Friday, April 14, 2017

පුණ්‍ය කාලයේදී සිතන්නට යමක්



ත්‍රිපිටකය කටපාඩමින් ගෙනෙන කොට අමතකවීම් ඇති නොවුනේ කෙසේද යන්නට පිළිතුරක් සපයන මෙම ලිපිය  divaina පත්‍රයේ පන්සල පිටුවට  ලියා ඇත්තේ ගල්වෙහෙරගම පුරාණ විහාරවාසී වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේ උසස්‌අධ්‍යාපනය හදාරන

පූජ්‍ය කන්දේගම කුසලධම්ම හිමියන්  විසින්ය .




භාණක පරම්පරාවල ආරම්භය හා වර්ධනය 


ධර්ම විනය සුරැකීමේ උපක්‍රම බුද්ධ කාලයේදීම යොදා තිබුණි. භික්‌ෂුවකගේ නිස්‌සය සම්පත්තියට යෝග්‍ය වන්නේ ආගතාගම, ධර්මධර, විනයධර, බහුශ්‍රැත භික්‌ෂුවක්‌ වූ විටය. ඒ නිසා බුදු රදුන්ගේ අග තනතුරු දීමෙන් ස්‌වකීය ශ්‍රාවකයන් ධෛර්යවත් කළ බව පෙනේ. විනයධරයන් අතර උපාලි තෙරුන් වහන්සේත්, ධර්මධරයන් අතර ආනන්ද තෙරුන් වහන්සේත් වැදගත් තැනක්‌ හිමිකරගෙන තිබුණි. භාණකවරුන් පත් කෙරෙන තුරු ධර්ම විනය ආරක්‌ෂා කර ගැනීමෙහිලා උන් වහන්සේලාගෙන් සැලසුණු සේවාව අති විශිෂ්ට විය.

ප්‍රථම ධර්ම සංඝායනාව පවත්වා අනතුරුව ගත් වැදගත්ම තීරණය නම් ධර්ම විනය කොටස්‌ කර ඒ ඒ කොටස්‌ කට පාඩමින් පවත්වා ගෙන ඒමට භාණක නමින් පිරිසක්‌ පත් කිරීමය. ඒ අනුව, උපාලි හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට විනය පිටකයත්, ආනන්ද හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට දීඝ නිකාය හෙවත් දික්‌ ස`ගියත්, සැරියුත් හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට මඡ්ජිම නිකාය හෙවත් මැදුම් ස`ගියත්, මහා කාශ්‍යප ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට සංයුක්‌ත නිකාය හෙවත් සංයුත් ස`ගියත්, අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට අංගුත්තර නිකාය හෙවත් අංගුත්තර ස`ගියත් පැවරූ අතර ඛුද්දක නිකාය හෙවත් කුදුනෙත් ස`ගිය පවරා දුන් ආචාර්ය පරපුරක්‌ ගැන සඳහන් වන්නේ නැත. එම කොටස පොදුවේ කවුරුත් කට පාඩමින් පවත්වාගෙන ආවේය යන්න ඇතැමුන්ගේ පිළිගැනීමයි. එසේම අභිධර්ම පිටකය ද සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය ආභිධම්මික තෙරුන්ට ආරක්‌ෂා කරගෙන ඒම සඳහා පැවරුවේ යෑයි ද පිළිගැනීමක්‌ ඇත.

මෙයට අමතරව ඛුද්දක නිකාය ක්‍රමයෙන් සංවර්ධනය වූවක්‌ වශයෙන් සමහරු හඳුන්වති. එය කොටස්‌ පහළොවකින් යුක්‌තය. එනම් ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පේතවත්ථු, සුත්ත නිපාත, ථෙර ගාථා, ථේරී ගාථා, ජාතක නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංශ, චරියාපිටක යන දේශනා පාලිය සංගායනා කොට ඛුද්දක කිකාය නමින් හැඳින්විය.

ධර්ම විනය නිකාය පසට පමණක්‌ බෙදීමේ දී මුල් නිකාය හතර හැර සෙසු සියලු බුද්ධ වචනය ඛුද්දක නිකායට ඇතුළත් වන බව සැලකේ. ආචාර්ය පරවාහැර වජිරඥාන නාහිමියෝ මහා වග්ග පාලියට ලියූ දීර්ඝ ප්‍රස්‌ථාවනාවේදී මෙසේ සඳහන් වේ.

බුද්ධ කාලයේදීම ඛුද්දක නිකායට අයත් ධර්මයන් සාමාන්‍යයෙන් භික්‌ෂූන් වහන්සේ විසින් පරියාප්ති වශයෙන් ප්‍රගුණ කළ බව ඉධ භික්‌ඛවේ භික්‌ඛු ධම්මං පරියාපුනන්ති සුත්තං, ගෙයHං, වෙයHකරණ ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භූත ධම්මං, වෙදල්ලාට්‌ යන දේශනා පාලියෙන් ද ප්‍රකාශ වේ. තව ද එය කොටස්‌ වශයෙන් වදාළ ජාතක භාණක ධම්මපද භාණක ආදී ආචාර්යවරයන් ගැන ද අර්ථ කතාවෙහි සඳහන් වේ. පඤ්ච නෙකායිකා, පඤ්ච නිකාය හදාරන්නෝ ආදීන් අශෝක ශිලා ලේඛනයන්හි ද ඛුද්දක භාණකා, කුදු ගොත් ස`ගිය හදාරන්නෝ යෑයි මිලින් ද ප්‍රශ්නයෙහි ද සඳහන් වීමෙන් සංගීති කාලයෙහි හෝ කුදු ගොත් ස`ගිය මුඛපාඨ වශයෙන් හදාළ ආචාර්ය පරම්පරා පැවති බව පැහැදිලි වේ.

අටුවා විස්‌තර අනුව දීඝ භාණක, මඡ්ජිම භාණක, සංයුක්‌ත භාණක, අංගුත්තර භාණක, ඛුද්දක භාණක යන නම්වලින් පෙර පටන් පංච නිකාය හැදෑරූ ආචාර්ය පරම්පරා සිටි බව ද පැහැදිලිය. භාණක වරයකුට නිකායක්‌ සම්පුර්ණයෙන් බැරි නම් ඉන් කොටසක්‌වත් කට පාඩම් තිබිය යුතුය. අටුවා විස්‌තර අනුව දීඝ භාණක මහා වග්ගයේ සූත්‍ර දොළහ පාඩම් තිබුණත් ප්‍රමාණවත් ය. මඡ්ජිම භාණකට මඡ්ජිම නිකායේ මුල් සූත්‍ර පනහ ප්‍රමාණවත් ය. අභිධර්ම භානක වරුන් කවුරුන් දැයි ස්‌ථිරවම සඳහන් නොකළත් ප්‍රථම සංගීතියෙන් පසු සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය ආභිධම්මික තෙරුන් එහි වගකීම භාර ගත්තේ යෑයි ද පිළිගැනීමක්‌ ඇත. සියලු බුද්ධ වචනය ධර්ම විනය වශයෙන් බෙදා වදාළ හෙයින් අභිධර්මය ද ධර්මයෙහි ම ඇතුළත්ව ඇති බව සමහරු කියති. ¨ධම්මෙන හෙත්ථ ද්වෙපිටකානි වුත්නානිට්‌ ධම්ම විනය පදයට ලියූ අර්ථ කතාවෙන් ද, ධම්ම යන්නේ සූත්‍ර අභිධර්ම පිටක දෙක කී බව ප්‍රකාශ වෙයි.

බුදු රදුන් මාතෘ දිව්‍ය පුත්‍රයාට දේශනා කළ කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා ආදී මාතෘකා වශයෙන් දැක්‌වෙන කරුණු සැරියුත් මහ රහතන් වහන්සේට කියා දුන් අතර උන් වහන්සේ අභිධර්ම මාතෘතා සියල්ල විස්‌තර කොට එහි වාචානා මාර්ගය තමන් වහන්සේ අතවැසි පන්සියයක්‌ භික්‌ෂුන්ට ඉගැන්වූ බව සඳහන් වේ. එතැන් සිට භික්‌ෂුහු අභිධර්මය මාතෘකා වශයෙන් ප්‍රගුණ කළහ.

එසේ නම් පළමු ධර්ම සංඝායනාවේ දී අභිධම්ම භාණකවරුන් වශයෙන් අමුතුවෙන් පිරිසක්‌ පත් කිරීමට අවශ්‍ය නැති බව ද පෙන්වා දෙති. සැරියුත් හිමියන්ගේ අතවැසි පන්සියයක්‌ රහත් භික්‌ෂුන් වහන්සේලා පෙරුම් පුරා පැතූ ලෙස ආභිධම්මිකයෝ වූහ. එහෙයින් උන්වහන්සේලා සිටිද්දී ප්‍රථම සංගීතියේ දී අභිධර්මය තවත් පිරිසකට කෙසේ භාර කරත් දැයි වජිරඥාන නාහිමියන් ප්‍රශ්න කරති.

අභිධර්මය භාණකවරුන් වශයෙන් භද්දජි, සෝභිත, පියජාලි, පියපාල, පියදස්‌සී, කෝසියපුත්ත, සිග්ගව සන්දේහ, මොග්ගලීපුත්ත තිස්‌ස, සුදත්ත, ධම්මදාසක, සෝණක, රේවත යන ආචාර්යවරුන් අභිධර්මය පිටකය දරාගෙන ආ බව සඳහන් වේ. උන්වහන්සේලා සාරිපුත්ත ශිෂ්‍ය පරම්පරාවට අයත් වේ. ලක්‌දිව ශාසන ඉතිහාසයේ අටළොස්‌ භාණකවරුන් ගැන සඳහන් වේ. උන්වහන්සේලා ධර්ම විනය මුඛ පරම්පරා ගතව පවත්වා ගෙන ආ අතර වලගම්බා රජු දවස මාතලේ අළු විහාරයේ දී පැවති පුස්‌තකාරූඪ සංගීතියේ දී තල්පත්වල ලියා තැබූ බව සඳහන් වේ.

ගල්වෙහෙරගම පුරාණ විහාරවාසී
වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේ උසස්‌
අධ්‍යාපනය හදාරන
පූජ්‍ය කන්දේගම කුසලධම්ම හිමි

No comments: