(ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රි ධර්ම මහාසංඝ සභාවේ, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි)
ලංකාවාසී බෞද්ධයන් අභිමානයෙන් සමරන වෙසක් පුන් පොහොය ලෝක මට්ටමින් සලකා ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර දීමේ මූලික කාර්ය භාරය කදිරගාමර් ඇමැතිවරයාගේ කාලයේදී සිදුවීම වෙසක් දින සැමරුමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහිදී වැදගත්ම කාරණය වන්නේ වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමට ඇප කැප වූ කදිරගාමර් මහතා බෞද්ධයකු නොවීමය. කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ යෝජනාව සම්මත වීමෙන් පසු අද වනවිට වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්ව තිබේ. එය ලෝකවාසී බෞද්ධයා ලැබූ අසිරිමත් ජයග‍්‍රහණයකි.
පසුගිය වසර කීපය පුරාවටම තායිලන්තය, ලංකාව ඇතුළු බෞද්ධ රටවල් වෙසක් පොහොය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීම කැපී පෙනිණි. ජාත්‍යන්තරව වෙසක් දින උත්සවය සැමරීම මෙවර ශ්‍රී ලංකාවට හිිමි වීම බෞද්ධ රටක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයකි. මෙම උතුම් අවස්ථාව ළඟා කර ගැනීමට කටයුතු කළ ජනපති, අගමැති ඇතුළු බුද්ධ ශාසන අමාත්‍යවරයාට ජාතියේ ගෞරවය හිමි විය යුතුය.




මෙවර රාජ්‍ය සහ ජනතාව ඉමහත් භක්තියෙන් ඒකරාශී වී ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීමට කටයුතු සූදානම් කර ඇති බව පෙනේ. ජාත්‍යන්තර වෙසක් දිනය සැමරුවත් නැතත් ලංකාවාසී බෞද්ධයන් ලෙස වෙසක් දිනය ඉහළින් සැමරීමට ලංකාවාසීහු පෙළ ගැසී සිටිති. වෙසක් දින සැමරුමේ විශේෂත්වය වන්නේ රාජභෝජන ඉදෙන මහ මැඳුරක වූවත් කටු මැටි පුංචි නිවසක වූවත් පහනක්, දෙකක් හෝ පත්තු කර උතුම් තෙමඟුල සිහිපත් කිරීමට බෞද්ධයා කටයුතු කිරීමයි. අලූත් අවුරුද්දට මෙන්ම වෙසක් දිනයට ද බෞද්ධයාගේ සූදානම් වීම කැපී පෙනෙන කාරණාවකි.
වෙසක් දිනයට නොයෙක් නොයෙක් සැරසිලි, වෙසක් කූඩු, තොරණ හැදීම වැනි සංස්කෘතික කාරණා ලෝකයේ අන්රටවල දැකිය නොහැකිය. අපගේ සංස්කෘතික නිර්මාණවලට ලෝකයා වසඟ වී තිබෙන්නේ අපටම අනන්‍ය ලාංකීය හැඩයක් එම නිර්මාණවල ගැබ් වී තිබෙන නිසාය. ලෝකයේ වෙසක් නිර්මාණ යම් ප‍්‍රමාණයකට තිබුණත් අපේ රටේ නිර්මාණ තරම් මවිත වීමක් එම නිර්මාණවලින් සිදුවන්නේ නැත.
මෙවර ජාත්‍යන්තර වෙසක් දින උත්සවය ලංකාවේ පැවැත්වීම තුළ වෙන වසරවලට වඩා උද්යෝගයක්, උනන්දුවක් ලංකාවාසීන් තුළ ඇති වී තිබෙනු පෙනේ. එසේම ලංකාව හා ගනුදෙනු කරන විදේශීය බෞද්ධයන්ගේ ද වැඩි උනන්දුවක් මෙවර ඇති වී තිබෙනු දැකිය හැකිය. වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීමෙන් පසු ලංකාවාසී බෞද්ධයාට වැදගත්ම වෙසක් දිනය වන්නේ ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවේ සමරන මෙවර වෙසක් පොහොයයි. ථෙරවාදී බෞද්ධ බලකොටුව ලෙස හඳුන්වන ලංකාවට හිමිවීම සමස්ත ආසියාවටම ලැබුණු ගෞරවයක් ලෙස සැලකිය හැකිය.
ලෝකයේ තවත් බොහෝ බෞද්ධ රටවල් තිබියදී මෙම වටිනා අවස්ථාව ලංකාවට ලැබීම පිළිබඳව අප සියලූ දෙනාම සතුටු විය යුතුය. වෙසක් දිනයේදී ආමිස ප‍්‍රතිපත්ති දෙකටම මුල් තැන දෙන බෞද්ධ ජනතාව වඩා අවධානය ප‍්‍රතිපත්ති පූජාව පිරීම කෙරෙහි යොමු කළ යුතුය. වෙසක් දින සැරසිලි කිරීමට බෞද්ධයා උනන්දු විය යුතු මෙන්ම බණ භාවනා වැඩසටහන්වල නිරත වීමට ද බෞද්ධයා වෙසක් කාලයේදී උනන්දුවිය යුතුය.
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ලංකාවට ලැබී තිබෙන මෙම මොහොතේ එයින්  උපරිම ප‍්‍රයෝජන ගැනීමට ලංකාවාසී බෞද්ධයා කටයුතු කළ යුතුය. ජාත්‍යන්තර වෙසක් උළෙල ලංකාවේ පැවැත්වීම පිළිබඳව බෞද්ධ නොවන ජනතාව ද බොහෝ සතුටට පත්ව තිබෙන බව ඔවුනොවුන්ගේ ක‍්‍රියාකාරකම්වලින් පෙනී යයි. ඒ කාරණය වඩාත් පැහැදිලි කර ගැනීමට හැකි වන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා ජාත්‍යන්තර වෙසක් සැමරුම පිළිබඳ පළ කළ ආශිර්වාද අදහස අවබෝධකර ගැනීමෙනි.
ජාත්‍යන්තර වෙසක් සැමරුම මෙවර ලංකාවේ පැවැත්වීම තුළ මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුවීම කිසිවකුට නතර කළ නොහැකිය. ලෝකයේ ථේරවාදී ප‍්‍රධාන බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම මේ හරහා සුවිශේෂී පණිවුඩයක් ලබාදීමට හැකිය. ලංකාවාසීන් ලෙස අපේ ඓතිහාසිකත්වය මුළු ලෝකයටම ප‍්‍රදර්ශනය කිරීමට මහඟු අවස්ථාවක් බවට පත්කර ගත යුතුය. මේ හරහා අපේ රටේ ජනතාව හා ඔවුන්ගේ ශ‍්‍රද්ධාව, භක්තිය, ගෞරවය, මෙන්ම බුදුන් වහන්සේට දක්වන ලැදියාව පිළිබිඹු කරන අවස්ථාවක් බවට පත් කරගත යුතුය. බුදු දහම පිළිබඳ වසර 2500කට එපිට තිබෙන ඓතිහාසික උරුමය ලෝකයට අප ප‍්‍රදර්ශනය කළයුතුය. විදේශිකයන්ට ආදර්ශයක් වන ආකාරයෙන් ලංකාවාසී බෞද්ධයා කටයුතු කළ යුතුය.
පාරේ යන ජනතාවට බලෙන් අඬගසමින් කන්නට බොන්නට දෙන තවත් රටක් තිබේදැයි අප විමසා බැලිය යුතුය. අපේ අත්දැකීම් අනුව ලෝකයේ එවැනි තවත් රටක් නැත. දන්සල්වලට කැඳවා උපරිමව සංග‍්‍රහකරන මේ වෙසක් කාලයේදී මිනිසුන් තුළ පවතින සංග‍්‍රහශීලී ගුණය වසර පුරාම පවත්වා ගැනීමට බෞද්ධයා වග බලාගත යුතුය. වෙසක් කාලයේ පවත්වන දන්සල්වලට බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගම්වලට අයත් පිරිස් ද සහභාගී වෙති. එයින් ලෝකයාටම කියාපාන පණිවුඩය වන්නේ ආගමික සහජීවනයයි.
වෙසක් කාලයේ ජනතාව උනන්දු වන තොරණ හැදීම, වෙසක් කූඩු හැදීම, දන්සල් පැවැත්වීම ආදී සියල්ල කළ යුත්තේ සම්බුද්ධ පූජාවන් ලෙස සලකාය. ඒ සියල්ල බුදුන්ට සිදු කරන ආමිස පූජාවෝය. අතීත උරුමයෙන් ලැබුණු ඒ සියල්ල ආදර්ශවත්ව සිදු කිරීමට බෞද්ධයා වග බලාගත යුතුය. තොරණක්, වෙසක් කූඩුවක් නිර්මාණය කළත් ජාතක කතා ආදී බෞද්ධයාට සමීප සිදුවීම් ඒ සඳහා යොදා ගැනීම කාලෝචිතය, සෑම බෞද්ධ නිර්මාණයක්ම බෞද්ධයා භාවිත කළ යුත්තේ හුදු ප‍්‍රදර්ශනාත්මක අදහසින් නොව බුද්ධාලම්භන ප‍්‍රීතිය ජනිත කිරීමේ අදහසිනි. වර්තමානයේ බහුලව සිදු කෙරෙන වෙසක් සැරසිලිවල අපට පෙනෙන්නේ බෞද්ධයාට යම් උපදේශයක් ආදර්ශයක් ලබා දෙන නිර්මාණය. ඒ තත්ත්වය අප ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය.
වෙසක් සමයේ කරන නිර්මාණවලදී එම නිර්මාණකරුවන් සිය අදහස් නිරවුල්වත්, පැහැදිලිවත් බෞද්ධයා වෙත සම්පේ‍්‍රෂණය කිරීමට කටයුතු කළ යුතුය. එසේම බෞද්ධ උත්සව ප‍්‍රධාන අවස්ථාවක් වන වෙසක් උත්සවය විනීතවත්, තැන්පත්වත්, ප‍්‍රතිපත්ති ගරුකවත් සැමරීමට බෞද්ධයා හැකියාව, විනය සකසා ගත යුතුය. මෙවැනි උත්සවයකදී බෞද්ධ ප‍්‍රතිපත්ති පැහැදිලිව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. ලෝකයට බෞද්ධයන් ලෙස දිය හැකි කදිම පණිවුඩය වන්නේ එයයි. බුදු දහමේ මූලික ඉගැන්වීම් වන කරුණාව, මෛත‍්‍රිය, දයාව, අනුකම්පාව, ආගන්තුක සත්කාරය, සංග‍්‍රහශීලී බව ලෝකයට ප‍්‍රදර්ශනය කරන අවස්ථාවක් බවට වෙසක් උත්සවය පත් කරගත යුතුය.
ආගමික සහජීවනය පිළිබඳව ලෝකයේම අවධානයට ලක්ව ඇති මොහොතකට අපි පැමිණ සිටින්නෙමු. ජාතික සංහිඳියාව හා ආගමික සහජීවනය එක කුස උපන් සහෝදරයන් මෙන් අප ජීවිතය හා බැඳී පවතී. බෞද්ධයන් කිසිවිටෙක අනුන්ට හිංසා පීඩා කර සිය ආගම පැතිර වීමට උත්සාහ ගන්නා පිරිසක් නොවන බව දැනටම ඔප්පුකර හමාරය. බෞද්ධයාට තිබෙන ලොකුම ගෞරවය වන්නේ කිසිවිටෙක ආගමේ නාමයෙන් අනුන්ව තලා පෙළා දැමීමට කටයුතු නොකිරීමයි. බලෙන් ආගම පැතිරවීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් එතනදී ආගමික සහජීවනය ගොඩනැගිය නොහැකිය.
බෞද්ධයා මුළු ලෝකයේම ගෞරවයට පාත‍්‍රව සිටින්නේ ආගමික සහජීවනය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා කටයුතු කරන නිසාය. විදේශ ජාතිකයන් බුදු දහම පිළිබඳ පැහැදී බුදු දහම වැළඳගැනීමට ලංකාවට පැමිණෙනවා විනා අප කිසිවිටෙක එම රටවලට ගොස් බුදු දහමට විදේශිකයන් හරවා ගැනීමට කටයුතු නොකිරීම බුදුදහමේ විශේෂත්වයයි. බුදු දහම සොයා එන විදේශිකයන් බුදු දහම එකවර වැළඳ ගන්නේ නැත. ඔවුන් සියල්ලෝම බුදු දහම පිළිබඳ මුලින් අවබෝධයක් ඇතිව බුදු දහම වැළඳගන්නා පිරිසක් වෙති. ඒ නිසා කිසිවකුට ඒ පිළිබඳ චෝදනාවක් එල්ල කළ නොහැකිය. කිසිවකු ආගමික ස්ථාන බලෙන් ඉදිකිරීම හෝ බලෙන් සිය ආගමට හරවා ගැනීම නොකළ යුතුය. බෞද්ධ හා අන්‍ය ආගමික යන දෙකොට්ඨාසයටම එම කාරණාව පොදුය.
ලෝකවාසී සත්වයාට යහපත අපේක්‍ෂා කරන සියලූ ආගම් මගින් බෙදී වෙන්වීමක් අපේක්‍ෂා කළ නොහැකිය. අන්‍ය ආගමික ස්ථාන කඩා බිඳ දැමීම සිදු නොකළ යුතුය. එසේම ආගම් ප‍්‍රචාරය සඳහා කිසිවකු හිංසාකාරී ක‍්‍රියා ක‍්‍රියාත්මක කරනවා නම් ආගමික සහජීවනය අපේක්‍ෂා කරන කිසිවකු එය අනුමත කරන්නේ නැත. බුදු දහම ලෝකයට සැමදාම දුන් පණිවුඩය වන්නේ මෛත‍්‍රිය, කරුණාව හා හොඳ හිත හා සාමයයි. බුදුන් වහන්සේගේ දහම් අමා පණිවුඩය අප තේරුම් ගෙන වැඩ කටයුතු කළ යුතුය.
බෞද්ධයන් ලෙස බුදු දහමට වර්තමානයේ ඇති වී තිබෙන තර්ජන කවරාකාරදැයි හඳුනාගැනීම වැදගත්ය. අලූත් ආගමික ස්ථාන හැදීම හා ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථාන විනාශය කරා යෑම වර්තමානයේ බුදුදහමට ඇති වී තිබෙන ලොකුම තර්ජනය ලෙස අපට වටහාගත හැකිය.
කවුරු කෙසේ කුමන අර්ථකථන සිදු කළත් ලංකාව යනු සිංහල බෞද්ධ රටක් යන නාමකරණයට කිසිවකුට අභියෝග කළ නොහැකිය. වසර දහස් ගණනක පටන් එනම් බුදුදහම ලංකාවට පැමිණි ක‍්‍රි.ව 3වන සියවසේ සිට බෞද්ධ ආගම වැළඳගත් ජනතාවක් ලංකාව තුළ වාසය කළහ. ඊට සමගාමීව බෞද්ධ නටබුන්, බෞද්ධ ස්මාරකත් රට පුරා ගොඩ නැෙඟන්නට විය. අනුරාධපුරය, පොළොන්නරුව, උතුරු නැගෙනහිර පමණක් නොව දකුණ, බස්නාහිර ද එම බෞද්ධ ස්මාරක ගොඩ නැෙඟන්නට විය. එම නටබුන් තිබෙන ස්ථානවල යම් වෙනස්කම් කිරීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකිය.
බෞද්ධයාගේ ඓතිහාසික උරුමය ආරක්‍ෂා කර දීමට සෑම අන්‍ය ආගමිකයෙක්ම පියවර ගත යුතුය. රජයට ද එහිදී විශාල වගකීමක් පැවරී තිබෙන බව වටහාගත යුතුය. බෞද්ධ ස්මාරක තිබෙන තැන්වල වෙනත් කිසිවකු අලූත් ඉදිකිරීම් සිදු කිරීමට උත්සාහ ගන්නේ නම් ඒවා වහා වැළැක්විය යුතුය. ආගමික ගැටුම් ඇතිවන කාරණාවලින් වහාම වැළැකීමට සෑම ආගමිකයෙක්ම කටයුතු කළ යුතුය.
ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරන මේ වටිනා මොහොතේ භික්‍ෂූන් වහන්සේලාට ද වගකීමක් පැවරී තිබෙන බව වටහාගත යුතුය. වෙසක් වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය ගමේ පන්සලයි. බුදු දහම තුළින් ආගමික සහජීවනය ලබා දෙනවා මෙන්ම ජාත්‍යන්තර වෙසක් උළෙල තුළ අපේ රටේ භික්‍ෂූන් වහන්සේලාගේ නිපුණත්වය ලෝකයට ප‍්‍රදර්ශනය කළ යුතුය. බුදු දහම යනු හිංසා පීඩාවෙන් තොර අහිංසාවාදය පෙරටු කරගත් දහමක් බව ලෝකයට ඒත්තු ගැන්වීමට හැකි කදිම අවස්ථාවක් වන්නේ ජාත්‍යන්තර වෙසක් උළෙලයි.
බුදු දහමට තිබෙන ගෞරවය එදා සිට ආරක්‍ෂා කරගෙන පැමිණියේ ලාංකීය භික්‍ෂූන් වහන්සේලා විසිනි. ධර්මය කටපාඩම් කර ගනිමින්, එය මුඛ පරම්පරාගතව පවත්වාගෙන එමින්, එය ජනයා අතර ප‍්‍රචලිත කරන්නේ භික්‍ෂූන් වහන්සේලාය. එම නිසා ලාංකීය භික්‍ෂුව රැුකගැනීමට ද ජාත්‍යන්තර වෙසක් උළෙල නිමිත්තෙන් සිහිපත් කෙරෙන ප‍්‍රධාන කාරණාවක් ලෙස සිතට ගත යුතුය.
නව ව්‍යවස්ථාවක් අනුව බුදු දහමට තිබෙන ප‍්‍රමුඛතා අහෝසි වී යාදෝයි සමහරු සැක පළ කරති. එහෙත් අබමල් රේණුවකින් හෝ එවැනි වෙනසක් සිදු නොවන බව අපට විශ්වාසය. මේ කාරණය පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත්ව තිබුණත් දැන් සැකසී තිබෙන්නේ ව්‍යවස්ථාව නොවන නිසා ඒ පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති කරගත යුතු නැත. බුදු දහම පිළිබඳ දැනට ව්‍යවස්ථාවේ සඳහන් යෙදුම් කොටස කිසිසේත් වෙනස් නොකරන බව ජනපති හා අගමැතිවරයා දැනටමත් සහතික කර ඇත. ඒ නිසා අනියත බියක් ඇති කරගත යුතු නැත. හදිස්සියේ හෝ එසේ කරන්නේ නම් එය ආණ්ඩුවේ ගමන්මඟට ද හානියකි. බුදු දහමට තර්ජන එන  ඕනෑම මොහොතක කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටින්නට භික්‍ෂූන් ලෙස අප සූදානම්ය.

(සටහන - අමිල චින්තක ගමගේ)