Sunday, December 15, 2013

භාවනා කල පමණින්ම මමත්වය තුනී වන්නේ නැත

භාවනා කල පමණින්ම මමත්වය තුනී වන්නේ නැත.

පසුගිය දින කිහිපය තුලම සිරිදාසට තමා පුරුද්දක් ලෙසින් කරන අලුයම භාවනා අභ්‍යාසයේ නිරත වීමට නොහැකිවිය.භාවනා අභ්‍යාශයෙන් පසුව ලැබෙන මානසික සතුට දින කිහිපයක් තුලදී නොලැබීම ගැන සිරිදාසට ඇත්තේ සුළුපටු සිත්තැවුලක් එහෙම නොවේ.මේ බාධාව ඇතිවුනේ බාහිර කාරණයක් මුල්කරගෙන නම් ඒ ගැන සිතා තම සිත්තැවුල අකාමකා දමන්නට සිරිදාසට ඉඩ තිබිණ.එහෙත් බාධාව ආවේ තම සිත තුලින්මය. දැන් ඉතින් මොනවා කරන්නද?

"ඉතින් මොකේදැයි දැන් වළඳන්නේ තිබුන පාත්තරේ බිඳුන කොටේ"

යනුවෙන් තමන් කොහේදී හෝ අසා ඇති එහෙත් මෙතනට කිසිසේත්  අදාළ නොවන කවි පදයක් සිරිදාසගේ සිතට ඉබේටම නැගුණි.

   විවිධාකාර හේතුන් මත දෛනික භාවනා අභ්‍යාසය මගහැරුනත්  එයට බලපෑ  මුලික හේතුව වුයේ භාවනාව සඳහා තම සිත සුදානම් නොවීම බව සිරිදාස දනී. කාට බොරු කලත් තම  හර්දය ශාක්ෂීයට නම්  බොරු කල නොහැකිය.

 තම නිවස ගිනිගත් විට උවද එය නිවීමට ගන්නා වැයම උවත්  පසෙක තබා භාවනාව වැඩිය යුතු බව සිරිදාස අසා ඇත. එමෙන්ම එක විටෙක සොරුන්  ගැන තමන් විසින් රාජපුරුෂයන්ට ඔත්තු සපයනු ඇතැයි යන සැකයෙන් එම සොරුන්  තමන් මරණයට පත් කිරීමට තැත් කල විටෙක ගමන් කිරීමට නොහැකිවන පරිද්දෙන් තම කුළලට  පහරදී තමා අඩපන කරන ලෙස ඉල්ලු භික්ෂුන් වහන්සේ නමක් එකී වේදනාව ඉවසා භාවනා කරමින් අධිගමයට පත්වූ කථාවක්ද සිරිදාස අසා ඇත. එහෙත් සිරිදාසට එවැනි කිසිදු බරපතල හේතුවක් නොමැතිවම තම සිත භාවනාවට යොමු කරගත නොහැක. උපදේශක කථා කොතරම් අසා තිබුනත් තමා ප්‍රශ්නයකට මුහුණ දුන් විටඑහි පීඩනය දන්නේ තමාමය. පීඩනය නම් භාවනාව සඳහා තම සිත සුදානම් නොවීමය. නැත්නම් සිත සන්සුන් නොවීමය.

ගෙදර සියල්ලෝම තවමත් නින්දේය. අද ඉරිදා බැවින් වෙනදා මෙන් කලින් අවදිවිය යුතු නැතැයි ඔවුන් සිතනවා විය හැක. එළියේ සිහින් හඬින් පොද වැස්සක් වසියි.එබැවින් තරමක  ශිතලක්ද තම ගත තුල දැවටෙන බව සිරිදාසට දැනේ.මෙම පරිසරය තම ප්‍රශ්නය විසඳීමට   හොඳ උපකාරයක් කරන බව සිරිදාස තේරුම් ගති.එය උපකාර කර ගෙන තම ගැටලුව ගැන සිතීමට සිරිදාස උත්සහ කළේය. 

තම හිත සන්සුන් නොවන්නේ සිතට අයිති නොවනදේ තම සිතේ අවසරයකින් තොරවම තම සිත තුලට වැදීම නිසා  බව සිරිදාසට අවසානයේදී පසක් විය.මෙම  ගැටලුව අනෙක් කෙනෙකුට කිව්වොත් කුමක් වේද? සමහරවිට ලැබෙන උත්තරයෙන් ගැටලුව තවත් වර්ධනය වීමට බොහෝ ඉඩක් ඇත. එසේ වන්නේ  උපදේශකයන් දෙන උත්තර මගින් බොහෝවිට කරන්නේ ප්‍රශ්නය විසඳනවාට වඩා එය තවත් අවුල් කිරීම  බව සිරිදාස අද්දැකීමෙන් දන්නා නිසාය. ප්‍රශ්නය විසඳීමට අන් අයෙක් වෙත යනවාට වඩා කලයුත්තේ ධර්මය වෙත ගොස් ගැටලුව ඉදිරිපත් කිරීමය.  එබැවින් ධර්මයෙන් කියාදී ඇති මාර්ගයෙන්  තොරව මෙම  ප්‍රශ්නය විසඳිය නොහැකි යයි සිරිදාස නිගමනය කළේය . 

තමන් මෙතෙක් කලක් ධර්මානුකුල මාර්ගයේ ගමන් කිරීම නිසා තම සිතට අයිති දේවල් ලෙසින් තමා එකතු කරගත්තේ මොනවාදැයි සිරිදාස දැන් නිර වුල්වූ සිතින්  කල්පනා කරන්නට පටන් ගත්තේය. ශ්‍රද්ධාව,කැමැත්ත, ස්ථිර සිතුවිල්ල, වීර්ය, සහ විමන්සාව, යන ධර්මයේ සඳහන් මුලික චිත්ත වටිනාකම් තම සිත තුලට ස්ථිරවම  එකතු කරගෙන ඇතැයි සිරිදාස මැනවින් පසක් කර ගත්තේය.එහි ගැටළුවක් නැත.

 එමෙන්ම මෙම වටිනාකම් වලට අමතරව  අන් අය වෙනුවෙන් කරුණාව,දයාව  මෛත්‍රිය වැඩිම , ලෝභයෙන් ඉවත්වීම, තරහයෙන් ඉවත්වීම සහ මමත්වයෙන් ඉවත්වීම වැනි වටිනාකම්ද අඩුවැඩි ලෙසින් තම සිත තුලට ගෙන ඇතැයි සිරිදාස කල්පනා කලේ සමහරවිට ඔහු නොදැනම මෙම වටිනාකම් වලට ප්‍රතිවිරුද්ධ දේවල් ඔහු තුලින් ක්‍රියාත්මකවූ බව තේරුම්ගත් විටය. දුරින්ම දුරුකලයුතු දේවල් නම් ලෝභය, ද්වේශය සහ මෝහය බව සිරිදාස දනී. එහෙත්  ගැටලුව වන්නේ දියේ ඔබා සිටින රබර් බෝලයක් යම් ඉඩක් ලැබුන විටකදීම කෙලින්ම ජලය මතුපිටට එනවාක් මෙන්ම යම් සුළු ඉඩක් හෝ ලැබුන විටකදීම ලෝභය,ද්වේශය,මෝහය යන සාධකයන් කෙලින්ම මතුවන බව සිරිදාසට පෙනීමය.

සිතේ සමතුලිතතාවය නැති කිරීමට දැන් ඉදිරිපත්වී ඇත්තේ තමාට වඩා හොඳින් භාවනාව වඩන සිය සොහොයුරියන් දෙදෙනා තුල ඇති විරසකයට තමන්ද මැදිහත් වීමය. විරසකයට හේතුව එක සොහොයුරියකගේ වැඩිමහල් පුතා ගැන පැමිණ තිබෙන විහාහ යෝජ නාවකට අනෙක් සොහොයුරිය අකමැති විමෙන්ය. මේ දෙදෙනාම තම මතය සනාත කිරීමට නොකඩවාම උත්සහ කරති.එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් දෙදෙනාම දිනපතාම සිරිදාසගේ දුරකථනය මේ කරුණ වෙනුවෙන් පැය ගණන් භාවිතා කිරීමයි. සිරිදාස කොතෙක් උත්සාහ කලත් මේ දෙදෙනා අතරේ විරසකයක් ඇති නොවීමේ පරිසරයක් ගොඩ නැගුනේ නැත. මේ දෙදෙනාටම උපදෙස් දෙන පව්ලේ අන් සාමාජිකයන් නිසා ප්‍රශ්නය තවත් උග්‍රවී ඇත. එබැවින් සිදුවී ඇති අවසාන ප්‍රතිඵලය වුයේ අහක තිබෙන ප්‍රශ්නයක් නිසා සිරිදාසගේ සිතේ සමතුලිත භාවය බිඳීම පමණි. ඉතින් කෙසේදැයි භාවනා කරන්නේ? 

මමත්වය නැති කරන භාවනා වැකි  මේ දෙදෙනාම හොඳින්ම දනිති. එය අභ්‍යාස කරති.එමෙන්ම අන් අයටත් ඒ ගැන කියා දෙති.භවනා පන්ති වලටද යති. එහෙත් තම පුතා යනු තමන් නොවන බව එක සොහොයුරියක් පසක් නොකර  සිටින අතර, තම සොහොයුරියගේ පුතා යනු තමන් නොවන බව අනෙක්  සොහොයුරිය පසක් නොකර ගෙන සිටියි. ඉතින්  මා කුමක් කල යුතුද? සිරිදාස නොකඩවාම කල්පනා කරමින් සිටියේය.         
     
   

       




Wednesday, November 6, 2013

බෙහෙතක් නොකඩවාම ගතයුතු වාගේම මෛත්‍රි භාවනාවද නොඩවාම වැඩිය යුතු පිළිවෙතකි

භාවනාව පුරුදු පුහුණු කිරීම ගැන සිරිදාස මෙවර මුහුණ දුන්නේ අමුතුම විදියේ ගැටලුවකටය.එය ඔහු ගියවර මුහුණදුන් භාවනාලක්ෂණ ගැනවූ   ගැටලුව නොවේ. ගියවර  ඔහු මුහුණ දුන්නේ භාවනාව වැඩිම පිළිබඳවූ ප්‍රවීනයන් විසින් පොත් පත් වල දක්වා ඇති, භාවනා ලාභියෙකු විසින් නිසැකවම අත්විඳිය යුතු ගති ලක්ෂණ ඔහු තුලින් මතු නොවීමේ ගැටලුවටය. මුලදී භාවනාව වැඩිමේදී තමන්ගෙන් ගිලිහි ගිය පුරුක ශ්‍රද්ධාව වශයෙන්  හඳුනා ගත්  ඔහු එම ගැටලුව නිසිපරිදි තේරුම් ගෙන ශ්‍රද්ධාව මුලික කරගෙන නැවත වතාවක් භාවනාව වැඩීම ඇරඹිය. ඉන්පසු   එකී ලක්‍ෂණ තමාටම සුවිශේෂ වන අන්දමට  තම සිතට මෙන්ම කයට දැනෙන ආකාරය හඳුනා ගෙන ඒ අනුව   භාවනාව තවදුරටත් ප්‍රගුණ  කිරීමට සමත් විය. පුරුදු පරිදි ආනාපානසති භාවනාව ප්‍රගුණ කල ඔහු සමථ කොටස සම්පුර්ණ කර ඉන් ඉක්බිති විදර්ශනා කොටසටද සම්පුර්ණ කිරීමට පටන් ගත්තේය. ඔහු සිතුවේ භාවනාව පිළිබඳවූ සියලු ප්‍රශ්නඅවසන්වී ඇති බවය. නමුත් භාවනාවට බාධා කරවන නව ගැටළුවක්  දැන් පැනනැගී ඇත. අලුතින් මතුවී  ඇත්තේ භාවනාව වැඩීමට නොහැකිවන අන්දමට පරිසරයේ මතුවී ඇති ගැටුම්කාරී ස්වභාවයයි. එය සිරිදාසගේ සිතේ ඇති මැදහත් බව නසා ඇත.

 මතුවී තිබෙන ගැටුම්කාරී ස්වභාවය කේන්ද්‍ර ගතවී ඇත්තේ පවුලේ සාමාජිකයන් හරහාය.ගෙදර සිටින්නේ  5 ස් දෙනෙකු  පමණය. සාමාන්‍යයෙන් නිහඬ පුද්ගලයෙක් වන සිරිදාස කුලයට ඇලීමක් නොකරන නිසා ඔහුගේ කටයුතු ගැන  ගෙදර සාමාජිකයන්ගෙන් එතරම් ප්‍රතික්‍රියා පැමිණෙන්නේ නැත. නැත්නම් එසේ ඇතිවන ප්‍රතික්‍රියා ඔහු දන්නේ නැත. සිරිදාසගේ නිවස ඇත්තේ නාගරික නොවන කොටසක බැවින් පවුලේ අනෙකුත් නෑදෑයන්ට සහ හිතවතුන්ට එහි ඒමට වෙනම කාලයක් වැයවේ. එබැවින් බැලු බැල්මට භාවනාමය පරිසරයට බාධාවක් ඇතිවීමට ඉඩක් නැත.  එසේ  වුවත් නුතනයේ ඇති දියුණු තාක්ෂනය මගින් බලගැන්වුණු  දුරකථනය මගින් රට පුරා සිටින අයට පමණක් නොව ලොව පුරා සිටින  අයට උවත් සිරිදාසගේ නිවස සමග  සම්බන්ධවීමේ බාධාවක් නැත. මෙහි අවසාන ප්‍රතිඵලය වුයේ තම නැදෑ හිතවතුන්ගේ සියලු තොරතුරු වලට සම්බන්ධවීමට සිරිදාසගේ පවුලේ අයට සිදුවීමය. මේ සමහර අයට සිරිදාස කුමක් කලත් එහි වැරද්දක් පෙනෙනනවා පමණක් නොව ඒවාට නොමිලයේම උපදෙස්ද සපයති. එපමණක් නොව ඔවුන් විසින් සැපයු එකී උපදෙස් අනුගමනය කරන ආකාරය ගැනද පෙර සහ පසු විපරම් කරති. දැන් දැන් මේ අය සිතන්නේ ජිවත්ව සිටිය යුත්තේ කෙසේද යන්න ගැන සිරිදාසට පමණක් නොව පවුලේ අයටද  උපදෙස් දීම තමන් සතු බලයක් බවය. මේ සියල්ලේම අවසානය වුයේ සිරිදාසගේ සිතේ ඇති මැදහත්බව මැකීයාම පමණි. සිරිදාස හැම දිනකදිම අන්‍යන්ගේ බලපෑම් නොරිස්සු අයෙකි.ඔහුගේ කාර්යාල ජීවිතයේදී ඔහු මෙම බලපෑම් වලට එරෙහිව කෙලින්ම කටයුතු කළේය. නමුත් වර්තමානයේදී සිදුවන මේ නැදෑ හිතමිතුරන්ගේ බලපෑම්වල සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් එසේ බලපෑම් කල බවට පෙන්වන ශාක්ෂි සිරිදාසට සොයා ගැනීමට නොහැකි කමය. බලපෑම් කිරීම ගැන කාට හෝ ඇඟිල්ල දිගුකලවිට තමන් එසේ නොකළ බව අදාළ අය පවසයි.

තරහ ගැනීමෙන් හෝ පරිසරයෙන් ඉවත්වීමෙන් මේ ගැටලුව විසඳිය නොහැකි බව සිරිදාසට වැටහුනේ තදබල අන්දමින් තම අත  පුච්චා ගත්  සිදුවීම් කිහිපයකින් පසුවය . කුමක් හෝ කර මේ අහිතකර තත්වය වහාම පාලනය කලයුතුය. නමුත් කලයුත්තේ කුමක්දැයි සිරිදාස නොකඩවා කල්පනා කළේය. මෛත්‍රි  භාවනාව නොකඩවාම වැඩිය යුතු දෙයක් බවට මෙත්තානිසංස සුත්‍රයේ සඳහන් කර ඇති බව සිරිදාසට අවසානයේදී සිහියට නැගින. එබැවින් ඔහු මෛත්‍රී භාවනාව වැඩීමට සිතාගති. වෙන විකල්පයක් නැත.

මෛත්‍රී භාවනාව වැඩිම ගැන අද්දැකීම සිරිදාසට ඇත.පළමුව තමන්ට මෛත්‍රී කර,දෙවනුව තම නිවසේ අයට මෛත්‍රී කර,ඉන් පසුව එය තම සමීප නැදෑ හිතමිතුරන් තෙක් පතුරා අවසානයේදී සියලු මිනිසුන් කෙරෙහි මෛත්‍රී කිරීමෙන් පමණක් නොව සියලු සතුන් වෙතද මෛත්‍රී කලයුතු යයි සිරිදාස දනී.අදාළ භාවනා වැකි ඇතුලත් සටහන් ඔහු සතු භාවනා වැකි අඩංගු  පොතේ ඇත. ඒ අනුව මිට පෙර කිහිප වතාවක් පුර්ණ වශයෙන් මෛත්‍රී භාවනාව වැඩු පුරුද්ද සිරිදාසට ඇත.එහෙත් ඔහු සිතා සිටියේ මෛත්‍රී භාවනාව යනු සිත සමාධි ගත කරගැනීමට අවශ්‍ය වන්නාවූ මුලික පියවරක් ලෙසින් භාවිතා කරන උපකරණයක් පමණක් ලෙසින්ය. එමෙන්ම තම මෛත්‍රියට භාජන වන අයගෙන් පෙරලා හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ යන බලාපොරොත්තුවකුත් ඔහුගේ සිතේ කොනක තිබිණ.ආනාපානසති හෝ විදර්ශනා වැනි ඉහල තලයේ භාවනා වඩන  අයෙකු මේ මුලික පියවර මුලදීම අනුගමනය කර ඇති නිසා ඒවා වෙත තම සිත නැවත වරක් යොමු කිරීම කාලය නාස්ති කිරීමක් යයි සිරිදාස සිතිය. 

අන්තර්ජාලයේදී ත්‍රිපිටකය බලද්දී රාහුලොවාද සුත්‍රය සිරිදාසගේ නෙතට ලක්වුයේ අහම්බෙනි. බුදුන් වහන්සේට  කුඩා රාහුල තෙරුන් විඳි පාරිසරික ගැටළු පෙනුණු විට බුදුන් වහන්සේගේ පළමු විසඳුම වුයේ මෛත්‍රී කරන ලෙසින් කුඩා තෙරණුවන්ට උපදෙස් දීමය. වැඩි වැඩියෙන් මෛත්‍රී කරන ලෙසත් බහුල ලෙස වැඩු මෛත්‍රිය මහත්ඵල මහානිසංස ගෙනදෙන බවත් තේරුම් කර දීමය. මේ කොටස මැනවින් කියවූ සිරිදාසට සිතුනේ අන්‍යන්ට මෛත්‍රී කිරීම ගැන මෙතෙක් කලක් තමන් සිතුවේ වැරදියට බවය. මෙතෙක් කලක් ඔහු සිතා තිබුනේ මෛත්‍රී කිරීම හොඳ සිරිතක් බවත්,එය භාවනාවේදී අනුගමනය කලයුතු මුලික පියවරක් බවත්ය. එහෙත් දැන් ඔහුට ප්‍රත්‍යක්ෂ වුයේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන පරම ප්‍රතිඵලය වන්නේ බාහිර අරමුණු වල බලපෑම නිසා බිඳුණු තම සිත නැවතත් මැදහත් කර ගැනීම බවය. බාහිර අරමුණු වලින් මිදීමට නොහැක.ඒවායින් සිදු වන  බලපෑමේ අඩුවැඩි බව මවා පාන්නේද සිතය. සිතේ තිබෙන ඉන්ද්‍රජාලික තත්වය නැතහොත් මායාකාරී ස්වභාවය  සිතටම ආවේනිකවූ  මුලික ලක්ෂණයකි. එය සිරිදාස වැන්නෙකුට නැවැත්විය හැකි දෙයක් නොවේ. කලයුත්තේ සිතේ ඇති එම මුලික ලක්ෂණය නිසා බිඳෙන මානසික සමතුලිත බව පාලනය කිරීම පමණි. එසේ නැතිව බාහිර බලපෑම් නිසා සිතටඅලුතින් ඇතුළත්වූ සිතුවිලි වලට  අනුගාමිව ප්‍රතිවිරෝධි සිතුවිලි මතුකිරීම හෝ ඒවා දෙස නැවත නැවත බැලීම නොවන බව සිරිදාසට වැටහින .බොහෝ ලෙසින් වැඩු මෛත්‍රී භාවනාව මහත්ඵල මහානිසංශ ගෙනදෙන බව බුදුන් වහන්සේ කුඩා රාහුල තෙරණුන්ට පමණක් නොව ලොව සියලු දෙනාටම වටහා දී ඇති බව තම සිතට හැඟුනවිට ඇතිවූ සතුටින් තම නෙත අගට කඳුළු බින්දුවක් නැගීම වැළැක්වීමට සිරිදාසට නොහැකිවිය.  මෛත්‍රී භාවනාවෙන් ලැබෙන  මුලික ප්‍රතිඵලය  බාහිර අරමුණු වලින් නොමග යන තම සිතතුල නැවත මැදහත් බව ඇති කිරීමය. බාහිර අරමුණු නිරන්තරයෙන්ම පැමිණෙන  නිසා නැතිවන සිතේ මැදහත් බව නැවත ජනිත කර ගැනීම සඳහා නැවත නැවතත් මෛත්‍රී භාවනාව වැඩිය යුතුය.එය හරියටම කොතරම් හොඳ බෙහෙතක් උවත් එක්වරක් පමණක් ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලබෙන්නාක් මෙනි යයි සිරිදාසට වැටහින.               











  

Monday, November 4, 2013

දන්නෝ දනිති අර කොල්ලො තමයි අපි ලෝකාන්තය නැරඹු විදුදය කඳුරට මිතුරෝ




මිට කලින් මේ මතෘකාවෙන්ම ලිපියක් ලිව්වා මතකනෙ.එදා ලිව්වේ විදුදය කඳුරට මිතුරෝ ගැන අද මේ ලියන්නේ ඒ අපි 2013.11.02 දින ලෝකාන්තය නැරඹු චාරිකාව ගැන.කට කපල ගැනු පිරිමි දෙපාර්ශව යෙන්ම 34 දෙනෙක් මේ චාරිකාවට සහභාගිවුණා. ඔක්කොම කට්ටිය  අවුරුදු 60 පැන්න අය. 70 පැන්න කීප දෙනෙක්මත් හිටිය.නුවරින් උදේ 6.00 පිටත් වෙන්න සැලසුම් කලත් විනාඩි 45ක්ම පරක්කු උනේ අපේ සමහර අයට උදෙන් නැගිටීමට තිබුන අපහසුව නිසාමයි.කොහොම උනත් මේ පරක්කුවිම මුළු ගමනටම අහිතකර බලපෑමක් ඇතිකළ එක නම් ඇත්තයි.  ගමන් විස්තරය පින්තුර වලින්ම කියන එක හොඳයිනෙ.


මේ වීඩියෝ කැමරාව මානාගෙන ඉන්නෙ සුනිල් දිසානායක අපේ සංගමයේ භාණ්ඩාගාරික. එයාගේ ප්‍රියාදර බිරිඳ චන්ද්‍රා (එයත් විදුදයේ තමයි) මේ ගමනට ආවේ නැහැ. එයා ඕස්ට්‍රේලියාවේ ගිහින් දුවට තනියට.
ලෝකාන්තයට යනකල් බස් එකේදී අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුනා.විශ්ව විද්‍යාල ජිවිතයෙන් පසු ටික දෙනෙක් නිතර නිතර හමුවුනත් සමහර අය 1960 දශකයෙන් පසුව   මුණගැසුනේන් එදා තමයි.වැඩි දෙනෙක්ගේ දරුවන් ඉන්නේ විදේශයන්හි පදිංචි වෙලා.එක්කෝ  ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ,නවසීලන්තයේ නැත්නම් එංගලන්තයේ. අද දෙමාපියන්ට වෙලා තියෙන්නේ දරුවන් skipe එකෙන් මුණගැහෙන්න එහෙම නැත්නම් දෙන්න දෙමාල්ලෝ මාරුවෙන් මාරුවෙන් ඒ රටට ගිහින් දරුවන්ට තනි රකින්න. මට නොතේරෙන දෙයක් තමයි මේ දරුවන්ට මොකද වෙලා තියෙන්නෙ කියල.(මේක ඉරිසියාවට එහෙම කියන දෙයක් නෙමෙයි.මගේ දුවත් ඉන්නේ නවසීලන්තයේ)  මේ රටේ රැකියාවක් නැත්නම් හොඳ ආර්ථිකයක් නැත්නම් එහෙම නැත්නම් හරි හමන් සමාජ වටපිටාවක් නැත්නම් ඒවා හදා ගන්න පිටරට ගියාට කමක් නැහැ. ඒ උනත් මේ ඔක්කොම උගත් දරුවෝ.මෙහෙ හොඳ රක්ෂා කරපු අය.ඒ ඔක්කොම දමල ගහල රට යන එක ගැන මගේ නිගමනය නම් මේ තරුණ ළමයින්ට තියෙන්නේ රට යාමේ උන. 

කතාව නවත්වල අපේ සංචාරයට ආපහු එමු. මම හොඳ photographer කෙනෙක් නෙමෙයි.පාවිච්චි කලෙත් පරණ digital කැමරා එකක් මෙතනට ඕනෑ වෙන්නේ tele lence එකක් සහිත කැමරා එකක්. 




මේ තියෙන්නේ ලෝකන්තයේදී අපිව පිළිගන්න මග දිගටම හිටපු නෙලූ මල්. මේවා පිපෙන්නේ වසර 12තට වරයි.ආයෙත් පිපෙන්නෙ 2025දි තමයි 



මේ තියෙන්නෙ නොයිඳුල් තැන්න.

















මේ මා දුටු ලස්සන මල් පොකුරු








සුනිල් සහ ආනන්ද රත්නායක

ආනන්ද සහ මම




 ලෝකාන්තයේ නාම පුවරුවක් 






ලෝකාන්තයේ ගැට්ටේ ඉඳල මම මේ ෆොටෝ එකට මුහුණ දුන්නේ පිටිපස්සෙන් තියෙන්නේ මිදුම ෆොටෝ එකට මේ දැරිවී කොහෙන් පාත් උනාද මන්ද?ඒ උනත් හැඩකාර දැරිවියක් .


මේ මම මහා ලෝකාන්තයට පිටුපාල  .පිටිපස්සේ තියෙන්නේ තනිකර මිදුම


ලෝකාන්තයෙන් පහලට බැලුවිට යාන්තමින් පෙනෙන නන්පෙරිල් තේ වත්ත


මේ තියෙන්නේ බෙලිහුල් ඔය 






මේ ෆොටෝ එකේ තියෙන විශේශත්වය තමයි හීතලේ අපි ගැහි ගැහි යනකොට මේ ජලාශයේ මේ පොඩි පැටියයි එයාගේ තාත්තයි ජලක්‍රිඩාවේ යෙදෙමින් ඉන්න එක .මේ පැටියාගේ වයස අවුරුදු 7යි. ඉගෙන ගන්නේ නුගේගොඩ අනුලාවේ. නම නම් අහගන්න අමතක උනා. මේ ජලාශයට කියන නම චිමිනි පුල් .










පුදුමේ කියන්නේ හරියට කතරගම යනකොට රජ මාවතේදී හමුවෙන කම ඉල්ලන වල අලි වාගේ මෙහෙත් ඉන්නවා මිනිසුන්ගෙන් බත් ඉල්ලගෙන කන ගෝන්නු.පහල ෆොටෝ වල ඉන්නේ එහෙම කෑම ඉල්ලන ගෝන පැටියෙක් තමයි  




සිතල මකා ගන්න අනුමත වෙන යාලුවෝ මුලින්ම ඉන්නේ උකුවෙල




සුරිය කුමාරයි (අපේ සභාපති )ආනන්ද,මිතලාව කරුණාදාස උඩගේ,පිටිපස්සෙන් ඉන්නේ සුමනා 



අපි ලෝකාන්තය චාරිකාව සම්පුර්ණ කලේ කිලෝ මීටර 10කට වැඩියෙ පයින්ම ගමන් කරමින්.අපේ කට්ටියේ වැඩි දෙනෙක් දියවැඩියාව,හර්ද රෝග,අධික කොලොස්ටරෝල්,පීනස ආදී රෝග වලින් පෙළුනත් ගමන අතෑරියේ නැහැ.එක් අයෙකුට විතරක් කෙන්ඩා  පෙරලිමකින් අපහසුතාවයට පත් උනා.දවල්ට කෑවේ හැන්දෑවේ 6.30ට  නුවරඑ ලියේදී.ඊට කලින් ලෝකාන්තයේදී සවස 4.00ට විතර රොටි දෙකක් කාල තේ එකක් බිව්වා.ඒක නියමෙට වැදුනා.
මේ ගමන ගැන විස්තර කරද්දී ඔබත් ලෝකාන්තය බලන්න ගිය ගමන මතක් වෙන්න ඇති.   







Tuesday, August 6, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.17 වන කොටස,,, සිව් වන ධ්‍යානය මත සප්ත බොජ්ඣංග අනුගමනක්රමින් විදර්ශනා භාවනාව වැඩිම..

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.17 වන කොටස,,, සිව් වන ධ්‍යානය මත සප්ත බොජ්ඣංග අනුගමනක්රමින් විදර්ශනා භාවනාව වැඩිම..



නැවත සතරවන ධ්‍යානයට තම සිත ස්ථිරවම පිහිටුවා ගත් සීලදාස සප්ත බොජ්ජංග ධර්ම වලින්  පළමු එක වන සති සම්බොජ්ජන්ගය  එනම්  සිහිය  පිහිටුවා ගැනීමට පටන් ගත්තේය. වෙනත් සිතුවිල්ලක් මතුවීම වැලක්වීමට තම සිත ආශ්වාශ හා ප්‍රශ්වාශය දෙසම මැනවින් පිහිටුවා ගෙන සිටියේය. දැන් පෙ ර දි සිදුවාක් මෙන් සිත අයාලේ නොයන බවත්,වෙනත් සිතුවිල්ලක් පැමිණියත් එය ඉක්මනින්ම හඳුනාගෙන ඒ අනුව අනුරූපී  චේතනා පහළවීම වලක්වා ගතහැකි බව සිරිදාසට මැනවින් වැටහින. ඔහුට වැටහුණු  තවත් කාරණයක් වුයේ සිත ස්ථාවර කලත් එය තුලට වෙනත් සිතුවිලි ගලා ඒම වැලැක්විය නොහැකි තරම් සිත මායාකාරී  බවය. එමෙන්ම සිත ඉතාම වේගයෙන් වෙනත් වෙනත් සිතුවිලි ඉපදවීමේ හැකියාවකින්ද යුතු බවද ඔහුට වැටහුණි.මෙහිදී තමන් විසින්  කලයුතු වන්නේ ආනාපානසතිය අතරතුර පහල වන ඒ වෙනත් සිතුවිලි ඉදිරියට ගලා ඒම වැලැක්වීමය. එසේ කිරීමට සිරිදාස සමත් විය.

   මෙසේ  ස්ථිරවම පිහිටවූ සති සම්බොජ්ජන්ගයෙන් පසු ඔහු ධම්ම විජය සම්බොජ්ජන්ගය වැඩිමට සිතිය. තමන් විසින් කලින් හැදෑරු විවිධ ධර්ම කාණ්ඩයන් තිබුනත් මේ වෙලාවේදී සිරිදාසගේ සිතට නැගුනේ ගිරිමානන්ද සුත්‍රයයි. එය සරලය. සිහියෙන් පෙළ ගස්වා ගැනීමට එතරම් ආයාසයක් දැරිය යුතු නැතැයි  සිතු සිරිදාස ගිරිමානන්ද සුත්‍රය සිහියට නගා ගෙන ඒ අනුව දශ සඥා වැඩීමට කල්පනා කළේය. පළමුව සිහියට නැගිය යුත්තේ අනිත්‍ය සංඥා ව යයි සිතු ඔහු එය සිහියට නගා ගත්තේය.

1. අනිත්‍ය සංඥා

 සියලුම සංස්කාරයන් එනම් සිතුවිලි තුල ඇත්තේ සිතුවිලි ඇතිවීම,ඒවා වෙනස් වෙමින් පැවතීම සහ සිතුවිලි හට ගැනීම නැවතීම යන පොදු ධර්මතාවය බව වටහා ගත්  ඔහු මෙසේ ඇති වන සිතුවිලි රුප, වේදනා,(විඳීම) සංඥා  (දැනගැනීම) සංඛාර (සිතුවිල්ලක්) ඇතිවීම සහ විඥාන (සිතක්) පහල වීම වශයෙන් තවදුරටත් වර්ග කර ගත්තේය. එමෙන්ම සියලුම සංස්කාරයන් ඇතිවන ස්ථාන ලෙසින්  ඇස, කණ, නාසය, දිව, ශරීරය, සහ මනස යන පංච උපාදාන ස්කන්ධයන් හඳුනාගත් ඔහු එම සියලුම පංච ඉන්ද්‍රියන් සැදී ඇත්තේ නාම(වේදනා, සඥා, සංඛාර, සහ චේතනා ) සහ රුප (පඨවී ,ආපෝ,තේජෝ,වායෝ) වලින් බවද සියට නගා ගති   ඒ ඒ ස්ථානයන්හි ඇති වන සංස්කාර රුප, වේදනා, සඥා, සංඛාර, විඥාන වශයෙන් තව දුරටත් බෙදා වෙන් කර හඳුනා ගත්තේය.

මේ සියලුම ස්ථාන වලින් අතිතයේදී ලැබුණ,වර්තමානයේදී ලැබෙමින් පවතින එමෙන්ම අනාගතයේදී ලැබීමට නියමිත සියලු රුප නිත්‍ය නොවන බව සිහිකර ගති.ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පැමිනි  හෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ  වේවා අනිත්‍ය යයි  ඔහු විර්යෙන් සිතුවේය.

එසේම සියලු ශබ්ද  නිත්‍ය නොවන බවද  සිහිකර ගති. ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පැ මිනි හෝ වේවා, බාහිරෙන් පැමිනි හෝ  වේවා, අනිත්‍ය යයි  ඔහු විර්යෙන් සිතුවේය. 

සියලු ගඳ සුවඳ  නිත්‍ය නොවන බව සිහිකර ගති. ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පමිනිහෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ  වේවා අනිත්‍ය බව ඔහු විර්යෙන් සිතුවේය.

සියලු පහස  නිත්‍ය නොවන බව සිහිකර ගති.ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා, මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පමිනිහෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ  වේවා අනිත්‍ය බව ඔහු විර්යෙන් සිතුවේය.


සියලු අරමුණු  නිත්‍ය නොවන බව සිහිකර ගති.ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පමිනිහෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ  වේවා අනිත්‍ය බව ඔහු විර්යෙන් සිතුවේය.


2. අනත්ත සඥා 

ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන පංච උපාදාන ස්කන්ධ යන්ගෙන් ජනිත වන සියලුම සිත් මගේ නොවන බවත්, මම නොවන බවත් සිතු සිරිදාස ඒවා මට උවමනා විදියට හැසිරවීමට  නොහැකි බවත්  සිතා ගති.    


 3. අසුභ සඥා

සිරිදාස මේ වෙලාවේ තම කය සහ එහි සියලු කොටස් අසුභ බව සිහියට නගා ගත්තේය.සමෙන් වැසි ගත් තම කය දෙස බැලු ඔහු කේශාන්තය සිට පාදාන්තය තෙක් සිය කය කෙස්,ලොම්, නිය,දත්,සම,මස්,නහර,ඇට,ඇටමිදුළු,වකුගඩු,හදවත, අක්මාව, දළඹුව,බඩදිව,පෙනහැලි,බඩවැල්,බඩවැල් බඳුන්,නොපැසුණු ආහාර,පැසුණු ආහාර පිත, සෙ ම, සැරව, ලේ, දහදිය, මේද තෙල්, කඳුළු,වුරුනුතෙල්, කෙල, සෙම, සඳමිදුලු, සන්දිලාටු, ආදී සියල්ලම තුල ඇත්තේ කුණප කොටස්  බවත් සිහියට නගා ගති. කෙතෙක් උලා පිරිසිදු කලත්,කෙතෙක් සුවඳ විලවුන් ආලේප කර සම මතුපිටට නැගෙන කුණු ගඳ වැලක්වීමට නොහැකිවූ බව ඔහු කල්පනා කළේය.ගතවූ වසර 66 තුල කෙතරම් රාත්තල් ගණනක් විවිධ වර්ග වල සබන්,මෙන්මා කෙතරම් ලීටර් ගණනක් සුවඳ විලවුන් තම සම මතු පිට ආලේප කලද දෙදිනක් නොසේදුවොත් සමෙන් නැගෙන දහදිය ගඳ අසුභ නොවන්නේද යන්න ඔහු කල්පනා කළේය.          





      

Tuesday, July 30, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.16 වන කොටස,,, සිව් වන ධ්‍යානය මත විදර්ශනා භාවනාව වැඩිම


 16  වන කොටස,,, සිව් වන  ධ්‍යානය මත විදර්ශනා භාවනාව වැඩිම

 

  අටවන ධ්‍යානයේ සිට නැවතත් සිව් වන ධ්‍යානය තෙක් පිලිවෙලින් තම සිත පහලට ගත්  සිරිදාස දැන් සිව්වන ධ්‍යානය තුල තම සිත ස්ථිරවම පිහිටුවා ගෙන,සිත විසිරවන අරමුණු කරා ඇදීයාම වැලැක්වීම සඳහා  නැවතත් ආශ්වාශ ප්‍රශ්වාශයට සිත යොමු කළේය. ඉන්පසු  බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මස්කන්ධ 82,000 සහ ශ්‍රාවක මහා සංඝයා වහන්සේ විසින්දේශනා කල ධර්මස්කන්ධ 2,000 එක්ව සැදුනු ධර්මස්කන්ධ 84,000න් මේ අවස්ථාවේදී විදර්ශනාව වැඩිම සඳහා කුමන ධර්මස්කන්ධයක් තෝරා ගත යුතුදැයි මදක් කල්පනා කළේය. ඔහු සිතුවේ පහත  කියවෙන ගුණාංගයකන් අඩුවැඩි වශයෙන් තිබෙන ධර්මස්කන්ධයක් දැන් තෝරා ගැනීම සුදුසු බවයි. එකී ධර්මස්කන්ධය විදර්ශනාව වැඩිම සඳහා අදාළ විය යුතුය.සරල විය යුතුය.තමන් දන්නා විදර්ශනාවක් විය යුතුය. තම සිත විසින් ප්‍රශ්නයක් නොනගාම පිළිගන්නා එකක් විය යුතුය.


මේ කාරණය හරියාකාරවම ඉටුකර ගැනීමට නම්   දැනට තමා ස්ථිරවම සිටින ස්ථානයඑනම් තම ස්ථාවරය  කුමක්ද යන්න පළමුව නිරාකරණය කලයුතුයි සිරිදාස සිතුවේය.තමා මිට කලින් වැඩු බුද්ධානුස්සති භාවනා වල ප්‍රතිඵලයක් වශයෙන් බුදුන් වහන්සේ,දහම් සහ සඟුන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් තම සිත තුල ගොඩනැගී ඇති බව තහවුරු පළමුව කරගත්තේය.ශ්‍රධාව මත නොපිහිටිමින් ලබා ගන්නා දැනුමින් තර්ක කිරීමට හෝ විවේචනය කිරීමට හැකි උවත් ඉන් ඊට එහා ලබන පලක් නැති බව තම පසුගිය අත්දැකීම් තුලින් දන්නා සිරිදාස එසේ  ශ්‍රධාව රහිතව ලබන දැනුම පිළිකෙව් කළේය.

 ඉන්පසු සිරිදාස කල්පනා කලේ තමා චන්ද(කැමැත්ත),චිත්ත,විරිය,විමංසා යන සතර සෘධි පාද වඩමින් ධර්මය හැදෑරුවේද යන්නය. ධර්මය හැදෑරීමට ඔහු තුල කැමැත්තක් ඇති උනේ තමාට දිගින් දිගටම  උගුල් අටවමින් හිරිහැර කරන්නන්ගෙන්  බේරීමට ඇති ඒකායන  මාර්ගය වුයේ ඔවුන්ට නැවත ඒ අයුරින්ම  ප්‍රතික්‍රියා දැක්වීමෙන් නොව නමුත් මෛත්‍රී භාවනාව් වැඩීමෙන් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වීමෙන් පසුවය. මෛත්‍රී භාවනාව් වැඩීමෙන් ලද සැනසිල්ලෙන් සතුටට පත් සිරිදාසට තව දුරටත් ධර්මය ඉගෙන ගැනීමට සිතක් ඇතිවිය.(චිත්ත) ඔහු ඒ සඳහා නොමසුරුවම අන්තර්ජාලය භාවිතා කළ අන්දම සිහිපත් කළේය.මේ කාර්‍ය සඵල කරගැනීමට නොදන්නා මිතුරෙකු විසින් ඊමේලයකින් එවූ tipitaka.org නම්වූ ලිපිනය මැනවින් උපකාරිවු අන්දම සිහිපත් කළේය. ඔහු මතත්වූ වෙරක් යොදා ත්‍රිපිටකයේ අඩංගු සුත්‍ර කියවිය. කටපාඩම් කිරීමේ පහසුවටම සකස් කර ඇති එකී සුත්‍රයන්හි අඩංගු වන අදහස ඔහුට මැනවින් නොවැටහුනේ ඔහු පුරුදුව සිටි ඉගෙන ඉගැනුම් ක්‍රමයවූ කියවා තේරුම් ගැනීමේ ක්‍රමයට එය හාත්පසින්ම වෙනස්වූ නිසාය.අනෙක කටපාඩම් කිරීමේ පහසුව උදෙසා සුළු කරුණක් බොහෝ විස්තර සහිතව ඇති අතර වැදගත්ම කරුණ ඇත්තේ එකම වාක්‍යකින් බවද ඔහුට පෙනින. එබැවින් සිංහලෙන් තේරුම් සහිතව  සුත්‍ර සජ්ඣායනා කරන ස්ථාන (අසපු) කරා යමින් වෙහෙස මහන්සිවී (විරිය) සුත්‍ර අසමින් මෙන්ම අසා ගන්නා අවස්ථාවේදීම ලියා ගෙන පසුව විමර්ශනය (විමංසා) කිරීමෙන් ටහ්මන් සතර සෘද්ධි පාද මැනවින් වඩා ඇති බවට සැකහැර දැනගති.

එමෙන්ම ඉන්පසු ශ්‍රද්ධා,සති,සමාධි,ත්‍යාග,පඤා  යන පංච බලයන් වර්ධනය කරගත් අන්දමද සිහියට නගා ගත්තේය. එදිනෙදා ජිවන අරගලයක යෙදෙන විට පොකට්ටුවේ ඇති අන්තිම සතය දක්වා ගණනය කර කටයුතු කිරීම සිරිදාසට පුරුදුවුයේ ඔහුට තිබුනේ මසකට එක වරක් පමණක් මදක් පිරෙන පොකට්ටුවක් නිසාය. මෙනිසා බස් රථයට හෝ දුම්රියට නැගෙන යදියෙකුට හෝ පුලන්නෙකුට කාසි කිහිපයක් දීම හෝ අනුකම්පාවකින්      යුක්තව අසරනයෙකුට අසුනක් දීම වැනි කුශලයක්  කලේ ඉතාමත්  කලාතුරකිනි. බොහෝවිට සිදුවුයේ එසේ මුදලක් හෝ අසුනක් නොදීමට අවශ්‍ය හේතු මොනවාදැයි සෙවීමයි. එහෙත් සිරිදාස ඉන්දියාවේ හැර අනෙක් රටවල සිටි කෙටි කාලය තුලදී තමන්ට අසරනයෙකුට එවැනි උපකාරයක් කර කුශලයක් කරගැනීමට අවස්ථාවක් නොලද ආකාරය සිහිපත් කළේය. ත්‍යාග කිරීම යනු අත්හැරීම යන්න දහම තුලින් ඉගෙන ගත සිරිදාස දැන් එවැනි අවස්ථාවන් එළඹීම ගැන සිහි කරන්නේ එවැනි අවස්ථා උදාවන්නේ  තමන්ට කුසල් කිරීමට බව දැන තමන්ට හැකි පරිද්දෙන් එවැනි ත්‍යාග(දන්දීම්) කරන බවය.

ධර්මය නුවනින්(පඤා)විමසීමෙන් පසු තමා ශ්‍රද්ධා,සති,සමාධි,ත්‍යාග,පඤා යන පංච බලයන් වර්ධනය කර ගත් ආකාරය සිහිකළ සිරිදාස ඉන්පසු විදර්ශනා භාවනාව වැඩිය යුතු ආකාරය  මෙනෙහි කළේය.


  තමාට ආයාසයකින් තොරවම මේ අවස්ථාවේදී වැඩිය හැකි දෙයක් වියයුතුය. ආනාපාන සති සුත්‍රය ඉගෙන ගැනීමේදී සිරිදාස එය මැනවින් වටහා ගැනීම සඳහා ආශ්වාශ ප්‍රශ්වාශය වඩා සිත එම අරමුණ වෙනුවෙන්ම ස්ථාවර කරගැනීම විස්තර කරන බොහෝ සුත්‍ර ඉගෙන ගත්තේය. ඒ අතරින් දැන් ඔහුගේ සිතට නැගුනේ ගිරිමානන්ද සුත්‍රයයි.


ගිලන්ව වැඩසිටි ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට කායික සහ මානසික සුවය ලැබීමට සඳහා දශ සඥාවන් වඩන ලෙස බුදුන් වහන්සේ අනුදැන වදාරමින් ආනන්ද හිමියන්ට දෙසු මෙම ගිරිමානන්ද සුත්‍රය මැනවින් සිහිකළ සිරිදාස එම දශ සඥාවන් පහත අන්දමින් සිතේ සටහන් කරගත්තේය.
   
- අනිත්‍ය සඥාව 
- අනත්ත සඥාව
- අසුභ සඥාව
- ආදීනව සඥාව
- පහාන සඥාව
- විරාග සඥාව
- නිරෝධ සඥාව 
- සබ්බ ලෝකේ අනභිරත සඥාව
- සබ්බ සංඛාරේ අනිත්‍ය සඥාව 
- ආනාපානසති 

මේ දශ සඥාවන්ගෙන් අවසාන සඥාවවූ ආනාපානසතිය දැනටමත් තමන් විසින් වඩමින් සිටින බැවින් අලුතින් වැඩිය යුත්තේ පළමු සඥාවන් නමය බව නිශ්චය කරගත් සිරිදාස ඒ අනුව එම සඥාවන් බොජ්ඣංග ධර්ම 7 අනුව වැඩීමට සුදානම් විය.
බොජ්ඣංග ධර්ම 7 වැඩිම ගැනවූ මාදන්කඩවර සුදස්සන හිමියන්ගේ දේශනාව ඔහුට මතක්වුයේ නිරායාසයෙනි. 

 "පළමුවැන්න සති සම්බොජ්ජංගය. හැම වෙලාවෙ ම තමන් ගෙ මනස පැත්තට නැඹුරු වෙල හොඳ අවධානයෙන් ඉන්නව

 - තමා තුළ සති සම්බොජ්ජංගය තියෙනව ද කියල හොඳට අවධානයෙන් ඉන්නව.

  - විරිය සම්බොජ්ජංගය කියන්නෙ තමන් කෙලෙස්‌ තවාගන්න ඕන කියන උත්සාහයෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තබාගැනීම. 

- ධම්මවිචය තියන්නෙ නිතර ම දහමක්‌ සම්මර්ශනය කරමින්, දහම් කරුණු නුවණින් විමසමින් ද ඉන්නෙ කියන කාරණාවට සිහියෙන් ඉන්න ඕන.

- ඊට පස්‌සෙ පීති බොජ්ජංගය කියන්නෙ තමන් තුළ නිරාමිස ප්‍රීති ස්‌වභාවයක්‌, ධර්මයෙන් යුක්‌ත නිරාමිස සතුටක්‌ ඇති ස්‌වභාවයක්‌ තිබෙනව ද නැද්ද කියන එක ගැන සිහියෙන් ඉන්න ඕන.

- ඒ වගේ ම පස්‌සද්ධිය කියන්නෙ ධර්මය නිසා ම කයේ සන්සිඳුණ ගතියක්‌, රළු බව අඩු වෙච්ච ගතියක්‌ තමා තුළ තියෙනව ද නැද්ද කියල හොඳට සිහියෙන් ඉන්න ඕන.

- සමාධි  සම්
බොජ්ජංගය තමා තුළ චිත්ත සමථයක්‌ තියෙනව ද නැද්ද කියල සිහියෙන් ඉන්න ඕන.

උපෙක්‌ඛා - තමා තුළ උපේක්‌ඛා ස්‌වභාවයක්‌ තියෙනව ද නැද්ද කියල හොඳ සිහියෙන් ඉන්න ඕන.



              






Sunday, July 28, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.15 වන කොටස අරුපාවචර ධ්‍යානයන් වෙත දැහැන් ගතවීම

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.15  වන කොටස අරුපාවචර ධ්‍යානයන්  වෙත දැහැන් ගතවීම 

 දැහැන් ගතවීම - ආකාශානන්චායතනය 

සිරිදාස පියාගත් දෙනෙත් තුලින් පෙනෙන අඩ  එළියක් ඇති ආකාශය දෙස බලාගෙනම ආශ්වාශ හා ප්‍රශ්වාශ දෙසට සිය අවධානය යොමු කරමින් සිටියේය.ඔහුගේ දසතින්ම ආකාශය පෙනේ. හරියටම මුහුද මැද  නැවක සිටින විට වෙනත් බාධාවකින් තොරව තමන් සම්පුර්නයෙන්ම ආකාශයට විවරවී ඇත්තාක් මෙන්ය.කලකට පෙරදී  මුහුදේදී හෝටලයකට පෙරළු පැරණි නැවක රාත්‍රියක් ගතකල අත්දැකීම සිරිදාසට සිහියට නැගින .හෝටලයක් උවත් එය පානොවන සේ නැංගුරම් දා ඇති නැවකි. නිරන්තරයෙන් වදින රල පහර හේතුවෙන් නැව් හෝටලය පැද්දෙයි. සිරිදාසට ලැබුනේ මුහුද පැත්තට මුහුණලා ඇති කාමරයකි. සිරිදාස රැ  නින්දටපෙර  තම කාමරයේ බිත්තියේ ඇති රවුම් වීදුරුව තුලින් පිටත බලා සිටියේය. අඳුර නිසා පහතින් ඇති ජලය නොපෙනුනත් අඩ  අඳුරින් යුත් ඉහල අහස සම්පුර්නයෙන්ම ඔහුට නිරාවරනවී තිබිණ. රවුම් වීදුරුව තුලින් සිරිදාස  වෙනත් කිසිදු ප්‍රාණියෙක් නොදිටිය. මුළු ආකාශයම ඔහු ඉදිරියේ තිබිණ. දැන් තමාට මුළු ආකාශය පෙනෙන්නේ එදා නැවේදී මුළු ආකාශයම පෙනුණු ආකාරයටම යයි ඔහුට සිතින. ඔහු දිගින් දිගටම පියාගත් දෙනෙත් තුලින් පෙනෙන අඩ  එළියක් ඇති ආකාශය දෙස බලාගෙනම ආශ්වාශ හා ප්‍රශ්වාශ දෙසට සිය අවධානය යොමු කරමින් සිටියේය.       


දැහැන් ගතවීම - වින්ඥානන්චායතනය 


 දිගින් දිගටම පියාගත් දෙනෙත් තුලින් පෙනෙන අඩ  එළියක් ඇති ආකාශය දෙස බලාගෙනම ආශ්වාශ හා ප්‍රශ්වාශ දෙසට සිය අවධානය යොමු කරමින් සිටිද්දී ඔහුට හැඟුනේ  තමා ඉදිරියේ ඇති මේ ආකාශය හුදෙක් කිසිවක් නොමැති අවකාශයක්ම නොවන බවය.  මෙම අවකාශය තුල නානා ප්‍රකාරයේ සංඥාවන් ගමන් කිරීමට ශක්තිමත් ජාලයන් ගෙන් පිරි තිබෙන බව ඔහුට පෙනින. එමෙන්ම විවිධාකාර සංඥාවන්  තම ගමන්  මග නොවරදවා ගෙනම එක සීරුවට ගමන් කරන අන්දම ඔහුට පෙනින. 


දැහැන් ගතවීම - ආකින්චඥායතනය 


  අවකාශය තුල එම ශක්තිමත් ජාලයන් තම අඣත්ථ(අභ්‍යන්තර) සංඥාවන් බාහිරට ගමන් කිරීමට  මෙන්ම බාහිර සංඥාවන්  (බහිඣ ) තම අභ්‍යන්තරයට ගමන් කිරීමට මෙන්ම අභ්‍යන්තර සහ  බාහිර සංඥාවන් එකිනෙකා සමග නිවැරදිව සම්බන්ධ වීමට තරම් පොහොසත් හා ශක්තිමත් බවද ඔහු වටහා ගත්තේය. හරියටම කිසිවෙකු හෝ ඒවා නිවැරදිව මෙහෙයවන්නාක් මෙනි. 


දැහැන් ගතවීම - නෙව සංඥා නා සංඥායතනය 

 දිගින් දිගටම පියාගත් දෙනෙත් තුලින් පෙනෙන ආකින්චඥායතනය දෙස දිගින් දිගටම අවධානය යොමු කල  සිරිදාස කිසිදු සංඥාවක් ලැබෙන හෝ නොලැබෙන මට්ටමට තම සිත පත් කිරීමට උත්සාහ කළේය. එහෙත් එය එක වරම කිරීමට අපොහොසත්වූ ඔහු අද නොව පසුව සිදු කරනු ලබන අභ්‍යාශ මගින් එම තත්වය ලඟා කරගත හැකියයි විශ්වාශ කළේය.

ඉන් පසු සිරිදාස සතරවන ධ්‍යානයට නැවත පැමිණ විදර්ශනා භාවනා වැඩිමට සිතුවේය.  

  


Saturday, July 27, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.14 වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය



14  වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය


සිරිදාස එකඟවූ සිත දෙස බලමින්  තම අවධානය ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා ගත්තේය. ආශාවාස හා ප්‍රශ්වාශ ස්පර්ශය කෙමෙන් කෙමින් දැන් දැන් නාසයේ අග කොටසට දැනෙන්නට පටන්ගෙන ඇත. එමෙන්ම පියා ගත් දෙනෙත තුලින් පෙනෙන සිහින් ආලෝකය දැන් දැන් තද ස්වභාවක් ගනී. එහෙත්  කාමරය පුරා ගලා යන සුදු ආලෝකයක් වෙනුවට සිරිදාසගේ වසාගත් දෙනෙත් වලින් පෙනුනේ අන්ධකාර රාත්‍රියක ඇති අඩ අඳුරක දසුනක් පමණි. තමාට  මේ ආකාශය ලෙසින් පෙනෙනුයේ පෝ දිනක හෝ ඒ ආසන්නයේදී පෙනෙන ප්‍රභා සම්පන්න රාත්‍රී අහස නොව අන්ධකාර රාත්‍රියක ඇති අඩ  අඳුරු ආකාශය යයි පැහැදිලිව වටහා ගත්  සිරිදාස කිසිවක් නොපෙනෙන දැඩි අඳුරක් සහිත ආකාශයක් පෙනෙනවාට වඩා එවැනි අඩ  අඳුරු ආකාශයක් හෝ පියා ගත්  දෙනෙත තුලින් දැකීම  ගැන සතුටුවිය. මෙම අඩ  අඳුරු ආකාශය තම කාමරට පමණක් සිමා නොවී ඉන් එපිටටද පැතිර යනු දුටු ඔහු පළමුව ඒ කාරණය ගැන කුතුහලයට පත් උවත් ඉක්මනින්ම එම කුතුහලය සතුටක් බවට  පත් විය. දැන් සිරිදාසට ඔහුගේ පියා ගත්  දෙනෙත් තුලින් වත්තේ ගස්වැල් අඩ අඳුරේ වේලි සිටින අන්දම පෙනේ. එමෙන්ම අඳුරු අහසේ තැනින් තැනින් බබලන කුඩා තරකාද පෙනේ. එබැවින් සිරිදාසගේ සිතට දැනුනේ මහත්  සතුටකි. ඔහු කලින් එකඟවූ සිත දෙස බලමින්  දැන් එය සතුටට පත්වූ ආකාරය නිරීක්ෂණය කර  එම සතුටු සිතින් තම අවධානය ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා ගත්තේය. මෙසේ සතුටුවූ සිත වෙනත් අරමුණකට ඇදීයාම වැලක්වීමට ඔහු සිත සමහන් කිරීමට උතසාහ ගත්තේ සිත උපේක්ෂා සහගත මට්ටමට ගැනීමෙන්ය.

දැන් තම සිත සංසිඳුවාගත් සිරිපාලට වෙනත් කිසිදු බාහිර ස්පර්ශයක් පෙනෙන්නේ හෝ ඇසෙන්නේ හෝ දැනෙන්නේ නැත. ඔහුගේ එකම අරමුණ සමහන්වූ සිත තුලින් ආශ්වාස හා ප්‍රශ්වාශය බැලීම පමණි. මේ වෙලාවේදී  සමහන්වූ සිතේ ප්‍රබලත්වය සිරිදාසට මනාව වැටහෙන්නට විය. මහත්වූ ශක්ති සමුදායක් තමා තුල කැරකෙන බවත් සිත මෙන්ම සකල ශරිරයම ප්‍රානවත්ව සිටින බව තේරුම්ගත්  සිරිදාස  තවදුරටත් වටහා ගත්තේ එම ප්‍රාණවත් සිත තුල තමාට කැමති කැමති  පරිදි සිතුවිලි නිර්මාණය කරගැනීමට හැකි බවය. එමෙන්ම  සිතත් සිතුවිල්ලත් යනු එකක් නොව දෙකක් බවද ඔහුට මේ වෙලාවේදී වැටහින. 

තමන් මෙතෙක් වෙලා වැඩුවේප්‍රථම ධ්‍යානයේ සිට සිව් වන ධ්‍යානය දක්වාවූ රූපාවචර ධ්‍යාන බව තේරුම් ගත් සිරිදාසට මේ වෙලාවේදී  විසඳීමට ගැටළුවක් මතුවිය. ඒ මින් ඉදිරියට තම අවධානය දිගටම  ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා තවදුරටත් ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය එනම් සමථ භාවනා ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයනවාද? නැත්නම් ආශ්වාශ හා ප්‍රශ්වාශ ගැන මෙතෙක් වෙලා දැක්වූ අවධානයෙන් ඉවත්ව විදර්ශනා භාවනාව වැඩිමට යනවාද යන්නයි.

 ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයනවා නම් අරුපාවචර ධ්‍යාන 4 වැඩිම කල හැකි බවත් එවිට තමන්ට අෂ්ට සමාපත්තීන් ලඟා කර හැකි බව සිරිදාස දනියි. එමෙන්ම උත්සාහ කළහොත් දිවැස් ලැබීම,දිව කන් ලැබිම,අහසේ ගමන් කිරීම,ජලය මතුපිට ගමන් කිරීම, සහ පොලවේ කිමිදීම යන පංච අභිඥානද උපදවා ගත හැකි බව දන්නා සිරිදාස මින්  ඉදිරියට කුමක් කල යුතුදැයි කල්පනා කළේය.

 සිරිදාසට එක්වරම මතක් වුයේ මහා වනයක්  අතරින්  යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් සමගින් ගමන් ගත් සාමනේර භික්ෂුන් වහන්සේලා සමුහයකට මුණ ගැසුණු දැලි කුණු පෙරාගත්, දැව  පුළුස්සමින් අඟුරු එකතු කරන්නකුගේ කතාවයි. දැලි වැකුණු ගතින් සිටි අඟුරු එකතු කරන්නාගේ දුක්ඛිත තත්වය සහ විකට ස්වරුපය දුටු සාමනේර භික්ෂුන් වහන්සේලාට තමන් වහන්සේලාගේ  මහා හඬින්වූ  සිනාසීම නතර කරගත නොහැකිවිය. එඇසු යෝගාවචර භික්ෂුන් වහන්සේ එම අඟුරු එකතු කරන්නාගේ වත්මන් දුක්ඛිත තත්වය සහ විකට ස්වරුපය ගැන සිනාසීම නොව කල යුත්තේ සසරේ බියකරු භාවය ගැන සංවේගයට පත්වීම බවත් ප්‍රකාශ කරමින් ඔහු මිට පෙර කලෙකදී ධ්‍යාන වඩා පංච අභිඥානයන්  උපදවා ගත් භික්ෂුවක් බවත්,දිනක් අහසින් ගමන් කරද්දී ස්ත්‍රියකගේ මිහිරි ගීත නාදයක් අසා ඒ ස්ත්‍රිය ගැන කාමුක සිතිවිලි ඇති කරගැනීම නිසා ධ්‍යානයෙන් සහ අභිඥාවන්ගෙන්  පිරිහී අහසින් ඇද වැටී එම ස්ත්‍රිය වෙතටම ගිය බවත්, ස්ත්‍රිය රැකීමට කිරීමට වෙනත් කර්මාන්තයක් නොදන්නේ කැලයට ගොස් දර කපා අඳුරු පුළුස්සා එම අඟුරු විකුණා එම ස්ත්‍රිය සමග කුඩා පැලක ජිවත් වන බවත් පැවසිය. දිනක් වනයේ සිට පැමිණි ඔහුගේ පෙර මගට ඇය නොපැමිණීම ගැන කිපුණු ඔහු ගෙනා ලියක් පැලතුලට විසි කල අතර එම ලීය එක ඇසක  වැදීමෙන් ස්ත්‍රිය අන්දවී විරුපවී ඇති බවත් ප්‍රකාශ කළේය. 

මේ කතාව සිහිපත් කල සිරිදාස පන්චාභීඥා අෂ්ට සමාපත්ති උපදවා ගත අයෙකුට උවත් සසරේ බියකරු බවෙන් මිදිය නොහැකි යයි ප්‍රත්‍යක්ෂ කරමින් අෂ්ට සමාපත්ති උපදවා ගැනීමේ අදහස සිතින් අත්හළේය. එහෙත් අරුපාවචර ධ්‍යාන වැඩීමෙන් මරණින් මතු බඹ ලොව ඉපිද එහිදීම පිරිනිවන්පා සසර කෙරවල කරගත හැකි බව දන්නා ඔහු ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙන ගොස් අරුපාවචර ධ්‍යාන 4 වඩා පසුව පිලිවෙලින් ඉන් ඉවත්වී සතරවන ධ්‍යානයේ සිත පිහිටුවා  විදර්ශනා භාවනාව වැඩිමට යනවා යයි නිශ්චය කළේය.               

 ඔහුට   මෙම තීරණයට පැමිණීමට හැකි වුයේ දැන් තමා සිටින හතර වන ධ්‍යානය තුල ස්ථාවරව පවතින ප්‍රබල සිතක් ඔහු තුල තිබු නිසාය.     


       

Thursday, July 25, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.13 වන කොටස දැහැන් ගතවීම - දෙවන ධ්‍යානය සිට සිව්වන ධ්‍යානය තෙක්

 

 13 වන කොටස දැහැන් ගතවීම - දෙවන ධ්‍යානය,තෙවන ධ්‍යානය වැඩිම සහ සිව්වන ධ්‍යානය වැඩිම ඇරඹීම  


 පළමු වන ධ්‍යානයේ ස්ථිරව සිත පිහිටුවා ගත සිරිදාස මහත් සතුටෙන් ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට විය.වෙහෙසවී වැඩ කිරීමෙන් අවසානයේදී සිසිල් දිය නාගන්න යනවිට දැනෙන සතුටට සමාන සතුටක් සහ සැනසිල්ලක් ඔහුට දැනෙන්නට විය.මෙම සැනසිල්ල හැමවිටකදීම තම සිත අත් නොහැර තිබේ නම් කොපමණ හොඳදැයි ඔහුට සිතින.

එහෙත්  දැන් දැන් තමනට දැනෙන ආශ්වාශ හා ප්‍රශ්වාශයේ ස්පර්ශය තද මට්ටමේ සිට කෙමෙන් කෙමෙන් සුමුදු  මට්ටම තෙක් ලඟා වන බවත්,මෙතෙක් වෙලා දීර්ඝ ස්වරුපයෙන් පැවතී  ආශ්වාශය හා ප්‍රශ්වාශය කෙමෙන් කෙමෙන් කෙටි වන බවත් සිරිදාසට දැනිණ. මෙනිසා මෙතෙක් වේලා කළාක් මෙන් තව දුරටත් දිගු භාවනා පදයන් වැඩිමට නොහැකි බව සිරිදාසට වැටහින. විතක්ක විචාර,ප්‍රීති,සුඛ,සහ එකග්ගතා යන ආනාපානසති භාවනා අංග වලින් විතක්ක විචාර දෙකවැඩීමට වෙන් කල වැයමට  සමුදිය යුතු කාලය පැමිණ ඇතැයි ඔහුට වැටහින. ඔහු විතක්ක විචාර දෙක වැඩිමෙන් ඉවත්වීමට සිතා මනා කොට බැසගත් ප්‍රීතියෙන් යුක්තව ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට පටන් ගත්තේය.

  දෙවන ධ්‍යානය වැඩිම ඇරඹීම 

ආශ්වාශය හා ප්‍රශ්වාශය තවදුරටත් කෙමෙන් කෙමෙන් කෙටි වන බව මෙන්ම නහයේ අග කොටසට දැනෙන ආශ්වාශ හා ප්‍රශ්වාශය ස්පර්ශය සුමුදු  මට්ටමේ සිට ස්පර්ශයක්  දැනෙන   නොදැනෙන  මට්ටම තෙක් පැතිරෙන බවත් සිරිදාසට කෙමෙන් කෙමෙන්  වැටහෙන්නට විය. එහෙත් ඔහු දිරියෙන් යුක්තවම තම අවධානය  නහයේ අග කොටස වෙතම තබාගෙන ප්‍රීතියෙන් යුක්තවම ආශ්වාශය හා ප්‍රශ්වාශය දෙස බලා සිටින්නට පටන් ගති.   මේ ප්‍රීතිය නිසා සැපයක් මෙන්ම ආශ්වාශය හා ප්‍රශ්වාශය ගැන්වූ සිතුවිල්ලේඑකඟතාවයක් ඇතිවන බව සිරිදාසට දැනින. වසා ගත දෙනෙතට පෙනෙන තරුද ස්ථිර තාවක් දක්වයි.දෙවෙනි ධ්‍යානයෙන් ලබන සතුට විස්තර කර ඇති පරිදි සතර පැත්තකින් ගලාඑන සිව් දිය පහර එකතුවූ තැනක නැමේ සතුට නම් සිරිදාස කෙදිනක හෝ ඇත විඳ නැත.එහෙත් තමා අවසානයට තංගල්ලේ මුහුදේ දිය නාමින් ලද සතුට සිරිදාසට මේ වෙලාවේදී මතක් විය.ඒ අවස්ථාවේදී මුහුදු දිය නෑමෙන්  තමා ලදඉමහත්  සතුට මෙන් මහත් සතුටක් මේ අවස්ථාවේදී දෙවෙනි ධ්‍යානයට සමවැදිමේදීද විඳින බව ඔහුට පසක් විය. මේ දෙවෙනි ධ්‍යානය තුල සතුටක් දැනුනත්,තමන් මේ දැන් වීඳින ප්‍රීතිය කුමන අවස්ථාවකදී හෝ කුමන කරුණකින් හෝ නැති උනොත්, එසේ නැත්නම් ප්‍රීතිය වෙනුවට වෙනත් හානිකර සිතුවිල්ලක් සිතට ආවොත් සියල්ලම අවසානවේ යයි සිතු සිරිදාස ප්‍රීතිය වෙනුවට උපේක්ෂාසහගත  සිතුවිල්ලෙන් එනම් මැ දහ ත් සිතුවිල්ලෙන්  යුක්තව ආශ්වාශය හා ප්‍රශ්වාශය තවදුරටත්  බැලීමට කල්පනා කළේය.     

තෙවන ධ්‍යානය වැඩිම ඇරඹීම 


දැන් සිරිදාස ආශ්වාශය හා ප්‍රශ්වාශය දෙස උපේක්ෂා සහගත සිතුවිල්ලෙන් යුක්තව බලා සිටි. ඉතා දැඩි නිශ්චලතාවයක් පෙරටු කරගත් සුවයක් ඔහුට දෙනෙන්නට පටන් ගත්තේය. එම සුවය  හරියටම නිශ්චල ගැඹුරු දිය පතුලක  කිමිදී සිටියදී අත්විඳි සුවයක් මෙනි. මෙතෙක් වෙලාවක් නහයේ අග කොටසට නොදැනුනු  ආශ්වාශය හා ප්‍රශ්වාශ ස්පර්ශය දැන් දැන් කෙමෙන් කෙමෙන් ඔහුගේ නහයට දැනේ.එහෙත් එම ආශ්වාශය හා ප්‍රශ්වාශය ඉතා කෙටිය.   සිරිදාස මහත්වූ සුවය අත්විඳිමින් ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට විය. බොහෝ වෙලාවක් ගැඹුරු දිය පතුලක  කිමිදීම කල නොහැකිවාක් මෙන්ම මෙම සුවයද බොහෝ වෙලාවක් තුල  ලැබිය නොහැකි බව දැනුනු සිරිදාස උපේක්ෂා සහගතව එකඟවූ සිතුවිල්ල අනුවම ඉදිරියටම ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට නැතහොත් සිව් වන ධ්‍යානයට පිවිසීමට අදහස් කළේය. 


සිව්වන ධ්‍යානය වැඩිම ඇරඹීම 

සිරිදාස දැන් තම එකඟවූ සිතුවිල්ල මත සිට ආශ්වාශය හා ප්‍රශ්වාශය හරියටම සිදුවන ආකාරය බලමින් සිටියි.වෙනත් අරමුණු වලට අදාළ ස්පර්ශයන්,විඳීම්,හඳුනා ගැනීම් ඇති උවත් ඒවාට අනුරූපව අදාල චේතනා පහල නොකරන බැවින් ඒවාට අනුරූපව අදාළ සිතුවීලි පරම්පරාවක් ජනිත වෙන්නේ නැත.ඔහු විශේෂයෙන් සිතන්නේ ආනාපානසතිය ගැන පමණි. එබැවින් දැන් ඔහුට සිතිවිල්ලෙන් ඔබ්බට ගොස් එම  ආශ්වාශ හා ප්‍රශ්වාශ සිත පෙනේ.


   








 

Sunday, July 21, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .12 වන කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .12 වන කොටස දැහැන් ගතවීම 

 12 වන කොටස දැහැන් ගතවීම - ප්‍රථම ධ්‍යානය 


දැන් තමා තම සිත ආශ්වාශ ප්‍රශ්වාශයටම  පමණක් සිමා කර ඇතැයි සිරිදාසට සිතින. මෙසේ තමා තම සිත එකම අරමුණක පිහිටවීම ගැන ඔහුට ඇතිවුයේ මහත් සතුටකි. තම සිත එකම අරමුණු ගත කල වෙනත් අවස්ථා ගැන සිතන විට ඒ තමා  ඉතා හොඳින් සුදානම්වූ විභාග වලට ලියු අවස්ථා වලදී  බව සිරිපාලට දනින.  එහෙත් එකී අවස්ථා වලදී ඔහුට දැනුනේ සතුටක් නම් නොවේ. දන්නා කරුණු ටික අසා ඇති ප්‍රශ්නයට ලියන උත්තරය ලෙසින් ගොනු කිරීමේ සහ සංවිධානය කිරීමේ ගැටලුව සහ කියවන්න පුළුවන් ඇත අකුරු වලට ඒවා පෙරලීමේ භීතිය පමණි. 

"චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති "
"චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති "

ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම හෙලමි 

ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම හෙලමි 

පළමු ධ්‍යාන සිතේ විතක්ක,විචාර,ප්‍රීති,සුඛ සහ එකග්ගතා නමින්  අනු කොටස් 5ක්ම  තිබෙන බව සිරිදාස දැනටමත් දනී. ආශ්වාශය  ප්‍රශ්වාශය ගැනම සිතීම විතක්කය බවත් එය ක්‍රමානුකුලව සිදුවන බවට සෝදිසියෙන් බලා සිටීම විචාරය බවත් නිරවුල්ව එත්තු ගත් සිරිදාස ප්‍රීති සුඛ එකග්ගතා යන පදයන්හි තේරුම අනායාසයෙන්ම වටහා ගති. බුදුන් වහන්සේ විසින් ආනාපානසති සුත්‍රය ප්‍රගුණ කිරීමට නිදේශ කර ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් බව අසා ඇති සිරිදාස දැන් තමන්ටද ආනාපානසති සුත්‍රය තේරුම් ගැනීමට හැකිවිම තුලින් තමාද   බුද්ධිමතෙකු බවට පත්ව ඇතැයි සිතා සතුටු විය. 

පළමු ධ්‍යාන සිත මැනවින් ස්තිරව පැවතීමට   නම් එය කාමච්චන්ද , ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච කුකුච්ච සහ විචිකිච්චා වශයෙන් විස්තර වන පංච නීවරණයන්ගෙන් තුරන්වූ  එකක් විය යුතු බවද දන්නා සිරිදාස එම පංච නිවාරණ එකිනෙක බැගින් ගෙන දැන් ඒවා තම සිතේ ක්‍රියාත්මකව තිබෙනවාද යන්න විමසා බැලීමට පටන් ගති. සිරිදාස මෙවර   පළමුව විමසුවේ කාමච්චන්ද යන නිවාරණයය . එය මැනවින් විමසු සිරිදාසට දැන් තම සිතේ කුමනාකාරයක හෝ කාමයන්ට අදාළ සිතුවිලි පැන නැගී නැති බවට ස්ථිර කර ගත්තේය.

 දෙවනුව ව්‍යාපාද නිවාරණය ගැන  විමසු ඔහු තම සිතේ ගැටීම් (පටිඝය)ඇති කරන සිතුවිලි දැන් පැන නැගී  තිබේද යන්න මුලින්ම විමසුවේ තරහ මතුවිටම පළමුව සිතේ ගැටීම් (පටිඝය) ඇති කරන්නාවූ  සිතුවිලි මතු විය  යුතු යයි ඔහු දන්නා නිසාය. එමෙන්ම ගැටීම් සිතුවිලි  (පටිඝය) පාලනය නොකල හොත්  එය පසුපසින් තරහව   (ව්‍යාපාදය) බැඳී ගොනු පසුපසින් ඇදෙන කරත්තය මෙන් අනිවාර්‍යයෙන්ම  මතුවනු ඇතැයිද ඔහු තවදුරටත්  දැනගති.දැන්  තම සිත තුල පටිඝයහෝ පටිඝය පසුපසින් එන   තරහව   (ව්‍යාපාදය) යන සිතුවිලි  පැන නැගී නැති බව දැනගැනීම සිරිදාසට අත්වූ මහත් සැනසිල්ලක් විය.

ඉන් පසු ඔහුගේ  විමසීමට භාජන වුයේ ථිනමිද්ධ යයි. තමා සිත මැනවින් විමසු ඔහුට එතුල අලස බව නැති බවත් සිත නින්දට පත් නොවී නමුත් ප්‍රානවත්වී ඇති බවත් සැකහැර දැනගති. නින්දට පත්වූ සිත ථිනමිද්ධ රහිත සිත යයි වැරදියට තේරුම් ගත් සමහරු එම නින්දට පත්ව සිතම වැඩිම  තුලින් මහත් වැරදි සතුටක් ලබන බවත් ඔහු අසා ඇත. එබැවින් දැන් තමන් එම වැරැද්ද නොකර නිවැරදිව සිටින බව දැනීමෙන් සතුටට පත්විය.  
  
උද්ධච්ච (සිත විසිරව  පැවතීම)
 -  පෙර දිනකදී සිදු කල පාප ක්‍රියා නිසා දැන් තමා ආනාපාන සති                   භාවනාව වැඩිමට නුසුදුසුය යනුවෙන් හැඟෙන  සිතුවිලි දැන් තම 
     සිතේ මතුවී ඇද්දැයි විමසු අතීතයේ එවැනි අද්දැකීම් තමාට තිබුනත්          දැන් එකී සිතුවිලි අතරේ අතරමං නොවීමටත් ඒවා පමණක් නොව
     ආශ්වාශය ප්‍රස්වාශය හැර අන් කිසිදු සිතුවිල්ලක් දැන් තම සිතේ
     පැනනැගී නැති බව සිරිදාස තහවුරු කර  ගති. එබැවින් විසිර ගිය
     සිතකින් තොරව ආශ්වාශ ප්‍රශ්වාශය සිහි කලහැක.  

කුකුච්ච (සිතේ මැලි බවක් ඇතිවීම
 -    පෙර දිනකදී සිදු කල පාප ක්‍රියා නිසා දැන් තමා ආනාපාන සති                භාවනාව වැඩිමට නුසුදුසුය යනුවෙන් මැලි බවක් දක්වන සිතුවිලි 
     දැන් තම සිතේ මතුවී ඇද්දැයි ඔහුට විමසු අතීතයේ එවැනි
     අද්දැකීම් තමාට තිබුනත් දැන් එකී  සිතුවිලි දැන් තමසිතේ පැන
     නැගී නැති   බව සිරිදාස තහවුරු කර  ගති.එබැවින් විසිර ගිය සිතකින්
     තොරව ආශ්වාශ ප්‍රශ්වාශය සිහි කලහැක.  

විචිකිච්චා -  (සැකය)
  -   බුදුන් ගැන  සැක කිරීම,දහම ගැන සැක කිරීම, සඟුන් ගැන සැක 
      කිරීම, පෙර භවයක් තිබුනේද යන්න ගැන සැක කිරීම,මරණින්  මතු
      භවයක් තිබේද යන්න ගැන සැක කිරීම, පෙර  භවයන් තිබුනේද ගැන
     සැක කිරීම, මතු  භවයන් තිබෙන්නේද ගැන සැක කිරීම, පෙර හා පසු        භවයන් තිබෙන්නේද යන්න  සැක කිරීම, කර්මය සැක කිරීම,කර්ම 
     ඵල ගැන සැක කිරීම,  පුර්වාචාරින් ගැන සැක කිරීම, කල්‍යාණ මිතුරන්
    සැකකිරීම ආදී දශ සැකයන් තම සිත තුල තිබෙනවාදැයි  විමසිය. 

    බුදුන්  වහන්සේ  ගැන විමසු ඔහු බුදුන් වහන්සේ ගැන හෝ බෝධි 
    සත්‍වයන් වහන්සේ ගැන හෝ බෝධි      සත්‍වයන්    වහන්සේ  විසින්   
    පිරු දශ පාරමිතා,  දශ පාරමිතා,  දශ පරමාර්ථ පාරමිතා,ගැන  හෝ
    සැකයක් තම සිත තුල නැති බවට   සහතික විය.

   දහම ගැනද ඔහු තුල සැකයක් නැත. එය දර්ශනයක් මෙන්ම ඇදහිමක්ද
   වන බව ඔහුට වැටහී තිබිණ. තම ගැලවීම ඇත්තේ ධර්මය කියාදී ඇති      පරිදි දාන,ශීල භාවනා කරන අයුරු ශර්ධාවෙන් පිළිගෙන එය ඒ 
   ආකාරයෙන්ම අනුගමනය කිරීමෙන් බව ඔහු සිතීය. 

     සඟුන් ගැනද ඔහු තුල කිසිදු සැකයක් නැත. දුසිවත් වත් භික්ෂුන් 
  වහන්සේ නමක් උවත් මුලික කරුණු 10කින්  හා උප කරුනු 10කින්      දුසිල්වත් මිනිසාට වඩා ඉහල බව ඔහු මිලින්ද ප්‍රශ්නය අධ්‍යනය කිරීමෙන්   ඉගෙන ඇත. දානයකදී හෝ පිරිතකදී ගෙදරට වඩම්මන, දෙපා දෝවනය  කර, සුදු ඇතිරිල්ලක් දැමු අසුනක් මත වැඩ හිඳුවන බික්ෂුන් වහන්සේ   බසයකදී මුන ගැසුණු විට(හඳුනා ගත්තේ නැති උනත්) උන්වහන්සේ හා   එක පෙලට වාඩිවී සිටින්නට තරම් තමා සතු ගුනවත් බවක් ඇතැයි නොසිතන සිරිදාස පුරුද්දක් වශයෙන් එම අසුනේ හිඳ ගන්නේ නැත. දුසිවත් භික්ෂුන් වහන්සේ නමකගේ එම දුසිල්වත් ඇවතුම් පැවතුම් එකී හිමියන් විසින් මතුවට විපාක දීමට හේතුකාරක වන කර්ම රැස් කිරීමක් වන බව දන්නා සිරිදාස එවැන්නන් ගැන සිතමින් තමන් අකුශලයන් රැස් කර ගැනීමට උනන්දු නොවිය යුතු යයි සිතිය.
 
  පෙර හා මතු භවයන්පැවතීම ද ගැන සැකයක් ඔහු තුල නොමැත. 
   එමෙන්ම කර්මය මෙන්ම  සුභ සහ  අසුභ කර්ම ඵලද ඔහු විශ්වාස කරයි.  පෙර ආචාර්ය වරුන්ගේ යහපත් ප්‍රයත්තන් නිසා ධර්ම පොත් ලිවිම සහ ඒවා රැක ගැනීම නොසිදුවී නම් එකි පොත් අද ඔහු කියවන්නේ කෙසේද? කල්‍යාණ මිත්‍රයන් වීසින් ඒ පොත් සහ එම කරුණු පරිශීලනය කර වටිනා දහම් පණිවිඩ  අන්තර්ජාල ගත නොකරන්නට එකී පොත් මෙන්ම එකී වටිනා දහම් පණිවිඩ  මෙතරම් ලෙහෙසියෙන් ඔහු පරිහරණය කරන්නේ කෙසේද? 

තම සිතේ දශ වැදෑරුම් සැකයන් ප්‍රහාණය වී ඇති බව පසක් කර ගන්නා සිරිදාස සියලුම නිරවරණයන් ඉවත් කිරීමෙන් දැන් තමා නියත  වශයෙන්ම පළමු දැහැනේ ස්ථිරවම පිහිටා සිටින බව සිතීය.