Wednesday, August 10, 2016

සිගිරි ළඳුන්ගේ නිරුවත් උඩුකය ගැන සත්‍ය තත්වය

























සීගිරියේ ඇති බිතුසිතුවම් වල ඇති ළඳුන්ගේ රූප වල උඩුකය නිරුවත් කියල අපේ රටේ බොහොමයක් දෙනා හිතන එක  වැරදී බව  මා වාර කිහිපයකදීම පෙන්නා දුන්නේ එකී රුප  ඇඳි චිත්‍ර ශිල්පියා ඔවුන් දුහුල් සළුවක් හැඳ සිටින අන්දමින් චිත්‍රය ඇඳ ඇති  බව  බලන ලෙසය. මේ  කාරණය  මැනවින් විස්තර කර ඇති ලිපියක්  අද දිවයින පත්‍රයේ පල කර තිබෙනවා. එම ලිපිය බොහෝ දෙනා සැලකිල්ලෙන්  කියවිය යුතු යයි මා අදහස් කරන නිසා එම  ලිපිය මෙහි  පල කරනවා . මෙ ගැන දිවයින කතෘ තුමා සහ බොහෝ වෙහෙසක් දරා ලිපිය සම්පාදනය කල  කුසුම්සිරි කොඩිතුවක්කු  සහ කල්පනී සුබෝධා බණ්ඩාර ලේඛක තුමියන්   උරන නොවනු ඇතයි මා බලා පොරොත්තු වෙනවා .
 සීගිරි සිතුවම්වලින් හෙළිවන අතීත 
ලංකාවේ කාන්තා විලාසිතා

කුසුම්සිරි කොඩිතුවක්‌කු සහ කල්පනී සුබෝධා බණ්‌ඩාර
මධ්‍යම සංස්‌කෘතික අරමුදල, සීගිරිය කෞතුකාගාරය






ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව ගැන කතා කිරීමේදී නිතැතින් ම අපගේ මතකයට නැගෙනුයේ සීගිරි සිතුවම් ය. ශ්‍රී ලාංකේය සිතුවම් කලා ඉතිහාසයේ සම්භාව්‍ය යථාර්ථවාදී සම්ප්‍රදායක්‌ සනිටුහන් කරන සීගිරි සිතුවම් ක්‍රි.ව. 5 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව ඉතා දියුණු මට්‌ටමක පැවති බවට පැහැදිළි නිදසුනකි. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල, සීගිරි පර්වත බිත්තියෙහි රූප පන්සියයක්‌ තිබූ බව සඳහන් වෙතත් අද දක්‌නට ලැබෙනුයේ ලෙන් කුහරය තුළ ශේෂව ඇති ලළනා රූප 18ක්‌ පමණි. එහෙත්, හඳුනාගත හැකි සාධක අනුව සමස්‌ත බටහිර පර්වත බිත්තියෙහි සහ කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයෙහි ද සිතුවම් ඇඳ තිබූ බවට සාධක පවතී.

මෙම සිතුවම්වලින් නිරූපණය කෙරෙනුයේ, කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරිපත්ව ඇති මත බොහෝ ය. ඒ අතරින් සීගිරියට නුදුරු පිදුරංගල විහාර වන්දනාවට යන කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්‌ත්‍රීන් ය යන එච්.සී. පී. බෙල් මහතාගේ මතය ද, දිව්‍ය අප්සරාවන් ය යන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතාගේ මතය ද, වැහි වලාකුළු හා විදුලිය සංකේතවත් කරන මේඝලතා හා විඡ්ජුකුමරි යන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය ද ප්‍රමුඛ වේ.

සීගිරි සිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ මහිමය පෙරදැරි කොටගත් අග්‍රගන්‍ය උරුමයක්‌ වන්නාසේම, අනුරාධපුර යුගයේ කාන්තා විලාසිතා පිළිබඳව දෘශ්‍යමාන සාධක සපයන මූලාශ්‍රයක්‌ ලෙස ද හඳුනාගත හැකිය. අපගේ සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන් වන අතීත ශ්‍රී ලංකාවේ කාන්තා විලාසිතාවන්හි නිරූපණයන් මේ අනුසාරයෙන් වඩාත් ප්‍රත්‍යක්‍ෂ කොට 

ගත හැකි ය.






මෙම සිතුවම්වලින් 
නිරූපිත කාන්තා රූප සියල්ල ම උඩුකය නිරූපිත ඒවා වන අතර, මීට වසර කිහිපයකට පෙරාතුව කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයෙන් සම්පූර්ණ ශරීරය නිරූපිත කාන්තා රුවක්‌ද හඳුනාගත හැකිවිය. සීගිරි ශිලා උද්‍යානයේ දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහි ද මෙවැනි රූප කිහිපයක්‌ දැකිය හැකි ය. මෙම කාන්තා රූප කහ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ශරීර පැහැ දෙකකින් හඳුනාගත හැකිය. කුරුටු ගීවල එම කහ පැහැති රූප රන්වනුන් ලෙසත්, දුඹුරු පැහැති රූප මහනෙල්මල්වනුන් ලෙසත් දක්‌වා තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විඡ්ජුකුමාරි ලෙසත්, මේඝලතා ලෙසත් නම්කර ඇත්තේ පිළිවෙලින් එම රූප දෙවර්ගයයි. රන්වනුන් පැළඳ සිටින සැට්‌ට ඉතා දුහුල් ශරීරය විනිවිද පෙනෙන ඒවා වේ. දුඹුරුවන් ස්‌ත්‍රින් අතරින් ඇතමෙක්‌ තද පැහැති වර්ණයෙන් යුතු සැට්‌ටවලින් සැරසී සිටී. එම සැට්‌ටවල කර ගෙල දක්‌වාම පියවා පිට ප්‍රදේශයෙන් විවර කිරීමට හැකි වන අයුරින් නිමවා තිබේ. එක්‌ ස්‌ත්‍රියකගේ සැට්‌ටයේ පපු ප්‍රදේශයේ රේඛා මෝස්‌තරයක්‌ දැකිය හැකිය. එය කොළ පැහැති ඝන රේඛාවකින්, ඒ දෙපසින් වූ සැට්‌ටයේ වර්ණයෙන්ම යුතු (දුඹුරු පැහැති) රේඛා දෙකක්‌ හා ඊටත් පිටතින් වූ කහ පැහැති රේඛා දෙකකින් සමන්විතය.

මෙලෙස රේඛා මෝස්‌තර නොමැති තනි වර්ණයේ සැට්‌ටද දැකිය හැකිය. එම රූප අතරෙහි කුචබන්ධය (තනපටය) පැළඳි කහ පැහැති කාන්තා රුවක්‌ද දැකිය හැකිය. එම කුචබන්ධය පයෝධර දෙක මධ්‍යයෙන් උරහිස්‌ හා උකුල ඔස්‌සේ කතිර හැඩයට පැළඳි එකකි. එහි මධ්‍යයෙහි මැණික්‌ ගල් ඇල්ලූ අලංකාර සැරසිල්ලක්‌ද දැකිය හැකිය. සීගිරියෙන් හමු වූ මැටියෙන් කළ කාන්තා රූප කිහිපයකද මෙවැනි පළඳනා දක්‌නට ලැබේ. මෙම රූපවල යටිකය වැස්‌ම නෙරු පොටක්‌ සහිත ධෝතියකි. එම ධෝති තනි වර්ණයෙන් යුක්‌ත වන අතර එක්‌ කාන්තා රූවක්‌ තිරස්‌ වර්ණ තීරු සහිත ධෝතියකින් ද සැරසී සිටී. සීගිරි කුරුටු ගීවල සඳහන් වන පරිදි එම කාන්තාවන් පැළඳ සිටින රෙදි චීන සේද (සින පට) සේද රෙදි (පට වරල්ල) හා තුනී රෙදි (සිහින් පිළි), වේ.

මෙම කාන්තාවන් පැළඳ සිටින කුණ්‌ඩලාභරණ රෝදයක්‌ වැනි වටකුරු හැඩයේ ඒවා ය. එහි පිටපැත්තේ මධ්‍යයෙන් උන්නත දාරයකි. රූපවල මිනුම් ප්‍රමාණ හා සැසදීමේ දී මෙවැනි කුණ්‌ඩලාභරණයක්‌ සෙ.මී. 4 ක පමණ විශ්කම්භයකින් යුක්‌තය. සෑම කාන්තාවක්‌ම කර මාල කිහිපයක්‌ පැළැඳ සිටිනු දැකිය හැකිය. පහතින්ම ඇත්තේ පියයුරු මධ්‍යය දක්‌වා එල්ලෙන මුතු පොටවල් කිහිපයකින් (හතරක්‌) සැදි මාලයක්‌ හෝ පොටවල් කිහිපයක්‌ සහිත (රන් ?) මාලයකි. ඊට ඇතුළතින් ගල් ඇල්ලූ (රතු හෝ නිල්) රනින් කළ විශාල වටකුරු පෙන්ඩනයක්‌ සහිත තැල්ලකි. පෙන්ඩනය ද වට කිහිපයකින් යුතු වෘත්තාකාර හැඩයකින් යුක්‌ත වන අතර මධ්‍යයේ අල්ලා ඇති මාණික්‍ය වඩාත් පිටතට නෙරා සිටින ආකාරයට සකසා තිබේ. මීට අමතරව පෙති සහිත මලක ස්‌වාභාවයෙන් යුතු පෙන්ඩන විශේෂයක්‌ද දැකිය හැකි ය. එහි වට කිහිපයක්‌ සහිත අවුමට පිටතින් ඇති පෙති මෝස්‌තරය ද රනින්ම නිමවා තිබේ. මෙම පෙන්ඩනය සහිත මාලය මුතු පොටක ස්‌වභාවයෙන් හා මෝස්‌තර රහිත රිදී හෝ රන් පොටක ස්‌වභාවයෙන් යුක්‌තය.

මෙම තාලිය ට ඉහළින් කෙටි කර මාලයකි. එහි මධ්‍යයේ නිල් පැහැති මාණික්‍ය හා දෙපස ගල් සහිත මෝස්‌තරයකි. ඇතැම් කාන්තා රූපවල මෙම කර පළඳනා වලට අමතරව පබළු කිහිපයක්‌ ඇල්ලූ ගෙලටම තදකොට බඳින ලද නූල් පොටක්‌ වැනි යමකින් නිමවා ඇති තවත් පළඳනාවකි. කුරුටු ගී කිහිපයක මෙම කාන්තාවන් පැළඳ සිටින ගෙළ පළඳනා රන් දම්වැල් (හෙම්යති, රන්දම්, රන්මාල) හා මුතු වැල් ලෙස දක්‌වා තිබේ.

සෑම කාන්තාවක්‌ ම වළලු හා බාහු පලඳනා පැළඳ සිටී. මුතුවැල් පැළඳ සිටින කාන්තාවන් බාහුවල පැළඳ සිටින්නේ ද මුතු වැල්ය. එම මුතුවැල් පොටවල් හතරකට නිමවා තිබේ. සෑම කාන්තාවක්‌ම අත්වල වළලු පහකට වැඩි සංඛ්‍යාවක්‌ පැළඳ සිටින අතර එම වළලු පෙළෙහි මුල සහ අග වළලු මැණික්‌ ගල් අල්ලා මෝස්‌තර සහිතව නිර්මාණය කළ ඒවා වේ.

මෙම කාන්තාවන්ගේ වරලස පිටුපසට බැඳ මුදුන දක්‌වා නැවත එක්‌කොට බැඳ ඇති මුත් මුදුනින් උස්‌ව පෙනෙන ලෙස සකසා නොමැතිය. මෙලෙස වරළස හිස මැදට යොදා සැකසීමේ දී භාවිතා කළේ යෑයි සිතිය හැකි ලෝහමය කොණ්‌ඩා කටුවක්‌ සීගිරියේ කැණීම්වලින් හමු වී ඇති අතර එය දැනට සීගිරිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එක්‌ ස්‌ත්‍රියකගේ පමණක්‌ කියඹු දැකිය හැකිය. සෑම කාන්තාවක්‌ම නළල් පටක්‌ පැළඳ සිටින අතර ස්‌වාභාවික මල් වලින් සැකසූ හා ගල් ඇල්ලූ හිස්‌ පළඳනාවන්ගෙන් සැරසී සිටී. හිස පළඳනා සඳහා මල් මාලා යෙදූ අවස්‌ථාවන්හිදී එම මල්වැල් පිට මැද තෙක්‌ විහිද යන බවක්‌ද දැකිය හැකි ය.

මෙම රූපවල නිරූපිත කාන්තාවන්ගේ මුහුණු දිගැටි හැඩය ගන්නා අතර එම මුහුණු වල හැඩයට උචිත වන පරිදි නර්තන ශිල්පිනියන්ගේ පරිද්දෙන් ඇහි බැම සිහින් දිගැටි ආකාරයට සකසා තිබේ. ඒවා අඳුන් ආලේප කොට සකසා ඇති බව පෙනේ. අඳුන් ආලේප කිරීම සඳහා යොදාගත් තඹ කූරු කිහිපයක්‌ ද සීගිරිය කැණීම්වලින් හමු වී ඇති අතර ඒවා ද දැනට සීගිරිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

නළලේ තිලකය දක්‌නට ලැබීම මෙම කාන්තාවන්ගේ සුලභ ලක්‍ෂණයක්‌ වන අතර එය සියුම් සිරස්‌ රේඛාවක ස්‌වභාවයෙන්ද තිතක ස්‌වභාවයෙන්ද, පටු ඹ හැඩැති ස්‌වභාවයෙන්ද යුක්‌තය.

විලාසිතා හා රූපලාවන්‍ය පිළිබඳ කාන්තාවන් තුළ ඇති රුචිකත්වය දිගු ඉතිහාසයකට නෑකම් කියන අතර ප්‍රාග් ඓතිහාසික අවධියේ මධ්‍යශිලා යුගයට අයත් අවශේෂ අතරින් හමුවන ආලේපන සඳහා භාවිතයට ගත් ගුරුගල් හා පළඳනා ලෙස යොදා ගත් සිදුරු විදි බෙලිකටු ඒ සඳහා පැරණිතම නිදසුන් ය. විලාසිතා හා රූපලාවන්‍ය කලින් කලට වෙනස්‌වන බව පැහැදිලි කරුණකි. ක්‍රි.ව.5 වන සියවස්‌ තරම් අතීතයේ දී එම තත්වය කුමන අයුරින් පැවතියේද යන්න සනාථ කර ගැනීමෙහිලා සීගිරි සිතුවම්වලින් ලැබෙන පිටුවහල අතිමහත්ය. එම රූපවල ඇඳුම් විලාසිතා, ආභරණ විලාසිතා, ඒවා එකිනෙකට ගැළපෙන අයුරින් පැළඳ සිටීම හා රූපලාවන්‍ය පිළිබඳ ලක්‍ෂණය අපට විවර කර දෙනුයේ අතීත ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි. 
Post a Comment