Saturday, July 27, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.14 වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය



14  වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය


සිරිදාස එකඟවූ සිත දෙස බලමින්  තම අවධානය ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා ගත්තේය. ආශාවාස හා ප්‍රශ්වාශ ස්පර්ශය කෙමෙන් කෙමින් දැන් දැන් නාසයේ අග කොටසට දැනෙන්නට පටන්ගෙන ඇත. එමෙන්ම පියා ගත් දෙනෙත තුලින් පෙනෙන සිහින් ආලෝකය දැන් දැන් තද ස්වභාවක් ගනී. එහෙත්  කාමරය පුරා ගලා යන සුදු ආලෝකයක් වෙනුවට සිරිදාසගේ වසාගත් දෙනෙත් වලින් පෙනුනේ අන්ධකාර රාත්‍රියක ඇති අඩ අඳුරක දසුනක් පමණි. තමාට  මේ ආකාශය ලෙසින් පෙනෙනුයේ පෝ දිනක හෝ ඒ ආසන්නයේදී පෙනෙන ප්‍රභා සම්පන්න රාත්‍රී අහස නොව අන්ධකාර රාත්‍රියක ඇති අඩ  අඳුරු ආකාශය යයි පැහැදිලිව වටහා ගත්  සිරිදාස කිසිවක් නොපෙනෙන දැඩි අඳුරක් සහිත ආකාශයක් පෙනෙනවාට වඩා එවැනි අඩ  අඳුරු ආකාශයක් හෝ පියා ගත්  දෙනෙත තුලින් දැකීම  ගැන සතුටුවිය. මෙම අඩ  අඳුරු ආකාශය තම කාමරට පමණක් සිමා නොවී ඉන් එපිටටද පැතිර යනු දුටු ඔහු පළමුව ඒ කාරණය ගැන කුතුහලයට පත් උවත් ඉක්මනින්ම එම කුතුහලය සතුටක් බවට  පත් විය. දැන් සිරිදාසට ඔහුගේ පියා ගත්  දෙනෙත් තුලින් වත්තේ ගස්වැල් අඩ අඳුරේ වේලි සිටින අන්දම පෙනේ. එමෙන්ම අඳුරු අහසේ තැනින් තැනින් බබලන කුඩා තරකාද පෙනේ. එබැවින් සිරිදාසගේ සිතට දැනුනේ මහත්  සතුටකි. ඔහු කලින් එකඟවූ සිත දෙස බලමින්  දැන් එය සතුටට පත්වූ ආකාරය නිරීක්ෂණය කර  එම සතුටු සිතින් තම අවධානය ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා ගත්තේය. මෙසේ සතුටුවූ සිත වෙනත් අරමුණකට ඇදීයාම වැලක්වීමට ඔහු සිත සමහන් කිරීමට උතසාහ ගත්තේ සිත උපේක්ෂා සහගත මට්ටමට ගැනීමෙන්ය.

දැන් තම සිත සංසිඳුවාගත් සිරිපාලට වෙනත් කිසිදු බාහිර ස්පර්ශයක් පෙනෙන්නේ හෝ ඇසෙන්නේ හෝ දැනෙන්නේ නැත. ඔහුගේ එකම අරමුණ සමහන්වූ සිත තුලින් ආශ්වාස හා ප්‍රශ්වාශය බැලීම පමණි. මේ වෙලාවේදී  සමහන්වූ සිතේ ප්‍රබලත්වය සිරිදාසට මනාව වැටහෙන්නට විය. මහත්වූ ශක්ති සමුදායක් තමා තුල කැරකෙන බවත් සිත මෙන්ම සකල ශරිරයම ප්‍රානවත්ව සිටින බව තේරුම්ගත්  සිරිදාස  තවදුරටත් වටහා ගත්තේ එම ප්‍රාණවත් සිත තුල තමාට කැමති කැමති  පරිදි සිතුවිලි නිර්මාණය කරගැනීමට හැකි බවය. එමෙන්ම  සිතත් සිතුවිල්ලත් යනු එකක් නොව දෙකක් බවද ඔහුට මේ වෙලාවේදී වැටහින. 

තමන් මෙතෙක් වෙලා වැඩුවේප්‍රථම ධ්‍යානයේ සිට සිව් වන ධ්‍යානය දක්වාවූ රූපාවචර ධ්‍යාන බව තේරුම් ගත් සිරිදාසට මේ වෙලාවේදී  විසඳීමට ගැටළුවක් මතුවිය. ඒ මින් ඉදිරියට තම අවධානය දිගටම  ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා තවදුරටත් ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය එනම් සමථ භාවනා ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයනවාද? නැත්නම් ආශ්වාශ හා ප්‍රශ්වාශ ගැන මෙතෙක් වෙලා දැක්වූ අවධානයෙන් ඉවත්ව විදර්ශනා භාවනාව වැඩිමට යනවාද යන්නයි.

 ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයනවා නම් අරුපාවචර ධ්‍යාන 4 වැඩිම කල හැකි බවත් එවිට තමන්ට අෂ්ට සමාපත්තීන් ලඟා කර හැකි බව සිරිදාස දනියි. එමෙන්ම උත්සාහ කළහොත් දිවැස් ලැබීම,දිව කන් ලැබිම,අහසේ ගමන් කිරීම,ජලය මතුපිට ගමන් කිරීම, සහ පොලවේ කිමිදීම යන පංච අභිඥානද උපදවා ගත හැකි බව දන්නා සිරිදාස මින්  ඉදිරියට කුමක් කල යුතුදැයි කල්පනා කළේය.

 සිරිදාසට එක්වරම මතක් වුයේ මහා වනයක්  අතරින්  යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් සමගින් ගමන් ගත් සාමනේර භික්ෂුන් වහන්සේලා සමුහයකට මුණ ගැසුණු දැලි කුණු පෙරාගත්, දැව  පුළුස්සමින් අඟුරු එකතු කරන්නකුගේ කතාවයි. දැලි වැකුණු ගතින් සිටි අඟුරු එකතු කරන්නාගේ දුක්ඛිත තත්වය සහ විකට ස්වරුපය දුටු සාමනේර භික්ෂුන් වහන්සේලාට තමන් වහන්සේලාගේ  මහා හඬින්වූ  සිනාසීම නතර කරගත නොහැකිවිය. එඇසු යෝගාවචර භික්ෂුන් වහන්සේ එම අඟුරු එකතු කරන්නාගේ වත්මන් දුක්ඛිත තත්වය සහ විකට ස්වරුපය ගැන සිනාසීම නොව කල යුත්තේ සසරේ බියකරු භාවය ගැන සංවේගයට පත්වීම බවත් ප්‍රකාශ කරමින් ඔහු මිට පෙර කලෙකදී ධ්‍යාන වඩා පංච අභිඥානයන්  උපදවා ගත් භික්ෂුවක් බවත්,දිනක් අහසින් ගමන් කරද්දී ස්ත්‍රියකගේ මිහිරි ගීත නාදයක් අසා ඒ ස්ත්‍රිය ගැන කාමුක සිතිවිලි ඇති කරගැනීම නිසා ධ්‍යානයෙන් සහ අභිඥාවන්ගෙන්  පිරිහී අහසින් ඇද වැටී එම ස්ත්‍රිය වෙතටම ගිය බවත්, ස්ත්‍රිය රැකීමට කිරීමට වෙනත් කර්මාන්තයක් නොදන්නේ කැලයට ගොස් දර කපා අඳුරු පුළුස්සා එම අඟුරු විකුණා එම ස්ත්‍රිය සමග කුඩා පැලක ජිවත් වන බවත් පැවසිය. දිනක් වනයේ සිට පැමිණි ඔහුගේ පෙර මගට ඇය නොපැමිණීම ගැන කිපුණු ඔහු ගෙනා ලියක් පැලතුලට විසි කල අතර එම ලීය එක ඇසක  වැදීමෙන් ස්ත්‍රිය අන්දවී විරුපවී ඇති බවත් ප්‍රකාශ කළේය. 

මේ කතාව සිහිපත් කල සිරිදාස පන්චාභීඥා අෂ්ට සමාපත්ති උපදවා ගත අයෙකුට උවත් සසරේ බියකරු බවෙන් මිදිය නොහැකි යයි ප්‍රත්‍යක්ෂ කරමින් අෂ්ට සමාපත්ති උපදවා ගැනීමේ අදහස සිතින් අත්හළේය. එහෙත් අරුපාවචර ධ්‍යාන වැඩීමෙන් මරණින් මතු බඹ ලොව ඉපිද එහිදීම පිරිනිවන්පා සසර කෙරවල කරගත හැකි බව දන්නා ඔහු ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙන ගොස් අරුපාවචර ධ්‍යාන 4 වඩා පසුව පිලිවෙලින් ඉන් ඉවත්වී සතරවන ධ්‍යානයේ සිත පිහිටුවා  විදර්ශනා භාවනාව වැඩිමට යනවා යයි නිශ්චය කළේය.               

 ඔහුට   මෙම තීරණයට පැමිණීමට හැකි වුයේ දැන් තමා සිටින හතර වන ධ්‍යානය තුල ස්ථාවරව පවතින ප්‍රබල සිතක් ඔහු තුල තිබු නිසාය.     


       

2 comments:

samakayawate said...

සමරසේකර මහත්තයෝ සමහර අතර මැද දාන ලිපිවල හෙඩිම විතරයි කතාව නැත මොකද හේතුව.. දැන් කිපයක්ම දුටුවා එවැනි තැන්.

samarasekara sithuvili said...

නලින් මහතා,
මා සාමාන්‍යයෙන් කතාව නැවත සැරයක් බලල අඩුවැඩි කිරීම් එකතු කරනවා.මෙතන තියෙන්නේ තනිකරම මගේ අත්දැකීම්. ඒවා එහෙමම ලියන එක අන්‍යන්ට කරන යහපතක් යයි මා සිතනවා. එමෙන්ම මා එහෙම කරන්නේ කවුරු හෝ ආධුනිකයකුට ඉදිරියට යන්නට අත්වැලක් වීමටයි.(ඒ කියන්නේ මා සියලු දේවල් දන්නවා කියන එක නම් නෙමෙයි)
එහෙම කතාව සංස්කරණය කරනකොට පිටුව නොපෙනේනවාද යන්න මා දන්නේ නැහැ.මා පරික්ෂා කරන විට කථා ශාරාංශය ඔක්කොම තියෙනවා (බබා ලොක්කාය හැර එහි අඩුවද සකසන්නම්).
මා ඔබේ පිඉතුර බලාගෙන ඉන්නවා