Monday, May 22, 2017

අලුත් ව්‍යවස්ථාව ගැන දෙබිඩි කතා ඇයි? -ජාතික එ්කාබද්ධ කමිටුව


කොච්චර හැංගිලා වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළියේ කියලා පෙනෙන්නෙ අලුත් ව්‍යස්තාවේ කෙටුම් පත් ගැන තියෙන මේ විවේචනය දිහා බලනකොටයි 

සමරසේකර 


අලුත් ව්‍යවස්ථාව ගැන දෙබිඩි කතා ඇයි?

May 17, 2017  

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තා නිර්දේශ හා රජයේ ප‍්‍රකාශිත ස්ථාවරය අතර ඇති පරස්පරයක් පවතින බව ජාතික එ්කාබද්ධ කමිටුවේ ප‍්‍රකාශ කරයි.


ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජයසුන්දර, ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අනිල් අමරසේකර, විධායක කමිටු සාමාජික නීතිඥ මනෝහර ආර්. ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ අත්සන් වලින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.



එකී සම්පූර්ණ නිවේදනය මෙපරිදිය.



2017 මැයි මස 3 වන දින ප‍්‍රකාශිත මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ නිර්දේශ මඟින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදෙන වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වෙනුවට විකල්ප වගන්ති 7ක් යෝජනා කර ඇත (මෙහෙයුම් කමිටුවෙ අතුරු වාර්තාවේ 4, 5 පිටු).
එහෙත්, ජනාධිපතිතුමා ජාතිය අමතමින් ද, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා 2017 මැයි මස 8 වන දින දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන හරහා ද ප‍්‍රකාශ කර සිටියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන 9 වන වගන්තිය කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බවයි. මෙය සත්‍යයක් නම් විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. එ බැවින් විකල්ප යෝජනා කර ඇත්තේ වර්තමාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වෙනස් කිරීමට බව පැහැදිලි ය.



මෙහෙයුම් කමිටුව වෙත මේ අතුරු වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අගමැතිතුමා ය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා (එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරමින්* එම විකල්ප යෝජනාවන්ට විරුද්ධ බව ද 9 වන වගන්තිය දැනට ව්‍යවස්ථාවේ පවතින ලෙස ම පැවතිය යුතු බව ද දැනුම් දී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ (අතුරු වාර්තාවේ 5 පිටුව). EPDP පක්ෂය ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ද 9 වන වගන්තිය සංශෝධනය කිරීමට තමන් ගේ යෝජනා ඉදිරිපත් කර ඇත (අතුරු වාර්තාවේ 5 පිටුව).  ජාතික හෙළ උරුමය 9 වන වගන්තියේ සංශෝධනය වෙනසකින් තොර ව එ ලෙස ම පවත්වාගත යුතු බව කියා සිටී (අතුරු වාර්තාවේ 6 පිටුව*. මේ අනුව මෙම අතුරු වාර්තාවේ ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනා සඳහා ජනාධිපතිතුමා නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, අගමැතිතුමා සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට (කෙටුම්පතට) විරුද්ධ මත ඉදිරිපත් කළේ නම් එ් බව එම වාර්තාවේ සඳහන් ව තිබිය යුතු ය. 



අප විසින් මේ අතුරු වාර්තාව පිළිබඳ ව මෙ රට ජනතාව ගේ අවධානය යොමු කළ පසු බුද්ධාගමට ඇති ප‍්‍රමුඛස්ථානය අහිමි කිරීමට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කරන ජනාධිපතිතුමා සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට එ් බව දැනුම් දීමට කටයුතු නොකර තිබීම කණගාටුදායක ය.  



