Wednesday, May 17, 2017

ප්‍රභාකරන් පරාජයකර අට වසරයි - එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කරන්නැයි නිර්දේශ කරයි


ජාතික වීර දිනය නිමිති කර කිර්තිවර්ණකුලසුරිය මහතා විසින් මෙවර දිවයින පත්‍රයට ඉදිරිපත් කර ඇත්තේ අප සියලු දෙනාම කල්පනා කර බැලිය යුතු මාතෘකාවකි.

සමරසේකර  





ප්‍රභාකරන් පරාජයකර අට වසරයි



එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා ශ්‍රී ලංකාව
ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කරන්නැයි නිර්දේශ කරයි




"ඇමරිකානු සිවිල් යුද්ධයේදී මියගිය අපේ ගෞරවණීය මළවුන් (සෙබළුන්) තම දිවි පුදකළේ උදාර කාර්යයකට බව අපි සිහිපත් කළ යුතුයි"

හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්

කොටි ඝාතක සමාගම පරාජය කර මැයි 19 දාට අට වසරක්‌ සපිරේ. එහෙත් මෙරට දේශපාලකයන් රැසකට මෙන්ම බොහෝ පාර්ශ්වවලට ප්‍රභාකරන් ඝාතකයා සිදුකළ අපරාධ අමතක වී ඇත.

මෙරටින් කොටි ත්‍රස්‌තවාදීන් තුරන් කිරීමට දියත් වූ මෙහෙයුමේදී 29,000 කට අධික සෙබළුන් සහ නිලධාරීන් තම වර්තමානය සහ අනාගතය පුදකළේ රටේ ඒකීය භාවය උදෙසායි. තවත් සෙබළුන් 16,000 කට අධික පිරිසක්‌ එදා ආබාධිත තත්ත්වයට පත්වූහ. එසේ එදා වන්නි මෙහෙයුමේදී දිවිපිදූ ඒ ගෞරවණීය මළවුන් සිය රුධිරය වගුරා සිදුකළ එකී විශිෂ්ට ක්‍රියාදාමය අවතක්‌සේරුවකට ලක්‌වී ඇත.

අද අප හෙළිකරන්නේ එම අතීතය සහ දැන් සිදුවන්නේ කුමක්‌ද යන්නයි.




ප්‍රභාකරන් පරාජය වීමට ආසන්නව තිබියදී හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ අරලියගහ මැදුරට පැමිණ සිටියේය. එහිදී ඔහු මෙලෙස පවසා ඇත. "ජනාධිපතිතුමනි ඔබගේ උතුරේ පුරවැසියන් එක්‌ කලාපයක කොටුවී සිටිනවා. ඔවුන්ව මුදාහැරීම සඳහා අපේ යුතුකමක්‌ තිබෙනවා. එම අසරණ ජනතාව ගලවා ගැනීමට ඔබේ අවසරය අවශ්‍යයි.

බ්ලේක්‌ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දීය රජයද සිවිල් ජනතාව ගලවා ගැනීම ගැන විමසීමක්‌ තමාගෙන් කර ඇති බවත් ඒ ගැන ඉන්දීය රජය සමග සාකච්ඡා කර දන්වන බව කියා සිටියේය.

රොබට්‌ බ්ලේක්‌ගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වූයේ සිවිල් ජනතාව ගලවාගැනීමේ අරමුණින් ඇමරිකාව ප්‍රභාකරන් සහ කොටි හමුදා නායකයන් ගලවාගැනීමේ මෙහෙයුමක්‌ සැලසුම් කර ඇති බවයි.

මේ රහස්‌ සැලසුම ඉන්දීය රජය දැන සිටියේය. එහෙත් ශ්‍රී ලංකා රජයට හෙළිකළේ නැත.

එහෙත් 2017 මාර්තු මස හිටපු ඉන්දීය ආරක්‍ෂක උපදේශකයකු වූ ශිවශංකර් මෙනන් ඇමරිකාව සහ නෝර්වේ එක්‌ව ප්‍රභාකරන් බේරා ගැනීමට රහස්‌ මෙහෙයුමක්‌ දියත් කර තිබූ බව හෙළි කළේය.

ඇමරිකාවේ මෙම මෙහෙයුමේ අරමුණ වූයේ ප්‍රභාකරන්ව බේරාගෙන ඉදිරියේදී දේශපාලනික හා හමුදා ක්‍රියාමාර්ගවලට ඉඩදීමයි.

එහෙත් ඉන්දීය බලධාරීන් ඊට එරෙහි විය. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නායකයන් ඝාතනය කළ අයුරින් ප්‍රභාකරන් තමිල්නාඩුවේ ද්‍රවිඩ නායකයන් ඝාතනය කරනු ඇතැයි ඉන්දීය රෝ බුද්ධි සේවාව ඉන්දීය බලධාරීන්ට අනතුරු අඟවා තිබිණි.

කොළඹ ඇමරිකානු තානාපති බ්ලේක්‌ හා නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන් එකතු වී සැලසුම් කර තිබූ ප්‍රභාකරන් ගලවා ගැනීමේ මෙහෙයුම ව්‍යාර්ථ වූයේ ආරක්‍ෂක හමුදා බලධාරීන් නන්දිකඩාල් දක්‌වා නොනවතින මොහෙයුම දියත් කිරීම නිසාය.

මේ නිසා රොබට්‌ බ්ලේක්‌ දැඩි ලෙස කෝප විය. ඔහු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ට පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ආරක්‍ෂක ලේකම් තම ඉල්ලීමට අවනත වී නැති බවයි.

එහි ප්‍රතිඵලය වූයේ බ්ලේක්‌ විසින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට ජිනීවා මානව හිsමිකම් කවුන්සිලය වෙත යෝජනාවක්‌ ගෙන ඒමයි. එම යෝජනාව ගෙන ඒමට පෙර බ්ලේක්‌ විසින් සාක්‍ෂිකරුවකු ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගෙන්වාගනු ලැබීය.

ඔහු මේජර් ජනරාල්වරයෙකි. වන්නි මෙහෙයුමට අදාළව සියලු නියෝග සහ ආඥ තමා දැන සිටි බව ඔහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් හමුවේ පිටු 100 ක දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් කියා සිටියේය.



මේ මේජර් ජනරාල්වරයා දකුණු පළාතේ දේශපාලනඥයකුගේ සමීපතම ඥතියෙකි.

යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ මොහු තම පාවාදීම හමුදා බලධාරීන්ට වාර්තා වූ බව දැනගැනීමෙන් පසු සිය වාසගම වෙනස්‌ කළේය.

වත්මන් රජය ඔහු කළ පාවාදීමට තෑග්ගක්‌ ලෙස තානාපති ධුරයක්‌ පිරිනැමීය.

මේ පසුබිම මැද පසුගිය ජනාධිපතිවරණයෙන් පසු උතුරේ තත්ත්වය මුළුමණින්ම වෙනස්‌ විය. ඒ ද්‍රවිඩ සංධානය ඉතා සූක්‍ෂම ලෙස උපාය මාර්ගික වැඩපිළිවෙළක්‌ දියත් කිරීමෙනි.
ඒ කොටි සංවිධානයේ ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථාන ආරක්‍ෂක හමුදාවේ පාලනයෙන් මුදා ගැනීමයි. මේ වැඩපිළිවෙළ මත අවතැන් වූ පිරිස්‌ යෑයි කියමින් හමුදා කඳවුරු අසළ කුටි ඉදිකර විරෝධතා ව්‍යාපාර ආරම්භ කෙරුණි.

කොටි සංවිධානය ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළ කොටි කේන්ද්‍රස්‌ථානය වූ පරවිපන්ජාන් නගරය හමුදා පාලනයෙන් මුදා ගැනීමට ද්‍රවිඩ සංධානයට හැකි විය. එය එතනින් නතර වූයේ නැත. මුලතිව්හි, කැප්පිලාව්, මුල්ලිකුලම්, ඉරණමඩුහි කොටි ගුවන් ධාවන පථය, මයිලඩ්ඩි වරාය, මුල්ලිකුලම් නාවික කඳවුර ඇතුළු කොටි තම බලය පතුරුවා ගෙන සිටි මුහුදු කොටි කඳවුර පිහිටි ඉරණතිව් වෙතින්ද හමුදාව සහ නාවික හමුදාව ඉවත්විය යුතු බවට උද්ඝෝෂණ පැවැත්විණි.

කොටි සංවිධානය මගීන් 55 ක්‌ සමග ලයන් එයාර් ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලකළේ ඉරනතිව් සිටය.

ද්‍රවිඩ සංධානය ඉතා සූක්‍ෂම ලෙස කොටි සංවිධානයේ උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන නිදහස්‌ කරගැනීමට ක්‍රියාකරන අවස්‌ථාවේ හමුදාවට සිදුවූයේ බලා සිටීමටය.

එය තවදුරටත් සනාථ වූයේ උතුරේ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේද මයිලඩ්ඩි වරාය අවට ප්‍රදේශය විමර්ශනය කිරීමට යැමයි.

කොටි පලාලි ගුවන් ධාවන පථයට මෝටාර් ප්‍රහාර එල්ල කළේ මයිලඩ්ඩි වරායේ සිටය. මේ නිසා රත්මලානේ සිට පලාලි වෙත ගුවන් යානා යෑවීමට නොහැකි වූ සමයක්‌ විය. මේ අතර තවත් උද්ඝෝෂකයන් පිරිසක්‌ මුහමලෙයි හමුදා කඳවුර ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. එසේම පුදුකුඩිඉරිප්පු තෙරාවෙල්ලී පිහිටි සිවිල් කාර්යාලයද වසා දැමීමට හමුදාව ක්‍රියා කළේය.

මේ තත්ත්වය මත කන්කසන්තුරේ ප්‍රදේශයේදී ඒකාබද්ධ සංවර්ධන කණ්‌ඩායම නමින් සංවිධානයක්‌ බිහිවිය. මේ සංවිධානය පලාලි ඌරණි සහ තයියඩ්ඩි ප්‍රදේශවල පිහිටි ඉඩම්ද මුදාහරින ලෙස දන්වමින් උද්ඝෝෂණ පවත්වනු ලැබීය.

එහෙත් කොටි මේ ප්‍රදේශ අල්ලාගෙන කඳවුරු ස්‌ථාපනය කරද්දී විරෝධතා මතු වූයේ නැත.

මෙලෙස වත්මන් රජය ද්‍රවිඩ සංධානයේ ඉල්ලීම් ඉටුකිරීමට ඉදිරිපත් වන අවස්‌ථාවේ හිටපු කොටි ආධාරකරුවන්ට යාපනයේ දොර විවෘත කරනු ලැබීය.

පසුගියදා කැනඩාවේ සිට යාපනයට පැමිණි කැනඩා ආයෝජකයන් යෑයි හඳුන්වා ගන්නා පිරිසක්‌ අතර ස්‌ටැන් මුදලිංගම් නමැත්තාද විය.


කැනඩාවේ ඡේසී ග්‍රීල් හවුස්‌ නමැති අවන්හල් සංකීර්ණයේ සම සභාපති ලෙස කටයුතු කරන මුතුලිංගම් කවරෙක්‌ද? ඔහු කැනඩාවේදී මෙලෙස ප්‍රකාශ කර ඇත.

"ඩයස්‌පෝරාව අපියි. වසර 35 ක්‌ තිස්‌සේ අපි යුද්ධය ගෙන යැමට උදව් කළා."

ස්‌ටැන් මුතුලිංගම්ගේ කණ්‌ඩායම සමඟ කැනඩාවේ ටොරොන්ටො නුවර හිටපු නියෝජ්‍ය පොලිස්‌ ප්‍රධානි කිම්ඩෙරිද යාපනයට පැමිණ තිබේ.

මේ හිටපු පොලිස්‌ ප්‍රධානියා ආයෝජකයකු වූයේ කෙසේද? තමන් උතුරේ ජනතාව හමුවූ බව කිම් ඩෙරී පවසා ඇත.

එසේම ස්‌ටැන් මුතුලිංගම්ගේ සුපිරි අවන්හලේ නියම හිමිකරු කවුරුන්ද?

මුතුලිංගම් යාපනයට පැමිණීමෙන් කොටින්ට යුද්ධය ගෙනයැමට අරමුදල් සැපයූවන්ට රජය දොර විවෘත කර ඇති බව සනාථ වේ.

මෙය පුදුමයක්‌ නොවේ. වත්මන් ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරන ඉංජිනේරු කරුණාසේන හෙට්‌ටිආරච්චි 2016 මැයි මස දිනයක පැවසුවේ රජයේ හමුදා වෙනත් රටකට එරෙහිව නොව ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමකට එරෙහිව සටන් කළ බවය.

එය ත්‍රස්‌තවාදීන්ව සහෝදරයන් ලෙස හැඳින්වීමකට සමානය.

මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකා රජය මුල්වරට තම හමුදාව යුද අපරාධ කළ බව පිළිගනිමින් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ යෝජනාවකට එකඟ වී එම යෝජනාවේ සම අනුග්‍රාහකයා විය.

රජය සම අනුග්‍රාහකයා වීමෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදලක්‌ ගෙවිය යුතුය. එය ගෙවීමට සිදුවන්නේ මෙරට ජනතාවටය.

එසේම කොටි ගුවන් ඒකකයේ නියොජ්‍ය නායක කුශාන්තන් නොහොත් දර්ශන්ද පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්ච් මොහොමඩ්ද නිදහස්‌ විය.

2015 සිට 2017 මැයි දක්‌වා සිදුවීම් රැසක්‌ වාර්තා වූයේ දිවිපිදූ හමුදා භටයන්ට අවමන් වෙමිනි.





රජය සංහිඳියා කාර්ය සාධක බළකායක්‌ ස්‌ථාපිත කළේය. එහි ක්‍රියාකාරීන් වැඩි දෙනා විදේශ අරමුදල් ලබන්නේය. මේ බළකාය තම වාර්තාව ප්‍රකාශට පත්කර ජිනීවා ගොස්‌ එය ජාත්‍යන්තරකරණය කළේය. කොටි මහාවිරු සමරුව පැවැත්වීමට ඉඩදීම සහ කොටි සුසාන භූමි යළි ස්‌ථාපිත කිරීමේ ඉඩකඩ දිය යුතු යෑයි එම වාර්තාවේ නිර්දේශ කර තිබිණි.

මේ ලිපිය ලියන අවස්‌ථාවේ කැබලි බවට පත්වූ කොටි ස්‌මාරක එකතුකර මුල්ලි වයික්‌කාල්හිදී මියගිය කොටි සැමරීමට සැලසුම් කරන බවට හෙළි විය. ඊට මුල්වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයකි. මේ අයුරින් අල්කයිඩා - අයිසීස්‌ ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ ලැබෙන්නේද? ඒත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌ මතුවී ඇත. රජය ශ්‍රී හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් වසර 2 ක කාලයක්‌ ලබාගනිද්දී යුද අපරාධ සිදුකළ දඬුවම් ලබන කොටි තමන්ව නිදහස්‌ කරන ලෙස රජයෙන් හා ජනාධිපතිගෙන් ඉල්ලා ඇත.

මෙයට වසර ගණනකට පෙර කොටි අධිබලැති බෝම්බයක්‌ සවිකළ ලොරියක්‌ කොටුවේ මහ බැංකුවේ ඝට්‌ටනය කර සිදුකළ විනාශයෙන් 100 කට අධික පිරිසක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. ඉන් 20 කට අධික පිරිසක්‌ මහ බැංකු නිලධාරීන්ය. මෙම බෝම්බයට ගොදුරුවී දෙනෙත් අන්ධ වූ මහ බැංකු නිලධාරිනියක්‌ අදටත් දුක්‌විඳියි.

එම බෝම්බ පිපිරවීමට දායක වූ ප්‍රදීපන්, විග්නේෂ්වරනාදන් නමැති කොටි ත්‍රස්‌තයා 1996 ඔක්‌තෝබර් 10 වැනිදා කොළඹ බේකරියක සිටියදී ත්‍රස්‌ත මර්දන පරීක්‍ෂක නිලබ්දීන්ගේ මෙහෙයුමකින් අසුවිය.

ඔහුට එරෙහි නඩු විභාගයකදී වරදකරු වීම නිසා අධිකරණය විසින් ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවමක්‌ නියම විය.

මේ කොටි ත්‍රස්‌තයාගේ මව වූ රාජෙස්‌වරී තමාට මියයැමට පෙර පුත්‍රයාව බැලීමට අවශ්‍ය යෑයි කියමින් ඔහුව නිදහස්‌ කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත. එහෙත් මේ ත්‍රස්‌තයා මුදාහැරියොත් මහ බැංකු බෝම්බයෙන් මියගිය අයට යුක්‌තිය ඉටුවේද?

මේ අතර 35 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය ජූනි 6 වැනිදා ආරම්භ වේ.

මෙම සැසිවාරයට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වූ ජුවන් මෙන්ඩස්‌ පිටු 20 ක විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

වධහිංසාවන් පිළිබඳ සෙවීමේ නියෝජිතයා වූ ජුවන් මෙන්ඩස්‌ට 2016 වසරේ අප්‍රේල් 29 සිට මැයි 07 වැනිදා දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඕනෑම ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානයකට යැමට රජය දොර විවෘත කරනු ලැබීය. රහස්‌ පොලිසියේ සිට ත්‍රස්‌ත මර්දන කාර්යාංශයටත් එතැන් සිට බූස්‌ස රැඳවුම් කඳවුර - වවුනියා ජෝශප් හමුදා කඳවුර, වැලිකඩ සිර ගෙදර, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර සහ පොලිස්‌ ස්‌ථාන රැසක්‌ මෙන්ඩස්‌ගේ නිරීක්‍ෂණයට ලක්‌විය.

මෙරට ආරක්‍ෂක ඉතිහාසයේ මින් පෙර එවන් ක්‍රියාදාමයක්‌ සිදුවී නැත. වැලිකඩදී හා බූස්‌සේදී මෙන්ඩස්‌ විමර්ශනයට ලක්‌කළේ කොටි සිරකරුවන් පමණි. ත්‍රස්‌ත චෝදනා එල්ල වූ සිංහල සිරකරුවන් මෙන්ම හමුදා සහ පොලිස්‌ නිලධාරීන් ගැන ඔහු නිරීක්‍ෂණය කළේ නැත.

ජුවන් මෙන්ඩස්‌ තම විමර්ශන වාර්තාවෙන් ඔහුගේ බලය අභිබවා යමින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සහ ජාතික ආරක්‍ෂාවට මෙන්ම අධිකරණයටද මැදිහත් වී ඇත.

මේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා සිය වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ 49 ක්‌ ඉදිරිපත් කර ඇත.

එහෙත් රටේ බහුතරය සිදුවන්නේ කුමක්‌දැයි දන්නේ නැත.

වධහිංසා ගැන සෙවිය යුතු මොහු රජයට කියන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බලතල බෙදීම ගැන පැහැදිලිවම දැක්‌විය යුතු බවත්, ව්‍යවස්‌ථාදායක කවුන්සිලයට සිවිල් සමාජ ක්‍රියාකාරීන් (එන්.ජී.ඕ. කල්ලිය) ඇතුළත් කරගත යුතු බවයි.

එසේම ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කර රජය ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කළ යුතු බවත් මෙන්ඩස්‌ නිර්දේශ කර ඇත.

එහෙත් මෙන්ඩස්‌ට මෙවන් නිර්දේශ කිරීමට හිමිකමක්‌ නැති බවට අභියෝගයක්‌ කිරීමට කොන්දක්‌ ඇති දේශපාලනඥයන් ක්‍රියාකර නැත.

මොහු රෝම සම්මුතියට රජය අත්සන් කළ යුතු යෑයි පවසා ඇත්තේ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම වූ වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා ප්‍රධානීන් යුද අපරාධ චෝදනා මත ජාත්‍යන්තර අධිකරණයට අරගෙන යැමයි. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‌ෂේත්‍රයේ සිදුවිය යුතු විශාල වෙනස්‌කම් ගැනද ඔහු නිර්දේශ කර තිබේ.

මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් මැයි 18 වැනිදා උතුරේ ද්‍රවිඩ ජනසංහාර දිනය ලෙස නම්කර එදින මුල්ලිවයික්‌කාල්හිදී කොටි සැමරීමේ රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සමරුව උතුරු පළාත් සභා මහ ඇමැති සී. විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

මේ අතර ස්‌විස්‌ රජයෙන් පිංපඩි ලබන එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකු වූ සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් නමැති හිටපු කැරලිකරුවා ජනාධිපතිවරයා වෙත වෙසක්‌ පණිවුඩයක්‌ එවමින් කිළිනොච්චියේ වෙසක්‌ සැරසිලි හමුදා කඳවුර තුළ සිදුකරන ලෙසත් බෞද්ධයන් කිළිනොච්චියේ නැති බවත් පවසා ඇත.

මින් තහවුරුවන්නේ හමුදාව කළයුතු දේ ගැන උපදෙස්‌ දීමට මේ ඩොලර් අරමුදල් ලබන ද්‍රෝහියා    ඉදිරිපත්වී ඇති බවයි.

No comments: