Saturday, April 8, 2017

අපි නොදත් රවී

 රවී ජයවර්ධන මහතා ජන තිරයේ කරලියට නොපැමිණි ජාතික වීරයෙක් බව  මා දැන ගත්තේ 1999 හෝ 200 වසරේදී හර්මන් එම ගුණරත්න මහතා විසින් ලියා ඇති  මගේ මතකයට අනුව ඒකීය ශ්‍රීලංකාවක්  නම් පොත කියවිමෙන්ය . අද  වනවිට එතුමා අභාවප්‍රාප්තවී ඇත .මේ නිහඩ ජාතික වීරයා ගැන ඉතා හොද ලිපියක් දිවයින පත්‍රයේ ඇත , මේ පහ තින් ඇත්තේ එම ලිපියයි  ලිපිය ලියා තිබෙන්නේ  හේමන්ත රන්දුනු මහතාය.

පොලීසියට සිගරට්‌ ඇද්ද, පොලිස්‌ විශේෂ කාර්ය බලකාය බිහිකළ ජනාධිපති පුතා

හේමන්ත රන්දුණු


ඒ 1978 වර්ෂයයි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එක්‌තරා සුවිසල් නිවසකි. මේ ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණේය. නිවසේ ආරක්‍ෂක කටයුතු සඳහා අලුතින් පැමිණි පොලිස්‌ නිලධාරියකු දිනක්‌ පෙරවරු රාජකාරියේ නිරතව සිටියේය.

දුම් පානයට තදින් ඇබ්බැහි වී සිටි මේ නිලධාරියා ඒ මොහොතේ සිටියේ දුම්වැටියක්‌ පානය කිරීමේ තදබල අවශ්‍යතාවකින් ය. එහෙත් දුම්වැටියක්‌ ගෙන ඒම සඳහා වෙළෙඳසලකට යෑවීමට තරම් කෙනෙකු සිටියේ නැත.



සිය මීමිත්තණිය, හෙළේනා විජයවර්ධන ඇකයේ සිටින සිඟිති රවී ජයවර්ධන දෙපසින් සිටින්නේ ඡේ. ආර්. ජයවර්ධන හා එළීනා ජයවර්ධන


ප්‍රභූ නිවසේ සිට මෝටර් රථයක්‌ පිටතට යැමට පැමිණියේ මේ අතරතුරදී ය. නිවසේ ගේට්‌ටු රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා විසිල්පාරක්‌ ගසමින් මෝටර් රථය නතර කළේය. මෝටර් රථයේ රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා වීදුරුව පහත් කර පොලිස්‌ කොස්‌තාපල්වරයා දෙස බලා සිනාසුණේය.



"ඇයි රාළහාමි මොකක්‌ද වුවමනාව" මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික ලෙස පොලිස්‌ නිලධාරියාගෙන් විමසුවේය.

"මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගෙනත් දෙනවද? මෙන්න සල්ලි"

පොලිස්‌ කොස්‌තාපල්වරයා රුපියල් 50 නෝට්‌ටුවක්‌ මෝටර් රථයේ සිටි පුද්ගලයා අත තැබුවේය. ඒ කාලයේ සිගරැට්‌ පැකට්‌ටුවක මිල රුපියල් 20 කි. පොලිස්‌ නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයා අතට මුදල් දී සිගරැට්‌ ගෙන එන ලෙස කීවේ තරමක නියෝගාත්මක ස්‌වරයකිනි.

"රාළහාමි මම හදිස්‌සි වැඩකට යන්නේ. එන්න ටිකක්‌ ප්‍රමාද වෙයි. ප්‍රමාද වෙලා සිගරැට්‌ ගෙනාවට කමක්‌ නැද්ද?"

මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික හඬින් කීවේය.

"ඒකට කමක්‌ නැහැ. ඔයා එන වෙලාවක සිගරැට්‌ පැකට්‌ එක අරගෙන එන්න" කොස්‌තාපල්වරයා කීවේය. මෝටර් රථය ප්‍රභූ නිවසින් නික්‌ම ගියේය. පැය කීපයකට පසු මේ මෝටර් රථය වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රභූ නිවසට ඇතුළු වුණේය. ඒ වන විට පොලිස්‌ කොස්‌තාපල්වරයා ගේට්‌ටු රාජකාරියේ සිටියේ නැත. ඔහු තම සේවා කාලවේලාව නිම කර විවේක ගැනීම සඳහා භට නිවහනට ගොස්‌ සිටියේය.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ගේට්‌ටු රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා සොයන්නට පටන් ගත්තේ සිගරැට්‌ පැකට්‌ටුව සහ ඉතිරි මුදල් ද තම දකුණු අතේ රඳවාගෙනය.

ඒ වන විට ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් කලබලයට පත්ව සිටියහ.

"ඇයි සර්..... මොකුත් ප්‍රශ්නයක්‌ ද?"

ප්‍රභූ ආරක්‍ෂක ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විමසුවේය.

"කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ගේට්‌ටුවේ ඩියුටි හිටපු රාළහාමි මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගේන්න කියලා සල්ලි දුන්නා. මම ඒක අරගෙන ආවා. කෝ ඒ රාළහාමි. මට මේක එයාට භාර දෙන්න ඕනෙ."

මෝටර් රථයෙන් ආ පුද්ගලයා කිසිදු කලබලයකින් තොරව කීවේය. සිද්ධිය ඇසීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුෂ්නිම්භූත වූහ. ඔවුන් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ.

ගේට්‌ටුවේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නියෝගමත සිගරැට්‌ පැකට්‌ටුව රැගෙන ආවේ වෙන කවරකුවත් නොව ශ්‍රී ලංකාවේ 5/6 ක ජන බලයක්‌ ලබාගෙන තේරී පත් වූ ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

"සර්..... අපට සමාවෙන්න. මේ නිලධාරියා කරලා තියෙන්නේ බොහොම බරපතළ වැරැද්දක්‌. අපි එයාගෙ වැඩ තහනම් කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා."

ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා රවී ජයවර්ධනගෙන් සමාව අයෑද සිටියේය. එපමණක්‌ නොව මේ නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පොරොන්දු වූවේය.

"නෑ නෑ ඒ මනුස්‌සයාට කරදර කරන්න එපා. එයාගෙ වැඩ තහනම් කරන්නත් එපා. ඒ නිලධාරියා මම කවුද කියලා අඳුනන්නෙ නැතිව වෙන්න ඇති එහෙම කළේ."

රවී ජයවර්ධන බොහොම සැහැල්ලුවෙන් කීවේය. රවී ජයවර්ධන සිගරැට්‌ ගෙන ඒමට කඩයට යෑවූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ වැඩ තහනම් කළේ නැත. ඔහු අත්අඩංගුවට ගත්තේ ද නැත. ඒ නිලධාරියා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජනාධිපති නිවසේ රාජකාරි කළේය.

රවී ජයවර්ධන නමැති චරිතය මොන තරම් නිහතමානී නිහඬ චරිතයක්‌ ද යන්න තේරුම් ගැනීමට මේ සිද්ධිය හොඳම උදාහරණයකි.

තම පියා සතුව තිබූ අසීමිත බලතලවලින් කිසි විටෙකත් ඔළුව උදුම්මා නොගත් ඒ නිහතමානී මිනිසා අද ජීවතුන් අතර නැත. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නිර්මාණය කරමින් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටනේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ මේ නිහඬ චරිතය අද සිය ජීවිතය අතහැර ගොසින්ය.

අවුරුදු 82 ක්‌ වූ සිය ජීවිත කාලය පුරාවට රවී ජයවර්ධන විසින් රටට කළ නිහඬ සේවය සුළුපටු එකක්‌ නොවේ. රවී ජයවර්ධන නමැති මේ සුවිශේෂී මිනිසා රටට කළ සේවය බොහෝ දෙනෙකු දන්නේ නැත.

ඒ මන්ද යත් රවී ජයවර්ධන තමන් කළ කී දෑ වලින් කිසිවිටෙක ප්‍රසිද්ධියක්‌ ලබා නොගැනීමය. රවී ජයවර්ධන කිසි විටෙකත් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත. තම පියා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී පවා රවී ජයවර්ධන කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගි වුණේ නැත.

තම පියාගේ ආරක්‍ෂක උපදේශකයකු ලෙස කටයුතු කළ ද රවී ජයවර්ධන ගත කළ සරල ජීවිතය රාජ්‍ය නායකයන්ට මහඟු ආදර්ශයක්‌ ගෙන දුන්නේය.

කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමේලා අනුපමේය සේවයක්‌ කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය බිහිකිරීමේ අදහස රවී ජයවර්ධනගේ සිතට එන්නේ 80 දශකය මුල් කාල සීමාවේදී ය.

1980 වර්ෂය වන විට උතුරේ යුද්ධය දරුණු අතට හැරෙමින් තිබුණේ ය. කොටි සංවිධානය මෙන්ම තවත් සන්නද්ධ දෙමළ කණ්‌ඩායම් කීපයක්‌ උතුරේ ක්‍රියාත්මක විය. මේ දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් උතුරේÊපොලිස්‌ ස්‌ථාන කීපයකට ප්‍රහාර එල්ල කර බරපතළ හානි කරන්නට පටන් ගත්තේ එවකට රජය පවා අන්දමන්ද කරමින් ය.

උතුරේ පොලිස්‌ ස්‌ථානවලට එල්ල වන ප්‍රහාර නතර කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ රජයට මතුව තිබුණේය. ඊට පිළියමක්‌ ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය පොලිස්‌ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බළකායක්‌ නිර්මාණය කළේය.

එස්‌. එෆ්. ස්‌කොඩ් නමින් හැඳින්වූ මෙම බළකාය දක්‍ෂ එඩිතර පොලිස්‌ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්‌ඩායමක්‌ විය. එවකට යුද හමුදාවේ මේජර්වරයකු වූ ආනන්ද වීරසේකර එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායට පුහුණුව ලබා දුන්නේය.

එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ මුල්ම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ එවකට පොලිස්‌ අධිකාරිවරයකු වූ බෝධි ලියනගේ ය.

මෙම විශේෂ බළකාය ත්‍රස්‌තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර මැඬ පවත්වමින් උතුරේ පොලිස්‌ ස්‌ථාන

රැක ගැනීමේ භාරදූර කාර්යයට එක්‌ව සිටියහ. එම බළකායේ දක්‍ෂතාව නිසාම උතුරේ පොලිස්‌ ස්‌ථාන වෙත දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් වෙතින් ප්‍රහාර එල්ල වීම සම්පූර්ණයෙන් ම පාහේ නතර විය.

1983 වර්ෂය වන විට දකුණේ සිංහල දෙමළ කෝලහල ආරම්භ වී තිබුණේය. මේ තත්ත්වය තදින්ම බලපා තිබුණේ කොළඹ නගරයටය. එයිනුත් වැල්ලවත්ත ප්‍රදේශයේ තත්ත්වය ඉතාම බරපතළ විය.

සිංහල - දෙමළ කෝලාහලයට මැදි වූ වැල්ලවත්තේ දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය යෙදවීමට පියවර ගත්තේය.

බෝධි ලියනගේගේ ප්‍රධානත්වයෙන් යුත් එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය වැල්ලවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක පදිංචි දෙමළ ජනතාව ආරක්‍ෂා කර ගැනීමේ භාරදූර කටයුත්තට අත ගැසුවෝය.

ඒ වන විට එවකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ ආරක්‍ෂාව ද බරපතළ අන්දමින් පිරිහී ගොස්‌ තිබිණි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ද ත්‍රස්‌ත ප්‍රහාරවලට ලක්‌වීමේ අවදානමකට ලක්‌ව තිබුණේය.

ආරක්‍ෂක අමාත්‍යාංශය එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ නිලධාරීන් වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාවට යොදවනු ලැබුවේය. එවකට ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට අමතරව එස්‌. එෆ්. ස්‌කොඩ් නිලධාරීන් ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සම්බන්ධ වන්නේ ඒ ආකාරයට ය.

එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ ක්‍රියාකාරකම් දෙස හොඳින් නිරීක්‍ෂණය කරගෙන සිටි පුද්ගලයකු විය. ඒ වෙන කවරකුවත් නොව ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

තම පියාට මෙන් තියුණු දුරදක්‌නා නුවණක්‌ හිමි තරුණ රවී ජයවර්ධන එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය වැඩි දියුණු කර සුවිශේෂී හමුදාවක්‌ ගොඩනැඟීමේ කාර්ය පිළිබඳ මෙනෙහි කළේය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය බිහිවන්නේ රවී ජයවර්ධනගේ ඒ යුද ඥානයත් සමඟය.

රවී ජයවර්ධන අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ය. පාසල් යන කාල සීමාවේ සිට ඔහු වෙඩි තැබීමේ ක්‍රීඩාවට ඇලුම් කළේය. ඒ නිසාම රවී ජයවර්ධන අති දක්‍ෂ වෙඩික්‌කරුවකු බවට පත් වුණේය. පිස්‌තෝලවලින් එකවර අත් දෙකෙන්ම ඉලක්‌කයට වෙඩි තැබීමේ හැකියාව ඔහු සතු විය.

මේ දක්‍ෂතා නිසාම රවී ජයවර්ධනට 1964 වර්ෂයේ ටෝකියෝ නගරයේ පැවැති ඔලිම්පික්‌ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව ලැබිණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ තරගාවලියට ඉදිරිපත් වුණේ රවී ජයවර්ධනය.

තම පියා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔහුගේ ප්‍රධාන ආරක්‍ෂක උපදේශකවරයා වීමේ අවස්‌ථාව රවී ජයවර්ධනට හිමි විය. කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ වෙඩි පිටිය වෙත නිතරම යැමට පුරුදුව සිටි රවී ජයවර්ධන වෙඩි පුහුණුව ලැබීම පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය.

රවී ජයවර්ධන තුළ තිබූ වෙඩි තැබීමේ විනෝදාංශය නිසාම ඒ වෙනුවෙන් සංගමයක්‌ බිහිකර ගැනීමට ද හැකි විය. එම සංගමය හැඳින්වූයේ ජනාධිපති කුසලාන වෙඩි තැබීමේ සංගමය ලෙසය. 1978 වර්ෂයේදී බිහි වූ මේ සංගමය වාර්ෂිකව තරගාවලියක්‌ ද පැවැත්වීය.

මෙම සංගමය විසින් පැවැත්වූ තරගාවලියේ මුල්ම ශූරයා වූයේ එවකට රාජ්‍ය ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ පොලිස්‌ අධිකාරි ෂර්නි විඡේසූරියයි. මෙම තරගාවලිය වාර්ෂිකව පැවැත්වූ අතර පසු කලෙක පොලිස්‌ අධිකාරි වික්‌ටර් අධිකාරි, මේජර් රිටිගම්පොල, මේජර්විඡේJද්‍ර, ගුවන් හමුදාවේ ශාන්ති බාසා, ලකී නඩරාජසිංහම් වැනි නිලධාරීන් ශූරතාව දිනා ගත්හ.

එහෙත් මේ කිසිම නිලධාරියකුට රවි ජයවර්ධන සමඟ තරග කර ජය ගන්නට හැකි වුණේ නැත. රවී ජයවර්ධන තරම් ඉලක්‌කයට වෙඩි තැබිය හැකි කිසිදු ශූරයකු එවකට නොවීය.

සෑම සති අන්තයකම රවී ජයවර්ධන කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ වෙඩි පිටියට ගියේ තම හිතවත් නිලධාරීන් ද සමගය. වෙඩි පුහුණු සඳහා සහභාගි වන පොලිස්‌ නිලධාරීන් කොළඹ සිට කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලය වෙත ගියේ ජර්නි බස්‌ රථයකින් ය.

තමන් රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයා මෙන්ම ප්‍රධාන ආරක්‍ෂක උපදේශකයා බව අමතක කළ රවී ජයවර්ධන කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලය වෙත ගියේ අනෙකුත් නිලධාරීන් ද සමඟÊමේ ජර්නි බස්‌ රථයෙන් ය. කළුතර යන අතරමඟදී කළුතර පලාතොට ප්‍රදේශයේ මාර්ගය අසල ඇති කුඩා තේ කඩයකින් බනිස්‌ කා ප්ලේන්ටි බීම ද රවී ජයවර්ධනගේ පුරුද්දක්‌ විය. ඒ තරමටම ඔහු සරල සාමාන්‍ය පුද්ගලයකු වුණේය.

කිසිම නිලධාරියකු zසර්Z යනුවෙන් තමන්ට ආමන්ත්‍රණය කරනවාට රවී ජයවර්ධන කැමැති වුණේ නැත. ඔහු හැම විටම තමන් සමඟ සිටි පොලිසියේ මෙන්ම යුද හමුදාවේ නිලධාරීන්ට කීවේ zරවීZ යනුවෙන් තමා අමතන ලෙස ය.

කළුතර වෙඩි පිටියේ පුහුණුවීම් ලබන අතරතුර රවී ජයවර්ධන තම සිතේ ගොඩගැසී තිබූ සැලසුම තම මිතුරු නිලධාරීන් හමුවේ කියා සිටියේය. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නමැති පොලිස්‌ ඒකකය පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව රවී ජයවර්ධන පොලිසියේ උසස්‌ නිලධාරින් දැනුවත් කළේය.

සතුරා අතරට ගොස්‌ සතුරාට පහර දීම සඳහා හමුදාවක්‌ ඒ වන විට රජයේ හමුදා සතුව තිබුණේ නැත.

zzසතුරා බොහෝ විට ඒ අයගේ ආරක්‍ෂාවට සාමාන්‍ය මිනිස්‌සු පලිහක්‌ විදිහට යොදා ගන්නවා. ඒ වෙලාවේදී ඒ සාමාන්‍ය මිනිස්‌සු අතරට ගිහින් සතුරා හඳුනාගෙන සාමාන්‍ය මිනිසුන්ට අනතුරක්‌ නොවන විදිහට සතුරා විනාශ කිරීමට පාබල හමුදාවක්‌ අවශ්‍යයි. එස්‌. ටී. එෆ්. කියන අලුත්ම හමුදාව ටේ්‍රනින් කරන්න ඕනෙ මෙන්න මේ ක්‍රමයට ගිහින් සතුරාව විනාශ කරන්න."

රවී ජයවර්ධන තම මිතුරු හමුදා නිලධාරීන් සමඟ කීවේය. ඒ අනුව එස්‌. එෆ්. ස්‌කොඩ් නමැති පොලිස්‌ බළකාය එස්‌. ටී. එෆ්. බළකාය ලෙස වැඩිදියුණු කිරීමට රවී ජයවර්ධන කටයුතු කරන්නේ ඉන් පසුවය.

එවකට ඕමානයේ පොලිස්‌පති අයි. පී. සිල්වා රවී ජයවර්ධනගේ සමීප මිතුරෙකි. ඕමාන් රජයේ ආරක්‍ෂකයන්ට පුහුණුව ලබා දී තිබුණේ එංගලන්තයේ එස්‌. ඒ. එස්‌. නමැති යුද පුහුණු ආයතනය විසින් ය.

ඕමාන් පොලිස්‌පතිවරයාගේ සහාය මත එස්‌. ඒ. එස්‌. යුද පුහුණු ආයතනය සම්බන්ධ කර ගත් රවී ජයවර්ධන පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පුහුණු වීම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට කැමැති කරවා ගත්තේය.

එංගලන්තයේ එස්‌. ඒ. එස්‌. යුද පුහුණු ආයතනයේ යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් පහළොස්‌ දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රවී ජයවර්ධනට හැකිවිය. කිනි මිනි සිකියුරිටි සර්විස්‌ නමින් හැඳින්වූ මෙම යුද විශේෂඥ කණ්‌ඩායම කටුකුරුන්ද පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුර පිහිටුවීමට කටයුතු කරන්නේ රවී ජයවර්ධන ගේ උපදෙස්‌ සහ සහාය ඇතිවය. පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුර කටුකුරුන්දේ පිහිටුවීම සඳහා එවකට රජයේ උපරිම සහාය ලබා ගැනීමට රවී ජයවර්ධන කටයුතු කළේය.

හමුදා පුහුණු කඳවුරකට අවශ්‍ය කරන සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත වූ කටුකුරුන්ද කඳවුර 1983 වර්ෂය මුල්භාගය වනවිට ඉදිකිරීම් කටයුතු නිම කෙරිණි. රැක සිට ප්‍රහාර එල්ල කරන ආකාරය සාමාන්‍ය ජනයා අතර සිටින සතුරන් හඳුනා ගෙන ඔවුන් විනාශ කරන ආකාරය පුහුණු කිරීම, හෙලිකොප්ටර්වලින් පහළට බැස සතුරාට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු නවීන සටන් ක්‍රම රැසක්‌ පුහුණු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් කටුකුරුන්ද කඳවුර වෙත ලබා දෙන්න රවී ජයවර්ධනට හැකි විය.

එමෙන්ම කටුකුරුන්ද කඳවුරේ වෙඩි පිටි 3 ක්‌ ස්‌ථාපිත කෙරිණි. දක්‍ෂ වෙඩික්‌කරුවන් බිහි කිරීම රවී ජයවර්ධනගේ මූලික අරමුණ වී තිබුණේය. කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුර ඉදිකර අවසන් වනතුරු රවී ජයවර්ධනට විවේකයක්‌ තිබුණේ නැත. ඔහු දෛනිකව කඳවුර ඉදිකිරීම් කටයුතු පිරික්‌සීමට කළුතරට ආවේය. බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් සමඟ නිතර සාකච්ඡා කරමින් අඩුපාඩු සකස්‌ කරගනිමින් තම සිහිනය සැබෑ කර ගන්නට මේ නියම මිනිසා නොගත් උත්සාහයක්‌ නැත.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත විශේෂිත අවි කිහිපයක්‌ ලබා දිය යුතු බව රවී ජයවර්ධනගේ නිගමනය විය.1983 වර්ෂය වනවිට ඇමරිකාවේ ජනප්‍රියම ගිනි අවියක්‌ බවට පත්ව තිබුණේ එම්. 16 ගිනි අවියයි. මෙම ගිනි අවිය පාබල හමුදාවන්ට ඉතාම යෝග්‍ය අවියක්‌විය. ඒ මන්ද යත් අනෙක්‌ ගිනි අවි මෙන් නොව එම්. 16 ගිනි අවිය ඉතාම සැහැල්ලු එකක්‌ වුණේය. ඒ නිසා පාබල සටන් වලදී එම අවිය රැගෙන යැම පහසු විය. අවි ආයුධ පරිහරණයේ මනා දැනුමක්‌ ඇති රවී ජයවර්ධන මෙම අවිය විශේෂ කාර්ය බළකාය වෙත ලබා දීමට සුදුසු බවට තීරණය කළේය. උසස්‌ පොලිස්‌ නිලධාරීන් සමඟÊමෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කළ රවී ජයවර්ධන මෙම අවිය ඇමරිකාවෙන් ආනයනය කර පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලබා දීමට කටයුතු කළේය.

එමෙන්ම ජර්මනියේ නිෂ්පාදිත මැෂින් තුවක්‌කුවක්‌ ද විශේෂ කාර්ය බළකාය වෙත ලබා දීමට කටයුතු කර තිබුණේ සතුරා සමඟ සටන්කර ඔවුනට බරපතළ හානි සිදු කිරීමට මෙම නවීන අවි යොදා ගැනීමට අවශ්‍යතාව දැඩිව මතුව තිබූ නිසා ය. 1983 වර්ෂය වන විට කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පළාත පුරා තම අණසක පතුරුවා හරිමින් දරුණු සටන් ක්‍රියාත්මක කරමින් සිටියහ.

ඒ වන විට නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන රැසක්‌ කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රහාරවලට ලක්‌ව තිබූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙමින් සිටියහ. අලුතින් බිහිවන පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නැඟෙනහිර පළාතට යෑවිය යුතු බවට රවී ජයවර්ධනගේ තීරණය විය. එම තීරණය ඉතාම කාලෝචිත එකක්‌ බව ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ ද මතය වී තිබිණි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන්ම නිර්භීත දක්‍ෂ නිලධාරීන් පිරිසක්‌ තෝරා ගැනිණි. ඔවුන් කටුකුරුන්දේ ඉදිකළ පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ පුහුණුවීම් සඳහා සම්බන්ධ කර ගත්හ.

මේ සියලු ක්‍රියාවන් පිටුපස ඉJද්‍ර‚ලයක්‌ ලෙස සිටියේ රවී ජයවර්ධනය. තම සිහිනය දිනෙන් දින සැබෑ වනු දැකීමෙන් රවී ජයවර්ධන සතුටු වුණේය. නැඟෙනහිර පළාතේ කල්අඩි සහ කලවංචිකුඩි ප්‍රදේශවල අලුතින් විශේෂ කාර්ය බළකා කඳවුරු දෙකක්‌ පිහිටු වීමට තීරණය විය.

කල්අඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට දක්‍ෂ තරුණ නිලධාරියකු නම්කර තිබිණි. ඒ වෙන කවරකුවත් නොව හිටපු පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් ය. ඒ වන විට ඉලංගකෝන් සහකාර පොලිස්‌ අධිකාරිවරයකු විය.

එහෙත් කලවංචිකුඩි කඳවුරේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සුදුසු නිලධාරියකු නොවීය. රවී ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ෂර්නි විඡේසූරිය කලවංචිකුඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්කිරීමට දක්‍ෂ නිලධාරියකු හොයමින් සිsටියේය.

දිනක්‌ ෂර්නි විඡේසූරිය කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ වෙඩි පිටියේ පුහුණුවීම්වල නිරත වෙමින් සිටියේය. ඒ අසල රවී ජයවර්ධන ද විය. ඒ මොහොතේ තරුණ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ද වෙඩි තැබීමේ පුහුණුවීම් සඳහා පැමිණ සිටියේය.

ඒ වෙන කවරකුවත් නොව පසු කලෙක පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා වූ නිමල් ලෙව්කේ ය. මාස හයක කාලයක්‌ එංගලන්තයේ විශේෂ පුහුණුවකට ගොස්‌ සිටි නිමල් ලෙව්කේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ඊට දින කීපයකට උඩදීය.

කලවංචිකුඩි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස නිමල් ලෙව්කේ පත් කළ යුතු බවට රවී ජයවර්ධන මෙන්ම ෂර්නි විඡේසූරිය ද ඒකමතිකව තීරණය කර තිබිණි.

ෂර්නි විඡේසූරිය නිමල් ලෙව්කේට ඒ බව කීවේ කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාල වෙඩි පිටියේ දී ය. කලවංචිකුඩි විශේෂ කාර්ය බළකා කඳවුරට අණදෙන නිලධාරියා ලෙස නිමල් ලෙව්කේ පත් කරන්නේ ඒ අනුවය.

නැගෙනහිර පළාතේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ කඳවුරු පිළිබඳව රවී ජයවර්ධන පූර්ණ අධීක්‍ෂණයක්‌ කර තිබිණි. ඒ අනුව නැඟෙනහිර පළාත කොටි ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදා ගැනීමේ මහා භාරදූර කාර්ය සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවීමේ සියලු කටයුතු රවී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒ වනවිට සකස්‌ වී තිබුණේය.

1983 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පුහුණු කිරීම ආරම්භ කෙරිණි. එංගලන්තයේ යුද විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පුහුණුවීම් කටයුතු සියල්ල අධීක්‍ෂණය කරනු ලැබුවේ රවී ජයවර්ධන විසින් ය.

ඒ වන විට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස පත් කර සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධර්මසිරි වීරකෝන් ය.

රවී ජයවර්ධනගේ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නැඟෙනහිර පළාතේ කොටි ත්‍රස්‌තයන්ට එළව එළවා පහර දුන් අයුරු ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.

No comments: