(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල් පියවීම සඳහා යළි මහා බැංකුවෙන්ම ණය ලබාගෙන තියෙනවා යැයිද එයට අමතරව අර්ථ සාධක අරමුදලෙන්, ඞී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා  බැංකුවලින් රුපියල් බිලියන 21ක ණය ලබාගෙන ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත කුමාර අල්විස් මහතා පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදුකෙරේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.

පෙර දින ඉදිරිපත් කරන ලද ලේඛන දෙකේ තියෙන්නේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ගනුදෙනු සටහන් සහ එහි සාරාංශයයි. මෙම තොරතුරු පිළියෙළ කරන්නේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්,
ප්‍රශ්නය.  මේ සඳහා දත්ත ගන්නේ කොහොමද?
පිළීතුර. 2016 අපේ‍්‍රල් අග භාගයේ.
ප්‍රශ්නය.  මෙම දත්ත ලබාගන්නේ කෙසේද?
පිළීතුර. ඒවා ලබා ගන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන්.
මේ අවස්ථාවේදී 68 සී දරන ලේඛනය පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරයි.
ප්‍රශ්නය.  එහි එක් දින වෙළෙඳ ණය රුපියල් බිලියන 11ක වෙළෙඳ ණයක් සඳහන් වෙනවා නේද?
පිළීතුර. ඔව්. මෙය අපේ‍්‍රල් 04 වැනිදා ගනුදෙනු ලේඛනයයයි.
ප්‍රශ්නය.  ඒ කියන්නේ ඒ වන විටත් ගත් එක්දින ණය මුදල් ගෙවලා නැහැ නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය.  ඊට පසු මෙම ලේඛනයේ සඳහන් වන්නේ මොනවාද?
පිළිතුර. ඞී.එෆ්.සී.සී. සුරැකුම් විකිණීම සහ ලංකා බැංකුවට සුරැකුම් විකිණීම් තුනක් මෙහි සඳහන් වෙනවා.
ප්‍රශ්නය.  මේ ලේඛනය අනුව පෙනී යන්නේ අප්‍රේල් පළමුවැනිදා ලබාගත් වෙළෙඳ ණයෙන් අප්‍රෙල් 04 වැනිදා 7.30 වනවිටත් රුපියල් බිලියන 4.1 ක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගෙවලා නැහැ නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය.  අප්‍රෙල් 04 වැනිදා ගනුදෙනු අවසන් කරන්නේ කීයටද?
පිළීතුර. පස්වරු 1.30 ට.
ප්‍රශ්නය.  ඊට පසු තවත් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබාගෙන තියෙනවා නේද?
පිළීතුර. ඔව්. රුපියල් බිලියන 4.1ක ණයක් ලබාගෙන තියෙනවා.
ප්‍රශ්නය.  එම ප‍්‍රතිමිලදී ගැනීමේ ණය හඳුන්වන්නේ කෙසේද?
පිළීතුර. මෙය රීපෝ (Repo) ලෙස හඳුන්වනවා. මෙය ප‍්‍රාථමික ගැණුම්කරුවන් වෙත මහා බැංකුවෙන් ලබාදෙන කෙටි කාලීන ණයක්.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙය අලුත් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය.  එම ණය මුදල අපේ‍්‍රල් 05 වැනිදා ගෙව්වාද?
පිළීතුර. මා දන්නේ නැහැ.
ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා. මෙම ප‍්‍රතිමිලදී ගැනීමේ සියලුම ණය ගෙවා අවසන්.
ප්‍රශ්නය.  2016 අපේ‍්‍රල් 04 වැනිදා ගණුදෙණු කාලය අවසන් වන විට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අපේ‍්‍රල් 01 වැනිදා එක්දින වෙළෙඳ ණයක් ලෙස ලබාගෙන තිබු රුපියල් බිලියන 4.1ක් හා අපේ‍්‍රල් 04 වැනිදා එක්දින වෙළෙඳ ණයක් ලෙස ලබාගෙන තිබු රුපියල් බිලියන 3.3ක මුදල් ගෙවීමට තියෙනවා නේද?
පිළීතුර. ඔව්.
මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සිදු කළ ණය ගෙවීම් අතපසු කිරීම ගැන පමණයි. එක ප‍්‍රාථමික ගැණුම්කරුවකු ගැන පමණක් කතා කරන්නේ ඇයි? තව කොපමණ ප‍්‍රාථමික ගැණුම්කරුවන් ඉන්නවාද? මින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගැන වැරදි චිත‍්‍රයක් මවා පෑම සිදුවෙනවා.
ප්‍රශ්නය.  ඊට පසු ගනුදෙනු පැහැදිලි කරන්න?
පිළීතුර. සවස 4.45ට පමණ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම
රුපියල් බිලියන 4.1ක එක්දින ණය ගෙවා දමනවා. ඊට පසු තුන්වන වරටත් රුපියල් බිලියන 4ක ප‍්‍රතිමිලදී ගැණුම් ණයක් ලබාගන්නවා.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඒ කියන්නේ 2016 අපේ‍්‍රල් 04 වැනිදා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් ප‍්‍රතිමිලදී ගැණීමේ ණය තුනකුත් අර්ථසාධක අරමුදලෙන් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයකුත් ලබාගෙන තියෙනවා කියන එකද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය.  2016 අපේ‍්‍රල් 04 වැනිදා අර්ථසාධක අරමුදලෙන් කොපමණ ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් ලබාගෙන තියෙනවාද?
පිළීතුර. රුපියල් බිලියන තුනක.
ප්‍රශ්නය.  ඊට පසු යමක් සිදුවුණාද?
පිළීතුර. මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මිය අනුමැතිය පරිදි රුපියල් බිලියන 11ක් එකිදින ණය මුදල සඳහා පොළි අනුපාතය අපේ‍්‍රල් පළමුවැනිදා පොළි අනුපාත අනුව ගණනය කරන්න කියා දැනුම් දුන්නා.
ප්‍රශ්නය.  ඒ අනුව සිදුවුයේ කුමක්ද?
පිළීතුර. රුපියල් බිලියන 11ක් එකිදින ණය මුදල නොගෙවීම වෙනුවෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකර තිබු රුපියල් මිලියන 88ක මුදල ආපසු එම සමාගමට ගෙවීමට කටයුතු කළා.
ප්‍රශ්නය.  මේ අසාමාන්‍ය දෙයක් නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය.  මෙම සියලු ගෙවීම් සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ කෙසේද?
පිළීතුර. මේ සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රුපියල් බිලියන 12.5 ක්,සේවක අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5ක් ඞී.එෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකු වලින් රුපියල් බිලියන 8.5ක්.
ප්‍රශ්නය.  එතකොට සම්පුර්ණ එකතුව කොපමණද?
පිළීතුර. රුපියල් බිලියන 21යි.
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ‘ලංකා සෙට‍්‍රල්මන්ට් සිස්ටම්’ පද්ධතියේ බාරකරු මමයි.
ප්‍රශ්නය.  මීට පෙර අවස්ථාවල වෙනත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් ලබාගත් ණය මුදල් නොගෙවා පැහැර හැර ඇති අවස්ථා ගැන විමර්ශනය කර වාර්තා ලබාගෙන තියෙනවාද?. මීට පෙර අවස්ථාවල වෙනත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් කීදෙනෙක් ලබාගත් ණය මුදල් නොගෙවා පැහැර හැර තියෙනවාද?
පිළීතුර. ඒ ගැන මා දන්නේ නැහැ. නීතීපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මතයි මා කටයුතු කරන්නේ.
මේ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ගත් ණය මුදල් ගෙවා ඇති බව පවසමින් ලේඛන කිහිපයක් කොමිසමට ඉදිරිපත් කළේය.
වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී