Wednesday, March 4, 2015

2015.02.25 දින ඇරඹු අපේ යාපන සංචාරය 1



2015 පෙබරවාරි මස 25 වයස අවුරුදු 60 සපිරුණු, ගණනින්  30ක් වූ, අඩුවැඩි ලෙසින් රජයේ සේවයෙන් විශ්‍රාම ලත්  අපි යාපනේ සංචාරය කළෙමු. මෙම සංචාරය සංවිධානය කලේ මහනුවර හේමමාලි බාලිකා  විද්‍යාලයේ  විදුහපතිනිය ලෙස සේවය කර විශ්‍රාම ගිය ලලිතා ජයසුරිය මහත්මියගේ සභාපතිත්වයෙන් එම විද්‍යාලයේ  ක්‍රියාත්මක වන  විශ්‍රාමික ගුරුවරුන්ගේ සංගමය මගින්ය. සංගමයේ සාමාජික ගුරුවරුන්ගේ කලත්‍රයාටත් මේ සංචාරයට ඉඩ ලැබුන නිසා මටත් මෙයට සභාගිවීමට ඉඩ ලැබුනා. මේ ඉන්නේ ලලිතා ජයසුරිය.මේ සංචාරයේ මුලික පහසුකම් සැපයීමට සහයවූ ජයන්ත ජයසුරිය මහතා  


මෙතන ඉන්නේ ලලිතයි, ජයන්ත ජයසුරියයි 



කොහොම උනත් මේ දෙන්නටම එදා අපි සමග ට්‍රිප් එක යන්න බැරි උනේ පව්ලේ ඥාතියෙකුගේ හදිසි අභාවයක් නිසාය. අපි ඒ බව දැන  ගත්තේ ගමනට සුදානම්ව මහනුවර හේමමාලි බාලිකා මහා විද්‍යාලය  අසලට පැමිණි විටය.  ඒ උනත් කලින් සැලසුම් කල අන්දමට ගමන යන්න ඕනෑ නිසා සංගමයේ ලේකම් ජයන්තාට ගමනේ වගකීම භාර ගන්න සිදුවුනා.   

මේ ගමනට  60 විය ඉක්මවූ විශ්‍රාමිකයන් 30ක්  සිටියා. නුවර සිට කුරුණෑගල දක්වා බසයක් සහ කුරුනෑගල සිට යාපනය තෙක් යාල්දේවි කෝච්චියේ නැරඹුම් මැදිරියත්, වෙන්කර තිබුනා.කොළඹ සිට යාපනේ යන එක ගමනකට නැරඹුම් මැදිරියට   ගෙඩි රුපියල් 2200 ක්ම ගෙවන්න ඕනෑ.විශ්‍රාමික අපගේ නිදහස් දුම්රිය ගමන් බලපත් උපයෝගී කර මේ නැරඹුම් මැදිරිය කලින්ම වෙන් කරගත් නිසා අපේ පොකැට්ටුවෙන් එම මුදල ගෙවන්න උනේ නැහැ.  දුම්රියෙන් බැස්ස අපිට    දුම්රිය පොලේ සිට යාපනේ සංචාරයට බසයකුත් වෙන්කර තිබුනා. ආපසු පැමිණීමත් සංවිධානය කර තිබුණේ ඒ අයුරින්මයි. යාපනයේ නැවතීම සඳහා yal's town Inn හෝටලය වෙන්කර තිබුනා. එය හොඳ නවාතැනක්. එංගලන්තයේ ස්ථිර පදිංචි දෙමල ජාතික මහතෙකුට අයත් එහි කළමනාකරණය  නුවර ප්‍රදේශයේ අප දන්නා  සිංහල කණ්ඩායමක් විසින් කරනවා. පහසුකම් සහ ආහාරපාන හොඳයි. මට නම් සිතුනේ  මෙය මා කලින් කල   දඹදිව සංචාරයේ ලද ඉහලම පහසුකම්  හා සමාන බවයි. මා මේ විස්තර ලියන්නේ උනන්දුවක් දක්වන අයෙකුට ගුණාත්මක සංචාරයක් සකසුරුවම් සහිතව කරන්නේ කෙසේද යන්න සිතීමට ආධාරකයක් විධියටයි. අපෙන් වැයවූ මුදල් ගැන  කිව්වොත්  එක් අයෙකුට වැය වුයේ රුපියල් 5000ක් විතරයි. ඒ  කියන්නේ ලලිතා සහ ජයන්ත මේ සංචාරය අදාලව පුර්ව සංවිධාන කටයුතු මැනවින් කර තිබුනා. අදාළ අවස්තාවලද අවශ්‍ය පුද්ගලයන්ගේ සහාය මැනවින් ලබා ගෙන තිබුනා.
    ලලිතා නොගියත් ඇය සහ ජයන්ත විසින් මැනවින් කර තිබු මේ පුර්ව සංවිධාන කටයුතු  නිසා සංගමයේ ලේකම් ජයන්තාට ඇයගේ කාර්යය පහසු උනා. plan  A වැරදුනාම,නැත්නම් අත්හැරීමට සිදුවුනාම  plan B අනුව මැනවින් කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන අත්දැකීමක් ලබා ගන්නටත් මෙය අපටත්  හොඳ ආදර්ශයක් උනා.

 ජයන්තාද විශ්‍රාම ලත් ගුරුවරියක් නිසා ගුරු වෘතියේ ඇති අද්දැකීම් මත කටයුතු කරමින්  ඉතා ඉක්මනින් අප ඇයගේ ශිෂ්‍යයන් බවට පත් කරගෙන ඉතා සතුටින් අණදීම් කටයුතු කරගෙන ගියා. අපට තිබුණේ ඇයගේ අණ පිළිපදින්න විතරයි. ඒත් ඒක ටිකක් වැඩි වෙන කොට ඉන් බේරීමට මා පාවිච්චි කල උපක්‍රමය උනේ එවැනි අවස්ථාවකදී ගුරුවරියකවූ මගේ බිරිඳගේ අණසකින් ගැලවීමට මා පාවිච්චි කරන සුපුරුදු උපක්‍රමයවූ  "මා ඔබේ පන්තියේ ශිෂ්‍යයෙකු නොවේ" යන්න පැවසීමයි. මේ අනුව මුල් අවස්ථාවේදී දබරවූ අපි ඉන් පසු ගමන අවසානය වන තෙක්ම මිතුරන් ලෙස කටයුතු කළා. ඒකට ජයන්තාගේ සැමියාවූ හේරත්ගෙන් ලැබුනේ නොමද සහයක්. මගේ චයාරුප ගොන්නේ ජයන්තාගේ සමීප සේයා රුවක් තිබුනා නම් ඒක මෙතනට දානවා. ඒත් එහම ෆොටෝ එකක් තිබුණේ නැහැ නොවැ.    

 මෙතන ඉන්නේ යාල්දේවි දුම්රිය එන තුරු කුරුනෑගල දුම්රිය ස්ථානයේ රැඳී සිටින අපේ ගමන් සගයන්ගෙන් කොටසක්,හිටගෙන ඉන්නේ දිසා,ඊළඟට ඉඳගෙන ඉන්නා අය නම්   විනිතා සහ ටිකිරි කුමාරිහාමි. 



මේ අපට වෙන්වුණු නැරඹුම් දුම්රිය මැදිරියේ ඉන්නා අපේ ගමන් සගයන්, මෙතන ඉඳගෙන ඉන්නේ බුළුමුල්ල යුවල  ඉන්ද්‍රා කුමාරගම විනිතාත් එක්ක බර කතාවක්, මම මොකටද ෆොටෝ එකට මුහුණ දෙන්නෙ ඒක මේ කතාව තරම් වැදගත් දෙයක් නෙමෙයි  කියන විදියටයි ඉන්ද්‍රා කුමාරගම පිටුපාල ඉන්නෙ. 







මෙතන ඉඳගෙන ඉන්නේ වීරසිංහ මහතා කන්නාඩිය බෙල්ලේ එල්ලාගෙන් ඉන්නෙ ඉන්ද්‍රා කුමාරගම විනීතයි දිසි ඒ අසලින්ම ඉන්නවා .ඇතින් බතල ගෙඩියක් වාගේ ඉන්නේ ජයන්තා.






අප බොහොම ඉක්මනටම එම නැරඹුම් මැදිරිය අපේ පාලනය යටතට ගත්තේ එහි ගමන් කල අනෙක් අය සමග සුහද විමෙන්ය. මෙතන අපේ සගයාවූ වීරසිංහ මහතා  සමග ඉන්නේ එසේ අප හා මිත්‍රවූ වවුනියාව දක්වා ගමන් කරන රජයේ නිලධාරියෙක්. අපේ එකමුතුකම සහ දිවිමග සැහැල්ලුවෙන් ගතකරන අයුරු නිසා   විශ්‍රාම ලැබූ පසු රජයේ  නිලධාරින් කටයුතු කලයුත්තේ කුමන අන්දමින්ද කියා  වැටහීමක් ඔහුටත් ලැබෙන්න ඇති.  




මෙතෙක් වෙලා තිබුණේ එංජිමේ රියදුරු කුටිය පසුපසටත්   එන්ජින් කොටස ඉදිරියටත් තිබෙන පරිදි සැකසු දුම්රිය එන්ජිමක්. පලෙයි දුම්රිය ස්ථානයේදී අලුත් අද්දැකීමක් ලැබුවා. දුම්රියෙන් එංජිම ගලවා දුම්රිය ස්ථානයේ තිබෙන හැරවුම් කුටියේ ආධාරයෙන් එංජිම අනෙක් පැත්තට හරවා නැවත පිළිගත කරන ආකාරය දකින්නට ලැබුනා.මුල් අවස්ථාවේදී එය වීඩියෝ  කර ගන්න ලැබුනේ නැහැ. අපි ආපසු එන විටද පලෙයි හිදී මේ අද්දැකීම නැවත වරක් ලැබුවෙන් එහිදී එය වීඩියෝ කරන්න ලැබුනා. එය ආපසු ගමන විස්තර කරන කොට දකින්න පුළුවන්. එබැවින් මෙතන ඇත්තේ ෆොටෝ පමණි.  


මෙතන තියෙන්නේ ආ පස්සට හරවන්න සුදානම්ව තිබෙන දුම්රිය එංජිම 




අපිටවිතරක් නෙමෙයි දුම්රිය එන්ජිමටත් වතුර තිබහ හැදෙනවා. ආපසු හරවා ගෙන ප්‍රධාන මාර්ගයට ආ දුම්රිය එන්ජිම සිය දිය පිපාසය සංසිඳවා ගන්න අන්දම තමයි මේ ,  





එංජිම නැවත හැරවීමේ කටයුත්තට විනාඩි පහළොවක් විතර පලෙයි දුම්රියේ ගත කළා. ඒ අතරේ අපේ කණ්ඩායමේ හිටිය පිරිමි සාමාජිකයන් එලියට බැස චායාරුපයක් ගන්න කතා උනා.  මේ පලෙයි වලදී එසේ චායා රුපයට මුහුණ දුන් කණ්ඩායමේ පිරිමි සාමාජිකයන්.ඉස්සරවෙලාම ඉන්නේ දසනායක අයියා.දසේ සේවය කලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බැවින් අපේ සම්පුර්ණ ගමනේම දුම්රිය ගමනාගමන කටයුතුසම්බන්ධිකරණ කලේ එයා තමයි.අප සතු නිදහස් දුම්රිය බලපත් උපයෝගී කරගෙන නැරඹුම් මැදිරි වෙන් කර ගන්නේ කෙසේද අපි ඔක්කොටම එකම මැදිරියක එක ළඟ ආසන වෙන් කර ගන්නේ කොහොමද ආදී කරුණු ගැන හරියටම හරියන  ප්‍රයෝගික උපදෙස් දුන්නේ දසේ තමයි. 
ඊළඟට ඉන්නේ බර්ටි බක්මිදෙනිය. බර්ටිට හොඳට සින්දු කියන්න පුළුවන්.එනිසා එයා කණ්ඩායම අතර ජනප්‍රියම කෙනා උනා.බර්ටි ලඟින්ම ඉන්නේ හේරත්. හේරත් අන් අයගේ දුක සැප සොයා බැලීමට කාලය මිඩංගු කල හොඳ ගමන් සගයෙක්.හේරත් ලඟට සුදු කමිසයකින් සැරසිලා ඉන්නෙ මේජර් කොහොන.අපේ යාපනය ගමනේදී යාපනය ගමන් බිමන්, බැලිය යුතු ස්ථාන ආදිය නියාමනය කලේ කොහොන.කොහොන විශ්‍රාම ගැනීමට පෙර යාපනයේ සේවය තිබු නිසා මේ ගමන ඔහුට අලුත් දෙයක් නොවුනත්, අප වෙනුවෙන් කල මේ කැප කිරීම අගේ කරන්න ඕනෑ.කොහොන ලඟින් ඉන්නේ බුලුමුල්ල මහතා.කන්දආමේ ඉන්නප්‍රවින චායාරුප ශිල්පියාවූ රණසිංහ මහතා තමයි අවසානයට ඉන්නේ.රණසිංහ මහතා ලස්සනට මෙන්ම උචිත චයාරුප ගන්න රුසියෙක්.එසේ ලබා ගත් ෆොටෝ චාරිකාවක් අවසාන වුවාට පසු cd එකකින් ගමන් සගයන්ට දෙන ඒක සිරිතක් විදිහට රණසිංහ මහතා කරනවා. ඒ උනත් එම්තන තියෙන්නෙ ආධුනික මා විසින් ගත් ෆොටෝ ටිකක් විතරයි. මේ     ෆොටෝ එක ගත්තේ මම නිසා මම මෙතන දකින්න නැහැ.









යාපනය දුම්රිය පැලෙන් බැස ගත් අප වෙනුවෙන් වෙන්කර තිබු බස් රියෙන් Yal's Town Inn වෙත ගිය අප සවස සංචාරය ඇරඹුවේ සුප්‍රසිද්ධ නල්ලුර් කෝවිල නැරඹීමෙන්ය. පහතින් පෙනෙන්නේ එම කෝවිලේ
ඉදිරිපස  සිටින අප යහළුවන්ගෙන්  කොටසක්. ටිකිරි,චිත්‍රාඅමරා,ජයන්තා,ශිරාණි,දිසා,විනිතා,බුළුමුල්ල රණතුංගසහ ඉන්ද්‍රා කුමාර ගමට නල්ලුර් කෝවිල ගැන ලොකු විස්තරයක් කරන්නේ බර්ටි   











මේ කෝවිලට පමණක් නොව නාගදිපේ තිබෙන හින්දු කෝවිලටත් ඇතුල් වීමේදී පිරිමින්ට විශේෂයක් තියෙනවා. ඒ අය තම කමිස ගලවා නිරුවත් උඩු කයින් යුක්තව දේවාලය තුලට ඇතුල් වෙන්න ඕනෑ. මම හිතුවේ හින්දු දේවල වල නිරුවත් උඩු කයින්  ඉන්නේ හින්දු පුජකයන් විතරක් කියලයි. ඒවාට ඇතුල් වෙන අය හිස් වැසුම් සහ පා වැසුම් ගැලවීම පමණක් ප්‍රමාණවත් කියලයි මම හිතුවේ. මම ඒ විදියට දේවාල භූමියට ගියත්  දේවාලයට ඇතුල්වීමට පෙර කමිසය ගැලවිය යුතුය යන නිතිය මට ගැටලුවක් උනා. මා හිතන විධියට එය පිරිමින්ට  කරන discrimination එකක්. ඇයි ඒ නීතිය කාන්තාවන්ට අදාල නැත්තෙ. ඒක එක කාරණයක් අනික නම් බෞධයෙක් ලෙස මා නථිමෙ සරනං අඥන් බුධෝ මේ සරනං වරන්  කියා බුදුන් වඳින නිසා හින්දු දෙවියෙකුගේ සරණ පතන්නේ කෙලෙසද හා කුමකටද?  මගේ සිත මතුකළ ගැටළු නිසා මම දේවාලය ඇතුලට ගියේ නැහැ.උඩුකය නිරුවත් නොකර එළියෙන් සිට ෆොටෝ ගත්තා. මෙතන තියෙන්නේ මා එසේ ගත්ත දේවාලයේ ඇතුලත දිස්වෙන ෆොටෝ එකක්. පැහැදිලි නම් නැහැ තමයි.      








මෙතන ඉන්නේ දේවාලය තුලට ගොස් දෙවියන් වැඳ නළලේ පොට්ටු තියා පැමිණෙන අපේ කට්ටියෙන් කොටසක්.මේ ෆොටෝ ඒකෙ මැදින් ඉන්නේ සුමනා. සුමනා වයසින් මෙන්ම මහින්ද වැඩි උනත් නිරන්තරයෙන්ම වා සිනා මුසු මුහුණින් සිටි අය ගමනේදී දැක්වූයේ ප්‍රියමනාප භාවයක්.  
















කෝවිල වැඳීමෙන් සහ දැකීමෙන් පසු අප ගියේ සුප්‍රසිද්ධ අයිස්ක්‍රීම් අලවි හලටය.මෙහි ඇති අයිස්ක්‍රීම් රස විඳිය යුතුමය යන ගමන ආරම්භයට පෙරදීම මා  අදහස් කර  තිබුන බැවින්  ගෙඩි රුපියල් 100ක්ම ගෙවා අයිස්ක්‍රීම් බඳුනක් මිලදී ගත්තා මේ ඒ අයිස්ක්‍රීම් එක සහ එය රස විඳින මා  









මේ ෆොටෝ එක ගත්තේ හේරත් නිසා එය හොඳට තියෙනවා.








මේ ආපසු එන ගමනේදී ඈතින් අප දුටු  සුප්‍රසිද්ධ යාපනේ පුස්තකාලය අපි ගමන ආරම්භයේදී සැලසුම් කර තිබුණේ මේ පුස්තකාලය නැරඹීමට උනත් එය සපුරා ගැනීමට කාලය හරස් උනා.   









අප එහි යන විට පුස්තකාලය වසා තිබුන බැවින් එහි පිටත දසුන විතරක් බලන්නට හැර  වෙන විකල්පයක් තිබුණේ නැහැ. 









අපේ සංචාරයේ පළමු දින අවසාන නැරඹුම වුනේ යාපනය කොටුව නැරඹීමයි. කාලය හරස් උනත් අප මේ කොටුවට ඇතුල් වුනා. මෙතන තියෙන්නේ කොටුවේ පැත්තක දසුනක් . 










මෙතන ඉන්නේ කොටුව නරඹන අපේ යාලුවෝ. දැනටමත් මේ අය නමින් හඳුන්වලා තියෙන නිසා අලුතින් නම් ලියන්න අදහස් කරන්නෙ නැහැ. මෙහිදී සිය දබරැඟිල්ල මුහුණට තබා ගෙන දම්මිකා ආරම්භ කල  බරපතල සාකච්චාව නම් මේ කොටුව පළමුවෙන්ම හැදුවේ කව්ද යන්නය. ලන්දේසි ආංඩුව විසින් කොටුව ලන්දේසි ඌරුවට සංරක්ෂණය කරතිබූ බැවින් එය ලන්දේසීන්ගේ නිර්මාණයක් යයි පෙනුනත්  කොටුව මුලින්ම නිර්මාණය කලේ පෘතුගීසින් යයි  පාසලේදී ඉතිහාසය ඉගැන්වූ සහ විශ්ව විද්‍යාලයේදී ඉතිහාසය උගත් අපේ යාලුවෙක්, මට මතක හැටියට  අමරා සිය මතය ඉදිරිපත් කරමින්  මේ ගැටලුව නිරාකරණය කළා. 










මේ යාපනය කොටුවට ඉහලින් සැඳෑ හිරු බැසයන මනස්කාන්ත දර්ශනය. 






අපි අපේ පළමු දින සංචාරය අවසන් කලේ සවස 7.30 පමණ යාපනයේ නගරයේ ඇති වෙළඳ පොලින් භාණ්ඩ මිලදී ගැනීමෙන්ය. බදු ගන්නවා මිස ෆොටෝ ගන්නට කාලයක් තිබුණේ නැති නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්න තිබුන  අගනා අවස්ථාවක් නම් මග හැරුනා. කොහොම උනත් යාපනයේ වෙළඳුන් සිය ප්‍රියමනාප බව අපට මැනවින් පල කල බව කියන්න ඕනෑ. අපට අවශ්‍යව තිබුණේ යාපනයටම අනන්‍යවූ නිෂ්පාදන මිලදී ගන්න නිසා අප සිංහලෙන් ඇසු බොහෝ ප්‍රශ්න වලට භාෂාව අවම බාධාවක් කර ගනිමින් ඔවුන් ප්‍රියමනාපව උත්තර දුන්නා. 




















































No comments: