Sunday, March 19, 2017

අපිට හොරෙන් පෙන්වන ජිනීවා නාඩගම


රියර් අද්මිරාල් සරත් වීරසේකර

මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි...
කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට...

මානව හිමිකම් සමුළුවේදී කිසිම රටක්‌ තම රටේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ඒ ගැන පරීක්‍ෂණ කිරීමට එකඟ වී නැත. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2015 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව පිළිගත්තා පමණක්‌ නොව එම යෝජනාවට සම අනුග්‍රාහකයා බවට ද පත්විය. මෙවර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්‌ව ජිනීවා යෝජනාව සඳහා නව කෙටුම්පතක්‌ ඉදිරිපත් කර ඇත. මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු එකී යෝජනාව සමුළුව වෙත ඉදිරිපත් කෙරේ.


මේ යෝජනාවට අනුග්‍රහය දක්‌වන මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යනු යූගෝස්‌ලාවියාවෙන් වෙන්වූ බෙදුම්වාදයට මුල් තැන දුන් ප්‍රාන්ත දෙකකි. දැන් එම ප්‍රාන්ත රටවල් බවට පත්වී ඇත.

පසුගිය ඉරිදා මේ නව යෝජනාවේ කෙටුම්පත මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ තරන්ජිත් සන්ධුගේ උපදෙස්‌ විමසීමෙන් පසු ශ්‍රී ලංකා රජය වෙත යොමුකෙරුණි.



ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්‌ව නව කෙටුම්පතක්‌ ලෙසින් මෙම යෝජනාව හඳුන්වනු ලැබූවත් එහි අන්තර්ගතවී ඇත්තේ පරණ වයින් බෝතලයට පිරවූ අලුත් වයින් නොව පරණ වයින් බව සනාථ විය.

මේ නව කෙටුම්පතක්‌ කියන යෝජනාවේ අංක 1ට සඳහන් වී ඇත්තේ පසුගිය 30/1 ජිනීවා යෝජනාව මුළුමණින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. මානව හිමිකම් කොමසාරිස්‌ගේ මුල් වාර්තාවේ සඳහන් වූයේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි. එහෙත් මෙවර කපටිකමක්‌ කර ඇත. ඒ හයිබ්‍රිඩ් වචනය වෙනුවට 2015 ඔක්‌තෝබර් 1 දා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි.


ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ මේ කපටිකම කර ඇති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිවිල් නිලධාරියකු වූ බොබ් ලාස්‌ට්‌ය. කෙටුම්පතේ නිර්මාතෘ ඔහු බව තවදුරටත් අනාවරණය විය.


එසේම එම කෙටුම්පත ගැන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් එරික්‌ බාක්‌ලේ පැවසුවේ අංක 30/1 යෝජනාවේ කරුණු නිසිලෙස වෙනස්‌ කර නැති බවයි.

මෙම පසුබිම මැද යුරෝපා සංගමය ස්‌විස්‌ටර්ලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්‌ථාවේදීද හයිබ්‍රිඩ් යන වචනය භාවිත නොකර ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව පවසා ඇත්තේ කපටිකමට නොවේද?

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය එම කෙටුම්පතට කිසිදු සංශෝධනයක්‌ ඉදිරිපත් නොකර යළිත් වරක්‌ යෝජනාවේ සම අනුග්‍රහකයා බවට පත්විය.

මෙවන් අරාජික තත්ත්වයක්‌ මැද මානව හිමිකම් සමුළු ඉතිහාසයේ ප්‍රථම වරට තම රටේ රණවිරුවන්ගේ නිවැරැදි බව සනාථ කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉදිරිපත් විය.

ඔහු ජිනීවා මානව හිමිකම් සමූළුවට යන්නේ හිස්‌ අතින් නොවේ. ජාත්‍යන්තර ප්‍රඥප්ති ගැන මැනවින් දන්නා නීතිවේදීන් පිරිසක්‌ සැකසූ පිටු 200 ක වාර්තාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඔහු අපේක්‍ෂා කර ඇත.

