Wednesday, May 3, 2017

කැවුම් නොකන සිංහලයා






සිංහල අලුත් අවුරුද්දේපශ්චාත් මරණ පරීක්‌ෂණය  යනුවෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහතා ලියා ඇති දිවයින පත්‍රයේ පලවූ  මෙම වැදගත් ලිපිය  අප සියලු දෙනාගේම ඇස්  යොමුවිය යුතු  ලිපියකි.
සමරසේකර  



සිංහල අලුත් අවුරුද්දේ
පශ්චාත් මරණ පරීක්‌ෂණය








පූර්ව ධනේෂ්වර සමාජයන් පිළිබඳ විමසිලිsමත් වීමේදී ජන සමාජයක නිෂ්පාදන ආර්ථික ක්‍රමය ඉඳුරාම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සමග බද්ධ වී තිබුණූ බව පෙනේ. එය වෙළෙඳාම සහ මුදල් මත පදනම් නොවූ භාණ්‌ඩ හා සේවාවන් හුවමාරුව මත පදනම් වූවකි. ජන සමාජයක යහ පැවැත්ම උදෙසා එකා සැමටත් සැම එකාටත් අවශ්‍යයෙන්ම ඕනෑ විය. එමෙන්ම අතීත ආර්ථික නිෂ්පාදන සමාජයන් විසින් සොබාදහම වෙනස්‌ කළද ඒ යම් සීමා මායිම් වලට යටත්ව ය. කිසිදු දඩයක්‌කරුවකු ගැබ්බර හෝ කිරි දෙන සතෙකු හෝ පැටවකු දඩයම් කළේ නැත. ඒ සත්ව ගහණයේ තිරසර පැවැත්ම තහවුරු වීමෙන් තමන් ද රැකෙන බව ඔහු දැන සිටි නිසාය. තම උදැල්ලට උදළු මිටක්‌ හෝ වහලයට ලීයක්‌ කපා ගෙන ඒම සඳහා කැලයට වදින ගොවියා ඒ සඳහා අර් ගසක්‌, ඟ ගසක්‌ හෝ කලුවර ගසක්‌ මාදම් ගසක්‌ කපා දමන්නේ නැත. ඔවුන්ගේ සංස්‌කෘතික රීති විසින් එවැනි ක්‍රියාකාරකම් සඳහා තහංචි පනවා තිබිණ. මිනිසුන් අතර මෙන්ම ගහ කොළ සතා සරුපයා සමග සාමූහිකත්ව බැඳීම් වල පැවැත්ම තහවුරු කෙරෙන සංස්‌කෘතිකාංග අතීත සමාජ සංස්‌කෘතිකාංග වල මහා පොදු සාධකයක්‌ වෙයි. ඒ අනුව, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සහ සමාජ රීතීන් වෙසෙසින්ම ජන සමාජයේ සාමාජිකයින් අතර සම්පත් බෙදී යැම නියාමනය කරන ලදී. අතීත සමාජ වල සෑම සාමාජිකයකුම ඔහු ගොවියෙකු වේවා, දඩයක්‌කාරයෙකු වේවා, මසුන් මරන්නෙකු වේවා, රෙදි වියන්නෙකු වේවා, කම්මල්කරුවෙකු වේවා, ගොපල්ලෙකු වේවා සමාජ නිෂ්පාදනය සඳහා තමන්ගේ දායකත්වය පිළිබඳ සවිඥානිකය. තමන් කළ නිෂ්පාදනයේ ප්‍රමාණය සහ ගුණය අනුව තමන්ට ලැබෙන නොලැබෙන දේ පිළිබඳවද හේ සවිඥානික ය. තම සමාජයේ පැවැත්ම සහ ඉදිරි පරම්පරාවේ තිරසර පැවැත්ම සඳහා සැකසුණු සංස්‌කෘතිකාංග නීති රීති කිසිවකු බිඳ නොදමයි. ඒ අනුව අතීත සමාජයේ නිෂ්පාදන ආර්ථිකයන් කුඩා වුවත් ඒවා නූතන ධනේෂ්වර ආර්ථික මොඩලයන් මෙන් ජෛව ගෝලයේ යහපැවැත්ම කඩා බිඳ දමන්නේ නැත.

මෙරට මානව ශිෂ්ටාචාරය තුළ අතීත නිෂ්පාදන ආර්ථික ක්‍රමයේ තිරසර පැවැත්ම තහවුරු කෙරෙන, බල ගැන්වෙන උතුම් සංස්‌කෘතිකාංග රාශියක්‌ එළිදැක්‌වෙන උත්සවයක්‌ ලෙස අප සිංහල අලුත් අවුරුද්ද තේරුම් ගත යුතුව ඇත. එහෙත් අවාසනාවකට දැන් ඇත්තේ පෙර කී සොබාදහමේ සහ මානව බැඳීම්වල යහපැවැත්මේ අංශුමාත්‍රයක්‌වත් නොඉල්ලන, ඒ වෙනුවට ඒ සියලු බැඳීම් සුණු විසුණු කර දමන නව ලිබරල් ආර්ථික රටාවක්‌ බැවින්, වෙළෙඳාමේ ආනුභාවයට යටත් වුණු සිංහල අවුරුද්දේ සාධනීය සංස්‌කෘතිකාංග අභාවප්‍රාප්ත වී ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව මෙරට ජනතාවට දන්වා සිටිනු කැමැත්තෙමු. ඒ කෙසේද යත්.......






කැවුම් නොකන සිංහලයා

ලංකාවට යුරෝපීයයන් පැමිණි මුල් කාලයේ දී කැවුම් වනාහි මනුෂ්‍ය අතකින් සෑදූ දෙයක්‌ නම් විය නොහැකි බව සුද්දන් සිතීය. කැවුම් කොයිතරම් රසවත් ආහාරයක්‌ වීද යත්, කැවුම් කන්න යෝධයෙකු වූ සිංහලයා මෝඩයෙකු යෑයි සුද්දා කීවේ අප සතුව තිබූ විශිෂ්ට ආහාර සංස්‌කෘතිය පිළිබඳ වූ ඉරිසියාව නිසා මිස පරංගියා වට රවුමෙන් කෝට්‌ටෙ අරන් ගිය සිංහලයා මෝඩයකු වූ නිසා නොවේ. මෑතක්‌ වන තුරුම මෙරට නොනිල රසකැවිල්ල වූයේ කැවුම් ය. එහෙත් අද පෙර මෙන් රසයෙන් හා ගුණයෙන් අනූන කැවුම් හදන්න දන්නා කෙනෙකු සොයා ගන්නට නොහැකිවා මෙන්ම කැවුම් කන්නට රුසියක්‌ ඇත්තන් ද සොයා ගන්නට අපහසුය. බොහෝ ගෙවල් වල ගෘහණියන් උජාරුවට කීවේ, ළමයි කැවුම් කන්න කැමති නෑනේ මෙයා, ඒ නිසා අපි කැවුම් කොකිස්‌ වෙනුවට කේක්‌ ගෙනාවා...''යි යනුවෙනි. ඇත්ත කතන්දරය වන්නේ දැන් කාලේ ළමයින් කැමති නැත්තේ කැවුම්, කොකිස්‌, කිරිබත්වලට පමණක්‌ නොව බත්, මාළු, මැල්ලුම් පලා වර්ග, දේශීය පලතුරු, දේශීය අල බතල, කොළ කැඳ ආදී අපගේ අති විශිෂ්ට ආහාර සියල්ලටම පාහේ ළමයින් අකමැති වීම ය. එයට හේතුව වී ඇත්තේ එම්. එස්‌. ජී. (ඵීඨ) ප්‍රමුඛ රසකාරක සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු කෘත්‍රිම ක්‌ෂණික ආහාර වලට ඇබ්බැහි වී සිටින වර්තමාන ළමයින් ස්‌වභාවික ආහාර ප්‍රතික්‌ෂේප කිරීමයි. කැවුමක්‌ කොකිසක්‌ ළමයින්ට කැවීම සඳහා ඇතැම් තැනෙක කැවුම් වලට වැනිලා රස කාරකත් (කෘත්‍රිම) කොකිස්‌ වලට කෘත්‍රිම සායම් වර්ගත්, සුප් කැට, සීසනින් පවුඩර් වැනි එම්.එස්‌.ජී. අඩංගු කෘත්‍රිම රසකාරකත් එක්‌ කර තිබෙනු දැක ගන්නට හැකි විය. ඇතැම් තැනක දෙමවුපියන්ගෙ පෙරැත්තෙට අලුවා කෑල්ලක්‌ කෑ ළමයකු සූදුරු ඇටයක්‌, එනසාල් ඇටයක්‌ හැපුණු විට "ඊයියා මොකක්‌ද ජරාවක්‌ හැපුනා...'' යෑයි කියනු ද ඇසිණ. මෙවැනි ළමයින් මුළු අවුරුද්ද පුරාවටම ගිළ දමන සුප් කැට, කෘත්‍රිම රසකාරක, අහිතකර තෙල් සහ මාගරින් වලින් තෙම්පරාදු කළ ප්‍රයිඩ් රයිස්‌, කන්, කේක්‌, බිස්‌කට්‌, අයිස්‌ක්‍රීම්, පුඩින්, සිසිල් බීම, දියර කිරි පැකට්‌, ජෙලි, අයිස්‌ක්‍රීම්, ආදි ආහාර වලින්ම අවුරුදු සමයේ දීද සන්තර්පනය වනු දකින්නට පිළිවන් විය. දැන් ලංකාවේ ජාතික රස කැවිල්ල වන්නේ පිළිකාරක රසායනික ද්‍රව්‍ය වලින් ද පොහොසත් ස්‌වභාවික ද්‍රව්‍ය කිසිවක්‌ අඩංගු නොවන කේක්‌ ය.

කෘත්‍රිම සීනි දිනකට මේස හැඳි කට වඩා අනුභව කිරීමේ ආදීනව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කාලයක්‌ තිස්‌සේ ජනතාවට අනතුරු අඟවමින් සිටී. සිසිල් බීම සහ පලතුරු බීම බෝතල්වල කොපමණ සීනි අඩංගු වන්නේ ද යන්න කෙනෙකුට ලෙහෙසියෙන්ම අවබෝධ කරගන්නට හැකි වන සේ ඒවායේ ලේබල් මත වර්ණ සංෙ€ත දැක්‌වීමටද අවශ්‍ය විදි විධාන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරවා ඇත. එහෙත් අවුරුදු ආතල් එක භුක්‌ති වින්ඳ ජනතාව ඒවා තඹ පයිසෙකට ගණන් ගත් බවක්‌ නොපෙනිණ. රජයට අයත් රූපවාහිනි නාලිකාවල කෘත්‍රිම ආහාර නිෂ්පාදන සමාගම් වල අනුග්‍රහයෙන් පැවති ඇතැම් ජාතික අවුරුදු උත්සව වල නිල පානයන් වූයේ මධ්‍යම ප්‍රමාණයේ බෝතලයක සීනි තේ හැඳි හතකටත් වඩා වැඩියෙන් අඩංගු සිසිල් බීම වර්ග සහ එක කෝප්පයක සීනි තේ හැඳි 3 මි 4 ක්‌ අඩංගු වන මෝල්ට්‌ කිරි පිටි සමාගම් ය. මේ අවුරුදු උත්සව තරග වලින් ජයග්‍රහණය කරන කුඩා දරුවන්ට තෑගි වශයෙන්ද, සහභාගි වන්නන්ට ද, තරග විනිශ්යකරුවන්ට ද මේ ජාතියේ සිසිල් බීම සහ කිරි පිටි වර්ග ඇති තරම් ලැබිණ. ඉදින් ඉස්‌මුරුත්ත වෙන්න මේ බීම ජාති පානය කරන ඇත්තන් අවුරුදු දින වල දී අනුභව කරන රස කැවිලි සහ සීනි සහිතව පානය කරනු ලබන තේ සහ කිරි ද සමගින් දිනකට සීනි තේ හැඳි 20 ක්‌ 30ක්‌ පමණ ආමාශගත කර ගන්නා ලදී. ඔවුන්ගේ නොමේරූ ඉන්ද්‍රියයන් වලට අධික සීනි සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ දරා ගන්නට බෙහෙවින්ම අසීරු නිසාත්, (ළමයෙකුට දිනකට දරා ගත හැකි උපරිම සීනි ප්‍රමාණය තේ හැඳි 4 කි.) අවුරුදු සමය තුළ දී අපගේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස ළමයින් අපයෝජනයට ලක්‌ කරනු ලැබිණ. ඉදින් අවුරුද්දෙන් පසු මේ රටේ ජනතාව නැකතට යා යුත්තේ රාජකාරි සඳහා නොව, තම ළමයිනුත් රැගෙන වෛද්‍යවරුන් බැහැ දකින්නට ය.

ජන ක්‍රීඩා අමතක කළ ස්‌මාර්ට්‌ දරුවන්

මෙවර අවුරුදු සමයේදි මෙරට බොහෝ ළමයින් ගම් බිම් වලට ගොස්‌ ඔංචිල්ලා පැද්දේවත්, පංච දැමුවේවත් නැත. ජන ක්‍රීඩා සියල්ල තිබුණේ ජනමාධ්‍යවල පමණි. විශේෂයෙන් නව යෞවන වියේ ළමයින් කළේ ස්‌මාර්ට්‌ ෆොන් වලට කොටන එක ය. අයියො තාත්තිගෙ ගමේ ත්‍රී ජී වත් නෑනේ...'' කියා මැසිවිලි කියූ ළමයින් ද අපට දැක ගන්නට පිළිවන් විය. වැඩිහිටියන් පැය ගණන් රෙදි කඩවල් වල කට්‌ට කා තම දරුවන්ට ගෙනත් දීපු ඇඳුම් දිහාවත් ආසාවෙන් බලන්නට ඇතැම් තරුණ ළමයි උනන්දු නොවනු පෙණින. ඒ දරුවන්ට රුපියල් 1,000 ක 2,000 ක ඩේටා කාඩ් හෝ ගේම් සීඩි ගෙනත් දුන්නා නම් ඔවුන් කෙපමණ සතුටු විය හැකි දැයි අපට සිතිණ. එකල මෙන් අවුරුදු චාරිත්‍ර කරන්නට පුල පුලා බලා සිටි ළමයින් දැන් දැක ගන්නට නොමැති ය. දුර පළාත් වලින් ගම් බිම් වලට ආපු තම දරු මුණුබුරු මිණිබිරියන් දපනෙ දමා නිදාගනිත් දී මහලු දෙමහල්ලන් විසින් පාන්දර නැකතට ලිප මෙලවූ අවස්‌ථා ද බොහෝ තැන්වල දකින්නට පිළිවන් විය. ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයටවත් සහභාගි නුවූ ඇතැම් දරුවන් ඒ වෙලාවටත් එක්‌කෝ නිදි ය. නැතිනම් කාමරේට වෙලා ෙµaස්‌ බුකියෙ ලැග සිටිනු පෙණින. හිස තෙල් ගාන නැකත් වේලාවට රතිඤ්ඤා සද්දය ඇසුණු ඇතැම් තරුණ ළමයකු  ඇයි බන් මේ වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්නේ...'' යෑයි තම මිතුරන්ගෙන් ඇසූ අවස්‌ථා ද නිරීක්‌ෂණය විය. සිංහල අලුත් අවුරුදු සමය වනාහි වැඩිහිටියන්ට සැලකීම උතුම් මනුෂ්‍ය ගුණයක්‌ ලෙසට තහුවුරු කෙරෙන සමයක්‌ ද වෙයි. එහෙත් මෙවර අවුරුදු සමයේ දරුවන් වැඩිහිටියන්ට වැන්දේ අමුතුම ආකාරයකට ය. ඒ ඔවුන් දිනපතා නරඹන කසිකබල් හිංදි මෙගා නාට්‍ය වල නළු නිළියන් ගේ ස්‌ටයිල් එකට ය. චාරිත්‍රෙට එහෙම වැන්ද සහ වැදුම් ලැබූ වැඩිහිටියන්ගේ කෙරුවාව ද අවුරුදු සමය නිම වී ගම් බිම් වලට බස්‌ රථ වලින් ගමන් කිරීමේදී දැක ගන්නට පිළිවන් විය. මේ බොහෝ දෙනෙකු බස්‌ රථ වල හිටගෙන ගිය වයෝවෘද්ධයෙකුට, ගැබිනි මවකට, ආබාධිතයෙකුට අසුනක්‌ දුන්නේ නැත. ළමයින් දෙදෙනකු පමණක්‌ අසුන් ගෙන සිටින අවස්‌ථා වලදි තව අයෙකුට පොඩි ඉඩක්‌ දෙන්නට අවස්‌ථාවක්‌ තිබිය දී පවා අපි යන්නේ සල්ලි දීලා කියා තමන් ළඟ හිටගෙන ගිය අබල දුබල ඇත්තෙකුට ඉඩ නොදුන් ළමයින් සහ එසේ ඉඩ දෙන්න යෑයි තම දරුවන්ට නොපැවසූ දෙමවුපියන් ද අපට බස්‌ රථ වල දැක ගන්නට පිළිවන් විය.

අද දවසේ දී අප අත් දකිමින් සිටින්නේ, මුළුමනින්ම වෙනස්‌ විෂය මූලික තත්ත්වයක්‌ තුළ (නිෂ්පාදන ආර්ථික සමාජ ක්‍රමයක්‌ තුළ) නිර්මාණය වූ මෙරට පැරණි සංස්‌කෘතිකාංග ජාතික නිෂ්පාදන ආර්ථික ක්‍රමයක්‌ නොමැති, වෙළෙඳාම සහ කොමිස්‌ මත පදනම් වුණු, වසඟකාරි, අධි පාරිභෝගික නව ලිබරල් සමාජ ආර්ථික තත්ත්වයන් තුළ මිනිසුන්ගේ ඇඟට නොදැනීමේ (මනෝමූලික නොවීමේ) තත්ත්වය යි. සංස්‌කෘතිය, ඉතිහාසය මානව සමාජයේ ප්‍රගතිශීලි සහ තිරසර පැවැත්මක්‌ උදෙසා යාවත්කාලීන කර නොගන්නා අපේ රටේ බොහෝ දෙනෙකු වනාහි අතීතකාඟන් පමණක්‌ වෙයි. ඒ අතීතකාඟන්ට සංස්‌කෘතිකාංග සම්බන්ධයෙන් ඇත්තේ සංෙÄත වටිනාකම් පමණි. ඒවායෙ කාලානුරූප නොවන නිෂේධනීය දේවල් අත්හරින්නටවත්, සාධනීය දේවල් අප්ඩේට්‌ කර ගන්නටවත් අවශ්‍ය නැත. අතීතකාඟ පාරිභෝගිකයින් පිරිසකට සංස්‌කෘතික සංෙÄත විකිණීම වෙළෙන්ඳන්ට මහ ලාබ ගෙන දෙන කටයුත්තක්‌ වෙයි.

ගොන් පොර කෙළින සුද්දා සහ කිරිබත් නොකන කලු සුද්දා

අතීතයේ සමස්‌ත යුරෝපා භූමියෙන් වැඩි හරියක්‌ම නිසරු තෘණ බිම් විය. ඒවායේ මිනිසුන්ට වඩා සිටියේ බැටලුවන් සහ හරකුන් ය. කාර්මික විප්ලවයට පෙර යුරෝපාකරයේ ජීවත් වුණු මිනිසුන් වැඩි හරියකගේ ආහාර සහ ජීවනෝපාය සත්ව පාලනය සමග සම්බන්ධ වී තිබිණ. ආහාර විවිධත්වයක්‌ සහ පෝෂණීය ආහාර සුලභව නොතිබුණු යුරෝපයේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරයක්‌ වූයේ ද සත්ව මාංශ සහ කිරි ය. වසරේ වැඩි කාලයක්‌ වගාවට සහ ජීවනෝපාය සඳහා නුසුදුසු දේශගුණයකින් බැට කෑ යුරෝපා ජාතීන් වසන්ත සැණකෙළි මහ ඉහළින් සැමරීය. ඔවුන්ගේ පැරණි සංස්‌කෘතිකාංග දෙස විමසිලිමත් වීමේදි ඒවා මත ඔවුන් ගේ අතීත නිෂ්පාදන ආර්ථික ක්‍රමයේ නටබුන් පෙනෙන්නට තිබේ. ස්‌පාඤ්ඤය ප්‍රමුඛ යුරෝපා රටවල් කිහිපයකම පැල පදියම්ව තිබෙන සංස්‌කෘතික උත්සවයක්‌ වන්නේ ගොන් පොර ය. ගොන් පොර හරහා ඔවුන් එෙ`ඩ්රුන් ලෙස ගත කළ කටුක ජීවිතයේ අතීත ලක්‌ෂණ අපට කියවා ගත හැකිය. ගොන් පොර වලදි කෘර වද හිංසා පමුණුවා මරා දැමෙන සතුන්ගේ මාංශය බෙදා හදා ගෙන කෑමත්, තම ගොවිපොළේ ආදර කරුණාවෙන් බලා කියා ගන්නා ඌරෙකු තම දෑතින්ම මස්‌ කර, පිස අසල්වාසීන් සමග නත්තල් සතුට සැමරීමත් සුද්දාට අනුව උසස්‌ සංස්‌කෘතිකාංගයෝ වෙති. ආහාර සුලභතාවය සහ ජීවනෝපාය නොහොත් නිෂ්පාදන ආර්ථික ක්‍රමය සංස්‌කෘතිකාංග නිර්මාණය කිරීම සඳහා බලපාන ආකාරය සඳහා නිදසුන් බොහෝය. අතීතයේ අරාබිකරයේ කාන්තාරාශ්‍රිත රටවල්වල ජීවත් වුණු මිනිසුන් ගේ ජීවනෝපාය මෙන්ම ආහාරය ද වූයේ ඔටුවන් බැටලුවන් ආදි සතුන් ය. ඉදින් ඔවුන්ගේ ආගමික උත්සවවල දී ඔටුවකු හෝ ගවයෙකු මරා මස්‌ කර ඥාති මිත්‍රාදීන් සමග බෙදා ගෙන කෑම ඔවුන්ට අනුව උසස්‌ සංස්‌කෘතිකාංගයක්‌ වෙයි.

ටොංගා, නාවුරු, සැමෝවා, ෆූජී දූපත් රාජ්‍යයන් වනාහි දූෂනියානු මහාද්වීපයට අයත් පොලිනීෂියානු පැරැන්නන්ගෙන් පැවත එන ජනතාව වාසය කරන ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මය ප්‍රමුඛ වුණු නිෂ්පාදන ආර්ථික ක්‍රමයක්‌ පැවති රටවල් විය. ඔවුන්ගේ නීරෝගී යහ පැවැත්ම සාධනය කෙරෙන උසස්‌ ආහාර සහ ආහාර සංස්‌කෘතිකාංග ඔවුන්ට තිබිණ. පශ්චාත් යටත් විජිත පාලන සමයෙන් පසු එම රටවල් වල ආර්ථික සමාජ සම්බන්ධතා මුළුමනින්ම වෙනස්‌ විය. ඔවුන්ගේ රටවල් වල නිෂ්පාදනය කෙරුණු ධීවර සහ කෘෂිකාර්මික නිෂ්පාදන එහෙම පිටින්ම නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියව වැනි ධනවත් රටවල් වලට අපනයනය කෙරුණු අතර, ආනයනය කෙරුණු විජාතික ක්‌ෂණික කෘත්‍රිම ආහාරවලට එම රටවල් වල ජනතාව අසීමිතව ආකර්ෂණය විය. ඉතාම නීරෝගී, ජව සම්පන්න මිනිසුන්ව සිටි පෙර කී දූපත් වාසීන් අද වන විට, මේ ලොව වෙසෙන තරබාරුව, දියවැඩියාව, සහ හෘද රෝග ආදි බෝ නොවන රෝග වැඩිම මිනිසුන් වෙසෙන කලාපය බවට පත් ව ඇත. ගොන් පොර හා ගොනුන් ම්ලේච්ඡ ලෙස මරන් කෑම සංස්‌කෘතිකාංගයක්‌ ලෙස වර්ධනය වන්නට හේතු වූ ඓතිහාසික සමාජ ආර්ථික සම්බන්ධතා දැන් අහෝසි වී ඇත. එවැනි සංස්‌කෘතිකාංග තව දුරටත් සමාජ ප්‍රගමනයට හේතු වන්නේ ද නැත. ඒ නිසා ගොනුන් මරන් කෑමේ සංස්‌කෘතිය අහෝසි වීම පිළිබඳ සුද්දන් දුක්‌ නොවිය යුතුය. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ පැරණි සමාජ සම්බන්ධතා අහෝසි වී ඇති සන්දර්භයක්‌ තුළ අප්ඩේට්‌ කර ගන්නට නොහැකි අතීත සංස්‌කෘතිකාංග අහෝසි වීම පිළිබඳ අප සංතාපයට පත් නොවිය යුතු වුව ද, සමාජ ප්‍රගමනයට හේතු වන යහපත් සංස්‌කෘතිකාංග නූතන තත්ත්වයන් තුළ ගළපා ගැනීමට දක්‌වන කුසලතාවය මත රටක ජාතියක තිරසර පැවැත්ම තීන්දු කෙරෙන බව ය.

* ගැමුණු සාලිය පෙරේරා. 
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ
සංගමයේ බදු¨ දිස්‌ත්‍රික්‌ ශාකාවේ මාධ්‍ය ප්‍රකාශක.

No comments: