Sunday, December 15, 2013

භාවනා කල පමණින්ම මමත්වය තුනී වන්නේ නැත

භාවනා කල පමණින්ම මමත්වය තුනී වන්නේ නැත.

පසුගිය දින කිහිපය තුලම සිරිදාසට තමා පුරුද්දක් ලෙසින් කරන අලුයම භාවනා අභ්‍යාසයේ නිරත වීමට නොහැකිවිය.භාවනා අභ්‍යාශයෙන් පසුව ලැබෙන මානසික සතුට දින කිහිපයක් තුලදී නොලැබීම ගැන සිරිදාසට ඇත්තේ සුළුපටු සිත්තැවුලක් එහෙම නොවේ.මේ බාධාව ඇතිවුනේ බාහිර කාරණයක් මුල්කරගෙන නම් ඒ ගැන සිතා තම සිත්තැවුල අකාමකා දමන්නට සිරිදාසට ඉඩ තිබිණ.එහෙත් බාධාව ආවේ තම සිත තුලින්මය. දැන් ඉතින් මොනවා කරන්නද?

"ඉතින් මොකේදැයි දැන් වළඳන්නේ තිබුන පාත්තරේ බිඳුන කොටේ"

යනුවෙන් තමන් කොහේදී හෝ අසා ඇති එහෙත් මෙතනට කිසිසේත්  අදාළ නොවන කවි පදයක් සිරිදාසගේ සිතට ඉබේටම නැගුණි.

   විවිධාකාර හේතුන් මත දෛනික භාවනා අභ්‍යාසය මගහැරුනත්  එයට බලපෑ  මුලික හේතුව වුයේ භාවනාව සඳහා තම සිත සුදානම් නොවීම බව සිරිදාස දනී. කාට බොරු කලත් තම  හර්දය ශාක්ෂීයට නම්  බොරු කල නොහැකිය.

 තම නිවස ගිනිගත් විට උවද එය නිවීමට ගන්නා වැයම උවත්  පසෙක තබා භාවනාව වැඩිය යුතු බව සිරිදාස අසා ඇත. එමෙන්ම එක විටෙක සොරුන්  ගැන තමන් විසින් රාජපුරුෂයන්ට ඔත්තු සපයනු ඇතැයි යන සැකයෙන් එම සොරුන්  තමන් මරණයට පත් කිරීමට තැත් කල විටෙක ගමන් කිරීමට නොහැකිවන පරිද්දෙන් තම කුළලට  පහරදී තමා අඩපන කරන ලෙස ඉල්ලු භික්ෂුන් වහන්සේ නමක් එකී වේදනාව ඉවසා භාවනා කරමින් අධිගමයට පත්වූ කථාවක්ද සිරිදාස අසා ඇත. එහෙත් සිරිදාසට එවැනි කිසිදු බරපතල හේතුවක් නොමැතිවම තම සිත භාවනාවට යොමු කරගත නොහැක. උපදේශක කථා කොතරම් අසා තිබුනත් තමා ප්‍රශ්නයකට මුහුණ දුන් විටඑහි පීඩනය දන්නේ තමාමය. පීඩනය නම් භාවනාව සඳහා තම සිත සුදානම් නොවීමය. නැත්නම් සිත සන්සුන් නොවීමය.

ගෙදර සියල්ලෝම තවමත් නින්දේය. අද ඉරිදා බැවින් වෙනදා මෙන් කලින් අවදිවිය යුතු නැතැයි ඔවුන් සිතනවා විය හැක. එළියේ සිහින් හඬින් පොද වැස්සක් වසියි.එබැවින් තරමක  ශිතලක්ද තම ගත තුල දැවටෙන බව සිරිදාසට දැනේ.මෙම පරිසරය තම ප්‍රශ්නය විසඳීමට   හොඳ උපකාරයක් කරන බව සිරිදාස තේරුම් ගති.එය උපකාර කර ගෙන තම ගැටලුව ගැන සිතීමට සිරිදාස උත්සහ කළේය. 

තම හිත සන්සුන් නොවන්නේ සිතට අයිති නොවනදේ තම සිතේ අවසරයකින් තොරවම තම සිත තුලට වැදීම නිසා  බව සිරිදාසට අවසානයේදී පසක් විය.මෙම  ගැටලුව අනෙක් කෙනෙකුට කිව්වොත් කුමක් වේද? සමහරවිට ලැබෙන උත්තරයෙන් ගැටලුව තවත් වර්ධනය වීමට බොහෝ ඉඩක් ඇත. එසේ වන්නේ  උපදේශකයන් දෙන උත්තර මගින් බොහෝවිට කරන්නේ ප්‍රශ්නය විසඳනවාට වඩා එය තවත් අවුල් කිරීම  බව සිරිදාස අද්දැකීමෙන් දන්නා නිසාය. ප්‍රශ්නය විසඳීමට අන් අයෙක් වෙත යනවාට වඩා කලයුත්තේ ධර්මය වෙත ගොස් ගැටලුව ඉදිරිපත් කිරීමය.  එබැවින් ධර්මයෙන් කියාදී ඇති මාර්ගයෙන්  තොරව මෙම  ප්‍රශ්නය විසඳිය නොහැකි යයි සිරිදාස නිගමනය කළේය . 

තමන් මෙතෙක් කලක් ධර්මානුකුල මාර්ගයේ ගමන් කිරීම නිසා තම සිතට අයිති දේවල් ලෙසින් තමා එකතු කරගත්තේ මොනවාදැයි සිරිදාස දැන් නිර වුල්වූ සිතින්  කල්පනා කරන්නට පටන් ගත්තේය. ශ්‍රද්ධාව,කැමැත්ත, ස්ථිර සිතුවිල්ල, වීර්ය, සහ විමන්සාව, යන ධර්මයේ සඳහන් මුලික චිත්ත වටිනාකම් තම සිත තුලට ස්ථිරවම  එකතු කරගෙන ඇතැයි සිරිදාස මැනවින් පසක් කර ගත්තේය.එහි ගැටළුවක් නැත.

 එමෙන්ම මෙම වටිනාකම් වලට අමතරව  අන් අය වෙනුවෙන් කරුණාව,දයාව  මෛත්‍රිය වැඩිම , ලෝභයෙන් ඉවත්වීම, තරහයෙන් ඉවත්වීම සහ මමත්වයෙන් ඉවත්වීම වැනි වටිනාකම්ද අඩුවැඩි ලෙසින් තම සිත තුලට ගෙන ඇතැයි සිරිදාස කල්පනා කලේ සමහරවිට ඔහු නොදැනම මෙම වටිනාකම් වලට ප්‍රතිවිරුද්ධ දේවල් ඔහු තුලින් ක්‍රියාත්මකවූ බව තේරුම්ගත් විටය. දුරින්ම දුරුකලයුතු දේවල් නම් ලෝභය, ද්වේශය සහ මෝහය බව සිරිදාස දනී. එහෙත්  ගැටලුව වන්නේ දියේ ඔබා සිටින රබර් බෝලයක් යම් ඉඩක් ලැබුන විටකදීම කෙලින්ම ජලය මතුපිටට එනවාක් මෙන්ම යම් සුළු ඉඩක් හෝ ලැබුන විටකදීම ලෝභය,ද්වේශය,මෝහය යන සාධකයන් කෙලින්ම මතුවන බව සිරිදාසට පෙනීමය.

සිතේ සමතුලිතතාවය නැති කිරීමට දැන් ඉදිරිපත්වී ඇත්තේ තමාට වඩා හොඳින් භාවනාව වඩන සිය සොහොයුරියන් දෙදෙනා තුල ඇති විරසකයට තමන්ද මැදිහත් වීමය. විරසකයට හේතුව එක සොහොයුරියකගේ වැඩිමහල් පුතා ගැන පැමිණ තිබෙන විහාහ යෝජ නාවකට අනෙක් සොහොයුරිය අකමැති විමෙන්ය. මේ දෙදෙනාම තම මතය සනාත කිරීමට නොකඩවාම උත්සහ කරති.එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් දෙදෙනාම දිනපතාම සිරිදාසගේ දුරකථනය මේ කරුණ වෙනුවෙන් පැය ගණන් භාවිතා කිරීමයි. සිරිදාස කොතෙක් උත්සාහ කලත් මේ දෙදෙනා අතරේ විරසකයක් ඇති නොවීමේ පරිසරයක් ගොඩ නැගුනේ නැත. මේ දෙදෙනාටම උපදෙස් දෙන පව්ලේ අන් සාමාජිකයන් නිසා ප්‍රශ්නය තවත් උග්‍රවී ඇත. එබැවින් සිදුවී ඇති අවසාන ප්‍රතිඵලය වුයේ අහක තිබෙන ප්‍රශ්නයක් නිසා සිරිදාසගේ සිතේ සමතුලිත භාවය බිඳීම පමණි. ඉතින් කෙසේදැයි භාවනා කරන්නේ? 

මමත්වය නැති කරන භාවනා වැකි  මේ දෙදෙනාම හොඳින්ම දනිති. එය අභ්‍යාස කරති.එමෙන්ම අන් අයටත් ඒ ගැන කියා දෙති.භවනා පන්ති වලටද යති. එහෙත් තම පුතා යනු තමන් නොවන බව එක සොහොයුරියක් පසක් නොකර  සිටින අතර, තම සොහොයුරියගේ පුතා යනු තමන් නොවන බව අනෙක්  සොහොයුරිය පසක් නොකර ගෙන සිටියි. ඉතින්  මා කුමක් කල යුතුද? සිරිදාස නොකඩවාම කල්පනා කරමින් සිටියේය.         
     
   

       




Post a Comment