"මම ජිනීවා පැමිණියේ යුද අපරාධ සිදුකළේ අපේ හමුදාව නොවන බව. කොටි සංවිධානය බව මානව හිමිකම් කොමසාරිස්‌වරයාට සාක්‍ෂි සහිතව සනාථ කිරීමට" යෑයි රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී ප්‍රකාශ කළේය.

එසේම රියර් අද්මිරාල්වරයා තවත් විමර්ශන වාර්තා හතකින්ද සන්නද්ධව ඇත.

ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රකට නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, නීතිවේදී ජෆ්රි නයිස්‌, නීතිවේදී රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ සකස්‌ කළ විමර්ශන වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව නිවැරැදිකරු බව ප්‍රකාශ කර ඇත.

මේ විදේශ විනිසුරුවන් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනා අටට නිසි ප්‍රතිචාරය දන්වා තිබේ.

පසුගිය රජය සමයේ සකස්‌ වූ මේ කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නොතිබුණි.


මේ වාර්තා රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් මුල්වරට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකිරීම විශේෂ සිද්ධියකි.


එසේම මේ වාර්තා සොයා ගැනීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට ඉමහත් වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

මෙම පසුබිම මැද විදේශ විනිසුරුවන්ගේ මෙම නිරීක්‍ෂණ වාර්තා බැහැර කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ට නොහැකි වී තිබේ.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය නිමවී වසර අටකට පසු මුල්වරට මෙරට ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බවට වාර්තා වූ විගස ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කෝපයට පත්වී ඇත.

විත්තියේ වාචකයෙක්‌ නමින් හඳුන්වන මෙම විමර්ශන වාර්තාවෙන් සුදුකොඩි සිද්ධිය රමේෂ් සහ නමැති කොටි නිවේදිකාවගේ ඝාතන ගැනද අභියෝග කරමින් සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස දක්‌වා ඇත.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සිය නීතිරීති උල්ලංඝණය කරමින් බලතල ඉක්‌මවා ක්‍රියාකළ අවස්‌ථා ගැනද විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත. මින් පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවන් අභියෝග එල්ල වී නොතිබුණි.

මෙම පසුබිම මැද මෙම විමර්ශන වාර්තාවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කළ ආකාරය විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් විශේෂ තානාපති නිලධාරියකු පත්කළ යුතු යෑයි ඉල්ලීමක්‌ කර ඇත.

තම ඉල්ලීම සාධාරණ බව පෙන්නුම් කිරීම සඳහා මානව හිsමිකම් කවුන්සිලය ක්‍රියාකළ අයුතු ක්‍රියාපටිපාටිය ගැනද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබේ.


මෙම විමර්ශන වාර්තාවේ කොටි කාන්තා බළකායේ ප්‍රධානී තමිලිනී කළ ප්‍රකාශයද දක්‌වා ඇත. කොටි සංවිධානය පැනයන සිවිල් වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බව විදූෂා නමැති කොටි හමුදා නායිකාව තමන්ට හඬමින් පැවසූ බව තමිලිනී ප්‍රකාශ කර තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස ප්‍රකාශ කළේය.

"මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව ඔහුගේ වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර තිබෙනවා. අපේ විමර්ශන වාර්තාව ඔහුට අභියෝගයක්‌. මේ ජිනීවා යෝජනාව 2012 - 2013 සහ 2014 වර්ෂ වලත් ගෙන ආවා. එම අවස්‌ථාවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ඊට එරෙහිවී මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැවසුවා.

ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී උතුරට ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් වැළකී සිටි බවට චෝදනා කළත් ආහාර ද්‍රව්‍ය ටොන් දස දහස්‌ ගණනක්‌ වන්නියට යෑවූ සැටි දක්‌වන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බව විමර්ශන වාර්තාවේ දැක්‌වෙනවා"

මෙම විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පිළිගන්වා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ජාත්‍යන්තර සන්නද්ධ අරගලයක්‌ නොවන බවත් එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට අයත් නොවන බවත් පවසනවා යෑයි රියර් අද්මිරාල්වරයා තවදුරටත් "ඉරිදා දිවයින සංග්‍රහයට" පැවසීය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු මුණගැසෙන්නේ මුල් වරටය. ජිනීවා ආරංචිමාර්ග දක්‌වන අන්දමට රියර් අද්මිරාල්වරයාට මානව හිමිකම් කොමසාරිස්‌ මුණගැස්‌වීමට ඉඩ නොදෙන ලෙස ඊළාම් ඩයස්‌පෝරාව විදේශ තානාපති නිලධාරීන් වෙත බලපෑම් කර ඇති බව වාර්තාවේ.

එසේම කොටි හිතවාදීන් ගෝඨාගේ යුද විරුවන් ජිනීවා එන බවට පවසා තිබේ. මේ ප්‍රචාරය මාර්තු 12 දා සිටම දියත් කර තිබුණි.

මේ අතර මෙම ජිනීවා යෝජනාවේ සැබෑ යථාර්ථය මෙරට ජනතාවට වසන් වී ඇත.

2015 වසරේ සැප්තැම්බර් 21 දා එම ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් විය. එම අවස්‌ථාවේ මානව හිමිකම් කවුන්සිල ශාලාවේ අසුන්ගෙන සිටියේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් සහ අද මෙරට ඇමරිකානු තානාපති වූ අතුල් කෙශාප්ය.

එම ජිනීවා යෝජනාව ඉදිරිපත් වූ අවස්‌ථාවේ එදා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ එය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය. එහෙත් එකවරම අවාසනාවන්ත සිදුවීමක්‌ සිදුවිය. ඒ වහාම ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට කොළඹින් නියෝග ලැබීමයි.

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පරීක්‍ෂණ පවත්වන බවට ප්‍රතිඥ දෙන ජිනීවා යෝජනාව පිළිගන්නා ලෙස ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිට නියෝග කළේ කව්දැයි මේ වන විට හෙළිවී ඇත. එම නියෝගය නිසා ශ්‍රී ලංකා තානාපතිවරයා මුලින් ප්‍රතික්‌ෂේප කළ ජිනීවා යෝජනාව පිළිගනු ලැබීය.

දැන් සංශෝධන සහිතව කෙටුම්පත් වූ බව කියන මේ යෝජනාව ගැන විමර්ශනය කිරීමේදී එය එකම යෝජනාව බව තහවුරු විය.

මේ අතර රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී උතුරේ තත්ත්වය අනාවරණය කළේය.

බෙදුම්වාදීන්ට ත්‍රස්‌තවාදීන් 15000 ක්‌ සන්නද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. එය පැය 45 ක්‌ තුළ කළ හැකියි. ආරක්‍ෂක හමුදාවට බාර නොවූ 4000 ක්‌ උතුරේ සිටිනවා යෑයි හෙතෙම ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් කියා සිටියේය.

මේ ප්‍රකාශය තහවුරු වන්නේ ඊළාම් ඩයස්‌පෝරාව තවදුරටත් ශක්‌තිමත් වීමයි. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අවමන් සහගත ප්‍රචාර දියත් කිරීමටද සමීප කොටි ඩයස්‌පෝරාවට හැකිවී ඇත.

මේ අතර ජිනීවා යෝජනාවට වසරක්‌ කල් දිය යුතු බවට දක්‌aවන බ්‍රිතාන්‍ය ඇමරිකා යෝජනාව පසුගිය සඳුදා මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් කාර්යාලයට ඉදිරිපත් විය.

මේ යෝජනාව කාඩ්කුට්‌ටමේ අඩංගු කොළ උඩයට මාරු කිරීමකි. එය සනාථ වූයේ එදා 2015 ජිනීවා යෝජනාවට අඩංගු වූ භයානක කරුණු කීපයක්‌ මෙවරද ඇතුළත් වීමයි.

මෙම භයානක කරුණු ඉටුකිරීමට ශ්‍රී ලංකාව කල් ඉල්ලා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරයක්‌ දියත් වී ඇත්තේ සංහිඳියාව ගොඩනැගීම සඳහා එම නව යෝජනාව ඉදිරිපත් වී ඇති බවටය.

මෙය 2005 ඔක්‌තෝබර් 1 දා ශ්‍රී ලංකාව වැටුනු උගුලේ ආගාධයටම වැටීම බව සනාථ වේ.

මේ උගුල අටවා ඇති අයුරු මෙලෙස දැක්‌විය හැකිය.

"2015 ඔක්‌තෝබර් 1 දා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ අංක 30/1 දරණ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහිd වූ යෝජනාවලිය, (නව) නැවත සහතික කරමින් පිළිගන්නෙමු යන වගන්තියෙන් කියා සිටින්නේ කුමක්‌ද?

ඒ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට යළිත් එකඟවීම නොවේද?

මේ නව යෝජනාවක්‌ බව පැවසුවත් පරණ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟවූයේ කිසිදු සංශෝධනයකින් තොරවය.

එසේම නව යෝජනා උගුල ඇටවූයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මානව හිමිකම් කටයුතු ගැන පත්කර ඇති සිවිල් සේවකයකු වූ බොබ් ලැස්‌ට්‌ බව වැඩිදුරටත් සනාථ වී ඇත.

මෙලෙස මෙය නව යෝජනාවක්‌ යෑයි දක්‌වමින් පරණ යෝජනාව එළිදැක්‌වීමට පෙර උතුරේ ක්‍රියාත්මක වන එන්.ජී.ඕ. සංවිධාන 21 ක ප්‍රධානීන් හෙවත් විදේශ අරමුදල් ලබන ගෝඩ් පාදර්ලා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත හදිසි පෙත්සමක්‌ යවමින් මානව හිමිකම් කවුන්සිලයේ විශ්වාසනීත්වය බිඳවැටී ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකා රජය සහ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලා ඇත.

මේ ඉල්ලීම පසුබිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් පැමිණෙන බව වාර්තා වී තිබේ.





තමා ජිනීවා පැමිණෙන්නේ උතුරේ ප්‍රශ්න හෙළිකිරීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා ඇති සංවිධාන අතර විග්නේෂ්වරන්ගේ ද්‍රවිඩ ජනතා කවුන්සිලය, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හා ආචාර්යවරුන්ගේ සංගමය, ද්‍රවිඩ නීතිවේදී සංසදය, ලංකා ගුරු සංගමය ඇතුළු එන්. ජී. ඕ. සංවිධාන 21 ක්‌ වේ. එසේම මෙරට ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සහ ටෙලෝ සංවිධානයද එම ඉල්ලීමට දායක වී ඇත.

මේ අතර ඊළාම් ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාද මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ යොමු කරමින් මිනිසුන් පැහැරගෙන යැමට සහ වධ හිංසා පැමිණවීම සඳහා ශ්‍රී ලංකා හමුදාවට තවදුරටත් මුක්‌තිය හිමිවී ඇති බව පැවසුවාය.

මේ පසුබිම මැද ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන වගවීමේ යාන්ත්‍රණය ස්‌ථාපිත කරන ලෙස ඉල්ලද්දී කොළොන්නාව, කටුනායක යන ස්‌ථානවලට බෝම්බ දැමීමේ මෙහෙයුම දියත් කළ වාන්පුලිගල් නමැති කොටි ගුවන් ඒකකයේ ප්‍රධානී ගුෂාන්තන්ට නිදහස ලැබීම ආරක්‍ෂක හමුදාවට එල්ල කළ සරදමක්‌ නොවේද? මේ අතර කොටි ත්‍රස්‌තයන් අරමුදල් එකතු කිරීම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ නොවන බවට යුරෝපා අධිකරණය හමුවේ ඉදිරිපත් වූ තර්කය එම අධිකරණය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.



Post a Comment