(නාලක සංජීව දහනායක)

වෙන වෙනම බලතල ඉල්ලීම තුළ සංහිඳියාවක් ඇති නොවන බවත් සංහිඳියාව වෙනුවෙන් කැපවෙනවා නම් සියලුම දෙනා එකම මාර්ගයක ගමන් කළ යුතු බවත් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ඉකුත් 20 වැනිදා පැවැසීය.

ඒ නිසාවෙන් උතුරට වැඩි බලයකුත් දකුණු පළාතට අඩු බලයකුත් ලැබීමට කිසිම හේතුවක් නැතැයි ද ඒ මහතා කීය.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පෙරේදා (20) සංවිධානය කර තිබූ රණවිරු සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ ද පැවැසීය.
“යුද්ධයේ භීෂණය රජකරපු දවස්වල දී අපිට අහන්න ලැබුණේ දුම්රියේ, බස්රියේ පාර්සල් බෝම්බ පුපුරල මිනිසුන් මියයන අවස්ථා ගැනයි. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පිටකොටුව, මරදාන වැනි ස්ථානවල සුනඛයන් වගේ ජනතාව මරා දාපු අවස්ථා ගැන. වැලිඔය වගේ ගම්මානවල කිරිදරුවගේ පටන් මිනිස්සු කපල කොටල මරා දැමීම් ගැන අපට අහන්න ලැබුණා. ඒ වගේ දර්ශන දකින්න මගේ ඇස්දෙකත් පව්කරලා තිබුණා. ඒ කාලයේදී උතුරේ දරුවන් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගිහිල්ලා ළමා සොල්දාදුවන් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට බඳවා ගත්තා.

දැන් බස්වල, කොච්ච්යේ බෝම්බ පුපුරන්නේ නැහැ. උතුරේ ළමයින් පැහැරගෙන යන්නේ නැහැ. ජාති, ආගම් භේදයෙන් තොරව අද උතුරේ ජනතාව සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. එවැනි වාතාවරණයක් හදල දුන්නේ රණවිරුවන්. රණවිරුවන් වශයෙන් අපිට ඒ ගැන සතුටක් තිබෙනවා. ඒ එක්කම අද අපිට කනගාටුවකුත් තිබෙනවා. එදා තිබුණ විජයග්‍රහණයේ රණවිරු පෙළපාළිය අද නැහැ. රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන රණවිරු උත්සව අද සීමාවෙලා. එදා මැයි 18 හා 19 නිවාසවල පත්තුකරපු පහන් අද පත්තු වෙන්නේ නැහැ. ලබන වසරේ මැයි 18 වැනිදාවත් මේ රටේ නිදහස වෙනුවෙන් මියගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ සෑම නිවෙසකම පහනක් පත්තු කරන ලෙස මහා සංඝරත්නයවත් ජනතාවගේ ඉල්ලීමක් කළ යුතුයි. 
  
යුද්ධයේ අවසන් වසර 2යි මාස 10 තුළදී පමණක් යුද්ධ හමුදාවේ පමණක් නිලධාරීන් හා සෙබළුන් 5000කට වැඩි පිරිසක් මිය ගියා. එමෙන්ම නිලධාරීන් හා සෙබළුන් 29000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඒ අතරින් බොහෝ පිරිසක් බරපතළ තුවාල ලැබුවා. ඔවුන් ඇඳන් මත අමාරුවෙන් හුස්ම ගන්නව දකින විට ඒ රණවිරුවන්ගේ මවුපියන් සියදහස්වර මැරි මැරී උපදිනවා. මේ යුද්ධයේදී රණවිරුවන්ගේ පවුල්වල උදවියත් විශාල කැපකිරීමක් කළා.

 ඒත් අවසන් බිම් අඟලත් නිදහස්කර ගත් මැයි 18 වැනිදා හා ප්‍රභාකරන් මියගිය මැයි 19 දිනයන් අද මේ රටේ කීයෙන් කී දෙනාට ද මතක් වෙන්නේ. ඒ දවස් සිහිකරමින් මොන පත්තරේ ද හෙඞ්ලයින් දැම්මේ. යුද්ධයෙන් පසු පැවැත්වූ රණවිරු සතිය අද කෝ. ඒ වෙනුවට අද උතුරේ ජන සංහාර සතියක් සමරනවා. ඒ වචනයෙන්ම පෙන්නුම් කෙරෙන්නේ වෛරය හා ක්‍රෝධයයි. අපි අපේ මුළු තරුණ කාලයම කැලෑවල ගතකරමින් යුද වැදුණේ ශ්‍රී ලංකිකයාට අභිමානයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි.

ඒ නිසා උතුරේ අයට වැඩි බලයකුත්, දකුණේ අපිට අඩු බලයකුත් ලැබෙන්න හේතුවක් නැහැ. මම සංහිඳියාවට හුඟාක්ම කැමතියි. සබෑ සංහිඳියාවක් වෙනුවෙන් කැප වෙනවානම් අපි සියලුම දෙනා එකම මාර්ගයක ගමන් කරන්න ඕන. වෙන වෙනම බලතල ඉල්ලන තැන සංහිඳියාවක් නැහැ.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවැසූහ. 
  
“විග්නේෂ්වරන්, සම්බන්ධන් හා සිවාජිලිංගම් මේ වනවිට සතියක්ම වෙන්කරගෙන උතුරේ ත්‍රස්තවාදීන් සිහිපත්කරනවා. හැබැයි දකුණේ යුද්ධය අවසන් කරන්න දායකත්වය සැපයූ වීරෝධාර රණවිරුවන් සිරගත කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මේක මහ පුදුම වැඩක්.

මේ වනවිට මුළු ලෝකයෙන්ම දේශපාලන ආශිර්වාදය තමන්ට හිමිවෙලා තිබෙන බව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයත් පවසනවා. මානව හිමිකම් සම්බන්ධව තමන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධව පැහැදුණ රටවල් අප රටට ජී.එස්.පී සහනය ලැබුණ බවත් ඔවුන් කියනවා. මේ සියල්ලම අතරේ යුද්ධය අවසන් කරන්න කැපුවුණ රණවිරුවන් නොමරා මරමින් ආණ්ඩුව අද යුද්ධ ජයග්‍රහණය සමරනවා. ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් එදා කිව්වේ කවදාවත් යුද්ධය අවසන් කරන්න බැහැ කියලයි. නමුත් යුද්ධය අවසන් කළාම අප රටට ඇමෙරිකාව සලකන ආකාරය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඇමෙරිකාවේ ඊනියා සාමය නිරුවත්වෙලා. යම් රටවල සෛවරීත්වය විනාශ කරන්න ඊනියා සාම වෙළෙන්දන් විසින් යොදාගන්න තවත් වචනයක් තමයි මානව හිමිකම් කියන්නේ.

ඉල්ලීම් දිනාගන්න තමන්ගේ ක්‍රමවේදය වෙනස් කළ බව විග්නේෂ්වරන් කියනවා. බෙදුම්වාදී ව්‍යවස්ථා ක්‍රමවේදය හරහා තමන්ගේ ඉල්ලීම් දිනාගන්න ඔවුන් අද උත්සාහ කරනවා. අපි මේ තත්ත්වයන් තේරුම්ගන්න ඕන. මහමුහුදේ රැල්ලට වඩා වැඩි මහජන රැල්ලක් මැයි පළවෙනිදා ගෝල්ෆේස් පිටියට ආවා. ඒ රැල්ලේ පීන පීන ඉන්න එපා කියලා අපි පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා. පසුගිය 18 වැනිදා ජනාධිපතිවරයාට උතුරට එන්න එපා කියලා සිවාජිලිංගම් තර්ජනය කරනවා. මේ මුලින් එන්නේ කසකරුවායි. ඊට පස්සේ පෙරහර එනවා. ඒ විදියටම දකුණේ අපිත් ජනාධිපතිවරයාට කිව්වොත් මෙහේ ඉන්න එපා කියලා එතුමාට ඉන්න තැනක් නැතිවෙනවා. බෙදුම්වාදීන් උතුරේ ව්‍යාජ දේශයක් වෙනුවෙන් සටන් කරන විට දකුණේ අපි සැබෑ දේශයක් වෙනුවෙන් සටන් කරනවා.

මේ නින්දිත පාලකයන් අපි නිදහස් චතුරශ්‍රයෙන් එළෙව්වා. තරුණයා නැවත රට වෙනුවෙන් ඉදිරියට එන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට ආණ්ඩුවට ඒක පාලනය කරන්න බැරිවේවි. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවන්නේ හමුදාව බලෙන් උතුරේ ජනතාව අතුරුදන් කළා කියන කාරණාව ඔප්පු කරන්නයි. අපිට රණවිරුවන් බේරාගන්න කරන්න බැරි දෙයක් නැහැ. රට බෙදන්න දෙන්නේ නැහැ කියල එදා ගිරිය පුප්පන් කෑ ගහපු අතුරලියේ රතන හාමුදුරුවෝ, දඹර අමිල හාමුදුරුවෝ දැන් ලයින් එක ටිකක් වෙනස් කරලා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහාට ගිය බලය බෙදීමකට ඉඩ නොදෙන බව දැන් උන්වහන්සේලා කියනවා. අයිස් තට්ටුව දියවුණාම තමයි අපි ඉස්සරහා තියෙන අගාධය පේන්නේ. දැන් සුන්දර කතා නවත්වමු. මේ රට බලුවේගෙන යන විදිය ඕනෑම කෙනකුට පෙන්වන්න අපි සූදානම්. රට, ජාතිය, ආගම කියන ත්‍රිවිධ රත්නය ආරක්ෂා කර ගැනීම හැරුණ කොට අපිට වෙනත් බලාපොරොත්තුවක් නැහැ” යි ද පැවැසූහ.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ මෙසේ පැවැසූහ.

“අපි මේ වැඬේ පවත්වන්නට හිටියේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේයි. නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය වෙන්කරවාගන්න අපි මීට සති කිහිපයකට පෙර මුදල් ගෙව්වා. මේ වැඩසටහන පිළිබඳව අපි විස්තරයකුත් අදාළ ආයතනයට ලබා දුන්නා. අපේ මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිම විරෝධයක් තිබුණේ නැහැ. මුලදීම ඔවුන් අපිට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය නොදුන්නානම් කමක් නැහැ. නමුත් අපි රණවිරු වැඩසටහන පවත්වන වේලාවේදිම නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීම තවත් රණවිරු උත්සවයක් පවත්වන බව කියමින් බලධාරීන් අපේ වෙන්කරවා ගැනීම අවලංගු කළා.

එහෙත් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ 20 වැනිදා සවස එහෙම වැඩසටහනක් තිබුණේ නැහැ. නිදහස් චතුරශ්‍රය නොදීමෙන් ඒ අය අපිට අභියෝගයක් දුන්නා. අපි කවදාවත් අභියෝගවලට බය නැහැ. ඒ නිසා නිදහස් චතුරශ්‍රය අබියස සිට පාගමනින් අපි විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසලට පැමිණියා. රණවිරුවන්, යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, මව්වරුන්, දුවා දරුවන්, මහා සංඝරත්නය ඇතුළු සියලුදෙනාම බොහොම යහපත් සිතින් ඒ පා ගමන පැමිණියා. මේ වැඩසටහන සංවිධානය කළේ රණවිරුන්ට ශක්තියක් දෙන්නයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ගාමිණී ලොකුගේ, ඉන්දික අනුරුද්ධ, ජයන්ත සමරවීර, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, මේජර් ජනරාල් සීවලී වනිගරත්න, රියර් අද්මිරාල් මොහාන් විජයවික්‍රම, අද්මිරාල් ආනන්ද පීරිස්, මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් ඇතුළු විශ්‍රාමික රණවිරුවන්, රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගීවූහ.