Friday, April 28, 2017

ඉතින් මොකේදැයි දැන් වළදන්නේ - තිබුණු පාත්තරේ බිඳුණු කොටේ


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකට කැඩුන බව මේ රටේ සාමාන්‍ය ජනතාව නම් දැනගෙන ගොඩක් කල්ය. එහෙත් ඉහල පෙලේ දේපාලන ලොක්කන් කලේ එවැන්නක් නැහැ කියා රඟ පෑමකි. රටක ඉදිරිගමනට බලපාන කරුණු කෙලින් රටවැසියාට දැන්වීම මහත්මා ගුණයකි. එවැන්නක් බැරි නම් ඒ ගුණාංගය ඇත්තවුන්ට රට කරවීමට ඉඩදී පැත්තකටවිම කගේ කාගේත් ඇඟට ගුණය.

මේ ලිපිය මා උපුටා ගත්තේ දිවයින පත්‍රයෙනි 
සමරසේකර    



ශ්‍රී ලනිපය දෙකඩ කිරීමේ වගකීම

ජනපති මෛත්‍රී භාරගත යුතුයි


හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි



ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කරමින් සිදුකරන ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ වගකීම වත්මන් පක්‌ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාරගත යුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වේ.


2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රීලනිපයකි. පක්‍ෂ නායකත්වය මා සතුව තබා ගැනීමට මම ඒ අවස්‌ථාවේදී උත්සාහයක්‌ නොගත්තේ අපි කාගෙත් දේශපාලන තෝතැන්න වූ ශ්‍රීලනිපය රැකගැනීමේ උවමනාව නිසාය. දශක හතරක්‌ මුළුල්ලේ ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු මෙන්ම අවුරුදු 13 ක්‌ මුළුල්ලේ පක්‍ෂයේ මහලේකම්වරයෙකුද වූ අයෙකු පක්‍ෂයේ නායකයා වූ විට පක්‍ෂයට හානියක්‌ නොවනු ඇතැයි මම මෙන්ම පක්‍ෂ සාමාජිකයනුත් බලාපොරොත්තු විය. 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ඡන්දය ඉල්ලිය යුතු යෑයි අප අතර ප්‍රබල මතයක්‌ තිබුණද, ශ්‍රීලනිපය හා එජනිසය තුළින් අපි එම මැතිවරණයටත් තරග කළේ, මේ පක්‍ෂය රැක ගැනීමට අප තුළ තිබුණු උවමනාව නිසාය. ඒ වන විටත් අප තුළ ශ්‍රීලනිපයේ නව නායකත්වයේ ක්‍රියාකලාපය ගැන බරපතල සැක නොතිබුණා නොවේ.

ශ්‍රීලනිපයේ මේ නව නායකයා ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43 ක්‌ පමණක්‌ තිබුණු එජාපයට අගමැතිකම දීම නිසා ඒ වන විටත් පාක්‍ෂිකයන් තුළ තිගැස්‌මක්‌ තිබුණි. ශ්‍රීලනිපයේ නායකත්වය ලැබීමෙන් පසුවවත් මේ එජාප නැඹුරුව වෙනස්‌ වනු ඇතැයි පක්‍ෂ සාමාජිකයන් බලාපොරොත්තු වුණත්, එවැන්නක්‌ සිදු නොවීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක්‌ තිබුණු එජනිසයේ නායකත්වය ලැබීමෙන් පසු, නව නායකයා කළේ එජනිසයේ බහුතරයත් පාචිච්චි කරමින් යූඑන්පී ආණ්‌ඩුව පවත්වාගෙන යැමයි. එපමණක්‌ද නොව 2015 මාර්තු මාසයේදී එජනිස පාලනය යටතේ පැවති පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා, ඉදිරියට පැවැත්වීමට නියම වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට වාසිදායක වූ සාධකයක්‌ අපිට අහිමි කිරීමටත් නව නායකත්වය කටයුතු කළා. එවන් පසුබිමක්‌ තුළ වුවත්, 2015 අගෝස්‌තු මැතිවරණය අපි එජනිසය යටතේම තරග කළේ, ශ්‍රීලනිපය නොබෙදා තබා ගැනීමට උපරිම උත්සාහයක්‌ ගතයුතු නිසාය. එමෙන්ම නව ශ්‍රීලනිප නායකයා එජාපයේ ග්‍රහණයෙන් ගලවා ගැනීමට හැකිවේ යෑයි බලාපොරොත්තුවක්‌ද එදා නොතිබුණා නොවේ.

නමුත් 2015 මහ මැතිවරණය එජනිසය ජය ගන්නා බවට ලකුණු පහළ වෙමින් පැවති අවස්‌ථාවේදී ශ්‍රීලනිප නායකයා කටයුතු කළ ආකාරයෙන් පාක්‍ෂිකයන් බරපතළ අපේක්‍ෂා භංගත්වයකට පත්විය. ඡන්දයට දින කීපයක්‌ තිබියදී එජනිසය ඡන්දයෙන් දිනුවත් එහි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ මට අගමැතිකම දෙන්නේ නැති බවට විවෘත ලිපියක්‌ ලියමින් ශ්‍රීලනිපයේ නව නායකයා කීවේ ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනුවත් ඔහු ජයග්‍රහණය දෙන්නේ එජාපයට බවය. එයින්ද අපේ ජයග්‍රණය නැවැත්වීමට නොහැකි වේ යෑයි ඔහු තුළ වූ සැකය නිසා ඡන්දයට පැය 48 ක්‌ තිබියදී ශ්‍රීලනිපයේ හා එජනිසයේ මහ ලේකම්වරුන් දෙදෙනාම ධූරයන් වලින් පහ කරනු ලැබුවේද ශ්‍රීලනිපයේ පරාජය තහවුරු කිරීමටය. මේ ආකාරයට ශ්‍රීලනිප නායකයාගේ උදවු ඇතුව 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජයගත් පසු වත්මන් ශ්‍රීලනිප නායකත්වය කළේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ යූඑන්පී ආණ්‌ඩුවට මුක්‌කු ගැසීමට යෙදවීමයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියලුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ 2015 ජනවාරි 08 කුමන්ත්‍රණයට විරුද්ධවය. ඔවුන් සියලුදෙනාම ඡන්දය ඉල්ලුවේ මේ යමපාලන ආණ්‌ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධවය. එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් තිස්‌ ගණනක්‌ ශ්‍රීලනිප නායකත්වයේ ආරාධනය මත යූඑන්පී ආණ්‌ඩුවට මුක්‌කු ගැසීමට ඉදිරිපත් වී සිටීම ගැන මම කනගාටුවට පත්වෙමි. නමුත් ශ්‍රීලනිප හා එජනිස මන්ත්‍රීවරුන් 52 ක්‌ තමන්ට 2015 ලැබුණු යමපාලන විරෝධී ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ අසුන්ගෙන සිටී.

මෙසේ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විටින් විට, ඔවුන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම දැන් අවුරුදු දෙකක්‌ මුළුළුල්ලේ සිදු වී ඇත. ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්කර ගනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් ශ්‍රීලනිපයේ නායකත්වය මේ කරන්නේ ශ්‍රීලනිපය ශක්‌තිමත් කිරීම නොව එජාපයේ ජය තහවුරු කිරීමට කටයුතු කිරීමය. අද වන විට එජාප ආණ්‌ඩුවට මුක්‌කු නොගැසීමේ වරදට ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්‌වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරී, ඩී.බී. හේරත්, කංචන විෙ-සේකර යන මන්ත්‍රීවරුන්ද වේ.

මේ ආකාරයට ශ්‍රීලනිපයේ ස්‌ප්‍රිත්තුව, ආසන සංවිධායකකම් වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රීලනිපයටද නැතිනම් එජාපයටද? මෙසේ ඊයේ පෙරේදා ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රීලනිපය වෙනුවෙන් කළ මෙහෙවරවත් සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය. එතුමාගේ දිවංගත පියා ටී.බී. තෙන්නකෝන් ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම 1956 විප්ලවයේ පුරෝගාමීයෙකුද විය. ලොහාන් රත්වත්තේ ඉවත් කිරීමට පෙර ඔහුගේ දිවංගත පියා ශ්‍රීලනිපයටත් රටටත් කළ සේවය ගණන් ගෙන තිබෙනවාද? ශ්‍රීලනිප නායකයාගේ මේ වැඩ පිළිවෙල නිසා ශ්‍රීලනිපයේ ආසන සංවිධායක කමත් බාල්දු වී ඇති තරම ඩලස්‌ අලහප්පෙරුම, ජනක වක්‌කුඹුර හා රෝහණ දිසානායක ස්‌වේච්ඡාවෙන්ම තම සංවිධායක ධූරවලින් ඉවත් වීමෙන් පෙනේ. ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් සිය පියාට වූ අසාධාරණය නිසා දෙවරක්‌ නොසිතා තමාට තිබුණු පළාත් ඇමැති ධූරයෙනුත් ඉල්ලා අස්‌විය.

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙල නිසා ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ සම්පූර්ණ වගකීම පක්‍ෂ නායකයා භාරගත යුතුය. යූඑන්පී ආණ්‌ඩුවට මුක්‌කු ගසන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් එසේම තිබියදී ආණ්‌ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් නැති කිරීමෙන් ශක්‌තිමත් වෙන්නේ ශ්‍රීලනිපයද නැතිනම් එජාපයද යන්න පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගැනීමට අපහසු නැත. තමන්ට 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත් කොට ඇත. මේ කුමන ක්‍රියාමාර්ග ගත්තත් ශ්‍රීලනිප නායකයාගේ අනුග්‍රාහකත්වය යටතේ පවතින මේ දුර්දාන්ත ආණ්‌ඩුව දිනෙන් දිනම පිරිහීම වැලැක්‌විය නොහැක.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්‌ඩුව ශක්‌තිමත් කිරීමට යැමෙන් පසුත් ආණ්‌ඩුවට වැඩ බැරිනම්, බලා සිටියදී ගිලෙන ඔය නැවේ තවදුරටත් සිටින්නේ කුමටදැයි, ඒ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද කල්පනා කර බැලිය යුතුය. ඡන්දයකදී කිසිදාක ශ්‍රීලනිපයට ඡන්දය නොදෙන, ජාතික දේශපාලන පක්‍ෂ මෙන් මැයි දිනය සමරන්නේ නැති, උතුරු නැගෙනහිර ජාතිවාදී පක්‍ෂවල සාමාජිකයන්ට නොමිලේ විනෝද සවාරි ලබා දී ගෙන්වාගෙන ඔලුගෙඩි පෙන්වා ජනතාව රැවටීමට උත්සාහ ගත්තත්, දිගින් දිගටම මේ ආණ්‌ඩුව ඡන්ද කල් දමමින් සිටින්නේ, ඔවුන්ට රට තුළ තිබෙන සැබෑ බලය ගැන අවබෝධයක්‌ තිබෙන නිසා විය යුතුය.

මම 2015, අපට ලැබෙනු ජනවරම අනුව මේ ආණ්‌ඩුවට එරෙහි විපක්‍ෂ බලවේගයට නායකත්වය දෙමින් මේ දුර්දාන්ත ආණ්‌ඩුව පරාජය කිරීමට කැප වෙන බව මෙහිදී නැවතත් ප්‍රකාශ කර සිටිමි. ශ්‍රීලනිපය එජාපයේ වලිගයක්‌ බවට පත් කිරීමට විරුද්ධ සියලුම ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ටත්, මේ ආණ්‌ඩුවේ ජාතිෙද්‍රdaහී වැඩපිළිවෙලට විරුද්ධ මහජනතාවටද ගාලු මුවදොර මැයි රැලියට සහභාගී වී මේ ආණ්‌ඩුවට ප්‍රබල පණිවුඩයක්‌ යවන මෙන් මම ආරාධනය කර සිටිමි.

No comments: