Tuesday, April 11, 2017

අවුරුද්දෙන් පස්සේ සියඹලාණ්‌ඩුව හදමුද


අවුරුද්දෙන් පස්සේ  සියඹලාණ්‌ඩුව හදමුද 
මේ අගනා ලිපිය මම ගත්තේ අද දිවයින පත්තරෙන් 
සමරසේකර 

වෙල්ලස්‌සේ ජන නද
සියඹලාණ්‌ඩුව මැති
ඇමැතිවරුන්ගේ බයිට්‌ එකද?

ඉකුත් සති අන්ත ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදී තිබූ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසා තිබුණේ මහින්ද රාජපක්‌ෂ මහතාට පිහිටුවන්නට හැකි වන්නේ සියඹලාණ්‌ඩුවක්‌ පමණක්‌ බවයි. ඒකාබද්ධ විපක්‌ෂය නුදුරේදීම යහපාලන ආණ්‌ඩුව පෙරළා දමා තමන්ගේ ආණ්‌ඩුවක්‌ පිහිටු වන බවට කරන ප්‍රකාශයට දිලිප් වෙදආරච්චි මහතා පිළිතුරු දී තිබුණේ එසේය.

මොකක්‌ද මේ සියඹලාණ්‌ඩුව?. ජාතික තලයේ දේශපාලන වේදිකාවේදී මෙන්ම සෑම මැතිවරණ වේදිකාවකදීම දේශපාලකයන්ගේ මුවග රැඳෙන සියඹලාණ්‌ඩුව කාගෙත් බයිට්‌ එක වී ඇති බව මෙහි ජනතාව කියයි. දශක ගණනාවක්‌ තිස්‌සේ සියඹලාණ්‌ඩුව තිබෙන්නේ දරිද්‍රතාවයේ පහළම මට්‌ටමේය. එනම් ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය වන්නේ සියඹලාණ්‌ඩුවය. යුද්ධය පැවති උතුරු නැඟෙනහිර ප්‍රදේශවලටත් වඩා අසරණ තත්ත්වයක සියඹලාණ්‌ඩුව පැවතියේය. දරිද්‍රතාවය අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහන ඇතුළු පොදු පහසුකම් අවමවීම ආදී දර්ශක කිහිපයක පහළ මට්‌ටමේ ජන ජීවිතය රැඳී තිබීම දුප්පත්කමින් පෙළීමට හේතු පාදක වී තිබුණි.

1948 නිදහස ලැබූදායින් පසුව සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට පැවති රාජ්‍යයන්ගෙන් ලැබුණ ආධාර අනුග්‍රහවල කුඩම්මාගේ සැළකිළි නිසා දුප්පත්කම නැමති නරාවලින් ගොඩ එන්නට තවමත් බැරිවී ඇත. සියඹලාණ්‌ඩුවේ ඉඩම් සම්පත මේ ජාතික තලයේ දේශපාලකයන් ඉකුත් කාලවකවානු වලදී තමන්ගේ බූදලය මෙන් බහු ජාතික සමාගම්වලට විකුණා දැමීය. අදටත් ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණා දැමීම සඳහා පිඹුරුපත් සකස්‌ කරමින් තිබීම ජනතාවට රහසක්‌ නොවේ. ප්‍රමාණයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කය තරම් විශාලත්වයෙන් යුතු සියඹලාණ්‌ඩුවට මෙහි ජනගහනයෙන් දහයෙන් එකක්‌ සමෘද්ධි ලාභීන් සිටින සියඹලාණ්‌ඩුවට ලංකාව නිදහස ලබා වසර 70 කට ආසන්න වුවද පැවති රජයන්ට හෝ පවතින රජයට එකදු කර්මාන්ත ශාලාවක්‌ හෝ ආරම්භ කිරීමට නොහැකිවීම සියඹලාණ්‌ඩුවේ ජනතාවගේ අවාසනාවය. සියඹලාණ්‌ඩුවේ ගස්‌ ටික කොට මුදලාලිලාගේ රසවත් ආහාරයක්‌ විය. මුතුකණ්‌ඩිය ව්‍යාපාරය සුගලාදේවි ව්‍යාපාරය ඇතිමලේ කොටියාගල ගොවි ජනපද ව්‍යාපාරවල තිබූ ගස්‌ ටික කොට මුදලාලිලාගේ පිහිටෙන් නිවී සැනසිල්ලේ මොරටුව බලා පියාසර කළේ සියඹලාණ්‌ඩුවේ ජනතාව කඳුළු සලද්දීය. වැලි මුදලාලිලා ගං පතුල්වල ගල් පෑදෙන තරම් පොළොව හාරා වැලි ටික උරා බොන්නේය. සියඹලාණ්‌ඩුවේ විශාලම වාරි යෝජනා ක්‍රමය මුතුකණ්‌ඩිය ව්‍යාපාරයයි. මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු භාරව සිටිය තොප්පිකාර ඉංජිනේරු වරයා සියඹලාණ්‌ඩුවේ සංවර්ධනයට තිබූ මහ ජලකඳ සියලු දෙනාගේම ඇස්‌ වසා හැඩ ඔයට දමා නැඟෙනහිරට යවනකම් අපේ වගකිව යුතු උන්නැහේලා නිදා සිටි බව ජනතාව අදටත් කියන්නේය. සියඹලාණ්‌ඩුව ඇතිමලේ කොටියාගල මහකළුගොල්ල කන්ද උඩපංගුව බුද්දම වැනි ප්‍රදේශවල ජනතාවට අදටත් හරි හමන් පානීය ජල ව්‍යාපෘතියක්‌ නොමැත. එවන් පසුබිමක සියඹලාණ්‌ඩුවට කොට්‌ටෙයි පැදුරයි රැගෙන එන ඇතැම් නිලධාරීන් ආපසු යන්නේ පැජරෝ ඉන්ටර්කූලර් වලිනි. අතීතයේ ඒවාට හේතු සාධක ඇති පදම් ඇත. සියඹලාණ්‌ඩුවේ දුප්පත්කම රට රටවලට විකුණා කමින් බොහෝ භඨධ නඩ බැබළුනේය. කොළඹට කිරි අපිට කැකිරි කියා සියඹලාණ්‌ඩුවේ දරුවන් අධ්‍යාපන අයිතින් ඉල්ලා හඬ නැ`ගූ යුගයක්‌ තිබුණේය. තවමත් එසේ පවතී. මධ්‍යම රජයේ සහ පළාත් සභාවෙන් සියඹලාණ්‌ඩුවට ලැබෙන කුඩම්මාගේ සැලකිල්ලට විරෝධය පා මෙහි ජනතාව හඬ නැගුවේ සියඹලාණ්‌ඩුව නොසලකා හරින්නේ එය වෙනම ආණඩුවක්‌ යෑයි සලකන්නේ ද යනුවෙනි. මොනරාගල ඡන්ද පදනම සියඹලාණ්‌ඩුවයි. මොනරාගල දේශපාලකයන්ගේ ඉරණම විසඳන්නේ සියඹලාණ්‌ඩුවේ ජනතාවගේ ඡන්දයයි. එහෙත්. සියඹලාණ්‌ඩුවේ අතීත සහ වර්තමාන පසුබිම එසේය. දිලිප් වෙදආරච්චි ඇමැතිවරයා වැස්‌සකටවත් සියඹලාණ්‌ඩුවට ගොඩවී තිබේ දැයි මෙහි ජනතාව අසයි. එය වෙනම ආණ්‌ඩුවක්‌ නම් එහි තිබිය යුතු සංයුතිය මෙසේ දැයි ඔහුගෙන්ම ඇසිය යුතු යෑයි ජනතාව කියන්නේය.

No comments: