Wednesday, November 6, 2013

බෙහෙතක් නොකඩවාම ගතයුතු වාගේම මෛත්‍රි භාවනාවද නොඩවාම වැඩිය යුතු පිළිවෙතකි

භාවනාව පුරුදු පුහුණු කිරීම ගැන සිරිදාස මෙවර මුහුණ දුන්නේ අමුතුම විදියේ ගැටලුවකටය.එය ඔහු ගියවර මුහුණදුන් භාවනාලක්ෂණ ගැනවූ   ගැටලුව නොවේ. ගියවර  ඔහු මුහුණ දුන්නේ භාවනාව වැඩිම පිළිබඳවූ ප්‍රවීනයන් විසින් පොත් පත් වල දක්වා ඇති, භාවනා ලාභියෙකු විසින් නිසැකවම අත්විඳිය යුතු ගති ලක්ෂණ ඔහු තුලින් මතු නොවීමේ ගැටලුවටය. මුලදී භාවනාව වැඩිමේදී තමන්ගෙන් ගිලිහි ගිය පුරුක ශ්‍රද්ධාව වශයෙන්  හඳුනා ගත්  ඔහු එම ගැටලුව නිසිපරිදි තේරුම් ගෙන ශ්‍රද්ධාව මුලික කරගෙන නැවත වතාවක් භාවනාව වැඩීම ඇරඹිය. ඉන්පසු   එකී ලක්‍ෂණ තමාටම සුවිශේෂ වන අන්දමට  තම සිතට මෙන්ම කයට දැනෙන ආකාරය හඳුනා ගෙන ඒ අනුව   භාවනාව තවදුරටත් ප්‍රගුණ  කිරීමට සමත් විය. පුරුදු පරිදි ආනාපානසති භාවනාව ප්‍රගුණ කල ඔහු සමථ කොටස සම්පුර්ණ කර ඉන් ඉක්බිති විදර්ශනා කොටසටද සම්පුර්ණ කිරීමට පටන් ගත්තේය. ඔහු සිතුවේ භාවනාව පිළිබඳවූ සියලු ප්‍රශ්නඅවසන්වී ඇති බවය. නමුත් භාවනාවට බාධා කරවන නව ගැටළුවක්  දැන් පැනනැගී ඇත. අලුතින් මතුවී  ඇත්තේ භාවනාව වැඩීමට නොහැකිවන අන්දමට පරිසරයේ මතුවී ඇති ගැටුම්කාරී ස්වභාවයයි. එය සිරිදාසගේ සිතේ ඇති මැදහත් බව නසා ඇත.

 මතුවී තිබෙන ගැටුම්කාරී ස්වභාවය කේන්ද්‍ර ගතවී ඇත්තේ පවුලේ සාමාජිකයන් හරහාය.ගෙදර සිටින්නේ  5 ස් දෙනෙකු  පමණය. සාමාන්‍යයෙන් නිහඬ පුද්ගලයෙක් වන සිරිදාස කුලයට ඇලීමක් නොකරන නිසා ඔහුගේ කටයුතු ගැන  ගෙදර සාමාජිකයන්ගෙන් එතරම් ප්‍රතික්‍රියා පැමිණෙන්නේ නැත. නැත්නම් එසේ ඇතිවන ප්‍රතික්‍රියා ඔහු දන්නේ නැත. සිරිදාසගේ නිවස ඇත්තේ නාගරික නොවන කොටසක බැවින් පවුලේ අනෙකුත් නෑදෑයන්ට සහ හිතවතුන්ට එහි ඒමට වෙනම කාලයක් වැයවේ. එබැවින් බැලු බැල්මට භාවනාමය පරිසරයට බාධාවක් ඇතිවීමට ඉඩක් නැත.  එසේ  වුවත් නුතනයේ ඇති දියුණු තාක්ෂනය මගින් බලගැන්වුණු  දුරකථනය මගින් රට පුරා සිටින අයට පමණක් නොව ලොව පුරා සිටින  අයට උවත් සිරිදාසගේ නිවස සමග  සම්බන්ධවීමේ බාධාවක් නැත. මෙහි අවසාන ප්‍රතිඵලය වුයේ තම නැදෑ හිතවතුන්ගේ සියලු තොරතුරු වලට සම්බන්ධවීමට සිරිදාසගේ පවුලේ අයට සිදුවීමය. මේ සමහර අයට සිරිදාස කුමක් කලත් එහි වැරද්දක් පෙනෙනනවා පමණක් නොව ඒවාට නොමිලයේම උපදෙස්ද සපයති. එපමණක් නොව ඔවුන් විසින් සැපයු එකී උපදෙස් අනුගමනය කරන ආකාරය ගැනද පෙර සහ පසු විපරම් කරති. දැන් දැන් මේ අය සිතන්නේ ජිවත්ව සිටිය යුත්තේ කෙසේද යන්න ගැන සිරිදාසට පමණක් නොව පවුලේ අයටද  උපදෙස් දීම තමන් සතු බලයක් බවය. මේ සියල්ලේම අවසානය වුයේ සිරිදාසගේ සිතේ ඇති මැදහත්බව මැකීයාම පමණි. සිරිදාස හැම දිනකදිම අන්‍යන්ගේ බලපෑම් නොරිස්සු අයෙකි.ඔහුගේ කාර්යාල ජීවිතයේදී ඔහු මෙම බලපෑම් වලට එරෙහිව කෙලින්ම කටයුතු කළේය. නමුත් වර්තමානයේදී සිදුවන මේ නැදෑ හිතමිතුරන්ගේ බලපෑම්වල සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් එසේ බලපෑම් කල බවට පෙන්වන ශාක්ෂි සිරිදාසට සොයා ගැනීමට නොහැකි කමය. බලපෑම් කිරීම ගැන කාට හෝ ඇඟිල්ල දිගුකලවිට තමන් එසේ නොකළ බව අදාළ අය පවසයි.

තරහ ගැනීමෙන් හෝ පරිසරයෙන් ඉවත්වීමෙන් මේ ගැටලුව විසඳිය නොහැකි බව සිරිදාසට වැටහුනේ තදබල අන්දමින් තම අත  පුච්චා ගත්  සිදුවීම් කිහිපයකින් පසුවය . කුමක් හෝ කර මේ අහිතකර තත්වය වහාම පාලනය කලයුතුය. නමුත් කලයුත්තේ කුමක්දැයි සිරිදාස නොකඩවා කල්පනා කළේය. මෛත්‍රි  භාවනාව නොකඩවාම වැඩිය යුතු දෙයක් බවට මෙත්තානිසංස සුත්‍රයේ සඳහන් කර ඇති බව සිරිදාසට අවසානයේදී සිහියට නැගින. එබැවින් ඔහු මෛත්‍රී භාවනාව වැඩීමට සිතාගති. වෙන විකල්පයක් නැත.

මෛත්‍රී භාවනාව වැඩිම ගැන අද්දැකීම සිරිදාසට ඇත.පළමුව තමන්ට මෛත්‍රී කර,දෙවනුව තම නිවසේ අයට මෛත්‍රී කර,ඉන් පසුව එය තම සමීප නැදෑ හිතමිතුරන් තෙක් පතුරා අවසානයේදී සියලු මිනිසුන් කෙරෙහි මෛත්‍රී කිරීමෙන් පමණක් නොව සියලු සතුන් වෙතද මෛත්‍රී කලයුතු යයි සිරිදාස දනී.අදාළ භාවනා වැකි ඇතුලත් සටහන් ඔහු සතු භාවනා වැකි අඩංගු  පොතේ ඇත. ඒ අනුව මිට පෙර කිහිප වතාවක් පුර්ණ වශයෙන් මෛත්‍රී භාවනාව වැඩු පුරුද්ද සිරිදාසට ඇත.එහෙත් ඔහු සිතා සිටියේ මෛත්‍රී භාවනාව යනු සිත සමාධි ගත කරගැනීමට අවශ්‍ය වන්නාවූ මුලික පියවරක් ලෙසින් භාවිතා කරන උපකරණයක් පමණක් ලෙසින්ය. එමෙන්ම තම මෛත්‍රියට භාජන වන අයගෙන් පෙරලා හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ යන බලාපොරොත්තුවකුත් ඔහුගේ සිතේ කොනක තිබිණ.ආනාපානසති හෝ විදර්ශනා වැනි ඉහල තලයේ භාවනා වඩන  අයෙකු මේ මුලික පියවර මුලදීම අනුගමනය කර ඇති නිසා ඒවා වෙත තම සිත නැවත වරක් යොමු කිරීම කාලය නාස්ති කිරීමක් යයි සිරිදාස සිතිය. 

අන්තර්ජාලයේදී ත්‍රිපිටකය බලද්දී රාහුලොවාද සුත්‍රය සිරිදාසගේ නෙතට ලක්වුයේ අහම්බෙනි. බුදුන් වහන්සේට  කුඩා රාහුල තෙරුන් විඳි පාරිසරික ගැටළු පෙනුණු විට බුදුන් වහන්සේගේ පළමු විසඳුම වුයේ මෛත්‍රී කරන ලෙසින් කුඩා තෙරණුවන්ට උපදෙස් දීමය. වැඩි වැඩියෙන් මෛත්‍රී කරන ලෙසත් බහුල ලෙස වැඩු මෛත්‍රිය මහත්ඵල මහානිසංස ගෙනදෙන බවත් තේරුම් කර දීමය. මේ කොටස මැනවින් කියවූ සිරිදාසට සිතුනේ අන්‍යන්ට මෛත්‍රී කිරීම ගැන මෙතෙක් කලක් තමන් සිතුවේ වැරදියට බවය. මෙතෙක් කලක් ඔහු සිතා තිබුනේ මෛත්‍රී කිරීම හොඳ සිරිතක් බවත්,එය භාවනාවේදී අනුගමනය කලයුතු මුලික පියවරක් බවත්ය. එහෙත් දැන් ඔහුට ප්‍රත්‍යක්ෂ වුයේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන පරම ප්‍රතිඵලය වන්නේ බාහිර අරමුණු වල බලපෑම නිසා බිඳුණු තම සිත නැවතත් මැදහත් කර ගැනීම බවය. බාහිර අරමුණු වලින් මිදීමට නොහැක.ඒවායින් සිදු වන  බලපෑමේ අඩුවැඩි බව මවා පාන්නේද සිතය. සිතේ තිබෙන ඉන්ද්‍රජාලික තත්වය නැතහොත් මායාකාරී ස්වභාවය  සිතටම ආවේනිකවූ  මුලික ලක්ෂණයකි. එය සිරිදාස වැන්නෙකුට නැවැත්විය හැකි දෙයක් නොවේ. කලයුත්තේ සිතේ ඇති එම මුලික ලක්ෂණය නිසා බිඳෙන මානසික සමතුලිත බව පාලනය කිරීම පමණි. එසේ නැතිව බාහිර බලපෑම් නිසා සිතටඅලුතින් ඇතුළත්වූ සිතුවිලි වලට  අනුගාමිව ප්‍රතිවිරෝධි සිතුවිලි මතුකිරීම හෝ ඒවා දෙස නැවත නැවත බැලීම නොවන බව සිරිදාසට වැටහින .බොහෝ ලෙසින් වැඩු මෛත්‍රී භාවනාව මහත්ඵල මහානිසංශ ගෙනදෙන බව බුදුන් වහන්සේ කුඩා රාහුල තෙරණුන්ට පමණක් නොව ලොව සියලු දෙනාටම වටහා දී ඇති බව තම සිතට හැඟුනවිට ඇතිවූ සතුටින් තම නෙත අගට කඳුළු බින්දුවක් නැගීම වැළැක්වීමට සිරිදාසට නොහැකිවිය.  මෛත්‍රී භාවනාවෙන් ලැබෙන  මුලික ප්‍රතිඵලය  බාහිර අරමුණු වලින් නොමග යන තම සිතතුල නැවත මැදහත් බව ඇති කිරීමය. බාහිර අරමුණු නිරන්තරයෙන්ම පැමිණෙන  නිසා නැතිවන සිතේ මැදහත් බව නැවත ජනිත කර ගැනීම සඳහා නැවත නැවතත් මෛත්‍රී භාවනාව වැඩිය යුතුය.එය හරියටම කොතරම් හොඳ බෙහෙතක් උවත් එක්වරක් පමණක් ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලබෙන්නාක් මෙනි යයි සිරිදාසට වැටහින.               











  

No comments: