Sunday, May 14, 2017

එන්ජීඕකාරයන් මේ කොටල තියෙන්නේ වැරැදි තැනට.... විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය





අද රට යන අත ගැන වෛද්‍ය සංගමයේ මතය සිරිමන්ත රත්නසේකර මහතා විසින් දිවයින පත්‍රයෙන් හෙළිකර ඇත. වෛද්‍ය  සංගමය සහ එහි ක්‍රියාකාරිත්වය  ගැන මැදහත් ඉතින් බැලීමට මෙම ලිපිය මහගු දායකත්වයක් සපයයි 
සමරසේකර 




එන්ජීඕකාරයන් මේ කොටල
තියෙන්නේ වැරැදි තැනට.... 

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය













එජාපයට අද ඊයේ පැමිණ හවසට

බොන අය ලකුණු දාගන්න දොඩවනවා

ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැති කාලේ
එක වෘත්තීය අරගලයක්‌වත් කළේ නෑ

අප ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන සංගමයක්‌


ආණ්‌ඩු භේදයකින් තොරව පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගේ වැඩිම ගර්හාවට මෙන්ම මාතෘකාවට බඳුන් වූ මෙරට වෛද්‍යවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හැඳින්වුවහොත් එහි වරදක්‌ නැතිතරම්ය.

එතුමන්ට එල්ල වී ඇති චෝදනා විවේචන අපහාස අවලාද මෙන්ම සයිටම් විරෝධී සටන පිළිබඳවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි කටයුතු පිළිබඳවත් විමසා බැලීමට "දිවයින ඉරිදා සංග්‍රහය" එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාව මුණ ගැසුණෙමු.

පහතින් පෙළ ගැසෙනුයේ එතුමන් සමඟ " දිවයින ඉරිදා සංග්‍රහය" කළ සම්මුඛ සාකච්ඡාවයි.

අප එකිනෙකාට දීඝායු පතමින් සාකච්ඡාව ආරම්භ කළෙමු.


ප්‍රශ්නය - සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් වෘත්තීය සමිති රැසක්‌ එක්‌කරගනිමින් පසුගියදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළා. නමුත් රජය පවසන්නේ මෙම වර්ජනය අසාර්ථක බවයි.

පිළිතුර - කිසිම අසාර්ථකභාවයක්‌ නැහැ. එම වර්ජනය සියයට සියයක්‌ම සාර්ථක වැඩ වර්ජනයක්‌. ඔවුන් මෙම වර්ජනය අසාර්ථක යෑයි කියන්නේ කුමන නිර්ණායකයේ සිටද කියලා අපට නම් තේරෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබතුමන් සාර්ථක යෑයි සඳහන් කරන්නේ කුමන පදනමේ සිටද?

පිළිතුර - පළමු කාරණය තමයි අපට මේ තුළින් සයිටම් විරෝධී සටන ජනතාව තුළට ඉතා හොඳින් ගෙන යන්න හැකිවීම. දෙවැන්න අත්තනෝමතිකව ගිවිසුම් ගත වීමට යන එට්‌කා ගිවිසුමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක්‌ අප සමඟ එක්‌ වීම. තෙවැන්න විශ්‍රාම වැටුප අහිමි කිරීම සහ රාජ්‍ය සේවය අඩපණ කිරීමේ වෑයමට එරෙහිව ප්‍රබල සන්ධානයක්‌ ගොඩනැඟêමට හැකිවීම මේ අනුව අපගේ වර්ජනය අති සාර්ථකයි.

ප්‍රශ්නය - ඔබ කියන ලෙස වර්ජනය සාර්ථක වුණානම් ආණ්‌ඩුව ඔබලාගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්‌විය යුතුයි නේද? ආණ්‌ඩුව තුළින් අප එවැනි ප්‍රතිචාරයක්‌ මේ වනතෙක්‌ දැක්‌කේ නම් නැහැ.

පිළිතුර - මේ ආණ්‌ඩුව වගේම පැවැති ආණ්‌ඩු ගැනත් හරි විග්‍රහයක්‌ අප පමණක්‌ නොව රටේ සැවොම කළ යුත්තක්‌. අප රටේ දේශපාලනය දිනෙන් දිනම ශිෂ්ට සම්පන්න බවින් බැහැරට යමින් තිබෙනවා. සභ්‍යත්වයෙන් බැහැරට යනවා. ඉස්‌සර දේශපාලනයට ආවේ ආත්මගරුත්වයක්‌ ඇති පුද්ගලයන්ය. ඒ අයට සමාජය තුළින් යම් විරෝධතාවක්‌ ගොඩනැඟුනොත් ඔවුන් ඊට සංවේදී වෙලා මහජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගත්තා. නමුත් දැන් දේශපාලනඥයෝ බලන්නේ මහජනතාවගේ පැත්තේ සිට නෙවෙයි. ඔවුන්ට රට කියන හැඟීම නැති වෙලා තියෙනවා. ඔවුන් තමන්ගේ පැවැත්ම සහ ලාභය වෙනුවෙන් වැඩ කරන්නන් වෙලා. මෙහෙම තත්ත්වයක්‌ තුළ අප සාර්ථක වූවත් ඔවුන් එයට දක්‌වන ප්‍රතිචාර ඇල්මැරුණු එකක්‌ වීම පුදුමයක්‌ නෙවෙයි.

ප්‍රශ්නය - දේශපාලනඥයන් ලාභය වෙනුවෙන් වැඩ කරනවා යෑයි කියන කොට ඔවුන්ව මුදලට ගත හැකි බවක්‌ හැඟවෙනවා.

පිළිතුර - ඔව්..... ඔවුන්ව මුදලට ගත හැකි තත්ත්වයක්‌ අප දකිනවා. එසේ නොකරන අය අසරණ වී ඇති තත්ත්වයක්‌ තමයි අප දකින්නේ.

ප්‍රශ්නය - පසුගියදා වර්ජනය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ සයිටම් පිළිබඳව විසඳුමක්‌ ලබාදී තිබියදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයකට යැම පිළිබඳ කනගාටු වන බවයි.

පිළිතුර - එතුමා කියන කාරණය එතුමාගේ පැත්තෙන් බලනකොට සාධාරණයක්‌ තියෙනවා. අපි කිව්ව දේ එතුමා පිළිගත්තා. ජනාධිපතිතුමන් අප්‍රේල් හතර වැනිදා රජය ස්‌ථාවරය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සයිටම් එම්. බී. බී. එස්‌. උපාධිය රෝගීන් බැලීම සඳහා ප්‍රමාණවත් නැති නිසා ඔවුන් තවදුරටත් පුහුණුවට සහ විභාගයන්ට පෙනී සිටිය යුතු බවයි. එසේම පුහුණුව සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල පමණක්‌ ප්‍රමාණවත් නැති බැවින් ඒ සඳහා හෝමාගම සහ අවිස්‌සාවේල්ල රෝහල් භාවිතා කළ යුතු බවයි. ඒ අනුව එතුමන් අපේ ස්‌ථාවර පිළිගෙන තිබෙනවා. එතුමා අවංකව හිතනවා ඇති එතුමා කරන්න ඕන දේ කළා නේද කියලා.

ප්‍රශ්නය - එහෙමනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තවදුරටත් කළ යුත්තේ මොනවාද?

පිළිතුර - එතුමාටත් සාධාරණයක්‌ වෙන්න කළ යුතු යෑයි මට කියන්න තියෙන්නේ එතුමා ගත්ත රාජ්‍ය ස්‌ථාවරය රජයේ ගරු නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන අභියාචනා නඩුවට සභාගත කිරීමයි. ඒක කරලා දෙන්න කියලා තමයි මේ අපි ඉල්ලන්නේ.

ප්‍රශ්නය - ඒ දේ කරන්න ඕන ජනාධිපතිතුමාද?

පිළිතුර - ඒක කළ යුතු කෙනා සෞඛ්‍ය විෂය භාර ඇමැතිතුමයි.

ප්‍රශ්නය - නමුත් සෞඛ්‍ය විෂය භාර ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබුණේ එවැනි දෙයක්‌ නොකරන බව නේද?

