Sunday, May 14, 2017

මේ හදන්නේ බුද්ධාගමේ ප්‍රමුඛස්‌ථානය වචනයට සීමා කරන්නයි....උදය ගම්මන්පිල


වෙසක් උත්සවය  වෙනුවෙන් රට පුරාම දාන ශිල භාවනා සහ අනෙකුත් පුද පුජා කරමින් පවතිද්දී  ඒ සියල්ලටම හොරෙන් සැලසුම් කෙරෙමින් පවතින ව්‍යස්ථා උගුල ගැන උදය ගම්මන්පිල මහතා සමග සාකච්චා කරමින් එරික්‌ ගාමිණී ජිනප්‍රිය මහතා  දිවයින පත්‍රයට එක් කර ඇති මේ කදිම ලිපිය මගේ නෙත ගැටුනා .
සමරසේකර 



මේ හදන්නේ බුද්ධාගමේ ප්‍රමුඛස්‌ථානය
වචනයට සීමා කරන්නයි....
උදය ගම්මන්පිල කියයි









ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මඟින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන වගන්තිය මඟින් බුද්ධාගමට හිමිකර දී ඇති ප්‍රමුඛස්‌ථානය වෙනස්‌ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති විකල්ප 07 ට එරෙහිව මේ වන විටත් බලවත් විරෝධයක්‌ මතුවී ඇති අතර, ආණ්‌ඩු පාර්ශ්වයේ ස්‌ථාවරය වි ඇත්තේ අතුරු වාර්තාව මඟින් බුද්ධාගමට හිමි වී ඇති ප්‍රමුඛස්‌ථානයට කිසිදු අභියෝගයක්‌ එල්ල නොවන බවයි. අතුරු වාර්තාවේ විකල්පයක්‌ පිළිබඳව අප තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටි අතර ඒ පිළිබඳ ගම්මන්පිල මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් බුද්ධාගමට හිමි තැන අහිමි වන බවටත් මෙරට ඒකීය භාවය පවා අහෝසි වන බවටත් චෝදනා එල්ල වුවත් එම චෝදනා දේශපාලන වාසි ලබා ගැනීමට කරන ප්‍රකාශ බවට ආණ්‌ඩු පාර්ශ්වයෙන් ප්‍රති චෝදනාවක්‌ කරල තිබෙනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර- එක්‌සත් ජාතික පක්‍ෂය බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදෙන වගන්තිය වෙනුවට විකල්ප වගන්ති 7 ක්‌ යෝජනා කරල තිබෙනවා. එම විකල්ප හරිම පුදුම සහගතයි. තුන්වන විකල්පයේ සඳහන් කරල තිබෙනවා වෙනස්‌ ආගම්වලට වෙනස්‌ ලෙස සැලකීමකින් තොරව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන බව. ප්‍රමුඛස්‌ථානය දෙනවා කියන්නේ අනිකුත් ආගම්වලට වඩා බුද්ධාගම ඉදිරි තැනක තබනවා කියන එක. එලෙස සඳහන් කළ සැනින් බුද්ධාගම උඩින් තැබීමක්‌ සිද්ධ වෙනවා. තුන්වන වගන්තියේ සඳහන් වෙනස්‌ ලෙස සැලකීමකින් තොරව යන එකේ කිසිදු තේරුමක්‌ නැහැ. එයින් පැහැදිලි වන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිවනවා කියන එක හුදු වචනයකට සීමා වනවා කියන එක තමයි. ප්‍රමුඛස්‌ථානය ලබාදීමත්, වෙනත් ආගම්වලට වෙනස්‌ ලෙස සැලකීමකින් තොරව කියන එකත් එකිනෙකට පරස්‌පරයි.

හතර වන විකල්පයේ සඳහන් කරල තිබෙනවා ත්‍රිපිටකයේ විවරණය කරල තිබෙන ආකාරයට ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතු බව. ත්‍රිපිටකයේ කිසිදු ස්‌ථානයක බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ ලබාදිය යුතු බව සඳහන් කරල නැහැ. මොකද ත්‍රිපිටකයේ බුද්ධාගම හැර වෙන කිසි දෙයක්‌ පිළිබඳව සඳහන් වන්නේ නැහැ. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය පිළිබඳව අදාළ වන්නේ රාජ්‍යය පිළිබඳව සඳහන් කිරීමේදී තමයි. වෙනත් ආගම් තිබෙන තැනකදී තමයි බුද්ධාගමට ප්‍රමුඛතාවය හිමිවන බව තීන්දු කළ යුත්තේ. ත්‍රිපිටකයේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිවන බව සඳහන් කරල නෑ. එම නිසා මෙම වගන්තිය මගින් ත්‍රිපිටකයේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි නොවන බැවින් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිවීම අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට අවස්‌ථාව උදාවනවා.

රාජ්‍යයක්‌ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නීතිය මිස බුද්ධ නීතිය නොවෙයි. එම නිසා රාජ්‍ය නීතිය තුළයි බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිවිය යුත්තේ. එයට ත්‍රිපිටකය පදනම් කර ගැනීමක්‌ කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.

ඒ අනුව පැහැදිලි විය යුතුයි අප මෙම චෝදනා කරන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පදනම් කරගෙන බව.

ප්‍රශ්නය- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව තුළ කොමියුනිස්‌ට්‌වාදීන් කිහිප දෙනකුම කටයුතු කරනවා. ඔවුන්ගේ බුද්ධාගම පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා, ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් වූවා විය නොහැකිද?

පිළිතුර- මෙහිදී බුද්ධාගම පිළිබඳ නොදන්නා කමට වඩා තිබෙන්නේ කපටිකම. ත්‍රිපිටකය අනුව බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදෙනවා කියල කිව්වම බුද්ධාගම පිළිබඳව ගැඹුරු අවබෝධයක්‌ නොමැති අය ඉන් සෑහීමකට පත්වනවා.

එහෙත් අධිකරණය ඉදිරියේදී විවරණය කිරීමට ගියාම තමයි ප්‍රශ්නය මතුවන්නේ. මොකද ත්‍රිපිටකයේ එහෙම දෙයක්‌ සඳහන් නොවන නිසා. මෙම නිසා අවසානයේදී තීරණය වන්නේ ත්‍රිපිටකයේ බුද්ධාගමට ප්‍රමුඛතාවයක්‌ නොදෙන බව සඳහන් නොවන නිසා එහෙම දෙයක්‌ කිරීමට අවශ්‍ය නොවන බව තමයි.

මොවුන් සූදානම් වනවා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීමට. එය පිහිටුවූ පසුව ව්‍යවස්‌ථා පිළිබඳව අර්ථකථන ලබා දෙන්නේ ඔවුන් විසින්. ඔවුන්ගේ තීරණය වන්නේ ත්‍රිපිටකයේ බුද්ධාගමට ප්‍රමුඛතාවක්‌ ලබාදී නොමැති නිසා බුද්ධාගමට ප්‍රමුඛතාවක්‌ ලබාදීම අවශ්‍ය නොවන බව තමයි. එම නිසා මෙය නොදන්නා කමට වඩා කපටිකමට කරන ලද දෙයක්‌ ලෙස තමයි, මම නම් දකින්නේ.

ප්‍රශ්නය- ආණ්‌ඩුවේ ප්‍රධානීන් නිරන්තරයෙන්ම අවධාරණය කරනව බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව ආරක්‍ෂා කරන බව. ඇයි එසේ තිබියදී මේ ආකාරයෙන් නිරන්තරයෙන්ම සැක සංකා මතුකරන්නේ.

පිළිතුර- මහානායක ස්‌වාමීන් වහන්සේ දිගින් දිගටම ප්‍රකාශ කළ කාරණයක්‌ තමයි, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවයත්, ඒකීය භාවයත් ආරක්‍ෂා කරන බවට ප්‍රතිඥවක්‌ දුන්නු බව. නමුත් මේ වන විට අපට ලිත සාක්‍ෂි තුනක්‌ තිබෙනවා ආණ්‌ඩුව බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවට, ඒකීය භාවයටත් අත තබන බවට. පළමු සාක්‍ෂිය තමයි ලාල් විඡේනායක කමිටු වාර්තාව. ආණ්‌ඩුව විසින් ලත් කළ එම කමිටුවේ නිර්දේශය වූයේ බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව අහිමි කළ යුතු බව. ඒ වගේම ඒකීය රාජ්‍යය පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත් කළ යුතු බව. එදා ඒකීය රාජ්‍යය පිළිබඳව තිබෙන වගන්තිය ආරක්‍ෂා කළ යුතු බව ප්‍රකාශ කළේ එක්‌ අයකු පමණයි. බුදුදහමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව සඳහන් වගන්තිය ආරක්‍ෂා කළයුතු බව සඳහන් කරල තිබෙන්නේ දහනව දෙනාගෙන් එක්‌ අයකු පමණයි.

දෙවැනි අවස්‌ථාව තමයි පාර්ලිමේන්තුවේ අතුරු කමිටු වාර්තා ඉදිරිපත් කළ අවස්‌ථාවේදී මධ්‍ය සහ පර්යන්ත සබඳතා පිළිබඳ කමිටුව විසින් ඉතා පැහැදිලිව පෙඩරල් යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබුණා. එම අවස්‌ථාවේදීත් ඒ පිළිබඳව මහානායක හිමිවරුන්ගේ අවධානය අප යොමු කළා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව තමයි තුන්වන අවස්‌ථාව. මෙම අවස්‌ථාවේ අගමැතිවරයා විසින් තමයි ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවට මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ. මේ වාර්තාව රටට රහසක්‌ ලෙස තිබුණේ. විමල් වීරවංශ මන්ත්‍රීතුමත්, මමත් මාධ්‍ය හමුවක්‌ පවත්වා මෙම වාර්තාව රටට ප්‍රසිද්ධ කළා.

මෙම වාර්තාවේ ඉතා පැහැදිලිවම බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවය අහිමි කළ යුතුය යන යෝජනාව වගේම, ඒකීය රාජ්‍යය අහිමි කර පෙඩරල් රාජ්‍යයක්‌ ඇති කළ යුතුය යන යෝජනාවත් තිබෙනවා. කොහොමද ඒක තිබෙන්නේ? පළමුවෙන්ම මේ අය යෝජනා කරල තිබෙනවා ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක්‌ ලෙස හඳුන්වා දෙනවා වෙනුවට ඒකීය යන වචනය ඉවත් කිරීමට. ව්‍යවස්‌ථාවේ රට ඒකීය ද, පෙඩරල් ද යන්න සඳහන් නොවනවා නම් එය අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ අධිකරණය විසින්. මෙම ව්‍යවස්‌ථාවේ යෝජනා කරල තිබෙනවා ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසකගෙන් සමන්විත ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීමට. අපේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් පිළිබඳව විශ්වාසයක්‌ නොමැති බව තමයි, මෙහි සඳහන් කර තිබෙන්නේ.

ඉන්දීය ව්‍යවස්‌ථාවේ එරට ඒකීයද පෙඩරල් ද යන්න සඳහන් කරල නැහැ. එම නිසා එරට ශේ්‍රෂ්ඨාධිකරණයට නඩුවලදී මේ පිළිබඳව තීරණ ගැනීමට සිද්ධ වූවා. මුලින්ම විනිසුරුවරු තුන් දෙනකුගේ විනිශ්චය මණ්‌ඩලයක්‌ මගින් ඉන්දියාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස තීරණය කළා. නමුත් වෙනස්‌ නඩුවකදී විනිසුරුවන් පස්‌ දෙනකු විසින් ඉන්දියාව පෙඩරල් රාජ්‍යයක්‌ බව තීරණය කළා. ඉන් පසුව නැවත විනිසුරුවන් හත් දෙනකු විසින් එරට ඒකීය රාජ්‍යයක්‌ ලෙස තීරණය කළා. අවසානයේදී විනිසුරුවන් දහතුන් දෙනකු විසින් ඉන්දියාව පෙඩරල් රාජ්‍යයක්‌ ලෙස තීරණය කළා. එම නිසා එරට ව්‍යවස්‌ථාවේ පෙඩරල් රාජ්‍යයක්‌ බව සඳහන් නොවුණත් දැන් ඉන්දියාව පෙඩරල් රාජ්‍යයක්‌ ලෙස සලකනවා.

ඒ අනුව අපගේ ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ද, පෙඩරල් රාජ්‍යයක්‌ද යන්න සඳහන් නොවුවහොත් ඒකීය භාවය පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කළහොත් ඒ පිළිබඳව තීරණය කරන්නේ අලුතින් පිහිටුවීමට යෝජනා කර තිබෙන රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්‌ථා අධිකරණය විසින්. එම අධිකරණය විසින් මෙරට පෙඩරල් රාජ්‍යයක්‌ බවට තීරණය කරන බව අපට නම් කිසිදු සැකයක්‌ නෑ.

ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් මේ වන විට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට විරෝධය දක්‌වා තිබෙන්නේ ඔබත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාත් පමණයි. අනෙක්‌ මන්ත්‍රීවරුන් නිහඬව සිටින්නේ ඔවුන් මෙම වාර්තාවට කැමති නිසාද?

පිළිතුර- එහෙම කියන එක වැරදියි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාත්, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාත් මෙහෙයුම් කමිටුවේ සිටිනවා. එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වනවා එම වාර්තාවේ යෝජනාවලට එම දෙදෙනාගේ විරෝධය පළ කළ බවත් ඒ වගේම එම යෝජනාවලට අපගේ විරෝධය ලිතව මෙහෙයුම් කමිටුවට දැනුම්දී තිබෙනවා.

ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධය නොතකමින් මෙම යෝජනාවලියේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් ගන්නා පියවර කුමක්‌ද?

පිළිතුර- ඇත්ත වශයෙන්ම අපට ගත හැක්‌කේ එක පියවරයි. මෙය නීතියක්‌ බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත වගේම ජනමත විචාරණයකදී ජනතාවගේ කැමැත්ත 50% ක්‌ ලබාගත යුතු වනවා. සිග්නල් කණු වගේ අත ඔසවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිළිබඳව අපට ලොකු විශ්වාසයක්‌ නැතත් මේ රටේ ජනතාව මේ රට බෙදන රට ලේ විලක්‌ කරන, ඉතිහාසයේ බුද්ධාගමට ලබාදුන් තැන අහිමි කරන මෙම ව්‍යවස්‌ථාව ජාති ආගම් බේදයෙන් තොරව ප්‍රතික්‍ෂේප කරයි කියන විශ්වාසය අපට තිබෙනවා. අපි විශ්වාසය තබන්නේ ජනතාව මත. අපි මේ වන විටත් රැස්‌වීම් පවත්වමින් ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මෙය පරාජය කිරීමට අපට නොහැකි වුවහොත් ජනතාව ලවා මෙය පරාජයට පත් කරනවා.

එහෙත් මෙය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමත් එතරම් අපහසු නැහැ. මේ වන විට මෙම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ දරණ ස්‌ථාවරය අවිනිශ්චිතයි. මෙම යෝජනාව පරාජය කිරීමට නම් මන්ත්‍රීවරු 76 දෙනකු ඊට සහාය දීමෙන් වැළකී සිටිය යුතුයි. දැනටමත් අපට මන්ත්‍රීවරු 51 ක්‌ සිටිනවා. ඒ අනුව අපට තවදුරටත් අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරු. 25 දෙනකු පමණයි. ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනා සහය නොදී සිටිනවා නම් අපිට අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරු 19 ක්‌ පමණයි. මේ ආණ්‌ඩුවට එරෙහිව මන්ත්‍රීවරු 19 ක්‌ සොයා ගැනීම එතරම් අපහසු දෙයක්‌ නොවෙයි. මන්ත්‍රීවරු හොඳින්ම දන්නවා රට බෙදන ව්‍යවස්‌ථාවකට අත ඔසවා ඔවුන්ට යහතින් ගමට නම් යන්න නොලැබෙන බව.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්‍ෂය ආණ්‌ඩුවට එරෙහිව පිට්‌ටනි පුරවන එක හැර ඉන් එහාට ගොස්‌ විරෝධයක්‌ නොදක්‌වන බවට චෝදනාවක්‌ එල්ලවී තිබෙනවා.

ආණ්‌ඩුවට එරෙහිව හර්තාල් ව්‍යාපාරයක්‌ මෙහෙයවන බව ප්‍රකාශ කළත් මේ දක්‌වා එම ව්‍යාපාරය දියත් කිරීමට අසමත් වී තිබෙනවා නේද?

පිළිතුර - ඔය චෝදනා කරන අයගෙන් අපට අහන්න තිබෙන්නේ ඔබ යෝජනා කරන විරෝධය කුමක්‌ද? කියන එක තමයි. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම හිංසාවට, පීඩාවට ලක්‌ව හිරේ විලංගුවේ වැටුණ විපක්‍ෂය අපි. අපට වඩා ආණ්‌ඩුවේ මර්දනයට ලක්‌වූ විපක්‍ෂයක්‌ තිබෙනවා නම් පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. ඒ වගේම අපි තරම් ක්‍රියාකාරී විපක්‍ෂයක්‌ ලංකා ඉතිහාසයේ තිබිලත් නෑ.

මේ ආණ්‌ඩුව බලයට පත්වෙලා පැය 24 ක්‌ යැමට පෙර මම ප්‍රකාශ කළා. මේ ආණ්‌ඩුව ඉදිරි මැතිවරණයෙන් පෙරළා දමන බව. එසේ කියලා නිකන් නොසිට මාස එකහමාරකින්. ඒ වනවිට ලංකා ඉතිහාසයේ දැවැන්තම රැළිය අපි නුගේගොඩදි පැවැත්වුවා. ඉන් පසුවත් එවැනි රැළි රටපුරා පැවැත්වුවා. ඊට පසුව නුවර සිට කොළඹට දවස්‌ පහක පා ගමනක්‌ ගියා. මේ රටේ කුමන ප්‍රශ්නයක්‌ සම්බන්ධයෙන් උද්ඝෝෂණය කළත් අපි ඊට සහභාගි වී තිබෙනවා. එපමණක්‌ නොවෙයි මේ ආණ්‌ඩුව පත්කරගත් මහ බැංකු අධිපතිව ගෙදර යවන්න සිද්ධ වූයේ ඔහුගේ කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට සිද්ධවූයේ අප එල්ල කළ බලපෑම නිසා තමයි. මහ බැංකුව වටකරලා උද්ඝෝෂණය කළා. අධිකරණයේ නඩු කිව්වා. මාධ්‍යවලදී ආණ්‌ඩුවේ නායකයන් සමඟ විවාද කළා. ඒ හරහා ඇති කරපු ජනමතයට නොසලකා සිටීමට නොහැකි වූ නිසා තමයි ආණ්‌ඩුවට අර්ජුන් මහෙන්ද්‍රන් ඉවත් කිරීමට සිද්ධ වූයේ.

පසුගිය වසර දෙකක කාලය තුළ අපට වඩා ක්‍රියාකාරී වූ විපක්‍ෂයක්‌ සිටිනවා නම් එය කුමක්‌ද කියා පෙන්වන්න කියා අපේ විවේචකයන්ට අභියෝග කරනවා.

ප්‍රශ්නය- එසේ වුවත් ඔබලා කරනවා කිව්ව හර්තාලය කිරීමට නොහැකි වූවා නේද? ඒ හරහා මැතිවරණයක්‌ ලබා ගැනීමට නොහැකි වූවා නේaද?

පිළිතුර - මැයි -01 වැනිදා අපගේ ලොකුම රැස්‌වීම පැවැත්වුවා. එම රැළියෙන් පසුව තවම සතියයි ගතවී තිබෙන්නේ. එබඳු සාර්ථක රැළියකින් පසුව යළිත් රට රත්කරලා ගන්න ටික කාලයක්‌ අවශ්‍ය වෙනවා.

මේ ආණ්‌ඩුව කීයටවත් ඡන්ද තියන්නේ නෑ. පරදින ඡන්දයක්‌ තියලා තමන්ගේ වල කපා ගන්න ඔවුන් සූදානම් නෑ. දිනන්න ඕනි ජනතාවට නම් දිනන්න ඕනි ඒකාබද්ධ විපක්‍ෂයට නම් අපත් ජනතාවත් එකතු වෙලා අපගේ ජයග්‍රාහී මාවත අපම කපාගන්න ඕනි. එම නිසා අපි ආණ්‌ඩුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ ඉල්ලලා නුදුරු අනාගතයේදීම හර්තාලයකට යන්න සූදානම්.

මේ ආණ්‌ඩුව 2020 දක්‌වා බලයේ සිටීමට නීතිමය අවකාශය තිබුණත් මැයි 01 වන දා ජනතාව පෙන්වූ ආණ්‌ඩු විරෝධයෙන් පසුව මේ ආණ්‌ඩුවට සදාචාරමය අයිතියක්‌ නෑ. තවදුරටත් රට පාලනය කිරීමට. ඒ සඳහා නව ජනවරමක්‌ ලබාගත යුතුමයි. අනාගතයේ එක දවසක අපි දස ලක්‍ෂ ගණනින් පාරට බැහැලා ඡන්දය පවත්වනතුරු පාරෙ නතර වුවහොත් ආණ්‌ඩුව කුමක්‌ කරන්නද?

ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණයත් පැවැත්වීමට සූදානම් නැති ආණ්‌ඩුව මහ මැතිවරණයක්‌ පවත්වාවිද?

පිළිතුර - මැතිවරණය තබනවාද නැද්ද යන්න තීරණය වන්නේ ඒ මත ඇතිකරන බලපෑම මත. අපි මෙතෙක්‌ අධිකරණයට ගියා. උද්ඝෝෂණය කළා. නමුත් පිලිපීනයේ මාකොස්‌ පලවා හැරිය ආකාරයේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට අපට ශක්‌තිය තිබෙන බව. අප තේරුම් ගත්තේ පසුගිය මැයි 01 වැනිදා .

අපි ගාලුමුවදොර පිටිය පුරවාගන්න හැකිවේද යන කාරණය පිළිබඳව අප දෙගිඩියාවෙන් සිටියේ. නමුත් එදා අපගේ ඉල්ලීමට ගාලුමුවදොර පුරවන්න අවශ්‍ය ජනකාය වගේ තුන් ගුණයක්‌ එතනට ආවා. දැන් අපි දන්නවා ආණ්‌ඩුවේ තුවක්‌කුවලට නතර කළ නොහැකි ජන බලයක්‌ අපට තිබෙන බව. එම නිසා එම බලය රට වෙනුවෙන් පාවිච්චි කිරීමට අපි සූදානම්.

ප්‍රශ්නය - ඔබලා චෝදනා කරනවා අණ්‌ඩුව බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය අහිමි කිරීමට කටයුතු කරන බවට. නමුත් ආණ්‌ඩුව ඉන්දීය අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර වෙසක්‌ උළෙලක්‌ පැවැත්වීමට පවා කටයුතු කළා නේද?

පිළිතුර - ඇත්තටම මේ ආණ්‌ඩුව ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය සැමරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව අප ලැඡ්ජා විය යුතුයි. ඊට හේතුව තමයි තුන් ආකාරයකින් බෞද්ධයන් අවමානයට ලක්‌ වන ආකාරයට මෙම උත්සවය සංවිධානය කර තිබීම. පළමු කාරණය තමයි මෙම වෙ සක්‌ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ නරේන්ද්‍ර මෝදි පැහැදිලිවම බෞද්ධ විරෝධියෙක්‌. නරේන්ද්‍ර මෝදි කියන්නේ ආර්. එස්‌. එස්‌. නමැති හින්දු අන්තවාදී සංවිධානයේ පූර්ණකාලින වශයෙන් දේශපාලන කටයුතු කළ අයෙක්‌. එම සංවිධානය විසින් බෞද්ධ ධර්මචක්‍රය ඉන්දීය කොඩියට යොදා ගැනීම පිළිබඳව විරෝධය දක්‌වා තිබනෙවා. ඒ වගේම ඉන්දියානු ඉතිහාසයේ ලොකුම බෞද්ධයා වන අශෝක අධිරාජ්‍යයාගේ අශෝක ස්‌ථම්භය ඉන්දියානු රාජ්‍ය මුද්‍රdවට යොදා ගැනීමටත් ඔවුන් විරුද්ධවී තිබෙනවා. බැතිමත් බෞද්ධයකු වූ අව්බෙට්‌කාර් මහතා සැකසූ ව්‍යවස්‌ථාවටත් ඔවුන් විරුද්ධවී තිබෙනවා. ඔවුන් විශ්වාස කරනවා බුද්ධාගම නිසා ඉන්දියාව දුර්වල වූ බව. ඒ වගේම 6 වන සියවසේදී සිද්ධ වූ මුස්‌ලිම් ආක්‍රමනයට මුහුණදීමට බුද්ධාගම නිසා නොහැකි වූ බවත් ඔවුන් විශ්වාස කරනවා. බුද්ධාගම නිසා ලෝක සංස්‌කෘතික අධිපත්‍යය ඉන්දියාවට ලබාගැනීමට නොහැකි වූ බවත්, ඔවුන් විශ්වාස කරනවා.

එබඳු අදහස්‌ දරන බෞද්ධ විරෝධියකු ප්‍රධාන බෞද්ධ උත්සවයක, ප්‍රධාන අමුත්තා කර ගැනීම පිළිබඳව අණ්‌ඩුව ලැඡ්ජා විය යුතුයි. අනෙක්‌ අතට ලෝකයේ බෞද්ධ රටවල් ගණනාවක්‌ තිබෙනවා. එබඳු රටක නායකයකු ගෙන්වා ගැනීමට නොහැකිවීම පිළිබඳවත්, අප ලැඡ්ජා විය යුතුයි. එක්‌ අතකට නරේන්ද්‍ර මෝදි පිළිබඳව අවබෝධයක්‌ නොමැතිවීමෙන් මේ ආණ්‌ඩුවේ නායකයන් එක්‌ අතකට ඉතිහාසය නොදන්න බවත්, අනෙක්‌ අතට බෞද්ධ රාජ්‍යයක නායකයකු ගෙන්වා ගැනීමට නොහැකිවීමෙන් මේ ආණ්‌ඩුවේ නායකයන් භූගෝලය දන්න බවත් ඉතා පැහැදිලිවම සඳහන් කිරීමට පුළුවන්.

අනෙක්‌ අතට වෙසක්‌ කියන්නේ බුදුන් වහන්සේගේ උපත, බුදුවීම සිදුවූ දිනය පමණක්‌ නොවෙයි. එදින තමයි බුදුන්ගේ පරිනිර්වාණය සිද්ධ වූයේ මේ රටට මනා දැනුම් සම්භාරයක්‌ ලබා දුන්. අප විශ්වාස කරන ආකාරයට මේ ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම පුද්ගලයා තම සේවය නතර කරලා. මේ ලෝකයෙන් සමුගත් දිනය, එවැනි පසුබිමක වෙසක්‌ කියන්නේ ලස්‌සන කූඩු එල්ලන සැණකෙළියක්‌ නොවෙයි. මෙම ජාත්‍යන්තර වෙසක්‌ දිනය අපට ලැබීම යොදා ගැනීමට තිබුණා. අපගේ සංස්‌කෘතියට බුදු දහම එල්ලකර තිබෙන බලපෑම පෙන්වාදීම සඳහා. ඒ වගේම අපගේ මහා කරුණා ගුණය පෙන්වන්න. අපේ තිබෙන සහජීවනය පෙන්වන්න, අපේ තිබෙන පරිසර හිතකාමී බව පෙන්වන්න. නමුත් මෙය තවත් බටහිර පන්තියේ ආලෝකය පදනම් කරගත් සැණකෙළියක්‌ බවට පත්කර ගැනීම මඟින් බෞද්ධයන්ට අවමානයක්‌ සිද්ධ කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නිතිඥ උදය ගම්මන්පිල


සාකච්ඡා කළේ - එරික්‌ ගාමිණී ජිනප්‍රිය

No comments: