Saturday, August 13, 2016

කෝ කිලයි පන්සලේ අවනඩුව

මේ  අද මගේ  ඇස ගැටුන දුක්මුසු පුවතක්. මේක web  මිතුරන්  අතරේ  සකාච්චාවිම හොඳ යයි සිතුන නිසා එකි ලිපිය  මෙහි පල කරනවා. මෙ ලිපිය ලියා ඇත්තේ  අප කව්රුත් දන්නා දිනසේන රතුවිතාන මහතාය .



සංහිඳියාවේ ගැට්‌ටෙන් වැටුණු
කෝකිලායි පන්සලේ අවනඩුව
+++++++++++++++++++++++++++++++++++

මේ පන්සලට දානෙ වේලක්‌ ගෙනැත් දෙන්න කියලා මම ඉල්ලන්නේ නැහැ. සැතපෙන්න ඇඳක්‌, කොට්‌ටයක්‌, මෙට්‌ටයක්‌ ගෙනත්දීලා පින් ඉල්ලන්නත් එපා"
මෙහෙම කියන්නේ ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වැඩ ඉඳගෙනයි. බමුණන්, ශ්‍රමණයන් හැමදේම ඉල්ලන්න පුරුදු පිරිසක්‌ කියලා පොත්පත්වල අනන්තවත් තියෙනවා. ඉල්ලන්නට සුරුවෝ නම් බමුණෝ වෙත් (දෙයක්‌ ඉල්ලීමට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශූරයෝය.) කියලා පොත්පත්වල සඳහන් වෙනවා.
දුරකථනයෙන් කතා කළ වෙලාවේදී ගුණරතන හාමුදුරුවෝ මුළු රටෙන්ම ඉල්ලුවේ එකම දෙයක්‌ විතරයි. මේක නිසා, මේකේ ඇත්ත නැත්ත බලන්න, මගෙ අසනීප තත්ත්වය පැත්තක දාලා කෝකිලායි ගම්මානයට ගියා. වවුනියාවේ ඉඳලා මුලතිව්වලට දුර සැතපුම් පනහයි. එතැන ඉඳලා තවත් සැතපුම් විසිහතරක්‌ විතර ගියහම කෝකිලායි ගම්මානය හමු වෙනවා. මුලතිව්වලට යන්න නිතර නිතර බස්‌ තිබුණත් කෝකිලායිවලට යන්න එහෙම නැහැ. දවසකට බස්‌ දෙකක්‌ තුනක්‌ විතරයි.
කෝකිලායි පන්සලේ වැඩ ඉන්න ගුණරතන හාමුදුරුවෝ විශාල තර්ජනයකට මුහුණ පා සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු උන්වහන්සේට මේ පන්සලෙන් යන්න නියෝග දීලා. මම උන්වහන්සේට සවන් දුන්නා.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ පන්සලට ඇවිත් අවස්‌ථා කීපයක්‌ම මේ පන්සලේ වැඩ කරන අයට තර්ජනය කරලා තිබුණා. පන්සල ඉදිකරන වැඩේ නතර කරලා හාමුදුරුවන්ට යන්න කියලයි තර්ජනය කරන්නේ. හේතුව විදිහට කියන්නේ මේ පන්සල හදලා තියෙන ඉඩමට අයිතිකාරයෝ ඉන්නවා කියලයි.
මේ මන්ත්‍රීවරයා ඇවිත් තර්ජනය කළාට පස්‌සේ එයා උතුරු පළාත් සභාවේදී යෝජනා කරලා තියනවා මේ පන්සල අයින් කරන්න කටයුතු කරන්න ඕනේ කියලා. එතැනින් පස්‌සේ මේ මෑතකදී උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මාධ්‍ය සාකච්ඡාවක්‌ තියලා කියලා තිබුණෙත් මේ පන්සල ඉවත් කරන්න ඕනේ කියන කාරණාවයි. මේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ මූලික කරගෙන මේ දවස්‌වල දෙමළ මාධ්‍යවල හැමදාම වාගේ ප්‍රවෘත්ති පළකරනවා. ඒ හැම ප්‍රවෘතියකින්ම කියන්නේ කෝකිලායි පන්සල අයින් කරන්නට ඕනෙ කියලයි.
පන්සල ඉවත් කරන්න ඕනෙ කියලා කියන මේ හැම කෙනාම කියන්නේ මේ පන්සල අයිති ඉඩමට අයිතිකාරයෝ ඉන්නවා කියලයි. මම පන්සල හදනකොට එහෙම මනුස්‌සයෙක්‌ ආවා. එයාට බලපත්‍රයක්‌ තිබුණේ නැහැ. එයා මට විරුද්ධව ගිහින් මුලතිව් උසාවියේ නඩුවක්‌ දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌කර ගත්තා.
මම ගුණරතන හාමුදුරුවොත් එක්‌ක කතා කළේ පුංචි බෝධියක්‌ යට වාඩිවෙලයි. එතැන පුංචි සමාධි පිළිමයක්‌ තියෙනවා. හාමුදුරුවෝ මමත් එක්‌කම මුළු පන්සල් වත්ත වටේ ඇවිදින්න වුණා. පාර අයිනෙම ශ්‍රී සම්බෝධි විහාරය කියලා නාම පුවරුවක්‌ තියෙනවා. ඒ අසලම තවත් විශාල බෝධියක්‌ තියෙනවා. බෝධියට මඳක්‌ ඈතින් ගුණරතන හාමුදුරුවෝ බොහෝ දායකයන්ගේ ධන පරිත්‍යගයෙන් හදාගෙන යන චෛත්‍ය රාජයාණන්ගේ වැඩ තවමත් කාලක්‌වත් කෙරිලා නැහැ. බණමඩුව ශාලාව ඇරුණම මේ හාමුදුරුවෝ ඉන්න කුඩා ආවාසයක්‌a තියනවා. විහාරස්‌ථානයේ බෝඩ්එක තියෙන තැන, මම තියෙනවා කියලා කිව්ව බෝධිය අවුරුදු විස්‌සක්‌ විතර වයස බව පේනවා.
ගුණරතන හාමුදුරුවෝ ඇවිදින ගමන් කතාව පටන් ගත්තා.
"මම මුලින්ම මේ කෝකිලායි ගම්මානයට ආවේ කොකිලායි රජයේ පාසල නවීකරණය කරලා හදලා ඒක විවෘත කළ දවසෙයි. එතකොට යුද්ධය තිබුණ. මම ආවේ ඒ උත්සවයේ ආගමික වැඩසටහන් ඉටුකරලා දෙන්නයි.
මේ වෙලාවෙදි මට දැන ගන්න ලැබුණා කෝකිලායි ඉස්‌කෝලෙ ඉන්නේ විදුහල්පතිතුමා විතරයි කියලා. යුද්ධ කාලේ නිසා පාරවල් හැමදාම හමුදාව පරීක්‍ෂා කරලා, ඉස්‌කෝල ගොඩනැඟිලි පරීක්‍ෂා කරලා තමයි ඉස්‌කෝලෙ වැඩ පටන් ගන්න වුණේ. මේ හින්දා විදුහල්පතිතුමා හැමදාම එන්නේ පරක්‌කු වෙලා කියලා මට දැන ගන්න ලැබුණා. මේ වෙලාවෙදි මට කල්පනා වුණා කෝකිලායි සිංහල ඉස්‌කෝලේ ළමයින්ට ස්‌වෙච්ඡාවෙන් අධ්‍යාපනය ලබලා දෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තමයි මම කෝකිලායි ගම්මානයට ආවේ.
මම කෝකිලායි ඉස්‌කෝලේ ගොඩනැඟිල්ලක නතර වෙලා ළමයින්ට ඉගැන්වූවා. මේ ඉස්‌කෝලේ ඒ දවස්‌වල ළමයි හතළිහක්‌ විතර හිටියා. මීගමුවේ මාරවිල වගේ පැත්තේ ළමයි තමයි මෙහෙ එදත් අදත් ඉගෙන ගන්නේ. හේතුව කෝකිලායි ධීවර ගම්මානයේ ඉන්න ළමයිනේ.
මෙහෙම ඉස්‌කෝලෙ වැඩ කරගෙන යන අතරතුරේ කෝකිලායි ගම්මානයේ ඉන්න සුළු පිරිසක්‌ සිංහල බෞද්ධ අයගෙ ආගමික අවශ්‍යතාවන් මම ඉටුකළා. බොහෝ අය කතෝලික වුණත් ඒ අයත් මගෙත් එක්‌ක බොහොම කුළුපගව කටයුතු කළා. මුලතිව් පළාතේ සේවය කරපු යුද හමුදාවේ, පොලිසියේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සියලු දෙනත් ආගමික කටයුතු සඳහා මට ආරාධනය කළා. මුලතිව් පළාතේ පන්සල් නෑ. ඊට කිට්‌ටුවත් නෑ. හාමුදුරුවරු හිඟයි. මේ නිසා ඒ අය සේරමත් එකතුවෙලා මට ආරාධනය කළා මෙහෙ පන්සලක්‌ හදාගෙන ආගමික වැඩ කටයුතු කරගෙන යමු කියලා. මමත් කැමැති වුණා.
මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ගැන කිව්වම එතුමා තමයි මේ ඉඩම ලබා දුන්නේ. ඒ වෙනුවෙන් බලපත්‍රයකුත් නිකුත් කළා. පන්සලේ වැඩ පටන් ගන්න කොට තමයි මම අර කලින් කිව්ව මනුස්‌සයා ඇවිත් මේ ඉඩම එයාගේ කිව්වේ. බලපත්‍රය ඉල්ලුවම ගිහින් නඩු දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌ කරගත්තා. මම පන්සලේ කටයුතු දිගටම කරගෙන යනකොට තමයි දෙමළ ජාතික සන්ධානයෙන් මේ තර්ජනය එන්න පටන් ගත්තේ. මේක ලොකු ප්‍රශ්නයක්‌. අවදානමක්‌. ඒක තමයි මම ඉල්ලන්නේ රජයත් අනෙක්‌ බලධාරිනුත් මැදිහත්වෙලා මේ ඉඩමේ අයිතිය තහවුරු කරන්න කියලා. මම වෙන මොකවත් ඉල්ලන්නේ නෑ. මේක මගෙ පෞද්ගලික තැනක්‌ නෙමෙයි. ආගමික ස්‌ථානයක්‌. මෙහෙ ඉන්න නිලධාරීන් කටයුතු කරන්නේ හරිම පුදුම විදිහටයි. අර කියමනක්‌ තියෙනවනේ මහත්තයෝ... තෙමෙන ගෙදරක වහලෙන් තෙමෙන තැන් හොයන්න වැස්‌සක්‌ වහින්නම ඕනේ කියලා. ඒ වගේම තමයි මේ උතුරු පළාතේ නිලධාරීන්. මේ පළාත්වල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න බලාගන්න තේරුම් යන්න මේ පළාතේ ජීවත් වෙන්නම ඕනේ.
ප්‍රාදේශීය ලේකම්වරයෙක්‌ කියන්නේ ඉතාම සුළු පටු නිලයක්‌ නෙමෙයි කියලා අපි දන්නවා. ඒ වගේ තනතුරක්‌ තියෙන කෙනෙක්‌ ආවට ගියාට ඉඩමකට බලපත්‍රයක්‌ දෙන්නෙත් නැහැ. ඒ වගේම ඉඩමට අයිතිවාසිකම් ඉල්ලලා නඩු දාපු මනුස්‌සයා නඩුව ඉල්ලා අස්‌කර ගන්නේ ඇයි? මේ හේතු කාරණා සලකලා බලලා කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයට ලබලා දුන්න ඉඩමේ අයිතිය නිරවුල් කරලා ගුණරතන හාමුදුරුවන්ට බාර දෙන්න මුලතිව් දිසාපති කාර්යාලයෙන් නම් මොනවත් සිද්ධ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. මේකට දැන් මැදිහත් වෙන්න ඕනේ ඉඩම් ඇමැතිතුමා. ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයා වගේ උදවිය තමයි. කොළඹ නිලධාරීන් මේ ගැන හොයලා බලලා ස්‌ථිර යමක්‌ කරන තුරු කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ අනාගතය අවදානම් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ගුණරතන හාමුදුරුවන්ගේ ජීවිතයත් අවදානම් වෙනවා.
කොළඹ ඉන්න මහ ලොක්‌කෝ උතුරේ තියෙන මේ වගේ අසාධාරණ දේශපාලන ගැටලු විසඳන හැටි නම් අන්තිමයි. යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නෙදි සිංහල ළමයි ගුටි කෑවා. මොළේ තියන බලධාරීන් කියන අය කිව්වේ "යාපනේට ගිය සිංහල ළමයි ගිය වැඩේ කරන්නේ නැතුව මොන කෙහෙල්මලකටද වෙස්‌ නැටුම් නටන්න ගියේ කියලයි. කෝකිලායි ගුණරතන හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙත් ඔය බලධාරීන්ම කියයි "මේ හාමුදුරුවන්ට රටේ වෙන තැන්වල පන්සල් නැද්ද? මොන ඉලව්වකටද මුලතිව්වල පන්සල් හදන්න ගියේ කියලා"
ආණ්‌ඩු වගේම තවත් බොහෝ දෙනෙක්‌ මේ දවස්‌වල දඟලන්නේ ජාතීන් අතර එකමුතුකම, ජාතික සමගිය ඇතිකරලා, සහජීවනය සහ සංහිඳියාව ගොඩ නඟන්නයි. ඒa හැමෝම ඒක කරන්න හදන්නේ ජනමාධ්‍ය ඉස්‌සරහා බෙරිහන් දීලයි. ඒත් මේ කෝකිලායි පන්සලෙන් ඒක ප්‍රායෝගිකවම සිද්ධ වෙනවා. ගුණරත්න හාමුදුරුවෝ ඒක විස්‌තර කළා.
"මට ඕනේ වුණේ මේ ස්‌ථානය බෞද්ධ පන්සලකට වඩා එහාට ගිය තැනක්‌ කරන්නයි. අපිට සහයෝගය දක්‌වන පිරිසේ ආධාර උපකාර ඇතුව මම ඒ වැඩේ පටන් ගත්තා.
පුංචි බණ මඩුවේ ආරම්භ කළ පෙර පාසලට සිංහල බෞද්ධ ළමයි එනවා. සිංහල කතෝලික ළමයිනුත් එනවා. දෙමළ හින්දු වගේම දෙමළ කතෝලික ළමයිනුත් එනවා. මේ පුංචි අයට ජාති භේදයක්‌ නැහැ. ආගම් භේදයකුත් නැහැ. ඔක්‌කොම එකා වගේ ඉගෙන ගන්නවා.
වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ පටන් ගත්තා. ඒකට එන ජාති දෙකේම තරුණ තරුණියොත් හැසිරෙන්නේ වැඩ කරන්නේ බොහොම සමගියෙනුයි. මේ පන්සලේම අපි විශේෂ ව්‍යාපෘතියක්‌ කරගෙන යනවා. ඒකේදි සිද්ධ වෙන්නේ රසායනික පොහොර භාවිතයෙන් තොරව කොහොමද සාර්ථක ගෙවත්තක්‌ හදා ගන්නේ කියලා. ඉතාම සාර්ථකව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.
මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නෙ එකිනෙකා අතරේ තියෙන අවිශ්වාසය, සැකය නැති කරන්නයි. එහෙම නොවුණොත් ඉතාම ඉක්‌මනින් මේ පළාතේ අවුරුදු තිහකටත් වඩා තිබුණු අර කාලකණ්‌ණි කාලයක්‌ එනවා. ඒත් කවදාවත්ම එහෙම වෙන්න දෙන්න බැහැ.
මේ පන්සලට විරෝධය එල්ල වෙන්නේ ඉඩමේ ආර්බුදයටම නෙමෙයි. අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්නත් විසඳනවා. දෙමළ ජාතික සන්ධානය මේ මිනිස්‌සුන්ට බෙහෙත් පෙත්තක්‌වත් ගෙනැල්ලා දෙන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. මේ හන්දා ඒ දේශපාලනඥයන්ට ලොකු බයක්‌ තියෙනවා මුලතිව් දෙමළ ජනතාව ඉදිරියේදී ඒ අය කියන දේට ඇහුම්කන් නොදෙයි කියලා. මේ තත්ත්වය මත තමයි මේ හැම බලපෑමක්‌ම එල්ල වෙන්නේ කියලයි මට තේරුම් ගියේ.
ගුණරතන හාමුදුරුවන් කිව්ව කතාව ඇත්ත කියලා මට හිතුණෙ මම ඊට පහුවදා උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ට දුරකථනයෙන් කතා කළ වෙලාවෙයි.
ඔහු කිව්වෙ තමන් හාමුදුරුවන්ට කිසිම තර්ජනයක්‌ කළේ නෑ කියලයි. මේ ඉඩම අනුන්ගේ නිසා හාමුදුරුවෝ හම්බවෙලා මේ ගැන කතා කරන්න අවස්‌ථා කීපයක්‌ම පන්සලට ගියත් හාමුදුරුවෝ හිටියේ නෑ කියලා කිව්වා.
මුලතිව් පළාතට මෙහෙම බෞද්ධ පන්සලක්‌ ඕනේ නෑ කියලත් ඔහු කිව්වා. අනුන්ගේ ඉඩම්වල පන්සල් හදන්නේ ඇයි කියලයි ඔහු මගෙන් ඇහුවේ. කෝකිලායි පළාතේ සිංහල බෞද්ධයන් නැති නිසා මේ පන්සල ඉවත් කරන්න ඕනේ කියලා ඒ මන්ත්‍රීවරයා කිසිම හිරිකිතයක්‌ බයක්‌ සැකක්‌ නැතුව කිව්වා. මේ අයගේ අරමුණ මොකක්‌ද කියලා ඉතාම පැහැදිලි නිසා මම එතැනින් එහාට කතා කරන්න ගියේ නෑ. ඒත් දුරකථන සංවාදය මම පටිගත කර ගත්තා.
මේ විදිහට බලනකොට මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ අනාගතය අඳුරුයි. ඒ හාමුදුරුවන්ගේ තරුණ කාලයම මහ කැලයකට පූජා කරලා තිබ්බත්, ඒ ජීවිතය හරිම අවදානමකට පත්වෙලා. ඒත් ගුණරතන හාමුදුරුවන්ට නම් ගාණක්‌ නැහැ. මමත් එක්‌ක හැමදේම කතා කළේ ඉතාම සංයමයෙන්. කිසිම වෛරයකින් තොරවයි.
ගුණරතන හාමුදුරුවෝ තමන්ගේ එකම ඉල්ලීම මේක විතරයි කියලා කිව්වට මේ පන්සලේ අඩුපාඩු ගොඩයි. හාමුදුරුවෝ දානේ වළඳලා ඉතුරු වුණු බත් ටික ගලක්‌ උඩට දාලා තිබුණා. ඒ දානේ කවුරුහරි ගෙනැත්දීලා තිබුණු පාර්සලයක්‌ තමයි. ඉතුරුවෙලා තිබුණු කෑම ටික පන්සල ළඟ හිටිය නාටු බල්ලෝ දෙන්නවත් කාලා තිබුණෙ නැහැ. ඒ දානෙ පිළිබඳ ශ්‍රද්ධාවටද? එහෙම නැත්නම් රස පිළිබඳව වූ ප්‍රශ්නයකටද කියලා හිතාගන්න මෙන් මම ඔබට ආරාධනය කරනවා.
මම එන්න හදනකොට හාමුදුරුවෝ තේ එකක්‌ බීලා යන්න ගොඩක්‌ පෙරැත්ත කළා. එහෙම කළේ ඉතාම ආදරෙන් භක්‌තියෙන් වුණත් මම හිතුවා ඒ සීනි තේකොළ ටිකත් මම උන්වහන්සේ වෙනුවෙන් ඉතුරු කරලා එන එක හොඳයි කියලා. එතැනදී මම හරි කියලා දැනුණා. එක්‌වරම ගිලන් රථයකින් කොහේදෝ ගමනක්‌ යන සිංහල වෛද්‍යවරයෙක්‌ ගිලන් රථයෙන් බැහැලා දුවගෙන ඇවිත් ලොකු පැණි කොමඩු ගෙඩියක්‌ හාමුදුරුවන්ගේ අතට දීලා වැඳලා ගියා. එතුමා කිව්වේ හාමුදුරුවනේ මේකෙන් "ජූස්‌" හදලා බොන්න කියලයි. මෙන්න මෙහෙම පරිසරයක්‌ තමයි කෝකිලායි පන්සලේ තියෙන්නේ.
මේ හින්දා ඔය රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරලා මාස්‌පතා අවුරුදු පතා චාරිකා යන අයට එක දවසක්‌ හරි මෙතැනටත් ගොඩවෙලා මොනව හරි නොකළත් හාමුදුරුවෝ එක්‌ක වචනයක්‌ දෙකක්‌ කතා කරලා යන්න කියලා අපි ඉල්ලීමක්‌ කරනවා. එතකොට ගුණරතන හාමුදුරුවන්ට හිතෙයි මම තනිවෙලා නෑ කියලා.
රට කරවන උදවියට කරන්න පුළුවන් ලොකුම දේ පන්සල් ඉඩමේ අයිතිය තහවුරු කරලා දීලා උතුරේ දෙමළ දේශපාලන බලවේගවලින් එන තර්ජන ගර්ජන අවම කරලා දෙන එක කියලා යළි යළිත් මතක්‌ කරලා දෙනවා.
දිනසේන රතුගමගේ

Post a Comment