් වී නම් මේ ආණ්‌ඩුව මීට වඩා අසීරුතාවකට පත්වීමට ඉඩ තිබුණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උතුර හා නැගෙනහිර සුළු ජාතික ඡන්ද පිළිබඳ වැඩි විශ්වාසයකින් කටයුතු කළත් දකුණේ ශ්‍රීලනිප මෙන්ම එජාප පිරිස්‌ අතරත් ජාති හිතෛෂීන් සිටින බව අප අමතක නොකළ යුතුය. 2020 දීත් ඔවුන් මේ රටට අහිතකර තීරණවලට එකඟ නොවනු ඇත.

ඒ අනුව මෙවැනි ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට නොහැකි වනවා පමණක්‌ නොව ඊළඟ මැතිවරණයකදීත් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ ශක්‌තිමත් රජයක්‌ නොව පාර්ශ්වකරුවන් වැඩි පිරිසක්‌ ඇති සභාග රජයකි. එහිදී වර්තමාන මේ පැරණි නායකත්වයම යළි පැමිණියහොත් අලුතින් කිසිවක්‌ සිදුනොවන බව මගේ අදහසයි.

උතුර හා නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා දීම නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණක්‌. මේ වනවිට ප්‍රකාශ වී ඇති යෝජනා දෙස බලන විට යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් එබඳු විසඳුමක්‌ ළඟා කරගන්න හැකිවෙයිද?

මේ යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් දැනට තිබෙන ප්‍රශ්න වඩාත් උග්‍ර අර්බුද බවට පත්විය හැකි බවයි මගේ අදහස. උතුරු නැගෙනහිර සම්බන්ධයෙනුත් එම දෙපළාතේ ඉඩම් හා පොලිස්‌ බලතල සම්බන්ධයෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ වෙනස්‌ කර නව ව්‍යවස්‌ථාවක්‌ හරහා සිදුකිරීමට තැත් කරන ක්‍රියාදාමය කිසිසේත් විසඳුමක්‌ නොවේ. නව ව්‍යවස්‌ථාවක්‌ සාර්ථක වීමට නම් සිංහල සහ දෙමළ ජාතීන් අතර සමගිය වර්ධනය කරන චින්තනයක්‌ ඊට තිබිය යුතුයි. වර්තමාන පරම්පරාවේ දේශපාලනඥයින්ට එය සිදුකළ නොහැකි බව මගේ අදහසයි. අද උතුරේ තරුණ පරම්පරාවට අවශ්‍ය වන්නේ යුද්ධය නොවේ. සංවර්ධනය තුළින් තමන්ගේ අනාගතය ගොඩනගාගත හැකි රටක්‌. දකුණේ තරුණ පරම්පරාවේ අපේක්‌ෂාව වන්නේ ද එයයි. රටේ ජනතාව ලෙස දැන් අප කළ යුත්තේ අද සිටින මේ සියලුම පැරණි දේශපාලනඥයින් විශ්‍රාම යවා උතුරේත් දකුණේත් තරුණ පරපුරෙන් මතුව එන නායකයින්ට අවස්‌ථාව සලසා දීමයි.

යම් ආකාරයකින් යෝජිත මෙම නව ව්‍යවස්‌ථාව සම්පාදනය කර ක්‍රියාත්මක කළහොත් දේශපාලනික වශයෙන් ඇතිවිය හැකි වාසි අවාසි ඔබ දකින්නේ කෙසේද?

මගේ විශ්වාසය නම් මේ නව ව්‍යවස්‌ථාව කිසිදිනක ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි. යම් දේශපාලන පක්‌ෂයක්‌ යෝජිත මෙම නව ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කළහොත් ඔවුන් දකුණේ දේශපාලන භූමිකාවෙන් අතුරුදන් වනු නියතයි. උතුරට හා නැගෙනහිර දිය යුතු එකම විසඳුම නම් දකුණ හා අත්වැල් බැඳගෙන කටයුතු කළ හැකි වාතාවරණයක්‌ ඇතිකිරීමයි. ඒ සඳහා දකුණේ දේශපාලනඥයින් මෙන්ම උතුරේ දේශපාලනඥයින් තමන් තුළ ඇති අවස්‌ථාවාදී ගෝත්‍රික දේශපාලන මතවාද ඉවත් කරගෙන ජාතික දේශපාලනයකට සම්බන්ධ විය යුතුයි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි බව අවස්‌ථා ගණනාවකදීම පැහැදිලි වී ඇති නිසා ඒ අවස්‌ථාව දැන් ලබාදිය යුත්තේ රට ගැන හිතන නව තරුණ පරම්පරාවටයි.

මේ යෝජිත නව ව්‍යවස්‌ථාව නියත වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව ඔබ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීම පසුගිය ජනාධිපතිවරණ ගණනාවකදීම ඉදිරිපත් වූ ප්‍රතිඥාවක්‌. අපේ රටේ දේශපාලනය දෙස බලන විට මීළඟ ජනාධිපතිවරණයේදීත් එය ජනතාවට ලැබෙන ප්‍රතිඥාවක්‌ වන්නට පුළුවන්. එය එසේ වුවහොත් ඒ පිළිබඳ ඔබ දරන්නේ කෙබඳු මතයක්‌ද?

යෝජිත නව ව්‍යවස්‌ථාව දැන් මුහුණදී ඇති තත්ත්වය දෙස බලනවිට කිව හැකි එක්‌ අනාවැකියක්‌ වන්නේ අපේ රටේ මීළඟ ජනාධිපතිවරණය නියත වශයෙන්ම තුන්කොන් සටනක්‌ බවට පරිවර්තනය විය හැකි බවයි. එජාප, ශ්‍රීලනිප අපේක්‌ෂකයන්ට අමතරව තුන්වැන්නෙකුත් එම ජනපතිවරණ සටනට එක්‌විය හැකියි. යම්හෙයකින් ඔහු ගෝඨාභය රාජපක්‌ෂ මහතා වුවහොත් ඔහු විපක්‌ෂයේ ප්‍රධාන චරිතය මෙන්ම ඔහුට විශාල ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගැනීමටද හැකියාවක්‌ ලැබිය හැකියි. ඉදිරි ජනාධිපතිවරණයක්‌ සඳහා මහින්ද රාජපක්‌ෂ මහතාට ඉදිරිපත් විය නොහැකි බැවින්ද ඔහුගේ අනුගාමිකයන්ට හා ඇතැම් ඥාතීන්ට නොයෙක්‌ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇති නිසා මීළඟ ජනාධිපතිවරණයකදී ඔහු ශක්‌තිමත් චරිතයක්‌ ලෙස සැලකීමට නොහැකියි. තුන්කොන් සටනකදී යම් හෙයකින් දෙවැනි මනාපයක්‌ අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් සහ එක්‌සත් ජාතික පක්‌ෂයෙන් යම් ඡන්ද ප්‍රමාණයක්‌ මෛත්‍රීපාල මහතාට ලැබෙන නිසා එය විපක්‌ෂයට ප්‍රශ්නයක්‌ වීමට පුළුවන්.

ගෝඨාභය රාජපක්‌ෂ මහතා දේශපාලනයට අවතීරණය වීම පිළිබඳ වරින්වර යම් යම් කතාබහ ඇතිවුවත් මේ රටේ ජනතාව ඔහු හඳුනාගෙන තිබෙන්නේ දේශපාලන චරිතයක්‌ ලෙස නොව ත්‍රස්‌තවාදය තුරන් කළ මෙන්ම නගර නිර්මාණය වැනි රටේ සංවර්ධන කටයුතු සාර්ථකව නිම කළ හැකි පුද්ගලයකු ලෙසයි. දේශපාලනයට අවතීරණවීම පිළිබඳ තවමත් ඔහු තුළ ඇති නිහැ`ඩියාවට හේතුවත් දේශපාලනය ගැන ඔහු තුළ පරිණත අවබෝධයක්‌ නොවීම විය හැකිය. යම් හෙයකින් ඔහු එම අවස්‌ථාවට ඉදිරිපත් නොවුණහොත් වෙනත් පුද්ගලයකු තුන්වැනි පාර්ශවය ලෙස ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත. ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ දේශපාලන ආගමනය ගැන ඇතමුන් නොයෙක්‌ මත ප්‍රකාශ කළත් ගෝඨාභය මහතා දේශපාලනයට අවතීරණ වීම මඟහරින්නේ ඒ නිසාම යම් යම් අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වනු ඇතැයි ඔහු සිතන නිසාද නැතහොත් දේශපාලනය ගැන ඔහු තුළ පරිණත අවබෝධයක්‌ නොවන නිසාද යන්න මට ප්‍රශ්නයක්‌.

 

No comments: