Saturday, August 30, 2014

ඌවෙ ඛෙද වාචකය

ඌවෙ ඛේදවාචකය


1818 සහ 1848 විමුක්ති අරගලයට උර දුන් ඌවෙ ජනතාව සුද්දන් විසින් නිර්දය අන්දමින් මර්ධනය කල අතර සුද්දන්ගේ වාසියටම ක්‍රියාත්මක කල ලංකා මැනුම නිසා ඔවුන්ගේ භුමියේ අයිතියද ඔවුන්ට අහිමි උනා. තමන්ට අහිමිවූ ඉඩම් වල කුලී කරුවන් ලෙස කටයුතු කිරීමට ඔවුන්ගේ අභිමානය ඉඩ නොදුන් බැවින් වතු ආර්තිකය පවත්වා ගෙන යාමට ඉංග්‍රීසින්ට දකුණු ඉන්දියාවෙන් දෙමල කම්කරුවන් ගෙන්වන්න උනා.මේ  නිසා බොහෝ උවේ වාසින් පහල ඌවට සංක්‍රමණය උනේ එහි ඉංග්‍රීසින් කැමැති දේශ ගුණය හෝ කෝපි  හෝ තේ වගාවට සුදුසු පරිසරය නොතිබුන නිසයි.තමන්ට සතුරු ඌවෙ වැසියන්ට මුල පටන්ම සුද්දන් දැක්වුයේ සතුරු ආකල්පයක්.ඔවුන් හිතාමතාම උවේ වැසියන් නොසලකා හැරියා.මේ තත්වය 1947දි රටටම දේශපාලන නිදහස ලබුනු විට වෙනස්  විය යුතු උනත් එසේ උනේ නැහැ. නිදහසින් පසු බලයට පැමිණි සියලු පාලකයන් ඌවට දැක්වුයේ කුඩම්මාගේ සැලකිල්ලක් විතරයි.
මුලදී යුරෝපිය වතු පාලකයන් සහ ඉන්දීය වතු කම්කරුවන් ඌවෙ බහුතර දේශපාලන බලය ලබා ගත් අතර,පුරවැසි පනත හේතුවෙන් ඔවුන් ඉවත් උනත් එතැන ඇතිවූ රික්තය ලංකාවේ වෙනත් පළාත් වලින් ඌවෙ පදිංචියට තාවකාලිකව ආ අය විසින් අත්පත් කර   ගත්තා. මේක මුලින්ම කලේ ජස්ටින් කොතලාවල නොහොත් ජැක් කොතලාවල. අද ඔහුගෙන් පැවත එන්නන් ඌවෙ ඉන්නවාද? ඉන්පසු සුද්දන්ගේ වතු වල තේ ප්‍රවාහනයට ආපු ඩයස්ලා මෙන්ම තේ වැවීමට ආපු සමරවීරලාද  උවේ දේශපාලන බලය අතට ගත්තා. අද වන විට ඩයස් පවුලේ ගෑනු ළමයින් සමග යාලු වෙන වත්තල ප්‍රනාන්දු ඌවෙ උරුමක්කාරයා වෙලා. ඌව පළාතේ ඇති  රජයේ රස්සාවලට වෙනත් පළාත් වලින් ආපු පෙරේරලා, සිල්වලා උවේ පුත්‍රයන් වෙලා රඟ පැවත් මේ අයගේ සැබෑ උනන්දුව තමන් ඉපදුන පලාතට සේවය කිරිමට විතරයි. ඌව ඔවුන්ට නවාතැන් පොලක් පමනයි. එපමණක් නොව මැණික් හොයන්න ආපු සොයිසලා මෙන්ම  ව්‍යාපාර කරන්න ආපු විදානගාමගේලාත්, බුධදාසලාත් ඌවෙ භුමි පුත්‍රයෝ නෙමෙයි මේ තත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේම අඩුවැඩි වශයෙන් දකින්නට තියෙනවා.අද වන විට ඌවෙ භුමි පුත්‍රයන් ලෙස බලු බැල්මට පෙනෙන්න ඉන්නේ ලොකුබන්ඩාරලත් විද්‍යරත්නත් විතරයි ඌව දියුණු වෙන්න නම් 1848දි ඌවෙ භුමි පුත්‍රයන්ගෙන් ගිලිහුණු දේශපාලන බලය නැවතත් ඔවුන්ට ලැබෙන්න ඕනෑ.

ඉහල ඌව සහ පහල ඌව යනුවෙන් දෙකොටසක් ඇති ඌව පලාතේ   තේ ආර්ථිකය තිබෙන්නේ ඉහල ඌවෙය.සුද්දන් සමග ඇති විරසක භාවය නිසා දකුණේ ජනතාව අතර මෙන් තේ ආර්ථිකය ඉහල ඌවෙ ජනතාව අතරට ආවේ නැහැ.ඔවුන් විශාල තේ වතු අද්දර කුඩා ගම වල ජිවත්වෙමින්  යැපුම් ආර්ථිකය මත තම ජීවිකාව ගෙන ගියා.එබැවින් එබැවින් ආරම්භයේ පටන්ම ඌවෙ  ග්‍රාමීය ආර්ථිකය දුප්පත්ය.පැරණි පොතපත බලන විට පෙනෙන්නෙ කුරහන් බුසලකට ඉඩම් උකස් කල සිද්ධීන්ය. රටේ අන් පලාත් විශේෂයෙන්ම බස්නාහිර පළාත මේ ඉහල ඌව සහ පහල ඌව යන දෙකොටසම මුලදී සැලකුවේ ඔවුන්ගේ සුවපහසු දිවිය පවත්වා ගෙනයාමට අවශ්‍ය  ගෘහ සේවකයන් එනම් බණ්ඩාලා ,සහ මැණිකලා සපයන "බයි " මිනිසුන් ඉන්නා නුගත් ප්‍රදේශ ලෙසින්ය.
1950 ගණන් වලදී ඉහල ඌව දියුණු උනේ රජයේ අනුග්‍රහයෙන් නොව එකල අලුතින් හඳුන්වා දුන් ආර්ථික වගාවන් වන ගෝවා,බෝංචි, ආර්ථිකය නිසයි. ඔවුන් අතරේ සමුපකාර ක්‍රමය හා බැඳි චින්තනය මැනවින් තිබුනා. එබැවින් ඌවෙ බොහෝ සමුපකාර ව්‍යවසායන් බිහිඋන අතර ඉන් ප්‍රධාන එක උනේ උඩපළාත ගොවි ද්‍රව්‍ය නිපදවීමේ සහ අලවි කිරීමේ සමුපකාර සමිතියයි. සාමාජිකයාගේ උපතේ සිටම මරණය දක්වාවූ ජිවන මගට උර දුන් මෙම සමිතියේ නිෂ්පාදන දිවයිනේ වෙනත් පළාත් වල  අලවි කිරීමට කොළඹ,මහනුවර,කුරුණෑගල,අම්පාර ආදී පළාත්වල අලවි මධ්‍යස්ථාන තිබු න  අතර  ඒකට කිට්ටුවෙන් හරි තියන්න පුළුවන් උනේ සඳලංකාව සමුපකාර සමිතිය විතරයි.
1971දී රාජ්‍ය  නිලධාරින් අමන වීදියට ඒක පාරිභෝගික සමුපකාරයක් කරන්න ගිහින් ඒක එහෙම පිටින්ම කාලා දැම්මා. මිට සමගාමිව එහෙත් මදක් පහත් මටමින් ඉහල ඌවෙ තවත් සමුපකාර සමිති තිබුන අතර  පහල ඌවෙද එවැනිම  සමුපකාර ව්‍යවාසයක්තිබුනා. එහෙත් මේ සියලු සමුපකාර ව්‍යවසායන් අද වන ආර්ථික වශයෙන් නටඹුන් බවට පත්වෙලාඉවරයි. 
ඌවට අසාධාරණයක් සිදුවී ඇති බව ජනාධිපති තුමාද පිළිගෙන ඇති බව එතුමාගේ  පහත සඳහන් ප්‍රකාශයෙන්ද පැහැදිලිවේ. 


"ඉතිහාසයේ පටන් ඌවට සිදු වූ අසාධාරණය වත්මන් ආණ්ඩුව යටතේ නිවැරදි කරමින් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඌවට එලෙස අසාධරණයක් සිදු වූයේ එහි වැසියන් අධිරාජ්‍යවාදයට එරෙහිව නොබියව නැගී සිටීම නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

සෙවණගල අධ්‍යාපන කාලපයට අයත් පාසල් කිහිපයක මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සිසු අයිතියට පවරාදීමෙන් පසු ජනාධිපතිවරයා අද මෙම අදහස් පළ කළා. ඉකුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේද ඌවට විවිධ කෙනිහිලිකම් සිදුවූ බවයි එහිදී සිහිපත් කෙරුණේ.

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට විකුණා දැමීම ඊට එක් උදාහරණයක් ලෙස ප‍්‍රකාශ කෙරුණා. එහෙත් වත්මන් ආණ්ඩුව විසින් එම සීනි කර්මාන්ත ශාලාව නැවත රජයට පවරා ගනිමින් ඌවේ වැසියන්ට සාධාරණය ඉටු කළ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

තණමල්විල හම්බේගමුව පුරාණ රජමහා විහාරස්ථානයද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එම විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. "
- See more at: http://nethfm.com/article/

එහෙත් එතුමා ගැටලුව හඳුනා ගත්තත් කලයුතු ප්‍රතිකාරය නම් තවමත් හඳුනා ගෙන නැත.වර්තමාන රජය කරන්නේදඌවෙ සම්පත් සුරා කෑමය. හොඳම උදාහරණය උමා ඔය ව්‍යාපෘතියයි.අඹේවෙල ව්‍යාපාරය දියුණු කර එමගින් රක්ෂණය වන ජාල සම්පත මගින් ඌවෙ ජල හිගයට විසඳුම් දෙනවා වෙනුවට කරන්නේ ඒ වතුර ටික අන් පළාතකට ගෙන ගොස් නම පමණක් ඌවට ඉතිරි කිරීමයි.

පහළ ඌව වී, උක් ,සහ පලතුරු වැවීමට යෝග්‍ය උනත් ඒකට ගැලපෙන මහජන ව්‍යවසායක ක්‍රමයක් හරියටම ආවේ නැති නිසා ඉහල ඌව සමග බලනවිට පහල ඌව ආර්ථික සහ දේශගුණය ඇති දුප්පත්.
ඌවෙ දුප්පත් කම නැති කරන්න කියා  අන් පළාත් වලින් ඌව පලාතට දෙගොල්ලක් ආවා.

1.වෙළඳුන් 

2.රජයේරැකියාලාභින් ,


මෙහෙම පුද්ගලයන් ඌවට එන ඒක වරදක් නෙමෙයි. නමුත් වරද මේ අය ඔවුන්ට තම පළාත් වලදී තමන්ට නැති දේශපාලන බලය මෙහෙදී තහවරු කර ගැනීමයි.ඔවුන් එසේ තම දේශපාලන බලය තහවුරු කර ගත්තේ ඌවෙ පාරම්පරික පුද්ගලයන්ගේ ඉදිරියට එම වලක්වා කටයුතු කිරීමෙන්ය. ඔවුන් සැලසුම් සහගතව කටයුතු කර එසේ ඉදිරයට ආ බණ්ඩාරලා,රාජරත්නලා ,වික්‍රමරත්නලා  විරවන්නිලා, ගුණසේකරලා,ආදීන්ගේ දෙවෙනි පරම්පරාව අපිට නැති කළා. ඒ විතරක් නෙමෙයි.ඌවෙ පුත්‍රයන් ලෙස ඉදිරියට දෙවෙනි පරම්පරාවෙන් ඉදිරියට ආ ඔවිටිපාන ජයතිලක,බණ්ඩාර බාදනගේ වැන්නවුන්ගේ ගමන් මග සම්පුර්ණයෙන්ම මකල දැම්මා.

මේසේ පිට පළාත් වලින් ආපු මිනිස්සුන්ට ඌව නවාතැන් පොලක් නිසා ඔවුන්ට ඌවෙ සංවර්ධනයේ පදනම වන සමුපකාරය ගැන අවබෝධයක් ඇති කර ගැනීමට  උවමනාවක් තිබුනේ නැහැ.ඔවුන් සමුපකාරය දුටුවේ තම පුද්ගලික දියුණුවට අකුල් හෙලන ආයතනයක් ලෙස සහ තමාට සුරා කෑමට සම්පත් ඇති ආයතයක් ලෙසටය.මේ නිසා ඔවුන්ගෙන් ඌවෙ පදනම වන සමුපකාරය සංවර්ධනය කිරීමට කිසිදු සේවයක් ඉටු උනේ නැහැ. ඌව සංවර්ධනය කිරීමට නම සමුපකාර චින්තනය මත කටයුතු කිරීම  හැර අන් මගක් නැහැ.


Monday, July 28, 2014

විදුදය කඳුරට මිතුරෝ ...4



අද මේ ලියන්න යන්නේ අපේ විදුදය කඳුරට  මිතුරෝ පසුගිය මාසයේදී සහභාගිවු, ගේය පදමාලා  (ගීත පද රචනය) ගැන ලියා ඇති  විචරාත්මක   පොතක් දොරට වැඩීමේ උත්සවක් ගැනයි. භික්ෂුන් වහන්සේ නමක් විසින් රචනා කල ගේය පදමාලා ගැන තමයි මේ පොත ලියල තියෙන්නෙ. මේ ගේය පද රචකයා වන්නේ පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්ය.මේ උත්සවයේ තිබුණ තවත් විශේෂ අංගයක් උනේ පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්ගේ පදමාලා ගැයූ ප්‍රවීන ගායක ගායිකාවන් රැසක්ම උත්සවයට එම ගීත ගැයීමයි . එබැවින් අපට ඔවුන් දැකබලා ගැනීමට මෙන්ම  එකී ගායනා සජිවව ඇසීමටද  භාග්‍ය උදා උනා. 

සාමාන්‍යයෙන් පොතක් දොරට වැඩීමේ උත්සවයක් තියෙන්නේ කොලඹ  උනත් මේ උත්සවය තිබුනේ අනුරාධපුරයේ වීම තරමක විශේෂයක්. මේ උත්සවයට සහභාගිවීම  අපිට කිහිප ආකාරයකින්  වැදගත් එකක් උනා . ප්‍රධාන කාරණය  උනේ මේ පොත ලිව්වේ අපේ විදුදය කඳුරට මිතුරන්ගේ සක්‍රිය සාමාජිකයෙක්වූ අනුරාධපුරය පුරා ප්‍රවීන නීතිඥ මහත්මයෙක් ලෙසට නමක් රන්දා ඇති ආර්.පි.බි.ඉලංගසිංහ මහතා වීමයි.(අපිට නම් ඉතින් ඉලන්ගෙ  තමයි) අනෙක් කාරණය නම් මේ  උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වීමට නම් කර තිබුනේ ජ්‍යෙෂ්ඨ   මහාචාර්ය    සුනිල් ආරියරත්න මහතාට වීමයි. අපි සුනිල් එක්ක 1968 වසරේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේදී එකට සිප්සතර හැදෑරු නිසා මේ පැරණි සගයාගේ දේශනයක් ඇසීම මෙන්ම ඔහු සමග එදා අපි ගත  කල සරසවි දිවියේ මට්ටමෙන් කථා බස් කිරීමට අපි මහත් කැමැත්තක් දැක්වුවා. එබැවින් අපි කට්ටිය නුවර ඉඳන් අනුරාධපුරයට ගියා. මේ ගමන යන්න තීරණය  කල තවත්  හේතුවක්  උනේ එකල අප සමග සිටි එහෙත් මෙතක් කලක් මුණ නොගැසුණු පැරණි සරසවි සගයන් කිහිප දෙනෙක් හෝ නැවත මුණගැසීමට තිබුන ආශාවයි. ඒ ගමනේ විස්තර පහත දැක්වෙන චායාරුප ඇසුරින් ලියනවා.


ඉස්සරවෙලාම තියෙන්නේ පොතේ නම " ගි කොඳ වන පුබුදු කළ යතිවර සඳ "








අපි අනුරාධපුරයට යන ගමන් දිවා ආහාරය ගැනීමට හෝටලයකට යන්න නියමිතව තිබුනත් ඒක හදිසියේම වෙනස් කරලා අපේ සරසවි සගයෙකුවු ප්‍රේමරත්නගේ ගෙදරට  ගියා. සරසවියේදී බටහිර ඉතිහාසය ගැන විශේෂ උපාධියක් හැදෑරු ප්‍රේමරත්න මට නම් මුණ ගැසුනේ වසර 42කට පසුවයි. හැඩරුව එතරම් වෙනස් වෙලා තිබුනෙ නැහැ. හැබැයි හිතවත්කම එදා සරසවියේදී සිටියා වාගේම තමයි.  පරිපාලන සේවයේ ඉඳලා තමයි ප්‍රේමරත්න විශ්‍රාම ගෙන ඇත්තේ.  

මේ ප්‍රේමරත්තගේ ගෙදර විවේක සුවයෙන් ඉන්නා අපි කට්ටියෙන් කොටසක් 











මේ පහල  පින්තුරයේ ඉන්නෙ මැද කොලපාට කමිසයකින් සැරසිලා ඉන්නේ ප්‍රේමරත්න තමයි. එයාගේ වම් පැත්තේ ඉන්නේ නෝනා මහත්තයාඑයාට  ද කුණුණෙන්  ඉන්නේ දුව. වම් පැත්තේ ඉන්නේ ප්‍රේමරත්නගේ ගෙදරට යන පාර කියා දුන් දිසාපති වරයෙකු ලෙස විශ්‍රාම ගත් උඩගේ. දකුනේ කෙරවලින්ම   ඉන්නේ නීතිඥයෙකු ලෙස තවමත් කටයුතු කරන චන්දරේ.


















මේ ඉන්නේ ඉලන්ගෙට අදාළ පොත ලියන්නට මුලිකවූ ගේය පද රචක පල්ලේගම හේමරතන නායක හාමුදුරුවොයි. ගි පද රචනයට තමන් වහන්සේ යොමුවූ ආකාරය සහ මෙතෙක් කල් ගීත රචනයට අදාලව ආගමන්  මග, වාගේම ඒ ගමනේදී  ඇතිවූ බාධක මෙන්ම ලැබුණු උපකාර  ගැනද  උන්වහන්සේ පැහැදිලි කළා.







මේ ෆොටෝ එකේ මැද ඉන්නෙ පොතේ රචකයා වන  ඉලන්ගෙ. උඩුරැව්ලයි කොන්ඩෙයි දෙකම සුදුයි.ඉලන්ගේ විශ්ව විද්‍යාලයේදී හැදෑරුවේ භූගෝල විද්‍යාව. ඒ උනත් ඉලන්ගේ  ඒ විෂය තුලින් තම ඉදිරි ජිවන මග සකස් නොකර  ඉදිරියට ගියේ  නීතිඥ වෘතියෙන්ය.  ඉලන්ගේ එකල  පැපිලියාන සුන්ත්‍රා දේවි පිරිවෙනේ භූගෝල විද්‍යාව උගන්නපු කාලේ  මට හොඳින් මතකයි. එකල මමත් ඒකෙ රුපියල් 120 පඩියට වාණිජ විද්‍යාව ඉගැන්වුවා. හැබැයි ඒ කාලේ ඉලන්ගේ කොන්ඩේ පැත්තට පිරපු හැන්ඩියෙක් .මුල් කාලයේ පටන්ම ඉල්න්ගෙගේ ඇඟේ සංගීතය තිබුන බව මතක් වන්නේ ලැබුණු කෙටි විරාමයකදී පවා ගුරු විවේකාගාරයේදී ඉලන්ගේ මහත් සතුටින්  එකල මනමේ රඟ දැක්වූ අයුරු   සිහි කිරීමෙන්ය.  දකුණු පැත්තේ ඉන්නෙ භාණ්ඩාගාරික සුනිල්.  සුනිලුත් එකල සුභද්‍රාරාමයේ  ඉගැන්වුවා. වම් පැත්තේ ඉන්නෙ අපේ සංගමයේ සභාපති සූරී.





පහල ෆොටෝ එකේ ඉන්නෙ ආරාධිත දේශනය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා. ගීත සාහිත්‍ය ගැන සම්පුර්ණ පැයක කාලයක් පුරා හරබර දේශනයක් ඇසිමේ භාග්‍යය අපිට ලැබුනා. එපමණක් නොව ඊට පසු සුනිල් සමග සුහද පිළිසඳරක යෙදෙන්නත් ඉඩ ලැබුනා.









මෙතන ඉන්නේ උතුරු මැද පළාතේ ආණ්ඩුකාර  කරුණාරත්න දිවුල්ගනේ මහතා. එතුමා සිය කතාවට අමතරව පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගේ රචනයක්වූ අතීතය සිහිනයක් පමණයි යන ගීතය ගායනය කළා.  අත්තෙන්ම එය සොඳුරු අවස්තාවක්. 








මේ පල්ලේගම හාමුදුරුවන්ගේ තවත් ගීතයක් ගයන අමරසිරි පිරිස් මහතා  







නන්දා මාලනී ගීත කෝකිලාවිය මේ උත්සවයේදී හේමරතන  නායක හිමියන්ගේ තවත් ගීතයක් ගායනා කලා. 












උත්සව ශාලාව පිරෙන්නම රසිකයෝ සිටි අතර ලඟින්ම පෙනෙන්නේ උකුවෙල සහ මල්ලිකා යුවල සහ විරේ සහ එයාගේ නෝනා.






මෙතන ඉන්නෙ උඩුවාවෙල , සුනිල් සහ ජයේ  






මේ ජාතියේ මහා ගන්ධර්ව අමරදේව ශුරින් සිය ලයාන්විත හේමරතන හිමියන්ගේ පද මාලාවක් ගැයූ අයුරු   











පහල ෆොටෝ එකේ වම් කෙරවලේ ඉන්නා විපුලසේන රාජපක්ෂ අපිට මුණ ගැහුනේ අවුරුදු 42කට පසුවයි. අද  වනවිට විදුහල්පති වරයෙක් ලෙස විශ්‍රාම ගෙන  ඉන්නා  ඔහුගේ හමුවීම විශේෂ එකක් උනේ අපි සියලු දෙනාම පාහේ  හිතා  සිටියේ  71 jvp අරගලයේදී එකල සටනේදී මියගිය සරසවි සගයන් අතරේ ඔහුත්  සිටි බවයි .එකල අප විවිධ දේශපාලන මත  නිසා සහ හැදෑරු විවිධ පාඨමාලා නිසා විවිධව සිටියත් අප අතරේ තිබු මිතු දහමේ එකමුතුවට ඒ විවිධ දේශපාලන මතිමතාන්තර හෝ විවිධ පාඨමාලා හරස් වුයේ නැහැ.   අද දින වන විට සරසවි තුල  දේශපාලන මතිමතාන්තර වෙනස් කම නිසා සිසු කොටස්   අතර  තිබෙන ලේ හැලෙන අරගල එකල අප අතරේ තිබුනේ නැහැ.          









උත්සවයෙන් පස්සේ රැස්වූ දහස් සංඛ්‍යාත ජනකාය අතුරින් විදුදය මිතුරන්ට  රාත්‍රී භෝජන සංග්‍රහයක් ඉලන්ගේ විසින් පැවැත්වූයේ උතුරු මැද පළාතේ මහා ඇමති තුමාගේ නිල නිවසේදීයි. පහල පින්තුර ගත්තේ එම නිලනිවස තුළදීයි . 








වීපුලේ නැවත දැකීමෙන් පසු අපි ආයෙත් ටික වෙලාවක්  71 j.v.p. අරගල යුගය ගැන සිහි කිරීම නොවැලක්විය හැකි  කරුණක් උනා.  එම මතවාදය වැරදි උනත් එය  සත්‍ය එකක්  යයි තම සිතට එකගව පිළිගෙන ඒ වෙනුවෙන්ම සටන් කර තම ජීවිතය පුජා  කල අපේ සමහර මිතුරු මිතුරියන්ගේ  නම් අපිට මතක් උනා. අපේ වැඩි  දෙනාගේ මතකයට  ආ එවැනි එක් නමක් නම් ඇග්නස්. සමහර දෙනෙක් නැවතුනේ සිර කඳවුරු තුල. අපේ විශ්ව විද්‍යාලයත් එකල සිරකඳවුරක් කර තිබුනා.  විපුලේගේ සහ සුනිල්ගේ පින්තුරයක් පහලින් තියනවා.













































මාතෘකාවට අදාල නැතත් මේ ෆොටෝ එක දිහා බලන්න නම් වටිනවා . මේ මුල්ගම්පොළ සුනිල්ගේ ගෙදර ඉඳලා පෙනෙන මහනුවර කොන්ක්‍රිට්  වනාන්තරය. 






















මේ එම කොන්ක්‍රීට් වනාන්තරට උදසන හිරු පායන  අන්දම   

Sunday, July 13, 2014

නොදනිමි කාගේ දොසා ---- 3 වන කොටස

නොදනිමි කාගේ දොසා ............ 2 කොටස

වසර 47 කට පෙර මා සමාජ විද්‍යාව සහ මනෝ විද්‍යාව යන විෂයයන්ගේ මුලික කොටස් ඉගෙන ගත් අවධියේදී (එකල  මා හැදෑරු මුලික උපාධි පාඨමාලාවේ විශය මාලාවේ elements of sociology & psychology නමින් විෂයයක් විය.)මිනිසා සමාජ සත්වයෙකු බවට ඉගෙන ගත්තා මතකය. 
මිනිසා සමාජ සත්වයෙකු නම් ඔහු අයත් සමාජය ගැන හරියටම  තේරුම් නොගෙන ළමා, ගැටවර, තරුණ, වැඩිහිටි සහ මහළු ආදී වශයෙන් පමණක් ඔහු බෙදා ඔහුගේ හැසිරීම් සහ වටිනාකම් තේරුම් ගැනීමට යත්න දැරීම වැරදි යයි මම සිතමි. එසේ වැරදියට තේරුම් ගත් පුද්ගලයන්  සමග වැරදියට සම්බන්දතා පවත්වා එහිඅනිවාර්ය  ප්‍රතිඵලය වන්නේ  වැරදි උත්තර ලැබීමය. එවිට අදාල අය සමග හරියට කටයුතු කරන්න බැරි  යයි ඔවුන්ටම දොස් පැවරීම වෙනුවට  කල යුත්තේ අදාළ කණ්ඩායම හරියට හඳුනා ඒ අනුව අපේක්ෂිත ප්‍රතිඵලය ලැබීම මුලික  කර ගත්  සම්බන්දතා පැවැත්වීමය. එවිට අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ යයි 50% වැඩි විශ්වාසයකින් සිතිය හැක.  එබැවින් මා දැන් සමාජය බෙදන්නේ මෙසේය.

1. 20 වන සියවසේ මුල් ජනයා එනම් බැලු බැල්මට වයස අවුරුදු 70ට වැඩි අය 
 බොහෝ දෙනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මාධ්‍ය මහා විද්‍යාල වල  උගත්තෝ වුහ.  සිංහල සහ ඉංග්‍රීසි මැනවින් දනිති. භාවිතා කරති. ඉතිහාසය දනිති. සමහර දෙනාට පාලිද පුළුවන.ආචාරශීලීත්වය හඳුනනි. මත්වතුර භාවිතා කරන්නේ සාමාන්‍ය බටහිරයන් මෙන් සමාජයට එකතුවීමට පමණි.  පරිගණක ගැන උනන්දුව අඩුය. ජංගම දුරකථනය තිබෙන්නේ ඇමතුම් ගැනීමට සහ ඇමතුම් දීමට පමණක් යයි සිතති. තම අදහස් ඉදිරිපත් කිරීමට හෝ ඇසීමට තැනක් හෝ ඉඩක් නැති ඔවුන් ඉඩක් ලද විට අන් අයට එපා වන තරමටම කථා කරති. 

2. 20 වන සියවසේ මැද  ජනයා එනම් බැලු බැල්මට වයස අවුරුදු 60ට වැඩි මාද ඇතුලත් අය. 
මේ අයගෙන්  වැඩි දෙනා මහා විද්‍යාල වලින් සින්හල මාධ්‍යයෙන් මහා විද්‍යාල වල උගත්තෝ වුහ.මහා විද්‍යාල  තැනුවේ 56 බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන ඇමතිවු කලුගල්ල  මැති තුමාය. ඒවායේ තිබුනේ මුලික පහසුකම් පමණි. අඩු පහසුකම් නිසා ලමා කල විඳි දුෂ්කරතා වලට ඔවුන් උත්තර දුන්නේ මධ්‍ය මහා විද්‍යාල උගතුන්ට වඩා හොඳින් ඉගෙන ගැනීමෙන් නොව, අඩු අධ්‍යාපනය නිසා ලද අඩුපාඩුව මැකීමට  පවතින ක්‍රමයට පිටින් යාම ආරම්භ කිරීමෙනි. මේ නිසා රටේ හර පද්ධතිය විනාශවීම ඇරඹින.  56 දරුවෝ ඔවුන්ය. ඉංග්‍රීසි දන්නේ නැත. යමෙකු පසුව හෝ උත්සාහයෙන් ඉංග්‍රීසි  ඉගෙන ගත්තේ නම් එයද කලේ එය නැති බැරි බව තේරුම් ගත් විට පමණි. ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වීමේදී කතාව මුලදී ඉංග්‍රීසියෙන් අරඹා පසුව සිංහලට මාරු විය යුතුය. පාලි දන්නේම නැත. පරිගණක ගැන උනන්දුවක් පෙන්නුවද ඒ  ගැන ඇති දැනීම සහ භාවිතය අඩුය. ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ ඇමතුම් සඳහා මෙන්ම පණිවිඩ යැවීමට පමණි. මත් වතුර පාවිච්චි කරන්නේ බේබද්දන් මෙනි.  ගහ මුල වාඩිවී එක හුස්මට රා කට්ට බීපු අන්දමටම අරක්කු වීදුරුව හිස්කර දමන නිසා මත් වතුර බිඳකින් පළමුව තොලට,දෙවනුව දිවට, තෙවනුව උගුරට ,සිව්වැනුව ආමාශයට, අවසානයදී සිතට දැනෙන රසය නොහඳුනති. අන් අයගෙන්  තම පංගුව බේරා ගනිමට මෙන්ම පුළුවන් නම් අන් අයගේ පන්ගුවද ඞැහැ  ගැනීමට සිතා  මත් වතුර කටේ දිවේ නොගෑවීම කෙලින්ම උගුරට හලා ගනිති. අවසාන ප්‍රතිඵලය වන්නේ සොඳුරු මිනිසෙකු වෙනුවට පිස්සෙකු නිර්මාණය වීමය. 

  මේ අයගෙන් වැඩි දෙනා උසස් අධ්‍යාපනය ලැබුවේ එකල අඩුපහසුකම් තිබු කොළඹ විශ්ව විද්‍යාලය,විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය, විද්‍යොදය විශ්ව විද්‍යාලය ආදියේදීය. බාහිර උපාධි ධරයෝ මීටත් වඩා අඩු පහසුකම් මැද විෂය ගැන නොව ලැබෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමට පමණක් උගත්තෝ වුහ. මේ හානිය වඩාත් තීව්‍ර වන්නේ 1971 j.v.p. අරගලය සාර්ථක කරගැනීමට  මේ මද දනුම නිසා ලද පිඩාවෙන් පෙළුණු  ශිෂ්‍ය ප්‍රජාව උපකරණයක් ලෙස භාවිතා කල නිසාය. ඔවුන් ලද මද දැනුම ගැන නොසලකා, ලද සහතිකය මත පදනම්ව රජයේ රැකියා දීම නිසා ප්‍රතිපත්ති සම්පාදන තලයට පිවිසි මේ අයගෙන් අද රටට ප්‍රායෝගික වශයෙන් සිදුවී ඇත්තේ හානියකි.  







Saturday, July 12, 2014

පලංචියේ පදිංචි උනොත් හැබැටම මොකද වෙන්නේ ????

පලංචියේ පදිංචි උනොත් ??????????

2013 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින සිය බාල සොහොයුරියගේ නිවසේ පැවති වාර්ෂික දානමය පිංකම අවසානයේදී නැවතත් සිය නිවස කරා පැමිණීමට බස් රියට ගොඩවූ සිලදාසගේ සිතේ සහනයක් නොවිය.     







Friday, June 13, 2014

නොදනිමි කාගේ දොසා............. 1 කොටස

නොදනිමි කාගේ දොසා.............1 කොටස

වර්තමාන පරපුර සාර ධර්ම අතින් බොහෝ දුරට පිරිහි ගොස් ඇතැයි වැඩි දෙනෙක් පවසන කතාව ඇත්තද කියා සාකච්චා කිරීමේ අදහසින්  මේ ලිපිය ලියමි. මා ගත කල ළමා,ගැටවර,සහ තරුණ වියේදී විවිධ අවස්ථා වලදී ප්‍රමාණයෙන්  බොහෝ ගණනක්වූ වැඩිහිටියෝ විවිධ මානයන් ඔස්සේ මගේ ජිවිතයට සම්බන්ධ වූහ.   එම සම්බන්ධතා  සහ ඒවායෙන්  ඇතිවූ බලපෑම ගැන අද දින යේදී මතක් කිරීමේදී  මගේ මතකයට එන්නේ ඉන්  කිහිප දෙනෙක් පමණි. පොදුවේ ගත් කල එකල සිටි වැඩිහිටියෝද  අප සාරධර්ම අතින් පිරිහුණ කොටසක් ලෙසින් එකලදී  නම් කල බව නම්  මට හොඳින් මතකය. ඔවුන්  එසේ හැඳින්වූ නමුත් ඇත්ත වශයෙන්ම අප  පිරිහුණ අයවලුන්ව නොසිටියෙමු. මා එසේ සිතන්නේ තවමත් මා හිරේ විලංගුවේ වැටී නැති බැවින්ය. නමුත් වැරදි කරුවන් පමණක් නොව අහිංසකයන්ද හිරේ ගොස් ඇති බවට ඇති  කථා නිසා මගේ මේ මතය හරියටම හරිදැයි මා දන්නේ නැත. එහෙත් මෙම ලිපිය සඳහා එකී මතය නිවැරදි යයි උපකල්පනය කරමි. 

  ප්‍රශ්නය වී තිබෙන්නේ සාරධර්ම පිරිහීමක් නොව අප අනෙකා හඳුනා ගැනීමට භාවිතා කරන මිනුම් දන්ඩේ වැරැද්දක් නොවේද? අප අනෙකා හඳුනා ගැනීමට බොහෝ විට අඩුවැඩි වශෙයෙන් භාවිතා කරන්නේ බටහිර න්‍යායයි. ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේදී ආර්ථික මිනිසාගේ ගති ස්වභාවය මෙන්ම මොල්තස්ගේ ජනගහන න්‍යායද  උගතිමු.  කලමනාකරණ විද්‍යාව  හැදෑරීමේදී  x න්‍යාය, y න්‍යාය, සහ z න්‍යාය,අණුව අන්‍යන්ගේ හැසිරීම් රටාවන් උගතිමු. මිනිසුන් හැසිරෙන්නේ මැෂ්ලෝගෙ පිරමිඩ් න්‍යාය අණුව යයි සහතික වීමු. අවශ්‍ය තැන් වලදී විවිධ උපකල්පනද භාවිතා කළෙමු. එසේ ලද විෂයානුබද්ධ දැනුම සමාජයේ විවිධ අවස්ථාවලදී විවිධ සමාජ ස්තරයන්හිදී භාවිතා කළෙමු. සමහර අවස්ථා වලදී අපේක්ෂිත ප්‍රතිඵල  මෙන්ම අනපේක්ෂිත ප්‍රතිඵලයන්ද ලදිමු. නමුත් මේ මිනුම් දඬුවල අදට ගැලපෙන වලංගුතාවය කුමක්ද?
ආර්ථික විද්‍යාවේ සිටින ආර්තික මිනිසා තම සීමිත සම්පත් තුලින් අසීමිත ආශාවන් තෘප්තිමත් කරගැනීමට හැමවිටම කටයුතු කරයි.වැඩිවන  ජනගනගහනය  පාලනය කිරීමට  ගංවතුර නායයාම් වැනි ස්ව්හාවික උවදුරුද, යුද්ධ කලකෝලාහල වැනි මිනිසාගේ ක්‍රියාකාරකම් හේතු වන බැවින් ඒවා නොවැලැක්විය හැකි කරුණු බව මොල්තුස් ජනගහන විද්‍යා වෙදී  කියයි. කලමානකරණයේදී හමුවන  x න්‍යාය, y න්‍යාය, සහ z න්‍යාය,අණුව නම් x මිනිසා සර්ව අශුභාවාදිය. දඬුවම් දීම මගින් පමණක් ඔහු පාලනය කල හැක.   y මිනිසා සර්ව ශුභාවාදිය. දිරිගැන්වීම් මගින් ඔහු හැසිරවිය හැක. පෙරදිග රටක්වූ ජපානයෙන් එලිබැස ගත්  z න්‍යායට අණුව පුද්ගලයෙකුගේ හැසිරීමට ඔහු අයත් සංස්කෘතිය බලපායි.ඒ ඒ අවස්ථාවට උචිත පරිදි එම න්‍යායන් අනුව කියවෙන පුද්ගලයා හැසිරවීමෙන් අපේක්ෂිත ඉලක්කය කරා ලඟා විමට යමෙකුට පිළිවන. 

ඇත්තෙන්ම වර්තමාන සමාජය තේරුම් ගැනීමට මේ මිනුම් දඬු පමණක්ම සැහේද? පරිගණක ශාක්ෂරතාවය වැඩිහිටියන්ට වඩා ඉක්මනින් කුඩා ළමුන් ග්‍රහණය කරගැනීමට බලපාන හේතුව කුමක්ද.දිනෙන් දින ඉහල යන දුරකථන බිල නිසා වැඩිහිටියන් ඉතා සකසුරුවමින් යුක්තව දුරකථනය භාවිතා කරන අතර,තරුණ පරපුර දුරකතනයේම එල්ලිලා ඉන්නේ ඔවුන් ආර්ථික මිනිසුන් නොවන නිසාද?උදැසනම රැකියාවට යනඅතේ මුද්දක් පැළඳගෙන යන කාන්තාවන් ගෙදරින් පිටත්වූ මොහොතේ පටන් දුරකතනය කනේ ගහගෙන ඉන්නෙ  මොන කාරණයක් නිසාද? ඇය තම සැමියාට එතරම්ම ආදරේද? පුද්ගලයන්    ලියුම් ලියනවා වෙනුවට ඊ මේලය පාවිච්චි කරන්නේ මන්ද? කතා කරනවා වෙනුවට දුරකතනයෙන් text යවන්නේ මන්ද? මට හිතෙන අන්දමට නම් මේ චර්යා සාර ධර්ම පිරිහීමක් ලෙස වර්ග කරනවා වෙනුවට  මේ හැසිරීම් රටා තේරුම් ගැනීමට ඉහතකී මිනුම් දඬු වලට වඩා වැඩි යමක් තිබිය යුතු ය.    

     

Wednesday, June 11, 2014

බුදුන් වහන්සේ සහ කොසොල් රජතුමා .......

බුදුන් වහන්සේ  සහ කොසොල් රජතුමා .......


බුද්ධ චරිතය හදාරන අයට බුදුන් වහන්සේ ගැන මෙන්ම එම කාලයේදී ජීවත්වූරජුන්,බමුණන්,සිටුවරයන්,වෙළඳුන්,අන්‍යාගමිකයන්,ගොවියන්,ආදී විවිධ ජන කොටස් ගැනද කරුණු දැනගැනීමටද හැක. එහිදී  කියවෙන විවිධ රජුන් සහ  ඔවුන්ගේ හැසිරීම් රටා මෙන්ම  ඔවුන්ගේ  පාලන ක්‍රම ගැන කියවෙන  විස්තර ඉතාමත් රසවත්ය. කිසිදු දෙයක් සඟවන්නේ නැතිව සියලු සුදු කළු විස්තර එහි දක්නට ලැබේ. බිම්බිසාර රජු, සුද්ධෝදන රජු, කොසල් රජු, ආදී විවිධ රජ වරුගේ විස්තර මෙන්ම රජ බිසවුන් ගැනද විස්තර එහි දක්නට ඇත. මා පළමුවෙන්ම බුද්ධ චරිතය ඉගෙන ගත්තේ දහම් පාසලෙන් සහ මුලික අධ්‍යාපනය ලද පාසලෙන් බව මට මතකය. එහෙත්  ඒ කාලයේ උවත් බුද්ධ චරිතයේ සඳහන් වන විවිධ රජ දරුවන් අතරින් මගේ මතකයේ රැඳුනේ කිහිප දෙනෙක් පමණි. පුත්‍ර ස්නේහය දක්වූ පියවරුන් අතර බිම්බිසාර රජතුමාගේ කැපවීම මා සිත සසල කිරීමට සමත්වූ අතර,  කොසොල් රජු ගැන ඇති  මතකය අමුතුම එකකි. 

එකල මා බුද්ධ චරිතයෙන් දුටු කොසොල් රජු ගොඩාක් උස මෙන්ම මහත මෙන්ම ලොකු බඩක් ඇති කෙනෙකි. එක්   වේලක් සඳහා සහල් සේරු 32ක  ප්‍රමාණයකින් පිසූ බත් එයට අදාළ ව්‍යංජන සමග අනුභව කරන කෙනෙකි. එපමණ ලොකු ආහාර වේලකින් පසු බුදුන් වහන්සේ මුණගැසීමට පැමිණ ධර්ම සාකච්චා කිරීම වෙනුවට ආහාර මත නිසා නිදිකිරා වැටෙන්නෙකි. ඔහුට අනුකම්පා කල බුදුන් වහන්සේ එක වේලකට කන  බත් ප්‍රමාණය අඩු කර ගැනීමට එනම් පිසිය යුතු   සහල් ප්‍රමාණය එක නැලියක් දක්වා අඩු කර ගැනීමට උපදෙස් දුන් සේක. එසේම කොසොල් රජු විශාල රාජධානියක් පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන්නෙකි. තවද ඔහු බුදුන් වදාළ ධර්මය තම ජිවිතයට ලං කර ගැනීමට ප්‍රයත්න දරනවා වෙනුවට ශාක්‍ය ගෝත්‍රය සමග නැදැ   සබඳතාවයක් පවත්වා ගැනීමට ශාක්‍ය කුමරියක් විවාහ කර ගැනීමට කල මෝඩ කටයුත්ත නිසාම ඉන් ඉපදුන කුමාරයා රජ කමට ලොබවිම හේතුවෙන්  අවසානයේදී දුගියෙකු ලෙස මියගිය අයෙකි.

මට යමක් දෙස විචාරශිලිත්වයෙන් බැලීමට  හැකිවූ කාලයේදී මා කොසොල් රජු දෙස බැලුවේ ඉහතකී මුලික පදනමට එකතුවූ අතිරේක තොරතුරු පදනම් කරගෙනය. භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ පිටු 351 කින් සමන්විත ප්‍රසේනජිත් පොත මා මගේ පොත් ගොන්නට එකතු කර ගත්තේ ඔහුද කොසොල් රාජ චරිතය ප්‍රිය කරන්නෙක් නිසාය.

නමුත් කොසොල් රජු ගැන මා නොදත් එහෙත් මගේ සිත කැළඹු එක් ගැටලුවක් විය. ඒ කොසොල් රජු දිනපතාම වාගේ  බුදුන් වහන්සේ දැකීමට ජේතවනාරාමයට ගියත්, කොතෙක් බන ඇසුවත්  ඔහු විසින් ලැබූ අධිගමනයක් එනම් මාර්ග ඵලයක් ගැන විස්තරයක්  සොයා ගන්නට නොහැකිවීමය. (භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ පොතේද එවැන්නක් ගැන සඳහන් නොවේ) කොසොල් රජු මෝඩයෙක් නම්, නොඑසේ නම පෙර සසරේදී පිරු වීර්ය නොමැත්තේ නම්  එසේ ඔහු විසින් ලද අධිගමනයක් ගැන සෙවීම නිෂ්ඵල කරුණකි. එහෙත්  බුදුන් වහන්සේ විසින් දෙසු ධර්මය ඇතුලත් ත්‍රිපිටකය  තිබෙන සුත්‍ර පිටකයේ කෝසල සංයුක්තය නමින් කොසොල් රජුටම දෙසු සුත්‍ර ගණනාවක්ම ඇත. එම සුත්‍ර වලදී කොසොල් රජු බුදුන් වහන්සේ සමග බුද්ධිමත් ලෙස මෙන්ම මනා රාජ්‍ය තාන්ත්‍රික බුද්ධියකින් යුතුව කටයුතු කල ආකාරය මැනවින් පෙනේ. එහෙත් එකී සුත්‍ර වලින්ද කොසොල් රජු පෙර සසරේදී පිරු වීර්ය ගැන කිසිවක් නොපවසයි. මට ඇතිවූ ගැටලුව නම් මහා කාරුණික මෙන්ම අසමසම ප්‍රඥාවන්ත බුදු රජානන් වහන්සේ අධිගමනයක් ලැබීමට වාසනාවක් නොලද කොසොල් රජු වෙනුවෙන් මෙපමණ කාලයක් ගත්තේ මන්ද යන්නය. 

දැනට ටික දිනකට පෙර කල්‍යාන මිත්‍රයෙකු විසින් මට එවන ලද ඊ මේලයකින් මා දැනුවත් කලේ කොසොල් රජු මතුවන බුදු වරයෙකු බවය. අදාළ ඊ මේලය මෙම ලිපිය සමග මම ඉදිරිපත් කරනවා. මෙම ලිපියේ දැක්වෙන පරිදි ඇත්තෙන්ම කොසොල් රජු  මතු බුදුවන බෝධිසත්වයෙක් යන මතය මා මෙතෙක් කලක් නොඇසූ දෙයක්. එබැවින් මේ අදහස පිලිගනිමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට පෙර මෙහි කියවෙන පොත සොයාගෙන එය කියවිය යුතුයයි මා කල්පනා කරනවා.   

මතු බුදු වන දස දෙනකු ගැනයි

(පූර්ණ ගෞරවය නමස්කාර පිටුවට සහ හසන්ත වාසනා සමරසිංහටය) 
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.

සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.
දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:

01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය

මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය:

 (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):

01. අජිත තෙරුන් - මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්

02. රාම රජු - රාම සම්මා සම්බුදු රදුන්

03. පසේනදි කොසොල් රජු - ධම්මරාජ සම්මා සම්බුදු රදුන්

04. අභිභූ දෙව්රජු - ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්

05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්

06. චඞ්කී බාහ්මණයා - රංසිමුනි සම්මා සම්බුදු රදුන්

07. සුභ බ්‍රාහ්මණයා - දේවදේව සම්මා සම්බුදු රදුන්

08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා - නරසීහ සම්මා සම්බුදු රදුන්

09. ධනපාලක ඇතා - තිස්ස සම්මා සම්බුදු රදුන්

10. පාරිලෙය්‍යක ඇතා - සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ
 මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:

“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.

මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).

මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.

ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:

මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.

බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.

මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.

පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.

මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.
මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.

එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ
.
මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය
.
නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.

රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.

දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.

රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.

ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.

රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.

දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.

නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.
තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.

මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහි මතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙන ම ය. ද

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් දීඝනිකාය 03, අඞ්ගුත්තරනිකාය 02 යන ත්‍රිපිටක ග්‍රන්ථ, මොරටුවේ සාසනරතන හිමියන්ගේ ‘ලක්දිව මහායාන අදහස්’ කෘතිය හා මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි සිංහල ශබ්දකෝෂය ද ඇසුරු කරණි).