Monday, May 1, 2017

මෝදිගේ වෙසක්‌ මුහුණ සහ යහපාලනයේ බකමුහුණ...

මතුගම සෙනෙවිරුවන් මහතා විසින් දිවයින පත්‍රයට  ලියන ලද මෙම ලිපිය අද සියලු දෙනාම වාගේ බැලිය යුතු එකකි. මොකද මැයි දින, වෙසක් දාන,ශිල හා දන්සල්  වන්දනා  වන්දනා අතරේම මේ අටමගලෙත් සිදු උනොත් එහෙම අපේ රටටම ජලාහුටානා තමා , 

සමරසේකර 






මෝදිගේ වෙසක්‌ මුහුණ සහ
යහපාලනයේ බකමුහුණ...










ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙසක්‌ සමයට ලංකාවට පැමිණෙන බව ද රාජ්‍ය තාන්ත්‍රිකව ගනුදෙනු කීපයක්‌ සිද්ධවන බවද දැනට වාර්තා වී තිබේ. බුදුන් වහන්සේ උතුම් තෙමඟුල සිහිපත් කරන වෙසක්‌ දිනය බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වන අතර එම දිනය ලංකාවේ නිවාඩු දිනයකි. බෞද්ධ කොඩිය ජාත්‍යන්තරව පිළිගනු ලැබ පවතින අතර වෙසක්‌ දිනය නිවාඩු දිනයක්‌ වශයෙන් එක්‌සත් ජාතීන් ගේ සංවිධානය විසින් පිළිගනු ලැබ ඇත. ඒ 1999 දී හිටපු විදේශ අමාත්‍ය ලක්‌ෂ්මන් කදිරගාමර් මහතා ඉදිරිපත් කළ යෝජනාවක්‌ අනුවයි. මේ වන විට වියට්‌නාමය, තායිලන්තය, චීනය, ටිබෙටය, ලාඕසය, ඉන්දුනීසියාව, බංගලිදේශය, නේපාලය ආදී රටවල් වෙසක්‌ පොහෝ දින නිවාඩු දිනයක්‌ ලෙසට සලකයි. ඉන්දියාවේ එය පොදුවේ පූර්ණිමා, වෛශාඛ්‍ය ආදී නම් වලින් හඳුන්වති. වෙසක්‌ දිනය සමරන බෞද්ධයන් රාශියක්‌ ඉන්දීය ප්‍රාන්තවල ජීවත් වේ. නරේන්ද්‍ර මෝදි ඉන්දීය බෞද්ධ ජනතාව වෙනුවෙන් එම දිනය රජයේ නිල උත්සව දිනයක්‌ කරන්නේද යන්න මෙතෙක්‌ ප්‍රකාශයට පත් කර නොමැත.

යහපාලන රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ රජයේ ඉල්ලීම මත ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම බදු දීමට සූදානම්ය. තෙල් සංස්‌ථා සේවකයන්ගේ වර්ජනය නිසා මේ තීරණය මදක්‌ ආපස්‌සට ගෙන ඇති නමුත් අග්‍රාමාත්‍ය වරයා ඉන්දියාවට ගොස්‌ ආපසු පැමිණෙන විට මෙම තීරණ උපක්‍රමශීලීව වෙනත් වංගුවකින් තහවුරු කරන්නට ඉඩ තිබේ. මේ අතර ඉක්‌ටා ගිවිසුම සහ උතුර සහ නැගෙනහිරට බලය බෙදන නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම පිළිබඳව ද තීරණයන්ද ගැනීමට ඉඩ තිබේ. එසේ වූ විට නරේන්ද්‍ර මෝදී ගේ වෙසක්‌ මුහුණ ගැලවෙන්නට කාරණා යෙදෙනු ඇත.









පැරණි දඹදිව සහ පැරණි ලංකාව අතර තිබූ අවිච්න්න බැඳීම ඇතැම් විට ඵලදායී රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයක්‌ විය. ඇතැම්විට එය බලහත්කාරී විය. ආක්‍රමණශීලි විය. නමුත් වඩා උපක්‍රමශීලි රජවරු තමන්ගේ අනන්‍යතාවයන්ද ආරක්‌ෂා කරගනිමින් භාරතීය පාලකයන් ගෙන් ශක්‌තිය ලබා ගැනීමට සමත් වූහ. උතුරු ඉන්දියාවේ මෝගල් පාලකයන් විසින් ආක්‍රමණශීලීව රටේ විවිධ පළාත් තම පාලන බලයට යටපත් කරගන්නා විටද ඉස්‌ලාම් ආගම රාජ්‍ය ආගම බවට පත් කරගත් විටද ලක්‌ රජවරු බුද්ධ ශාසනයත් රටත් ජාතියත් සතු ස්‌වාධීනත්වය දිවිපුදා ආරක්‌ෂා කර ගත්හ. බුදුන් වහන්සේ උපන් රට සහ බුදු දහම සමග බැඳුණු නොයෙකුත් සිහිවටන පවතින රටක්‌ ලෙස වර්තමාන ඉන්දියාව දෙස සිංහල බෞද්ධයන්ගේ දෘෂ්ටිය බොහෝ මටසිලිටිය. දඹදිව වන්දනාව යනු ජීවිතයේ එක්‌ වරක්‌ හෝ යැමට පුල පුලා සිටින ගමනකි. වර්ෂයකට ලක්‌ෂ හතරකට වැඩි සංඛ්‍යාවක්‌ මෙම වන්දනාවට එක්‌ වෙයි. නමුත් බිහාර් ප්‍රාන්තය ඇතුළු බොහෝ සිද්ධස්‌ථාන සහිත ස්‌ථානයන් තුළ බෞද්ධයන් වෙනුවෙන් සලසා ඇති පහසුකම් ඉතා අවමය. සංකස්‌ස නුවර වැනි අගනා ස්‌ථානයකට යන ගමන් මාර්ගය ඉතා අබලන්ය. මේවා පිළිසකර කරවීමට ඉන්දීය රජයට අවශ්‍යතාවයක්‌ ඇතැයි නොසිතේ. සංකස්‌ස පූජ්‍ය ස්‌ථානය ද තවමත් හින්දූන් ගේ ආධිපත්‍යයට යටත් වී ඇත. එය වසර කීපයකට පමණ ඉහතදී කඩා වැටී කැලෑවට යට වී ඇත. එය බෞද්ධයින්ගේ ස්‌ථානයක්‌ බවට පත් කර ගැනීමට කතා කිරීමට දැන් නොහැකිය. ධර්මපාලතුමා ගත් මග ගැන්මට වර්තමාන සිංහලයින් බිය වෙති.. කි.මී. 800 ක්‌ එක දිගට අධිවේගී මාර්ගවල හා ග්‍රාමීය පාරවල් වල යනෙන විට ගිමන් නිවා ගන්නට ස්‌ථානයක්‌ වැසිකිළි පද්ධතියක්‌ සකස්‌ කරලීමට අවශ්‍යතාවයක්‌ ඉන්දීය රජයට නොමැත. අපගේ කාන්තාවන්ට පවා එම ගමන්වලදී වැසිකිළි යාමට සිදු වී ඇත්තේ පාරවල් අයිනේ ළඳු කැලෑවලටය. සමහරක්‌ විට ඉන්දියාවේ අතිශය දිළිඳු පීඩිත පන්තියට මෙන් අපට සලකා මුදල් පමණක්‌ ලබා ගැනීමේ ෙච්තනාව ඔවුන්ට ඇතැයි මොහොතකට සිතේ. කපිල වස්‌තු ප්‍රදේශයේ යම් කිසි වපසරියක්‌ ඉන්දියාවටද අයත්ය. එම ස්‌ථානයෙන් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ නවදිල්ලියේ කෞතුකාගාරයේය. එහෙත් ඒවා නැරඹීම හා වන්දනාවට ඉඩ හසර ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය. හෝටල්කරුවන් සහ වන්දනා තැරැව්කරුවන්ගේ ග්‍රහණයෙන් එපිට පූජනීය වන්දනාවකට යෙදීමට ඉඩ සැලසෙන්නේ ඉතාමත් අතලොස්‌සකට පමණකි.

ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ රාඡේන්ද්‍ර ප්‍රසාද් මහතා 1959 දී පමණ ලංකාවට පැමිණියේය. ඒ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මංගල තෑගි ප්‍රදාන උත්සවයටයි. ඒ අවස්‌ථාවේ එතුමා ඉත් ගැඹුරින් දෙරට අතර සම්බන්ධය පිළිබඳ සටහන් කර තිබේ. තමා විද්‍යාලංකාරයට අමුත්තකු නොවන බව කී ඉන්දීය රාෂ්ට්‍රපතිතුමා මීට අවුරුදු බොහෝ ගණනකට පෙර තමා මෙහි පැමිණ සාහිත්‍ය දර්ශනවාදය සහ ඉතිහාසය පිළිබඳ විශාරද සේවයක්‌ කිරීමෙන් මුළුමහත් ඉන්දියාව පුරා පතළ කීර්තියක්‌ ලැබ සිටි රාහුල සංකෘතයාන පඬිතුමාණන් සමග විසූ බැව් පැවසුවේය. ඉන්දීය සහ විදේශීය ශිෂ්‍යයන් විසින් බුද්ධාගම හදාරනු ලබන නාලන්දාවේ පාලි විද්‍යායතනයේ කටයුතු කරන විද්‍යාලංකාර ආදී ශිෂ්‍යයකු වන ජගදීශ කාශ්‍යප ස්‌වාමීන් වහන්සේ ගැනද ශ්‍රී රාඡේන්ද්‍ර ප්‍රසාද් සඳහන් කෙළේය. අප අතර ඇති සාගරයක්‌ ඔබ්බේ පිහිටි ඉන්දීයාවේ වැසියන් වන අපි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් කෙරෙන වැඩත් එහි වර්ධනයත් ගැන දැඩි සැලකිල්ල යොමු කරන්නෙමු යයිද හින්දු ධර්මය සහ බුද්ධාගම එකිනෙකට අසම්බන්ධ යයි හෝ ප්‍රතිවිරුද්ධ යයි හෝ අප නොසලකන බැවින් අපේ මේ උනන්දුව සැබවින්ම අවංක එකක්‌ යයිද එදා පවසා ඇත. බුද්ධාගම පිළිබඳ මහජන ප්‍රසාදයක්‌ මෑත කාලය තුළ ඉන්දියාව පුරා ඇති වී යයි කී එතුමා බුදුන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් 2500 යේ බුද්ධ ජයන්ති මහෝත්සවය කෙරෙහි දැක්‌වුණු උෙද්‍යාaගයත් පැරණි නාලන්දාව පිහිටි තැන බෞද්ධ ශාස්‌ත්‍රායතන පිහිටුවීමෙනුත් විවිධ විශ්ව විද්‍යාලයන් බුද්ධාගම කෙරෙහි දක්‌වන උනන්දුවෙනුත් ඒ බැව් පැහැදිලි වන්නේ යයි කීය. බුද්ධාගම හැදෑරිය හැකි අගනා විශ්වවිද්‍යාලයක්‌ ඉන්දියාවේ ඇතද ඉන්දීය ශිෂ්‍යයන් විද්‍යාලංකාරයට පැමිණ මේ විශ්ව විද්‍යාලයේ ජීවය උරා ගන්නවා පමණක්‌ නොව ලංකාවේ ශිෂ්‍යයන්ද භාරතීය මධ්‍යස්‌ථානයන්හි සිප්සතර හදාරනු දැක්‌මට කැමැත්තෙමි යෑයි එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එදා බුද්ධගයා නඩුවෙන් ධර්මපාල තුමා පැරදුණු පසු එය බේරා දුන්නේද ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාඡේන්ද්‍ර ප්‍රසාද්තුමාය. එහෙත් වත්මන් ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණෙන්නේ රට දෙකඩ කිරීමට අවශ්‍ය පිඹුරු පත් සමගින්ය. ඔහු වෙසක්‌ මුහුණක්‌ද පැළඳගෙන පැමිණෙන බැවින් ලංකාවේ ජනතාව අතරින් බහුතරයක්‌ ඔහුට ගරුසත්කාර පවත්වනු ඇත. ඇතැම් විට මහා සංඝරත්නයද මුල්ව එය සිදු කරනු ඇත. නමුත් තිත්ත ඇත්ත නම් ඔහු උතුර සහ නැගෙනහිර සඳහා ස්‌වයං පාලනයක්‌ ලබා දෙනු පිණිස සහ මධ්‍යම කඳුකරයේ දෙමළ ජනතාවට වෙනත් ස්‌වයංපාලනයකට යැම සඳහා පාර කැපීමට උත්සාහ කරනු ඇති බවයි. වත්මන් යහපාලන රජයේ නව කඳුකර ගම්මාන අමාත්‍යංශය යනු මේ ඉන්දීය වුවමනාව පිණිස සැදුම් ලද්දකි. එසේ හෙයින් මෝදී ගේ වෙසක්‌ මුහුණ යනු වෙස්‌මුහුණක්‌ බව පෙන්වා දිය යුතුය. වත්මන් යහපාලන රජය සිංහල බෞද්ධයන් වෙනුවෙන් කිසිවක්‌ කර නැත. අන්තවාදීන් විසින් රටේ බෞද්ධ සිද්ධස්‌ථාන ආක්‍රමණය කරන විට යහපාලනය මුනිවත රකී. විදේශයන්හි ස්‌වාමීන් වහන්සේලා ලංකාවට අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන විට අය කරනු ලබන වීසා ගාස්‌තුවද මේ වන විට වැඩි කර තිබේ. පිරිත් දේශනා විකාශනය කරන විහාරස්‌ථානවලට සහ අලි ඇතුන් ළඟ තබා ගන්නා හිමිවරුන්ට යහපාලනයේ අදිසි හස්‌තයන්ගෙන් නඩු පවරන කල්හි ජාත්‍යන්තරයට පෙනෙන්නට වෙසක්‌ උත්සවයක්‌ සැමරීම බොරු ප්‍රදර්ශනයකි. නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කාරණා වෙසක්‌ උත්සවය හා මුසු කිරීමද බලවත් වැරැද්දකි. විශේෂයෙන්ම මෝදි මැතිතුමා මහානායක ස්‌වාමීන් වහන්සේලා මුණ ගැසීමට යන බැවින් මේ වෙස්‌ මුහුණ ගැලවීමට කටයුතු සැලසේ නම් වඩා යහපත්ය. නමුත් දෙරට අතර තිබෙන යහපත් බෞද්ධ සම්බන්ධය සහ රාජ්‍යතාන්ත්‍රික භාවය ඉස්‌මතු කර පෙන්වා දෙරටේ අනන්‍යතාවය ට හානියක්‌ සිදු නොවන පරිදි කටයුතු කළ යුතු බවට අනුශාසනා කරවීම වඩාත් වැදගත් යයි සිතමි.

මතුගම සෙනෙවිරුවන්

No comments: