Tuesday, July 12, 2016

සමුපකාර මැයි දින රැස්වීමේ පැවැත්වූ දේශන ඇසුරෙන් මතක සටහන්



සමුපකාර මැයි දින රැස්වීමේ පැවැත්වූ දේශන  ඇසුරෙන්







අද  ජුලි මස 12 වැනිදා අපර භාගයත් ආරම්භ වෙලා. ඊයේ රැ පටන් ගත්ත වැස්ස තවමත් ඉවර වෙලා නැහැ හරියට අහසේ හිලක් හැදිලා වාගේ. මේ  වෙලාවේ මට හිතුනේ දැන් අපේ රටේ පුරවැසියන්  හැසිරෙන්නේ පසුගිය මැයි දිනය අමතක වෙලා වාගේ කියලයි. අපේ රටේ මැයි දිනය සැමරිය යුත්තේ ශ්‍රමිකයන් විසින් උවත්, අද ඒක විවිධ දේශපාලන පක්ෂ පාට මුල්තැනට දා ගත්ත දේශපාලකයන් විසින් උදුරා ගෙන එම දිනය ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරුපයන් ගොඩනැංවීමට යොදා ගත්   නිසා ඒකෙ පුදුම වෙන්න දෙයකුත් නැහැ. දැන් දේශපාලකයන්ට තම එදිනෙදා පැවැත්ම ගෙන යන්න වෙනත්  මාතෘකා තියෙන නිසා මැයි දිනය නැවත මතක් කිරීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ තව දවස් 365ක් ගතවීමට ලංවෙන කොට  විතරයි.

අපි සමුපකාර මැයි දිනය පැවැත්වුයේ කුමන පක්ෂයක හෝ දේශපාලන ප්‍රතිරුපය ගොඩනැංවීමට නොවන නිසා විවිධ දේශපාලන අදහස් ඇත්තවුන් සමුපකාර ධජය යටතේ එක්රැස් කර, රටේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන සාකච්චා කරන්න මෙන්ම වර්තමාන පාලන රටාව තුල  සමුපකාරයට හිමි තැන ගැනත් කතා  කරන්න  අපට ඉඩකඩ ලැබුනා. මා මෙතන පටන් ලියන්නේ එම අදහස්ය. 

අපේ ප්‍රධාන කථිකයා වුනේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනසංනිවේදන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාය. එතුමා තෝරා ගැනීමට අප අදහස් කලේ එතුමා උසස් අධ්‍යාපනය ලබා ගත්තේ රුසියාවේ නිසාය. එනිසා  ධනවාදී සමාජයේ බලපෑම මත සමාජවාදී රුසියාවේ  බිඳ වැටීම මෙන්ම  නැවත රුසියාවේ වර්තමාන පිබිදීමද එතුමා සියැසින් දැක තිබුනා. එමෙන්ම අද අපේ රටේ පවතින ආර්ථික සමාජ හා දේශපාලන තත්වය ගැන එතුමාගේ විශේෂ කියවීමක් තිබුනා.
  
නමුත් එම අදහස් පමණක් මෙතැන ලිවීමෙන් පමණක් පලක් නැහැ. වීරසිංහ මහතා පැවසූ අදහස් වල ප්‍රයෝගික ව්‍යාප්තිය ගැන සාකච්චා නොකොළොත් එම අදහස් මනෝමුලික ඒවා පමණක් වෙතැයි මට හිතෙනවා. එබැවින් වීරසිංහ මහතාගේ මතය කෙතෙක් දුරට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේදැයි සලකා බැලීමත්  මේ සමගම  කලොත් එය වඩාත්  පලදායක වේවි. එබැවින් මේ   අදහස් මෙම වෙබ් අවකාශය තුල පුළුල්ව සාකච්චා වෙතැයි මා අදහස් කරනවා. තවත් අයෙකු ඉදිරියේ ලැජ්ජාවකින් තොරව බැලිය හැකි වදන් ලියන පක්ෂ විපක්ෂ සියලුම  මත වලට මෙහි ඉඩ තිබෙනවා. පළමුව වීරසිංහ මහතාගේ අදහස් වල සම්පිණ්ඩනය සලකා බලමු.

 ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා

ලෝකයේ පලමු වරට සමාජවාදී යන වචනය භාවිතා කලේ  සමුපකාර ව්‍යාපාරයේදීය. මුල් අවධියේ පටන්ම කම්කරු ව්‍යාපාරය සමුපකාරය සමග අත්වැල් බැඳ ගෙන තිබුනා. වර්ශ 1866 දී පළමුවැනි  ජාත්‍යන්තරය උද්ඝෝෂණය කලේ කම්කරුවාගේ  අවම සේවා මුරය දෛනිකව පැය 8ක්  විය යුතුය කියාය. පළමුවැනි කම්කරු දිනය සැමරුවේ 1890 වර්ෂයේදීය. නමුත් අද දිනය වන විට  හාම්පුතුන් සහ විවිධ දේශපාලකයන් විසින් කම්කරු දිනය කම්කරුවන්ගෙන් පැහැර ගෙන ඔවුන්ගේ  අභිමතාර්ථ  මුදුන් පමුණුවීමට යොදා ගෙන තිබෙනවා.1917 සෝවියට් රුසියාවේ විප්ලවයෙන් පසු කම්කරු දිනයට ලැබුණු වැදගත්කම වැඩි වුනා.  එකල රුසියාවේ කම්කරු දිනයේ ප්‍රධාන කොන්දේසිය වුනේ ශ්‍රම කොන්දේසිය තහවුරු කිරීමය.

අද වන විට කම්කරුවාගේ භූමිකාව බරපතල අන්දමින් වෙනස්වී ඇත. කායික ශ්‍රමයට තිබු ඉඩකඩ යාන්ත්‍රිකරණය තුලින් සහ රොබෝ  තාක්ෂණයෙන් පුරවා නිෂ්පාදනයේදී බර වැඩ සඳහා ශ්‍රමය යෙදවීම අඩු කර ඇත. එම අඩු ශ්‍රමය යෙදවීමේදීද  ඉතා ඉහල මට්ටමේ ආරක්ෂණ විධිවිධාන භාවිතා කල යුතුය. තවද මුල් කාලයේ පැවතියාක් මෙන් කම්කරුවන් (ශ්‍රමය සපයන්නන්)    සහ හාම්පුතුන් (ප්‍රාග්ධන හිමියන්) අතර අද බරපතල ගැටුම් නැත. එවැනි ගැටුම් පැවති  ධනවාදී ආර්ථික ක්‍රමයක් අද ලෝකයේ  දක්නට නැත. අද දක්නට ඇත්තේ නව ලිබරල්වාදී අර්ථ ක්‍රමයයි.නව ලිබරල් වාදයේ මුලික ලක්ෂණය වන්නේ වෙනස කරන අයෙක් එලියට නොපැමිනිීමය. එහෙත් වෙනස සිදු වෙමින් පවතී. නමුත් කිසිවෙකු විසින් වත් එහි වගකීම භාර ගන්නේ නැත.  නව ලිබරල් වාදී අර්ථ ක්‍රමයේ හරය වන්නේ උපායමාර්ගික කළමනාකරණ ශිල්පක්‍රම භාවිතා කිරීමය. ප්‍රධාන ෂිල්ප ක්‍රමය වන්නේ වැඩ ඒකක ක්‍රමය භාවිතා කිරීමය. නව ලිබරල් වාදය තුල කලින් නොපැවති පුළුල් නිදහසක් ඇත.  මේ  ක්‍රමය තුල කායික ශ්‍රමය  වෙනුවට මානසික ශ්‍රමය මුල් තැනක් ඇත. කම්කරුවාටද ආයතනයේ කොටස් වලින් යම් ප්‍රතිශතයක් හිමිය. එවිට ස්වාමියා සහ සේවක සම්බන්ධතා වෙනුවට ආයතනයේ ඉලක්ක ජය ගැනීමට අරමුණු සහගත සම්බන්ධතා ගොඩ නැගේ.  මේ ක්‍රමය තුල අතීතයේ තිබුනාක් මෙන් කම්කරු  පන්තියේ සටන්කාමි මුහුණුවරක් අද දක්නට නැත. 

මිනිස්  සංවර්ධන  ක්‍රම දෙකකි. 
1. වැඩ ඒකක ක්‍රමය 
     මේ  ක්‍රමය තුල දැවැන්ත වැඩ ඒකාධිකාරයක් ඇත. සේවකයා සිත් ගන්නා සුළු පෙළඹවීම් ක්‍රමයක් තුලින් වැඩ ක්‍රියා වලිය තුල සිර  කර ඇත. උදාහරණයක් ලෙස ඉස්තරම් මෝටර් රථයක් ගැනීමට බැංකු නිලධාරියාට ණය මුදලක් දෙන බන්මුව එම මෝටර් රථය වෙනුවෙන්  සැලකිය යුතු මාසික ඉන්ධන සලාක මුදලක්ද ප්‍රදානය කරයි. ඉන් පසු තමන්ට දී ඇති වැඩ ඉලක්ක සපුරාලීමට   උදේ 7 ට  ගෙදරින් පිටවන ඔහු නැවත ගෙදරට එන්නේ රාත්‍රී 9 ට ය. බැංකුවේ දෛනික  කාර්‍ය සාධන ඇගයීම් කටයුතු කරන්නේ බැංකු ගනදෙනු ආරම්භ කරන උදේ 9 ට පෙර සහ ගනදෙනු අවසන් කරණ  සවස 5 න් පසුවය. මෙපරිද්දෙන්   ඔහුගේ සමාජ ජීවිතය සහ පවුල් ජීවිතය බැංකුව  විසින් උදුරා ගෙන ඇත. 
තම සමාගම විසින් විකුණු භාණ්ඩ නඩත්තු කිරීමට ක්‍ෂේත්‍රය තුල මෝටර් බයිසිකලයෙන් සැරිසරණ ක්‍ෂේත්‍ර සේවකයාගේ ඉරණමද මෙබඳුය. ඔහු පදවන බයිසිකලයට සමාගම විසින් ඉන්ධන සපයයි. ඔහුට සැපයු ඉන්ධන භාවිතා කරමින් ඔහු යන්නේ කොහේටදැයි ලේඛන නඩත්තු කිරීමෙන් සමාගම විසින්  විපරම් නොකලද,සමාගම විසින්  ඔහුට දෛනිකව  සපයන පාරිභෝගික පැමිණිලි ඔහු විසින් නිරාකරණය කල යුතුය. මේ සඳහා  නඩත්තු උපකරණ සහ අමතර කොටස් ඇතුලත් බැගයද   රැගෙන සමහරවිට  දිනකට 100 කට  අධිකව සිය  මෝටර් බයිසිකලයෙන් ගමන් කිරීමට ඔහුට සිදුවේ.  මාර්ග අනතුරු ඇතිවීමේ අධික  සම්භාවිතය නිසා  එමගින්  ඔහුගේ ජිවිතයද ඔහු අනතුරේ හෙලයි.

2. සමාජ ඒකක ක්‍රමය.

සේවකයාද සමාජයේ ජිවත්වන සත්වයෙකු නිසා විවිධ සමාජයීය  අවශ්‍යතාවයන් සපුරාලන  අන්දමින් සේවය කිරීම. මේ නිසා වැඩබිමේ සාමාජිකයන්ගේ  සහ ඔවුන්ගේ දරු පවුල්වල මගුල්, මරණ, පින්කම්   ආදී කටයුතු වලට කාර්යාලයීය වේලාවන් තුලදී සභාගි විය යුතුය. පලාතේ පොදු වැඩ  වලටද  කාර්යාලයීය වේලාවන් තුලදී සභාගි විය යුතුය              

අපේ රටේ මෙම ක්‍රම දෙකේම සංකලනයක් ඇති කිරීමේ උනන්දුවක්ද ඇත.එහි සාර්ථකත්වය තීරණය වන මට්ටම වන්නේ නව ලිබරල් වාදයේ ආයුධ  පාවිච්චි කිරීමේ හැකියාව මතය. පැරණි ධනවාදය යුද්ධ මගින් ජනගහනයේ වර්ධනය  පාලනය කළා මෙන්ම  නව ලිබරල් වාදයද පහත සඳහන් ආයුධ පාවිච්චි කිරීමෙන්  ජනගහනයේ වර්ධනය  සිමා කරයි 

නව ලිබරල් වාදයේ ආයුධ. 
1. ආහාර සංස්කෘතිය  විනාශ කිරීම.
    රාත්‍රියේදී ගෙදර පිසූ ආහාර ගැනීම වෙනුවට සවස  ගෙදර එන විට  කඩේ  පිසූ ආහාර මිලදී ගෙන යාම. මෙ නිසා හදිසියේ  ගෙදරට ගොඩ වෙන අමුත්තා නොසලකා ගෙහිමියන් ආහාර  ගනී.

2. ගුවන් විදුලි තරංග  මගින් අදහස්  පාලනය.  fm  නාලිකා, ජංගම දුරකථන  සහ මුහුණු පොත් භාවිතය  මගින් සිතන්නට පුරුදු සමාජයක් බිහි නොවේ.

3.  මත් ද්‍රව්‍ය, ලිංගිකත්වයට නැඹුරුවීමට මුල් තැන දීම   ආදී  කරුණු ප්‍රචලිත කිරීමෙන් විවාහ නොවීම හෝ දරුවන් නොහැදීම හෝ දරුවන්  අඩුවෙන් හැදීම  සිදු කෙරේ . 

මෙම ආයුධ වලින් ජනගහන වර්ධනය 50% කින් අඩු කිරීමට නව ලිබරල්  වාදයට හැකිය.

නව ලිබරල්  වාදයේ පළමු ප්‍රහාරය රුසියාව විනාශ කිරීමය.පුටින් වැන්නෙකු විනාශ නොකිරීම නිසා  රුසියාවට  විනාශය තුලින් නැවත ජිවය  ලබා ගැනීමට හැකිවිය. නව ලිබරල්  වාදයේ දෙවන  ප්‍රහාරය අරාබිය විනාශ කිරීමය. නව ලිබරල් වාදය විසින් ඇවිලූ අරාබි  වසන්තයේ ප්‍රතිඵල දැන් දැන් ලෝකයම අත්  විඳිමින් සිටිති. නව ලිබරල්  වාදයේ තෙවන  ප්‍රහාරය චීනය අඩපන කිරීමටය. චීනයට කිට්ටුවිම නිසා අපේ රටේ පාලන තන්ත්‍රය නව ලිබරල්  වාදීන්  විසින් වෙනස් කළහ. 

මෙ සියලු දුක් දෝමනස්සයන්ගෙන් මිදීමට නම් අප විසින් කල යුත්තේ නව පන්නයේ සංස්කෘතික මිනිසෙක් තැනීමය . සම්පත් හිමි කරුවාත් ,ඒවා නිෂ්පාදනයට යොදන්නාත් එම නිෂ්පාදන මිලදී ගන්නත් යන තුන් කොටසටම සාධාරණත්වයක්  ඉටු වන සමාජයක් ගොඩ නැංවීමේ දර්ශනයක් බිහි කල යුතුය. එය කල හැක්කේ සමුපකාරයට පමණි.







Post a Comment