Thursday, April 6, 2017

අර්ථ සාධකේට තම පඩියෙන් සල්ලි දාන්නේ කවුරුත් - ඒක හොරා කන්නෙ තවත් කෙනෙක් ,හරියට එයා අර්ථ සාධකය හැදුවා වාගේ


පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ බැඳුම්කරවලට
ගෙව්වේ මහ බැංකුවේම මුදල්
- මහ බැංකු අතිරේක අධ්‍යක්‌ෂ වසන්ත අල්විස්‌ කියයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ මහ බැංකුවේම මුදල් බව මහ බැංකුවේ තොරතුරු තාක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‌ෂ වසන්ත අල්විස්‌ මහතා ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය.

මේ අනුව එදින සේවක අර්ථසාධක අරමුදලෙන් සහ මහ බැංකුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට රු. බිලියන 36.485 ක අරමුදල් ගලා ඒමක්‌ සිදුව ඇති බව ද අල්විස්‌ මහතා කොමිසමට කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අදාළ ගනුදෙනු ඇතුළත් ලේඛනයක්‌ කොමිසමට ඉදිරිපත් කරමින් සාක්‌ෂි දුන් වසන්ත අල්විස්‌ මහතා ප්‍රකාශ කළේ එම ලේඛනය තමා විසින් සකස්‌ කළ බවත් එහි සඳහන් තොරතුරු සත්‍ය බව තමා පිළිගන්නා බවත්ය.

රු. බිලියන 36.485 ක මුළු මුදල තුළ රු. බිලියන 6 ක (රු. කෝටි 600 ක) අර්ථසාධක අරමුදලේ මුදල් ද (රෙපෝ ක්‍රමයට ලබාගත්) පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් තම බැඳුම්කර ගනුදෙනු පියවීමට යොදාගෙන ඇතැයි ද අල්විස්‌ මහතා කියා සිටියේය.

2016.04.01 දින මහ බැංකුවෙන් ලබාගෙන ඇති (රෙපෝ ක්‍රමයට) අරමුදල් ප්‍රමාණය රු. බිලියන 10.5 (රු. කෝටි 10500 ක්‌) බවත් ඉතුරු ප්‍රමාණය මහ බැංකුවෙන් එක්‌ දින ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගෙන ඇති බවත් සාක්‌ෂිකරු නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම කලින් (2016.03.29 සහ 31 යන දිනවල) මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා මුදල් පියවීමට නියමිතව තිබුණේ 2016.04.01 දින බවද ඔවුන් මහ බැංකුවේ එක්‌දින ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගෙන තිබූ මුදල් නිසි පරිදි පියවීම පැහැර හැර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්‍ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනයට නුව කොමිසමට කියා සිටියේය.

මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එම ලේඛනය ඇසුරින් ප්‍රකාශ කළ ඇතැම් කරුණුවලට විරෝධය පළ කර සිටි අතර එහිදී කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කියා සිටියේ සාක්‍ෂිකරු මූලික වශයෙන්ම කළේ ඔහු සකස්‌ කළ ලේඛනයක්‌ කොමිසමට ඉදිරිපත් කිරීම පමණක්‌ බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා - ඔබ නේද මේ ලේඛනය සකස්‌ කළේ.

සාක්‍ෂිකරු - ඔව් මම සකස්‌ කළේ.

ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති)- ඔබ මේ ලේඛනයේ තියෙන විස්‌තරවලට එකඟ වෙනවාද?

සාක්‍ෂිකරු - ඔව්.

 

No comments: