Thursday, April 16, 2015

19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයත් හරියට එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා..... වාගෙ එකක් වේවිද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයත්  හරියට එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා..... වාගෙ එකක් වේවිද? 

සිංහල අලුත් අවුරුදු සමයේ ගතවුණු නොනගතය කාලයේ පොතක් පතක් බලන්න හෝ වෙනයම් කටයුත්තක් කරන්න ඉඩක් නැති වෙලාවේ පසුගිය සමයේ මහත් ආන්දෝලනයට පත්වූ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධන ප්‍රයත්නය ගැන මගේ සිතේ ඇතිවූ අදහස් ටික අද ලියන්න හිතුවා. මේ අදහස් වලට මුල බීජය සැපයුවේ http://drackey.blogspot.com/ ලියන draki සොයුරා බව ඉස්සරවෙලාම මතක් කරන්න ඕනෑ.
 පළමුවෙන්ම ලියන්න ඕනෑ කාරණය නම් මම නීතිඥක් හෝ වෙන්ඩ නීතිඥයෙක් හෝ හංසයාට චන්දය දුන් අයෙක්  නොවන නිසා ඉහතකී අන්ත දෙකෙන්ම  බැහැරවී  මේ රටේ ජිවත්වන සාමාන්‍ය පුද්ගලයෙක් මේ ව්‍යස්ථා සංශෝධනය ගැන සිතන ආකාරය ලිවිම මගේ අරමුන බවය. මම එහෙම ලියන්න හිතුවේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇතිවන ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය නිසා  මතුවිය හැකි  බලපෑම් වලට   අපි සියලු දෙනාම ගොදුරු වන හෙයින් සාමාන්‍ය පුද්ගලයෙක් මේ ගැන හිතන්නේ  කෙසේද කියා දැක්වීමටය.

 පුද්ගලයෝ හැටියට අපි සියලු දෙනාම අඩුවැඩි වශයෙන් ගත්තොත් අන් අය යටතේ ඉන්නට  අකමැත්තක් දක්වන නිසා පදයක් හැටියට ගත්තොත් ජනාධිපතිගේ බලතල අඩු කිරීම යන්න හොඳට විකුනන්න පුලුවන් මාතෘකාවක් තමයි. ඒ උනත් මේ බලතල අඩුකිරීම ගැන ඇති පසුගිය අද්දැකීම් වල එනම් 17 වන ආණ්ඩුක්‍රම විව්‍යස්ථා සංශෝධනයෙන් පසුව මහජනතාවට ඇතිවූ බලපෑම ගැන නැවත වතාවක් හිතලා බලන්න කාලය ඇවිත්.

 ඒ කාලේ තමන් ස්වාධින නිසා කාටවත් අඩු තරමේ පාර්ලිමේන්තුවටවත් යටත් නැහැ කියල රාජ්‍ය සේවා කොමිසම නටපු පිස්සු කෙලිය කාට කාටත් මතක ඇතිනෙ. පොලිස් කොමිසමත් එහෙම පිස්සු කෙලියා. ඒවාගෙන් තැලුනේ සාමාන්‍ය මහජනතාව. මේ ආයතන තිබුනත් ඒවායේ පාලනය භාරව ඉන්නෙ නිලධාරීන්. නිලධාරින් පිස්සු කෙලියාම ඒකෙන් හිරිහැරයට පත් වෙන සාමාන්‍ය මිනිහාට තමන්ට සිදුවූ අසාධාරණය ගැන කියන්න තැනක් තියෙන්න ඕනෑ. කාට හරි මෙතනදී කියන්න පුලුවන් ඇයි ඒකට තමා  මුලික අයිතිවාසිකම් කඩවුනා කියලා යන්න උසාවිය කියලා තැනක් තියෙන්නෙ කියලා. ප්‍රායෝගිකව මුලික අයිතිවාසිකම් කඩවුනා කියල උසාවී යන්න පුලුවන් වන්නේ නිතිඥ මහත්වරුන්ට ගෙඩි රුපියල් ලක්ෂ ගණනින් ගෙවන්න පුළුවන් සල්ලිකාරයන්ට විතරයි කියල දන්නේ එහෙම උසාවියේ සරණ පැතු අයම විතරයි. එහෙම උසාවියට ගියත්  පෙත්සමේ තියෙන කරුණු කාරනා හොයා බලන්නෙ නැතුවම පෙත්සම ලියා ඉදිරිපත් කිරීමේ   අඩුපාඩුවක් පෙන්වා  පෙත්සම අහක දමන අවස්ථා කොපමණ තියෙනවාද? එතකොට අසාධාරණයට ලක්වූ පුද්ගලයාටසිදුවන්නේ මොකක්ද? සිදුවූ අසාධාරණය සමනය නොවී තිබියදීම නිතිඥ මතතුන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවීමට නොවේද? ඒ නිසා උසාවියට යාම නම් හොඳ ප්‍රතිකර්මයක්  නෙමෙයි. 

draki නම් කියන්නේ ව්‍යස්ථා සභාව පත් නොකල ණිසා ඒ අර්බුදය ආපු බවයි.  ඒකට පිළියම හැටියට එකල භාවිතා වුන අන්දමට රාජ්‍ය සේවා කොමිසමේ බලතල කැබිනට් මණ්ඩලයට  ගැනීම වැරදියි යන්න තමයි එතුමාගේ මතය.  ඒක   හරියට ලෙඩා මලත් බඩ සුද්ද උනා යයි කියන උපහැරණය සිහියට එන්නක්. මට නම්  හිතුනේ පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව හෝ ඕම්බුස්මන් වරයා වැනි ක්‍රමයක් ස්ථාපනය කිරීම වඩාත් සුදුසු බවයි. ඒ අසාධාරණයට පත්වූ වින්දිතයාටම තමන් වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට  ඒවායේ ඉඩ තිබෙන නිසා සහ අඩු පිරිවැයකින්  එම ආයතන වලට  යාමට ඉඩක් තිබෙන  නිසයි.

අනෙක් කාරණය නම් දැනට තියෙන ව්‍යවස්ථාවෙන් පැහැදිලිව ලියලා තියෙනවා බුදුදහම පෝෂණය කිරීමට රජය බැඳී සිටිනවා යන්න. නව සංශෝධනයෙන් ඒක වක්‍ර ආකාරයෙන් යටපත් කරලා තිබුන බව පැහැදිලි වුනේ draki ගේ පැහැදිලි කිරීම් වලින් පසුවයි.මගේ පැනයට උත්තර හොයන්න එතුමා ගොඩක් වෙහෙසිලා තියෙනවා.ඒකට ගෞරව කරන ගමන් මගේ අදහස ලියන්නයි යන්නෙ. jr ගෙ ව්‍යවස්තාවේ  ඔය පදය නිකම්ම ලියවුනේ නැහැ.ඒකට ඓතිහාසික උරුමයක් තියෙනවා.1815දි අපේ රට භාරගත් ඉංග්‍රීසින් ලියු උඩරට ගිවිසුමේ තිබුන එක වගන්තියක් තමයි බුදු දහම පෝෂණය කර ආරක්ෂා කිරීම. ඉංග්‍රීසින් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලේ නැති එක වෙනමම ප්‍රශ්නයක්. ඒක ගිවිසුමේ තිබුනාට ක්‍රියාත්මක නොවන්නක් බව උඩරටියන්ට ඉක්මනින්ම තේරුම් ගිය නිසා තමයි  1818 දී  උඩරට විමුක්ති අරගලය ආරම්භ ආරම්භ වුනේ. ඒ උනත් වැදගත් කාරණය ඒ වගන්තිය වෙනස් නොකරම තිබීමයි. jr ලොක්කා බුදුදහම පෝෂණය කල ආකාරය ගැටඹේ පන්සලට කටුකම්බි ගැසීමෙන් සහ මහා මළුව පවරා මැනවින් පෙනෙනවානේ. 

පසුගිය රජයේ බුද්ධ සාසන අමාත්‍යාංශය භාරව සිටියේ දී .මු. ජයරත්න අගමැති වරයා  කොතරම් හොඳට බුද්ධාගම පෝෂණය කලාද යත් අදටත් බුද්ධ සාසන පෝෂණයට අදාළ වැදගත් පනත් කිහිපය පාර්ලිමේන්තුවෙන් සම්මත නොවී තිබෙනවා. අන්‍යාගම්කරණය වැළැක්වීමේ පනත ආගිය අතක් නැහැ.බෞධයන්ගේ යහපත වෙනුවෙන් පිහිටවූ හෙල උරුමයට මන්මුලාවැල්  පෑගිලා නන්නත්තාර වෙලා. ව්‍යවස්තාවේ බුදුදහම පෝෂණය කිරීමේ පදය තිබියදීම
ප්‍රායෝගික තත්වය ඔහොම නම් නව සංශෝධන වලින් පස්සේ මොනවා නොකෙරේවිද? බුද්ධාගම පෝෂණය කිරීමේ වගන්තිය හැලුනත් නව අග විනිසුරුවරයෙකු පත් කිරීමේදී නිතිඥ සංගමයේ උපදෙස් ලබා ගත යුතුය කියල වගන්තියක් ඇතුලත් කිරීමට නම් පුරෝහිතයෝ අමතක කරලා නැහැ. මා දන්නා විදිහට නම් නීතිඥ සංගමය රාජ්‍ය නොවන සංවිධානයක්. රාජ්‍ය නොවන සංවිධානයක රාජකාරියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුලත් කරලා තියෙන්නේ ලෝකෙ වෙන මොන රටේද කියා මා නම් දන්නේ නැහැ.
  
මේ වෙලාවේ මට  නම් මතක් වුනේ පැරණි ජනකවියක් වන 

එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා 
සියක් කඩතොළු හදා ගත්තයි කම්මලේ   ආචාරියා 
 ජන කවියේ පද දෙකකුයි. ඉතුරු පද දෙක නම් මතක නැහැ.  

සමරසේකර         
  





Post a Comment