Thursday, November 5, 2015

මාලිගාව අසල පාර වසා තිබියදීම මහනුවර නගරයේ වාහන තදබදය මගහරවා රිය පැදවිය නොහැකිද? ...

මා මහනුවර නගරයට ආසන්නව ජිවත්ව සිටින නිසාත්,අඩු තරමේ සතියකට දින 3ක් වත් මහනුවර තැන්නේකුඹුර පැත්තෙන් මහනුවර නගරයට යාමට හෝ නගරය පියමන් කර ඉන් ඔබ්බට යාමට අවශ්‍ය විවිධාකාර කරුණු යෙදෙන නිසාත්, මහනුවර නගරයේ විවිධ ස්ථාන වල තිබෙන සම්ප්‍රදාය මෙන්ම නගරය තුල සහ නගරාසන්නයේ ඇති රථවාහන තදබදය සහ එයට හේතුවන විවිධ කරුණු ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා සිටින්නෙක්මි.

 එසේම වසර 35කට අධික කාලයක් මුළුල්ලේ පටන් මගේම මෝටර් රථ පදවන මා එම අවහිරතාවයන් අවම කර ගැනීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරන්නෙක්ද වෙමි. උදාහරන  ලෙසින්  මහනුවර නගරයට ඇතුල්වීමට මා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ධර්මරාජ විද්‍යාලය අසලින් ඇති කුඩා පාරය. මහාමායා විද්‍යාලය නිසා රථවාහන තදබදයක් ඇති බව පෙනුන විට මා මහමායා විද්‍යාලයට ඉහලින් දිවෙන පාර ඔස්සේ වේස් පාක් හරහා පහලට ගොස් ප්‍රධාන පාරට යමි. නගරයෙන් ඉවත්වීමට මා භාවිතා කරන්නේ පොලිසිය අසලින් ඇති මාවත දිගේ කෙරවලටම ගොස් ප්‍රධාන පාර මද දුරක් භාවිතා කර අරුප්පල පාර ඔස්සේ ලේවැල්ලට යාමය. එතැන් සිට තල්වත්තේ  සිට දිගන තෙක් ඇති වාහන තදබදය මගහරවා ගැනීමට මා මේ දිනවල  පුරුද්දක් ලෙස භාවිතා  කරන්නේ යක්ගහපිටිය පිලවල මාර්ගයයි. මේ විකල්ප පාරවල් කුඩා උවත් මෝටර් බයිසිකල් සහ ත්‍රී වීලර් ධාවකයන් ගැන විශ්ෂ අවධානයක් දක්වා ප්‍රවේසමෙන් රිය පැදවිය හැක.    එබැවින් මහනුවර නගරයේ රථවාහන තදබදය මග හැරීමට මාලිගාව අසල මාවත විවෘත කිරීම ගැන අදහස් පල කිරීමට සුදුස්සෙක් යයි සිතමි.

මුල් යුගයේ එනම් 70 දශකයේදී මහනුවර කුමන හෝ ස්ථානයක මාර්ග වැසීමක්, හෝ එක පැත්තට වාහන ධාවනය කිරීමක් හෝ සිදුවුයේ නැත. අද මෙන් වාහන තදබදයක් නොතිබුණු මහනුවර වැව රවුමේ රියදුරන් පුහුණු කරන L බෝඩ් ගැසූ  ඉබි ගමනින් යන  වාහන පවා ධාවනය විය.  මහමළුව මැදින්ද පාරක් තිබුන අතර රජ ගෙය අසල නුවරඑලිය ප්‍රදේශයට  බස් ගමන් ආරම්භ කරන තැනද එය විය. එකල අද මෙන් ආසන 54රෙ දිග බස් නොවිය. එසේම කෙටි මගක් විදියට අස්ගිරිය පංසලේ   පොහොය ගෙය අසලින්ම තිබෙන පාරේ පවා මා පුරුද්දක් ලෙස කාරය පදවාගෙන ගියා මට මතකය. එකල අද මෙන් නොව වාහන පැදවීම සරල දෙයකි. ආශ්වාද ජනකය. ගමන  ඉක්මන්ය. ලෙහෙසිය. අද නගරය තුල වාහන පැදවීමේ ආශ්වාද ජනක තත්වයක් නැත. ඇත්තේ ලේ කෝප කිරීමක් පමණි.

නගරයට ඇතුල්වන වාහන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙත්ම මෙම ඉක්මන් සහ ලෙහෙසි රිය පැදවීම සිමා කිරීමට පළමුව ආ බාධකය වුයේ වාහන ගමනාගමනය එක් පැත්තකට සිමා කෙරෙන නීති හඳුන්වා දීමය. මුලදී පැය ගණනකට පමණක් සීමාවූ එය පසුව පැය 24 පුරාම ක්‍රියාත්මක විය. මුල් කාලයේ උදේ 8 ට පෙර ක්වීන්ස් හෝටලය අසලින් තිබෙන පාරෙන් කෙලින්ම ඔරලෝසු කණුව අසලට තෙක් පාරේ  පහලට වාහන යාමට ඉඩ තිබිණ. 

මා දන්නා පරිදි මහනුවර මාර්ග තදබදයට පිළියම් යෙදුවේ ජනාධිපති ප්‍රේමදාස මහතා පමණි. එකල කුණ්ඩසාලේ පැවති ගම උදාව සැණකෙළියට සමාන්තරව එතුමා විකල්ප මාර්ග පද්ධතියක්ම මහනුවර නගරයට හඳුන්වා දුනි. එම මාර්ග වලට වැයවූ වියදම ඉතා විශාල යයිද, එය නිෂ්ඵල වියදමක් යයිද එකලද විවේචන තිබිණ. එහෙත් මාවත් තැනීමේදී එහි වර්තමාන වියදම කල යුත්තේ අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභද සලකා යන්න එකල එම විවේචකයෝ අමතක කළහ. එම විකල්ප මාර්ග පද්ධතිය ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් ගොඩ නැගුවේ නැත්නම් අද මහනුවර මාර්ග තදබදය මිට වඩා දහස් ගුණයකින් වැඩිවෙනු නිසැකය.

මහනුවර මාර්ග සංවර්ධනයට ඊළඟට උර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. කටුගස්තොට නව පාලම ඉදිකිරීමෙන්  එතුමා එයට මුල පිරු අතර, පේරාදෙණිය -මහනුවර  සමාන්තර මාර්ග දෙක වැඩි දියුණු කිරීමටද පටන් ගත්තේය.එහෙත් ඊට සමාන්තරව මහනුවර කටුගස්තොට පාර මන් තීරු 4ක් දක්වා පළල නොකිරීම නිසා මහනුවර සිට කටුගස්තොට තෙක් පුදුමාකාර තදබදයක් ඇත.මේ සැතපුම් 4ක කොටස යාමට බොහෝ විට බස් රථයක් විනාඩි 45කට වඩා ගනී. මාර්ගය පටුවිමට අමතරව බස්රථ පාර මැදම කොට කොටා ගමන් කිරීම මීට හේතුව වී ඇත. මේ නිසා අන් සියලු වාහන වලට  එමකොට කොටා යන  බස් රථ කටුගස්තොට පාලම පසු කරන තෙක් ඒ   පසුපසින් සෙමින් යාම හැර වෙන විකල්පයක් නැත. 

  මහනුවර නගරය ලෝක උරුමයට අයත් නගරයක් නිසා නගරය තුල තිබෙන    වසර 100ට වඩා පැරණි ගොඩනැගිලි ඒ අන්දමින්ම රක්ෂණය කලයුතුය. එ නිසා  නගරයේ බොහෝ වීථි පළල් කල නොහැක.

මහනුවර දේශීය මෙන්ම ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවසාන සිංහල රාජධානිය ලෙසින් නොව දන්ත ධාතුන් වහන්සේ වැඩසිටීම නිසාය. මේ නිසා මහනුවර කෙරෙන ඕනෑම සංවර්ධනයක් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගා පරිශ්‍රයට හානියක් ගෙන නොදෙන්නක් විට යුතුය.


අද වන විට රටේ බොහෝ ප්‍රදේශවල උපන් ජනයා සිය ජිවතයේ අවසාන කාලය ගත කිරිමට පදිංචි වන ස්ථානය ලෙස මහනුවර ප්‍රදේශය තෝරාගෙන ඇත. මේ නිසා මහනුවර පදිංචියට සංක්‍රමණය වන ජනයාගේ ගණන දිනෙන්දින ඉහල යයි.එමෙන්ම දිනකට ලක්‍ෂ 4කත ආසන්න පිටස්තර ජනයා මහනුවර නගරයට පැමිණෙති. මේ හේතුන් සියල්ලම නිසා නගරය තුල මෙන්ම නගරාසන්නයේදී විශාල වාහන තදබදයක් ඇත. මින් එක් පිරිසක් පමණක් සිතා සිටින්නේ වාහන තදබදය ඇත්තේ වැව රවුමේ පමණක් බවය. මාලිගාව අසල මාර්ගය රථවාහන ගමනාගමනයට විවෘත කිරීමෙන් මේ ගැටලුව විසඳිය හැකි බව ඔවුන් සිතති. නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා මේ අදහස දරන්නන්ගේ මුලිකයාවී ඇත. නමුත් ඔහු  මේ පාර විවෘත කලයුත්තේ  දෙපැත්තටම වාහන ගමන් කිරීමට හැකිවන අන්දමින් යන්න ගැන නිහඬවී ඇත. මන්ද එසේ කල හොත් මහමලුවෙන් කොටසක් පාර පළල් කිරීමට  නොගෙන හෝ වැවෙන් කොටසක් ගොඩ නොකර එය කල නොහැකි බව ඔහු දන්නා නිසාය. කෙසේ හෝ ඒ විකල්ප දෙකින් එකක් කර  පාර විවුර්ත කල හැකි උවත් එසේ කිරීමෙන් මහනුවර වාහන තදබදය අඩු වෙනවා වෙනුවට වන්නේ මාලිගාව අසල සහ ක්වින්න්ස් හෝටලය අසල අලුතින් වාහන තදබදයක් ඇතිවීම පමණි.

නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා මේ ගැන ලියු ලිපියක දැක්වෙන්නේ නීතිඥ වැලි අමුණ මහතාට සවස් වරුවේදී  වැව රවුම පසු කිරීමට විශාල කාලයක් ගත කිරීමට සිදුවීම  නිසා විශාල අසාධාරනයක් සිදුවූ බවය. වැලිඅමුණ මහතාටද සිය ප්‍රමාදයට හේතු ලෙස පෙනී ඇත්තේ ඉහතකී පාර විවෘත නොවීම බව මේ අනුව නිගමනය කල හැක. නමුත් ඔහුට වැව රවුමේ ආරම්භයේදීම මගින් ගෙනයාමට බොහෝ වෙලාවක් නවත්වා ගෙන සිටින විශාල බස් රථ හෝ එම පාරේ අනෙක් වාහනයකට ඉදිරියට  යාමට නොහැකි වන අන්දමේ ඉබි ගමනින් යන බස්රථ  පෙනී ගොස් නැත.

මහනුවර මාලිගාව අසල පාර රථවාහන ධාවනය සඳහා විවුර්ත කිරීමට අස්ගිරි පාර්ශවයේ සම්පුර්ණ සංඝ කාරක සභාවම විරුද්ධය.  එම විරුද්ධත්වය නොසලකා ඊට පිටින් කටයුතු කිරීමට වර්තමාන ජනාධිපති වරයාද අසමත්වූ බව එම පාර රථවාහන ගමනාගමනයට  විවුර්ත කිරීමට ගත්  උත්සාහය අසාර්ථක වීම දන්නා  මෑත ඉතිහාසය දන්නෝ  දනිති. 
වැව රවුමේ නිරන්තරයෙන් තිබෙන වාහන තදබදය නැවැත්වීමට කල යුතු විකල්ප 2ක් ඇත.

1. දළදා මාලිගාව මහනුවරින් ඉවත් කිරීම 

කුරුනෑගල නගරාධිපති වරයා දැනටමත් මහනුවර නගරාධිපති වරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව පසුගිය දිනවල පුවත්පත් වල පලවී තිබුණි. එහිදී කුරුනෑගල නගරාධිපති වරයා කියා ඇත්තේ මාලිගාව ලබා දෙන්නේ නම් කුරුනෑගල නගරයේ මාර්ග වලින් 50% හෝ වාහන ගමනා ගමනයට තහනම් කිරීමට තමන් සුදානම් බවය.

2. කලකට පෙරදී මහනුවර උසාවිය මාලිගා පරිශ්‍රයෙන් ඉවත් කිරීම මුලාදර්ශය කර ගනිමින් වැව රවුමේ පිහිටුවා ඇති මහාමායා බාලිකා විද්‍යාලය හිල්වුඩ් බාලිකා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය ඇතුළු සියලු විද්‍යාල නගරයෙන් පිටතට ගෙනයා යුතුය.


මේ එකක් වත් කිරීමට නොහැකි නම්  නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා අතුලු  පිරිසට මහනුවර නගරය තහනම් ප්‍රදේශයක් බවට පත් කල යුත්තේ දිගින් දිගටම එල්ල වන විරෝධය නොසලකා තම මතයම පමණක් නිවැරදි යයි සලකා ඔවුන් විසින් කරන මේ අකටයුත්ත වලක්විමට අන්  මගක් නැති නිසාය. කොකාගේ මගුල් ගෙදර පැමිණෙන සියලු දෙනාම කොකුන්මෙන් උල් හොට භාවිතා කර ආහාර පාන ගැනීමට සුදානම් විය යුතුය. නැත්නම් සාගින්නේ සිටිය යුතුය යන පැරණි උපදේශය නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතාද දන්නවා ඇති සිතමි. 

සමරසේකර  
           







9 comments:

අටම්පහුර said...

මේ ගැන මටනං කිසි අවබෝදයක් නැ

samarasekara sithuvili said...

අටමෝ,

ප්‍රතිචාරයට ස්තුතියි. මේ කාරණය ගැන සංවාදයක් ගොඩනැංවීමට ඒක ආධාරකයක් වේවි. මහනුවර නගරයේ වාහන තදබදයක් තිබෙන බව ඇත්ත. ඒකට පුර්ණ සැලැස්මක් මත ගොඩ නැගුන වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. පෙරේදා අප වේස් පාක් පාර මුල ඇති මහනුවර තරුණ බෞද්ධ ශාලාවේදී පැවැත්වූ ධර්ම දේශනයට වැඩමවූ නායක ස්වාමින් වහන්සේ ප්‍රිම්රෝස් ඉඳලා එතැනට වැඩම්මවිමට විනාඩි 45 කට වඩා ප්‍රමාද වුනේ අප්‍රමාදව ඔරලෝසු කණුව අසලට පැමිණීමට වාහන තදබදය නිසයි. මාලිගාව ළඟ පාර ඇරියා කියලා පේරාදෙණිය පාරේ තිබෙන තදබදය නැතිවෙන්නේ කෙසේද?
ඒ වෙනුවට පැලැස්තර ඇලවීමේ මුවාවෙන් සමහරු කරන්නේ තම පුද්ගල න්‍යාය පත්‍ර ක්රියාත්මක කිරීමට යාමයි. මහනුවර මාකට් එක ළඟ තියෙන හොර ඔප්පු ලියා හදාගෙන තියෙන මුස්ලිම් පල්ලිය ඉවත් කරන්න කියල කවුරුත් කියලා තියෙනවාද? එ වගේම පුජා නගරයට ඉඩ ගැනීමට මාලිගාව අසල ඇති ශාන්ත අන්තෝනි පල්ලිය ඉවත් කරගන්න අම්පිටියෙන් අක්කර 10ක් දුන්නත් පල්ලිය එතනින් ඉවත් කෙරුනද? මේ ළඟ ඉතිහාසය තුල ඒ පල්ලිය තුල අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම නිසා සතර මහා දේවාල වසා දැමීමට සිදුවීමට කවුරුත් විරෝධය පැවාද? ඒ ගැන කාටවත් පෙනෙන්නේ නැහැ.

සමරසේකර

samarasekara sithuvili said...

comment එක ලියා ගෙන යන කොට පල්ලියේ නම වැරදියට ලියවෙලා තියෙනවා. මාලිගාව අසලම තිබෙන්නේ සාන්ත පාවුළු පල්ලියයි. ඒක ශාන්ත අන්තෝනි පල්ලිය කියලා ලියවිම වැරදියි. ඒකට සමා වෙන්න ඕනෑ.

කතා කතු said...

මේ ලිපිය සහ අදහස අගය කළ යුතුයි. මාළිගාව ඉදිරිපිට මාර්ගය විවෘත නොකළ යුතු සේම ඒ අවට ඇති අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කර බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන දළදා මාළිගාවේ ගෞරවය තහවුරු කළ යුතුය යන අදහස මමත් දරමි.

එහෙත්, "මහනුවර මාලිගාව අසල පාර රථවාහන ධාවනය සඳහා විවුර්ත කිරීමට අස්ගිරි පාර්ශවයේ සම්පුර්ණ සංඝ කාරක සභාවම විරුද්ධය." යනුවෙන් ඔබ පවසන්නේ මල්වතු පාර්ශවය මීට එකඟ බව තහවුරු කරගෙනද ? එසේනම් තත්වය නරක අතට හැරී ඇත. මල්වතු මහනා එජාප ගැත්තෙකි - රනිල් වික්‍රමසිංහ `සෑම හාමුදුරුකෙනෙකුගේම සිවුර ගලවා තට්ටයේ තාර ගෑම පිණිස පනතක් ගෙන එන්නෙමි` කීවත් මේ මහනා "මීක්" නොගා එකඟ වනු ඇත.

හිටපු අස්ගිරි නා තැන අපවත් වූ පසුත් අස්ගිරි පාර්ශවයේ මතය වෙනස් නොවී පවතීද?

samarasekara sithuvili said...

@ කණිෂ්ක මහතා

ඔබේ ප්‍රතිචාරය මා දිරිමත් කරනවා. මල්වත්ත පාර්ශවය ග්‍රාමවාසි පැත්තට බර වෙන අතර අස්ගිරිය පාර්ශවය ආරණ්‍යවාසි
පාර්ශවයට නැඹුරු බව ඔබ දන්නවා ඇති.අස්ගිරි පාර්ශවයේ එම නැඹුරුව දිඹුලාගල කාශ්‍යප හිමි දක්වා අතීතයට යන එකක්. මල්වතු පාර්ශවය හැදුනේ නුවර යුගයේ උපසම්පදාව ඇති කිරීමට මහත් මෙහෙයක් කල සරණංකර සංගරාජ මාහිමියන්ගේ මුලිකත්වයෙන්ය.අපේ රටේ වර්තමානයේදී ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසි පන්සල් අතර වෙනස්කම් තිබෙනවා වගේ මේ පාර්ශව දෙක අතරද වෙනස්කම් තිබෙනවා.මට වැටහෙන අන්දමට ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා දැඩි මත ධාරීන් වන අතර (සිත එකඟ කරන්නට දැඩි මතයක් අවශ්‍යමයි) තමන් ඉදිරියට පැමිණෙන ඕනෑම අයෙකුට කිවයුත්ත එලෙසින්ම කියනවා.
ජනයාගේ එදිනෙදා ආගමික කටයුතු වලට නිරන්තරයෙන්ම සම්බන්ධ වන ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා සුමුදු මතයක් දරනවා. තමන් මුණගැසීමට එන අයගේ සිත් නොරිදෙන අන්දමින් කථා කරනවා. මල්වත්ත හා අස්ගිරිය දෙපාර්ශයේ මහා නායක හිමිවරුන් මාලිගාව ඉදිරිපිට මාර්ගය විවුර්ත කිරීම ගැන මත දෙකක් දරන්නේ එනිසයි. එත් කොයිම වෙලාවකවත් එ දෙපාර්ශවය එකිනෙකා විවේචනය කර ගන්නේ නැහැ.
අපවත්වූ අස්ගිරි මහා නායක හිමි මෙන්ම වත්මන් අස්ගිරි මහා නායක හිමි මෙන්ම එම සංඝ කාරක සභාවද පාර විවුර්ත කරනවාට විරුද්ධයි.

මල්වත්තේ නායක හිමියන් ගැන කවුරුත් දන්නා රසහක් තියෙනවා. ඒක දේශපාලනය නම් නෙමෙයි. උන්වහන්සේ ශ්‍රව්‍ය දුර්වලතාවකින් පෙළෙනවා. එහෙත් එ බව පිළිගන්න කැමති නැහැ. ඒනිසා ශ්‍රව්‍ය ආධාර උපකරණයක් පලන්දින්නේ නැහැ. ලඟට එන එක්කෙනා පල කල අදහසින් තමන් වහන්සේට තේරුම්ගිය කොටසට උත්තර දෙනවා. ඒ නිසා උන්වහන්සේගේ පක්ෂ දේශපාලනය ගැන සිතීමට ඉක්මන් නොවිය යුතුයි කියලයි මට නම් හිතෙන්නෙ. ආගමික කරුණු හා පක්ෂ දේශපාලනය හා සම්බන්ධ කලයුතු එකෙනෙක සමග සම්බන්ධ කලයුතු කරුණු නොවෙයි.

සමරසේකර

කතා කතු said...

'මල්වත්ත පාර්ශවය ග්‍රාමවාසි පැත්තට බර වෙන අතර අස්ගිරිය පාර්ශවය ආරණ්‍යවාසි පාර්ශවයට නැඹුරු බව' මා දැන සිටියේ නෑ. එහෙත්, මල්වත්ත බොහෝ දුරට හැමටම 'එහෙයි' කියන අතර අස්ගිරිය ස්වීය මතකය සිටිමින් විරුද්ධ විය යුතු තැනේදී විරුද්ධ වනු බොහෝ විට නිරීක්‍ෂණය විය. මීට අමතරව අමරපුර නිකාය මෑතක් වන තුරුම ජාතික ගැටළු වලදී දැඩිව ක්‍රියා කරනු දිටිමි (විශේෂයෙන් මඩිහේ මහනා හිමිගේ අවදියේ).

මල්වත්තේ නායක හිමිගේ අඩුපාඩුව පිළිබඳ නොදැන සිටියෙමි. ඔහු අප පියාණන් පෞද්ගලිකව දැන සිටි (රාජකාරි මට්ටමින් නොව හඳුනන වෙනත් ස්වාමින් වහන්සේලා හරහා ඇති වූ මිතුරු කමකි) අතර රිදී විහාරයේ නායක වශයෙන් සිටින කල අපද එහි ගොස් ඇත. ඔහු එජාප ගැත්තෙක් බව අප දැන ගත්තේ පියාණන්ගෙනි. ඒ මහානා පදවියට පත් වීමට පෙර ය.

අප පියාණන් අද ජීවතුන් අතර නැතත් පදවියට පත් වූ මේ හිමි තමන් එජාප ගැතියෙක් බව ඔප්පු කළේ අප විසින් හෙළා දැකිය යුතු මට්ටමේ දේශපාලන ප්‍රකාශ වලිනි. ඒ නිසා ඒ ගැන නම් සැකයක් තබා ගත යුතු නැත. මාළිගාව ඉදිරිපිට පාර විවෘත කළ යුතු බවට එජාප ඇමැතියෙක් (මාරපන මහතා හෝ කිරිඇල්ල-ඕන ගොනා) ප්‍රකාශ කරන විට ඒ සඳහා අපේ විරුද්ධත්වයක් නැතැයි මොර දුන්නේ මේ මහනා ය.

samarasekara sithuvili said...

@ කණිෂ්ක මහතා,
ආරණ්‍ය වාසි පැවිදි හුරුවට නැඹුරුවූ බික්ෂුන් වහන්සේලා තම මතය දැඩිවම ප්‍රකාශ එහි සම්ප්‍රදායක්. දිඹුලාගල නායක හාමුදුරුවෝ උදාහරණයක් වෙනවා. ඉනාමළුවේ සුමංගල නායක හාමුදුරුවොත් අනෙක් සමහර භික්ෂුන් වහන්සේලාගේ විරෝධය තිබුනත් භික්ෂුණි සාසනය අපේ රටේ පිහිටුවීමට කටයුතු කරලා ඉවරයි.මහමෙව්න්නාවේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝද තම මතය දැඩිව ප්‍රකාශ කරනවා. ග්‍රාමවාසී සම්ප්‍රදාය යටතේ ඉන්නා භික්ෂුන් වහන්සේලා මේකෙන් වෙනස් විය යුතු යයි මින් අදහස් කරන්නේ නැහැ. විද්‍යාලංකාර පිරිවෙනේ සම්ප්‍රදාය දිහා බැලුවාම පෙනෙනවා. කේසි උවත් භික්ෂුන් වහන්සේලාගෙන් සිදුවන ශාසනික හා ජාතික මෙහෙය ගැන මිසක් උන්වහන්සේලාගේ දේශපාලන මතය ගැන මා උනන්දු වන්නේ නැහැ.

කෙසේ හෝ මාලිගාව අසල පාර විවුර්ත කිරීමට මාන බලන එහෙත් හැංගිලා ඉන්න තව කට්ටියක් ඉන්නවා. එ තමයි චැනල් ක්‍රමයෙන් සහ පුද්ගලික වෛද්‍ය වෘතියෙන් දෛනිකව විශාල මුදලක් හොයන දොස්තර වරු. මේ ගොල්ලන්ට ඕනෑ කරන්නේ නගරයේ සිට පුළුවන් තරම් ඉක්මනින් මාලිගාව පිටුපස තිබෙන නර්සිම් හෝම් ඒකට යාමට සහ ආපසු නගරට ඒමටයි.

සමරසේකර

කතා කතු said...

වෛද්‍යවරුන් පමණක් නොව තව බොහෝ පිරිස් සිටිය හැකියි. දේශපාලනඥයක් මේ ගැන වෙහෙසෙන්නේ කුමක් හේතුකොටගෙනද ?

samarasekara sithuvili said...

කණිෂ්ක මහතා,

මහනුවර පැත්තේ දේශපාලකයන් ගැන මගේ කිසිදු උනන්දුවක් නැත.ඒ දේශපාලන දොරටුවේ එළිපත්ත පෑගීමට වත් නුසුදුසු අය වර්තමානයේ මහනුවර දේශපාලනය කරන නිසාය.

සමරසේකර