මීට පෙර 2016 මැයි මස රජය ප‍්‍රකාශයට පත්කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු (ලාල් විජේනායක කමිටුව) වාර්තාව මඟින් ද 9 වන වගන්තිය වෙනුවට විකල්ප යෝජනා 6ක් ප‍්‍රකාශයට පත්කරන ලදී. එම කමිටුව මඟින් යෝජනා කළ අනාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා වු යෝජනාවට ඉදිරිපත් වූ දැඩි ජනතා විරෝධය හමුවේ එහි නිර්දේශ කි‍්‍රයාත්මක නොකරන බවට ප‍්‍රකාශ කළ රජය, දැන් විකල්ප 3, 4, 5 සහ 6 හරහා සියලූ ආගම් සඳහා කිසිම අකාරයකට වෙනස් ලෙස නොසලකන බවට සහතික කරන වාක්‍යයක් 9 වන වගන්තියට ඇතුළත් කොට 9 වන වගන්තියේ බුද්ධාගමට දී ඇති ප‍්‍රමුඛස්ථානය නිශේධනය කිරීමට උත්සහ දරා ඇ (අතුරු වාර්තාවේ 4, 5 පිටු).
වර්තමාන ව්‍යවස්ථවේ 9 වන වගන්තිය සීමා කොට ඇත්තේ 10 වන වගන්තිය සහතික කොට ඇති පරිදි සෑම පුද්ගලයකුට ම තම ආගම ඇදහීමට ඇති අයිතිවාසිකමත්, 14 (1) (ඉ) වගන්තිය සහතික කරන පරිදි සෑම පුරවැසියකුට ම තම ආගම ප‍්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමත් යන මූලික අයිතිවාසිකම් දෙක භුක්ති විඳීම සඳහා පමණි.



 එහි අදහස වන්නේ අන්‍ය ආගමික පුරවැසියකුට තම ආගම ප‍්‍රකාශ කිරීමට 9 වන වගන්තියෙන් බාධාවක් නොවීමට වග බලාගැනීම ය. අපි එයට කිසිසේත් විරුද්ධ නොවෙමු.
එහෙත් සියලූ පුද්ගලයන්ට සම තැන දෙන මූලික අයිතිවාසිකම ඇතුළත් 12 වන වගන්තිය 9 වන වගන්තියට ඇතුළත නොකිරීමට විශේෂ හේතුවක් විය. එනම් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සහතික කරමින් 9 වන වගන්තියේ සඳහන් රජයේ වගකීම අන්‍ය ආගම්වලට ලබාදීමට නොහැකි නිසා ය. ශී‍්‍ර ලංකාව බෞද්ධ රාජ්‍යයකි. මේ රාජ්‍ය තුළ බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කිරීම රජයේ යුතුකම වුව ද අනෙකුත් ආගම් පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා රජයේ යුතුකමක් විය නොහැකි ය. සියලූ ආගම්වලට සමතැන දීම මඟින් මූලධර්මවාදී හා විනාශකාරී ආගමික කල්ලි ද ඇතුළු ව සකලවිධ ආගම් ආරක්ෂා කොට පෝෂණය කිරීමට ශී‍්‍ර ලංකා රජයට සිදුවීම මෙයින් සිදුවිය හැකි භයානක ප‍්‍රතිවිපාකයකි. 



මෙයින් 9 වන වගන්තියේ අපේක්ෂිත අරමුණු නිෂේධනය වනු ඇත. එ් සමඟ ම ව්‍යවස්ථාවේ වගන්තීන් අර්ථ නිරූපණය කිරීමට අධිකරණ පද්ධතියෙන් පිටත වෙන ම ‘ව්‍යවස්ථා අධිකරණය’ යනුවෙන් නම් කරනු ලබන විශේෂ අධිකරණයක් ඇතිකිරීමේ රජයේ යෝජනාවේ පරමාර්ථ 9 වන වගන්තිය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථ නිරූපණය කොට බුද්ධාගමට දී ඇති තැන නැති කිරීම ය. මේ විකල්ප යෝජනා කර ඇත්තේ එ් සඳහා පාර කැපීමට ය. මේ ලෙස බුද්ධාගමට ශී‍්‍ර ලංකා රාජ්‍යයේ හිමි තැනට අත නොතබන ලෙස කාරුණික ව රජයෙන් ඉල්ලා සිටිමු. 



මේ අතුරු වාර්තාවේ විකල්ප යෝජනාවලට ජනාධිපතිතුමා ගේ පක්ෂයත් අගමැතිතුමා ගේ සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා ගේ පක්ෂයත් විරුද්ධ වේ නම් එ් පිළිබඳ ව ප‍්‍රසිද්ධියේ පැහැදිලි ප‍්‍රකාශයක් කරන ලෙස ද එ් බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට නිල වශයෙන් දැනුම් දී බුදුදහම හා සබැඳි ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට යෝජනා කර ඇති විකල්ප ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිමු. 



එ් හා සමඟ ම ‘ශ්‍රී ලංකා ජනරජය එ්කීය රාජ්‍යයකි’ යන වර්තමාන ව්‍යවස්ථාවේ දෙ වන වගන්තියට මොන ම වෙනසක් වත් කොකරන බව ද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉහත රූපවාහිනී වැඩසටහන්වල දී ප‍්‍රකාශ කරන්නට යෙදුණි. එ් දැනට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවෙහි ඉහත එ්කීය රජ්‍යය පිළිබඳ වගන්තිය මුළුමනින් ඉවත්කර විකල්ප වගන්ති 4ක් යෝජනා කර තිබිය දී ය (අතුරු වාර්තාවේ 1 පිටුව). 



මෙකී මෙහෙයුම් කමිටු කෙටුම්පතේ පළාත් සභාවක නීති කෙටුම් පතකට ආණ්ඩුකාරයා මඟින් මධ්‍යම රජයට මැදිහත් වීමට තිබූ හැකියාව අහිමි කිරීම (අතුරු වාර්තාවේ 16 පිටුව), පළාත් සභා පනතක් පාර්ලිමේන්තුවෙන් සංශෝධනය කිරීම සඳහා ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතර ව පළාත් සභා නියෝජිතයන් බහුතරයකින් සමන්විත යෝජිත දෙවන මන්ත‍්‍රණ සභාවේ තුනෙන් දෙකේ අනුමැතිය හා දෙ වන මන්ත‍්‍රණ සභාවේ එ් එ් පළාත් සභා නියෝජිතයන් ගේ වෙන වෙන ම බහුතරයක අනුමැතිය අවශ්‍ය කිරීම (අතුරු වාර්තාවේ 21 පිටුව) මඟින් කළ නොහැක්කක් බවට පත් කිරීම, සමගාමී ලැයිස්තුව අහෝසි කර එ් විෂයයන් ඍජු ව ම පළාත් සභා යටතට පැවරීම (අතුරු වාර්තාව, 11 පිටුව), ‘ජාතික ප‍්‍රතිපත්ති’ යන විෂයය සංවෘත ලැයිස්තුවෙන් (එ නම් මධ්‍යම රජයේ විෂය පථයෙන්) ඉවත් කිරීම (අතුරු වාර්තාවේ 14 පිටුව) ආදී යෝජනා සියල්ල ම අප රටේ එ්කීය භාවය විනාශ කර පළාත් රාජ්‍යයන් ඉතා බලවත් වූ ෆෙඞ්ර්ල් රාජ්‍යයක් ඇති කිරීමට ගෙනවිත් ඇති යෝජනා ය. 



උතුරු හා නැඟෙනහිර පළාත් එ්කාබද්ධ වීම සඳහා එ් පළාත්වල ජනමත විචාරණයකින් අභිමතය ලබාගත හැකි බවට වන යෝජනාව ද (අතුරු වාර්තාවේ 6 පිටුව) මුළු රට සම්බන්ධ පරමාධිපත්‍ය බලය සමස්ත රටේ පුරවැසියන් ගෙන් උදුරා එ් එ් පළාතේ වැසියන් සතු කිරීමක් ය. 
ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා සහ ගරු අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා වචන හරඹවලින් බැහැර ව මේ සම්බන්ධයෙන් ස්වකීය මතය ගරුතර සංඝරත්නයට හා ජනතාවට පැහැදිලි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.




No comments: