Sunday, March 26, 2017

බුද්ධි අංශය වල පල්ලෙ


බුද්ධි අංශ අවුලේ...... සියලු රහස්‌ මෙන්න 


සමන් ගමගේ

නව රජය බලයට ආ දිනයේ සිට රටට යළි "මිලේනියම් සිටි" පාවා දීම සිහිගන්වමින් බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහි විමර්ශන ආරම්භ කළ රහස්‌ පොලිසිය ඉකුත් සතියේ ඇමැති සරත් ෆොන්සේකා පැවසූ බව කියමින් ආන්දොaලනාත්මක කතාවක්‌ ගල්කිස්‌ස අධිකරණයට වාර්තා කළේය.

සරත් ෆොන්සේකා මෙසේ සීඅයිඩීයට කී කතාව වන්නේ කුමක්‌ද? ඉකුත් 2008 - 2009 වර්ෂයන්හිදී සිදුවූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර කර්තෘව සිටි උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරයන් සහ ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ සිදුවූ සියලු අපරාධවලට වගකිව යුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන්නය.

මේ කතාව කියනුයේ යුද හමුදාපතිව සිට එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් මොහොතේ "දේශපාලනයට පැමිණ සොල්දාදුවකු ලෙස දිනාගත් කීර්ති නාමය වනසා ගන්නට කිසි දිනකත් තමන් සූදානම් නැතැයි" මාධ්‍ය ඉදිරියේ සපථ කළ සරත් ෆොන්සේකා බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සීඅයිඩීයේ විමර්ශනවලදී තමන්ටද ඇඟිල්ල දික්‌වීමට පටන් ගැනීමත් සමඟ ඒ පිළිබඳ ප්‍රකාශයක්‌ ලබා දීමට පැමිණි අවස්‌ථාවක ඔහු මේ කතාව කියා ඇත. ඒ නොකර බැරි තැන කෙරුණු කැඳවීමකට අනුවය

අදාළ පහරදීම් සහ ඝාතන සිදුවන කාලයේ යුද හමුදාපතිව සිටි තමන් උතුරු නැගෙනහිර යුද්ධය මෙහෙයවූවා මිස දකුණ ඇතුළු කොළඹ සිදුවන දේ පිළිබඳ කිසිදු සොයා බැලීමක්‌ නොකළ බවද එහිදී ප්‍රකාශ කර ඇති සරත් ෆොන්සේකා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ විසින් විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ යොදාගෙන ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදීන්ට පහරදීම ඇතුළු අපරාධ සිදු කළ බව තමන් දැන සිටියේ යෑයි ද සඳහන් කර ඇත.

ඔහුගේ මේ කතාව ඇසෙද්දී අපට මතුවන ගැටලුව වන්නේ ඇත්තටම සරත් ෆොන්සේකා මේ රටේ හමුදාපති වූයේද යන්නය. ඔහු හමුදාපතිව සිටියේ නම් මේ කියන අන්දමට එක්‌කෝ නිසි ලෙස හමුදාවට නායකත්වය දී නැත. එය තවත් විදියකට කියතොත් සරත් ෆොන්සේකා ඒ දිනවල සිට ඇත්තේ හමුදාපතිකම ළමයකුට දීය.

සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකාම වරක්‌ කී පරිදි මහ රෑ ජාමෙට ඇගේ සිරුර මත සිතියම දිගහැරගෙන යුද්ධය මෙහෙයවූ සරත් ෆොන්සේකා කොළඹ යුද හමුදා මූලස්‌ථානය තුළදීම මරාගෙන මැරෙන කොටි කාන්තාවකගේ ප්‍රහාරයකට ගොදුරු වූයේ මෙසේ කොළඹ පිළිබඳ සොයා නොබැලීම නිසාද විය හැකිය. පුදුමයට කරුණ වන්නේ තමන්ට බෝම්බ ගැහුවේත් ගෝඨාභය සහ හෙන්දාවිතාරණ බව මෙහිදී සරත් ෆොන්සේකා කියා නොතිබීමය.

ඇත්තෙන්ම සරත් ෆොන්සේකා සාධකය තුළ සිට මෙසේ කතා කිරීමට වේ යෑයි අපි කිසි දිනක නොසිතුවෙමු. මෙලෙස සටහන් කිරීමට සිදුවීම අපේ සිතටද වේදනාකාරීය. එහෙත් වීරයා මඩේ නාද්දී ගඳයි කියනු හැර අපට කියන්නට වෙන දෙයක්‌ ද නැත.

සරත් ෆොන්සේකා මහතා හිටපු ආරක්‍ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් මෙවැන්නක්‌ පවසද්දී සීඅයිඩීයේ විමර්ශකයන් කරනු ලැබුවේ කුමක්‌ද? කිසිදු වගවිභාගයකින් තොරව ඒ කතාව අධිකරණයට වාර්තා කිරීමය. එහෙත් රහස්‌ පොලිසිය තිබෙන්නේ එසේ කටයුතු කිරීමටද?

අද සරත් ෆොන්සේකා කුමක්‌ කීවද ඔහුද රාජකාරී කළ යුද හමුදාවේ කටයුතු සිදුවන නිසි පටිපාටියක්‌ ඇත. සාමාන්‍යයෙන් යුද හමුදාවේ ඕනෑම නිලධාරියකු හෝ සෙබළකු ස්‌ථානගත කර සිටින්නේ කොතැනකදැයි යන්න නියත වශයෙන්ම යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ දැන සිටින්නේය. ඔහුට හොරෙන් කිසිවක්‌ සිදු කළ නොහැකිය. එසේම එකී නිලධාරියාට හෝ සෙබළාට වැටුප් ගෙවීමක්‌ සිදු වන නිසා ඔහු කරන රාජකාරිය කුමක්‌දැයි අනිවාර්යයෙන්ම වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වාර්තා වන්නේය.

මෙකී කාල සීමාවේදී මේජර් ජෙනරාල් උදය පෙරේරා යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ විය. වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ වූයේ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චිය. රහස්‌ පොලිසිය මෙහිදී අදාළ සිද්ධීන් පිළිබඳ නිවැරදි විමර්ශනයක්‌ සිදු කළේ නම් විය යුතුව තිබුණේ සරත් ෆොන්සේකා කී කතාව ගැන මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි කැඳවා විමසීමක්‌ කිරීමය.

එහෙත් එවැන්ක්‌ සිදුව නැත. ලසන්ත ඝාතනය වැනි රටම හෙල්ලුම් කෑ විමර්ශනයක්‌ හමුවේ රහස්‌ පොලිසිය එසේ නොසැලකිලිමත් ලෙස කටයුතු කළේ කුමක්‌ නිසාද? සීඅයිඩීය එවන් විමසීමක්‌ සිදු කළේa නම් සරත් ෆොන්සේකා කියන අන්දමේ අභිරහස්‌ හමුදා කණ්‌ඩායමක්‌ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ බුද්ධි අංශ ප්‍රධානියා යටතේ සිටියේද සහ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලිව අනාවරණය කර ගැනීමට ද අවස්‌ථාව තිබිණ.

එහෙත් ඔවුන් කරනු ලැබුවේ සරත් ෆොන්සේකා කී කතාව ගෙඩිය පිටින් ගෙන ගොස්‌ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ නමද සඳහන් කර ගල්කිස්‌ස අධිකරණය හමුවේ දිග හැරීමය.

අඩුම තරමේ සරත් ෆොන්සේකා කියන කණ්‌ඩායම පිළිබඳවවත් සොයා බැලීමක්‌ නොකෙරිණි. කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව මේ අන්දමට අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කරන්නට නම් රහස්‌ පොලිසියක්‌ අවශ්‍ය නැත. ලිවීමේ සහ කියවීමේ හැකියාව පමණක්‌ ඇති පොඩිවුන් ටිකකට වැඩේ පැවරුවොත් ඔවුන්ද මේ ටික කරනු ඇත.

රහස්‌ පොලිස්‌ විමර්ශකයන් මේ අන්දමට කටයුතු කළේ කුමක්‌ නිසාද? එය මෙහිදී මතුවන ඉතාම වැදගත් ප්‍රශ්නය වන්නේය. එහෙත් ඊට පෙර කියන්නට කතාවක්‌ද අපට ඇත. ඒ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ පිළිබඳවය.

හෙන්දාවිතාරණ යනු කවරෙක්‌ද? මෙය කියවන මිනිසුනේ දැන ගන්න. ඔබත් මාත් මේ මොහොතේත් ප්‍රභාකරන්ගේ බෝම්බයක ගොදුරක්‌ නොවී හුස්‌ම ගනිමින් ජීවත් වන්නේ නම් එසේ වී තිබෙන්නේ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණලා වැනි උපන් බිමට සහ ජනතාවට හදවතින් ආදරය කරමින් දිවි පරදුවට තබා මේ රට වෙනුවෙන් දහසක්‌ කැපකිරීම් කළ වීරයන් නිසාය.

අද මෙන්ම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඉලක්‌ක කර ඉකුත් 2002 වසරේ සිදුවූ "මිලේනියම් සිටි" මහා පාවදීම දීම සිදු වෙද්දී "මිලේනියම් සිටි" නිවස්‌නය ඇතුළුව දිගුදුර විහිදුම් බළකායේ බුද්ධි රණවිරුවන්ට අණ දුන් බුද්ධි අංශ නායකයා වූයේ කපිල හෙන්දාවිතාරණය.

"මිලේනියම් සිටි" පාවා දීම හමුවේ මේ රට වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කළ මේජර් මුතාලිµa ඇතුළු බුද්ධි අංශ රණවිරුවන් සහ ඔත්තුකරුවන් එකා පිට එකා එල්ටීටීඊයේ ගොදුරු වෙද්දී ඉන් දිවි ගලවා ගත් අතලොස්‌සෙන් කෙනකු ලෙසද මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ හඳුන්වා දිය හැකිය.

එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වූ හෙන්දාවිතාරණ කර්නල් නිලයේ පසුවූ අතර ඔහුගේ දෙවැනියා ලෙස යුද හමුදා බුද්ධි බළකාය සහ "මිලේනියම් සිටි" කණ්‌ඩායම පසුපස සිටියේ යහපාලනයට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වූ බ්‍රිගේඩියර් සලේ හෙවත් එවකට මේජර් සලේය.

යුද හමුදා මහසොහොන් බළකායට ඉකුත් 2000 වසරේ සිට බුද්ධි නායකත්වය දුන්නේද මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණය. එසේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ අදහසකට අනුව මහසොහොන් බළකායට අටේ කණ්‌ඩායම් ක්‍රමය හඳුන්වා දෙමින් කොටි නායකයන් එල්ටීටීඊ බලප්‍රදේශයන් තුළදීම අවසන් ගමන් යවන්නට කටයුතු කළේද ඔහුය.

මෙසේ ක්‍රියාත්මක වීම හමුවේ පසුගිය කාලයේ ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්‌තුවේ හතරවැනි ස්‌ථානයේ සිටින්නටද මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට සිදු විය.

ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ මෙරට ඉතිහාසයේ පළමු වතාවට හමුදා කණ්‌ඩායමක්‌ මැලේසියාවට යවා ඊශ්‍රායලයේ මොසාඩ් ක්‍රමයට අනුව යමින් කිසිදු ලේ වැගිරීමකින් තොරව එල්ටීටීඊයේ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ව අත්අඩංගුව ගැනීමට සිදු කළ අතිවිශිෂ්ට මෙහෙයුමේ මහ මොළකරු වන්නේද ඔහුය.

සත්‍ය එය වුවත් මේ වන විට බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කරමින් නින්දිත දඩයමක යෙදී සිටින රහස්‌ පොලිසිය කපිල හෙන්දාවිතාරණ නම් වූ රට වෙනුවෙන් දහසක්‌ දේ කළ කිර්තිධර බුද්ධි නිලධාරියාටද ලබන සතියේ සීඅයිඩීයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන වගක්‌ද මේ සටනහ තබන මොහොතේ දැනගැනීමට ලැබිණ.

සීඅයිඩීය අද මේ අන්දමට රඟමින් සිටින්නේ කුමක්‌ නිසාද? දැන් අප එන්නේ මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ පිළිබඳ කතා කරන්නට පෙර මේ කතාව නතර කළ තැනටය.

ඉකුත් 2015 ජනවාරි අටවැනිදා යහපාලනය බිහිවීමත් සමඟ සීඅයිඩීය ඇරඹූ විමර්ශන ගණනාවක්‌ම ඇත. ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය, පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනය, ප්‍රවීණ මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්ට සහ කීත් නොයාර්ට පහරදීමේ විමර්ශන ආදිය ඒ අතර ප්‍රධානම තැනක තිබිණ.

මේවා පිළිබඳ විමර්ශන සිදුවිය යුතුය. එසේම අපරාධකරුවන් සිටීනම් ඔවුනට එරෙහිව නීතියද ක්‍රියාත්මක විය යුතුය. එහි කතා දෙකක්‌ නැත. එහෙත් මේ සියලු සිද්ධීන් ගත් කල පෙනී යන එක්‌ පැහැදිලි ලක්‍ෂණයක්‌ද ඇත. එය වන්නේ එන්ජීඕ නඩ ඇතුළු මේ රටට ෙද්‍රdaහීවූ සියලු පාර්ශ්ව පසුගියට රජයට ඇඟිලි දිගු කරමින් හන්දියක්‌ හන්දියක්‌ ගානේ මොරදුන් සිදුවීම් බවට පසුගිය කාලයේ මේවා පත්ව තිබීමය.

එසේම මේ සියලු සිද්ධීන් යහපාලන දේශපාලන වේදිකාවන්හිද ප්‍රබල මාතෘකා බවට පත්වූ ඒවාද විය. යහපාලනයත් සමඟ රහස්‌ පොලිසිය මෙම සිද්ධීන් පිළිබඳ කඩිනම් විමර්ශන අරඹන්නේ එවන් වූ දේශපාලන පසුබිමක්‌ද එකී ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් ගොඩනැගී තිබියදීය.

අප නම් හැමදාමත් කීවේ මේ විමර්ශනවලදී හරි දේ හරි විදිහට සිදු විය යුතුයෑයි කියාය. එසේ නැතිව ජාතික ආරක්‍ෂාව බිල්ලට දෙමින් මේ හරහා බුද්ධි අංශ දඩයමක්‌ සිදුවන්නේ නම් ඒ දෙස ගොළුවන් බිහිරන් සේ බලා සිටින්නටද අපට නොහැකිය.

මෙසේ සීඅයිඩීය ආරම්භ කළ විමර්ශන මාලාවට අනුව ඔවුන් මුලින්ම කරළියට ගෙන ආ කතාව වූයේ ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්¨ශනය ය. එහෙත් මෙහිදී සිදු කෙරුණේ කුමක්‌ද? කිසිදු පදනමකින් තොරව විවිධ පුද්ගලයන් ගෙන රජයේ සාක්‍ෂි මත යෑපෙන්නට ගිය රහස්‌ පොලිසිය අවසානයේ සිදුකළේ එල්ටීටීඊයේ පරාජයෙන් පසු ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා දක්‌වාම කොටින්ගේ යළි පිබිදීම වැළැක්‌වීම සඳහා ඉතාම රහසේ ක්‍රියාත්මක වූ "ඔපරේෂන් ඩබල් එඡ්" නමැති අතිසාර්ථක බුද්ධි මෙහෙයුම සහමුලින්ම විනාශ කර දැමීමය.

එකී විමර්ශනයට අනුව අදටත් එක්‌නැලිගොඩ මැරුවාද, මැරුණාද යන්න පිළිබඳව නිශ්චිත ලෙස අනාවරණය කර ගැනීමට සීඅයිඩීය සමත්ව නැත. මේ වන විට වසර දෙකක්‌ ගතවී ඇතත්a එක්‌නැලිගොඩට මොකද වුණේ කියා කිසිවකුත් දන්නේද නැත.

එහෙත් ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අයුරින් "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම ඇතුළුව මේ රට වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක්‌ කළා වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් නව දෙනකුට එරෙහිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර ඔවුන් බන්ධනාගාරගත කරවන්නට පසුගිය කාලයේ කටයුතු කෙරිණ.

මේ අතරේ විවිධ දේ පවසා අධිකරණයට කරුණු වාර්තා කරමින් යුද හමුදාව සතුව තිබූ ජාතික ආරක්‍ෂාවට අතිශය වැදගත් වන්නා වූ ඉතාම සංවේදී තොරතුරු පවා තමන් භාරයට ගන්නටද විමර්ශකයෝ පියවර ගත්හ. එම තත්ත්වය තුළ අද වන විට එක්‌නැලිගොඩ විමර්ශනය හමුවේ සිදු වූ එකම දෙය වී තිබෙන්නේ හමුදා බුද්ධි අංශ රහස්‌ අනාවරණය වෙමින් ජාතික ආරක්‍ෂාවට පැහැදිලි තර්ජනයක්‌ එල්ල වීම බවද සඳහන් කළ යුතුය.

පසුගිය කාලයේ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනයද එවැන්නකි. එහිදී රවිරාඡ්ට වෙඩි තැබීම සඳහා ඝාතකයා යතුරු පැදියක නංවාගෙන ගිය ප්‍රීතිවිරාඡ් මනම්පේරි නම් වූ පොලිස්‌කාරයා රජයේ සාක්‌කිකරුවකු කරමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු දංගෙඩියට යවන්නට රහස්‌ පොලිසිය දැඩි ලෙස උත්සාහ ගත්තේය.

එහෙත් කොළඹ මහාධිකරණය මගින් එකී නාවික හමුදා බුද්ධි නිලධාරීන් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

රවිරාඡ් නඩුව විභාග වෙමින් තිබියදීම සීඅයිඩීය සිය විමර්ශන මාලාවට අනුව ඊළඟට සමාජය අතරට ගෙනා කතාව වූයේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ය. එහිදී ලසන්තගේ රියෑදුරා පැහැරගත් බව කියමින් "මිලේනියම් සිටි" පාවා දීමේදී පාවා ජීවිතය බේරාගෙන රටට සේවය කළ සුවිශේෂී බුද්ධි නිලධාරියකු වූ ප්‍රේමානන්ද උදලාගමව අත්අඩංගුවට ගත් ඔවුන් ඔහුව බන්ධනාගාරගත කළේය. එසේ බන්ධනාගාරගත කර සිටියදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියටද උදලාගමව සම්බන්ධ කෙරිණ.

මේ සියල්ල සිදු වන්නේ එවකට රිවිර පුවත්පතේ කර්තෘ වූ උපාලි තෙන්නකොන් මහතා තමන්ට සිදුවූ පහර දීම පසුපස සිටිනුයේ සරත් ෆොන්සේකා බව පැහැදිලිවම රහස්‌ පොලිසියට ප්‍රකාශ කර තිබියදී ය. එහෙත් ලසන්ත ඝාතන විමර්ශනයේදී කිසිම අවස්‌ථාවක සරත් ෆොන්සේකා කැඳවා ප්‍රකාශයක්‌ ගන්නට සීඅයිඩීය කටයුතු නොකළේය. ඒ ගැන අහන්නට සරත් ෆොන්සේකා කැඳවූයේ මීට සති දෙකකට පමණ ඉහතදීය.

මේ අන්දමට අද බුද්ධි අංශවලට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවල ඇති ගැටලු සහගත තැන් බොහෝය. ඒවායෙහි කිසිම විනිවිදභාවයක්‌ද පෙනෙන්නට නැත. යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලදී දකින්නට ලැබෙන එකම විශේෂත්වය වන්නේ බොහෝ විට රට වෙනුවෙන් විශාල කැපකිරීම් කරමින් කටයුතු කළාවූ බුද්ධි නිලධාරීන් තෝර තෝරා සිරගත කිරීම සීඅයිඩීයේa ඉලක්‌කය වී තිබෙන බවය?

වැල්ලවත්තේදී ළමුන් පස්‌දෙනකු පැහැර ගත්තේ යෑයි කියමින් දැනට සිරගත කර සිටින නාවික හමුදා බුද්ධි අංශයේ කමාණ්‌ඩර් රණසිංහ ඇතුළු පිරිස මෙන්ම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගත් බව කියමින් සිරගත කර සිටින නාවික හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කමාණ්‌ඩර් ධම්මික අනිල් මාපාත් කීත් නොයාර්ට පහර දුන්නේ යෑයි කියමින් බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු රණවිරුවන් පිරිසත් මේ රට වෙනුවෙන් ඉටු කර ඇති සේවය දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන්නකි.

එක්‌නැලිගොඩ සිද්ධියේ සිට මේ දක්‌වා සීඅයිඩීය මගින් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ සියලුම බුද්ධි නිලධාරීහු ඉකුත් යුද සමයේ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා දිවි පරදුවට තබා දැඩි කැපවීමකින් කටුයුතු කළෝම වන්නාහ.

රහස්‌ පොලිසියේ විමර්ශනවල යථාර්ථවාදී කතාව එසේ වෙද්දී කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසට ලබන තිස්‌ වැනිදා ඇප ලැබෙන තත්ත්වයක්‌ ද මේ වන විට නිර්මාණය වී ඇත.

ඒ ඔවුන්ට එරෙහිව සාක්‍ෂි දීම සඳහා දැනට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින මාධ්‍යවේදී කීත් නොයාර් ශ්‍රී ලංකාවට ඒම ප්‍රතික්‍ෂෙප කර ඇති නිසාය. මේ කරුණ හමුවේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස ඇප මත නිදහස්‌ වුවහොත් අනෙකුත් සියලු විමර්ශන සේම සීඅයිඩීයේ විමර්ශකයෝ කීත් නොයාර් විමර්ශනයේදීත් අසමත්හු වන්නාහ. එය ඔවුන්ට වදින ප්‍රබල කනේ පහරකි.

එහෙයින් බුලත්වත්ත ඇතුළු පිරිසට ඇප ලැබීම කෙසේ හෝ වළකා ගැනීම සිදු කළ යුතුය. රහස්‌ පොලිසියේ විමර්ශකයෝ අද කඩිමුඩියේම සරත් ෆොන්සේකාගේ කතාව අධිකරණයට රැගෙන යන්නේ මෙන්න මේ හෙතුaව මුල්කරගෙනය. එමගින් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස මාධ්‍යවේදී ලසන්ත ඝාතනයටද සම්බන්ධ කර තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ඔවුන්ගේ ඉලක්‌කය බව ඉතාම පැහැදිලිය.

මේ අන්දමට බුද්ධි අංශ කෙරෙහි වෛරී විමර්ශන සිදු කරන විමර්කයෝ අද මෙකී ඝාතන සහ පහරදීම් හමුවේ කළ යුතු දේ කොතෙක්‌ නොකර සිටින්නාහුද? ලසන්ත වික්‍රමතුංගගේ සිරුර යළි ගොඩගෙන සිදු කළ දෙවන වෛද්‍ය පරීක්‍ෂණයට අනුව ඔහුගේ ඝාතනය සිදුව ඇත්තේ විශේෂිත අවියකින් කළ පහරදීමකින් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නකි.

එහෙත් මේ අවිය කුමක්‌ද සහ ලසන්ත ඝාතනය සිදුවන කාලසීමාවේ එකී අවිය තිබුණේ කොතැනකදැයි යන්න පිළිබඳ සීඅයිඩීයේ විමර්ශකයන් තවමත් සොයා බැලීමක්‌ කර තිබේද? එසේ කටයුතු කර නැතිනම් ඒ අතපසු වීම සිදුව ඇත්තේ කුමක්‌ නිසාද? ඒ පිළිබඳ මෙතෙක්‌ යුද හමුදාවෙන් විමසීමක්‌ කළ බවක්‌ ද දැන ගැනීමට නැත.

පසුගිය යුද සමයේ මෙවන් අවි පහක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කෙරුණු බව එකල අපට වාර්තා විය. ඒවා ගෙන්වා තිබුණේ යුද හමුදාවටය. එසේ නම් යුද හමුදාවට අවි සැපයූ සමාගම් වෙත ගොස්‌ ඒ පිළිබඳ විමර්ශන කිරීමට සීඅයිඩීය කටයුතු නොකරන්නේ මොන හේතුවක්‌ නිසාද? එසේ කළහොත් මේ අවියේ රහස හෙළිවෙතැයි වැනි බියක්‌ ඔවුන් ඇතිවී තිබේද?

ලසන්ත ඝාතන විමර්ශනය සිදුවන අතරේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් පසුගිය දිනවල රහස්‌ පොලිසියට ගොස්‌ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එක්‌ විශේෂ පැමිණිල්ලක්‌ කර තිබිණි. එහිදී ඔහු බුද්ධි අංශ පිළිබඳව නොව යුද සමයේ කොළඹ සිට ක්‍රියාත්මක වූ යුද හමුදා 112 බ්‍රිගේඩය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්‌ සිදු කළ බවද දැනගැනීමට ලැබිණ.

එහෙත් අදටත් සීඅයිඩීය ඒ පිළිබඳ විමර්ශන කළ බවක්‌ ද දැන ගැනීමට නැත. එසේ වන්නේ කුමක්‌ නිසාද? අප දන්නා පරිදි 2008-2009 කාලසීමාවේදී මේ 112 බ්‍රිගේඩයේ ප්‍රධානියා ලෙස එක්‌තරා යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු පත්ව ආවේය. හෙතෙම එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ හරියටම මාස තුනක පමණ කාලයකි. ඒ 2008 සැප්තැම්බර් 16 වැනිදා සිට 2009 ජනවාරි 19 දක්‌වාය. පසුව ඔහු යුද හමුදා මූලස්‌ථානයට ස්‌ථාන මාරු විය.

යුද හමුදා ඉතිහාසයේ කිසි විටෙකත් බළසේනාවක හෙවත් බ්‍රිගේඩයක ප්‍රධානියකු මෙසේ මාස තුනකින් ඉවත්ව නොයන්නේය. එසේ නම් මේ බ්‍රිගේඩියර්වරයා එසේ ඉවත්ව ගියේ කුමක්‌ නිසාද? ඒ ගැන මෙතෙක්‌ සීඅයිඩීය සොයා බැලීමක්‌ කර තිබේද? මේ පිළිබඳ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ඇසුවොත් තමන් ඒ ගැන නොදන්නේ යෑයි ඔහු කියනු ඇත. එහෙත් එවැන්නක්‌ එදා සිදු විය.

මෙකී 112 බ්‍රිගේඩයට අනුයුක්‌තව එදා යතුරු පැදිවලින් ගමන් ගන්නා ප්‍රහාරක කණ්‌ඩායමක්‌ද සිටියහ. කොළඹ කොල්ලුපිටියේ ස්‌ථානගතව තිබූ මේ බළසේනාවෙන් සිදුකළේ ද කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතු සොයා බැලීමය. එසේ නම් මේ බ්‍රිගේඩය ගැන සොයා බැලීමක්‌ නොකර සීඅයිඩීය අද බුද්ධි අංශ නැට්‌ටේම එල්ලෙන්නේ මොන අහේතුවකටද?

අද විමර්ශන මුවාවෙන් මේ ඉටු කෙරෙමින් තිබෙන්නේ බුද්ධි අංශ දියකර දමා රට අරාජික කර වෙනත් පාර්ශ්වයක මනදොළ පිනවීමේ වැඩපිළිවෙළක්‌a වීම එයට හේතු වී තිබෙන්නේද? අප ඒ ප්‍රශ්නය මෙහිදී නඟන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය මේ කෙරෙහි දැඩිව යොමු කරනු පිණිසය.

බුද්ධි අංශ දඩයම හමුවේ සිදුවන විනාශයෙන් මේ රට ගලවා ගැනීමට ජනාධිපතිවරයා හැර අන් කිසිවකුත් නැති බව අපේ එකම විශ්වාසය වී තිබෙන්නකි. එහෙයින් ඔහුට මේ අවනඩුව දෙස බලන්නැයි කියනු හැර අපට අද වෙන කියන්නට දෙයක්‌ ඉතිරිව නැත.
Post a Comment