(මනෝප‍්‍රිය ගුණසේකර)
පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම  සඳහා ලබාදී තිබු නිර්දේශය තවදුරටත් නීතීය හමුවේ බලරහිත නිර්දේශයක් බව අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය පෙබරවාරී 23 වැනිදා රැස්වී වී මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව එම තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
කන්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ මුල සිටම බලරහිත සහ අවලංගු පත්වීමක් ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය සැළකිල්ලට ගත් අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස කළ පත්කිරී ජනාධිපතිවරයා විසින් අත්සන් තැබු අධිකාරී පත්‍රය ආපසු කැඳවා එම මහාධිකරණ විනිශ්චයකාරවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කර ඇත.
රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස සෘජුව පත්කිරීමේදී අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය වැරදි සහගත බවත්,  එම ක්‍රමවේදය මගින් නීතිඥ සංගමයේ නිල නාමය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය සඳහා ව්‍යාජ ලෙස යොදා ගැනීමක් බවත් නීතිඥ සංගමයේ අදහසයි. කිසිදු නිශ්චිත ක්‍රමවේදයකින් තොරව කරනු ලැබු එම පත්වීම,  දේශපාලන හිතවත්කම් මත හෝ වෙනත් අවශ්‍යතාවයන් මත විනිශ්චයකාරවරුන් පත්කිරීම සඳහා දොරගුළු විවෘත කර දීමක් බවත් පෙන්වා දීමෙන් අනතුරුව රාමනාදන් කන්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ මුල සිටම බලරහිත සහ අවලංගු පත්වීමක් ලෙස අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇතැයි වාර්තාවේ.