Friday, June 13, 2014

නොදනිමි කාගේ දොසා............. 1 කොටස

නොදනිමි කාගේ දොසා.............1 කොටස

වර්තමාන පරපුර සාර ධර්ම අතින් බොහෝ දුරට පිරිහි ගොස් ඇතැයි වැඩි දෙනෙක් පවසන කතාව ඇත්තද කියා සාකච්චා කිරීමේ අදහසින්  මේ ලිපිය ලියමි. මා ගත කල ළමා,ගැටවර,සහ තරුණ වියේදී විවිධ අවස්ථා වලදී ප්‍රමාණයෙන්  බොහෝ ගණනක්වූ වැඩිහිටියෝ විවිධ මානයන් ඔස්සේ මගේ ජිවිතයට සම්බන්ධ වූහ.   එම සම්බන්ධතා  සහ ඒවායෙන්  ඇතිවූ බලපෑම ගැන අද දින යේදී මතක් කිරීමේදී  මගේ මතකයට එන්නේ ඉන්  කිහිප දෙනෙක් පමණි. පොදුවේ ගත් කල එකල සිටි වැඩිහිටියෝද  අප සාරධර්ම අතින් පිරිහුණ කොටසක් ලෙසින් එකලදී  නම් කල බව නම්  මට හොඳින් මතකය. ඔවුන්  එසේ හැඳින්වූ නමුත් ඇත්ත වශයෙන්ම අප  පිරිහුණ අයවලුන්ව නොසිටියෙමු. මා එසේ සිතන්නේ තවමත් මා හිරේ විලංගුවේ වැටී නැති බැවින්ය. නමුත් වැරදි කරුවන් පමණක් නොව අහිංසකයන්ද හිරේ ගොස් ඇති බවට ඇති  කථා නිසා මගේ මේ මතය හරියටම හරිදැයි මා දන්නේ නැත. එහෙත් මෙම ලිපිය සඳහා එකී මතය නිවැරදි යයි උපකල්පනය කරමි. 

  ප්‍රශ්නය වී තිබෙන්නේ සාරධර්ම පිරිහීමක් නොව අප අනෙකා හඳුනා ගැනීමට භාවිතා කරන මිනුම් දන්ඩේ වැරැද්දක් නොවේද? අප අනෙකා හඳුනා ගැනීමට බොහෝ විට අඩුවැඩි වශෙයෙන් භාවිතා කරන්නේ බටහිර න්‍යායයි. ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේදී ආර්ථික මිනිසාගේ ගති ස්වභාවය මෙන්ම මොල්තස්ගේ ජනගහන න්‍යායද  උගතිමු.  කලමනාකරණ විද්‍යාව  හැදෑරීමේදී  x න්‍යාය, y න්‍යාය, සහ z න්‍යාය,අණුව අන්‍යන්ගේ හැසිරීම් රටාවන් උගතිමු. මිනිසුන් හැසිරෙන්නේ මැෂ්ලෝගෙ පිරමිඩ් න්‍යාය අණුව යයි සහතික වීමු. අවශ්‍ය තැන් වලදී විවිධ උපකල්පනද භාවිතා කළෙමු. එසේ ලද විෂයානුබද්ධ දැනුම සමාජයේ විවිධ අවස්ථාවලදී විවිධ සමාජ ස්තරයන්හිදී භාවිතා කළෙමු. සමහර අවස්ථා වලදී අපේක්ෂිත ප්‍රතිඵල  මෙන්ම අනපේක්ෂිත ප්‍රතිඵලයන්ද ලදිමු. නමුත් මේ මිනුම් දඬුවල අදට ගැලපෙන වලංගුතාවය කුමක්ද?
ආර්ථික විද්‍යාවේ සිටින ආර්තික මිනිසා තම සීමිත සම්පත් තුලින් අසීමිත ආශාවන් තෘප්තිමත් කරගැනීමට හැමවිටම කටයුතු කරයි.වැඩිවන  ජනගනගහනය  පාලනය කිරීමට  ගංවතුර නායයාම් වැනි ස්ව්හාවික උවදුරුද, යුද්ධ කලකෝලාහල වැනි මිනිසාගේ ක්‍රියාකාරකම් හේතු වන බැවින් ඒවා නොවැලැක්විය හැකි කරුණු බව මොල්තුස් ජනගහන විද්‍යා වෙදී  කියයි. කලමානකරණයේදී හමුවන  x න්‍යාය, y න්‍යාය, සහ z න්‍යාය,අණුව නම් x මිනිසා සර්ව අශුභාවාදිය. දඬුවම් දීම මගින් පමණක් ඔහු පාලනය කල හැක.   y මිනිසා සර්ව ශුභාවාදිය. දිරිගැන්වීම් මගින් ඔහු හැසිරවිය හැක. පෙරදිග රටක්වූ ජපානයෙන් එලිබැස ගත්  z න්‍යායට අණුව පුද්ගලයෙකුගේ හැසිරීමට ඔහු අයත් සංස්කෘතිය බලපායි.ඒ ඒ අවස්ථාවට උචිත පරිදි එම න්‍යායන් අනුව කියවෙන පුද්ගලයා හැසිරවීමෙන් අපේක්ෂිත ඉලක්කය කරා ලඟා විමට යමෙකුට පිළිවන. 

ඇත්තෙන්ම වර්තමාන සමාජය තේරුම් ගැනීමට මේ මිනුම් දඬු පමණක්ම සැහේද? පරිගණක ශාක්ෂරතාවය වැඩිහිටියන්ට වඩා ඉක්මනින් කුඩා ළමුන් ග්‍රහණය කරගැනීමට බලපාන හේතුව කුමක්ද.දිනෙන් දින ඉහල යන දුරකථන බිල නිසා වැඩිහිටියන් ඉතා සකසුරුවමින් යුක්තව දුරකථනය භාවිතා කරන අතර,තරුණ පරපුර දුරකතනයේම එල්ලිලා ඉන්නේ ඔවුන් ආර්ථික මිනිසුන් නොවන නිසාද?උදැසනම රැකියාවට යනඅතේ මුද්දක් පැළඳගෙන යන කාන්තාවන් ගෙදරින් පිටත්වූ මොහොතේ පටන් දුරකතනය කනේ ගහගෙන ඉන්නෙ  මොන කාරණයක් නිසාද? ඇය තම සැමියාට එතරම්ම ආදරේද? පුද්ගලයන්    ලියුම් ලියනවා වෙනුවට ඊ මේලය පාවිච්චි කරන්නේ මන්ද? කතා කරනවා වෙනුවට දුරකතනයෙන් text යවන්නේ මන්ද? මට හිතෙන අන්දමට නම් මේ චර්යා සාර ධර්ම පිරිහීමක් ලෙස වර්ග කරනවා වෙනුවට  මේ හැසිරීම් රටා තේරුම් ගැනීමට ඉහතකී මිනුම් දඬු වලට වඩා වැඩි යමක් තිබිය යුතු ය.    

     

No comments: