Wednesday, August 10, 2016

සිගිරි ළඳුන්ගේ නිරුවත් උඩුකය ගැන සත්‍ය තත්වය

























සීගිරියේ ඇති බිතුසිතුවම් වල ඇති ළඳුන්ගේ රූප වල උඩුකය නිරුවත් කියල අපේ රටේ බොහොමයක් දෙනා හිතන එක  වැරදී බව  මා වාර කිහිපයකදීම පෙන්නා දුන්නේ එකී රුප  ඇඳි චිත්‍ර ශිල්පියා ඔවුන් දුහුල් සළුවක් හැඳ සිටින අන්දමින් චිත්‍රය ඇඳ ඇති  බව  බලන ලෙසය. මේ  කාරණය  මැනවින් විස්තර කර ඇති ලිපියක්  අද දිවයින පත්‍රයේ පල කර තිබෙනවා. එම ලිපිය බොහෝ දෙනා සැලකිල්ලෙන්  කියවිය යුතු යයි මා අදහස් කරන නිසා එම  ලිපිය මෙහි  පල කරනවා . මෙ ගැන දිවයින කතෘ තුමා සහ බොහෝ වෙහෙසක් දරා ලිපිය සම්පාදනය කල  කුසුම්සිරි කොඩිතුවක්කු  සහ කල්පනී සුබෝධා බණ්ඩාර ලේඛක තුමියන්   උරන නොවනු ඇතයි මා බලා පොරොත්තු වෙනවා .
 සීගිරි සිතුවම්වලින් හෙළිවන අතීත 
ලංකාවේ කාන්තා විලාසිතා

කුසුම්සිරි කොඩිතුවක්‌කු සහ කල්පනී සුබෝධා බණ්‌ඩාර
මධ්‍යම සංස්‌කෘතික අරමුදල, සීගිරිය කෞතුකාගාරය






ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව ගැන කතා කිරීමේදී නිතැතින් ම අපගේ මතකයට නැගෙනුයේ සීගිරි සිතුවම් ය. ශ්‍රී ලාංකේය සිතුවම් කලා ඉතිහාසයේ සම්භාව්‍ය යථාර්ථවාදී සම්ප්‍රදායක්‌ සනිටුහන් කරන සීගිරි සිතුවම් ක්‍රි.ව. 5 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව ඉතා දියුණු මට්‌ටමක පැවති බවට පැහැදිළි නිදසුනකි. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල, සීගිරි පර්වත බිත්තියෙහි රූප පන්සියයක්‌ තිබූ බව සඳහන් වෙතත් අද දක්‌නට ලැබෙනුයේ ලෙන් කුහරය තුළ ශේෂව ඇති ලළනා රූප 18ක්‌ පමණි. එහෙත්, හඳුනාගත හැකි සාධක අනුව සමස්‌ත බටහිර පර්වත බිත්තියෙහි සහ කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයෙහි ද සිතුවම් ඇඳ තිබූ බවට සාධක පවතී.

මෙම සිතුවම්වලින් නිරූපණය කෙරෙනුයේ, කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරිපත්ව ඇති මත බොහෝ ය. ඒ අතරින් සීගිරියට නුදුරු පිදුරංගල විහාර වන්දනාවට යන කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්‌ත්‍රීන් ය යන එච්.සී. පී. බෙල් මහතාගේ මතය ද, දිව්‍ය අප්සරාවන් ය යන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතාගේ මතය ද, වැහි වලාකුළු හා විදුලිය සංකේතවත් කරන මේඝලතා හා විඡ්ජුකුමරි යන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය ද ප්‍රමුඛ වේ.

සීගිරි සිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ මහිමය පෙරදැරි කොටගත් අග්‍රගන්‍ය උරුමයක්‌ වන්නාසේම, අනුරාධපුර යුගයේ කාන්තා විලාසිතා පිළිබඳව දෘශ්‍යමාන සාධක සපයන මූලාශ්‍රයක්‌ ලෙස ද හඳුනාගත හැකිය. අපගේ සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන් වන අතීත ශ්‍රී ලංකාවේ කාන්තා විලාසිතාවන්හි නිරූපණයන් මේ අනුසාරයෙන් වඩාත් ප්‍රත්‍යක්‍ෂ කොට 

ගත හැකි ය.






මෙම සිතුවම්වලින් 
නිරූපිත කාන්තා රූප සියල්ල ම උඩුකය නිරූපිත ඒවා වන අතර, මීට වසර කිහිපයකට පෙරාතුව කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයෙන් සම්පූර්ණ ශරීරය නිරූපිත කාන්තා රුවක්‌ද හඳුනාගත හැකිවිය. සීගිරි ශිලා උද්‍යානයේ දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහි ද මෙවැනි රූප කිහිපයක්‌ දැකිය හැකි ය. මෙම කාන්තා රූප කහ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ශරීර පැහැ දෙකකින් හඳුනාගත හැකිය. කුරුටු ගීවල එම කහ පැහැති රූප රන්වනුන් ලෙසත්, දුඹුරු පැහැති රූප මහනෙල්මල්වනුන් ලෙසත් දක්‌වා තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විඡ්ජුකුමාරි ලෙසත්, මේඝලතා ලෙසත් නම්කර ඇත්තේ පිළිවෙලින් එම රූප දෙවර්ගයයි. රන්වනුන් පැළඳ සිටින සැට්‌ට ඉතා දුහුල් ශරීරය විනිවිද පෙනෙන ඒවා වේ. දුඹුරුවන් ස්‌ත්‍රින් අතරින් ඇතමෙක්‌ තද පැහැති වර්ණයෙන් යුතු සැට්‌ටවලින් සැරසී සිටී. එම සැට්‌ටවල කර ගෙල දක්‌වාම පියවා පිට ප්‍රදේශයෙන් විවර කිරීමට හැකි වන අයුරින් නිමවා තිබේ. එක්‌ ස්‌ත්‍රියකගේ සැට්‌ටයේ පපු ප්‍රදේශයේ රේඛා මෝස්‌තරයක්‌ දැකිය හැකිය. එය කොළ පැහැති ඝන රේඛාවකින්, ඒ දෙපසින් වූ සැට්‌ටයේ වර්ණයෙන්ම යුතු (දුඹුරු පැහැති) රේඛා දෙකක්‌ හා ඊටත් පිටතින් වූ කහ පැහැති රේඛා දෙකකින් සමන්විතය.

මෙලෙස රේඛා මෝස්‌තර නොමැති තනි වර්ණයේ සැට්‌ටද දැකිය හැකිය. එම රූප අතරෙහි කුචබන්ධය (තනපටය) පැළඳි කහ පැහැති කාන්තා රුවක්‌ද දැකිය හැකිය. එම කුචබන්ධය පයෝධර දෙක මධ්‍යයෙන් උරහිස්‌ හා උකුල ඔස්‌සේ කතිර හැඩයට පැළඳි එකකි. එහි මධ්‍යයෙහි මැණික්‌ ගල් ඇල්ලූ අලංකාර සැරසිල්ලක්‌ද දැකිය හැකිය. සීගිරියෙන් හමු වූ මැටියෙන් කළ කාන්තා රූප කිහිපයකද මෙවැනි පළඳනා දක්‌නට ලැබේ. මෙම රූපවල යටිකය වැස්‌ම නෙරු පොටක්‌ සහිත ධෝතියකි. එම ධෝති තනි වර්ණයෙන් යුක්‌ත වන අතර එක්‌ කාන්තා රූවක්‌ තිරස්‌ වර්ණ තීරු සහිත ධෝතියකින් ද සැරසී සිටී. සීගිරි කුරුටු ගීවල සඳහන් වන පරිදි එම කාන්තාවන් පැළඳ සිටින රෙදි චීන සේද (සින පට) සේද රෙදි (පට වරල්ල) හා තුනී රෙදි (සිහින් පිළි), වේ.

මෙම කාන්තාවන් පැළඳ සිටින කුණ්‌ඩලාභරණ රෝදයක්‌ වැනි වටකුරු හැඩයේ ඒවා ය. එහි පිටපැත්තේ මධ්‍යයෙන් උන්නත දාරයකි. රූපවල මිනුම් ප්‍රමාණ හා සැසදීමේ දී මෙවැනි කුණ්‌ඩලාභරණයක්‌ සෙ.මී. 4 ක පමණ විශ්කම්භයකින් යුක්‌තය. සෑම කාන්තාවක්‌ම කර මාල කිහිපයක්‌ පැළැඳ සිටිනු දැකිය හැකිය. පහතින්ම ඇත්තේ පියයුරු මධ්‍යය දක්‌වා එල්ලෙන මුතු පොටවල් කිහිපයකින් (හතරක්‌) සැදි මාලයක්‌ හෝ පොටවල් කිහිපයක්‌ සහිත (රන් ?) මාලයකි. ඊට ඇතුළතින් ගල් ඇල්ලූ (රතු හෝ නිල්) රනින් කළ විශාල වටකුරු පෙන්ඩනයක්‌ සහිත තැල්ලකි. පෙන්ඩනය ද වට කිහිපයකින් යුතු වෘත්තාකාර හැඩයකින් යුක්‌ත වන අතර මධ්‍යයේ අල්ලා ඇති මාණික්‍ය වඩාත් පිටතට නෙරා සිටින ආකාරයට සකසා තිබේ. මීට අමතරව පෙති සහිත මලක ස්‌වාභාවයෙන් යුතු පෙන්ඩන විශේෂයක්‌ද දැකිය හැකි ය. එහි වට කිහිපයක්‌ සහිත අවුමට පිටතින් ඇති පෙති මෝස්‌තරය ද රනින්ම නිමවා තිබේ. මෙම පෙන්ඩනය සහිත මාලය මුතු පොටක ස්‌වභාවයෙන් හා මෝස්‌තර රහිත රිදී හෝ රන් පොටක ස්‌වභාවයෙන් යුක්‌තය.

මෙම තාලිය ට ඉහළින් කෙටි කර මාලයකි. එහි මධ්‍යයේ නිල් පැහැති මාණික්‍ය හා දෙපස ගල් සහිත මෝස්‌තරයකි. ඇතැම් කාන්තා රූපවල මෙම කර පළඳනා වලට අමතරව පබළු කිහිපයක්‌ ඇල්ලූ ගෙලටම තදකොට බඳින ලද නූල් පොටක්‌ වැනි යමකින් නිමවා ඇති තවත් පළඳනාවකි. කුරුටු ගී කිහිපයක මෙම කාන්තාවන් පැළඳ සිටින ගෙළ පළඳනා රන් දම්වැල් (හෙම්යති, රන්දම්, රන්මාල) හා මුතු වැල් ලෙස දක්‌වා තිබේ.

සෑම කාන්තාවක්‌ ම වළලු හා බාහු පලඳනා පැළඳ සිටී. මුතුවැල් පැළඳ සිටින කාන්තාවන් බාහුවල පැළඳ සිටින්නේ ද මුතු වැල්ය. එම මුතුවැල් පොටවල් හතරකට නිමවා තිබේ. සෑම කාන්තාවක්‌ම අත්වල වළලු පහකට වැඩි සංඛ්‍යාවක්‌ පැළඳ සිටින අතර එම වළලු පෙළෙහි මුල සහ අග වළලු මැණික්‌ ගල් අල්ලා මෝස්‌තර සහිතව නිර්මාණය කළ ඒවා වේ.

මෙම කාන්තාවන්ගේ වරලස පිටුපසට බැඳ මුදුන දක්‌වා නැවත එක්‌කොට බැඳ ඇති මුත් මුදුනින් උස්‌ව පෙනෙන ලෙස සකසා නොමැතිය. මෙලෙස වරළස හිස මැදට යොදා සැකසීමේ දී භාවිතා කළේ යෑයි සිතිය හැකි ලෝහමය කොණ්‌ඩා කටුවක්‌ සීගිරියේ කැණීම්වලින් හමු වී ඇති අතර එය දැනට සීගිරිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එක්‌ ස්‌ත්‍රියකගේ පමණක්‌ කියඹු දැකිය හැකිය. සෑම කාන්තාවක්‌ම නළල් පටක්‌ පැළඳ සිටින අතර ස්‌වාභාවික මල් වලින් සැකසූ හා ගල් ඇල්ලූ හිස්‌ පළඳනාවන්ගෙන් සැරසී සිටී. හිස පළඳනා සඳහා මල් මාලා යෙදූ අවස්‌ථාවන්හිදී එම මල්වැල් පිට මැද තෙක්‌ විහිද යන බවක්‌ද දැකිය හැකි ය.

මෙම රූපවල නිරූපිත කාන්තාවන්ගේ මුහුණු දිගැටි හැඩය ගන්නා අතර එම මුහුණු වල හැඩයට උචිත වන පරිදි නර්තන ශිල්පිනියන්ගේ පරිද්දෙන් ඇහි බැම සිහින් දිගැටි ආකාරයට සකසා තිබේ. ඒවා අඳුන් ආලේප කොට සකසා ඇති බව පෙනේ. අඳුන් ආලේප කිරීම සඳහා යොදාගත් තඹ කූරු කිහිපයක්‌ ද සීගිරිය කැණීම්වලින් හමු වී ඇති අතර ඒවා ද දැනට සීගිරිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

නළලේ තිලකය දක්‌නට ලැබීම මෙම කාන්තාවන්ගේ සුලභ ලක්‍ෂණයක්‌ වන අතර එය සියුම් සිරස්‌ රේඛාවක ස්‌වභාවයෙන්ද තිතක ස්‌වභාවයෙන්ද, පටු ඹ හැඩැති ස්‌වභාවයෙන්ද යුක්‌තය.

විලාසිතා හා රූපලාවන්‍ය පිළිබඳ කාන්තාවන් තුළ ඇති රුචිකත්වය දිගු ඉතිහාසයකට නෑකම් කියන අතර ප්‍රාග් ඓතිහාසික අවධියේ මධ්‍යශිලා යුගයට අයත් අවශේෂ අතරින් හමුවන ආලේපන සඳහා භාවිතයට ගත් ගුරුගල් හා පළඳනා ලෙස යොදා ගත් සිදුරු විදි බෙලිකටු ඒ සඳහා පැරණිතම නිදසුන් ය. විලාසිතා හා රූපලාවන්‍ය කලින් කලට වෙනස්‌වන බව පැහැදිලි කරුණකි. ක්‍රි.ව.5 වන සියවස්‌ තරම් අතීතයේ දී එම තත්වය කුමන අයුරින් පැවතියේද යන්න සනාථ කර ගැනීමෙහිලා සීගිරි සිතුවම්වලින් ලැබෙන පිටුවහල අතිමහත්ය. එම රූපවල ඇඳුම් විලාසිතා, ආභරණ විලාසිතා, ඒවා එකිනෙකට ගැළපෙන අයුරින් පැළඳ සිටීම හා රූපලාවන්‍ය පිළිබඳ ලක්‍ෂණය අපට විවර කර දෙනුයේ අතීත ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි. 

8 comments:

Anonymous said...

හැබෑටම සමරසේකර උන්නැහේ, ක්‍රි ව 5 වන සියවසේ උනත් ගෑනුන්ගේ උඩ කෑල්ල පේන්න හිටියයි කිව්වොත්ය ලොකු අප්සෙට් එකක් නේද? කලකට ඉහත හාමුදුරු කෙනෙක් ලියපු පුරා විද්‍යා පොතකත් ඔය වගේ අදහසක් පල කරලා තිබුනා.මට නම් ඔය තරමට ඇඟ පේන්න උඩට ඇන්දත් එකයි, නෑන්දත් එකයි, මොකද වහගන්න ඕනෑ ඒවා ඔක්කොම පේනවානේ. හැබැයි, සුචරිතවාදයයි පුරා විද්‍යාවයි එකට අනා ගන්නේ නැතුව ඉන්නවානම් තමයි වඩාත් හොඳ. ඒ මොකද, දැන් සුචරිතවාදීන් එකතු වෙලා සීගිරි බිතුවම් උඩින් ඔය කියන දුහුල් සළු වෙනුවට දුහුල් නොවන සලුත් අඳින්න පුළුවන්, ලංකාවේ පොදු ජනතාවගේ සීලය රැක දීමේ පරම පවිත්‍ර චේතනාවෙන්!

samarasekara sithuvili said...

අපේ රටේ පැරණි සමාජය ඔබ සිය්හනවාට වඩා වෙනස්. ඉහේ සිට කකුලට කාන්තාවන් වසා ගැනීම වික්ටෝරියානු සංස්කෘතිය මිසක් අපේ සංස්කෘතිය නම නෙමෙයි. අපේ පැරණි කාන්තා සමජා පුළුල් නිදහසක් භුක්ති වින්දා. එකයි සුචරිතයත් අතර ග්ටිමක් උනේ නැහැ.

Pra Jay said...

යුරෝපීය අධිරාජ‍යවාදීන්ගේ ඝන රෙදි ඇඳීම වහාම නවතා අපේ උරුමයවන දුහුල් සළු නැවත භාවිතා කරමු.

Anonymous said...

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ, 'පුරාණ ලංකාවේ ස්ත්‍රීන්ගේ ඇඳුම්' කියන පොත කියවා නැතිනම්, එය කියවන ලෙස සමරසේකර මහත්මයාට ආරාධනය කිරීමට කැමතියි. සීගිරියට අමතරව, පැරණි සිංහල සාහිත්‍ය කෘති වලත් කියවෙන කාන්තා ඇඳුම් ගැන හොඳ විශ්ලේෂණයක් එයින් බලාගන්න පුළුවන්.

jay-cz said...

සමරසේකර මහතා@ සීගිරි අප්සරාවන් උඩුකය නිරුවතින් සිටියත් එකේ ඇති වැරැද්ද කුමක්ද? අනුරාධපුර යුගයටම අයත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති තාරා දෙවඟන ප්‍රතිමාවද උඩුකය නිරුවතින් නිරූපනය නිරූපනය කර ඇති බව දක්නට ඇත.තාරා දෙවඟන යනු අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිරියයි,ඇයව එසේ නිරූපනය කල පැරණි කළා කරුවාට සීගිරි ළඳුන්ගේ පියයුරු සම්බන්දව ගැටලුවක් නොවෙන්නට ඇත.....

yakageadaviya said...

ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමන එන්න ඉස්සර හින්දු කාන්තාවන් උඩුකයට ඇන්දෙ නැතිවා සේම ලංකාවෙ ගැහැනුනුත් උඩුකයට ඇන්දෙ නෑ. මන්නාරමේදි පෘතුගීසි හමුදාව ( මට මතක හැටියට පිලිප් ද ඔලිවේරා යටතේ වූ) දෙමල කාන්තාවන්ගෙ තන් කඩු වලින් කපා දැමූ බවත් එය පෘතුගීසි සොල්දාදුවනට මහත් විනෝදයක් වූ බවත් ලියා තිබෙනවා.ඒකාලෙ සිංහල කාන්තාවනුත් එහෙමයි. එච්චර ඕනත් නෑ දුෂ්කර ගම්වල 1800 ගනන්වලත් උඩුකයට ඇන්දෙ නැති කාන්තාවන් ඉදල තියෙනවා.

samarasekara sithuvili said...

සිගිරි ලලනාවන් හෝ වෙනත් ලලනාවක් ඇඳුම් නැති උදුකයෙන් ඉඳීම ගැන මා විරුද්ධ නැත. මට කියන්නට අවශ්‍ය උනේ අපේ සමහරු කරුණු හරියට නොදැන සිගිරි ළඳුන්ගේ උඩුකයට ඇඳුමක් නැතැයි යනුවෙන් පවසන තර්කයට විතරයි. දුහුල් සළුපිලි නිපදවීමට තරම් ශිල්ප ඥානයක් අපේ පැරැන්නන් සතුව තිබුනා.

Anonymous said...

සීගිරියෙ ඉන්නෙ සිංහල කාන්තාවන් නෙමේ. ඈත් පෙරදිග ( තායිලන්තය, බුරුමය, කාම්බෝජය ) වගේ රටවලින් ගෙන්නපි කාන්තාවන්. කාන්තාවන්ගෙ හැඩරුව දක්කම ඒක හිතාගන්න පුලුවන්. ඔතන උඩුකය වහල ඉන්න කලු හම තියන අය සිංහල සේවිකාවෙ. රූප සම්පත්තිය වැඩි ආසියානු කාන්තාවන්ට හින්ද සිංහල ස්ත්‍රීන්ට වඩා වැඩි තැනක් එයාලට හම්බ වෙනව.