Wednesday, October 28, 2015

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධස්ස





"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධස්ස"

අප බුදුන් වැඳිමේදී භාවිතා කරන මෙම පදය දසදහස් වර මුමුණා ඇත්තෙමු. සමහරවිට නිහඬව, සමහරවිට හඬනගා කියා ඇත. එහෙත්  මෙම පදය සැදුනේ කෙසේද යන්න ගැන අප කිසිදා හෝ විමසා බලා ඇත්ද? 

2009 වසරේදී මට කොළඹ රැස්වීමකට සහභාගී වීමේදී වැදගත් පෙනුමක් ඇති මහලු මහතෙක් මා ළඟ අසුනේ සිටියේය. රැස්වීම ඇරඹීමට පෙර අප දෙදෙනා අතර සිදුවූ සුහද කතා බහ අතරතුරේදී  මගේ  ඇරයුමකින් තොරවම ඔහු ඉහත සඳහන් පදය ඇතිවූ  ආකාරය විස්තර කළේය. එය මට අලුත් අදහසක් නිසා එය සටහන් කර ගැනීමට මට උවමනා උවත් එවෙලේ මග දිනපොත හැර වෙන අන් කඩදාසියක්  මා සතුව නොතිබිණ. මා කලේ එය හනික දිනපොතේ ලියා ගැනීමය.  එය මෙසේය.

සතාගිරෝ නමෝ යක්ඛෝ 
තස්ස අසුරින්ද දෝ 
භගවතෝච මහා රාජා
සක්කෝ අරහතෝ තථා
සම්මා සම්බුධස්ස බ්‍රහ්මතෝ 

නිධාන කතාව }
සාතාගිර යක්ෂයා  - අපායේ දොර වසු නිසා "න"                                          නමින් ද 
                               නිවනට දොර හැරිය නිසා "මෝ "
                               නමින්ද  බුදුන් වැන්දේය.

රාහු අසුරේන්ද්‍රයා  - තන්හාව නැති කල නිසා "ත"  
                          නමින්ද සත්‍ය හෙලිකල නිසා "අස්ස'
                              නමින්ද බුදුන් වැන්දේය.

සතර වරම් දෙවි 
රජවරු                - බුදුන් වහන්සේ රාග ද්වේශ මෝහ                              භෂ්ම කල නිසා එක් එක්  දෙව් රජු                           විසින් "භ" "ග" "ව" "තෝ " යනුවෙන්
                       කියමින්  බුදුන් වැන්දේය.

මහා බ්‍රහ්මයා    - සත්‍ය තම උත්සාහයෙන්ම අවබෝධ
                          කරගත් නිසා "සම්මා සම්බුද්ධස්ස"
                           කියමින්  බුදුන් වැන්දේය.

2009 වසරේ මා හදිසියේ ලියු මෙම සටහන මේ සතියේ හදිසියේ මගේ නෙත ගැටුනේ දුරකථන අංකයක් සෙවීමට පැරණි දිනපොත් අවුස්සා බැලීමේදීය.

මේ අගනා සටහන කියූ  මහතාගේ නම මා ලියා ගෙන නැත. ඔහු මෙය කොතැනින් උපුටා ගත්තේද යන්න හෝ මා ලියාගෙන නැත. එවැනි ප්‍රශ්නයක් එ් වෙලාවේ අසුවාද යන්න හෝ මට මතක නැත. එබැවින් මේ අදහස පැන නැගුනේ කුමන මුලාශ්‍රයකින්ද යන්න මා දන්නේ නැත. එහෙත් ඒ අදහස මා මීට පෙර නොඇසූ නිසා, නොදන්නා දෙයක් පළමු වරට දැන ගන්නා විට මා පුරුද්දක් ලෙසින් එ් ගැන සටහනක් තබා ගන්නා නිසා මේ සටහන මා අතින් ලියවිණ.

 මා මේ සටහන ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ මේ ගැන යමක් දන්නවා නම් එය මටද ගැන ගැනීමට සලස්වන්න යන ආයාචනය කරමින්ය. 

සමරසේකර   



     




3 comments:

කතා කතු said...

ධර්ම දේශනාවක මෙය අසා ඇත. සාතාගිර - හේමවත (ඔබ දක්වා ඇත්තේ එක නමකි - එය වැරදි නැත), රාහු අසුරේන්ද්‍රයා, සතරවරම් රජවරු, ශක්‍රයා සහ බ්‍රහ්මයා පිළිවෙලින් ඉහත පද කියා ඇති බව අපගේ මතකයේ කොනක තිබිණි (ඔබට ශක්‍රයා මගහැරී තිබේ). මේ ලිපිය දැකීමෙන් මතකය අලුත් විය.

කතා කතු said...

සොයන්නාට සම්භවේ.
නමස්කාරය

බුද්ධත්වයෙන් දෙවැනි දින මහ බෝමැඩදී අකුරු දහ අටකින් හා පද පහකින් යුක්ත වූ මෙම නම්ස්කාර පාඨය සතාගිරි රාහු අසුරේන්ද්‍ර සිව්වරම් දෙවි සක්දෙවිදු සහම්පති මහබඹු යන යක්ෂ, අසුර, දිව්‍ය, බ්‍රහ්මයන් විසින් කියූ එක් එක් පදය එකතු කොට තනා ගන්නා ලද්දකි.

සාතාගිරි යකුන් "නමෝ" ගුණයට වදින ලද අයුරු

අපා දොර වැසුව සම්බුදු ගුණය කියා
න යන පදය ගොනු කරමින් දහම නියා
මෝ යන පදෙන් නිවණේ ඇති හරය කියා
සතාගිරි යකුන් වැන්දා නමෝ කියා

රාහු අසුරිදු "තස්ස" ගුණයට වදින ලද අයුරු.......

තන්හා බරිත සිතුවිලි හැම දුරලුව
සත්‍ය වචනයෙන් තුන්ලොව සැනසුව
තස්ස යන පදෙන් ඒ බුදු ගුණ කීව
අසුරිදු රාහු වැන්දා සිරිපද ගාව

සතර වරම් දෙවිවරු "භගවතෝ" ගුණයට වදින අයුරු......

නුවණින් අග්‍රවු ගුණයට සිත රන්දා
දන් පිදුමට සුදුසු ගුණයට හිත බන්දා
දුරලු නිසා කෙලෙසුන් මර බල සින්දා
භගවතෝ ගුණෙන් සිව් දෙවි බුදු පා වැන්දා

සක්‍ර දෙවිදුන් "අරහතෝ" ගුණයට වදින ලද අයුරු.......

භව චක්‍රෙයහි අරයන් සන්සිදින ලද
බුදු බව ලබා සිවු සස් දම් දෙසන ලද
සක් දෙවිදුන් බුදුන් ගුණ කද සිතන ලද
අරහතෝ කියා වැන්දා සම්බුදු පාද

මහා බ්‍රහ්මයා "සම්මා සම්බුද්ධස්ස" ගුණයට වදින ලද අයුරු......

නිමා කරන්නට සසරෙහි සියලු දොසා
සම්මා බුදුන් ගුණ මහබඹු දුටුව නිසා
සම්මා සම්බුද්ධස්ස ගුණ කද ඇතුව තොසා
නම්මා සිරස වැන්දා බඹු සතුට නිසා

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා.!

(මෙය බොධි පුජා පොත් පිංචකින් සහ බ්ලොග් සටහන්කින් කියවා දැනගත් ධර්ම කරුනුවේ. තවත් අයෙකු දැනුවත් කිරිම සඳහා කියවිය හැකි ආකාරයට මෙම ධරම කරුනු මුද්‍රනයකොට හා අන්තර්ජාලයට එක්කොට තිබූ ඔවුනටද පින් ලැබේවා.)

samarasekara sithuvili said...

කණිෂ්ක මහතා,
ඔබේ ප්‍රතිචාරය මෙතෙක් දිනක් නොබැලීම ගැන කමා කරන්න. උපන්ගෙයි කුසිතයෙකු වන මා බොහෝ වැඩ අතපසු කර අලාභ විඳිනවා. ඔබේ පිළිතුර හරිම අයෙයි. ම කාරණය ගැන මට වඩා ඕව තොරතුරු දන්නවා. ඉතින් ඇයි එ් ගැන විශේෂ ලිපියක් ඔබ blog එකේ නොලියන්නෙ.

සමරසේකර