Wednesday, July 3, 2013

පන්සල් සතු ඉඩම් කොල්ලය අවසන් කලයුතුය.


පන්සල් සතු ඉඩම් කොල්ලය 

පන්සල් සතු ඉඩම් කොල්ලය ගැන ඉතා වැදගත් ලිපියක්  මැදගොඩ ධම්මානන්ද ස්වාමින් වහන්සේ විසින් අද දිවයින පත්‍රයේ ඉදිරිපත් කර තිබෙනවා.වර්තමානයේදී මෙම ලිපියෙන් දක්වා ඇති කරුණු වල ඇති වැදගත්කම ඉතා ඉහලයි. එමෙන්ම අන්යාගමිකයන් විසින් විවිධ උපක්‍රම මගින් සතු කර ඇති පන්සල් සතු දේපල නැවත ආපසු පවරා ගැනීමද කාලින අවශ්‍යතාවයක්. ඒ සඳහා කලයුත්තේ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමයි. නමුත් එම කාරණය කෙරෙන්නේ නැ. මෙම කරුණු පාඨකයන්ගේ අවදානයට ලක් කිරීම උදෙසා  එම ලිපිය මා මේ සමගින් ඉදිරිපත් කරනවා.  


පන්සල් ඉඩම් කොල්ලය
මැදගම ධම්මානන්ද හිමි


ලක්‌දිව බුදු සසුනට අයිති දේශයකි. අතීතයේ සිටි රජවරුන් වාර ගණනාවක්‌ ම ලක්‌දිව බුදු සසුනට පුදා ඇත. ලක්‌දිව බුදුන්ගේමය යනුවෙන් පූජාවලියේ සඳහන් වන්නේ එබැවිනි. බෝසත් නොවන කෙනකුට ලක්‌දිව රජකමට පත්විය නොහැක. රජකමට පත්වන්නේ බුදු සසුන රකින්නට යෑයි සතරවන මිහිඳු රජුගේ අභයගිරි පුවරු ලිපියේ සඳහන් වේ. වේලයික්‌කාල සෙල් ලිපියේ දැක්‌වෙන අන්දමට පළමුවන විජයබාහු රජු ඔටුනු පැළැන්දේ බුදු සසුන රකින්නට සංඝයා දුන් නියෝගය ඉටු කිරීමටයි. මෙලෙස සම්බුදු සසුන සුරැකීම තම වගකීමක්‌ ලෙස සැලකූ අතීතයේ සිටි රජවරුන් හා සැදැහැවතුන් වෙහෙර විහාර නඩත්තුවට සහ මහ සඟරුවනට යෑපීම සඳහා කෙත්වතු පුදා ඇත. ඒවා විහාර සන්තක දේපළ ලෙස සැලකේ. ඒ පූජාවන් සම්බන්ධ ඇතැම් සෙල්ලිපිවල හා සන්නස්‌වල ඉරහඳ සහ බලු කපුටු රූ සටහන් යොදා ඇත. එයින් අදහස්‌ කළේ ඉරහඳ පවතිනා තුරු සඟසතු දේපළක්‌ වශයෙන් නිරවුල්ව පැවැතිය යුතු බවයි. යම් කෙනකු අනිසි ලෙස භුක්‌ති වින්දොත් බලු කපුටන් වන බවද එයින් දැනුවත් කෙරිණි. සඟසතු කොට පුදනු ලැබූ කෙත්වතු ඉඩකඩම් රැකබලා ගත්තේ ඒ සඳහා නියම වූ ගිහියන්ය. මහනුවර යුගයේ හින්දු දේව භක්‌තිය බෞද්ධ සමාජය තුළට කාවැදුන නිසා දේවාල නඩත්තුව සහ පුද පූජා චාරිත්‍ර වෙනුවෙන් ප්‍රභූවරුන් ගොඩමඩ ඉඩම් රාශියක්‌ පූජා කර ඇත. සංකල්පීය වෙනස්‌කම් ඔස්‌සේ හින්දු දෙවිවරුන් බුද්ධාගමට ඈ¹ ගැනීම හේතුවෙන් බෞද්ධයන්ගේ දේව ඇදහිල්ල සිදු කෙරුණේ බොදු මුහුණුවරකිනි. එමනිසා දේවාල පුද පෙරහැර පැවැත්වීම හා දේපළ පාලනය බෞද්ධයන් අතින් සිදු වේ. 

විහාරස්‌ථාන හා දේවාල සන්තක කෙත්වතු වර්ග කීපයකට බෙදෙයි. මුත්තෙට්‌ටු, පරවේණි නිලපංගු, මාරුවෙන පංගු වශයෙනි. කිසිවකු විසින් පුදන ලද මුත්තෙට්‌ටු ඉඩම්වල සම්පූර්ණ ආදායම හෝ අඳ කොටස අදාළ පූජනීය ස්‌ථානයට හිමිවෙයි. පරවේණි ඉඩම් යනු පූජනීය ස්‌ථානයට කිසියම් සේවාවක්‌ සැපයීමේ නියමය මත පාරම්පරිකව භුක්‌ති විඳීමට පවරා දුන් ඉඩකඩම්ය. පෙරහැර, පුද පූජා කටයුතු, පූජනීය ස්‌ථානය අලුත්වැඩියා කිරීම වැනි කටයුතු පරවේණි ඉඩම් භුක්‌ති විඳින පුද්ගලයන්ගේ සේවාවයි. පැරැණි රජවරුන් ඇතැම් විට ගම්මානයක්‌ම පරවේණි වශයෙන් පවරා දී ඇත. ඒවා විහාරගම් හෝ දේවාලගම් නමින් හැඳින්වෙයි. එවිට එම නින්දගමේ වෙසෙන සියලු දෙනාම ඉඩකඩම් භුක්‌ති විsඳිමින් තමන්ට පැවරුණ රාජකාරි කළ යුතුයි. මාරුවෙන පංගුවක්‌ යනු කෙටිකාලීන පදනමකින් කිසියම් සේවාවක්‌ ලබාගැනීම සඳහා පුද්ගලයකුට පැවරෙන විහාර හෝ දේවාල සන්තක ඉඩම්ය. පන්සලට තෙල්, ලුණු ආදිය සැපයීම මාරුවෙන පංගු ඉඩම්ලාභියාගේ වගකීමයි. විහාරස්‌ථානයේ හෝ දේවාලයේ තීරණය පරිදි නිලකරුවා වෙනස්‌ කළ හැකිය. 

විහාර සන්තක කෙත්වතු පාලන ක්‍රමය තුළින් ජනතාවත්, පන්සලත් අතර නොසිඳෙන බැඳීමක්‌ ඇතිවිණි. පන්සලට සේවාවන් සැපයීමට නීතියෙන් බැඳුන වගකීමක්‌ වුවද එය එක්‌තරා අන්දමකින් බුදුරදුන්ට හා සංඝයාට සිදුකරන පූජාවක්‌ යන හැඟීම සේවා සපයන්නන් තුළ තිබුණි. ඒ නිසා ඔවුන් කටයුතු කළේ ශ්‍රද්ධාව හා ගෞරවය පෙරදැරිකරගත් ආධ්‍යාත්මික බැඳීමකිනි. එසේම පන්සලට ආවතේව කරන හා සේවා සපයන පුද්ගලයන් කෙරෙහි භික්‌ෂූන්ද ක්‍රියා කළේ කාරුණික ස්‌වරූපයෙනි. ඔවුන් පන්සලේ දායකයන්ද වූ බැවිනි.

බ්‍රිතාන්‍ය කිරීටයට ලංකාව යටත් වීමෙන් පසු 1817 වසරේ ඇරැඹුණ උඩරට මහ කැරැල්ල හෙවත් සිංහලේ පළමුවන නිදහස්‌ සටනට උපදෙස්‌ දුන්නේ භික්‌ෂූන්ය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව එවැනි අරගල මතුවට ඇති නොවීම සඳහා භික්‌ෂූන් සහ බෞද්ධයන් අතර පවතින සබඳකම බිඳ දැමිය යුතුය යන අදහස ඉංග්‍රීසි පාලකයන්ට ඇතිවිණි. ආගම් මාරුව, මිෂනාරි අධ්‍යාපනය හා විහාර සන්තක දේපළ පරිහරණයට සීමා බාධක පැනවීම වැනි උපාය මාර්ග භික්‌ෂුන්ගේ බලය හීන කිරීම සඳහා ඔවුහු යොදා ගත්හ. ඒ අනුව බෞද්ධයන් ක්‍රිස්‌තියානි ආගමට හැරවීම හා ක්‍රිස්‌තියානි පාසල් මගින් බෞද්ධයන්ගේ සිතුම් පැතුම් වෙනස්‌ කිරීම සිදු කෙරිණි. විහාරසන්තක දේපළ පාලනයට වරින් වර නීති පැනවීමෙන් සිදු කළේ විහාරස්‌ථානයේ නඩත්තුවටත්, භික්‌ෂූන්ගේ යෑපීමටත් බාධා කිරීමයි. එමෙන්ම විහාර සන්තක දේපළ රැක බලාගත් සිංහල ජනතාව අසරණ තත්ත්වයට ඇද දැමීමයි.

1819 සැප්තැම්බර් 18 වැනි දින බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව පන්සල් සතු ඉඩම් ලියාපදිංචි කරන ලෙස විහාරාධිපති හිමිවරුන්ට දැන්වීය. හුදෙක්‌ එය ඉඩම් ලියාපදිංචි කිරීමක්‌ පමණක්‌ නොව පන්සල්වලට ඉඩම් ප්‍රදානය සීමා කිරීමක්‌ද විය. ආණ්‌ඩුකාරයාගේ අනුමැතියක්‌ නොමැති ඉඩම් නීති විරෝධී බවද සඳහන් කෙරිණි. ඉඩම් පූජාකළ හැක්‌කේ ආණ්‌ඩුවේ නියෝජිතයන්ගේ පූර්ව අවසරයකිනි. විහාර සන්තක බොහෝ ඉඩම්වල සීමා මායිම් හඳුනා ගැනීමේ අපහසුකම නිසා ඒවා පන්සලට අහිමි වුණි. 1830 දශකයේ එම කටයුතු කරන ලද්දේ ජෝර්ඡ් ටර්නර්Êවිසිනි. ඔහු විහාර සන්තක බොහෝ ඉඩම් ලේඛනවලින් ඉවත් කර රජය සතු කරගෙන ඇත. පන්සල් ඉඩම්වල අයිතිය ගිහියන් සතු කිරීමෙන් ආණ්‌ඩුවට බදු අයකර ගැනීමටද ඔහු කටයුතු කළේය. ටර්නර්Êපන්සල් ඉඩම් කොල්ලකෑමේ පුරෝගමියා ය. 

1829 දී ලංකාවට පැමිණි කෝල්බෘක්‌ පන්සල් ඉඩම් ගැන සොයා බැලූ අතර ඒවායේ ආදායම ක්‍රිස්‌තියානි සෙමනේරි සඳහා යෙදවීමට යෝජනා කළේය. 1837 ආණ්‌ඩුකාර තනතුරට පත් ස්‌ටුවට්‌ මැකන්සි ලංකාවට වතු වගාව හඳුන්වාදීමට පුරෝගාමී වූ කෙනෙකි. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද 1840 අංක 2 දරන පනත මගින්ද පන්සල්වලට ඉඩම් ප්‍රදානය වැළකුණි. එය හැඳින්වෙන්නේ මෝර්ට්‌මේන් නීතිය වශයෙනි. පුද්ගලයෙක්‌ මළපසු ඔහු සතු ඉඩම් උරුමකරුවන් අයිතිය ලබා ගන්නට පෙර ආණ්‌ඩුවට මරාළ බද්දක්‌ ගෙවිය යුතුය. එය ආණ්‌ඩුවට ආදායමකි. එහෙත් පන්සලකට ඉඩමක්‌ පූජා කිරීමෙන් පසු කිසිදාක ඒ වෙනුවෙන් මරාළ බද්දක්‌ ගෙවන්නට සිදු නොවේ. පන්සල පුද්ගලයකු නොවන නිසා මරණයට පත් නොවන බැවිනි. එය ආණ්‌ඩුවට පාඩුවකි. එංගලන්තයේ පල්ලියට ඉඩම් පැවරීම වැළැක්‌වූ මෝට්‌මේන් නීතිය ලංකාවේදී පන්සලට එරෙහිව ක්‍රියාවට නැංවූයේ එබැවිනි. 1840 අංක 12 දරන පනත මගින්ද සිංහලයන් කාලයකට පමණක්‌ හේන් ගොවිතැන් කළ ඉඩම් සහ පන්සල් සතු කුඹුරු ආශ්‍රිත ජල පෝෂක කැලෑ භූමි නිසරු ඉඩම් වශයෙන් නම්කොට ආණ්‌ඩුවට පවරා ගෙන ඇත. ඒවා අනවසර ඉඩම් ලෙස සැලකුණි. අයිතිය පෙන්වීමට නම් තිස්‌ වසරක්‌ නොකඩවා වගා කළ බවට සාක්‌ෂි හා ඉඩම්වල සන්නස්‌, සීට්‌ටු ඉදිරිපත් කිරීමට නියම වුවත්, වාචිකව සහ ඇහැට පෙනෙන සීමාව මායිම් කොට පන්සල්වලට වෙන්කර දුන් නින්දගම්වල අයිතිය පෙන්වන ලිත සාධක නොතිබිණි. ගොවියන් හේන් ගොවිතැන් කළේ කාලයකට පමණි. 

ආණ්‌ඩුව වරින් වර කොල්ලකා ගත් පන්සල් ඉඩම් 1820 දශකයේ සිට කෝපි වගාව සඳහා අක්‌කරය සිලිම් පහක මිලට විකුණන ලදී. වගා කටයුතු කරන්නට රජයේ නිලධාරීන්ටද අවසර ලැබුණ නිසා ඔවුන් කළේ උපාය මාර්ගවලින් පන්සල් සතු ප්‍රවේණි ඉඩම් හැකිතරම් ආණ්‌ඩුව පවරා ගැනීම යි. නින්දගම් වැසියෝ අසරණ වූහ. 1815 ඉංග්‍රීසි සිංහලේ ගිවිසුමේ පස්‌වන වගන්තියෙන් බුද්ධාගම ආරක්‌ෂා කිරීමේ කඩකළ නොහැකි පොරොන්දුව වෙනස්‌ කිරීමට ටොරින්ටන් ආණ්‌ඩුකාරයා 1847 අගෝස්‌තු මස මහනුවර ගිහි පැවිදි ප්‍රභූන් සමග සාකච්ඡාවක්‌ කළේය. දළදාව රැකීමේ වගකීමෙන් මිදීම සාකච්ඡාවේ අරමුණයි. ආණ්‌ඩුවට ගත් පන්සල් ඉඩම් නිරවුල් කිරීමට තිබෙන නිසා එම කටයුතු ප්‍රමාද වන බව ඔහු භික්‌ෂූන්ට පැවසීය. 

කෝපි හා තේ නැව්ගත කිරීම සඳහා ප්‍රවාහනය ආණ්‌ඩුව මුහුණ දුන් ගැටලුවකි. ඒ සඳහා පාරවල් වුවමනා වුණි. ආණ්‌ඩුව 1948 අංක 8 දරන මාර්ග පනතින් වයස 18 සහ 55 අතර ස්‌වදේශිකයන් දින හයක අනිවාර්ය සේවයකට යොමු කෙරිණි. ශ්‍රම නියුක්‌තිය පිළිබඳ නීතියට භික්‌ෂූහු ද යටත්ය. එයින් මිදීමට හැකිවුණේ සිලිං තුනක්‌ ගෙවීමෙනි. පසුව සංශෝධනයකින් භික්‌ෂූන් එම ඇඟ බද්දෙන් නිදහස්‌ කර ඇත. ජනතාව පීඩනයට පත් කරන බදු ක්‍රම හඳුන්වාදීමත් සමග ආණ්‌ඩුව කෙරෙහි එල්ල වූ විරෝධය මතුවුණේ 1848 මාතලේ කැරැල්ල මගිනි. ඉඩම් කොල්ලය කැරැල්ලට පදනම් වූ ප්‍රධාන හේතුවකි. සේවයට යැම හේතුවෙන් තමන්ගේ වගාවන් පාළුවට පත්වීම ගැන වේදනාවට පත් ගැමියකුගේ දුක්‌ අඳෝනාව මාතලේ කැරැල්ල පිළිබඳ වොට්‌සන් ලියූ වාර්තාවේ මෙසේ දැක්‌වෙයි. "මම මගේ අන්තිම ගවයාත්, අල්ලස්‌ වශයෙන් ආරච්චිලට දුනිමි. නැවත දෙන්නට කිසිවක්‌ නැති හෙයින්ද මෙවර රාජකාරියට යන්නට සිදුවෙයි. මෙසේ කියා රාජකාරියට ගිය ඔහු වැඩපොළේ දී මරණයට පත්වුණි."

මාතලේ කැරැල්ලට සම්බන්ධ සිංහලයන් ක්‍රියාකළ ආකාරයෙන් ඔවුන්ගේ අදහස්‌ තේරුම් ගත හැක. මාතලේ රජයේ කාර්යාලයට ඇතුළු වූ ඔවුහු මුඩුබිම් පනත යටතේ පවරාගත් ඉඩම්වල තෝම්බු හා වාර්තා වැනසූහ. වාරියපොල කෝපි වතු හා ගබඩා විනාශ කොට සුද්දන් දෙදෙනකු බැඳ දැමූහ. මැක්‌ඩොනල්ඩ් හෙන්ඩර්සන් තවත් ගැමියකුගේ වේදනාත්මක වචන සටහන් කර ඇත. "අර පෙනෙන කැලෑව මා සතුව තිබුණි. අර කෝපි වත්ත ද කලින් මා සතු වූවකි. උක්‌ වගාකර තිබෙන්නේ අපේ ඉඩම්වලය. නුඹලා අපේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන දැන් පාරවල් සෑදීමට කියා කුඹුරු විනාශ කරති."

ඉංගී්‍රසි ආණ්‌ඩුව 1817 නිදහස්‌ සටනෙන් පසු සිදුකළ ආකාරයටම 1848 මාතලේ කැරැල්ලෙන් අනතුරුව සිංහල බෞද්ධයන්ගේ බලය හීන කිරීමට තවදුරටත් උපාය මාර්ග සෙවූහ. මාතලේ කැරැල්ලට ඉදිරිපත් වුණ බොහෝ දෙනා ජීවත් වුණේ ප්‍රවේණි ඉඩම්වලය. ඒවායේ සේවය අත්හැර දින හයක්‌ මංමාවත්, පාලම් ඉදිකිරීම වැනි ආණ්‌ඩුවේ වැඩවලට යැම ඔවුන්ගේ වතුපිටිවල වැඩට බාධාවකි. ඔවුන් කැරැල්ලට සම්බන්ධ වුණේ එබැවිනි. එම නින්දගම් හා පරවේණි ඉඩම් ආණ්‌ඩුවට අත්පත් කරගැනීමෙන්, විහාරස්‌ථානවල ආදායම් මාර්ග ඇහිරීමෙන් භික්‌ෂූන්ගේ බලය පිරිහුණි. ප්‍රවේණි හා මුත්තෙට්‌ටු ගම්වල රාජකාරි කළ සිංහල ජනයා සහ භික්‌ෂූන් අතර තිබුණ බැඳීම ගිලිහුණි. ඉඩම් නැතිව සිංහලයෝ අසරණ වූහ. ජනයා අබිංවලට ඇබ්බැහි කරවූවොත්, ඒවා පාවිච්චියට මුදල් සොයාගැනීම සඳහා ඔවුන් වැඩට එනු ඇතැයි සිතූ ඉංග්‍රීසි පාලකයෝ අබිං වෙළෙඳසල් ඇරැඹූහ. පසුකලක රා අරක්‌කු තැබෑරුම් ඇරැඹුවේත් ඒ අදහසිනි. ආණ්‌ඩුවට පවරාගන්නා උඩරට ඉඩම්වල මලබාර්Êකම්කරුවන් පදිංචි කරවීමෙන් සිංහලයන්ට එරෙහිවූ තමන්ට පක්‌ෂ වූ බලවේගයක්‌ සාදාගැනීම කෙරෙහිද ඉංග්‍රීසින්ගේ අවධානය යොමුවිය. ලංකාවේ ඇතිවුණ 

කැරැල්ල පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණ අනුකාරක සභාවේ ප්‍රශ්නවලට මහනුවර විනිශ්චයකාර පී. ඊ. වුඩ්හවුස්‌ දුන් පිළිතුරුවලින් ද ඒ බව පැහැදිලි වෙයි.

ප්‍රශ්නය (- ඔබේ ඉඩම්වල සිටින කම්කරුවෝ සාමාන්‍යයෙන් මලබාර්Êකුලීකරුවන්මද?

පිළිතුර - එසේය, මුළුමනින්ම.

ප්‍රශ්නය - ඔවුහු හැඩිදැඩි මිනිස්‌සුද?

පිළිතුර - එසේය. ඔවුන් තුළ උඩරට වැසියන් කෙරෙහි නොරිස්‌සුම්කමක්‌ ඇත.

ප්‍රශ්නය - ඔවුන් සිංහලයන් කෙරෙහි වෛරයකින් පසුවනවාද?

පිළිතුර - එසේය. සැමවිටම. 

උඩරට ඉඩම්වලින් සිංහලයන් පලවාහැර මලබාර්Êකම්කරුවන් පදිංචි කරන්නැයි ටොරින්ටන් ආණ්‌ඩුකාර තැන 1848 අගෝස්‌තු මස 11 වන දින දැනුම් දුන්නේය.

"කලහකාරීන්ගෙන් අත්පත් කරගන්නා ඉඩම්වල මලබාර්Êදේශිකයන් පදිංචි කරවීම අගනා ප්‍රතිඵලවලින් යුක්‌ත වනවා ඇත. ජනගහනය ඉක්‌මනින් නගිනවා ඇත. ඉන් උඩරැටියන් මැඬපැවැත්වීමටත් අපට වුවමනා කරන කම්කරුවන් එතෙරින් බලා නොසිට සපයා ගැනීමටද පිළිවන් වනවා ඇත. මාතලේ කැරැල්ලෙන් පසු ආණ්‌ඩුව මුලින්ම කළේ 1815 ගිවිසුමේ "කඩකළ නොහැකි" පොරොන්දුවක්‌ වූ බුද්ධාගම ආරක්‌ෂා කිරීමේ වගකීමෙන් මිදීමයි. 1853 මැයි දළදා වහන්සේ අස්‌ගිරි - මල්වතු මහ නාහිමිවරුන්ට හා දියවඩන නිලමේට භාරදුනි. අනතුරුව ආණ්‌ඩුව සැලසුම් කළේ පන්සල් ඉඩම් කොල්ලකන පිළිවෙළකි. 1856 අංක 10 දරන විහාර හා දේවාල ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥ පනත ඒ සඳහා යෙදූ උපක්‍රමයකි. එය හඳුන්වා දුන්නේ පන්සල් ඉඩම් නිරවුල්කොට ආදායම සුරකින ක්‍රමයක්‌ වශයෙනි. එම පනත මගින් පන්සල් හා දේවාල සන්තක ඉඩම් සියල්ල මැන ලේඛන ගතකිරීමට නියම කෙරිණි. පනතේ 14 වැනි වගන්තියට අනුව ඉඩමක අයිතිය තහවුරු කෙරෙන සන්නස්‌, තුඩපත් ආදිය ඉදිරිපත් කළ යුතු විය. ඉඩම් මැනීමේ ගාස්‌තු පන්සලෙන් දැරිය යුතුය. ඒ හැරුණු විට තවත් කොන්දේසි මාලාවක්‌ පනතෙහි ඇතුළත්ය. 

ඉඩම් ලියාපදිංචියේ දී භික්‌ෂූහු ගැටලු කීපයකට මුහුණ දුන්හ. රජවරුන් හා ප්‍රභූන් පුදන ලද බොහෝ ඉඩම්වලට අදාළ ලේඛන නොතිබුණි. ඇතැම් ඉඩම් දී තිබෙන්නේ හේවිසි හඬ ඇසෙන දුරට සීමා කිරීමෙනි. ඇතැම් ඉඩම්වල මායිම්වලට සඳහන් කර තිබුණේ ඇළ මාර්ගයක්‌, පුද්ගලයකු භුක්‌ති විඳින ඉඩමක්‌, මායිමේ පිහිටි ගසක්‌ වැනි දෙයකි. කාලයත් සමග ඒවා වෙනස්‌ වී ඇත. ගස්‌ දක්‌නට නොලැබුණි. පනතේ සඳහන් වන පරිදි වැට මායිම් වෙන්කර නොදැක්‌වුවොත් ලියාපදිංචියට බාධාවකි. ලිපි ලේඛන දිරාපත් වීම නිසා අයිතිය පෙන්වීමට අපහසු වූ අවස්‌ථා ද තිබුණි. කැලෑවෙන් වැසුන විශාල ඉඩම් මැනීමට, මුදල් වැයවන නිසා අත්හැර දමා ඇත. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පන්සල් හා දේවාල සතු ඉඩම් විශාල ප්‍රමාණයක ලේඛන කැරැල්ල අවස්‌ථවේ ගින්නට අසුව නිසා ඉදිරිපත් කරන්නට නොලැබුණි. එම ඉඩම් ලියාපදිංචිය ප්‍රතික්‌ෂේප කර ඇත. වැවිලි කර්මාන්තයට සුදුසු ඉඩම් ලියාපදිංචි කිරීමෙන් වැළකුණ බව ඉඩම් කොමසාරිස්‌වරුන් සඳහන් කර ඇත. පන්සල් ප්‍රවේණි ඉඩම්වල මායිම් පෙන්වූයේ ගම්භාර රටේ රාලය. ප්‍රවේණිකරුවන් සමග අමනාපය හා අල්ලස්‌ නොදීම හේතුවෙන් මැනීමේදී ඉඩම් කොටස්‌ අත්හැරි අවස්‌ථා ද දක්‌නට තිබේ. පන්සලට අයිති නැති බවට තීරණය කෙරුණු අනුරාධපුර රුවන් වැලි සෑය භූමිය හා තිසා වැව් තාවුල්ල අටමස්‌ථාන නාහිමියන් පන්සලට අත්පත් කරගත්තේ බලවත් උත්සාහයකිනි. රත්නපුර ගණේගොඩ විහාරයට පත්කළ ඉඩම් දිසාපති විකුණා ඇත. වැලිමඩ කළුබුලුලන්ද විහාරයේ ඉඩම් ආපසු දීමට ආණ්‌ඩුවට සිදුවුණි. 1856 පනත අනුව ලියාපදිංචි කළ පන්සල් හා දේවාල ඉඩම් ප්‍රමාණය අක්‌කර 3,17,667 කි. ප්‍රතික්‌ෂේප ගණන අක්‌කර 8,00,000 ක්‌ පමණ වෙයි. 

පන්සල් ඉඩම් කොල්ලකෑමෙන් භික්‌ෂූන් හා බෞද්ධයන් දුර්වල කිරීමේ ක්‍රියාදාමය සිදු වුණේ හුදෙක්‌ ආණ්‌ඩුවේ පමණක්‌ නොව ක්‍රිස්‌තියානි මිෂනාරීන්ගේ ද වුවමනාවටය. පන්සල් ඉඩම් කොල්ලය සිදු වුණේ බුද්ධාගමට එරෙහිව මිෂනාරි බලවේග දැඩිව ක්‍රියාත්මක වූ යුගයකය. එකල අධ්‍යාපනය නඟා සිටුවමින් වාද විවාද සිදු කරමින් බුද්ධාගම හා බෞද්ධ අයිතීන් රැකගැනීමට ගිහි පැවිදි පිරිසක්‌ ඇපකැප වී සිටියහ.

1870 සේවා භුක්‌ති ආඥ පනත පන්සල් ඉඩම්වලට වින කළ තවත් පනතකි. එයින් සිදු කළේ ප්‍රවේණි ඉඩම්වල වැසියන්ගේ රාජකාරි සේවාවන් මුදලට හැරවීමයි. පරවේණි හා මාරුවෙන පංගු නමින් හැඳින්වුණ ඉඩම්වල සිටි අය පන්සලේ හා දේවාලයේ සිදු කෙරෙන පූජා උත්සව ආදියට සහභාගි වීම, අලුත්වැඩියා කටයුතු, තෙල්, ලුණු ආදිය සැපයීම වැනි කටයුතු ඉටු කිරීමට රාජකාරි වශයෙන් බැඳී සිටියහ. එම සේවාව වෙනුවට මුදල් ගෙවීමේ ක්‍රමය එම පනතින් හඳුන්වාදී ඇත. බෞද්ධයන් පන්සල්වලින් ඈත් කිරීම මෙහි එක්‌ අරමුණකි. ප්‍රවේණි ඉඩම්වල සිටින පුද්ගලයකු ක්‍රිස්‌තියානියට හැරවීමෙන් පසු තවදුරටත් ම්ලේච්ඡයන්ගේ පන්සලකට සේවය කිරීමට ඔහුට නොහැකිය. එම ගැටලුවද මෙයින් විසඳුනි. නමුත් ඉංග්‍රීසි පාලකයන් මෙම පනතේ අරමුණ වශයෙන් පෙන්නුවේ පන්සලට සේවය කිරීමේ පීඩාකාරී ජීවිතයෙන් ඔවුන් මුදාලීමේ මානුෂවාදී ක්‍රියාවක්‌ ලෙසිනි. රාජකාරිය වෙනුවට ගෙවූ මුදල් පෙරහැර හා පන්සලේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් නොවුණි. එයින් භික්‌ෂූහු අපහසුතාවකට මුහුණ දුන්හ. ප්‍රවේණි පංගු පවුලේ සාමාජිකයන් අතර බෙදී ගිය අවස්‌ථාවල මුදල් ගෙවීම පිළිබඳව ද ගැටලු ඇතිවුණි. එම පනතට අනුව වසර දහයක්‌ පන්සලට මුදල් නොගෙවා සිටියොත් එම ඉඩම ප්‍රවේණිකරුගේ භුක්‌තියට සවි වේ. දුරබැහැර තිබෙන එවැනි ඉඩම් වෙනුවෙන් නීතියෙන් කටයුතු කරන්නට භික්‌ෂූන්ට නොහැකි වුණි. 1870 සේවා භුක්‌ති පනතින් ඉඩම් අන්සතු කිරීමටද ප්‍රවේණිකරුවන්ට ඉඩ ලැබුණි. 

විහාර සන්තක ඉඩම් පාලනය සම්බන්ධයෙන් විශාල බලපෑමක්‌ කළේ 1889 අංක 3 දරන විහාර දේවාලගම් පනතයි. සාංඝික දේපළ යනු පොදුවේ සියලු භික්‌ෂුන්ගේ පරිහරණය සඳහා පුදන දේවල්ය. ඒවා භාරවුණේ පුද ලැබූ පන්සලටය. විහාරස්‌ථානය හෙවත් පන්සල කිසියම් අයිතියක්‌ දරන පුද්ගලයෙකි යනුවෙන් ආරෝපිත සංකල්පයක්‌ පවතියි. මෙම නෛතික පුද්ගලභාවය අධිකරණයේ විවාදයට ලක්‌වූවකි. පන්සලක පාලක භික්‌ෂුව එහි අයිතිකරු නොවේ. එම භික්‌ෂුව සාංඝික දේපළ අයත් විහාරස්‌ථානයේ වරප්‍රසාද භුක්‌ති විඳින භික්‌ෂු සාමාජිකයකු පමණි. නමුත් විහාරාධිපති යනු පන්සලේ අයිතිකරු බවට පත්කර ඇත. සාංඝික ක්‍රමය ඉංග්‍රීසි පාලකයන්ට විග්‍රහ කරගැනීම අපහසු විය. 1889 පනතින් සිදු කළේ පන්සල සතු අයිතිය පැහැර ගැනීමකි. එමගින් විහාරස්‌ථාන දේපළ පාලනය සඳහා භාරකාර කමිටු පිහිටුවීම සිදු කෙරිණි. මෙය ඉන්දියාවේ පැවැති ක්‍රමයකි. එංගලන්තයේ පල්ලි පාලනයට එය සමානය. කමිටුවට සුදුස්‌සන් තෝරා ගැනීමට ඡන්ද බලය භික්‌ෂූන්ට හිමිවුවත්, සාමාජිකත්වය ලැබුණේ ගිහියන්ට පමණි. ඉඩම් බදුදීම සිදු කරන ලද්දේ කමිටුව විසිනි. වංචනික ක්‍රියාවන් ගැන කමිටු සාමාජිකයන්ට නිතර චෝදනා එල්ල වුණි. 1904 දෙසැම්බර් 29 දින අස්‌ගිරි මල්වතු මහ නාහිමිවරුන් සහ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විහාරස්‌ථාන සන්තක ඉඩම් උපක්‍රමශීලීව අත්පත් කර ගැනීමෙන් සිදුවුණ හානිය පෙන්වා දෙමින් 1889 පනත අහෝසි කරන ලෙස සත්වන එඩ්වඩ් රජුට සන්දේශයක්‌ ඉදිරිපත් කර ඇත. "පැරැණි සිංහල රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් සාංඝික වශයෙන් පූජා කරන ලද ඉඩම්වලින් 2/3 (තුනෙන් දෙකොටසක්‌) පමණ නොයෙක්‌ නොයෙක්‌ කරුණු ඉදිරිපත් කරමින් අපගෙන් පැහැරගන්නා ලදී. සාංඝික දේපළ රාජසන්තක කිරීම නම්වූ පැහැර ගැනීම නීත්‍යනුකූල කරනු වස්‌ ඒ ඒ අවස්‌ථාවට ගැළපෙන පරිදි නීති පනවන ලදී. නිලකරුවන් විසින් කළ යුතු සේවයන් නොකිරීම හා ඒ වෙනුවට ගෙවිය යුතු නියමිත වන්දි නොගෙවීම නිසා බොහෝ නඩුහබ ඇති විය. භික්‌ෂූන්ට අකැමැත්තෙන් වුවද උසාවි යන්නට සිදුවිය. බුද්ධ ශාසනයට පුද වශයෙන් කැපකොට ඇති දේපළ භික්‌ෂු පරම්පරාවට පමණක්‌ නොව බුද්ධාගම අදහන සියලු ජනතාවට පොදුවේ අයිති වේ යන වැරැදි මතයක්‌ ආඥ පනතෙහි ඇති බව උන්වහන්සේලා සන්දේශයේ සඳහන් කර ඇත." (සත් සියවස්‌ සපිරි අස්‌ගිරි මහා විහාරය නමැති ග්‍රන්ථයේ එම ලිපිය ඇතුළත් වෙයි.)

1889 විහාර දේපළ පනතේ දුර්වලකම් පෙන්වාදීම නිසා 1905 අංක 8 දරන විහාර දේවාලගම් පනත හඳුන්වා දෙනු ලැබිණි. 1918 පත්කෙරුණ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥ පනත ක්‍රියාත්මක වුණි. 1958 අංක 01 දරණ කුඹුරු පනත පන්සල් සතු ඉඩම්වලට බලපෑම් කළ පනතකි. අඳ ගොවි අයිතිය සුරක්‍ෂිත කිරීමේ අරමුණෙන් සම්මත කළ එම පනත නිසා විහාරස්‌ථානය සතු පරම අයිතිය ගිලිහී අඳ ගොවියාටද අයිතියක්‌ ගොඩනැඟී ඇත. බොහෝ ඉඩම්වල පන්සල සතු අස්‌වැන්න කොටස නොදීම සහ අඳ අයිතිය අන් අයට පැවරීම වැනි හේතු නිසා භික්‌ෂූන්ට උසාවියේ පිහිට පැතීමට සිදුවී තිබේ. බොහෝ විට අඳ ගොවියන් දායකයන් වන නිසා ඔවුන්ට එරෙහිව අධිකරණයට යැම ඔවුන් පමණක්‌ නොව ඔවුන්ගේ නෑයන්ද පන්සලෙන් ඈත් කිරීමකි. 1972 සහ 1975 ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතිය අනුව වතු සමාගම්වල භුක්‌ති විඳින ලද ඉඩම් ආණ්‌ඩුවට පවරා ගනු ලැබිණි. ඒවායේ අයිතිකරුවන් වශයෙන් පෙනී සිටියේ එම සමාගම්ය. මෙය මෑත භාගයේ පන්සල් ඉඩම් විශාල ප්‍රමාණයක්‌ අහිමි වුණ අවස්‌ථාවකි. නැදුන් විහාරය, දළදා මාලිගාව හා දේවාලවලට අහිමි වූ ඉඩම් අක්‌කර දහස්‌ ගණනකි. ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම මගින් ඒවා කොටස්‌ කර අබෞද්ධයන්ට විකුණා ඇත. 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත මගින්ද අඳ ගොවි අයිතිය තවදුරටත් තහවුරු කර තිබේ. ඒ අනුව එම ඉඩම් විකිණීම සිදු වේ. 

විහාරස්‌ථාන සන්තක ඉඩකඩම් අබෞද්ධයන් සතුවීම බරපතළ අර්බුදයකි. ඒවා අබෞද්ධයන්ට පවරාදීම ගැන විහාරාධිපතිවරුන්ට හා භාරකාරවරුන්ට බරපතළ චෝදනාවකි. තක්‌සේරු වටිනාකමට බද්ද ලියන අතරතුර අත යටින් විශාල මුදලක්‌ ගෙන සාංඝික ඉඩකඩම් අන්‍යාගමිකයන්ට පවරන ශාසනෙද්‍රdaහී, ජාතිෙද්‍රdaහි පිරිසක්‌ සිsටිති. "මහණෙනි, සැදැහැයෙන් පිදූ දෙය විනාශ නොකරන්න" (න භික්‌ඛවේ සද්ධාදෙයHං න විනිපාතේතබ්බං) යනු බුද්ධ නියමය යි. සිද්ධස්‌ථානයක්‌ සන්තක කිසිම ඉඩමක්‌ බෞද්ධ ප්‍රතිපත්ති ධර්මවලට විරුද්ධ කිසි කටයුත්තකට නොයෙදිය යුතුය යන්න 1931 විහාර දේවාලගම් පනතේ වගන්තියකි. දැනට රජයට භාරදී ඇති සංශෝධිත විහාර දේවාලගම් පනතෙහි අබෞද්ධ පුද්ගලයන් වෙත හෝ බෞද්ධ විරෝධී කටයුතු සඳහා පන්සල් දේපළ බදුදීම තහනම් කර ඇත.

විහාර හා දේවාල සන්තක ඉඩම් අන්‍යාගමිකයන්ට හිමි වුණේ රජයේ අණ පනත් මගින් ඇතිකළ නීතිමය තත්ත්වයන් මතය. 1819 සහ 1856 පන්සල් ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා සම්මත ආඥ පනත් හේතුවෙන් ඉඩම් විශාල ප්‍රමාණයක්‌ අයිතියෙන් ගිලිහුණි. ආණ්‌ඩුව ඒවා වතු වගාවන් සඳහා අලෙවි කළ අතර පසු කාලයේ සිදුවූ වෙනස්‌කම් හා ක්‍රියාත්මක ප්‍රතිපත්ති නිසා අද ඇතැම් ඒවා ඉන්දියානු මලබාර්Êවැසියන් සතුය. ඉංග්‍රීසි ආණ්‌ඩුව ඇතැම් ඉඩම් පවරාගෙන තිබෙන්නේ බලහත්කාරයෙනි. මඟුල් මඩුව යාච්ඤාව සඳහා යොදාගත් ආණ්‌ඩුකාර විල්මට්‌ හෝටන් දළදා මාලිsගාව ඉදිරිපිට ශාන්ත පාවුලු දේවස්‌ථානය ඉදිකර තිබෙන්නේ බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ සතු ඉඩමකය. ආර්. ප්‍රේමදාස අගමැතිවරයා එය ඉවත් කිරීමට සූදානම් වූ විට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා ඥාති බිෂොප්වරයකුගේ ඉල්ලීම අනුව එය වැළැක්‌වීය. රත්නපුරේ ශාන්ත ඇලෝසියස්‌ පල්ලිය තිබෙන්නේ සමන් දේවාලයේ ඉඩමකය. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අවට බෞද්ධයන්ගේ පූජනීය භූමියේ මුස්‌ලිම්වරුන් පදිංචි කරවා මස්‌කඩ දැමීමට හා ක්‍රිස්‌තියානින්ට පල්ලි ඉදිකිරීමට අනුබලදීම හේතුවෙන් 1905 දී ඇතිවුණ ගැටුම පිළිබඳව වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ ජීවන චරිතයෙන් දැනගත හැක.

විහාරස්‌ථාන හා දේවාල සන්තක ඉඩම්වලින් වැඩිපුරම අන්‍යාගමිකයන් සතුවී තිබෙන්නේ ප්‍රවේණි පංගු ලෙස නම් කෙරුණ ඉඩම්ය. එය සිදු වුණේ 1870 සේවා භුක්‌තිය පිළිබඳ ආඥ පනත හේතුවෙනි. අයිතිය තහවුරු කරගත් නිලකරුවෝ අන්‍යාගමිකයන්ට ඉඩම් පවරා දී ඇත. ප්‍රවේණි ඉඩම් අයිතිය කාන්තාවන්ටද ලැබුණ නිසා, විවාහ ගිවිස ගැනීම් ඔස්‌සේ අබෞද්ධ පරම්පරාවකට ප්‍රවේණි ඉඩම් හිමිවුණි. කුරුණෑගල රිදී විහාරයට අයත් රඹුක්‌කන්දන ගමේ ඉඩම් මුළුමනින්ම භුක්‌ති වින්දේ මුස්‌ලිම් ජනතාවයි. ඔවුන්ට හිමිව තිබුණේ අදප්පයාගේ පංගුවයි. අලුත් නුවර දේවාල ඉඩම් මුස්‌ලිම් අයට ලැබුණේ ඉඩම් ද තෙල්, ලුණු, කහ, බුලත් ආදිය සැපයීමේ හා මුත්තෙට්‌ටු ඉඩම්වල මී කරත්තවලට පැටවීමේ රාජකාරි වශයෙනි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ සිටින බොහෝ මුස්‌ලිම්වරුන්ට තිබෙන්නේ සිංහල වාසගම්ය. කැරැලි පැවැති කාලවල පාලකයන්ගේ තර්ජනවලින් බේරෙන්නට සිංහලයන් මුස්‌ලිම් වූ බව පෙනේ. ඒ හේතුවෙන් ප්‍රවේණි පංගුද ඔවුන්ගේ පරම්පරාවලට උරුම වී තිබේ. ප්‍රවේණි ඉඩම්වල සිටි මුස්‌ලිම් නිලකරුවන් සහ ක්‍රිස්‌තියානි ආගම වැළඳගත් සිංහලයන් තමන් ම්ලේච්ඡ ආගමේ දාස භාවයෙන් මුදවාලන්නැ යි ඉංග්‍රීසි ආණ්‌ඩුවෙන් ඉල්ලීම් කර ඇත. මේ අතර මාවනැල්ලේ දෙවනගල විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය, බලංගොඩ කුරගල විහාරය, දීඝවාපිය වැනි බෞද්ධ සිද්ධස්‌ථාන ඉඩම් අන්‍යාගමිකයන් බලයෙන් අත්පත් කරගෙන තිබේ. 

පොදු කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ නීති යටතේ පන්සල් ඉඩම් රජයට පවරාගෙන ඇත. මහනුවර ගොපල්ලව මාවතේ අධිකරණය පිහිටි ප්‍රදේශය අස්‌ගිරි - මල්වතු විහාරවල කුඹුරු තිබුණ භූමියකි. රජයේ අවශ්‍යතාවට පවරාගත් එම ප්‍රදේශයේ අද බහුලව ජීවත් වන්නේ අන්‍යාගමිකයන් ය. මහනුවර දුම්රිය ස්‌ථානය හා ගව ඝාතනාගාරය තිබෙන ඉඩම් ඉංග්‍රීසි පාලන සමයේ නාථ දේවාලයෙන් සහ සුදුහුම්පොල විහාරයෙන් ආණ්‌ඩුවට පවරාගත් ඒවාය. 1846 දී මහනුවර නාථ දේවාලයට අයත් කටුකැලේ ප්‍රදේශයේ ඉඩම් අක්‌කර දහදාහක්‌ ආණ්‌ඩුවට ගත් බව පෝබස්‌ වාර්තා කරයි. අද එම ප්‍රදේශයේ බොහෝ ඉඩම් භුක්‌ති විඳින්නේ අබෞද්ධයන්ය. මහනුවර බෝගම්බර ඉස්‌ලාම් පල්ලිය තිබෙන්නේ මල්වතු මහා විහාරයේ ඉඩමකය. ඉංග්‍රීසි පාලන සමයේ මැලේ ජා සෙබළෙකුගේ මළසිරුර එම ස්‌ථානයේ වළලා ඇත. අස්‌ගිරිය මීරාමක්‌කම් ඉස්‌ලාම් දේවස්‌ථානය තිබෙන ඉඩම අස්‌ගිරි මහා විහාරය සතු වූවකි. එය බදුගෙන තිබෙන්නේ සිංහලයෙකි. අහමදු ලෙබ්බේ මරික්‌කාර් එහි ප්‍රයෝජනයක්‌ නැති කොටසක්‌ බුද්ධාගමට අවනම්බුවක්‌ නොකරන බවට පොරොන්දු වී 1824 දී බදුගෙන ඇත. ඔහු බැගෑපත්ව ඉඩම ඉල්ලා සිටි බව සඳහන් ය. ඔහුගේ සොහොන තිබුණේ එම භූමියේ යි.

1972 ඉඩම් පවරා ගැනීමේ නීතිය යටතේ වතු සමාගම් බදු ගෙන තිබුණ පන්සල් ඉඩම් රජයට පවරා ගත්තේය. ඒවායේ අයිතිකරුවන් ලෙස පෙනී සිටියේ වතු සමාගම්ය. ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම හා හදබිම අධිකාරිය එම ඉඩම් මුළුමනින්ම හා කොටස්‌ කර නොයෙක්‌ පුද්ගලයන්ට විකුණා ඇත. එයින් පන්සල්වලට සිදු වුණේ විශාල අලාභයකි. 

විහාරස්‌ථාන දේපළ සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම උසාවි ඇති කිරීමට හෝ ඒ වෙනුවෙන් විශේෂ දින නියම කරවා ගැනීමට දි. මු. ජයරත්න අගමැතිවරයා උත්සාහයක යෙදුණි. 1931 විහාර දේවාලගම් පනතේ අඩුපාඩුකම් සැලකිල්ලට ගෙන සංශෝධිත කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා දැනට ඉදිරිපත්ව තිබේ. කිසිදු ලිත ගිවිසුමක්‌ නොමැතිව භුක්‌ති විඳින හා පන්සලේ අවසරයෙන් තොරව අන් අයට පැවරූ පන්සල් ඉඩම් ආපසු පවරා ගැනීමේ නීති ප්‍රතිපාදන එම සංශෝධිත පනතට ඇතුළත් ය. නමුත් පනත සම්මත වන දිනයක්‌ දැනගන්නට නැත.



No comments: