Sunday, March 26, 2017

අපිටම කෙලින පොලිය


පොළිය වැඩිවීමෙන් බැඳුම්කර සිද්ධිය
රටේ හැමදෙනාටම බලපෑවා
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ මණ්‌ඩලයක්‌ ඉදිරිපත් වූයේ ඉකුත් මාර්තු 15 වැනිදාය. ඊට පෙර සිටම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් නීතිඥ මහත්වරු කොමිසම හමුවේ පෙනී සිටිති. ප්‍රශ්න ගත මේ බැඳුම්කර ගනුදෙනුවලින් වැඩිම හානිය සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට බව කියා සිටියේ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. ඔහුගේ ඒ ප්‍රකාශය අනුව මේ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර ගනුදෙනු අක්‍රමිකතා නිසා වඩාත්ම අගතියට පත්ව ඇත්තේ අර්ථ සාධක අරමුදලේ ලක්‍ෂ සංඛ්‍යාත සාමාජික ප්‍රජාවයි. එනම් මේ මුදල්වල අයිතිකරුවන් වන රටේ බහුතර සේවක ප්‍රජාවයි. මහ බැංකුව කරන්නේ ඒ අරමුදල කළමනාකරණය කිරීමයි. ආචාර්ය හර්ෂ ද සිල්වා කියන පරිදි බැඳුම්කර ගනුදෙනුවලින් වැඩිම හානිය සිදුවී ඇත්තේ අර්ථ සාධක අරමුදලට නම් එයට මහ බැංකුව ද වගකිව යුතුය. එසේ නම් මහ බැංකුව මේ අරමුදලේ අගතියට පත් සේවක ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සිදුකර ඇත්තේ කුමක්‌ද? මේ වන විට සාක්‍ෂි විභාගය සිදු වන බැඳුම්කර ජනාධිපති කොමිසම තුළ සෘජුවම වැඩිම අගතියට පත් අර්ථ සාධක අරමුදල් සාමාජික ප්‍රජාව වෙනුවෙන් සෘජුවම ඉදිරිපත්ව සිටින නීතිඥ නියෝජනයක්‌ ද පෙනෙන්නට නැත. මේ සඳහා ඉදිරිපත් විය යුත්තේ මහ බැංකුව ද රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ද යන්න ද තවමත් පැහැදිලි නැති බව මහජන ශුභ සිද්ධිය වෙනුවෙන් සටහන් කළ යුතුව ඇති කරුණකි.

මාර්තු 15 වැනිදා අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් කොමිසම හමුවේ නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටීමට අමතරව මාර්තු 21 දින තවත් සුවිශේෂී දෙයක්‌ සිදු විය. එනම් අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසමට අනුයුක්‌ත විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්‌ වූවත් තවමත් සාක්‍ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා නැත. එහෙත් ඉකුත් මාර්තු 21 වැනිදා උදේම කොමිසමට පැමිණි අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්‍ෂි විභාගයට සවන් දීම සඳහා එහි අසුනක වාඩිවී සිටියේය. එයට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතාගෙන් විරෝධයක්‌ එල්ල විය. මීට පෙර මහ බැංකුවේ නිලධාරීන් කොමිසමට පැමිණි අවස්‌ථාවේදී ඔවුන් කොමිෂන් සභා කාර්යාලයෙන් ඉවත් කළ බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය. මේ සමගම අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ දප්පුල ද ලිවේරා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ද සිදු විය. අවසානයේ නෛතික කරුණු ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් මහතාට කොමිෂන් සභාවේ අසුන්ගෙන සිටීමට අවසර ලැබුණු අතර ඒ අනුව ඔහු එදින සිට දිගටම කොමිසම හමුවට පැමිණ සිටිනු දක්‌නට ලැබිණි. මහේන්ද්‍රන් මහතා කොමිසමට මුලින්ම පැමිණි මාර්තු 21 දින සාක්‍ෂි දෙමින් සිටියේ මුදල් මණ්‌ඩලයේ ලේකම් සහ සහකාර මහ බැංකු අධිපති එච්. ඒ. කරුණාරත්න මහතාය.

පසුගිය මාර්තු 23 දින සාක්‍ෂි ලබා ගැනීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබුණේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතාය. ඔහුගෙන් මහ බැංකුවේ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥයා ද ප්‍රශ්න ඇසුවේය. මෙහිදී නීතිඥවරුන් විසින් කොමිසම හමුවේ ආනන්ද සිල්වා මහතාගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක්‌ සහ ඒවාට ඒ මහතා දුන් පිළිතුරු මෙසේය.

නීතිඥ හර්ෂ ප්‍රනාන්දු- ඔබ කිව්වා සෘජු නිකුත් කිරීම් උපක්‍රමිකව කිරීමේ වාසියක්‌ තියෙනවා කියලා?

ආනන්ද සිල්වා මහතා- ඔව්.

නීතිඥ- වාසිය කියන්නේ සාපේක්‍ෂ වචනයක්‌. යම් කෙනෙක්‌ වාසි ලබනව නම් කවුද අවාසි ලබන්නේ?

ආනන්ද සිල්වා මහතා- මම කියන්නේ අපි වෙන්දේසියකට ගිහින් කම්පනයක්‌ ඇති කළා කියල කාටවත් වාසියක්‌ අත්වන්නේ නෑ. මම කියන්නේ අපිට නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් සියලු දෙනාටම වාසි අත්කර දිය හැකි බවයි. ඕනෑම වෙළෙඳ පොළක භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පොලිය මත ඵලදා අනුපාතය තීරණය වෙනවා. ඒ මත පදනම්ව අනෙකුත් සියලුම පොලී අනුපාත වෙනස්‌ වෙනවා.

අපි සිතමු වාර්ෂික භාණ්‌ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය සියයට 10 යි කියලා. එය සියයට 15 දක්‌වා ඉහළ යනවා කියල අපි උපකල්පනය කරමු. දැං බැංකුවලට එතකොට සියයට 10 තැන්පත් රැස්‌ කරන්න බෑ. හේතුව දැන් භාණ්‌ඩාගාර බිල්පත් පොලිය සියයට 15 දක්‌වා ඉහළ ගිහින් තියෙන නිසා. ඒ නිසා බැංකුවලට සිය තැන්පතු පොලිය වැඩි කරන්න වෙනවා. එතකොට ණය දීමේ පොලී අනුපාතවලට වෙන්නේ කුමක්‌ද? එවිට ණය දීමේ පොලියත් වැඩි කරන්න වෙනවා. එය සියලු දෙනාටම බලපානවා.

අපි මෙසේ පොලිය වැඩි වීමට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? ණය පොලී අනුපාතයත් ඉහළ යනවා. මහ බැංකුව කාගේ මුදල් ද මේ කළමනාකරණය කරන්නේ. මේ රටේ සේවක ප්‍රජාවේ මුදල්. ඔවුන්ගේ ඉතිරි කිරීමක්‌ තමයි අපි මේ කළමනාකරණය කරන්නේ. පොලී අනුපාත ඉහළ ගියොත් සමාගම්වලටඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න පුළුවන්ද?

මේ පොලී අනුපාතය ඉතාම වැදගත් වන්නේ මේ නිසයි. පොලී අනුපාත අඩු මට්‌ටමක තිබුණොත් ඔවුන්ට පහසුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගෙන වැඩි ව්‍යාපාර කටයුතු පුළුල් කරගෙන වැඩි ලාභයක්‌ ලබන්න පුළුවන්. එවිට වැටුප් මට්‌ටම් ඉහළ යනවා. එය අර්ථ සාධක අරමුදලටත් සම්බන්ධයක්‌ බලපෑමක්‌ තිබෙනවා.

නීතිඥ- මහ බැංකුව පොලී අනුපාත තීරණය කරනවා. රජය ණය රැස්‌ කිරීමේ ක්‍රමවේදය තීරණය කරනවා. ඒ මහ බැංකුව අර්ථ සාධක අරමුදල් ආයෝජනය කිරීමේ ක්‍රමවේදය තීරණය කරනවා. ඒ අරමුදල කළමනාකරණය කරන අයම ඒ අරමුදල් ආයෝජනය කිරීමට උපදෙස්‌ දීම තුළ පරස්‌පරයක්‌ තිබෙනවා නේද?

ආනන්ද සිල්වා මහතා- ඒ ප්‍රකාශයේ ඇත්තක්‌ තියෙනවා. එහෙත් එය ශ්‍රී ලංකාවේ සකස්‌ වී තිබෙන ව්‍යqහයයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු- පොලිය වෙළෙඳ පොළට තීරණය වෙන්න ඉඩ දෙනවාද? පාලනය කරනවද? එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්‌ නේද?

ආනන්ද සිල්වා මහතා-

සංවර්ධිත වෙළෙඳ පොළකදී නම් වෙළෙඳ පොළ තුළ තිබෙන මුදල් ප්‍රමාණයට වැඩි මුදල් ප්‍රමාණයක්‌ රැස්‌ කරන්නේ නෑ. එහෙත් අපේ අරමුදල් අවශ්‍යතාව වැඩි නිසා කළමනාකරණයක්‌ අවශ්‍යයි. නැත්නම් පොලී අනුපාත ඉහළ ගිහින් සියලු දෙනාම අයහපත් ප්‍රතිඵල ගෙන දෙන සමතුලිතයකට ගමන් කරනවා. අපිට හැම විටම පොලී අනුපාතය ඉහළ යන්න ඉඩ දෙන්න බෑ.
Post a Comment