Saturday, January 2, 2016

පළමු සිංහල කැලෑ පත්‍රය

සාමාන්‍යයෙන් සිංහලයෝ අන් අයට උසුළු විසුළු කරන්නට රුසියෝය. එය ඔවුන් සතු එක් ජාන ලක්ෂණයක් යයි මට සිතේ. සමහර ඒවා අහිංසක විහිලුය. සමහර ඒවා අන් අයගේ අඩුපාඩු හුවා දක්වමින් ඔවුන්ට ගරහන ඒවාය. නිදසුනක් ලෙස ජන කවියේ ඇති 
තන පොත්තිත්  ගෑනියක්       ද 
ඒකිට මොන  දීගයක්             ද 
යන දෙපදය පෙන්විය හැකිය.

පොදුවේ මහජනයාට දැනගැනීමට අවශ්‍ය පුවතක් කොල කිහිපයක ලොකු අකුරින් ලියා එය කාට කාටත් පෙනෙන පරිදි මහජනතාව ගැවසෙන තැන්වල අලවා තැබීම අපේ රටේ පුවත් පල කිරීමේ එක් ක්‍රමයකි. කුඹුරු අස්වැද්දීමට පෙර ඇල මාර්ගය පිරිසිදු කිරීමට දිනක් නියම කර එයට පැමිණෙන ලෙස ගොවීන්ට දන්වා වෙල් විදානේ විසින් අලවන දැන්වීම් පත මා කුඩා කාලයේදී දැක ඇත. නමුත් අද වෙල් විදානේ ඉන්නේ කුඹුරු අස්වැද්දීම ගැන තීරණ ගන්නට නොවේ. 
  
නමුත් කැලෑ  පත්‍රයකින් කෙරෙන්නේ හුදෙක් අනෙකාට ගැරහීම මෙන්ම අනතුරුදායක පණිවිඩයක්ද ප්‍රසිද්ධ කිරීමයි. සාමාන්‍යයෙන් අහිංසක අයෙකුට එරෙහිව කැලෑපත්‍ර ගසන්නේ නැත. ඒ  වෙනුවට කරන්නේ ඔහු හෝ ඇය ඉදිරියේම නින්දා කිරීමයි. කැලෑපත්‍ර ගසන්නේ තමන්ට වඩා යම් බලයකින් යුක්ත අයෙකුට සිය අනන්‍යතාවය සඟවා අපහාස කිරීමයි. ඒක හරියට ආරුඪ නමකින් හෝ අනන්‍යතාවය නොපෙන්වා blog එකේ comments දානවා වාගේ වැඩකි.

 මේ කැලෑ පත්‍ර  ලියන අය ඒවා රැ ගමේ අලවන්නේ  උදෙන්ම පාරේ යන අයගේ නෙත ගැටෙන  පිණිසයි. දකින්නෝ එය හොඳින් කියවා  බැලුවත් නොදක්කාසේ හැම ගමන  යති. නමුත් හිමිදිරියේම පාරට බසින අදාළ සිද්ධියට සම්බන්ධ අයෙකුට මේවා පෙනුනොත් ඔහු කරන්නේ  සියල්ලම ගැලවීමයි. ඒ  උනත් ඒ වන විට සිද්ධිය ගම පුරා පැතිරී හමාරය. මේකෙන් මැනවින් පෙනෙන්නේ කැලෑ පත්‍රයත් සමගම වේගයෙන් පැතිරෙන තොරතුරු ජාලයක් ඇති බවය.අවශ්‍ය පණිවිඩය ඉන් ලැබෙන අයට ලැබෙන අතරම ඒ පණිවිඩය එවූ පුද්ගලයාද සැඟවී සිටියි. 

දැන් කාරණයට බැස්සොත් සියතින්ම තම පියා මැරු නිසා රාජසිංහ රජ්‍ජුරුවෝ හිටියේ පසුතැවිල්ලෙනි. රජු  සහනයක් පතා සංඝයා වහන්සේ වෙත ගිය කල දුටුගැමුණු රජ තුමාට ලැබුණු සහනය වාගේ එකක් රාජසිංහ රජ්ජුරුවන්ට නම් ලැබුනේ නැත. සංඝයා වහන්සේ පැවසුවේ රජු පංචානන්තරි කර්ම 5න් එකක් කර ඇති බැවින් මරණින් පසු අනිවාර්යයෙන්ම අපාගත වන බවය. රජ්ජුරුවෝ සංඝයා වහන්සේ කෙරෙහිද අමනාපවී බෙහෙර විහාර සහ ධර්ම පොත් ගිනිබත් කළා. මේ වෙලාවේ තමයි නීල   පෙරුමාල් රජු සනසන්නට පැමිණියේ. ඔහු දකුණු  ඉන්දියාවෙන් මෙහි පැමිණි දෙමල ජාතිකයෙක්. ඔහුගේ උපදේශය උනේ විශාල යාගයක් සීතාවක ගඟ මැද පවත්වා  ඉන් රජුගේ පාපය අවසන් කල හැකි  බවයි. රජු මේ උපදේශය පිළිගෙන මේ යාගය පැවැත්වීම ආරම්භ කළා. නමුත් ඒක ඉවර වෙන පාටක් නැහැ. අහන අයට නිල පෙරුමාල් කිවේ  
රාජා හෝ 
මා හෝ 
ගංගා හෝ 
කියලා .
මේ අඛණ්ඩ යාගය නිසා නිලපෙරුමාල්ට රජුගේ විශ්වාසය දිනා ගන්නට අමතරව රජ මාලිගයට නිරන්තරවම යන්නත් ඉඩ ලැබුනා. මේකෙ එක් ප්‍රතිඵලයක් විදියට රජුගේ වැඩිමහල් අවිවාහක සොහොයුරිය සමග රහසින් අනියම් සම්බන්ද කමක් ඇති කර ගන්නට  නිලපෙරුමාල්ට හැකි උනා. මේකට වංශ වතුන් කැමති උනේ නැහැ. පෘතුගීසින් සමග සටනේ යෙදී සිටින යුද්ධයේ දක්ෂයෙකුවූ රජු අහක දමන්නත් බැහැ.රජුට මේ අවනඩුව කියන්නත් බැහැ.නමුත් නිලපෙරුමාල්ට  අනතුරු සංඥාව නිකුත් නොකරත් බැහැ. කරන කතා වැඩේ නැවැත්වුවේ නැත්නම් කුමාරිගේ වැඩිමහල් හා බාල සහෝදර යන්ගේ සහ සහෝදරියන්ගේ ප්‍රතික්‍රියා ඇතිවීමට ඉඩ තිබෙනබව දැන්වීමට අවශ්‍ය උනා.    ඔවුන් කැලෑ පත්‍ර මාධ්‍ය තෝරා ගත්තා. තමන්ට එන අන්තරාවෙන් මිදෙන්න කාටවත් දොස් කියන්න බැරි අය ලවා පාඩම් කරවල  රට පුරාම ළමයින් ලවා කියවන්න පටන් ගත්තා. 

ඒක  තමයි මේ 
"අතුරු මිතුරු දඹදිවතුරු 
රාජ කපුරු හෙට්ටියා 
අලුත ගෙනා මනමාලිට 
හාල් පතක්  ගරාලා 
කිකිළි කපා දොර මුල්ලේ 
කිකිළි කපා වැට මුල්ලේ 
උස් කොල්ලෝ පේළියයි 
මිටි කොල්ලෝ පේළියයි 
උස් දරමිටි  පේළියයි 
මිටි දරමිටි පේළියයි 
අතක් ගනිං හෙට්ටියෝ "

සමරසේකර 
       
     
Post a Comment