Sunday, November 22, 2015

භාවනාව යනු නොකඩවා දෛනිකව වැඩිය යුතු අභ්‍යාසයකි.









සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවා කාලයේදී 























































සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ රාත්‍රී කාලයේදී 


සැහෙන පමණ කාලයක පටන් තමන් විසින් නොකඩවා සිදුකල අලුයම භාවනා අභ්‍යාසය දැන් කලක පටන් නොකෙරෙන  බව සිරිදාසට සිහිපත් වුයේ සෝමාවතී සැ රජුන් වන්දනාවේදීය.

Saturday, November 21, 2015

බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ මන්ද ?

වෛද්‍ය රුවන් ජයතුංග මහතා ( මා එතුමාගේ ලිපි ඉතාම කැමැත්තෙන් කියවන අයෙක්)  විසින් ලියු  පහත සඳහන්  

බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ මන්ද ?


යන ලිපිය ශාක්‍යයන් ගන රාජ්‍යයක වැසියන් බව තෙරුම් නොගෙන ලියු ලිපියක් බවට පල කල මගේ අදහසට තවත් එකක් එකතු කරන විචාරක තුමා ගන රාජ්‍ය සංකල්පය  වඩාත් විස්තර කරන ලෙස මගෙන් ඉල්ලා තිබෙනවා. එයට මා කැමති වුනේ එමගින් අපේ රටේ අදටත් ඉතිරිවී තිබෙන සමහර ගන වටිනාකම් ඇතිවුයේ කෙසේද යන්න ගැන මගේ සිතේ ඇති අදහසද ඉදිරිපත් කිරීමට එයින් ඉඩක් ලැබෙන නිසාය. මා හිතන අන්දමට සිව් හෙළය එක් සේසත් කර සිංහල ජාතිය හැදු වෙලාවේ තමයි අපේ රටේ ගන රාජ්‍යයක් ඇති උනේ.පසුව ඒක රාජාණ්ඩුව  ඇතුලේ මියැදුනත්  ගන රාජ්‍යයේ සමහර ලක්ෂණ තවමත් අපේ සමාජය තුල තිබෙනවා. ඒ ගැන පසුව ලිව්වොත් හොඳයි   

මේ තියෙන්නෙ මහාචාර්ය ශ්‍රී රාහුල සංස්කෘත්‍යාන තුමා විසින් ලියු පොතේ සිංහල පරිවර්තනයේ scan පිටුවක්. සිංහලට පෙරලලා තියෙන්නෙ එවකට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිව සිටි ඩි.බි.තෙවරප්පෙරුම මහතාය. ශ්‍රී රාහුල සංස්කෘත්‍යාන තුමා සහ ඩි.බි.තෙවරප්පෙරුම මහතා ගැන ගොඩක් ලියන්න ඕනෑ උනත් මේ පොතේ පසු කවරයේ ඇති හැඳින්වීම දැනට ප්‍රමාණවත්  යයි මා සිතනවා.





ගන රාජ්‍ය නැතහොත් සමුහාණ්ඩු සංකල්පය පුරාණ පෙරදිග මෙන්ම බටහිර ලෝකයේද  තිබුණා. බටහිර සමුහාණ්ඩු වලට උදාහරණය තමයි පුරාණ රෝම සමුහාණ්ඩුව. ගනයේ සියලු සාමාජිකයන්ට පමණක් පාලන බලතල ඒකෙ හිමි වුණා. අන් අයට ඒ රාජ්‍ය තුල සිටිය හැකි උනත් ඒ අයට පාලන බලතල හිමිවුණේ නැහැ. රට වැසියා සහ පුරවැසියා අතර වෙනස දැක්වුණේ එතැනින්ය. මේ රටවැසියා  හා පුරවැසියා අතර අරගලය නිසා මේ සමුහාණ්ඩුව අවසානයේදී බිඳ වැටුනා. අපි spartakas ආදී චරිත දකින්නේ මේ අරගලය තුලින්ය.
පුරාණ ඉන්දියාව අද තියෙන ඉන්දියාවට වඩා වෙනස්ය එකල හින්දුකුෂ් කඳු වැටියෙන් මෙපිට සියලුම රාජ්‍යන් ඉන්දියාව වශයෙන් සැලකුවා. මෙහි බොහෝ රාජ්‍ය තිබුනා. ඒවා රාජාණ්ඩු සහ සමුහාණ්ඩු ලෙස බෙදන්න පුළුවන්. සමුහාණ්ඩු නැතහොත්  ගැන රාජ්‍ය ලෙස තිබුන ඒවාට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන් වන්නේ ශාක්‍ය,කෝලිය,ලිච්චවි,වෛශාලි, ආදී ඒවාය.  භුමි ප්‍රමාණ ලෙස ගත්තොත් මේ ඔක්කොම කුඩා භුමි ප්‍රදේශයක් වටා ඇතිවුන රාජ්‍යයන් වේ.
ගන රජයක ප්‍රධාන ලක්ෂණය වන්නේ ගනයේ සියලුම දෙනාම පාලනයට ඍජුවම සම්බන්ධ වීමය. සෑම පවුලකම(පරම්පරාවකම) එක් සාමාජිකයෙක් ගණය තුල සාමාජිකත්වය ලබයි. ගනයේ තීරණ ගන්නා කුලකය තුල තම පවුල (පරම්පරාව) නියෝජනය කරන්නේ කවුද යන්න තීරණය කරන්නේ එම පවුලය. (පරම්පරාවය.) සාමාන්‍යයෙන් එතැන සිටින හොඳම දක්ෂයාට එම තැන ලැබේ. සිංහ සේනාපතිට ගණය තුල තම පරම්පරාව නියෝජනය කරන්නට ඉඩ ලැබෙන්නේ  එ අනුවය. එසේ ඉඩ ලැබෙන්නා අභිෂේක කිරීමක්ද සිදුවී ඇත.
ගණය තුල ගන සාමාජිකත්වයෙන් පත් කරගත් නායකයෙක් සිටි. ඔහු මියගිය හෝ ඉවත්වූ විට ගණය නැවත රැස්වී තම  නව නායකයා තෝරා ගනී. එය රාජාන්ඩුවක මෙන් පිය පිතු උරුමය අනුව  යන්නක් නොවේ. එහෙත් ගනයේ අවිච්චින්න පැවැත්ම සනාථ කරනු වස්  අනාගත නායකයා වියයුත්තේ කවුද කියා ගණය තුලම කලින්ම එකඟතාවයක් පවතී. ඔහු කිරීටය හිමි කුමාරයා ලෙස නම් වේ.
ගණය තුල  පාලකයෙක් හෝ පාලිතයෙක් නැත. තිරණ ගන්නේ සාකච්චාවෙන් සහ සම්මංත්‍රනයෙනි. එතැන පක්ෂ විපක්ෂ සියලුම  මත පැවසීමට ඉඩ ඇතත් අවසාන තීරණය ගන්නේ සියලු දෙනාගේම ඒකමතිකත්වය ලබාගෙනය. මෙම වැදගත්  සම්ප්‍රදාය පවුල (පරම්පරාව) තුලද ඇත. මේ නිසා සියලු ගන වැස්සෝ ක්‍ෂත්‍රිය නමින් හඳුන්වති. බොහෝ කරුණු අරභයා මේ පක්ෂ විපක්ෂ සාකච්ඡා අදද සිංහල සමාජය තුල  දක්නට ලැබේ. මේ ජාන ලක්ෂණය නොදන්නා බොහෝ අය  තුල සිංහලයන් ගැන කුකුසක් ඇතිවීම ස්වාභාවිකය.   

පාලන තීරණ නොගන්නා අවස්තාවලදී ගැන සාමාජිකයෝ  තම තමන්ගේ ජිවනෝපාය කටයුතු වල නිරත වෙති. සුද්ධෝධන රජු සිසාන්නට කුඹුරට බසින්නේ එබැවින්ය.  තම ගනයට එරෙහිව යුද්ධයක් ඇතිවූ විට සියලු ගන වැස්සෝම යුද්ධ භටයෝ වන්නේය. එහිදී තම දිවිය පරදුවට තබා ඔවුන් යුද වදින්නේ තමන්  යුද කරන්නේ වැටුපක් ලැබීමට නොවන නිසා බව දන්නා නිසාය. පුරාණ සිංහල වැස්සෝ ගොවිතැන් කරන අතරතුරේදීම රට වෙනුවෙන් යුද වැදීමේ  අවශ්‍යතාවයක් ඇතිවූවිට එය ඉටු කිරීමට සිය ගෙපැල තුලම යුද උපකරණ තබා ගත්තේ එබැවින්ය. මේ තත්වය පසුගිය යුද තත්වය තුලදී සිංහල ජාතිකයන් අතරද  දක්නට ලැබුණි. බොහෝ ඉහල රැකියා කල අය මෙන්ම භික්ෂුන් වහන්සේලාද ඒවා අත්හැර යුද පිණිස යුද පිටියට ගියහ.  සමහරු එහිදීම ජිවිතක්ෂයට පත්වුහ. 
සිදුහත් කුමාරයා  ශාක්‍ය ගන රාජ්‍යයේ උසස්තම මෙන්ම විශිෂ්ඨ නිෂ්පාදනය වන්නේය. සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වූ පසු රාහුල කුමාරයා මහන කලේ ඔහුට අනාගතයේදී ඇතිවිය හැකි මරණ භයකින් බේරා ගැනීමට යයි යමෙක් සිතන්නේ ඔහු තුල  බුදුන් වහන්සේ  ගැන ඇති දැනීමේ අඩුපාඩුවක් නිසා යයි මට සිතන්නේය.  තමන් වහන්සේට පෙර පිරිනිවන් පෑ රාහුල මහා රහතන් වහන්සේගේ ජිවිත කාලය දිගු කිරීමට බුදුන් වහන්සේ ප්‍රයත්න නොකළේ මන්ද යන්න වෛද්‍ය ජයසුමන මහතාගේ සිතට නොපැමිණියේ මන්ද යන්න මෙහිදී මට ඇතිවුන ගැටලුවයි. 
   
  

Thursday, November 5, 2015

මාලිගාව අසල පාර වසා තිබියදීම මහනුවර නගරයේ වාහන තදබදය මගහරවා රිය පැදවිය නොහැකිද? ...

මා මහනුවර නගරයට ආසන්නව ජිවත්ව සිටින නිසාත්,අඩු තරමේ සතියකට දින 3ක් වත් මහනුවර තැන්නේකුඹුර පැත්තෙන් මහනුවර නගරයට යාමට හෝ නගරය පියමන් කර ඉන් ඔබ්බට යාමට අවශ්‍ය විවිධාකාර කරුණු යෙදෙන නිසාත්, මහනුවර නගරයේ විවිධ ස්ථාන වල තිබෙන සම්ප්‍රදාය මෙන්ම නගරය තුල සහ නගරාසන්නයේ ඇති රථවාහන තදබදය සහ එයට හේතුවන විවිධ කරුණු ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා සිටින්නෙක්මි.

 එසේම වසර 35කට අධික කාලයක් මුළුල්ලේ පටන් මගේම මෝටර් රථ පදවන මා එම අවහිරතාවයන් අවම කර ගැනීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරන්නෙක්ද වෙමි. උදාහරන  ලෙසින්  මහනුවර නගරයට ඇතුල්වීමට මා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ධර්මරාජ විද්‍යාලය අසලින් ඇති කුඩා පාරය. මහාමායා විද්‍යාලය නිසා රථවාහන තදබදයක් ඇති බව පෙනුන විට මා මහමායා විද්‍යාලයට ඉහලින් දිවෙන පාර ඔස්සේ වේස් පාක් හරහා පහලට ගොස් ප්‍රධාන පාරට යමි. නගරයෙන් ඉවත්වීමට මා භාවිතා කරන්නේ පොලිසිය අසලින් ඇති මාවත දිගේ කෙරවලටම ගොස් ප්‍රධාන පාර මද දුරක් භාවිතා කර අරුප්පල පාර ඔස්සේ ලේවැල්ලට යාමය. එතැන් සිට තල්වත්තේ  සිට දිගන තෙක් ඇති වාහන තදබදය මගහරවා ගැනීමට මා මේ දිනවල  පුරුද්දක් ලෙස භාවිතා  කරන්නේ යක්ගහපිටිය පිලවල මාර්ගයයි. මේ විකල්ප පාරවල් කුඩා උවත් මෝටර් බයිසිකල් සහ ත්‍රී වීලර් ධාවකයන් ගැන විශ්ෂ අවධානයක් දක්වා ප්‍රවේසමෙන් රිය පැදවිය හැක.    එබැවින් මහනුවර නගරයේ රථවාහන තදබදය මග හැරීමට මාලිගාව අසල මාවත විවෘත කිරීම ගැන අදහස් පල කිරීමට සුදුස්සෙක් යයි සිතමි.

මුල් යුගයේ එනම් 70 දශකයේදී මහනුවර කුමන හෝ ස්ථානයක මාර්ග වැසීමක්, හෝ එක පැත්තට වාහන ධාවනය කිරීමක් හෝ සිදුවුයේ නැත. අද මෙන් වාහන තදබදයක් නොතිබුණු මහනුවර වැව රවුමේ රියදුරන් පුහුණු කරන L බෝඩ් ගැසූ  ඉබි ගමනින් යන  වාහන පවා ධාවනය විය.  මහමළුව මැදින්ද පාරක් තිබුන අතර රජ ගෙය අසල නුවරඑලිය ප්‍රදේශයට  බස් ගමන් ආරම්භ කරන තැනද එය විය. එකල අද මෙන් ආසන 54රෙ දිග බස් නොවිය. එසේම කෙටි මගක් විදියට අස්ගිරිය පංසලේ   පොහොය ගෙය අසලින්ම තිබෙන පාරේ පවා මා පුරුද්දක් ලෙස කාරය පදවාගෙන ගියා මට මතකය. එකල අද මෙන් නොව වාහන පැදවීම සරල දෙයකි. ආශ්වාද ජනකය. ගමන  ඉක්මන්ය. ලෙහෙසිය. අද නගරය තුල වාහන පැදවීමේ ආශ්වාද ජනක තත්වයක් නැත. ඇත්තේ ලේ කෝප කිරීමක් පමණි.

නගරයට ඇතුල්වන වාහන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙත්ම මෙම ඉක්මන් සහ ලෙහෙසි රිය පැදවීම සිමා කිරීමට පළමුව ආ බාධකය වුයේ වාහන ගමනාගමනය එක් පැත්තකට සිමා කෙරෙන නීති හඳුන්වා දීමය. මුලදී පැය ගණනකට පමණක් සීමාවූ එය පසුව පැය 24 පුරාම ක්‍රියාත්මක විය. මුල් කාලයේ උදේ 8 ට පෙර ක්වීන්ස් හෝටලය අසලින් තිබෙන පාරෙන් කෙලින්ම ඔරලෝසු කණුව අසලට තෙක් පාරේ  පහලට වාහන යාමට ඉඩ තිබිණ. 

මා දන්නා පරිදි මහනුවර මාර්ග තදබදයට පිළියම් යෙදුවේ ජනාධිපති ප්‍රේමදාස මහතා පමණි. එකල කුණ්ඩසාලේ පැවති ගම උදාව සැණකෙළියට සමාන්තරව එතුමා විකල්ප මාර්ග පද්ධතියක්ම මහනුවර නගරයට හඳුන්වා දුනි. එම මාර්ග වලට වැයවූ වියදම ඉතා විශාල යයිද, එය නිෂ්ඵල වියදමක් යයිද එකලද විවේචන තිබිණ. එහෙත් මාවත් තැනීමේදී එහි වර්තමාන වියදම කල යුත්තේ අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභද සලකා යන්න එකල එම විවේචකයෝ අමතක කළහ. එම විකල්ප මාර්ග පද්ධතිය ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් ගොඩ නැගුවේ නැත්නම් අද මහනුවර මාර්ග තදබදය මිට වඩා දහස් ගුණයකින් වැඩිවෙනු නිසැකය.

මහනුවර මාර්ග සංවර්ධනයට ඊළඟට උර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. කටුගස්තොට නව පාලම ඉදිකිරීමෙන්  එතුමා එයට මුල පිරු අතර, පේරාදෙණිය -මහනුවර  සමාන්තර මාර්ග දෙක වැඩි දියුණු කිරීමටද පටන් ගත්තේය.එහෙත් ඊට සමාන්තරව මහනුවර කටුගස්තොට පාර මන් තීරු 4ක් දක්වා පළල නොකිරීම නිසා මහනුවර සිට කටුගස්තොට තෙක් පුදුමාකාර තදබදයක් ඇත.මේ සැතපුම් 4ක කොටස යාමට බොහෝ විට බස් රථයක් විනාඩි 45කට වඩා ගනී. මාර්ගය පටුවිමට අමතරව බස්රථ පාර මැදම කොට කොටා ගමන් කිරීම මීට හේතුව වී ඇත. මේ නිසා අන් සියලු වාහන වලට  එමකොට කොටා යන  බස් රථ කටුගස්තොට පාලම පසු කරන තෙක් ඒ   පසුපසින් සෙමින් යාම හැර වෙන විකල්පයක් නැත. 

  මහනුවර නගරය ලෝක උරුමයට අයත් නගරයක් නිසා නගරය තුල තිබෙන    වසර 100ට වඩා පැරණි ගොඩනැගිලි ඒ අන්දමින්ම රක්ෂණය කලයුතුය. එ නිසා  නගරයේ බොහෝ වීථි පළල් කල නොහැක.

මහනුවර දේශීය මෙන්ම ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවසාන සිංහල රාජධානිය ලෙසින් නොව දන්ත ධාතුන් වහන්සේ වැඩසිටීම නිසාය. මේ නිසා මහනුවර කෙරෙන ඕනෑම සංවර්ධනයක් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගා පරිශ්‍රයට හානියක් ගෙන නොදෙන්නක් විට යුතුය.


අද වන විට රටේ බොහෝ ප්‍රදේශවල උපන් ජනයා සිය ජිවතයේ අවසාන කාලය ගත කිරිමට පදිංචි වන ස්ථානය ලෙස මහනුවර ප්‍රදේශය තෝරාගෙන ඇත. මේ නිසා මහනුවර පදිංචියට සංක්‍රමණය වන ජනයාගේ ගණන දිනෙන්දින ඉහල යයි.එමෙන්ම දිනකට ලක්‍ෂ 4කත ආසන්න පිටස්තර ජනයා මහනුවර නගරයට පැමිණෙති. මේ හේතුන් සියල්ලම නිසා නගරය තුල මෙන්ම නගරාසන්නයේදී විශාල වාහන තදබදයක් ඇත. මින් එක් පිරිසක් පමණක් සිතා සිටින්නේ වාහන තදබදය ඇත්තේ වැව රවුමේ පමණක් බවය. මාලිගාව අසල මාර්ගය රථවාහන ගමනාගමනයට විවෘත කිරීමෙන් මේ ගැටලුව විසඳිය හැකි බව ඔවුන් සිතති. නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා මේ අදහස දරන්නන්ගේ මුලිකයාවී ඇත. නමුත් ඔහු  මේ පාර විවෘත කලයුත්තේ  දෙපැත්තටම වාහන ගමන් කිරීමට හැකිවන අන්දමින් යන්න ගැන නිහඬවී ඇත. මන්ද එසේ කල හොත් මහමලුවෙන් කොටසක් පාර පළල් කිරීමට  නොගෙන හෝ වැවෙන් කොටසක් ගොඩ නොකර එය කල නොහැකි බව ඔහු දන්නා නිසාය. කෙසේ හෝ ඒ විකල්ප දෙකින් එකක් කර  පාර විවුර්ත කල හැකි උවත් එසේ කිරීමෙන් මහනුවර වාහන තදබදය අඩු වෙනවා වෙනුවට වන්නේ මාලිගාව අසල සහ ක්වින්න්ස් හෝටලය අසල අලුතින් වාහන තදබදයක් ඇතිවීම පමණි.

නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා මේ ගැන ලියු ලිපියක දැක්වෙන්නේ නීතිඥ වැලි අමුණ මහතාට සවස් වරුවේදී  වැව රවුම පසු කිරීමට විශාල කාලයක් ගත කිරීමට සිදුවීම  නිසා විශාල අසාධාරනයක් සිදුවූ බවය. වැලිඅමුණ මහතාටද සිය ප්‍රමාදයට හේතු ලෙස පෙනී ඇත්තේ ඉහතකී පාර විවෘත නොවීම බව මේ අනුව නිගමනය කල හැක. නමුත් ඔහුට වැව රවුමේ ආරම්භයේදීම මගින් ගෙනයාමට බොහෝ වෙලාවක් නවත්වා ගෙන සිටින විශාල බස් රථ හෝ එම පාරේ අනෙක් වාහනයකට ඉදිරියට  යාමට නොහැකි වන අන්දමේ ඉබි ගමනින් යන බස්රථ  පෙනී ගොස් නැත.

මහනුවර මාලිගාව අසල පාර රථවාහන ධාවනය සඳහා විවුර්ත කිරීමට අස්ගිරි පාර්ශවයේ සම්පුර්ණ සංඝ කාරක සභාවම විරුද්ධය.  එම විරුද්ධත්වය නොසලකා ඊට පිටින් කටයුතු කිරීමට වර්තමාන ජනාධිපති වරයාද අසමත්වූ බව එම පාර රථවාහන ගමනාගමනයට  විවුර්ත කිරීමට ගත්  උත්සාහය අසාර්ථක වීම දන්නා  මෑත ඉතිහාසය දන්නෝ  දනිති. 
වැව රවුමේ නිරන්තරයෙන් තිබෙන වාහන තදබදය නැවැත්වීමට කල යුතු විකල්ප 2ක් ඇත.

1. දළදා මාලිගාව මහනුවරින් ඉවත් කිරීම 

කුරුනෑගල නගරාධිපති වරයා දැනටමත් මහනුවර නගරාධිපති වරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව පසුගිය දිනවල පුවත්පත් වල පලවී තිබුණි. එහිදී කුරුනෑගල නගරාධිපති වරයා කියා ඇත්තේ මාලිගාව ලබා දෙන්නේ නම් කුරුනෑගල නගරයේ මාර්ග වලින් 50% හෝ වාහන ගමනා ගමනයට තහනම් කිරීමට තමන් සුදානම් බවය.

2. කලකට පෙරදී මහනුවර උසාවිය මාලිගා පරිශ්‍රයෙන් ඉවත් කිරීම මුලාදර්ශය කර ගනිමින් වැව රවුමේ පිහිටුවා ඇති මහාමායා බාලිකා විද්‍යාලය හිල්වුඩ් බාලිකා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය ඇතුළු සියලු විද්‍යාල නගරයෙන් පිටතට ගෙනයා යුතුය.


මේ එකක් වත් කිරීමට නොහැකි නම්  නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා අතුලු  පිරිසට මහනුවර නගරය තහනම් ප්‍රදේශයක් බවට පත් කල යුත්තේ දිගින් දිගටම එල්ල වන විරෝධය නොසලකා තම මතයම පමණක් නිවැරදි යයි සලකා ඔවුන් විසින් කරන මේ අකටයුත්ත වලක්විමට අන්  මගක් නැති නිසාය. කොකාගේ මගුල් ගෙදර පැමිණෙන සියලු දෙනාම කොකුන්මෙන් උල් හොට භාවිතා කර ආහාර පාන ගැනීමට සුදානම් විය යුතුය. නැත්නම් සාගින්නේ සිටිය යුතුය යන පැරණි උපදේශය නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතාද දන්නවා ඇති සිතමි. 

සමරසේකර