Thursday, May 7, 2015

304 ගේම් එකේ මරණ පරීක්ෂණය.

අපේ රටේ දේශපාලනය ගැන මතයක් පළකිරීම තරම් මා මගේ කාලය මිඩංගු කිරීමට අකමැති තවත් වෙනත් මාතෘකාවක් නැත. එහෙත් මගේ කැමැත්ත හෝ අකමැත්ත කෙසේ වෙතත් මේ රටේ පුරවැසියෙකු හැටියට 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා ශන්ශෝධනය ක්‍රියාත්මක වීමේදී එය  මට පෞද්ගලිකවද බලපාන කරුණක් වන  නිසා, 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා ශන්ශෝධනය  ආරම්භවීම සහ එය සම්මත කරගැනීමේ අවස්ථාව  ගැන මට සිතුනු දේ මා විසින් මිට කලින් ලිපි දෙකක්ම ලියා ඇත. එබැවින් එහි අවසානය සිදුවූ අන්දමද මට වැටහෙන පරිද්දෙන් ලියා දැක්වීමට සිතුවෙමි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවී අවසානය. එහෙත් එයට දායකවූ සියලුම දෙනා ඉන්නේ අසන්තෝශයෙනි. ඒ තම අභිමතාර්ථය එලෙසම ඉටු නොවූ නිසාය. නමුත් ඔවුන් කට හැර ඒ බව රටට කියන්නේ  නැත. ඒ වෙනුවට දියඹේදී පෙරලුන ඔරුවේ අනෙක් පැත්තට නැග පෙරලුන පිට හොඳයි කියා අපට කියා දෙමින් අපද එය පිළිගත යුතු යයි බල කරති. රටේ සාමාන්‍ය ජනයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලි ගත්තේ ඇල්  මැරුණ ස්වභාවයෙනි. මහමගදී රුප පෙට්ටිය ඉදිරියට පැමිණි බොහෝ දෙනා කිව්වේ තමන් මේ 19 ගැන මොකුත්ම දන්නා නැති බවය. ඉන් පෙනෙන්නේ මේ අයගෙන් වැඩි දෙනා අදාළ කාරණය ගැන පුවත් පත් වල පලවූ දේවල් කියවා නැති බවය. නැත්නම් රුප පෙට්ටියේ පැවති සංවාද නැරඹීමට උනන්දුවක් දක්වා නැති බවය.  ඔවුන්ගේ සිත් සතන් පැහැර  ගැනීමට සමත් දෙයක් එහි නොමැති නිසා ඔවුන් ඒ ගැන උනන්දුවී නැති  බව සිතීම නිවැරදිය.

විධායක ජනාධිපති ධුරය නම් රාක්ෂයෙක් ඇතැයිද එය නැති කිරීම මේ කාලයේදී කලයුතු ලොකුම කාරිය කියලා ආරම්භක හොරනැව පිම්බේ මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවෝය. එසේ මුලික අඩිතාලම දැමු නායක හාමුදුරුවන්ට මේ විධායක ජනාධිපති ධුරය අවසන් කිරීම ගැන කාර්ය සැලැස්මක් ගැන කල්පනාවී තිබුණේ  නැතැයි මට සිතේ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සම්පාදනය සරල කරුනක්සේ සිතු  උන් වහන්සේ කල්පනා කරන්නට ඇත්තේ කුමන හෝ කාරණයක් උදෙසා ලබා ගන්නා ජන වරමින් සියල්ලම කල හැකි බවය. ඒ අනුව කටයුතු කල උන් වහන්සේ අද රටේ පවතින සියලුම ගැටළු වලට මුලික හේතුව වන විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.උන්වහන්සේගේ සිතුවිල්ල හරි උවත්  එම කාරණය උදෙසා ජනවරම ඉල්ලු අවස්තාව වැරදිය. ජනවාරි මාසයේදී එළඹ තිබුණේ ව්‍යස්ථා සම්පාදනය කරන පාර්ලිමේන්තුව පත්කර ගැනීමේ චන්දයක් නොව විධායකය වෙනස් කරන මැතිවරණයකි. විධායක ජනාධිපතිවරයා කැමැත්තක් දැක්උවත් ඔහුට විවස්තාදායකයේ අනුමැතිය නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ අකුරක් හෝ වෙනස් කල නොහැකි බව   සෝභිත නායක හාමුදුරුවන්ගේ කල්පනාවට භාජන වුයේ නැත.

මේ පෙරහැරට සෝභිතනායක හාමුදුරුවන්ගේ සහායට අතුරලියේ රතන හාමුදුරුවන්ද එක්වුහ. හෙළ උරුමයේ නායක රතන හාමුදුරුවන් ජනතාවට පැවසුවේ විධායක ජනාධිපති ධුරයේ බලතල සිමා කිරීමට හිටපු ජනාධිපති වරයාගෙන් ඉල්ලු නමුත් එය ඉටු නොවුන බැවින් කෙසේ හෝ මෙවර ඔහු පැරදවිය යුතුය කියාය. එය හරියට සෝභිත නායක හාමුදුරුවන්ගේ හොරනැ නාදය අනුව යමින්  රතන හාමුදුරුවන් ගැසූ හේවිසි පදයක් යයි මට සිතේ. මේ හොරනැ  සහ හේවිසි පදය අනුගමනය කරමින් විවිධ පරමාර්ථ වලින් හිස් පුරවා ගත් විවධ  තරාතිරමේ නැට්ටුවෝ, බෙර කරුවෝ, පෙරහරට එක්  වුහ. ජනතාවට විවිධ පොරොන්දු දුන්හ.එහෙත් ව්‍යස්ථාව වෙනස් කරන ආකාරය ගැන ඉඟියක්වත් නොකළහ. අවසානයේදි අපේක්ෂිත ජන වරම ලැබිණ. දින 100 කාර්‍ය වැඩ සටහනක් රටට ඉදිරිපත් විය.

නිතිය අර්ථ නිරුපනය කරන දැනමුත්තෝ එකතු වුහ.විධායක ජනාධිපති බලතල නැති කරන කෙටුම් පත සකස් කළහ. එසේ සකස් කරන අවස්ථාවේදී ඔවුන්ට තේරුම් ගියේ jr  ලොක්කා ව්‍යවස්ථාදායකයේ 5/6 ක බහුතර බලයක් ලබා ගැනීමෙන් පසුව  සිය සහෝදරයන්ගේ සහාය ඇතිව ඇමරිකාවේ,ප්‍රංශයේ සහ රුසියාවේ ආදී රටවල විධායක ජනාධිපති වරුන්ගේ බලතල අධ්‍යයන කර වසර 1 1/2 වැඩි කාලයක් කැප කර තැනු ව්‍යවස්ථාව ලෙහෙසියෙන්  සංශෝධනය නොකළ හැකි පරිද්දෙන් උගුල් කීපයක්ම අටවා ඇති බවය. වර්තමාන ව්‍යස්තාදායකය තුල සුළුතරයක්වී සිටින වත්මන් අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කල, පොතෙන් පමණක් නීතිය උගත් නීති ලොක්කෝ පුරුදු විධියට පවතින නිතිය තුලින් රිංගා යාමට උත්සාහ කලද අධිකරණයේදී එය කල නොහැකිවිය. එම කෙටුම්පත අධිකරණයේදී පරාජය කලේ චන්ද්‍රිකාගේ සුනාමි සහන මණ්ඩල කෙටුම්පත අධිකරණයේදී පරාජය කල ප්‍රයෝගික නීති විශාරදයෙකු වන උදය ගම්මන්පිල මහතාය.පොතෙන් පමණක් නීතිය උගත් නීති ලොක්කෝ පැරදුනහ. 

උසාවියෙන් කරගත නොහැකිවූ දෙය ව්‍යස්ථාදායකය තුල අදාළ පනත සම්මත කිරීම තුලින් කරගැනීමට නොහැකිවූයේ  වර්තමානයේ සිටින සුළුතරයේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය,  1978 දි පාර්ලිමේන්තුවේ සිටි බහුතරයේ අගමැති ලෙස රඟපාන්න ගිය නිසාය. ඉදිරිපත්වූ පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සංශෝධන 137ක්  එහි බහුතරයවූ විපක්ෂය විසින් ඉදිරිපත්  කල අතර, ඉන් 107ක්ම අනුමතවිය.  පාර්ලිමේන්තුව විසිරවීමේ කාලය ගැන ජනාධිපති බලය ඉවත් වුයේ අත්වැරැද්දක් නිසාය . එය කාරක සභාවේදී විවාදයට ගත් අංක 19 විශයාන්කයේදී අදාළ  සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව සිටි  දිනේෂ් ගුනර්ධන ලොක්කාට සිදුවූ අත් වැරැද්දක් නිසාමය. විශයාංක  23 අමුමතිය සඳහා ඉදිරිපත් කරන වෙලාවේදී දිනේෂ් ලොක්කා විශයාංක 19 ගැන කතා කලත්, කතානායකතුමා පැවසුවේ දැන් 19 සමත්වී අවසන් නිසා එය නැවත ආපස්සට ගැනීමට නොහැකි බවය.   

මේ සියල්ලෙන්ම මට තේරුම් ගිය කාරණයක් වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ශන්ශෝධනය එය කෙටුම්පත් කල අයගේ පරමාර්ථ ඉටු නොකළ එකක් බවය. 
සමරසේකර  
Post a Comment