Sunday, May 21, 2017

සිදුවන එකම දෙය වනනේ දිනෙන් දින යහපාලනය ඉතිහාසයේ කුණු කූඩයට විසිවිම බව නම් දැන් හොඳටෝම පැහැදිලිය.


සමන් ගමගේ මහතා දිවයින පත්‍රයට ලියු මෙම ලිපිය හොරට නිදා ගෙන ඉන්න වුන්ගේ ඇස්  අරවන්න සමත් උනොත් අනාගතයේදී ඇතිවෙන  තවත් යුද්ධයක්  වැළැක්විය හැකිය. 

සමරසේකර 


සංහිඳියා විලාප තබා විරුවන් දඟගෙට
යවා ජයග්‍රහණය ආපසු හැරවිය හැකිද?
මීළඟ විජයග්‍රහණයේ සැමරුමට පෙරවදනක්‌


සමන් ගමගේ













මීට වසර දෙකහමාරකට පමණ ඉහතදී ත්‍රස්‌තවාදය තුරන් කළ දේශපාලන වටපිටාව පරාජය කරමින් රට තුළ යහපාලනය ඉස්‌මතු වූයේ යුද්ධයෙන් පසුව යළිත් මේ රට අරාජික කිරීමේ දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණ රැසක්‌ දියත්ව තිබියදීය. යහපාලනය බිහි වූයේද නිකම්ම නොව, රටට එරෙහි වූ සියලු විජාතික බලවේගවල සහ දෙමළ බෙදුම්වාදයේ ආශීර්වාදය ඇතිව සමාජගත කෙරුණු සංහිඳියාව හා සහජීවනය වැනි සුන්දර වදන්ද සමඟිනි.

මෙසේ සියලු ද්‍රෝහී බලවේග එකට එක්‌ව පෙළ ගැසෙද්දී ඒ ආරම්භයේදීම අපි වත්මන් ආණ්‌ඩුවට එකක්‌ කීවෙමු. ඒ දේශපාලනය කුමක්‌ වුවද යළි මේ බිම අරාජික වන තැනට කටයුතු කරමින් උගුලට පය නොබන ලෙසය. එහෙත් අප එසේ කීවද සිදු වූයේ සහ අදටත් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?

2015 ජනවාරි 8 වැනිදා ආණ්‌ඩුව බිහිවී හරියටම මාස පහකුත් දින දහයක්‌ ගිය ගැන මැයි 18 වැනිදා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජි ලංගම් ඇතුළු සමස්‌ත බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ එක්‌වී යුද්ධයෙන් මියගිය ඥතීන් සමරන්නෙමැයි කියමින් මේ රට වැනසූ ම්ලේච්ඡයෝ සමරන්නට වූහ.

අප මෙහිදී සැමරුවේ ම්ලේච්ඡයන් යෑයි කියනුයේ උන් බහුතරය යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ ත්‍රස්‌වාදීන් වූ නිසාය. රටට බෝම්බ ගසා ජනතාව අමු අමුවේ මරා දැමූ එකී ත්‍රස්‌තවාදීන් තිරිසන් ම්ලේච්ඡයෝමය. එහි කතා දෙකක්‌ නැත. එකී ම්ලේච්ඡයන්ගේ ප්‍රධානියා වූයේ ශිවාජිලංගම්ගේ මස්‌සිනා වූ ප්‍රභාකරන්ය. එහෙයින් සියලු දෙනා එක්‌ව එකී ආරම්භයේදීම සිදු කළේ යක්‍ෂයන් සැමරීම වන්නාහ.

එහෙත් ඔවුන් එසේ කරද්දී ආණ්‌ඩුව කළේ කුමක්‌ද? රටේ සැබෑ නිදහස ඉහළින් සමරමින් රණවිරුවාට ගෞරුත්වය දුන් විජයග්‍රහණයේ සැමරුම නවතාලිය. එහිදී යහපාලනය කීවේ විජයග්‍රහණය සැමරීමෙන් දෙමළ ජනතාවගේ සිත් පෑරෙන්නේ යෑයි කියාය. එහෙත් ශීවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් ප්‍රභාකරන් සිහිකර පහන් දල්වද්දී රටේ ඇනෙකුත් පාර්ශ්වවල සිත් පෑරේද යන්න පිළිබඳ ආණ්‌ඩුව කල්පනා කළේ නැත.

ශිවාජිලිංගම්ලා උතුරේදී ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටින්ට පහන් දල්වද්දී යුද්ධයෙන් මියගිය සමස්‌තය සමරන්නෙමියි කියමින් ආණ්‌ඩුව කළේ සංහිඳියාවේ සැමරුමක්‌ කරළියට රැගෙන ඒමය. එහිදී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ ආත්මයට සේම නන්දිකඩාල්හිදී පරලොව ගිය ම්ලේච්ඡයාගේ ආත්මයටද සැලියුට්‌ ගසන්නට ජීවත්ව සිටි රණවිරුවාට සිදු නොවුණේද?

එසේ ආරම්භය ගත් ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ වසරින් වසර ඉදිරියට එමින් අවසානයේ ඥතීන්ගේ මුවාවෙන් මියගිය ත්‍රස්‌තවාදීන් සිහි කරනු වෙනුවට ශ්‍රී ලංකා හමුදා දෙමළ වර්ග සංහාරයක්‌ කළ බව ලෝකයට කියමින් වර්ග සංහාරය සමරන්නට වූහ.

ඒ අනුව මෙවර ඔවුන් වර්ග සංහාර සතියක්‌ද ප්‍රකාශයට පත් කරමින් ඉකුත් 18 වැනිදා මුල්ලවයික්‌කාල්වලදී පහන් දල්වා ඥතීන් මුවාවෙන් කොටි ත්‍රස්‌තවාදීන් සැමරූ අතර ඒ සඳහා වත්මන් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද එක්‌විය. එසේම උතරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ද එකී සැමරුමේ ප්‍රධාන භූමිකාවක්‌ රඟ දැක්‌වීය.

මෙවර ප්‍රභාකරන්ගේ අවසානය සිදු වූ මැයි 18 දිනය ඉලක්‌ක කර වර්ග සංහාර සතියක්‌ ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද එකී සතිය තුළ උතුරට නොඑන ලෙස තර්ජනය කළ ශිවාජිලිංගම්, මුල්ලිවයික්‌කාල්හිදී පැවති පොදු සැමරීමට අමතරව යක්‍ෂයා එලොව ගිය ඒ බිමේa වෙනත් තැනකදී තමන්ගේ පිරිසක්‌ සමඟ එක්‌ව පහන් දල්වා ප්‍රභාකරන් සිහි කිරීමද සිදු කළේය.

ඒ ඔහු ප්‍රකාශ කළ වර්ග සංහාරයට අනුවය. එහෙත් ශ්‍රී ලංකා හමුදා එල්ටීටීඊ ත්‍රස්‌වාදීන්ට එරෙහිව සිදු කළ අවසන් සටනේදී කරනු ලැබුවේ දෙමළ ජාතියට එරෙහි වර්ග සංහාරයක්‌ද?

ජාත්‍යන්තරය පිළිගත් වර්ග සංහාරය යන්නෙන් අදහස්‌ කෙරෙනුයේ යම් ජාතියක්‌ හෝ ආගමික කණ්‌ඩාමක්‌ ඝාතනය කිරීම, බරපතළ ලෙස ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම, ශාරීරික දුබලතාවට පත් කිරීම, උපත් පාලනය කිරීම සහ බලහත්කාරයෙන් ළමුන් එක්‌ ජනකොසකින් තවත් කොටසකට මාරු කිරීම ආදිය ය.

එහෙත් වර්ග සංහාරය යන්නට මෙසේ ලබා දී ඇති ජාත්‍යන්තරව පිළිගන්නා අර්ථකතනයේදී කොතැනකදීවත් එක්‌ ජාතියක හෝ ජන කොටසක අවිගත් පිරිසකට හෙවත් ත්‍රස්‌තවාදීන් පිරිසකට එරෙහි කටයුතු කිරීම වර්ග සංහාරයක්‌ ලෙස පෙන්වා දී නැත.

එසේ නම් ශ්‍රී ලංකා හමුදා හෙවත් අපේ රණවිරුවන් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කර ත්‍රස්‌තවාදීන් විනාශ කර දැමීම කිසිසේත්ම වර්ග සංහාරයක්‌ නොවන්නකි. සත්‍ය එය වුවද ජනාධිපතිවරයාටද තර්ජන කරමින් ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනය වර්ග සංහාරයක්‌ කළේ යෑයි කියමින් මියගිය කොටින්ට පහන් දල්වද්දී ඒ ඇත්ත ලෝකයට කියන්නටවත් ආණ්‌ඩුව කටයුතු කළේද? කිසිවකුටත් එවන් හැකියාවක්‌ තිබුණේ නැත. සිදු වූ එකම දෙය වන්නේ ශිවාජිලිංගම්ගේ වර්ග සංහාර සතිය තුළ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්‌ථානය යටතේ සිටින සියලු හමුදා විරුවන්ගේ රාජකාරිය කඳවුරුවලට පමණක්‌ සීමා කර තැබීම විය.

ඉකුත් දිනවල බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනතද පාර්ලිමේන්තුවට ගෙන එමින් ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥ්ප්තියටද අත්සන් තැබූ ආණ්‌ඩුවක්‌ මෙසේ වර්ග සංහාර සැමරුමක්‌ හමුවේ නිහඬ වීමෙනුත් එපිටට යමින් රණවිරුවන් කඳවුරුවලට සීමා කරමින් කටයුතු කළේ කුමක්‌ නිසා විය හැකිද?

මෙයින් මතුවී පෙනෙන්නේ අද රණවිරුවා සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ ඇති පාණ්‌ඩු ගතිය නොවේද? එසේ වී තිබෙන්නේ කුමක්‌ නිසාද? යහපාලනය බලයට ගෙන ඒමට පරිසරය නිරරමාණය කර දුන්නා වූ විජාතික බලවේගවල සිත් සතුටු කිරීම ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වී නිබෙන නිසාද? යම් ලෙසකින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය විසින් මෙසේ ඉස්‌මතු කරනු ලබන වර්ග සංහාරය යන්නට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ලැබුණහොත් දංගෙඩියට යන්නේ දිවි පරදුවට තබා මේ රට යක්‍ෂයාගෙන් මුදාගත් රණවිරුවන්ය. අපට නිදහස දිනා දුන් වීරයන්ය. ඒ බව ආණ්‌ඩුව නොදන්නේද?

සිදුවෙමින් තිබෙන්නේ මේ බරපතළ ඇත්ත ආණ්‌ඩුව නොදැන සිටීම නොව, දැන දැනත් නිහඬව සිටීමය. ප්‍රභාකරන්ගේ මස්‌සිනා ශිවාජිලිංගම් උතුරේදී කොටි සිහිකරමින් වර්ග සංහාරය සමරද්දී රටට නිදහස දිනා දුන් වීරයන් වෙනුවෙන් වෙන් වූ විජග්‍රහණයේ සැමරුමට රජය මෙවරද ලබා දී ඇති තැන දෙස බැලීමේදී ද ආණ්‌ඩුවේ එකී රණවිරුවා නොසලකා හැරීම මැනවින් පැහැදිලි වන්නකි.

උතුරේ වර්ග සංහාරයක්‌ සැමරෙද්දී මෙවර රණවිරු සමරුවට අනුව ඉකුත් 19 වැනිදා සංහිඳියාවේ නාමයෙන් දියවන්නා රණවිරු ස්‌මාරකය අසල චාම් උත්සවයක්‌ පැවත්වු රජය විජයග්‍රහණයේa රණවිරු සමරුව වෙනුවට මෙවර කළ සුවිශේෂීම කටයුත්ත වූයේ සංහිඳියාවේ සංස්‌කෘතික උත්සවයක්‌ සංවිධානය කිරීමය.

එහෙත් ආණ්‌ඩුව මෙසේ සංහිඳියාවට සහ සහජීවනයට මල් පුදද්දී ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනය උතුරේදී කොටි සමරණ අතරේ වර්ග සංහාරයක්‌ පිළිබඳ කතා කරමින් බෙදුම්වාදය දෙසටම යමින් සිටින්නේ නම් මේ රට තුළ ඇතිවිය හැකි සංහිඳියාව කුමක්‌ද? එහිදී සංහිඳියාවක්‌ ඇතිවේ යෑයි සිතන්නටවත් පුළුවන් වේද?

පවතින සැබෑ ගැටලුව එසේ වෙද්දී යහපාලනය නොනවත්වාම සංහිඳියා සහ සහජීවන මන්ත්‍රය ජපකරමින් සිටින්නේය. එකී ජප කිරිල්ලට අනුව අද කොඩිවිණය සිදුව ඇත්තේ මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීම සඳහා ජීවිත පරදුවට තබමින් යක්‍ෂයා සමඟ සටන් වැදුණු වීරයන්ට නොවේද?

පිස්‌සන් කොටුවෙන් පැන්නාක්‌ මෙන් සංහිඳියාව , සහජීවනය කියමින් ආණ්‌ඩුව ඉබාගාතේ යද්දී සීඅයිඩීය ආරම්භ කළ බුද්ධි අංශ දඩයමට අනුව මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් හත් දෙනකු සහ නාවික හමුදා බුද්ධි අංශයේ ත්‍රිකුණාමලය ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ, ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපා ඇතුළු නාවික විරුවන් සිව්දෙනකු තවමත් සිටින්නේ බන්ධනාගාරගතවය.

මේ වන විට තමන්ගේ රැකියා අහිමිව වැටුප් පවා නතර කර දමා ඇති මෙකී බුද්ධි අංශ විරුවන්ට අත්ව තිබෙන ඉරණමද ඉතා ෙ€දනීය වී තිබෙන්නකි.

යහපාලනයත් සමඟ හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසිය ආරම්භ කළ එක්‌නැලිගොඩ විමර්ශනට හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් නව දෙනකු දීර්ඝ කාලයක්‌ බන්ධනාගාරගතව සිටීමේදී වරක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌ වැදගත් ප්‍රකාශයක්‌ද කරනු ලැබීය.

එහිදී පොලිසියේ විමර්ශනවල යම් ගැතිභාවයක්‌ ඇතැයි පෙනී යන බවද ප්‍රසිද්ධියේම කී ජනාධිපතිවරයා බුද්ධි නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදු කරන්නේ නම් දිගින් දිගටම ඔවුන්ව සිරගත කිරීමට ඉඩ නොතබා ඇප ලබාදී අදාළ විමර්ශන සිදු කර නඩු පවරන ලෙසද සඳහන් කළේය.

එහෙත් රහස්‌ පොලිසිය ජනාධිපතිවරයාගේ එකී සඳහන පිළිගන්නට තවමත් එකඟ නොමැති බව පෙනනේනට තිබෙන්නකි. මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා නිලධාරීන් මෙන්ම කමාණ්‌ඩර් රණසිංහ සහ ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපා ඇතුළු නාවික නිලධාරීන් පිරිස සීඅයිඪියේ චෝදනා හමුවේ අදටත් සිරගතව සිටීම එයට ඇති පැහැදිලි උදාහරණයකි.

එසේ කරන පොලිසිය අපේ හමුදාවෝ ප්‍රභාකරන් වැනසු දිනය ලෙස සැලකෙන ඉකුත් 18 වැනිදාද නාවික හමුදා බුද්ධි අංශයේ ත්‍රිකුණාමලාය ප්‍රධානියාව සිටි සුමිත් රණසිංහ යටතේ රාජකාරි කළ තවත් බුද්ධි නිලධාරීන් සිව් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා සීඅයිඩීයට කැඳවීය. මෙකී විජයග්‍රාහි දිනයේදීම එම නිලධාරින් කැඳවීමට පොලිසිය කටයුතු කරනු ලැබුවේ කුමක්‌ නිසාද?

මේ බුද්ධි නිලධාරීන් වරදක්‌ කර තිබෙන්නේ නම් ඔවුන්ට දඬුවම් ලබාදීම පිළිබඳ අපට කිසිදු ගැටලුවක්‌ නැත. එහෙත් විමර්ශන අවසන් නැතැයි කියමින් සීඅයිඩීය වරින් වර අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බී වර්තා හමුවේ මේ නිලධාරීන් තව කොතෙක්‌ කලක්‌ සිරගතව සිටිය යුතුද?

රට වනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ ඔවුන්ට එසේ විඳවන්නට සිදුවීම කොතෙක්‌ දුරට සාධාරණ වන්නක්‌ද? එහෙත් සිදුවන අසාධාරණය මොනතරම් වුවද අද ඒ පිළිබඳ කතා කරන්නට කිසිවකුත්ම නැත. යහපාලනය සිටිනුයේ සංහිඳියාවේ සහ සහජීවනයේ සිරවීය.

ශිවාජිලිංගම්ලා වර්ග සංහාරය සමරද්දී රට වෙනුවෙන් සතුරාට එරෙහිව ඉතාම සංවේදී මෙහෙයුම්වල නිරත වූ හමුදා බුද්ධි නිලධාරීන්ට අත්ව තිබෙන ඉරණම මෙවැන්ක්‌ නම් මේ රට තුළ ඇතිවිය හැකි සහජීවනය සහ සංහිඳියාව කුමක්‌ද?

ඒ කිසිවක්‌ම සිදුවන්නෙ නම් නැත. මේ සියල්ල හමුවේ සිදුවන එකම දෙය වනනේ දිනෙන් දින යහපාලනය ඉතිහාසයේ කුණු කූඩයට විසිවිම බව නම් දැන් හොඳටෝම පැහැදිලිය.


 

No comments: