Wednesday, June 4, 2014

විදුදය කඳුරට මිතුරෝ 3.....

විදුදය කඳුරට මිතුරෝ  3.....



මේ blog එක බලන කාට කාටත් මතක ඇතිනෙ මේ blog එකේ මිට කලින් මා විසින් ලියු විදුදය කඳුරට මිතුරෝ ලිපි දෙක. ඒ දෙකම වැඩිදෙනෙක් බලලා තිබුනා.  ඒකෙන් දිරිමත්වූ මා අද එක්  කරන්නේ පසුගිය දවසක අපේ  විදුදය කණ්ඩායම වස්ගමුවේ ජාතික උද්‍යානයේ කල සංචාරය ගැන කථා ටිකක්.

අපේ  කණ්ඩායමේ තියෙන විශේෂ ලක්ෂණ නම්  අපි ඔක්කොම හැට පැන්න අය වාගේම 60 දශකයේ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය ගතකල අය වීමයි. අපි විවිධ රැකියා කරලා, එමගින් තවත් අතිරේක සුදුසුකම් ලබල,  විවිධ තනතුරු දරලා, ඒ නිසාම  සමාජයේ විවිධ ස්තර වල හිටියත් 60 දශකයේදී ගත කල විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතය අදටත් මහත් ආදරයෙන් සමරණ අය. ඒ කාලේ අපි අනික් අයට කාඩ් ගහන්න වගේම ඒගොල්ලන්ගේ කාඩ් කුඩු කරන්නත්   රුසියෝ. දැනුත් ඒ යාළුවො එක්ක trip එකක් එහෙම යන කොට අපි නැවතත් හිතෙන් මුලික උපාධිය කරන සරසවි ශිෂ්‍යයෝ වෙනවා. 

 අපේ කණ්ඩායමේ වැඩි දෙනෙක් වාගේ දැන් විශ්‍රාම සුවයෙන්  ඉන්නවා. දරුවන්ගේ සහ මුණුබුරන්ගේ වැඩ කටයුතු සරල කර ගන්නට අත හිත දෙනවා. පිං දහම් පැත්තේ වැඩවලටත් ටිකක් බරයි.  ටික දෙනෙක් තවමත් තම වෘතිමය කටයුතු වල නිරතවී ඉන්නවා. එබැවින් එක රැයක්  ගෙදරින් පිට ගත කිරීමට හිත හදාගන්න අමාරුයි. ඒ උනත් මේ  බොහෝ දෙනා පිට රටවල් වල වෙසෙන තම දරුවන් සමග අඩුම ගන්නේ ඒක වසරකදී මාස තුනක් වත් ගත කරනවා. එතැනදී නම් එක රැයක් ගෙදරින් පිටවීමට ඇති අකමැත්ත නිකන්ම වාෂ්ප වෙලා යනවා .   අද ලිපියේ  තියෙන වැදගත්ම දෙය නම් අපේ කණ්ඩායම වස්ගමුවේ රාත්‍රියක් ගත් කිරීම සහ පැදුරු සාජ්ජයක් දැමීම වාගේම අපිට වස්ගමුව ජාතික වනොද්‍යානයේදී මදි නොකියන්න අලි රංචුවක් දැක ගැනීමට හැකිවීම. 
ඇත්තම කිව්වොත් අපි අලි දැක්කා නෙමෙයි අලි රංචුවක්  විසින් අපේ ජීප් දෙක වැටලුවා. අලින්ගෙන් පහර නොකා බේරුනේ පුරුවේ වාසනාවකින් තමයි  චායාරුප නොමැතිව හරියට විස්තරයක් කරන්න අමාරු නිසා සංචාරය කල  දින වලදීම කතාව  පල කරන්න බැරි උනා. සංචාරයේදී  මගේ කැමරාව අබලන්වූ  බැවින් අපේ භාණ්ඩාගාරික සුනිල් දිසානායක  ගත් ෆොටෝ ටික මට ලැබෙන තුරු කල් මරන්න වුනා. ඉතින් ෆොටෝ වලින්ම කරුණු ටික ලියන එක හොඳයිනෙ. මේ පහලින් තියෙන ෆොටෝ දෙකම අරගෙන තියෙන්නෙ අපි ගමන ගිය බස් එකේදී.







මේ අපි වස්ගමුව ජාතික වනෝද්‍යානයට යාමට ගත් ජීප් දෙකින් එකක ෆොටෝ එකක් පහලින් තියෙනවා.  මේකෙ මැද හැන්ඩියා වාගේ ඉන්නේ සභාපති සුරිය කුමාර. බැංකුවේ සහකාර සාමන්‍යධිකාරි වරයෙක් වශයෙක් ලෙසින් තමයි විශ්‍රාම ගියේ. ඒ උනත් කන්ඩායමේදී නම් සූරී විතරයි. කොනෙන්ම  ඉන්නේ සුරිගේ නෝනා.  මෙහා පැත්තේ ඉන්නේ මිල්ටන් වීරසිංහ. විරේ විශ්‍රාම ගියේ අමාත්‍යාංශයක අතිරේක ලේකම් වරයෙක් විදිහටයි. 











මේ සෆාරි ජීප් එකේ තොප්පියක් දාගෙන ඉන්නේ චන්දරේ නැත්නම් කෙහෙලා කෙහෙලා තවමත් ප්‍රැක්ටිස් කරන නීතිඥ මහතෙක්.චන්දරේට හොඳින් සින්දු කියන්න පුළුවන්.



අපි වගේම නිදහසේ ඉන්න කොක්කු රෑනක්.




මේ අපි දැක්ක මි හරක් රංචුවක් 








මේ අලියා අපි දැක්කෙ ටිකක් ඇතින්. අපිව ගණනකටවත් ගන්නේ නැතිව එයා එයගේ ගමන ගියා.




 
මේ අලි අම්මයි පැටියයි අපි ටිකක් ලඟින් දැක්කා. අපි වාහන එහෙම නවත්වාගෙන මේ දෙන්නා දිහා හොඳින් බලා සිටියා. අපේ කැ කොස්සන් ගැසීම නිසා  ඒගොල්ලන්ගේ නිදහසට බාධා උනා. මට හිතෙන්නෙ අපිට වැරදුනේ එතනදියි. 


ඊට පස්සේ එතන හිටපු චන්ඩි අලි ටික ඔවුන්ගේ විරෝධය පෙන්නන්න  අපට හෙල්ලෙන්න ඉඩක් නොදී අපිව වට කළා. අප ඉන්නේ ඔවුන්ගේ රාජධානිය තුල බවත්, තම රාජධානිය තමන්ටම අයත් බවත් අප හුදෙක් පිටස්තරයන් බවත් ඔවුන් අපට පෙන්නා දුන්නා. ඒක හරියටම ඒ කාලේ අපේ campus එකට බාහිර පුද්ගලයන් පැමිණ එකෙ අයිතිකාරයන් ලෙස හැසිරීම එදා අප පිළිකුල් කලා හා සමානයි.   පහලින් ඉන්නේ එහෙම හිටපු එක චන්ඩියෙක්. 



මේ අනික් පැත්තෙන් රැකලා හිටපු සද්දන්තයා  





මේ අතර කණ්ඩාමේ ඇතින් හිටපු සද්දන්තයෝ හෙමින්ම කැලෑවට ඇදුනා. මේගොල්ල කැලෑවට ගියේ අනේ අපි නම් ඕවට නැහැ කියල නම් නෙමෙයි. අප සියලු දෙනාටම පසක්වූ කරුණ නම් මේ අලි රංචුව අතර අදහස් හුවමාරු කිරීම මනා සම්බන්ධීකරණයක් තුලින් සිදුවීමයි. මෙතන ඇත්තටම නායකයෙක් හිටියා. එයාගේ අණ අනුව තමයි අනෙක් ඔක්කොම් අලි හැසිරුනේ. 






එහෙම අලින්ගෙන් එක්  කොටසක් කැලෑවට ගියත් තව කොටසක් අපිට දාපු තර්ජනය නම් බුරුල් කලේ නැහැ. මෙන්න මෙයා අපිට ආපස්සට එන්නට නොහැකි අන්දමට මග හරස් කර ගෙන  ඉන්නවා. 





ඕනෑ නම් මට පාරක් උනත් දෙන්න උනත් පුළුවන් කියන්නා වාගේ තමයි මෙයා  අපේ වාහන  අසලටම වෙලා ඉන්නෙ. ඇත්තටම අඩි දෙක තුනක පරතරයක් තමයි මේ අලියා සහ අපි අතර තිබුනෙ. 







මෙයා නම් කෙලින්ම අනතරු හඟවනවා. අපිට කරන්න තිබුනේ එකම දෙයයි. ඒ වාහනයේ එන්ජින් off  කර නිශ්ශබ්ද වීම විතරයි.



මෙයාට ගිය තරහ ඇස්  දිහා බලපුවාම තේරෙනවා.









කොහොම හරි අලි රැල අවසානයේදී තිරන කළා අපිට නිදහසේ යන්න දෙන්න. ඒ අපි නාකි ටිකක් නිසාද? 60 දශකයේ හිටපු සරසවි ශිෂ්‍යයෝ නිසාද? නැත්නම් අපි අතරේ විශ්රාම ලත් අතිරේක ලේකම් වරු, බැන්කු නිලධාරින්,ගුරුවරුන්, විධායක නිලධාරින්,නායකත්වයට අණ දුන්නන් ආදී වශයෙන් අපිම සිතාගෙන ඉන්නා  පරිදි අපි කට්ටිය සමාජයේ විශේෂ කොටසක්ව  සිටි නිසාද? යන්න දන්නේ අලින්ම පමණි. මට නම් හිතෙන්නෙ අපි ඔක්කොම සංචාරක මග පෙන්නන්නාගේ උපදෙස් ප්‍රශ්න කිරීමකින් තොරව,අකුරටම පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම නිසා අනතුරක් නොවුන බවය. 





එදා සවස අපි දමපු පැදුරු සාජ්ජයේ විස්තර තමයි දැන් තියෙන්නෙ.පහල පින්තුරෙන් ඉන්නේ අපේ කට්ටිය.පැදුරු සාජ්ජයකට අවශ්‍ය අඩුම කුඩුම නම් අඩුවක් නැතිවම තිබුන බව පෙනෙනවානේ.එබැවින් ඒ ගැන විස්තර ලියන්න යන්නේ නැහැ.

සූරී තමයි මැද ඉන්නේ.එයා විශ්‍රාම ලත් විදුහල්පති වරයෙක්වූ සේන ජයරත්න එක්කල බර කතාවක්.ඒක අහගෙන ඉන්නේ රසායන විද්‍යාව ගැන දක්ෂ ගුරුවරෙක් ලෙසින් ප්‍රසිද්ධ උකුවෙල සහ විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක්වූ මිතලාව. විශ්‍රාම ලත් විදුහල්පතින්වූ සේන ජයරත්න සහ ආනන්ද රත්නායක මුහුණින් මුහුණ බලා ගෙන සිනාමුසු මුහුණු වලින් යුතුව බර කතාවක්.



ඒ අතර තව කට්ටියක් හාන්සි පුටුවල ඉඳගෙන 



විදුදය මිතුරන් අතරේ කාන්තාවන්ද ඉන්නවා.මේ අය අතර විදුදය සරසවි බිමේදී  මුණගැසුණු යාළුවන් විවාහය තුලින් තම ජිවන ගමනට එකතු කර ගෙන එම මිතුදම ඉදිරියටම ගෙන යමින් සිටින   අයද පැමිණ ඉන්නවා. උදාහන ලෙසින් සුනිල් සහ චන්ද්‍රා, උකුවෙල සහ මල්ලිකා, අයිරා සහ විරේ පෙන්නන්න පුළුවන්. (මමත් විදුදය මිතුරියක්වූ අපේ ගෘහ මුලිකයාටත් එම ගමනට සහභාගී වීමට එන්න කිව්වත් අවසාන මොහොතේදී එයා ආවේ නැති නිසා එතන අඩුවක් පෙනුනා.) 

මෙතන ඉන්නේ   බැංකු කළමනාකාරියක ලෙසින් විශ්‍රාම ලත් චන්ද්‍රා සහ ඉහලම පෙලේ බාලිකා පාසලක ගුරුවරියක් ලෙසින් සේවය කර විශ්‍රාම ගත් මල්ලිකා  සහ විශ්‍රාම ගත් ගුරුවරියක්වූ රුපා.





විදුදය මිතුරන්ට සින්දු කියන්නත් පුළුවන්. එත් අපි දන්නේ පරණ සින්ඳුනේ. හැබැයි එකත් කොලයක් බලාගෙන තමයි. 





මෙතන සින්දු කියන අය අතර මල්ලිකා මුල් තැනක් ගෙන ඉන්නවා.



අනෙක් කට්ටිය සින්දු කියන අතර මම මගේ කැමරාව හරිගස්සන්න පුලුවන්ද කියල හොරෙන්ම උත්සාහ කරන එක සුනිල්ගේ  කැමරාවට නම් වසන් කරන්න බරි උනා.





අලින්ට වැඩිපුරම බය උනේ නම් පහල චායාරුපයේ වම් කෙරවලේ මුලින්ම ඉන්න ඇලික් උඩුවාවෙල.ඊළඟට ඉන්නේ උකුවෙල යුවල.විරේ ලඟින් ඉන්නේ සුරිගේ නෝනා.රූපා සහ චන්ද්‍රා ඒ එක්කම ඉන්නවා. මිතලාවයි  රන්දෙනියයි ඊළඟට ඉන්නේ. අවසානයට ඉන්නේ කථිකාචාර්ය වරයෙක් ලෙසින් විශ්‍රාම ගිය මා.



ඔක්කොම ෆොටෝ ගත්තේ සුනිල් නිසා එයාගේ ෆොටෝ එක ඉහල පින්තුර වල නැහැ. ඒ උනත්  පහල පින්තුරයේ චන්ද්‍රා ලඟින් නිල් පාට කමිසයක් ඇඳගෙන ඉන්නේ සුනිල්. ඉහල පොටෝ ඒක තරම් මේ පින්තුරය පැහැදිලි මදි. ඒක නම් ෆොටෝ ගත්ත කෙනාගේ වැරැද්ද තමා. මේ ෆොටෝ ඒක ගත්තේ මම. 











දැනට මේ විස්තර ඇති. කොහොම උනත් මේක අමතක නොවෙන trip එකක්.

2 comments:

samakayawate said...

පැරණි මිතුදමත් එක්ක රසබර සවාරිය අපූරු මතකයක් නියමයි

samarasekara sithuvili said...

ස්තුතිය් නලින්.
ඔබ හැමවිටකදිම මා දිරිමත් කරනවා.