පිළිතුර - එසේ කීම තුළ තමයි දැඩි නොසන්සුන්තාවයක්‌ අපගේ ක්‍ෂේත්‍රය තුළ සිදුව තිබෙන්නේ. ජනාධිපතිතුමා යන පාර හරි, තව එක දෙයයි එතුමාට කරන්න තියෙන්නේ.

ප්‍රශ්නය - ජනාධිපතිතුමා යන පාර හරි යෑයි ඔබතුමා සඳහන් කළාට උසස්‌ අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇමැතිතුමන්ලාගෙන් ඊට අවශ්‍ය සහාය හිමිවේවි යෑයි සිතන්න පුළුවන්ද?

පිළිතුර - මේ ප්‍රශ්නයට පමණක්‌ නෙවෙයි, හුඟක්‌ ප්‍රශ්නවලදී ඔය කියන තත්ත්වය තමයි තිබෙන්නේ. මේ රටේ දේශපාලනය ගැන දැඩි කලකිරීමක්‌ තමයි අපටත් අනෙකුත් රටේ ජනතාවටත් තිබෙන්නේ. අපගේ අපේක්‍ෂාව ජනාධිපතිතුමන්ගේ අපේක්‍ෂාව සැසඳිලා තිබෙනවා. නමුත් එය කළ යුතු විෂයභාර ඇමැතිවරුන්ගේ විෂය පඨය හරහා සිදු නොවන බව ඔවුන් පැහැදිලිව කියලා තිබෙනවා.

ප්‍රශ්නය - වෛද්‍යතුමනි, ඔබතුමන්ලා සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිවන්නේ රෝගීන්ගේ ජීවිත අනතුර ගැන හිතලායි. ඔබලා කියන්නේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු කියලයි. නමුත් ඔබතුමන්ලා කරන වර්ජන තුළිනුත් අනතුරේ වැටෙන්නේ අසරණ රෝගීන්ම තමයි නේද රෝගීන් ඇපයට නොගෙන ප්‍රශ්නය විසඳීමට මීට වඩා හොඳ වේදිකාවක්‌ ඔබලාට නැද්ද?

පිළිතුර - අපි කියන්නෙත් එවැනි වේදිකාවක්‌ හදලා දෙන්න කියලා තමයි ශිෂ්ට සම්පන්නභාවය තමයි අපි එළිදක්‌වලා දෙන්න කියන්නේ.

ප්‍රශ්නය - වෛද්‍යවරුන් වර්ජන කරනවා කියන්නේ ශිෂ්ට සම්පන්නභාවය නැති වනවා කියන එක නේද?

පිළිතුර - ඔව්.... අපට වර්ජන කිරීමට මොළේ අමාරුවක්‌ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති කාලේ අපේ එක වෘත්තීය සමිති අරගලයක්‌වත් පැවැතියේ නැහැ. අපගේ හඬට කන්දෙනවා නම් එවැනි අවශ්‍යතා මතුවන්නේ නැහැ. ඒ කාලේ සෞඛ්‍ය ඇමැතිතුමා අපගේ විද්වත් මතයට කන්දුන්නා.

ප්‍රශ්නය නමුත් ඇතැමුන් කියන්නේ රාජපක්‍ෂලාට බයේ තමයි වර්ජන කළේ නැත්තේ කියලා.

පිළිතුර - අපි මොකටද කාටවත් බය වෙන්නේ. අපි හරිනම් අපි කාටවත් බයවිය යුතු නැහැ. එක අවස්‌ථාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ පාලන කාල සීමාව තුළදී මට කථා කරලා ඇහුවා. ඔබතුමා අපිව හම්බවෙන්නවත් වැඩිය එන්න නැත්තේ ඇයි කියලා. ඒ වෙලාවේ මං කිව්වේ දැන් ඉන්න සෞඛ්‍ය ඇමැතිතුමා අපගේ ප්‍රශ්නවලට සවන්දීලා ඒ ප්‍රශ්න විසඳලා දෙනවා නම් ඔබතුමා ළඟට ඒමට අවශ්‍යතාවයක්‌ නැති බව. එතැනින් දෙයක්‌ කරගන්න බැරි වුණොත් පමණක්‌ ඔබතුමන්ව මුණ ගැසීමට එන බව.

ප්‍රශ්නය - ඔබතුමා කියනවා හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා ඔබතුමන්ලාගේ ප්‍රශ්නවලට ඇහුම්කම්දීලා විසඳුම් ලබාදුන් බව. එහෙම නම් ඒ කාලේ සයිටම් එක ගැන සෞඛ්‍ය ඇමැතිතුමා සමඟ කථා කළේ නැද්ද? එසේ නැතිනම් සෞඛ්‍ය ඇමැතිතුමාට ඊට විසඳුමක්‌ දෙන්න බැරි වුණාද?

පිළිතුර - සයිටම් එක ගැන අපි කතා කළා. අපි වාර්තාවක්‌ එතුමාට ලබා දුන්නා. එතුමා එය මුල සිට අග දක්‌වා කියවීමට නිහතමානී වුණා. නමුත් එතුමා නියෝජනය කළ කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා නිසා එය විසඳන්න එතුමාට හැකි වුණේ නැහැ.

ප්‍රශ්නය - වෛද්‍යතුමනි මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලන සමය ගැන කථා කරද්දී සඳහන් වුණ තවත් කරුණක්‌ තමයි ඔබතුමා හිටපු ආරක්‍ෂක ලේකම්තුමා මුණගැසී සමාව ගත්තා යෑයි කියන කාරණය. ඇත්තටම ඔබතුමා සමාව ගත්තද?

පිළිතුර- එහෙම සමාව ගැනීමක්‌ නම් කිසිදා සිදුවෙලා නැහැ.

ප්‍රශ්නය- හිටපු ආරක්‍ෂක ලේකම්වරයාව ඔබතුමන්ලා හමුවී නැද්ද?

පිළිතුර- අපි අවස්‌ථා දෙකකදී මුණගැසී තිබෙනවා. පළමු සිද්ධිය තමයි සයිටම් සහ කොතලාවල ආරක්‍ෂක පීඨය සම්බන්ධ කාරණයකදී මුණ ගැසුණා. දෙවැන්න ලංකා හොස්‌පිටල් සම්බන්ධ කාරණයකදී අපි එතුමාව මුණ ගැහුණා. ඒ අවස්‌ථා දෙකේදීම අප ඉදිරිපත් කළ කරුණු කාරණා එතුමා පිළිගත්තා. එතුමා අපට එරෙහි ගියානම් කොතලාවල ආයතනය අද පවත්වාගෙන යා හැකි තත්ත්වයේ නැහැ. සයිටම් ආයතනය ඇහුම්කම් නොදීම නිසා මේ තත්ත්වය ඇතිවුණේ. ගෝඨාභය මහත්තයා පැය භාගයක සාකච්ඡාවේදී මිනිත්තු විසි අටක්‌ම ඇහුම්කම් දීලා විනාඩි දෙකයි කතා කරන්නේ.

ප්‍රශ්නය- ගිය ආණ්‌ඩුවේ ඇතැම් කොටස්‌ ඔබ සංගමයට සහ ඔබට ඇහුම්කම් දුන්නට තවත් කොටසක්‌ නඩු හබ වලත් ඔබ පැටලුවා නේද?

පිළිතුර- හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම්තුමා සමග සුහද ගනුදෙනුවක්‌ කළා. ඒ වුණාට එස්‌. බී. දිසානායක මහත්තයා අපිට විවිධ අඩන්තේට්‌ටම් කළා. 2010 වසරේදී මම දින තුනකට කලින් එංගලන්තයේ සිට මෙරටට පැමිණි නිසා. දින තුනක වැටුප අපහරණය කළා කියන චෝදනාවට දූෂණ විමර්ශනයට ඔහු පැමිණිලි කරලා තිබුණා. නමුත් එම චෝදනාව විභාග කිරීමකින් තොරව එළියට දැම්මා. ඒ බව ඔබතුමන්ලාගේ "දිවයින" පුවත්පතම එකල වාර්තා කරලා තිබුණා.

ප්‍රශ්නය- ගිය ආණ්‌ඩුවේ ඇතැමුන් වගේම මේ ආණ්‌ඩුවෙත් ඇතැම් කොටස්‌ ඔබව දඩයම් කරන්න හදනවා නේද?

පිළිතුර- කවුරු දඩයම් කරන්න හැදුවත් වැඩක්‌ නැහැ. අපි වැරදි කරලා නැහැ. වැරදි කරන්නෙත් නැහැ. අපි වැඩ කරන්නේ රට ගැන හිතලයි.

ප්‍රශ්නය- සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනකු ඔබට එරෙහිව අධිකරණය හමුවට ගොස්‌ තිබෙනවා.

පිළිතුර- ඒ බව මම දැන ගත්තේ මාධ්‍ය මගින්. එවැනි සිද්ධියක්‌ මට හෝ අපගේ නීතිඥ මහත්වරුන්ට අධිකරණයෙන් දැනුම් දී නැහැ. මම දන්නෙත් මාධ්‍ය තුළ පළවූ දෙය තමයි. අධිකරණයට සහ රටේ නීතියට මම බෙහෙවින් ගරු කරනවා. අපි මේ අරගල කරන්නේ රෝගීන් ආරක්‍ෂා කරන්න තියෙන පනත වෙනුවෙන්.

ප්‍රශ්නය- සිවිල් ක්‍රියාකාරීන් යෑයි කියන පිරිස පිළිබඳ විවේචනයක්‌ ඇති බව ඔබ මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

පිළිතුර- ඇත්තටම රටක සිවිල් ක්‍රියාකාරීන් සිටිය යුතුයි. නමුත් මේ මට නඩු දාපු වගේ උදවිය ඇත්තටම සිවිල් ක්‍රියාකාරීන්ද? එවැනි ක්‍රියාකාරී සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධාන පිළිබඳ ඒවායේ සංයුතිය පිළිබඳ ඒවාට මුදල් පැමිණෙන ආකාරය පිළිබඳ රජයෙන් විස්‌තර ඉල්ලා සිටීමට සහ ඒවා පිළිබඳ හෙළි කිරීමට පසුගියදා රැස්‌වූ අප සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයක්‌ ගනු ලැබුවා. අපට නඩු දැම්මයි කියන සිවිල් ක්‍රියාකාරීන් නඩු දාන්න දින කිහිපයකට පෙර එක්‌තරා ඇමැතිවරයකුගේ නිල කාමරයේ පැය තුන හතරක සාකච්ඡාවක නිරත වී සිටි බවට අපට තොරතුරු වාර්තාවී තිබෙනවා. මේ අය කාගේ හරි බළල් අත්ද යන සැකය අපට තිබෙනවා.

ප්‍රශ්නය- සිවිල් ක්‍රියාකාරීන් පිළිබඳ ඔබතුමාට යම් ආරෝවක්‌ ඇති බව පේනවා.

පිළිතුර- නැහැ. එහෙම එකක්‌ නැහැ. මේ අය කරන කටයුතු ගැනයි අප උනන්දු. මේ අයගේ ඒකපුද්ගලයකු මෑතකදී පුවත්පතකට ලිපියක්‌ ලියමින් කියා සිටිනවා රණවිරුවෝ කියලා කෙනෙක්‌ රටේ නැති බව. ඒ වගේම ගුරුවරුන්ට පඩි ගෙවන නිසා ඒ අයට ගරු කළ යුතු නැති බව. එසේම වෛද්‍යවරු චැනල් කරන නිසා ඒ අයට ගරු කළ යුතු නැති බව. මේ අය තව ටික දවසක්‌ ගිහින් කියාවි දරුවෝ හදන එක දෙමාපියන්ගේ වගකීමක්‌ නිසා දෙමාපියන්ට ගරු කළ යුතු නැති බව. එම පුවත්පතේම ඔවුන් ලියා පළකළ තවත් ලිපියක සටහන් වුණේ මේ රටේ මිනිසුන්ගේ ආගමික නැඹුරුව වැඩි නිසා මෝඩ මිනිසුන් පිරිසක්‌ සිටින බව. මේ අදහස්‌ දක්‌වන පිරිස ලෝකයේ ඉහළම මිලක්‌ ගත හැකි සංකල්ප ටිකක්‌ වපුරවමින් යනවා. මේ පිරිසට මේ දක්‌වා රට තුළින් හරිහැටි ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැහැ. ඒ නිසා මේ රටට සහ සභ්‍යත්වයට ආදරය කරන මිනිසුන් ලෙස අප ඔවුන්ට පිළිතුරු දෙනවා. සිවිල් ක්‍රියාකාරීන් යෑයි කියා ගන්න පිරිස මේ කොටලා තියෙන්නේ වැරදි තැනටයි.

ප්‍රශ්නය- හොඳයි වෛද්‍යතුමනි අප වර්ජන ක්‍රියාවලියට යොමුවී ප්‍රශ්නයක්‌ විමසීමට කැමතියි. එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයකු කියා තිබුණා වර්ජනය නිසා රෝගියකු මියගියහොත් ඔබව මිනී මැරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කළයුතු බව.

පිළිතුර- අපේ වර්ජන තුළින් අපි කිසි විටෙක රෝගියකුට එවැනි ඉරණමක්‌ අත්වීමට ඉඩ දෙන්නේ නැහැ. බාහිර රෝගී අංශ වැඩ නොකළාට අවශ්‍ය ප්‍රතිකාර අප කරනවා. අපි වෙනදට සියයට සියයක්‌ වැඩ කරනවනම් වර්ජනය දිනට අපි සියයට අනූ ගාණක්‌ වැඩ කරනවා. ඔය ප්‍රකාශය ප්‍රශ්නයක්‌ වෙන්න හේතුවක්‌ නැහැ. ඔහොම කියන්නේ එජාපයට අද ඊයේ පැමිණි හවසට ක්‌ලබ් එකකට ගොස්‌ මත්පැන් බොන අයයි. ඒ අය උදේට ලකුණු දාගන්න මොනව හරි දොඩවනවා. ඔය මිනිසුන්ට වචී සංවරයක්‌ නැහැ.

ප්‍රශ්නය- එජාපය කියන්නේ ඔබතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු ජනාධිපතිතුමාගේ උගුලකට හසුව ඇති බවයි.

පිළිතුර- (සිනාසෙමින්) අපි අරමුණක පිහිටුවා ප්‍රඥවෙන් වැඩ කරන පිරිසක්‌. අපිට උගුලකට අසුවෙන්න නම් හේතුවක්‌ නැහැ. අපි කරන විග්‍රහය වෙනුවෙන් පෙනී සිටින්න අපට නිරන්තරයෙන් පුළුවන්.

ප්‍රශ්නය- ඔබතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන්නේ හය වැනි වරටයි. චෝදනාවක්‌ තිබෙනවා මෙම සංගමය ඔබගේ ග්‍රහණයට නතු කරගෙන ඇති බවට.

පිළිතුර- අප ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන සංගමයක්‌. ඇත්තටම පුද්ගලිකව මම තනතුරක්‌ අවුරුදු දෙකකට වැඩියෙන් නොදරන කෙනෙක්‌. සාමාජිකත්වයේ දැඩි ඉල්ලීම මතයි මම මේ තනතුර දරන්නේ. මතුවෙමින් පවතින කරුණු කාරණා මත මට එම තනතුරේ ඉන්න වුණා. මේ කරුණු කාරණාවලට මුහුණ දිය හැකි සභාපතිවරයකු වසර මැදදි හෝ මුණ ගැසුණොත් මම මෙම තනතුර ඔහු වෙත භාර දෙනවා.

ප්‍රශ්නය- ඔබතුමා දෙවැනි, තෙවැනි පෙළක්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ ගොඩනඟලද තියෙන්නේ.

පිළිතුර- ඉස්‌සර මට තිබුණු චෝදනාවක්‌ තමයි "වන් මෑන් ෂෝ" එකක්‌ කරනවාය කියන කාරණය. අරමුණු වෙත පිහිටුවා ප්‍රඥවෙන් උපේක්‍ෂාවෙන් හිතට එකඟව වැඩකරන විශාල කණ්‌ඩායමක්‌ මම සංගමය තුළ හැදුවා කියන එක ගැන නම් මට විශාල සතුටක්‌ තිබෙනවා.

ප්‍රශ්නය- ඔබතුමා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌. ඔබ අභිමුවට පැමිණෙන්නේ බරපතළ තත්ත්වයේ රෝගී දරුවන්. ප්‍රශ්න රැසක්‌. වැඩ ගොඩක්‌ මධ්‍යයේ ඒ කටයුතු නිවැරදිව කරන්නේ කෙසේද?

පිළිතුර- ඒක තමයි මම මීට කලිනුත් කිව්වේ අරමුණක පිහිටලා පහසුවෙන් වැඩකරන බව. එහෙම කටයුතු කරන විට සෑම දෙයක්‌ම නිවැරදිව ගැටලුවකින් තොරව කළ හැකියි. රෝගීන්ට මගෙන් වන කාර්යය රෝගියෙකුගෙන්ම දැනගත්තොත් තමා වඩා සුදුසු.

ප්‍රශ්නය- දවසට පැය කොපමණක්‌ වැඩ කරනවාද?

පිළිතුර- මම නිදහසක්‌ භුක්‌ති විඳිනවා. මම පෙරවරු හයයි හතළිස්‌ පහට රෝහලට එනවා. වාට්‌ටු පරීක්‍ෂණයෙන් පසු හතයි කාලට සායනය පටන් ගන්නවා. ආසන්න පාසල්වල රෝගී ළමුන් යුනිෙµdaම් එකෙන් ඇවිත් මගෙන් බෙහෙත් අරන් නිවාඩු දා නොගෙන පාසල් යනවා. මම රතු සහ නිල් නම්බර දෙකම බලනවා. රෝහලේ කටයුතු මම සීමාවකින් තොරව ඉටු කරනවා.

ප්‍රශ්නය- ඔබතුමා නාථ දෙවියන්ව අදහන බව ඇතැමුන් කියනවා. මෙය ඇත්තක්‌ද?

පිළිතුර- මම පෝයට සිල් ගැනීමට වඩා කරන්නේ භාවනා කරන එකයි. ඒ භාවනාව මට ඉගැන්වූ අය නාථ දෙයියන්ව විශ්වාස කරනවා. මේ භාවනාව හරහා අරමුණක පිහිටා වැඩ කිරීමට මම ඉගෙන ගත්තා. උදේ අවදිවූ පසු ඉබාගාතේ වැඩ මම කරන්නේ නැහැ. නැත්නම් මට මෙතරම් වැඩ කොටසක්‌ කරන්න වෙන්නේ නැහැ. බුදුදහමේ ඇදහීමක්‌ කියා දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය- වෛද්‍යතුමනි අපගේ සාකච්ඡාව මෙම ප්‍රශ්නයෙන් අවසන් කරමු. ඉදිරියේදී ඔබ දේශපාලන චරිතයක්‌ ලෙස දකින්න ලැබේවිද?

පිළිතුර- ඒකට මම උත්තරයක්‌ දෙන්නම්.

ප්‍රශ්නය- සමාවෙන්න පිළිතුර සම්පූර්ණ කරන්න ඉඩ නොදෙනවට. ඔබතුමාට රාජයෝගයක්‌ ඇති බවක්‌ ඇතැමුන් කියනවා.

පිළිතුර- (දැඩි ලෙස සිනහ වෙයි) මම නම් එහෙම එකක්‌ දන්නේ නැහැ. අපේ අම්මත් කේන්දරයක්‌ බලලා එහෙම කියල නැහැ. එහෙම එකක්‌ තිබ්බත් වැඩක්‌ නැහැ.

ඔබ අහපු මුල් ප්‍රශ්නයට පිළිතුර දෙනවානම් කියන්න තියෙන්නේ ආත්ම ගරුත්වයක්‌ ඇතුව තමයි මනුෂ්‍යයෙක්‌ ඉන්න ඕන. එසේම ලෞකික සහ ලෝකෝත්තර යන දෙකටම සෙත සැලසෙන ලෙස තමයි මනුස්‌සයෙක්‌ වැඩ කරන්න ඕන. මට අන්තිමට කියන්න තියෙන්නේ ආත්ම ගරුත්වයෙන් යුතුව වෘත්තියත් කරගෙන ඒ වෘත්තියට කළ හැකි උපරිම දායකත්වය දැක්‌වූ කෙනෙකුට ආත්මගරුත්වයක්‌ නැති දේශපාලකයකුවීම මම කරගන්නා මෝඩකමක්‌ ලෙසයි මම දකින්නේ.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

No comments: