Friday, July 12, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .3.කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .3.කොටස





3 .කොටස - භාවනාව වැඩිම ඇරඹීම 

සිරිදාසගේ  මේ සුදානම චිත්තානුපස්සනාව අනුව යමින් ආනාපානසති භාවනාව ඇරඹීමටය.


"සෘජුන් කායන්  පනිධාය"

ඔහු තම පෙර කය සෘජුව තබාගෙනදැස  පියා ගෙනම කෙලින් කර ගත්  හිස  වසා ඇති ජනේල පේලිය දෙසට යොමු කළේය. වම්  අතේ  පිටි අල්ල කයට තෙරපෙනසේ  උකුල උඩ තබා  ගෙන ඒ මත දකුණු අතේ පිටි අල්ල තබා ගති. ඉන්පසු  ඉහලට ගන්න හුස්ම පොද සහ පහලට හෙලන හුස්ම පොද නාසයේ හෝ උඩුතොලේ  කුමන ස්ථානයක ස්පර්ශ වෙන්නේද යන්න පරිස්සමින් විමසා බැලීය.දැන්   සිරිදාසට වැටහුනේ ආශ්වාශ සහ ප්‍රශ්වාශ වායුව නාසයේ අග උඩ  කොටසේ  වැදෙන බවය.එම හුස්ම පොද නාසයේ මැද හෝ නාසයේ මුල ස්පර්ශ වෙන බව ඔහුට නොහැඟු නි.මින්පසු   තම අවධානය නාසයේ අග උඩ  කොටසටම     පමණක් යොමු කලයුතු බවත් ඉන් ඔබ්බට සිත ගමන් නොකරවිය යුතු බවත් සිරිපාලට මැනවින් වැටහින.

" සතෝව අස්සසති " 

සිහියෙන් හුස්ම ගනිමි.

" සතෝව පස්සසති " 

සිහියෙන් හුස්ම හෙළමි.

අමාරුම කාරණය පටන් ගත්තේ දැන් බව සිරිපාලට තේරුනේ එකිනෙකට වෙනස් සිතුවිලි එක දිගටම වැලක් මෙන් සිතේ පැන නගින්නට පටන් ගත්  විටය.ගාල කඩා ගත්  කුලප්පුවූ ජවසම්පන්න ගොන්වස්සකු  හැම තැනම දුව පැන යන්නාක් මෙන් එකිනෙකට සම්බන්ධ හා සම්බන්ධ නොමැති සිතුවිලි හරියටම තරඟයකට මෙන් වේගයෙන් සිත තුල හට ගන්නා බව ඔහුට පසක් විය. සමහර ඒවා රාගික සිතුවිලිය. සමහර ඒවා ගැටීම් ඇති කරන ඒවාය. සමහර ඒවා නැවත ඇඳේ වැතිරීමට කරන ආරාධනාය. මෙසේ  මතුවන සමහර සිතුවල කිසිදු රටාවක්,පාලනයක් හෝ  අරමුණක් නැත. සිතන්නෙක්ද නැත. දැන් සිරිපාල කුමක් හෝ කර මේ පාලනයක් නැති සිත පාලනය කල යුතුයයි සිතුවේය . නැත්නම් භාවනාවෙන් සිදුවන සමාධිය ඇතිවීම වෙනුවට ලැබෙන්නේ අවුල්වූ සිතකි.එවැනි අවුල් සිතක් සහිතව දෛනික කටයුතු ඇරඹුවොත් එ නිසාම  දවසේ සියලු කටයුතු අවුල් වනු ඇත. එවැනි අලකලන්චියකින් මිදීමට අදහස් කල ඔහු භාවනාවට වැය කරන මේ පැයෙන් පසු  ඕනෑම මගුලක් හිතපන් කියා දැඩිමදැඩි  ලෙසින් සිතට අණ කර  සිත නිශ්චල කිරීමට උත්සාහ කළේය. එමෙන්ම එම දැඩි සිතුවිල්ල තුල තරයේම එල්බ ගෙන සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් විවිධ සිතුවිලි තම සිත තුලට ගලා ඒමේ වේගය දැන් දැන් කෙමෙන් කෙමෙන් අඩුවනු ඔහුට දැනින. මීළඟට  තම අවධානය ප්‍රධාන වශයෙන් නාසයේ අග උඩ  කොටසට පමණක්ම  යොමුවන  බවත්,එහෙත් පෙරමෙන් නැතත්, අතරින් පතර වෙනත් සිතුවිලිද පැන නගින බවත් ඔහුට පසක් විය. නාසයේ අග උඩ  කොටසට දැනෙන හුස්ම ගැනීමේ සහ පිට කිරීමේ ස්පර්ශයට පමණක් සිත යොමු කල යුතු බවත්  ඉන් ඔබ්බට සිත ගමන් නොකරවියයුතු බවත් තරයේ සිතු ඔහු ඒ අනුව කටයුතු කර තම සිත පාලනය කළේය. දැන් දැන් සතුටුදායක  පැත්තට ප්‍රතිඵලය හැරෙන බව ඔහුටම් දැනිණ. කුලෑටිවූ ගොන් වස්සා පාලනයවී ඇත.පරාජයවී ඇත.එහෙත්   අතරින් පතර වෙනත් සිතුවිලි ආවත් සිත නහයේ අග උඩ කොටසට තබන අවධානය ප්‍රබලවම සිටි.

          ඉන් පසුව තම ආශ්වාශ සහ ප්‍රශ්වාශ වායුවේ හැසිරීම කුමන අන්දමේ එකක්දැයි සිරිපාල  ප්‍රවේශමෙන් අවධානය කර බැලිය. එය දිගු ආශ්වාශ සහ ප්‍රශ්වාශයක්ද නැත්නම් කෙටි එකක්දැයි ඔහු විමසා බැලිය.වැදගත් කාරණය වන්නේ සිතාමතා දිගු හෝ කෙටි ආශ්වාශ සහ ප්‍රශ්වාශය ගැනීම නොව තම කය මේ අවස්ථාවේදී ස්වාභාවිකයම අනුගනමය කරන ආශ්වාශ සහ ප්‍රශ්වාශ රටාව  හඳුනා ගැනීම බව සිරිපාල දනී. එම රටාව දිගු එකක් නම් 

"දිඝන්වා අස්සසන්තෝ අස්ස සිස්සාමි පජානාති"
දිඝන්වා පස්සසන්තෝ පස්ස සිස්සාමි පජානාති"

යයි ඔහුට නිශ්චය කලහැක. එසේ නැත්නම්   එම රටාව කෙටි එකක් නම් 

"රස්සන්වා අස්සසන්තෝ අස්ස සිස්සාමි පජානාති"  
රස්සන්වා පස්සසන්තෝ පස්ස සිස්සාමි පජානාති"

එම රටාව කෙටි  එකක් යයි ඔහු නිශ්චය කර ඒ අනුව භාවනාව පටන් ගත හැක. 


සිරිපාලට දැනුනේ තමාට දැන් ඇත්තේ දිගු ආශ්වාශ සහ ප්‍රශ්වාශ රටාවක් බවය.අවශ්‍ය නම් ඔහුට  කෙටි ආශ්වාසයන් ගෙන ඊට අනුගාමිකව  කෙටි ප්‍රශ්වාසයන් ගත හැක. එහෙත් එය ස්වභාවික නොවන දෙයක් බවත් තම සිතේ අන කිරීම මත සිදුවන්නක් බව ඔහුට දැනින. එබැවින් ඔහු ස්වාභාවික ආශ්වාශ සහ ප්‍රශ්වාශ රටාව අනුව තම සිත  පිහිටුවා  ඒ අනුව 

"දීර්ඝව ආශ්වාශ කරන බව දැනගෙන හුස්ම ගනිමි   
දීර්ඝව ප්‍රශ්වාශ කරන බව දැනගෙන හුස්ම හෙළමි"

යයි සිතමින් ආනපානසති භාවනාව ආරම්භ කළේය.   




No comments: