Thursday, March 23, 2017

රටට ගිය කලක්


ගුවන් විදුලි නාලිකාවක 
සාකච්ඡාවට පැමිණි 
'ආමි රොෂාන්' අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට පෙරේදා (21 දා) රාත්‍රි පැමිණි අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයකු වන "ආමි රොෂාන්" නමැත්තා කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල සාමාජිකයකු ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට පැමිණ සිටින බවට ප්‍රේක්‍ෂකයකු විසින් පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට (119) වෙත කළ දැනුම් දීමක්‌ අනුව ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ගුවන්විදුලි නාලිකාව පිහිටි ගොඩනැගිල්ල වටලා ඉතාම සූක්‍ෂම අන්දමින් පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

ආමි රොෂාන් නමැති පාතාල සාමාජිකයා කලක්‌ යුද හමුදාවේ රාජකාරී කර පලාගිය අයෙකි. මොහු ඝාතනයට ලක්‌වූ රණාලේ සමයාගේ කල්ලියට සම්බන්ධ වී සිට පසුව ඔහුගෙන් ඉවත්වී අංගොඩ ලොක්‌කාගේ කල්ලියට සම්බන්ධ වී ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ගුවන් විදුලි නාලිකාව ඔස්‌සේ අදහස්‌ දක්‌වමින් රොෂාන් නමැත්තා පවසා ඇත්තේ සමයා ඝාතනය කිරීම ඉතාම හොඳ ක්‍රියාවක්‌ බවත් එය අංගොඩ ලොක්‌කා ඇතුළු කල්ලිය විසින් සිදුකළ බවත්ය.

සැකකරු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ රඳවාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව කොළඹ අපරාධ කොට්‌ඨාසය පවසයි.

No comments: