Thursday, June 13, 2013

දුකට දුකක් ඇත.මෙහෙම දුකක් නැත.බේබද්දන් දෙන දුක වාගේ


දුකට දුකක් ඇත.මෙහෙම දුකක් නැත. බේබද්දන් දෙන දුක වාගේ 


මහතුන් මල්ලි ගෙන් ලැබුණු දුරකථන ඇමතුමෙන් පසු සිරිපාල ඉබේටම පුටුවේ ඉන්ද උනේය. තම ඉඩමට   යාබද ඉඩම බලා කියා ගන්නා මහතුන් මල්ලි දුරකතනයෙන් සිරිපාලට  කියා සිටියේ ඔහු සතු ගමේ   ඉඩමේ ඇති වටිනා ගස් දෙකක් සොරුන් විසින් කපා ගෙන ගොස්  ඇති බවය. අක්කරයකට මදක් වැඩියෙන් ඇති එම ඉඩමේ   ඉබේ පැළවුණු බෝ ගසට අමතරව දැනට  ඉතිරිව තිබුනේම වැඩුණු ගස් දෙකක් පමණි. බැවුම තිබුන ඉඩම පාත්ති දමා සකස් කර තිබුනේ එළවලු වගාවටය. වසරකට වරක් අහස දියෙන් කරනු ලබන, මාස පහක පමණ කාලයක් වැයවන එළවලු වගාවෙන් පසු ඉතිරි සම්පුර්ණ කාලය තුල ඉඩමෙන් වෙනත් ප්‍රයෝජනයක් නොගන්නේ සිරිපාල ගමේ පදිංචි නැති නිසාය. මෙම වාර්ෂික එළවලු වගාවද පසුගිය වසර කිහිපය තුල සිරිපාල අතින් කෙරුනේ නැත්තේ ඒ සඳහා යෙදවීමට කාලය මෙන්ම අවශ්‍ය තරමට මුදල්ද නොතිබුන නිසාය. වගාවට බැසීමට නම් අඩුම තරමේ රුපියල් අසු දහසක් වත් අත තිබිය යුතුය. සිරිපාල ගස්ද ඉඩමේ කොටසක් ලෙස සිතු බැවින්  මුදල් අහේනියක් තිබුනත් ගස් කපා මුදල් සෙවීමට  කිසි දිනක සිතා තිබුනේ නැත. වසරකට පමණ පෙරදී  පළමු වරට සොරු කපා ගෙන ගොස් තිබුනේ ඉඩමේ තිබුන පැල සඳුන් ගස්ය. එය කිව්වේද මහතුන් මල්ලිය.

"අයියගේ ඉඩමේ තිබුන හඳුන් ගස් ටිකට ඊයේ රැ වැඩක් දීලා "

"මොනවා, කවුද කරලා තියෙන්නේ මල්ලි පොඩ්ඩක් හොයලා බලනවද? මම  අද හෙටම එන්න බලන්නම්"

 සඳුන් ගස් හොරු ගැන සොයන විට සිරිපාලට පසුව ආරංචි උනේ ලොකුඅප්පච්චිගේ පුතාගේ දරුවෙකුද සඳුන් ගස් සොරකමට සම්බන්ධවී ඇතැයි කියාය. හොර කමට හේතුව අරක්කු බොන්න සල්ලි හොයා ගන්නයයි තව දුරටත් ආරංචි විය. සිරිපාලට මේ කොල්ලා තරමක් දුරට මතකය. වසරකට පමණ ඉහතදී ගමට යද්දී වයස අවුරුදු 15ක් පමණක් වූ දුර්වර්ණවී ගිය පාසැල් නිල ඇඳුමින් සැරසුන කෙසඟ සිරුරකින් යුතු පිරිමි ළමයෙක්,පාසැල ඇරී ගෙදර බලා යන ළමුන් රංචුවෙන් ඉවත්වී  තනිවම පාරේ යනු දුටු සිරිපාලට තම ළමා විය මතක් විය. දුප්පත්කම  නිසා  එකල තමා සිටියේද අන් ළමුන්ගෙන් කොන්වී බව ඔහුට සිහිපත්  විය. අදත් මෙසේ  පාරදිගේ තනිවම යන්නේ තමා බව හැඟුණු සිරිපාල   ළමයා   කාරයට    නංවා ගත්තේ ඔහුව හඳුනා ගෙන නොවේ.  ළමයා සමග කතා කරමින් ගමන ගිය සිරිපාල ඔහු  තම ලොකු අප්පච්චිගේ පුතෙකු බවද දැන ගත්තේය. එම  මතකය  අනුව මේ දරුවා දඩබ්බරයෙකු නොවේ. නමුත් වසරක පමණ කාලයක් තුලදී ඒ අහිංසක ළමයා සුරා පානට පමණක් නොව සොරකමටද පුරුදුවී ඇත. මහතුන් මල්ලි නම් කියන්නේ සඳුන් ගස් සොරකම ගැන පොලිසියට පැමිණිලි කල යුතුයි කියාය.

" ඕකට නිකම් ඉන්න නරකයි. හොරකම පුරුද්දට ගියොත් ඉඩමත් නැති වෙන්න ඉඩ තියෙනවා"

" ඒක නම් එහෙම තමයි. ඒ උනත් කාට විරුද්ධවද පොලිසි යන්නෙ? මේක තියෙන නැදා කමත් නැතිවෙන වැඩක්"

සඳුන් ගස් හොරකම පොලිසියට පැමිණිලි නොකළේ ඒ විදියටය. ඒ උනත් ඉන්පසු සිරිපාල ගමට ගිය අවස්ථාවලදී සඳුන් ගස් හොරකම ගැන තම විරෝධය පල කිරීමට උවමනාවෙන්ම ලොකුඅප්පච්චිගේ ගෙදරට ගොඩවීමෙන් වැලකුනේය. සිරිපාලගේ විරෝධය ලොකුඅප්පච්චිටද දැනී  තිබුනේය.

නැවතත් ගස් හොරෙන් කපා ඇති බව ඇසු සිරිපාලගේ සිත නම් කිවේ එකත් කරන්න ඇත්තේ ලොකුඅප්පච්චිගේ බේබදු පුතාම බවය.මෙවර නම් තමා පොලිසි යන බවට ඔහු සිතා  ගත්තේය. නොපමාව ගමට සිතු සිරිපාල තමන් දින දෙක තුනක් ගෙදර නොසිවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා කටයුතු සම්පාදනය කරන විට නැවතත් මහතුන් මල්ලි දුරකතනයෙන් කතා කළේය.

"ලොකු අයිය මම ටිකක් විපරම් කරලා බැලුව.ගස් ටික කපල අදාල තියෙන්නෙ රැ නෙමෙයි. දවාලෙමයි.පොඩි අයිය තමයි එක කරවලා තියෙන්නෙ. දැන් මොකද කරන්නෙ "

සිරිපාලට උඩ බිම බලුනේය. පොඩි මල්ලි යනු තම බාල සොහොයුරාය. බේබද්දෙකු වන පොඩිමල්ලි සොරෙක් නම නොවෙයි. එබැවින් ඔහු එවැන්නක් කරතියි සිතන්නට බැරිය. අනෙක මේ දිනවල පොඩිමල්ලි ගෙදර නැති බව සිරිපාලට මතක් විය.

"එක වෙන්ඩ බැහැනෙ. පොඩ්ඩේ මේ දවස් වල ඉන්නේ තිරිකුනාමලෙනෙ"

"හරි එයා තිරිකුනාමේ තමයි ඉඑ දවස් වල වැඩ කරන්නෙ. ගිය සතියේ ගෙදර ඇවිත් යාළුවො එක්ක පාටි ගෙන බිබී හිටියනේ. ආපහු යන්න සල්ලි නැහැ කියල  මද්දු අයියගෙනුත් නායක ඉල්ලලා දුන්නේ නැහැ කියල ආරන්ච්චියි "

"ඉතින් මහතුන් මල්ලි, පොඩ්ඩේම මේක කළා කියල සහසුද්දෙන් දන්නේ කොහොමද?"

"ගස් කප්පවල තියෙන්නේ එපිහිටහ ගෙදර රත්නේ මල්ලි . ගස් ටික කපල ගෙනියන කල් පොඩ්ඩේ අයියා එතන ඉඳලා තියෙනවා"

"වැඩේ වැරදි තමයි. ඒ උනත් ගෙදර හදිස්සියකට ඒක කලාද කියල ආරංචි කරලා බැලුවොත් හොඳයි නේද?"

"මොන ගෙදර හදිස්සියක්ද? ගෙනාපු සල්ලි ඔක්කොම බොන පාටි වලටම හේදිලා ගිහින්. ආපහු යන්න සල්ලි නැතුව තමයි ගස් ටික විකුණලා තියෙන්නේ. රුපියල් විසිදාහක් විතර අරගෙන තියෙනවා. ඒකෙනුත් තවත් බෝතල් පාටියක් දාලත් තියෙනවා."

මීළඟට කල යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට සිරිපාලට නොහැක. සොරකමට දඬුවම් කලයුතුය. නමුත් කාටද? පැමිණිලි  කල යුත්තේ තම මල්ලිට විරුද්ධවද? ඔහු  බේබද්දෙක් උනත් තම බාලම මල්ලි නේද?






    

1 comment:

සෙන්නා said...

ඔන්න ඕවට තමා බොන්න වෙන ප්‍රශ්ණ කියන්නෙ.. කරලත් බෑ, නොකරත් බෑ..

ඔබේ ලිවීමේ විලාශය හොඳයි..මමනම් ඒකට කැමතියි..

------

කෝ වර්ඩ් වෙරිෆිකේශන් අයින් වෙලා නෑ තාම තියනවා.. ඔබ මම කියපු විදිහට කරලා සේව් කළාද. නැත්නම් පරණ සෙටින්ග් එකම එහෙම්ම ඉතුරු වෙනවා. නැවත කර බලන්න.