Tuesday, May 23, 2017

සර්ප විෂ පිළිබඳ බුද්ධ දේශනාව---ගුණපාල කාරියවසම්

අද අපේ රටේ ඉන්නා මිනිස් වෙස්ගත් සර්පයෝ ගැන  ඉගෙනගැනීමට මෙම  ලිපිය හරිම වැදගත්. දිවයින පත්‍රයට මේ ලිපිය   ලියා තිබෙන්නේ  ගුණපාල කාරිය වසම් මහතා විසින්ය.


සමරසේකර 

සර්ප විෂ පිළිබඳ බුද්ධ දේශනාව ගුණපාල කාරියවසම්




බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය හරිම අපූරුයි. උන්වහන්සේ සිව්වණක්‌ පිරිසට ධර්මය දේශනා කළේ ක්‍ෂණික මාතෘකා අරභයායි. උන්වහන්aසේ මම අද මේ පිරිසට මේ මාතෘකාව යටතේ ධර්මය දේශනා කරනවා. කියා ගන්ධ කුටියේ සිට ධර්ම දේශනාවට සූදානම් වී ධර්මාසනයට ගොඩවූයේ නැත. ධර්මය දේශනා කිරීමට ධර්මාසනයට වැඩම කළ පසු බුදුරජාණන් වහන්සේ රැස්‌ව සිටින භික්‌ෂූන් වහන්ස්‌ලාගෙන් ඇවැත්නි මා පැමිණෙන විට කවර කාරණයක්‌ පිළිබඳව කථාබහ කරමින් සිටියේදැයි ප්‍රශ්න කරති. එහිදී ලැබෙන පිළිතුර හෝ පිළිතුරු මුල්කර ගෙන ධර්මය දේශනා කළහ. එසේ නැතහොත් ධර්මය දේශනා කරන අතරතුරදී ඇතිවන. උද්ගතවන සිද්ධියක්‌ මුල්කරගෙන ධර්මය දේශනා කළහ. මෙම ක්‍රමය බොහෝ පිරිසක්‌ අගය කළහ. ප්‍රිය කළහ. සූදානම්වූ ධර්ම මාතෘකාවක්‌ මුල්කර ගෙන ධර්මය දේශනා කිරීම තුළින් ලැබෙන අවධානයට වඩා වැඩි අවධානයක්‌ එවෙලේ සිදුවන අත්දැකීමක්‌ මුල්කරගෙන සිදුකරනු ලබන ධර්ම දේශනාවට ලැබුණි. විහාරස්‌ථානයේදී පමණක්‌ නොව ඉන් පිටතදී හෝ කවර ස්‌ථානයකදී වුවද ධර්මය දේශනා කිරීමේදී මෙම ක්‍රමය බුදුරජාණන් වහන්සේ අනුගමනය කළහ.


දිනක්‌ බුදුරජාණන් වහන්සේ වන පියසක ගසක්‌ මුල ධර්මය දේශනා කරමින් සිටියදී අසල වන ලැහැබින් එළියට පැමිණි එක්‌තරා සර්පයෙක්‌ එක්‌ භික්‌ෂුවකට දෂ්ට කළහ. එවෙලේ ඒ භික්‌ෂුව තරමක අපහසුතාවයකට පත්වුවද ධර්මය අසා සිටින අනෙක්‌ පිරිසට කරදරයක්‌ වේ යෑයි සිතා තමන්ට සිදුවූ කරදරය ඉවසාගෙන සිටි ආකාරයෙන්ම සිටියහ. නමුත් එවෙලේ ක්‍ෂණිකව ඇතිවූ බලවත් වේදනාව නිසාම යම් හඬක්‌ නිකුත් කළහ. ධර්මය දේශනා කරමින්ම මේ සිද්ධිය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ "කොහොමද භික්‌ෂුව ඔබට යම් සර්පයෙක්‌ දෂ්ට කළා. තවමත් විෂ තියෙනවද? තවමත් වේදනාව තියෙනවදැයි විමසූහ. එයට පිළිතුරු දුන් සර්ප දෂ්ටයට ලක්‌වූ භික්‌ෂූන් වහන්සේ "නැහැ ස්‌වාමීනි, ඒ වෙලාවේ නම් තරමක වේදනාවක්‌ තිබුණා. දැන් නැහැ" යි ප්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේ එදින උන්වහන්සේගේ ධර්ම දේශනයට අරමුණු කරගනු ලැබුවේ එම භික්‌ෂුව ක්‍ෂණිකව මුහුණ පෑමට සිදුවූ සිද්ධියයි. එම සිදුවීම අළලා උන්වහන්සේ සර්පයන්ගේ විෂ හා එය පවත්නා කාලය හා සර්පයන්ගේ වර්ග හතරක්‌ පිළිබඳව ධර්මය දේශනා කළහ. ඒ සිද්ධියට මනුෂ්‍ය සමාජයම උපමා කරමින් තවදුරටත් ඒ ධර්මය අර්ථවත් කළහ. සර්ප විෂ වැනි විෂ සෑම මනුෂ්‍යයෙක්‌ වෙත අඩුවැඩි වශයෙන් පවතින බවත්, එහි අඩුවැඩිකම හා විෂ පවතින කාල වකවානුව පිළිබඳව සමාජයට ඉතා වැදගත් පණිවිඩයක්‌ ලබාදුන්හ. එය එදා සමාජයට මෙන්ම අද සමාජයටද වඩාත් ගැලපෙන අගනා දහමකි. අංගුත්තර නිකායේ වලාහක වර්ගයට අයත් "ආසිවිස" සූත්‍රයේ මේ අගනා දහම ඇතුළත්ය.

"ඇවැත්නි සර්පයින් කොට්‌ඨාස හතරක්‌ සිටිනවා. ඉන් එක කොටසක සර්පයන් මිනිසුන්ට දෂ්ට කළවිට ඒ වෙලාවට පමණක්‌ විෂ පවතිනවා. සුළු වේලාවකින් පහවී යනවා. දෙවැනි කොටසට අයත් සර්පයන් දෂ්ට කළවිට ඒ වෙලාවට විෂ නැහැ. නමුත් පසුව විෂ ඇතිවෙනවා. තුන්වැනි කොටසට අයත් සර්පයන් දෂ්ට කළාම ඒ වෙලාවටත් විෂයි. පසුවටත් ඒ විෂ පවතිනවා. ඒ වෙලාවටත් පසුවටත් විෂ නැති සර්ප කොට්‌ඨාසය හතර වෙනි සර්ප කොට්‌ඨාසයයි. යනුවෙන් සර්ප කොටස්‌ හතරක්‌ බුදුන් වහන්සේ හඳුන්වා දුන්හ.

අනතුරුව බුදුරජාණන් වහන්සේ ඒ සර්ප කොට්‌ඨාස හතර මනුෂ්‍ය වර්ගයාට ආදේශ කරමින් එම සර්ප විෂ සහිත සර්පයන් වගේම මිනිසුන්ද කොට්‌ඨාස හතරක්‌ සමාජයේ ජීවත්වන බව භික්‌ෂූන් අමතා වදාළහ. සර්පයන් හඳුනා ගැනීම පහසු වුවත් මිනිසුන් හඳුනා ගැනීම අපහසු බවත් මේ විෂ සහිත මිනිසුන් හඳුනාගෙන ජීවත්වීම මෙලොව හා පරලොව යන මෙලොව දියුණුවට හේතුවන බවත් වදාළහ. සර්ප විෂ එසේමයි. මිනිසුන් අතර පවත්නා ක්‍රෝධය, වෛරය හා ඊර්ෂ්‍යාව එකිනෙකාට ක්‍රෝධකරන, වෛර කරන, ඊර්ෂ්‍යා කරන මිනිසුන් එම ගති ලක්‌ෂණ පවත්වා ගෙන යන කාලය එකිනෙකාට වෙනස්‌ බවත් ප්‍රකාශ කරමින් මිනිසුන් කොට්‌ඨාස හතර එකින් එක විස්‌තර කර වදාළහ.

"ඇවැත්නි, සමහර කෙනෙක්‌ තවත් අයෙකුට තමා ඉදිරියේදීම බණිනවා. දොස්‌ කියනවා. අපහාස කරනවා. ගරහනවා. ක්‍රෝධ කරනවා. වෛර කරනවා. ඊර්ෂ්‍යා කරනවා. එය කලින් හිතාමතා සැළසුම් සහගතව කරන දෙයක්‌ නොවෙයි. ක්‍ෂණිකවම සිදුවන දෙයක්‌. ඒ නිසා එය සුළු වේලාවකට සීමා වෙනවා. ඉන්පසු එය නැතිකරගෙන සුපුරුදු පරිදි මිත්‍රකම හිතවත්කම හොඳින් පෙරසේ පවත්වාගෙන යනවා. එය හරියට පළමු සර්ප කොට්‌ඨාසය වගෙයි. ඒ වෙලාවට විෂ පවතින සුළු වේලාවකින් පහවී යන සර්ප විෂ වගෙයි. මේ පළමු මනුෂ්‍ය කොට්‌ඨාසයයි. එය ඒ තරම් හානිදායක නැහැ.

දෙවැනි මිනිස්‌ කොට්‌ඨාසයේ අය පෙර පරිදිම තවත් කෙනෙකුට බණිනවා. දොස්‌ පවරනවා. ක්‍රෝධ කරනවා. ඊර්ෂ්‍යා කරනවා. එය වෙලාවට කැපී පෙනෙන ලෙස පෙන්නුම් නොකළත් පසුව එය බරපතල තත්ත්වයට පත්කර ගන්නවා. එය බද්ධ වෛරයක්‌ බවට පත්කර ගන්නවා. මේ පිරිස දෂ්ට කළවිට විෂ නැති එහෙත් පසුවට විෂ පවතින සර්ප කොට්‌ඨාසය වගෙයි. මේ අයගෙන් ප්‍රවේශම් විය යුතුයි.

තවත් සමහර අය ක්‍ෂණිකව වහා කිපෙන අතර එම ක්‍රෝධය වෛරය බොහෝ කල් පවත්වාගෙන යනවා. එය බද්ධ වෛරයක්‌ බවට පත්කරගෙන දුටු දුටු තැන නැවත වෛරය, ක්‍රෝධය අලුත් කර ගන්නවා. එය හරියට තුන්වැනි සර්ප කොට්‌ඨාසය වගෙයි. ඒ වෙලාවටත් පසුවටත් විෂ පවතින සර්පයා වගෙයි. මේ ආකාර ගතිගුණ පවත්වන මනුෂ්‍ය කොට්‌ඨාසයද භයානකයි. ප්‍රවේශම් විය යුතුයි. මේ තුන්වෙනි කොට්‌ඨාසයයි.

හතරවැනි පුද්ගල කණ්‌ඩායම ඔවුනොවුන් ක්‍ෂණික සිද්ධියක්‌ මත දෝෂාරෝපණය කරනවා. පරුෂ වචනයෙන් කථාකරනවා. හිස්‌වචන කථාකරනවා. එය සිදුවූයේ තමාගේ වැරැද්ද හෝ අඩුපාඩුව නිසා බව අනෙකා දන්නවා. ඒ නිසා එය ඉවසාගෙන සිටිනවා. එය වරදක්‌ ලෙස දකින්නේ නැහැ. ඒ නිසා ඔවුනොවුන් අතර හිත් අමනාපකම් ඇතිකර ගන්නෙත් නැහැ. ඒ විතරක්‌ නොවෙයි, ඒ ගැන පසුවට හිතන්නෙත් නැහැ. කල්පනා කරන්නෙත් නැහැ. ඒ පුද්ගල කණ්‌ඩායම ඒ වෙලාවටත් විෂ නැති පසුවටත් විෂ නැති සර්ප කොට්‌ඨාසය වගෙයි.

මේ චරිත ලක්‌ෂණ ඇති පිරිස්‌ අපේ සමාජයේ ඕනෑතරම් සිටිනවා. මොවුන් ජීවත්වන්නේ අප ජීවත්වන පරිසරය තුළමයි. ඔබේ ගෙදර දොරේ ඔබ රැකියා කරන ස්‌ථානයේ, ඔබ සාමාජිකත්වය දරණ සමිති සමාගමේ, පුද්ගල කණ්‌ඩායමේ මේ කණ්‌ඩායම් හතරටම අයත්වන පුද්ගලයින් සිටිනවා. කොතරම් කලක්‌ ඇසුරු කළත් හඳුනාගත නොහැකි සත්ත්වයා මිනිසායි. ඒ නිසා සර්ප ගතිගුණ ඇති මිනිසුක්‌ගෙන් ප්‍රවේශම්වීමට ඔබ අධිෂ්ඨාන කරගන්න. එවිට මෙලොව දියුණුව වගේම පර ලොව දියුණුවත් ඇතිකර ගත හැකියි. මෙය වෙසක්‌ අධිෂ්ඨානයක්‌ ලෙස ඔබේ හිත තුළ රඳවා ගන්න.

ඔබට තෙරුවන් සරණයි

No comments: