පාලිත සේනානායක මහතා විසින් ලියු කමල් බෝගොඩ මහතා ඡායාරූපයකින් සැරසු මෙම ලිපිය පලවී තිබුනී දිවයින පත්‍රයේය. එයත් කියවිය යුතු එකකි,
සමරසේකර
එළඹ තිබෙන්නේ බෞද්ධ ලෝකය
අත්වැල් බැඳගත යුතු මොහොතක්...
අපේ රට නිර්මල ථෙරවාදී බුදුදහම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තිබෙන රටකි. නමුත් අද අපිට ජීවත් වීමට සිදුවී තිබෙන්නේ සාධු සම්මත සමාජයක නොවේ. අපේ රටේ සියවස් ගණනක් පැවති නිර්මල ථෙරවාදී බුදුදහමේ ක්‍රියාකාරිත්වය වර්තමාන සමාජය තුළින් නිරූපණය නොවන්නේ අද අපේ රටේ මහජනතාව, පාලක පක්‌ෂය සහ විපක්‌ෂය යන සියලු දෙනා තමතමන්ගේ පෞද්ගලික කාරණා, බලතුලනයන් හා දේශපාලන අරමුණු පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කර ඇති නිසා බව කොළඹ වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්‌ෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ පවසති. මේ නිසා නිර්මල බුදුදහම සහ ඒ හා බැඳුණු සංස්‌කෘතියෙන් අප ලද දායාදයන් අද විනාශ වෙමින් තිබෙන බව පවසන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2561 ක් සපිරෙන එමෙන්ම ජාත්‍යන්තර වෙසක් උළෙල අපේ රටේ පැවැත්වෙන මේ මොහොතේ ඒ පිළිබඳ වඩාත් පුළුල් ලෙස සහ ගැඹුරින් විමසා බැලිය යුතු බව ද අවධාරණය කර සිටිති.
අපේ රටේ සමාජයේ සිදුවෙමින් තිබෙන වෙනස්‌වීම් සමඟ බුදුදහම පිළිබඳ සමාජය තුළ පැවතුනු තත්ත්වයේත් වෙනසක් සිදුවෙමින් තිබෙනවා. මෙම වෙනස ඔබ වහන්සේ දකින්නේ කෙසේද?
සියවස් ගණනාවක සිට ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්‌ථානය අපේ රටයි. යම් යම් කාලවලදී මහායාන බුදුදහමේ බලපෑම පැවතියත් අපේ රට තුළ ථෙරවාදී බුදුදහමේ මූලිකාංග ඒ නිසා යටපත් වූයේ නෑ. මෙරට ශාසන භාරය දැරූ මහතෙරුන් වහන්සේලාත් ථෙරවාදී බුදුදහමේ මූලිකාංග රැකගැනීමට කැපවීමෙන් කටයුතු කළා. රට තුළ පැවතුනේත් ථෙරවාදී බුදුදහම ඉස්‌මතු වන ආකාරයේ සංස්‌කෘතික රටාවක් හා සභ්‍යත්වයක්.
බුදුදහම පිළිබඳ සමාජය තුළ පැවති මේ තත්ත්වය වර්තමානයේ වෙනස් වීමට හේතු කීපයක් බලපා තිබෙනවා. ථෙරවාදී බුදුදහම තුළ ප්‍රධාන වන්නේ ප්‍රතිපත්තියයි. 'පටිපත්ති සාරකං හි බුද්ධවචනං' බුද්ධ වචනය ප්‍රතිපත්තියම සාරය කොට ඇති ඉගැන්වීමක්. ආමිසය නොතිබුණා නොවේ. අනුරාධපුර යුගයේ මුල් කාලයේදී පවා දළදා පෙරහැර පැවති බවට පාහියන් භික්‌ෂූන්වහන්සේගේ සටහන්වල දැක්‌වෙනවා. පෙරහැර වැනි ආමිස පූජාවන් පැවතියත් එයින් ථෙරවාදී බුදුදහමේ ප්‍රබල පදනම දෙදරා ගියේ නෑ. වර්තමානයේ මහජන ආකර්ෂණය ඇතිවීම, විදේශ සබඳතා, විදේශ මුදල්, වාණිජකරණය වැනි දේ සමඟ ථෙරවාදී බුදුදහමේ මූලිකාංග යම්කිසි වෙනසකට ලක්‌වෙමින් තිබෙනවා.
මේ වෙනස ඇතිකිරීමට අපේ රටේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයත් විශාල දායකත්වයක් ලබා දී ඇති බවට චෝදනාවක් තිබෙනවා?
වර්තමාන සමාජය කලබලකාරී සංකීර්ණ එකක් වුවත් මේ සමාජය තුළත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සොයාගෙන යන තරුණ හා වැඩිහිටි පිරිසක් සිටිනවා. නමුත් අද සමාජය තුළ ඉස්‌මතු වන්නේ බුදුදහමේ ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කරන මේ පිරිස නෙමෙයි. ඉස්‌මතු වෙන්නේ අපරාධ රැලි, සත්‍යග්‍රහ, උපවාස ආදියයි. මෙය අපේ රටේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය කරන බරපතළ වරදක්.
මේ සඳහා මම එක උදාහරණයක් කියන්නම්. දැන් අලුතෙන් ඇතිවී තිබෙනවා සති පාසල නමින් සංකල්පයක්. සති පාසල කියන්නේ මීතිරිගල ධම්මජීව ස්‌වාමීන්වහන්සේ මුල් වී අධ්‍යාපන අමාත්‍යාංශයේත් සහයෝගයෙන් සිදුකරන ක්‍රියාදාමයක්. එයින් කරන්නෙ පාසල් දරුවන්ට යම්කිසි වැඩක් සිහිකල්පනාව ඇතිව කිරීමට පුරුදු කිරීමේ ආධ්‍යාත්මික ප්‍රබෝධයක්. අපේ රටේ හැම ආගමකටම හැම ජනවර්ගයකටම අයත් දරුවන් මේ වැඩසටහනයට සහභාගී වී සිටිනවා. ඔවුන් හැම කෙනෙක් තුළම මේ වැඩසටහන කෙරෙහි විශාල උනන්දුවක් වගේම මේ වන විට එයින් සැලකියයුතු ප්‍රතිඵලයකුත් ඔවුන් අත්කරගෙන තිබෙනවා. නමුත් කිසිම මාධ්‍යයකින් මේ වැඩසටහන ඉස්‌මතු කළේ නෑ. මේ වැඩසටහන දීපව්‍යාප්ත කරගත්තොත් ධර්මය පිබිදෙන රටක් හැටියට අපේ රටට විශාල ප්‍රගතියක් අත්කරන්න පුළුවන්.
අපේ වර්තමාන සමාජය තුළ ප්‍රමුඛතා ලැබෙන්නෙ මෙවැනි වැඩවලට නෙමෙයි. නොයෙක් ආමිස පූජාවන් හරහා අන්ධ භක්‌තියකින් යුතුව ආගම ඇදහීමට පෙළඹවීම නිසා සියවස් ගණනාවක් තිස්‌සේ පැවති ථෙරවාදී බුදුදහමේ ශක්‌තිමත් පදනම අද දියාරු වෙමින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2561 ක් සපිරෙන එමෙන්ම ජාත්‍යන්තර වෙසක් උළෙල අපේ රටේ පැවැත්වෙන මේ මොහොතේ වඩාත් පුළුල් ලෙස සහ ගැඹුරින් අපි මේ පිළිබඳ කටයුතු කළ යුතු වෙනවා. මෙය දේශපාලන ක්‍රියාදාමයක් හෝ තාවකාලික වශයෙන් සිදුකරන්නක් ලෙස නොව ප්‍රතිපත්තිමය වශයෙන් බුදුදහම හා බැඳුණු ස්‌ථිරසාර වැඩපිළිවෙළක් ලෙස කල්පනා කළ යුතු වෙනවා.
2500 බුද්ධ ජයන්තියේ දිගුවක් ලෙස කල්පනා කරල 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැලසුම් කළා. නමුත් 2600 සම්බුද්ධත්ව ජයන්තියේදීත් අපේ රට තුළ බලාපොරොත්තු වූ තරම් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවූයේ නෑ. ඒ අතපසු වූ කාර්යභාරයත් වර්තමානයේ අප හමුවේ තිබෙනවා.
අපේ රටේ බෞද්ධයා අන්‍යාගමිකයන් අතර වැඩි වරප්‍රසාද හිමි පුද්ගලයෙක්‌ද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මානවවාදී ධර්මයක්. එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දහමක් නෙමෙයි. සියලුම සත්ත්වයන්ගේ දුක නැතිකිරීම කියාදෙන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතරට ලක්‌වෙන සෑම සත්ත්වයකුටම අදාළයි. එමනිසා බුදුදහම දෙස අප බැලිය යුත්තේ බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් නෙමෙයි, මානවවාදී දෘෂ්ටිකෝණයෙන්. නමුත් සියවස් ගණනාවක් තිස්‌සේ මේ සංස්‌කෘතිය, සභ්‍යත්වය ආරක්‌ෂා කරගනිමින් මෙය රැකගෙන ආවේ සිංහල බෞද්ධයායි. ඔවුන් වෙත විශේෂ අවධානයක් යොමුකළ යුත්තේ මේ ලෝකයේ එම පිරිස ජීවත්වන එකම රට හැටියටත් ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය හා එහි මූලිකාංග අනාදිමත් කාලයක සිට රැකගනිමින් එය පවත්වාගෙන ආ පිරිස ඔවුන් වන නිසාත් ය. මා සිතන්නේ අපේ රටේ කාදිනල් තුමාත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
ක්‍රිස්‌තියානි මූලධර්මවාදයක් සහ මුස්‌ලිම් මූලධර්මවාදයක් තිබෙන්න පුළුවන්. නමුත් අපට බෞද්ධ මූලධර්මවාදයක් හදන්න බෑ. එය බුදුදහමට පටහැනියි. බුදුදහම ලෝකය දෙස විවෘතව බලන්න උගන්වන දර්ශනයක්. එමනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල ථෙරවාදී දහමේ සුවඳ ජාති, ආගම්, කුල බේදවලින් තොරව ලොව සෑම පුද්ගලයකුට විඳගත හැකි වන ලෙස එය ව්‍යාප්ත කළ යුතු වෙනවා.
උතුරු නැඟෙනහිර බෞද්ධයන් හා බෞද්ධ සිද්ධස්‌ථාන දෙස බලන විට මේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්?
අද අපේ රටේ ජාතිවාදයට හා ආගම්වාදයට පාර කපන පිරිසකුත් සිටිනවා. මේ නිසා විශේෂයෙන් අද උතුරු නැඟෙනහිර දෙපළාතේ ජීවත්වන පිරිස් සහ ඒ ප්‍රදේශවල තිබෙන බෞද්ධ සිද්ධස්‌ථාන විශාල අනතුරකට පත්ව තිබෙනවා. මේ බෞද්ධ සිද්ධස්‌ථාන කියන්නෙ ලෝක උරුම. මේවා අපේ රටට, අපේ බෞද්ධ ජනතාවට පමණක් අයිති දේවල් නෙමෙයි. දැන් මේ පවතින පළාත් සභා ක්‍රමය නිසා, අලුතෙන් සැලසුම් කරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිසා මේ ලෝක උරුම අද යම් අර්බුදයකට ලක්‌වෙලා. රටේ මේ දේවල් ප්‍රධාන ආණ්‌ඩුව යටතේ තිබිය යුතුයි. මේවායේ බලතල අද පළාත් සභාවලට පැවරීම නිසා ඇතැම් බෞද්ධ සිද්ධස්‌ථාන විනාශයට ලක් වී තිබෙනවා.
මේනිසා අද මුළුමහත් බෞද්ධ ලෝකයම එකට අත්වැල් බැඳගැනීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් ථෙරවාදී බෞද්ධ රටවල් වන තායිලන්තය, මියෑන්මාර්, බුරුමය, කාම්බෝජය සහ ලාඕසය සහ අපේ රට එකම වට මේසයක හිඳ අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වෙනවා. අපේ රට වගේම මේ අනිත් රටවලුත් යම් යම් ගැටලුවලට මුහුණ දී තිබෙන නිසා මේ සියලු දෙනා එකතු වී ඒවාට විසඳුම් සෙවිය යුතුයි. මහායාන බුදුදහම අදහන කණ්‌ඩායමත් ශාක්‍යමුණි සම්බුදුරජාණන් වහන්සේගේ ශාස්‌තෘත්වය පිළිගන්නා නිසා මුළුමහත් බෞද්ධ ලෝකයම එකතුවෙලා අපේ බෞද්ධ උරුමයන් ආරක්‌ෂා කර ගැනීමට කටයුතු කිරීම අද ඉතාමත් අවශ්‍යයි.
බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට හානි පැමිණි අවස්‌ථාවල දී අපි එකතු වුණේ නෑ. අපේ සිද්ධස්‌ථාන යුනෙස්‌කෝ උරුම ලෙස නම්කරගෙන සිටියත්, අපි වෙන්වී සිටියහොත් අනාගතයේ ශෝචනීය අවස්‌ථාවන්ට මුහුණපාන්නට සිදුවේවි. එමනිසා ලෝක බෞද්ධයන්ගේ සමගිය තහවුරු කරගැනීමට, මුළු බෞද්ධයන්ගේම සංවර්ධනය පදනම් කරගෙන විශ්ව මානවීය සංවර්ධනයක් කරා පියනගන්නට මේ බෞද්ධ රටවල්වල එකමුතුව ඉතාමත් වැදගත් කාරණයක්.
අපේ රට නිර්මල ථෙරවාදී බුදුදහම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තිබෙන රටක්. නමුත් අද අපිට ජීවත් වෙන්න සිදුවී තිබෙන්නේ සාධු සම්මත සමාජයක නෙමෙයි. එහෙම වුණේ ඇයි අපේ හාමුදුරුවනේ...
කිසියම් සමාජයක් තුළ ධර්මයක් පවතිනවා නම් ඒ හා බැඳුණු සංස්‌කෘතියක් තිබෙනවා නම්, ඒ සංස්‌කෘතියේ ප්‍රභාව, ආලෝකය, ජීවමාන බව සමාජය තුළින් නිරූපණය වෙන්නට ඕන. අද අපේ රටේ නිර්මල ථෙරවාදී බුදුදහම පවතින බව ප්‍රකාශ වුවත් ඒ නිර්මල ථෙරවාදී බුදුදහමේ විකසනය, ක්‍රියාකාරිත්වය වර්තමාන සමාජය තුළින් නිරූපණය වන්නේ නෑ. එසේ වන්නේ අද අපේ රටේ මහජනතාව, පාලක පක්‌ෂය සහ විපක්‌ෂය යන සියලු දෙනා තමතමන්ගේ පෞද්ගලික කාරණා, බලතුලනයන් හා දේශපාලන අරමුණු පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කර ඇති නිසයි. මේ නිසා නිර්මල බුදුදහම සහ ඒ හා බැඳුණු සංස්‌කෘතියෙන් ලද දායාදයන් අද විනාශ වෙමින් තිබෙනවා.
එක උදාහරණයක් කියන්නම්. මැයි දිනය කියන්නෙ වැඩකරන ජනතාවගෙ දවස. පසුගියදා පැවති සෑම මැයි දින රැස්‌වීමකදීම කතා කළේ කම්කරු ජනතාවට බලපාන ප්‍රශ්න ගැනවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යෝජනා හෝ සැලසුම් ගැනවත් නෙමෙයි. තම තමන්ගෙ දේශපාලන කඳවුරුවල එකිනෙකාට එරෙහිව නොයෙක් චෝදනා හා අභියෝග තමයි මේ හැම රැස්‌වීමකම තේමාව. වැඩ කරන ජනතාවගෙ පැත්තෙන් නෙමෙයි තම තමන්ගෙ බලය ලබාගැනීම හා බලය රැකගැනීම පිළිබඳ දෘෂ්ටියෙන් තමයි අපේ රටේ මැයි දිනය සමරන්නේත්. බෞද්ධ රටක පාලක පක්‌ෂය හා විපක්‌ෂය තුළ බෞද්ධ ක්‍රියාකාරිත්වයක් තිබෙනවා නම් මහජනතාව ගැන මීට වඩා මානවවාදී හැඟීමක් තිබෙන්න ඕන. දරිද්‍රතාව, මන්දපෝෂණය, විරැකියාව වගේම පාරිසරික ප්‍රශ්නත් අද අනන්ත අප්‍රමාණ තිබෙනව. කවුරුත් එකතුවෙලා මේ ප්‍රශ්න විසඳගෙන රට ගොඩනගන්න ඕන මේ අවස්‌ථාවේ මේ විදිහට බල කඳවුරු ගොඩනඟාගෙන එකිනෙකාට අභියෝග කරන විට සිදුවන්නේ ප්‍රශ්න තවත් උග්‍රවීමයි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට මහා මෛත්‍රී ගුණයට අපි ගෞරව දක්‌වනවා නම් දුකට පත්වූවන් ඉන් ගලවාගන්නට අපි සාමූහික වශයෙන් එකතු වෙන්නට ඕන. ධර්මයේ සැබෑ ක්‍රියාකාරිත්වය එයයි. පොදු වශයෙනුත්, පෞද්ගලික වශයෙනුත්, සමාජීය වශයෙන් අපි ඊට සංවිධානය වන්නේ නැත්නම් ථෙරවාදී බුදුදහම රැඳුණු රට හැටියට අපි අපේ රට හඳුන්වමින් කරන්නෙ පුරසාරම් දෙඩීමක් විතරයි.
ජගදූපකෘතිරේව බුද්ධ පූජා
තදපකෘතිස්‌තව ලෝක නාථ පීඩා ආදී වශයෙන් ශ්‍රී රාමචන්ද්‍ර භාරතී පඬිතුමා බුදුරජාණන් වහන්සේට ගෞරව කළ යුතු ආකාරය පිළිබඳ මෙලෙස ප්‍රකාශ කොට තිබෙනවා. ලෝකයාට කරන උපකාරයම උතුම් බුද්ධ පූජාවයි. ලෝවැසියාට කරන හිංසාව බුදුරජාණන් වහන්සේට කරන නින්දාවයි.
නිර්මල ථෙරවාදී බුදුදහම පවතින අපේ රටේ අද වැඩිදෙනා කරන්නෙ බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීම නෙමෙයි නින්දා කිරීමයි.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූපය - කමල් බෝගොඩ
No comments:
Post a Comment