Wednesday, May 10, 2017

ථෙරවාදය ගැන පලවී ඇති සරල අදහසක්

අද දින  මා නෙත ගැටුනේ  ථෙරවාදී බුදුදහමේ සාරය කෙටිකර දක්වා ඇති ලිපියකි  බ්‍රාහ්මණවත්තේ විමලවංසතිස්‌ස හිමියන් 
BA (Hons), Dip in BS, MsSc, PhD (U/G) විසින් මහත් පරිශ්‍රමයකින් ලියා ඇති මෙම ලිපිය පළවුයේ දිවයින පත්‍රයේය.
සමරසේකර  

රූපාදි අරමුණ ශුභ වශයෙන් ගනිමින්, ඉන්ද්‍රිය සංවරයක්‌ නැතිව, කෑමෙහි පමණ නොදැන, කම්මැලිව වීර්යයෙන් හීනව සිටින තැනැත්තාට ක්‌ලේශ මාරයා පහර දෙන්නේ සුළඟ දුබල ගසක්‌ උදුරා දමන්නාක්‌ මෙනි.

බුදුන්වහන්සේ
(ධම්මපදය- සහස්‌ස වග්ගය) 

.............................................................................................

ථෙරවාදී ඥාන මීමංසාව

බ්‍රාහ්මණවත්තේ විමලවංසතිස්‌ස හිමි
BA (Hons), Dip in BS, MsSc, PhD (U/G)

ථෙරවාදය යනු බුදුන්වහන්සේ විසින් දේශිත, එසේම පළමු සංගායනාවේදී සංගායනාවූත් මහාකාශ්‍යප, ආනන්ද, උපාලි, මොග්ගලීපුත්තතිස්‌ස මහරහතුන්ගෙන් පැවතෙන, මහාවිහාරික සම්ප්‍රදායට අදාළ දහම යන අර්ථයයි. ඥානය යන්න 'ඤ' ධාතුවෙන් නිපන් 'අවබෝධ' දෙන අර්ථය සහිත 'ඤාණ' වදන ත දැනීම, වේදය, ශාස්‌ත්‍රය, දැනීම් විශේෂ යන අර්ථ සහිතවද සලකා බැලීම, විමර්ශනය, සිද්ධාන්ත සලකා බැලීම, පරීක්‍ෂා පූර්වකත්ව, විනිශ්චය යන අර්ථ සහිතව 'විමංසාව' යන වදනද භාවිත කෙරේ. පොදුවේ ගත් කල epistemology යන ඉංග්‍රීසි වදනේ අර්ථය වන ඥාන මීමංසනය, ඥානයේ වටිනාකම හා ස්‌වභාවය අධ්‍යයනය යන අර්ථයෙන් ඉහත යෙදුම භාවිත කෙරේ. එක්‌ අතකින් මෙය දාර්ශනික (Philosophical) වනවා සේම අනෙක්‌ අතින් ආගමික සුසමාදර්ශමය (Religious Paradigmatic) ද වේ. දැනුම හෝ අවබෝධය පිළිබඳ න්‍යාය (The Theory of Knowledge) වන බවද පෙනේ.

ථෙරවාදයට අනුව දැනුම විකාශනය වී ඇති ආකාරය.

මේ පිළිබඳව විමසීමේදී අවධානය යොමුකළ යුතු වැදගත් සූත්‍ර ධර්මයක්‌ ථෙරවාදී සූත්‍ර පිටකයෙන් හමුවේ. එනම්, ම-Cධිම නිකායෙහි ම-Cධිම පණ්‌ණාසනයට අයත් "සංගාරව" සූත්‍රයයි. එහි දැක්‌වෙන ආකාරයට තත්කාලීන ඥාන දර්ශනයට ප්‍රධාන ඥාන මාර්ග තුනක්‌ ඔස්‌සේ විකාශනය වී ඇති බව බුදුරජාණන් වහන්සේ දක්‌වා තිබේ. එනම්,

1) ශ්‍රැතිය අධිකාරිය කරගත් ඥාන මාර්ගය - තෙවිඡ්ජා බ්‍රාහ්මණමෙන්

2) හුදු ශ්‍රද්ධා මාත්‍රයෙන් යුත් තර්කග්‍රාහී විමංසක ඥාන මාර්ගය - තක්‌කි විමංසි

3) පෙර නොඇසූවිරූ ධර්මයන් තමන්ම දැන ප්‍රකාශ කිරීම - අනුභූතිවාදී ඥාන මාර්ගය

සංගාරව මානවයාගේ පැණයකට පිළිතුරු ලබා දෙන බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරති.

''භාරද්වාජය, ඉහාත්මයෙහි මැ දැන පර්යවසිත වැ 'නිවන් පැමිණියම්හ' යි බණන ආදී බ්‍රහ්ම චර්යා පිළින කරන ඔවුන්ගේද වෙනස කියමි. භාරද්වාජය, අනුශ්‍රවකථාගත් කිසි මහණ බමුණු කෙනෙක්‌ ඇත. ඔහු අනුශ්‍රව වශයෙන් ඉහාත්මයෙහිම දැන පයH_වසිත ව 'නිවන් පැමිණියම්හ' යි කියා ආදී බ්‍රහ්ම චර්යා පිළින කෙරෙති. තෙවිඡ්ජා බ්‍රහ්මණයන් සෙයිනි. භාරද්වාජය හුදු ශ්‍රද්ධා මාත්‍ර වශයෙන් ඉහාත්මයෙහිම දැන පයH_වසිතව 'නිවන් පැමිණියම්හ' යි කියා ආදී බ්‍රහ්මචර්ය පිළින කෙරෙත්ද එබඳු කිසි මහණ බමුණු කෙනෙක්‌ ඇත. තර්කග්‍රාහීව විමංසක වූ බ්‍රාහ්මයින් සෙයිනි. භාරද්වාජය, පෙර නොඇසූවිරූ දහම් තමන් විසින්ම දහම් දැන ඉහාත්මයෙහිම දැන පයH_වසිතව 'නිවන් පැමිණියම්හ' යි කියා ආදී බ්‍රහ්මචර්ය පිළින කෙරෙත්ද, එබදු කිසි මහණ බමුණු කෙනෙක්‌ ඇත."

(සංයුක්‌ත නිකාය ෂෂෂ රැ සංගාරව සූත්‍රය පි. 739)

මෙම ඥාන මර්ග තුන විෂයෙහි ථෙරවාදයේ ඇති පෙන්වා දීම වනුයේ අනුභූතිවාදී ඥාන මාර්ගය වඩා වැදගත් වන බවයි. ලෞකික අර්ථයෙන් ගත් කල ''අධ්‍යයනය'' යන තත්ත්වය පංච ඉන්ද්‍රියයන් තුළ අනුභූතිකව ඇතිවන ඥාන පසුබිම වන අතර ලෝකෝත්තර අර්ථයෙන් ගත් කල "ධ්‍යානය" පදනම් කරගත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ පදනම් කරගත් අතීන්ද්‍රීය ගවේශනයයි.

ථෙරවාදයට අනුව ඥාන විමංසාවේ ස්‌වභාවය

ථෙරවාදී පිටකගත මූලාශ්‍රයන්ට අනුව ඥාන මාර්ගය කෙසේ විය යුතුද යන්න පිළිබඳව විමසීමේදී මූලික වශයෙන් විමංසක සූත්‍රය, කාලාම සූත්‍රය හා මහා පරිනිබ්බාණ සූත්‍රය යන මූලාශ්‍ර වැදගත් වේ.

මඡ්Cධිම නිකායට අයත් විමංසක සූත්‍රය බුද්ධ සීහනාද සූත්‍රය වශයෙන් ද හැඳින්වේ. මේ සූත්‍රයේ විශේෂත්වය වන්නේ කිසිවකුගේ ආරාධනයකින් ප්‍රශ්න කිරීමකින් හෝ විශේෂ කරුණක්‌ ඉදිරිපත් වීමකින් තොරව බුදුරජාණන් වහන්සේ සිතාමතාම භික්‍ෂූන් ආමන්ත්‍රණය කොට දේශනා කිරීමයි. මෙහිදී සිය ශ්‍රාවකයන්ගේ නිදහස්‌ චින්තනය බුදුරදුන් අගය කළ අයුරු මනාව ප්‍රකාශ වේ. තමන්ගේ ශාසනයේ පැවිදි වී සිටින තමන් වහන්සේගේ ධර්මය පිළිගෙන සිටින, එසේම තමන් වහන්සේ ශාස්‌තෘවරයා ලෙස පිළිගත් ඒ මත කටයුතු කරන සියල්ලන් තමන් වහන්සේ විමසීමට ලක්‌ කළ යුතු බව මෙහිදී දේශිතය. මේ වනාහී බෞද්ධ ඥාන විමංසාවේ ස්‌වභාවය මොනවට පැහැදිළි වන අවස්‌ථාවයි. ලෝකය පිළිබඳව, සත්වයා පිළිබඳව, සියල්ල අවධානය කරනුයේ බුදුන් වහන්සේ දේශිත ස්‌කන්ධ විග්‍රහය, ආයතන විග්‍රහය හෝ ධාතු විග්‍රහය පදනම් කරගනිමිනි. එසේ වන විග්‍රහය ඉදිරිපත් කරන ශාස්‌තෘවරයා නිදහස්‌ චින්තනය මත විමසීමට බදුන් කිරීමට ශ්‍රාවකයන්ට අවස්‌ථාව උදාකිරීම අප්‍රමාණ වූ අවස්‌ථාවකි. "මහණෙනි, මෙරමාගේ සිත් හසර නොදන්නා විමංසක මහණ විසින් දෙදහමෙ'ක්‌ හිලා තථාගතයන් වහන්සේ පර්යේෂණ කළ යුතු වෙයි. චක්‌ෂුර් විඥෙය (කායසමාචාරය), ශ්‍රොත විඥෙය (වාග් සමාචාරය) ධර්ම ද්වයෙහිය"

(මඡ්ජිම නිකාය - විමංසක සූත්‍රය. 745 පිටුව)

ථෙරවාදී ඥාන මීමංසාවේ ස්‌වභාවය තේරුම් ගැනීමට වැදගත් වන තවත් සූත්‍රයක්‌ වන්නේ අංගුත්තර නිකායෙහි ඇතුළත් කාලාම සූත්‍ර ධර්මයයි. එහිදී කොසොල් රට ක්‍ෂත්‍රීයයන්ගේ කේසපුත්ත නියම්ගම්වාසී කාලාමවරුන් බුදුරජාණන් වහන්සේ වෙත ප්‍රකාශ කර සිටින්නේ "ස්‌වාමීනි, මේ කේසපුත්ත ග්‍රාමයට පැමිණෙන ඇතැම් බමුණෝ වෙති. ඔවුහු තමන් පිළිගෙන ඇති ලබ්ධියම කියති. අන්‍යයන්ගේ ලබ්ධි හා ගැටෙති. ඒවා හෙලා දකිති. ඒවා ප්‍රතික්‍ෂේප කරති. එසේම කලාම කේසපුත්තයට එන ඇතැම් මහණ කෙනෙක්‌ ඒ අයුරින්ම ඔවුන්ගේ ලබ්ධිය කියති. අන්‍යන්ගේ ලබ්ධි හා ගැටෙති. ඒවා හෙළා දකිති. ඒවා ප්‍රතික්‍ෂේප කරති. ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ මහණ බමුණන් අතරින් කවරෙක්‌ නම් සත්‍ය ප්‍රකාශ කරන්නේද? කවරෙක්‌ නම් මුසාවාද ප්‍රකාශ කරන්නේද? යන සැකය, විචිකිච්ඡාව අපට ඇති වී තිබේ'' ලෙසටය.

එහිදී බුදුරජාණන් වහන්සේ කරුණු දහයක්‌ මුල් කරගනිමින් එසේ පිළිගත යුතු නැති අයුරු විග්‍රහ කරයි. එනම්,

1. මා අනුස්‌සවේන (වේද ආදී අනුශ්‍රවනයන් අනුව නොපිළිගත යුතු බව)

2. මා පරම්පරාය (පාරම්පරික පිළිගැනීමක්‌ වූ පමණින් ද නොපිළිගත යුතුය)

3. මා ඉතිකිරාය (එය මෙසේ වීම අනුව මෙය ද එසේ විය යුතුයයි නොපිළිගත යුතුය)

4. මා පිටක සම්පදානේන (පිටක ග්‍රන්ථයන්හි සඳහන් වී තිබූ පමණින්ද නොපිළිගත යුතුය)

5. මා තක්‌කහේතු (තර්කයට ගැලපෙන පමණින්ද නොපිළිගත යුතුය)

6. මා නය හේතු (න්‍යායට ගැලපෙන පමණින්ද නොපිළිගත යුතුය)

7. මා ආකාර පරිවිතක්‌ක (තමා සිතූ ආකාරයට ගැලපුණ පමණින්ද නොපිළිගත යුතුය)

8. මා දිට්‌ඨි නිඡ්Cධානක්‌ඛත්තියා (තමා දරණ දෘෂ්ටියට ගැලපුන පමණින්ද නොපිළිගත යුතුය)

9. මා භබ්බරූපතාය (මා වැන්නකු මෙසේ පිළිගැනීම සුදුසු යෑයිද නොපිළිගත යුතුය)

10. මා සමණෝ නෝ ගරු (මේ අපේ ශ්‍රමණයන් වහන්සේය හෝ මේ අපේ ගුරුවරයා කියා හෝ එතෙකින් යමක්‌ නොපිළිගත යුතුය)

(අංගුත්තර නිකාය - කාලාම සූත්‍රය)

මෙම දස කරුණ ඉතා වැදගත් වන්නකි. බෞද්ධ ඥාන විමංසාව දිශාගත වී ඇති අයුරු මේ තුළින් මනාව පැහැදිළි වේ.

"කාලාමයනි, යම් කලෙක මෙය අකුසල ධර්මයක්‌ය, මෙය වැරදි සහිතය, මෙය ඥානවන්තයන් විසින් ගරහන ලද්දේය. මේ කරුණු වලින් යුක්‌තවීම ඒවායෙහි පිහිටා සිටීම අහිත පිණිස දුක්‌ පිණිස පවතින්නේ යෑයි යම් විටෙක තමාටම වැටහෙන්නේ ද එවිට ඔබලා එම ධර්මයන් බැහැර කරන්න''

ඉහත විග්‍රහයෙන් පැහැදිළි වන්නේ බුදුරජාණන් වහන්සේ එසේ ඥාන විමංසාත්මක ක්‍රමවේද ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ අවිචාරවත්ව හෝ එම ඉගැන්වීම් රුචි නොකළ නිසා නොව මූලික වශයෙන් ඒවායේ පදනම් නිවැරදි නොවන නිසා බව පෙනේ. එසේම යමක්‌ පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම විචාර පූර්වකව දැඩි සංයමයකින් යුක්‌තව සැලකිල්ලෙන් කළ යුතු කාර්යක්‌ වන බැවිනි. මහා පරිනිබ්බාන සූත්‍රයේදී සතර මහාපදේශයන් ඉදිරිපත් කොට බුදුරජාණන් වහන්සේ මෙකී තත්ත්වය තවදුරටත් අර්ථවත් කර ඇති බව පෙන්වා දිය හැකිය. එනම්,

1. යමෙක්‌ ධර්මය මෙය විනය මෙය ශාසනය මෙය බුදුරජාණන් වහන්සේ හමුවෙහි මා මෙය අසා දැනගන්නා ලද්දේ යෑයි කියන්නේ ද එපමණකින් එය නොපිළිගත යුතුය. ප්‍රතික්‍ෂේප ද නොකළ යුතුය. ඒවායෙහි පද ව්‍යඤ්ජන මැනවින් ඉගෙන සූත්‍රයෙහි විනයෙහි බහාලමින් සසදා බලා ගැලපෙන්නේ නම් ඒකාන්ත වශයෙන් බුද්ධ වචනයයි, පිළිගත යුතුය. එසේ නොසැසදේනම් බුද්ධ වචනයක්‌ යෑයි නොපිළිගත යුතුය.

2. අසුවල් ආවාසයේ පාමොක්‌ධර තෙරුන් සහිත සංඝයා වැඩවෙසෙති. ඒ සඟන හමුවෙහි ධර්මය මේය ආදී වශයෙන් ඇසූ කල ද පළමු පරිදිම විමසා පිළිගැනීම හෝ නොපිළිගැනීම කළ යුතුය.

3. අසුවල් ආවාසයෙහි වැඩවසන බහුශ්‍රැත අධමධර, ධර්මධර, විනයධර, මතිකාධර බොහෝ ස්‌ථිරවර වෙසෙත් ඒ තෙරුන් හමුවෙහි ධර්මය මේය ආදී වශයෙන් අසන්නට ලැබුණ ද පළමු පරිදිම විමසා පිළිගැනීම හෝ නොපිළිගැනීම කළ යුතුය.

4. අසුවල් ආවාසයේ වැඩ සිටින බහුශ්‍රැත ආගමධර, ධර්මධර, විනයධර, මතිකාධර එක්‌තෙර නමක්‌ වෙසේ. උන්වහන්සේ හමුවෙහි ධර්මය මේය ආදී වශයෙන් අසන්නට ලැබුණ ද පළමු පරිදිම විමසා පිළිගැනීම හෝ නොපිළිගැනීම කළ යුතුය.

(දීග නිකාය - මහාපරිනිබ්බාණ සූත්‍රය)

මේ අනුව ථෙරවාදී ඥාන මීමාංසාව ඉතා ගැඹුරු සූක්‌ෂම මෙන්ම විද්‍යාත්මක පදනමක පිහිටන බව පෙනේ.

ථෙරවාදී ඥාන උත්පාදන ක්‍රමවේදය පිළිබඳ විමසීම.

ඉන්ද්‍රීය ඥානය ඇතිවීම සඳහා කරුණු තුනක්‌ එකසේ සංයෝග විය යුතු ආකාරයත් ඒ එක්‌ එක්‌ කරුණු වැදගත් වන ආකාරයත් මඡ්Cධිම නිකායේ මහාහත්ති පදෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ.

01. නොබිඳුණු ඉන්ද්‍රියන් තිබීම.

02. ඉන්ද්‍රීය ගෝචර බාහිර අරමුණු තිබීම.

03. අරමුණු පිළිබඳ සිහිය හෙවත් අවධානය තිබීම.

පළමු කරුණින් අවධාරණධය කරනුයේ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රීයයන් ප්‍රකෘති තත්ත්වයෙන් පැවතිය යුතු බවයි. එනම් ඇසේ යම් දෘෂ්‍ය පරාසයක්‌ පවතී. එසේම ඇසේ ක්‍රීයාකාරිත්වයට අදාල භෞතික පැවැත්ම පැවතිය යුතුය. නින්දේ සිටින විට ඇසට රූප ගෝචර නොවේ. එය එක්‌ අතකින් කැමරාවක්‌ තුළ ඇති කාචය වැසී තිබෙන අවස්‌ථාවක ඡායාරූපගත නොහැකි තත්ත්වයට සමානවෙන බව පෙනේ. ඒ ආකාරයෙන් අනෙකුත් ඉන්ද්‍රීයයන් ද බාහිර අරමුණු ගෝචර කර ගැනීමට සුදුසු තත්ත්වයේ තිබිය යුතු බව මින් හැ`ග වේ.

ඉන්ද්‍රීය ඥානය ඇතිවීම උදෙසා ඉන්ද්‍රීය පැවතීමම ප්‍රමාණවත් නොවේ. එම ඉන්ද්‍රීයන්ට ගෝචරවන බාහිර අරමුණු තිබිය යුතුය. ඇස පැවතිය ද ඇසට ගෝචර විය යුතු බාහිර රූප තිබිය යුතුය. රූපයක්‌ නොමැතිව ඇස ගැම්මට ලක්‌කිරීම සඳහා ප්‍රපංචයක්‌ නොමැති වීම නිසා චක්‌ඛු විඥානය ඇති නොවේ. රූප ඇති විට ඇස රූපය සමග ගැටීමෙන් චක්‍ෂු විඥානය පහළ වන්නේ එවිටය. එසේම අනෙකුත් ඉන්ද්‍රියන් සම්බන්ධ තත්ත්වයද මෙයම වේ.

බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ සමඤ්ඤඵල සූත්‍ර දේශනාවේදී මෙසේ අතීන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂයෙන් ලබන ඥාන හයක්‌ පිළිබඳව විග්‍රහ කොට තිබේ. මෙයද වැදගත් වන්නේ මෙහි අවසානයේ දක්‌වන ආසවක්‌ඛය ඥානය හැර අනෙක්‌වා බුදුහිමියන් පහළවීමටත් ප්‍රථම භාරතීය පැවති ඥාන මාර්ග ඔස්‌සේ සාක්‍ෂාත් කළ තත්ත්වයන් වීමයි.

1. ඉද්ධිවිධ ඥානය

2. දිබ්බ සෝත ඥානය

3. දිබ්බ චක්‌ඛු ඥානය

4. පරචිත්ත විජානත ඥානය

5. පුබ්බේනිවාසානුස්‌සති ඥානය

6. ආසවක්‌ඛය ඥානය

සතර මහා ධාතූන්ගෙන් නැතහොත් ශුද්ධාෂ්ටකයෙන් සමන්විත පුද්ගල භෞතික ශරීරයෙන් මනෝමය කාය වෙන්කර ගැනීමේ ශක්‍යතාවය මෙම ඉද්ධිවිධ ඥානයෙන් ලැබෙන අතර ඒ තුළින්,

I.එක්‌ අයෙක්‌ නැවත එවැනිම බොහෝ දෙනෙකු වීම

II. බොහෝ දෙනකු වී නැවත එක්‌ අයෙකු වීම

III. පෙනෙමින් - නොපෙනෙමින් සිටීම

IV. භෞතික වූ බාධාවන්ගේ නොගැටී ආකාශයෙහි මෙන් ගමන් කිරීම

V. පෘථිවියෙහි දියෙහි මෙන් ගමන් කිරීම

VI. ආකාශචාරිව පක්‍ෂියකු මෙන් ගමන් කිරීම ආදිය සිදු කළ හැකි බව දක්‌වයි.

මිනිසාට කණට ගෝචර වන ශ්‍රව්‍යතා පරාසයක්‌ පවතී. බටහිර විද්‍යාඥයන් එය දක්‌වන්නේ හට්‌ස්‌ විසිදාහක උපරිමය සහ හර්ට්‌ස්‌ විස්‌සක අවමය වශයෙනි. නමුත් ඊට අඩු හෝ වැඩි ශබ්ද මිනිස්‌ කනට ගෝචර නොවේ. එම පරාසය ඉක්‌මවා ගිය දිව්‍යමය වූද, මානසික වූද, දුර වූද, ළඟ වූද, ශබ්දයක්‌ ශ්‍රවණය කළ හැකි බව දිබ්බසෝත ඥානය මඟින් විග්‍රහ වේ. මෙය සුවිශේෂී තත්ත්වයකි.

දිබ්බචක්‌ඛු ඥානයෙන් විග්‍රහ වන්නේ මසැසේ දෘෂ්ටි පරාසය ඉක්‌මවා ගිය සියුම් වූ රූප තත්ත්වයන් මේ ඥානය ලැබීමෙන් දැකිය හැකි බවයි. අපමණ දුර වූද කුමන තත්ත්වයක්‌ යටතේ පැවතියද ප්‍රේත, පිසාච, භූත, දේව ආදී වූ ඕනෑම ශ්‍රව්‍ය රූපයක්‌ ගෝචර කර ගැනීමටත් එසැනින් දැකීමටත් මෙම ඥානය තුළින් අවකාශ උදාවේ.

පරචිත්ත විජානන ඥානය වූ කලී අන්‍ය වූ සත්වයින්ගේ මනසේ ඇතිවන කුමන වූ හෝ සිතුවිලි විමර්ශනයට ලක්‌ කිරීමට ඇති හැකියාවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ රාග, ද්වේෂ, මෝහාදී අකුසල මූලයන්ගෙන් පැවතෙන්නා වූ ද සිතුවිලි ග්‍රහණය කිරීමට ඇති හැකියාවයි. එක්‌ අතකින් මෙකී ඥානය ත්‍රිවිධ විද්‍යාවට ද අදාල වන බව පෙනේ.

පුද්ගලයන් පෙර වාසය කළ භව හෙවත් ස්‌කන්ධාදී තත්ත්වයන් ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාව පුබ්බේනිවාසානුස්‌සති ඥානය මඟින් විග්‍රහ වේ. මෙයද ත්‍රිවිධ විද්‍යාවට අයත් වූ තත්ත්වයක්‌ වීම වැදගත් වේ.

ආසවක්‌ඛය ඥානය වූ කලී ඉහතින් දැක්‌වූ සියලු ඥානයන්ට වඩා ථෙරවාදී පරම අරමුණ සාක්‍ෂාත් කිරීමට වැදගත් වන ඥානයයි. එය සියලු ආශ්‍රව ධර්ම ප්‍රහීණය කොට දුක, දුක ඇතිවීම, දුක නැති කිරීමටත්, ඒ නැති කිරීමේ මාර්ගය අවබෝධයට හේතු වේ. එසේම මෙය වූ කලී ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය යෑයි විද්‍යාත්මකව අවබෝධ කර ගැනීම පමණක්‌ නොව මනුෂ්‍ය චිත්ත සන්තානය තුළ කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්‌ඨාශ්‍රව, අවි-ජාශ්‍රව තුළින් මිදීම සඳහා වූ ඥානය ලබා ගැනීම මෙහිදී සිදුවේ. මෙය වූ කලී ථෙරවාදී සම්ප්‍රදාය තුළ අන් ඥාන ගවේශයන්ට වඩා වැදගත් වූ යථාර්ථවාදී සත්‍යවබෝධය පිණිස පුද්ගලයා, ගමන් කරවන නිවැරදි ඥාන මීමංසාත්මක ප්‍රපංචය ලෙස අර්ථකථනය වේ.

No comments: