Sunday, March 12, 2017

සරත් වීරසේකර මහතාට සවන් දෙමු

නිමල් ලෙවිකේ මහතාට පිලිතුරක් දිය යුත්තේ ඒ හා සමාන අයෙකු විසින්මය. ඒ සදහා සරත් වීරසේකර මහතා තරමි වෙනත් සුදුස්සෙක් නැත.





රණවිරුවන් දඩයම් කරනවා
යෑයි කියන්නේ අන්තවාදීන්ද?

නිමල් ලෙව්කේට පිළිතුරක්‌

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර 

පසුගිය සතියේ ඉරිදා දිවයිනේ පළවූ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌පති නිමල් ලෙව්කේ මහතා විසින් ලියන ලද " රණවිරුවන් දඩයම් කරන්නේ කවුද" යන ලිපිය කියවා මෙය ලිවීමට සිතුවෙමි. ලෙව්කේ මහතා වසර ගණනාවක්‌ විශේෂ කාර්ය බළකාය භාරව සිටි මව්බිම වෙනුවෙන් මෙහෙයක්‌ කළ, මාගේද කුළුපග මිතුරෙකි. අද ඔහු වර්තමාන ජනපතිට යම් උපදෙසක්‌ දිය හැකි තනතුරක තත්ත්වයක සිටී යෑයි සිතන බැවින් ඔහුගේ ලිපියේ අඩංගු යම් කරුණු සම්බන්ධයෙන් පවතින යථා තත්ත්වය ඔහුට අවබෝධ කරවීම කාලීන උචිත ක්‍රියාවක්‌ බැව් සිතුවෙමි.

ලෙව්කේ මහතා විසින් කියා ඇත්තේ "චූදිතයන්" වන බුද්ධි අංශ හමුදා නිලධාරීන් රිමාන්ඩ් ගත කර ඇති හේතුව මත "රණවිරුවන් දඩයම් කරනවා" යෑයි මතයක්‌ "රණවිරුවන් යෑයි කියාගන්නා කොටසක්‌" විසින් ගොඩනගන බවත්, එය තවමත් ඉතිරිව සිටින "අන්තවාදීන්ට" ශක්‌තියක්‌ වන බවත්ය.

පොලිසියේ වසර ගණනාවක්‌ සේවය කළ ලෙව්කේ මහතාට මා පළමුවෙන්ම කිව යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බුද්ධි නිලධාරීන් "චූදිතයන්" නොව "සැකකරුවන්" පමණක්‌ බවය. චූදිතයන් වන්නේ නඩුවක්‌ පැවරූ පසුවය. එම නිලධාරීන්ට විරුද්ධව තවමත් නඩුවක්‌ පවරා නැත. කර ඇත්තේ උසාවියට කරුණු ඉදිරිපත් කිරීමක්‌ පමණි. තවද මොවුන්ව පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ "ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත" යටතේය. එම පනත යටතේ අත්අඩංගුවට ගන්නේ එක්‌කෝ ත්‍රස්‌තවාදී සංවිධානයක සාමාජිකයන් හෝ නීතිය යටතේ වර්ගීකරණය කර ඇති ඇමැතිවරයෙක්‌, මන්ත්‍රීවරයෙක්‌ යනාදී පුද්ගලයන් ඝාතනය කළ/ ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙක්‌ පමණි. එයට එක්‌නැලිගොඩ වැනි පුද්ගලයන් අයත් වන්නේ නැත. මෙම නිලධාරීන්ව ත්‍ර. වැ. ප. යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත, දින 90 ක්‌, කිසිම පවුලේ සාමාජිකයෙක්‌ට බැලීමටවත් එන්න නොදී, ත්‍රස්‌තවාදීන්ට සේ සලකා සිරකර ප්‍රශ්න කිරීම ඔවුන්ට කරන ලද දැඩි අසාධාරණයක්‌ නොවේද? දින 90 රැඳවීමෙන් පසු උසාවියට ඉදිරිපත් කරන ලදුව එම බුද්ධි නිලධාරීන්ගේ නීතිඥයන් කරුණු දැක්‌වීමෙන් පසුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් පොලිසිය කර ඇත්තේ විශාල වැරැද්දක්‌ බවත් එබැවින් එය වහාම ඉවත් කර ගන්නා ලෙසත් පොලිසියට නියෝග කළ බව කවුරුත් දනී. ඉන් පසු මෙම බුද්ධි නිලධාරීන් විසින් එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරද ලබාදී තිබේ. එසේ නම් ලෙව්කේ මහතා කියා ඇති පරිදි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිටින්නේ කිසිදු විටෙක හමුදාවේ සගයින්ට අසාධාරණයක්‌ වන ලෙසට ක්‍රියා නොකරන, කැපවීම සහ අධිෂ්ඨාන පූර්වකව තම වගකීම් ඉෂ්ඨ කිරීම ඉතා ඉහළ මට්‌ටමක තබා ගන්නා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් නම් මෙවැන්නක්‌ සිදුවේද? ලෙව්කේ මහතා එයට කෙසේ පිළිතුරු දේ දැයි අපි බලා සිටිමු. එසේම නැගෙනහිර පළාතේ වසර ගණනක්‌ සේවය කළද තමාට අල්ලාගත නොහැකි වූ, එම පළාතේ ත්‍රස්‌ත නායකයන්ව සිටි, රාම් සහ නගුලන් නමැති දරුණු ත්‍රස්‌තවාදීන් අල්ලාගනු ලැබුවේ කර්නල් ශම්මි කරුණාරත්න ඇතුළු මෙම බුද්ධි අංශයේ නිලධාරීන් බවද ලෙව්කේ දනී. එසේ නම් ලෙව්කේ මහතා කියන, පෙර විශේෂ කාර්ය බළකායේ සේවය කළ මෙම විශිෂ්ට ගනයේ පොලිස්‌ නිලධාරීන් කර ඇත්තේ තම "හමුදා සගයන්" දඩයම් කිරීම බව කීම මුසාවක්‌ද?

ඉටුකළ හමුදා බුද්ධි නිලධාරීන් අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින අයුරු අද සියල්ලෝම දනිති. සමහර එවන් රණවිරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ වන අතර මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට පැමිණි කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍ර.වැ.ප. යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේය. අද රටේ රණවිරුවාට අත්ව ඇති ඉරණම එයයි.

රට තුළ මෙවන් ඛේදනීය තත්ත්වයක්‌ රණවිරුවනට අත්කර දෙන වර්තමාන රජය අන්තර්ජාතික ප්‍රජාව හමුවේද රණවිරුවා ඉතා නින්දිත අයුරින් පාවා දෙමින් සිටී. අද ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ අපේ රණවිරුවන් "යුද අපරාධ" කළ බවට චෝදනා කරමින් 2015 වසරේ ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවේ අඩංගු කරුණුවල ප්‍රගතිය සොයා බැලීමය.

අප ත්‍රස්‌තවාදය පරාජය කොට ජයග්‍රහණය ලබා ගත්තේ 2009 මැයි 19 වන දිනය. ඊට දින කිහිපයකට පසු ජර්මනිය රටවල් 17 ක්‌ සමඟ එක්‌වී එක්‌සත් ජාතීන්ගේ සංගමයේ විශේෂ සැසිවාරයක්‌ ඉල්ලා සිටිමින් අප රටට විරුද්ධව ගෙන ආ යෝජනාව නොබැඳි රටවල් සහ දකුණු ආසියා රටවල් එක්‌වී පරාජය කිරීමට සමත් විය. එසේ සමත් වූවා පමණක්‌ නොව අපට පක්‍ෂව අපට ප්‍රශංසා කරමින් ධනාත්මක යෝජනාවක්‌ සම්මත කර ගැනීමට ද හැකි විය. එසේ නම් යුද්ධයෙන් පසුව එ.ජා.ස ගේ මානව හිsමිකම් කවුන්සලේ සම්මත වූ ප්‍රථම යෝජනාව අපට ඉතාම හිතකර එකක්‌ බැව් අප මතක්‌ කර ගත යුතුය.

ඉන් පසු දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ විශේෂයෙන් හිලරි ක්‌ලින්ටන්, ජෝන් කෙරී ප්‍රධාන ඇමරිකාවේ ඔබාමා රජයෙහි බලපෑම මත එ.ජා. සංගමයේ මහ ලේකම් විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් පත් කරන ලද දරුස්‌මාන් වාර්තාවෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් නැවත අපට අහිතකර යෝජනා ඉදිරිපත් විය. එහි කූඨප්‍රාප්තිය වූයේ මානව හිsමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් අල් හුසේන් විසින් අපේ රටේ රණවිරුවන් යුද්ධය අවසාන අදියරෙහි යුද අපරාධ කලා යෑයි සැකසූ අසත්‍ය අභූත වාර්තාව අපේ රටේ මංගල සමරවීර නමැති විදේශ අමාත්‍යවරයා විසින් "අගය" කරමින් පිළිගැනීමය. එසේ "අගය කරමින් පිළිගෙන" ඇමරිකාව විසින් අපේ රටට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වීමය. තමාගේම හමුදාව යුද අපරාධ කළ බවට පිළිගෙන තමාගේ රටට විරුද්ධව ගෙන එන යෝජනාවකට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වූ රටක්‌ ලෝක ඉතිහාසයේ මෙතෙක්‌ වාර්තා වී නොමැත.

තවද රවිරාඡ් ඝාතනය පිළිබඳව නඩු පවරා අත්අඩංගුවේ සිටි නාවික හමුදාවේ බුද්ධි නිලධාරීහු උසාවියෙන් නිදොස්‌ කොට නිදහස්‌ කළ බවද මුළු රටම දනී. නමුත් ඊට පසුවදාම නීතිපති විසින් එම නිලධාරීන්ට විරුද්ධව අභියාචනයක්‌ ඉදිරිපත් කරන ලද බව ලෙව්කේ මහතා දනී. එය "රණවිරු දඩයමක්‌ නොවේද? ත්‍රස්‌තවාදය නිම කළ රණවිරුවන්ව ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා පසුව ඔවුන් එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වූ පසුව ඊට පසුවදාම ඔවුන්ට විරුද්ධව රජයේ නීතිපතිවරයා එසේ ක්‍රියා කරන්නේ නම් ඒ පසුපස සිටිය යුත්තේ ත්‍රස්‌ත හිතැති/ ත්‍රස්‌තවාදය තුරන් කිරීමට විරුද්ධ අයම නොවේද? එසේ නම් එය රණවිරු දඩයමක්‌ නොවේය කියන්නත් මෙබඳු පුද්ගලයන් විය හැකිද?

නීතිය ගැන හොඳින් දන්නා, එසේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිටින්නේ විශේෂ කාර්ය බළකායේ සිටි ඉතා විනයගරුක ශේ්‍රෂ්ඨ පොලිස්‌ නිලධාරීන් යෑයි පවසන ලෙව්කේ මහතාගෙන් මෙයත් විමසිය යුතුව ඇත. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ව කොටි සාමාජිකයන් 5 දෙනෙක්‌ ක්‌ලේමෝ බෝම්බයක්‌ අටවා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධවයි. මෙහිදී එම ත්‍රස්‌තයන් 5 දෙනා අත්අඩංගුවට ගත යුත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ බව පැවසීමට නීති විශාරදයන් අවශ්‍ය නැත. මන්ද පළමුව ඔවුන් ත්‍රස්‌ත සංවිධානයක සාමාජිකයන් වන අතර දෙවැනුව ඔවුන් ඝාතනය කිරීමට තැත් කළේ මන්ත්‍රීවරයකු නිසාය. නමුත් මේ කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේය. ත්‍රස්‌තයන්ව සාමාන්‍ය නීතිය යටතේත් තම "හමුදා සගයන්ව" ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ නීතිය යටතේත් කටයුතු කරන පොලිස්‌ නිලධාරීන්ගේ එම ක්‍රියාව හෙළා දකිනු වෙනුවට "සාධාරණීය" කිරීමට තැත් කිරීම හිටපු නියෝජ්‍ය පොලිස්‌පති කෙනෙක්‌ ලෙස ඔහුට තරම් නොවේ. එයින් ජනතාවට ඉතාමත් වැරදි පණිවිඩයක්‌ ලබාදෙන බැවිනි. එසේ කොටි ත්‍රස්‌තවාදීන්ට සහ ලෙව්කේ මහතාම කියන පරිදි තමාගේ සගයන්ට "දෙයාකාරව සැලකූවද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට දැඩි අවාසියක්‌/ අසාධාරණයක්‌ සිදුවන ආකාරයට ක්‍රියාකළ අදාළ පොලිස්‌ නිලධාරීන්ව "ශුද්ධ කිරීමට" තැත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ලෙව්කේගේ එම ප්‍රකාශය අප පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ ඒ නිසාය.

ලෙව්කේ මහතා තවදුරටත් තම ලිපියෙන් කියා සිටින්නේ "රණවිරුවන් දඩයම් කරනවා" යෑයි කියමින් රණවිරුවන් ලෙස "හඳුනාගත් කොටසක්‌" විසින් නිර්මාණය කරන එම ව්‍යාකූල තත්ත්වය" තවමත් ඉතිරිව සිටින "අන්තවාදීන්ට" අමතර ශක්‌තියක්‌ ලබා දෙන බවය. කවුද මේ තවමත් ඉතිරිව සිටින අන්තවාදීන්? අනිවාර්යයෙන්ම උතුරේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් හෝ උතුරේ සිවාජිලිංගම් හෝ ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් විය නොහැක. මන්ද රණවිරුවන් දඩයම් කරන විට ඔවුන් සතුටු වන බැවිනි. රණවිරුවන් දඩයම් කරන්නේ යෑයි ඇසෙන විට දුක්‌වන්නේ, කලබල වන්නේ දේශය රැකගත් රණවිරුවන්ට ආදරය කරන, ගෞරව කරන දේශ හිතෛයිෂීන්ය. ඉහත දක්‌වා ඇති ලෙව්කේ මහතා මෙහිදී අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ රණවිරුවන්ට හිතැති ඔවුනට ආදරය කරන ජනතාව නොවේද?

එසේ චෝදනා ගොනු කොට අදාළ රණවිරුවා "වැරදිකරු" කොට එම ලිපිගොනු අපේ අධිකරණයට නොව එක්‌සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්‌ඩලයට යවන්නේ නම් එසේ යෑවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ නිසි ලෙස ස්‌ථාපිත වූ සිවිල් කාර්යාලයකින් කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වූ වාර්තාවක්‌ ලෙසය. එවිට වනුයේ රෝම ප්‍රඥප්තියට අප අත්සන් නොකළද, ආරක්‍ෂක මණ්‌ඩලය වෙතින් එවන් වාර්තාවක්‌ ලදහොත් අදාළ පුද්ගලයාව ඕනෑම රටකදී අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමය. අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතින් රණවිරුවා දඩයම් කරන එකී ආකාරය එසේ නම් ලෙව්කේ මහතා දැන්වත් දැනගත යුතුවේ.

නව රජය බලයට පත්වීමට පෙර දෙන ලද විශේෂ පොරොන්දුවක්‌" අනුව අපරාධවලට වගකිව යුත්තන් අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන බව ලෙව්කේ කියයි. නව රජය එවන් පොරොන්දුවක්‌ දී ඇත්තේ කාටද? අප දන්නා පරිදි වර්තමාන රජය එවන් පොරොන්දුවක්‌ දී ඇත්තේ තමන්ට බලයට ඒමට උදව් කළ බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාවට, බටහිර රටවලට සහ ද්‍රවිඩ සංධානයටය. ඔවුන් බලයට පැමිණිදා පටන්ම සිරගත කර සිටි ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරමින් රණවිරුවා සිරගෙට යවමින් සිටින බැවින් ඒ පොරොන්දුව කුමක්‌ දැයි අපට වටහා ගත හැක. අරන්තලාවේ සාමනේර භික්‍ෂූන් කපා කොටා ඝාතනය කළ ශ්‍රී මහා බෝධිය ළඟ පෙහෙවස්‌ සමාදන් වූ උපාසිකාවන් සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ ගෝනගල බඩදරු අම්මලාගේ බඩපලා දරුවා එළියට ගෙන මාළු කපන්නා සේ කපා දැමූ ත්‍රස්‌තයන් කිසිම කොන්දේසියකින් තොරව නිදහස්‌ කළ මේ රජය එක්‌නැලිගොඩ යෑයි හඳුන්වන මාධ්‍යවේදියෙක්‌ මැරුවාය යන චෝදනාව මත බුද්ධි අංශ නිලධාරීන් රැසක්‌ දණ්‌ඩනීති සංග්‍රහයේ 236 වන වගන්තිය මත සැකපිට අත්අඩංගුවට ගෙන මාස 14 ක්‌ කිසිදු වේතනයක්‌ පාවා නොදී රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ලදී. මළ සිරුරක්‌ නැති විටක, ඇසින් දුටු හෝ වෙනත් අදාළ සාක්‍ෂි නැති විටක එම වගන්තිය යටතේ රිමාන්ඩ් ගත කර ඇත්තේ ලෙව්කේ මහතාම කියන පරිදි "පොරොන්දු" ඉටුකිරීමට මිස වෙන දෙයකට නොවේ. දේශපාලනඥයන් එසේ කරන විට අපට එය තේරුම්ගත හැක. මන්ද නරුම දේශපාලනඥයා යනු බලයේ රැඳී සිටීම සඳහා මාතෘභූමිය පමණක්‌ නොව තමාගේ මෑණියන් හෝ තමාගේ බිරිඳ වුව පාවාදීමට සූදානම් කෙනෙකු බැවිනි. නමුත් අපට තේරුම් ගත නොහැක්‌කේ දරුණු ත්‍රස්‌තයන් සමග දිවි පරදුවට තබා සටන් කළ තමන්ගේම සහෝදර හමුදා සගයින්ට මෙවන් වූ පිලිකුල් සහගත අසාධාරණයන් සිදුවන විට දේශපාලනඥයන්ගේ පැත්ත ගෙන එම ක්‍රියාවන් සාධාරණීය කිරීමට සමත් වන්නා වූ විශ්‍රාම ගිය පොලිස්‌ නිලධාරීන් අප අතර සිටීමය. විශ්‍රාම දිවිය සැපවත් කර ගැනීම සඳහා රණවිරුවා පාවාදීම පාප කර්මයකි. ජාතියට සාමය උදා කරදුන් රණවිරුවාව නිකරුණේ දඩයම් කරන අන්දම ජනාධිපතිතුමාට පහදාදී එය වැළැක්‌වීමට උත්සාහ කිරීම පුන්‍යකර්මයකි. අත්දැකීම් බහුල පරිණත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ලෙව්කේ මහතා මතු දිනක හෝ එවන් පුන්‍ය කර්මයකට දායක වනු ඇතැයි අප උදක්‌ බලාපොරොත්තු වෙමු.

No comments: