Sunday, February 1, 2015

හැබැවටම ඌවෙදී මොකක්ද උනේ ?

ඌවට  මොකද උනේ කියල මම ලියන්න පටන් ගත්තෙ පළාත් සභා මැතිවරණය අවසන්  දිනයේදීම 
වාගේය. එහෙත් ඌවෙ තත්වය අඛණ්ඩව වෙනස්වූ නිසා මගේ ලිවිම යාවත්කාලින නොවිය. එබැවින් පළාත්සභා චන්දය 1ක කොටස වශයෙන්ද, ජනාධිපතිවරණය 2. කොටස ලෙසින්ද,මෛත්‍රී පාලනය 3 කොටස ලෙසින්ද ගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි.   

පළාත්සභා චන්දය 1 කොටස

ඌවෙ පසුගිය පළාත් සභා චන්ද ප්‍රතිඵලය අනුව ඌවෙ ජනතාවගේ හැසිරීම     බොහෝ දෙනාට ගැටලුවක්වී ඇති බව පෙනේ. මේ ගැන විවිධ පුද්ගලයන් විවිධාකාර අන්දමින් මත පල කර ඇත.මේ මත කියවන විට බොහෝවිට පෙනෙන්නේ ඒ සමහර දෙනා චන්ද සිතියමෙන් පමණක් ඌව දෙස බලා ඒ මත පල කර ඇති බවය. සමහර දෙනෙක් සැබවින්ම ඌවේ ප්‍රතිඵලය විමසා ඇතත් ඔවුන්ද සිද්ධිය මතුපිටින් පමණක් දැක  සිය විමසුම කර ඇති බව පෙනේ.
මේ මත වර්ග කර ගත්තොත් ඒවා මෙසේ බෙදිය හැක.

- සන්ධානය ජය ගෙන ඇති බව සහ සන්ධානයේ චන්ද    පදනම ඌවෙන්ද සුරැකුණ බව ප්‍රකාශ කරන අය.
- එක්සත් ජාතික පක්ෂය නැවත අළු ගසා එහි චන්ද         පදනම නැවතත් වර්ධනය කරගෙන ඇතිබව සුභවාදිව   දක්වනන්.
- ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක්  තෙවැනි           බලවේගය ලෙස කරලියට  පැමිණ ඇතැයි සිතන්නන්
- ඌව පළාත් වැසියන් විසින් රජයට රතුඑළියක් දල්වා 
  බරපතල ආකාරයෙන් අනතුරු හැඟවීමක් කරමින්       පවතින රජයේ කෘෂිකාර්මික  ප්‍රතිපතියේ  භාවිතය      කෙරෙහි  ඔවුන්ගේ සිතේ ඇති  නොසතුට පලකල බව  සිතන්නන්.  

මගේ අදහස අනුව මෙම මත අතුරින් පළමු  දෙවන සහ තුන්වැනි  මත  අඩු වැඩි වශයෙන් වැරදිය.

ඌව ඉහල සහ පහල වශයෙන් වර්ග කලද එය සමස්ත වශයෙන් ගත්කල කෘෂිකාර්මික පළාතකි.සම්ප්‍රදායික ගොවිතැන මෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් තේ ආර්ථිකයද මෙහි ඇත. මේ සම්ප්‍රදායික ගොවීන්ගෙන් බහුතරය පාරම්පරික සිංහල බෞධයෝය.ඔවුන් සතු ඉඩම් බ්‍රිතාන්‍යයන් කොල්ලකා තේ ආර්ථිකය ගොඩ නැන්වුවාට අමතරව  ලංකා මැනුම මගින්ද  ඉතිරි ඉඩම්  බලහත්කාරයෙන් රජය සතු කරගෙන ඔවුන් සැලසුම් සහගතව දුප්පත් කර ඇත. 1818 සහ 1848 විමුක්ති අරගලයට ඔවුන් ගෙවූ මෙලිය ඒ. මහියන්ගනය සහ මොනරාගල හැරුන කොට යැපුම් මට්ට්ට්මේ මිස වානිජ වශයෙන් වී ගොවිතැන ඌවෙ කෙරෙන්නේ නැත. එබැවින් රජරට හෝ නැගෙනහිර ප්‍රධාන වශයෙන් වී ගොවි ජනතාවගේ අභිලාෂයන්ට වඩා ඌවෙ ගොවි ජනතාවගේ අභිලාශ වෙනස්ය. රජය මෙම ගොවි ජනයාගේ අභිලාශ නිවැරදිව  හඳුනා නොගැනීම සහ අවසාන අවස්ථාවේදී පැලැස්තර දැමීමට ගිය  නිසා මෙවර ඔවුන් සිය විරෝධය රජයට මැනවින් පෙන්වා ඇත.

ජනාධිපතිවරණය 2. කොටස

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය මෙම ගොවි ජනයාගේ අභිලාශ නිවැරදිව  හඳුනා ගත්තේ නැත. ඔහු විසින් කල යුතුව තිබුනේ බිජ මිල,පොහොර මිල අඩු කිරීම සහ කෘෂි උපදේශන ක්‍රමය යාවත් කිරීම පමණි. මෙම කටයුත්ත අතීතයේදී මැනවින් කල සමුපකාර ක්‍රමය අද පරිහානියට ගොස්ය. එය නගා සිටුවා එමගින් මෙම ගැටලුව විසඳීමට ඕනෑ තරම් සම්පත් එම රජයට තිබිණ. රජය එය උවමනාවෙන්ම අමතක කළේය. එහෙත්  අවසාන අවස්ථාවේදී සහතික මිලට අර්තාපල් මිලට ගැනීම  වැනි පැලැස්තර දැමීමට ගිය  නිසා ඌවෙ ගොවින්   සිය විරෝධය රජයට මැනවින් පෙන්වා ඇත. උමා ඔය ව්‍යාපෘතිය නමින් ඌවෙ උවත් ඉන් ඌවෙ ජනයාගේ ජල ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කලේ නැත. එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඌවෙ දේශපාලන නායකත්වයට සැලසුම් සහගතව වෙන පලාත් වලින් පුද්ගලයන් ඉදිරිපත් කළහ.එසේ පැමිණි අයට තම පුද්ගලික අභිලාශ ජය ගැනීම මිස ඌවෙ ජනතාවට සේවය කිරීමේ අභිලාශයක් නොතිබිණ. ඌවෙ පාරම්පරික වැසියන් මෙයට කැමති නැත. එබැවින් ඔවුන් හංසයාට කතිරය ගසා විරෝධය පල කළහ.
තේ ආර්ථිකය සමග දකුණේ සිංහලයන් මෙන් ඌවෙ සිංහලයන් බඳුනේ නැත. එබැවින් තේ වගාවට ගෙවා ගත් ඉන්දීය ජාතිකයන් තුල මේ රට ගැන හෝ ඌව ගැන විශේෂ ඇල්මක් නැත.තම වෘතිය සමිතිය කියන අන්දමට ඔවුන් චන්දය ගෙවති.නේරු -කොතලාවල ගිවිසුම අණුව එකල මෙහි සිටි සියලුම ඉන්දියානුවන් ආපසු කැඳවා ගැනීමට ගිවිස ගත් ගිවිසුම, මෙන්ම ඉන් පසු ඇති කරගත් සිරිමා- ශාස්ත්‍රී  ගිවිසුම කඩා කප්පල් කලේ ඌවෙ ජනයා නොව අන් පළාත් වල සිටි රට ගැන නොව  තම චන්දය ගැන පමණක් සිතු දේශපාලකයෝය.මොවුන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නියෝජනය කල අතර,ඉතිරිවූ 90.000 ද මේරටේ පුරවැසිකම පිදීමෙන් ජනතා විමුක්ති පෙරමුණද මේ පාපයට උර දිනි. මේ ඉන්දීය ජනයා පසු කලෙක හෝ සිංහල වුවා නම් මෙම ගැටලුව අනාගහ්යේදී හෝ නිරාකරණය වීමට ඉඩ තිබිණ. එහෙත් එවැන්නක්  සිදුවන්නේ නැත. අන් පළාත් වල සිටි බල ලොභින් විසින් කල මේ අමන වැඩේට මිල ගෙවන්නේ ඌවෙ පාරම්පරික සිංහල වැසියන්ය.  

   

Post a Comment