Sunday, January 3, 2016

පිස්සු දිවයින පත්‍රයටද නැත්නම් අපිටද?

මා අන්තර්ජාලයේ නිදහසේ සැරිසැරීමට මාසෙකට බදු රහිතවම ගෙඩි රුපියල් 1600 ක් ගෙවන්නේ මුලික වශයෙන් දිනපතා පුවත්පත් බැලීමටය. අද ඉරිදා දිවයින පුවත් පතේ දේශපාලන ලිපිය   කියවීමේදී මට හිතුනේ එක්කෝ එම ලිපිය ලියු සමන් ගමගේ මහතාට පිස්සුය  නැත්නම් මේ පත්‍රය බලන අපිට පිස්සුය කියාය. ඒ ගැන සාකච්චා කිරීමට සුදුසුම  තැන වෙබ් අවකාශය බැවින් එකී ලිපිය  පහතින් ඉදිරිපත් කරමි. ගමගේ මහතාගේ සහ  කතෘ තුමාගේ අනුදැනුමකින් තොරව මෙය උපුටා දැක්වීම ගැන මේ දෙපළ  උරණ නොවේ යයි වැඩිදුරටත් සිතමි.

සමරසේකර 

 අවුලක්‌ නෑ... වරද පිළිඅරන් අපි හිරේ යන්නං
කළු ජීප් ඉදිරියේ ඇඹරෙන ශ්‍රී ලංකා පොලිසියට ආදරයෙන් ලියමි..

මීට කලකට ඉහත මෙරට ජනතාව කම්පනයට සහ ඇතැම් අවස්‌ථාවල ප්‍රකෝපයටද පත් කළා වූ අසමඡ්ජාති සිදුවීම් පෙළක්‌ අපේ පොලිසිය තුළින් වාර්තා විය.

දොම්පේ පොලිසියේදී තරුණයකු මිය යැම, අඟුලාන පොලිසිය තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ ගල්කිස්‌සේදී උම්මත්තකයකු පොලිස්‌ පහරදීමට බියේ වැඳවැටෙමින් මුහුදේ ගිලී මිය යැම වැනි දේ ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණ.

මෙකී සිදුවීම් හමුවේ එකල කෝපයට පත්ව සිටි රටේ ජනතාව පොලිසිය කෙරෙහි වූ සිය ආවේගය පිටකරනු ලැබුවේ "පොලිසිය දැං බල්ලට ගිහින්" යෑයි සඳහන් කරමිනි. එලෙස පොලිසියට නම්බුනාම දෙන සමාජ මතවාදයක්‌ ගොඩනැගෙද්දී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි එවකට පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් ගුණසේකර මහතා අපූරු ප්‍රකාශයක්‌ කළේය.

"සිදුව ඇත්තේ පොලිසිය බල්ලට යැම නොව බල්ලන් දෙතුන් දෙනකු පොලිසියට රිංගීම" යෑයි හේ මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රසිද්ධියේම කීවේය. රංජිත් ගුණසේකර මහතාගේ එම ප්‍රකාශයත් සමග එදා අපි පොලිසියට එක්‌ කරුණක්‌ මතක්‌ කර දුන්නෙමු.

ඒ පොලිසියට බල්ලන් රිංගාගෙන සිටින්නේ නම් වහා උන් අල්ලා බැඳ දමා නගර සභාවේ "බලු වෑන් එකට" භාර දෙන්න යෑයි කියාය. නමුත් අප එසේ කීවද පොලිසියට එය වැටහුණේද යන්න පිළිබඳ මේ මොහොතේ මතුව තිබෙන්නේ බරපතළ සැකයකි.

පොලිසිය අද දවසේ බල්ලන් බැඳ දමනු වෙනුවට "බල්ලෝ නාවමින්" සිටීම අපේ ඒ සැකයට හේතු වී තිබේ. මේ දිනවල එකී බල්ලෝ නෑවීමේ අලුත්ම පොලිස්‌ නාඩගමේ ප්‍රධාන භූමිකා රඟමින් සිටිනුයේ රහස්‌ පොලිසියේ සහ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ඇතැම් නිලධාරිහුය.

සීඅයිඩීයේ එක්‌තරා පොලිස්‌ ලොක්‌කකු ඇතුළු කණ්‌ඩායමක්‌ එක්‌ව මෙකී කාර්යය ආරම්භ කරනු ලැබුවේ ඉකුත් ආණ්‌ඩු පෙරළියත් සමගිනි. ලක්‌ මාතාව හඬා වැළපෙද්දී රට බේරාගත් රණවිරුවන් මිනීමරුවන් යෑයි පවසා දඟ ගෙට යවමින් ඔවුහු ඒ කාර්යය ඇරඹූහ. දැනුදු එය සිදු කරන්නාහ. මෙහිදී රටට වින කළ එන්ජීඕ කාක්‌කෝ අත්පොළසන් දෙමින් පොලිස්‌ ලොක්‌කාට හුරේ දාන්නට වූහ.

අමුණෙ වැලි සිර වුණත් එන්ජීඕ කාක්‌කෝ සිටිනුයේ කෙසේ හෝ කුඹුර කොටවන තැනක වන්නාහ. උන්ට ඕනෑ "රණවිරුවන් එකායි.. දෙකායි" කියමින් ඒ විරුවන් මිනීමරුවන් කරමින් අස්‌වැන්න නෙළන්නටය. ඉතින් උන් පොලිස්‌ ලොක්‌කාට හුරේ දැමීය.

ඒ චියර් එකත් සමග තවත් උද්දාමයට පත් වූ සීඅයිඩීයේ පොලිස්‌ ලොක්‌කා "ශාහ් නියමයි" කියමින් බල්ලෝ නාවන අතරේ තෙමේ ද නාගන්නේය. ආණ්‌ඩුවද නාවන්නේය.

අපි ඒ පිළිබඳ ඉකුත් සතියේ මැනවින් රටට හෙළි කළෙමු. අද බල්ලෝ නාවන සීඅයිඩී ලොක්‌කා ඒ වතුරින් තමාද නාගන්නා අතරේ ආණ්‌ඩුවද නාවන අන්දම පැහැදිලිවම පෙන්වා දුන්නෙමු.

සීඅයිඩීයේ කතාව එසේ වෙද්දී දැන් ඊළඟ නෑවිල්ල අරඹා ඇත්තේ කොළඹ අපරාධ කොට්‌ඨාසය ය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ තගරිය ඉදිරියේය.

දෙමටගොඩ ගුවන් පාලම යට වෙළෙඳ සැළේදී පසුගියදා තරුණයකු පැහැරගෙන ගියේ හිරුණිකාගේ මිනිස්‌සුය. ඔවුන් තමාගේ පෞද්ගලික ආරක්‍ෂකයන් බව හිරුණිකාම පැවසුවාය. එසේම ඇගේ ආරක්‍ෂකයන් යෑයි කියන ඒ මැරයන් තරුණයාව බෙල්ලෙන් ඇදගෙන ගොස්‌ දමාගත් කලු ඩිෙµන්ඩරයද හිරුණිකාගේය. ඒ බවද ඇය පිළිගත්තාය.

පැහැරගත් තරුණයා රැගෙන ගොස්‌ තිබුණේද කොලොන්නාවේ පිහිටි ඇගේ කාර්යාලයකටය. අවසානයේ පැහැරගැනීමට ලක්‌ වූ තරුණයා මැරයන්ගෙන් බේරී පැමිණ පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් පැහැදිලිවම කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කාර්යාලයේ මේසයක්‌ මත හිඳගෙන තමන්ට බැණවදිමින් මරණීය තර්ජන එල්ල කළ බවකි.

මෙම තත්ත්වය හමුවේ රටේ බොහෝ දේශපාලනඥයන් සේම රට පිළිගත් නීතිවේදීන් පවා තාර්කිකව කරුණු පෙන්වා දෙමින් කියා සිටියේ එකී තරුණයා පැහැර ගැනීමේ සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද පැහැදිලිවම සැකකාරියක වන බවකි.

එහෙත් ඔවුන් එසේ කියද්දී හිරුණිකා අරබයා පොලිසිය කීවේ වෙනෙකකි. ඇයට චෝදනා නඟන්නට සාක්‍ෂි නොමැති බව සීසීඩීය කීවේය. ඔවුන් එසේ කීවේ පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා හිරුණිකා තමාට මරණීය තර්ජන කළ බව පැහැදිලිවම කියා සිටිද්දීය. හිරුණිකා පිළිබඳ සාක්‍ෂි නැතැයි යන පොලිසියේ කියමනට අනුව එසේ නම් දැන් ඒ තරුණයා කර ඇත්තේ අසත්‍ය පැමිණිල්ලක්‌ද? එය අපට මතුවන ගැටලුවය.

ඇස්‌පනාපිට සිද්ධියක්‌ සිදුවී මෙසේ ගැටලු මතු වන කල්හි කොළඹ අපරාධ කොට්‌ඨාසය හෙවත් සීසීඩීයත් "බල්ලෝ නාවනවා" කියනු හැර අප වෙන කුමක්‌ කියන්නද? කෙසේ වෙතත් දැන් ඒ කතාව සීසීඩීය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

තරුණයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකුම අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියදී පොලිසිය මෙසේ හිරුණිකා පිළිබඳ පමණක්‌ නීතිපති විමසනුයේ කෙසේද? ඒ කුමක්‌ නිසාද? මෙය ඉකුත් ආණ්‌ඩුව සමයේ නොතිබුණේ යෑයි කී සහ යහපාලනයෙන් පසු සැමට එක හා සමානව ක්‍රියාත්මක වන්නේ යෑයි කියන රටේ නීතිය විය යුතුය.

අට දෙනකුම පොලිස්‌ බලතල යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරෙද්දී තරුණයා පැහැරගත් ඒ අට දෙනාට රැකවරණ දුන්, ඔවුන් තමන්ගේ ආරක්‍ෂකයන් ලෙස තබාගත්, පැහැරගැනීම සිදු කළ ජීප් රථයේද හිමිකාරිය වූ සහ ඒ තරුණයාව රැගෙන ගිය දේශපාලන කාර්යාලයේ අයිතිකාරියද වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ පොලිසිය නීතිපති විමසන්නේය. එය අපූරු ක්‍රමයකි.

ලෙනාඩ් වුල්µaට අනුව අතීතයේ බැද්දේගම සිටි සිලිඳු සුදු උසාවියට ගොස්‌ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" යෑයි කීවේ මේ ක්‍රමයට එරෙහිවය. ඒ සිලිඳු අද සිටියා නම් මෙකී සීසීඩීයේ නාඩගම දැක "නඩුත් ආණ්‌ඩුවේ බඩුත් ආණ්‌ඩුවේ" කියනු සිකුරුය.

අද හිරුණිකා සම්බන්ධයෙන් මෙසේ කටයුතු කරන පොලිසිය පසුගිය කාලයේ සිටියේ ඊට හාත්පසින්ම වෙනස්‌ම වූ තැනකය. එහිදී රටම හිනස්‌සමින් සිදු කළ මඤ්ඤං විමර්ශනද බොහෝ විය. එසේ වූයේ කුමකටද කාගේ වුවමනාවකටද යන්න අදටත් අභිරහසකි. පොලිසියේ ඒ යටගියාව පිළිබඳ කතා කිරීමේදී කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතන විමර්ශන තිබෙන්නේ ඉහළම තැනකය.

සේයා ඝාතනය කෙරිණි. එහිදී මුලින්ම පාසල් ශිෂ්‍යයකු සහ එක්‌ දරු පියකු කොටදෙණියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී සාක්‍ෂි නැතැයි කියමින් හිරුණිකාට මෙන් නීතිපති විමසන්නට පොලිසිය ක්‍රියා නොකළේය. එක්‌දරු පියා සහ ශිෂ්‍යයා අත්අඩංගුවට ගත් කොටදෙණියාව පොලිසිය ඔවුන් දෙදෙනාට හොඳහැටි පහර දී ප්‍රශ්න කළේය. පසුව අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඒ කොතැනකදීවත් පොලිසිය නීතිපති විමසුවේ නැත. එහිදී පොලිසිය කීවේ යම් යම් තොරතුරු මත ඇති වූ සැකය හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පමණකි. සේයා සිද්ධියේදී එසේ කටයුතු කළ පොලිසියට අද හිරුණිකා පිළිබඳ අබමල් රේණුවක තරම්වත් සැකයක්‌ ඇති නොවීම පුදුම සහගත නොවේද?

ඊළඟට ආවේ කොණ්‌ඩයාගේ කථාවය. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගනු ලැබුවේ රහස්‌ පොලිසිය මගිනි. එසේ අත්අඩංගුවට ගැනුණු දුනේෂ්ට හෙවත් කොණ්‌ඩයාටද රහස්‌ පොලිසියේදී අම්බානකට කන්න සිදු විය. "මට හොඳටම ගහලා වැඩේ භාර ගනින් කිව්වා" චෝදනාවෙන් නිදහස්‌ වීමෙන් පසු කොණ්‌ඩයා ඒ පිළිබඳ මාධ්‍යයට පාපොච්චාරණය කරනු ලැබුවේ එසේය.

නමුත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගෙන පහරදී සේයා ඝාතනය ඇඟේ ගහන්නට ගත් උත්සාහයේදීත් පොලිසියට නීතිපති නම් මතක්‌ නොවුණි. පොලිසිය කීවේ සාධාරණ සැකය මත අත්අඩංගුවට ගත් බව පමණි. එසේ ක්‍රියා කළ පොලිසියට අද හිරුණිකා පිළිබඳ සැකයක්‌ මතු නොවීම විශ්මයකි.

මේ වන විට දේශපාලන බලය ඉදිරියේ අපේ පොලිසිය නිකම්ම නොව කොන්ද කඩාගෙන "බල්ලෝ නාවන" බව පෙන්වා දීමට ඇති අනෙක්‌ කතාව වන්නේ ඉකුත් මැතිවරණ සමයේදී සිදුවූ බ්ලූමෙන්ඩල් වෙඩි තැබීමය. බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී ඇත්තේ දෙමටගොඩ චමින්ද පාර්ශ්වයටය.

මේ චමින්ද පාර්ශ්වය යනු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දැඩි වෛරයට පාත්‍ර වූවෝය. ඇය ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවල මෙන්ම මාධ්‍ය ඉදිරියටද පැමිණ ජනතාවගේ සාතිශය අනුකම්පාව දිනා ගත්තේ චමින්දලා ගැන සඳහන් කරමිනි.

ඒ අතරේ කොළඹ දේශපාලනඥයකු විදේශගතව සිටි පාතාලයන් පිරිසක්‌ යළි මෙරටට ගෙන්වා කිරි පොවද්දී කෙසේ හෝ බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සිදු විය. එය සිදු කළේ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකි. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කොළඹ දේශපාලනඥයාගේ ප්‍රචාරක රැස්‌වීමකදීය.

නමුත් අවසානයේ ඒ පිළිබඳ විමර්ශන සිදු කළ රහස්‌ පොලිසිය බ්ලූමෙන්ඩල් වෙඩි තැබීමට පැමිණි සිව් දෙනා වෙනුවට චමින්දගේ අයියා වන දෙමටගොඩ රුවන් ඇතුළු පුද්ගලයන් දහතුන් දෙනකුම අත්අඩංගුවට ගෙන ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළේය.

අද හිරුණිකා සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලදී නීතිපතිවරයා විමසන පොලිසිය එසේ සිව් දෙනකු පැමිණ කළ වෙඩි තැබීමක්‌ හමුවේ දහතුන් දෙනකු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා නොවිමසීය. සියලු පොලිස්‌ බලතල යටතේ ඒ විමර්ශනය සිදු කළේය. මෙහිදී නීතිපතිවරයා නොවිමසුවාට දේශපාලනඥයන් විමසුවේදැයි පොලිසියෙන් ඇසිය යුතුය.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමග අද තමන් ඇතුළු දරුවන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ ඉකුත් සතියේ දෙමටගොඩ රුවන්ගේ බිරිඳ "දිවයින" ට පැමිණ මෙලෙස සඳහන් කළාය.

"එදා ඔය වෙඩි තැබීම සිදු වෙනකොට මගේ මහත්තයා රුවන් හිටියේ ගෙදර.. සිද්ධියට එයාගේ මල්ලි චමින්ද ගැන කියවෙනකොට රුවන් ගොඩක්‌ බය වුණා.. එයා මට කිව්වා ෂුවර් එකටම මේකට මාවත් පටලවයි කියලා..

"මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්‌.. මේ රටේ ආණ්‌ඩුවට නිවැරදි විදිහට බදු ගෙවලා සේවකයෝ හතළිහකට පමණ රැකියා දීලා එයා ව්‍යාපාර කටයුතු කළා. මේ සිද්ධියෙන් පස්‌සේ සීඅයිඩී එකෙන් අපේ ගෙදරට ආවා.. රුවන් කෝ කියලා මගෙන් ඇහුව්වා.. මම කිව්වා එයා ගෙදර නැහැ කියලා.. ඒ වෙනකොට මගේ මහත්තයා බයටම වෙන තැනක නතර වෙලා හිටියේ..

"පස්‌සේ කොහොම හරි සීඅයිඩී එකෙන් එයාව අත්අඩංගුවට ගත්තා.. ඊට පස්‌සේ ගෙදරට ඇවිත් අපේ ගෙදර තිබෙන සීසීටීවී කැමරා පද්ධතිය ගලවගෙන ගියා.. ඒ ගිහින් ඒක පරීක්‍ෂා කරලා මගේ පාසල් යන දරුවවත් ගෙනල්ලා පැය හතරක්‌ සීඅයිඩී එකේ තියාගෙන ප්‍රශ්න කළා.

"ඔවුන් කිව්වේ අපි සීසීටීවී කැමරාවල තිබුණු දර්ශන මකලා කියලා.. ඒක කැඩිලා තිබුණේ.. කිව්වට පිළි ගත්තෙම නැහැ.. පස්‌සේ පොලිසිය කොළඹ විශ්වවිද්‍යාලයට යවලත් ඒක පරීක්‍ෂා කළා.. මොකුත්ම තිබුණේ නැහැ.. ඒත් අන්තිමට සීසීටීවී කැමරා දර්ශන මැකුවයි කියලා මගේ මහත්තයව බ්ලූමෙන්ඩල් සිද්ධියට පටලවලා බන්ධනාගාරගත කළා..

"දැන් මාස තුනක්‌ වෙනවා.. එයා නැතුව අපේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා.. සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා.. නිවස හදන්න ගත්ත ණය ගෙවා ගන්න බැරුව ගේ බැංකුවට අයිති වෙන්න යනවා.. වාහනවල µsනෑන්ස්‌ ඇරියස්‌ වෙලා.. මහත්තයා බේර ගන්න මේ වෙනකොට ලක්‍ෂ ගාණක්‌ වියදම් කරන්න වුණා.. අපි අද අන්ත අසරණ වෙලා ඉන්නේ.. මේ සිද්ධිය නිසා දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා තියෙන්නේ.."

බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සම්බන්ධයෙන් සිව් දෙනකු වෙනුවට විමර්ශන සිදු කළ සීඅයිඩීය දහතුන් දෙනකුම ඇතුළට යෑවීමේ අමුතු කතාවේ අසිරිය අද ඇසෙමින් තිබෙන්නේ එසේය.

දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇස්‌ ඉදිරියේ බොහෝ දේ තිබියදී සාක්‍ෂි නැතැයි කියමින් හිරුණිකා සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසන පොලිසියේ කෙරුවාව ඇත්තේ එතැනය.

ඉතින් මෙවන් තත්ත්වයක්‌ හමුවේ පොලිසිය කාගේ හෝ බහට බල්ලෝ නාවනවා යෑයි කියනු හැර අපට කියන්නට අන් යමක්‌ නැත. මන්ද පෙනෙන්නට තිබෙන්නේ එය වන නිසාය. සියල්ල මෙසේ වෙද්දී අවසන් වශයෙන් කියන්නටද අපට පුංචි කතාවක්‌ ඇත.

අතීතයේදී බැද්දේගම සිලිඳු සුද්දන් ඉදිරියේ කීවේ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" කියාය. එහෙත් අද පොලිසියේ මේ අරුම පුදුම විමර්ශන දෙස බලා අපට කියන්නට සිදු වන්නේ "නඩුවත් ආණ්‌ඩුවේ බඩුවත් ආණ්‌ඩුවේ කියාය.

සමන් ගමගේ

Saturday, January 2, 2016

පළමු සිංහල කැලෑ පත්‍රය

සාමාන්‍යයෙන් සිංහලයෝ අන් අයට උසුළු විසුළු කරන්නට රුසියෝය. එය ඔවුන් සතු එක් ජාන ලක්ෂණයක් යයි මට සිතේ. සමහර ඒවා අහිංසක විහිලුය. සමහර ඒවා අන් අයගේ අඩුපාඩු හුවා දක්වමින් ඔවුන්ට ගරහන ඒවාය. නිදසුනක් ලෙස ජන කවියේ ඇති 
තන පොත්තිත්  ගෑනියක්       ද 
ඒකිට මොන  දීගයක්             ද 
යන දෙපදය පෙන්විය හැකිය.

පොදුවේ මහජනයාට දැනගැනීමට අවශ්‍ය පුවතක් කොල කිහිපයක ලොකු අකුරින් ලියා එය කාට කාටත් පෙනෙන පරිදි මහජනතාව ගැවසෙන තැන්වල අලවා තැබීම අපේ රටේ පුවත් පල කිරීමේ එක් ක්‍රමයකි. කුඹුරු අස්වැද්දීමට පෙර ඇල මාර්ගය පිරිසිදු කිරීමට දිනක් නියම කර එයට පැමිණෙන ලෙස ගොවීන්ට දන්වා වෙල් විදානේ විසින් අලවන දැන්වීම් පත මා කුඩා කාලයේදී දැක ඇත. නමුත් අද වෙල් විදානේ ඉන්නේ කුඹුරු අස්වැද්දීම ගැන තීරණ ගන්නට නොවේ. 
  
නමුත් කැලෑ  පත්‍රයකින් කෙරෙන්නේ හුදෙක් අනෙකාට ගැරහීම මෙන්ම අනතුරුදායක පණිවිඩයක්ද ප්‍රසිද්ධ කිරීමයි. සාමාන්‍යයෙන් අහිංසක අයෙකුට එරෙහිව කැලෑපත්‍ර ගසන්නේ නැත. ඒ  වෙනුවට කරන්නේ ඔහු හෝ ඇය ඉදිරියේම නින්දා කිරීමයි. කැලෑපත්‍ර ගසන්නේ තමන්ට වඩා යම් බලයකින් යුක්ත අයෙකුට සිය අනන්‍යතාවය සඟවා අපහාස කිරීමයි. ඒක හරියට ආරුඪ නමකින් හෝ අනන්‍යතාවය නොපෙන්වා blog එකේ comments දානවා වාගේ වැඩකි.

 මේ කැලෑ පත්‍ර  ලියන අය ඒවා රැ ගමේ අලවන්නේ  උදෙන්ම පාරේ යන අයගේ නෙත ගැටෙන  පිණිසයි. දකින්නෝ එය හොඳින් කියවා  බැලුවත් නොදක්කාසේ හැම ගමන  යති. නමුත් හිමිදිරියේම පාරට බසින අදාළ සිද්ධියට සම්බන්ධ අයෙකුට මේවා පෙනුනොත් ඔහු කරන්නේ  සියල්ලම ගැලවීමයි. ඒ  උනත් ඒ වන විට සිද්ධිය ගම පුරා පැතිරී හමාරය. මේකෙන් මැනවින් පෙනෙන්නේ කැලෑ පත්‍රයත් සමගම වේගයෙන් පැතිරෙන තොරතුරු ජාලයක් ඇති බවය.අවශ්‍ය පණිවිඩය ඉන් ලැබෙන අයට ලැබෙන අතරම ඒ පණිවිඩය එවූ පුද්ගලයාද සැඟවී සිටියි. 

දැන් කාරණයට බැස්සොත් සියතින්ම තම පියා මැරු නිසා රාජසිංහ රජ්‍ජුරුවෝ හිටියේ පසුතැවිල්ලෙනි. රජු  සහනයක් පතා සංඝයා වහන්සේ වෙත ගිය කල දුටුගැමුණු රජ තුමාට ලැබුණු සහනය වාගේ එකක් රාජසිංහ රජ්ජුරුවන්ට නම් ලැබුනේ නැත. සංඝයා වහන්සේ පැවසුවේ රජු පංචානන්තරි කර්ම 5න් එකක් කර ඇති බැවින් මරණින් පසු අනිවාර්යයෙන්ම අපාගත වන බවය. රජ්ජුරුවෝ සංඝයා වහන්සේ කෙරෙහිද අමනාපවී බෙහෙර විහාර සහ ධර්ම පොත් ගිනිබත් කළා. මේ වෙලාවේ තමයි නීල   පෙරුමාල් රජු සනසන්නට පැමිණියේ. ඔහු දකුණු  ඉන්දියාවෙන් මෙහි පැමිණි දෙමල ජාතිකයෙක්. ඔහුගේ උපදේශය උනේ විශාල යාගයක් සීතාවක ගඟ මැද පවත්වා  ඉන් රජුගේ පාපය අවසන් කල හැකි  බවයි. රජු මේ උපදේශය පිළිගෙන මේ යාගය පැවැත්වීම ආරම්භ කළා. නමුත් ඒක ඉවර වෙන පාටක් නැහැ. අහන අයට නිල පෙරුමාල් කිවේ  
රාජා හෝ 
මා හෝ 
ගංගා හෝ 
කියලා .
මේ අඛණ්ඩ යාගය නිසා නිලපෙරුමාල්ට රජුගේ විශ්වාසය දිනා ගන්නට අමතරව රජ මාලිගයට නිරන්තරවම යන්නත් ඉඩ ලැබුනා. මේකෙ එක් ප්‍රතිඵලයක් විදියට රජුගේ වැඩිමහල් අවිවාහක සොහොයුරිය සමග රහසින් අනියම් සම්බන්ද කමක් ඇති කර ගන්නට  නිලපෙරුමාල්ට හැකි උනා. මේකට වංශ වතුන් කැමති උනේ නැහැ. පෘතුගීසින් සමග සටනේ යෙදී සිටින යුද්ධයේ දක්ෂයෙකුවූ රජු අහක දමන්නත් බැහැ.රජුට මේ අවනඩුව කියන්නත් බැහැ.නමුත් නිලපෙරුමාල්ට  අනතුරු සංඥාව නිකුත් නොකරත් බැහැ. කරන කතා වැඩේ නැවැත්වුවේ නැත්නම් කුමාරිගේ වැඩිමහල් හා බාල සහෝදර යන්ගේ සහ සහෝදරියන්ගේ ප්‍රතික්‍රියා ඇතිවීමට ඉඩ තිබෙනබව දැන්වීමට අවශ්‍ය උනා.    ඔවුන් කැලෑ පත්‍ර මාධ්‍ය තෝරා ගත්තා. තමන්ට එන අන්තරාවෙන් මිදෙන්න කාටවත් දොස් කියන්න බැරි අය ලවා පාඩම් කරවල  රට පුරාම ළමයින් ලවා කියවන්න පටන් ගත්තා. 

ඒක  තමයි මේ 
"අතුරු මිතුරු දඹදිවතුරු 
රාජ කපුරු හෙට්ටියා 
අලුත ගෙනා මනමාලිට 
හාල් පතක්  ගරාලා 
කිකිළි කපා දොර මුල්ලේ 
කිකිළි කපා වැට මුල්ලේ 
උස් කොල්ලෝ පේළියයි 
මිටි කොල්ලෝ පේළියයි 
උස් දරමිටි  පේළියයි 
මිටි දරමිටි පේළියයි 
අතක් ගනිං හෙට්ටියෝ "

සමරසේකර 
       
     

2016 සුභ වසරක් වේවා





ලැබුවාවූ 2016 වසර සැමට සුභ වසරක් වේවා යයි පතමි .

සමරසේකර