Wednesday, April 19, 2017

කොටින්ට දෙන නිදහස රණවිරුවන්ට නැතිද?

රණවිරුවන්  අද මුහුණපාන සැබෑ   තත්වය ගැන   මේ අම්මා කියනදේ පොඩ්ඩක් හොයලා බලමුද? අපි තවදුරටත් බෝඩින් කාරයෝ වාගේ මේ රටේ ඉන්නවාද?

සමරසේකර 




රණවිරු - 
කොටින්ට දෙන නිදහස රණවිරුවන්ට නැතිද? 
චෙම්මනි ඝාතනයට විසි වසරක්‌ සිරබත් කන රණවිරුවකුගේ මවක්‌ බලධාරීන්ගෙන් අසයි

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයේ තවත් එක්‌ කතාවක්‌ ලෙස ඉකුත් 1996 වසරේදී යාපනය චෙම්මනි ප්‍රදේශයේදී සිදුවූ ක්‍රිෂාන්ති කුමාරස්‌වාමි ඝාතනය එකල රටේ කතාබහට ලක්‌වූ සිද්ධියක්‌ විය.

එදා කියෑවුණු අන්දමට ක්‍රිෂාන්ති කුමාරස්‌වාමි මැරෙන්නේ යුද හමුදා අත්අඩංගුවේ සිටියදීය. ඇය කොටි සාමාජිකාවක බවට එකල හමුදා බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබුණද ක්‍රිෂාන්තිගේ මරණයත් සමඟ එවකට යාපනය චෙම්මනි හමුදා මුරපොළේ සිටි යුද හමුදා සෙබළුන් පිරිසක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගැණිනි. 

පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සිදු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අධිකරණය මගින් එකී හමුදා සෙබළුන්ට මරණීය දණ්‌ඩනය නියම කිරීමය. එහෙත් ඒ වන විටත් මරණීය දණ්‌ඩනය යනු මෙරට තුළ මළ දඬුවමක්‌ව තිබිණි. 

එහෙයින් අද දක්‌වාම ඔවුහු මරණීය දණ්‌ඩනයට යටත්ව වසර විසිඑකක්‌ තිස්‌සේ සිර දඬුවම් විඳීමින් සිටිති. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු බන්ධනාගාරගතව සිටි හිටපු කොටි සාමාජිකයන් රැසකට නිදහස දෙන්නට කටයුතු කෙරුණද එදා කොටින්ට එරෙහි සටනට ගොස්‌ අහඹු සිදුවීමක්‌ හමුවේ මරණීය දණ්‌ඩනය නියම වූ ඒ රණවිරුවෝ අදත් සිරගතව සිටිති.

ආරක්‍ෂක අංශ අත්අඩංගුවේ පසු වූ එල්ටීටීඊයේ ගුවන් ඒකකයේ ප්‍රධානියාව සිටි කුෂාන්තන් නමැත්තාට නඩු පැවරිමකින්ද තොරව නිදහස දෙන්නට රජය කටයුතු කළ බවක්‌ද ඉකුත් සතියේ වාර්තා විය. එහෙත් ක්‍රිෂාන්ති කුමාරස්‌වාමි සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිවී වසර විසිඑකක්‌ පුරා බන්ධනාගාරයක්‌ තුළ ජීවිතය විඳවන මේ රණවිරුවන් පිළිබඳ සොයන්නට කිසිදු බලධාරියකුද නොවේ.

මෙසේ සිරගත කර සිටින එක්‌ Rණවිරුවකුගේ මවක්‌ අපට යොමු කළ ලිපියක්‌ ඉකුත් පෙබරවාරියේදී අපි පළ කළෙමු. ඒ වගකිවයුත්තන්ගේ ඇස්‌ ඇරෙනු පිණිසය. එහෙත් එවැන්නක්‌ නම් සිදු නොවීය. ඒ අතරේ ක්‍රිෂාන්ති කුමාරස්‌වාමි සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින තවත් රණවිරුවකුගේ වයෝවෘද මවක්‌ අපට ලිපියක්‌ යොමු කර ඇත.

අපි එයද මෙහි පළ කරන්නෙමු. ඒ දැන්වත් මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරනු පිණිසය. විසි වසරක්‌ සිරගතව සිටි මිනිසකු යනු පෙර කු=මන වරදක්‌ සිදු කළද යළි එවැන්නක්‌ සිදු නොකරන තරමට විශාල පරිවර්තනයකට ලක්‌ වූවකු බවද මෙහිදී විශෙෂ්යෙන් සඳහන් කළ යුතුය. මෙරට බන්ධනාගාර ඉතිහාසය එයට සාක්‍ෂි දරන්නේය.

තම දරුවාට අත් වී තිබෙන අවාසනාවන්ත ඉරණම ඩබ්ලිව්. එම්. බේබිනෝනා නම් වූ මේ වියපත් මාතාව දැඩි වේදනාවෙන් යුතුව එකී ලිපියේ සටහන් කර ඇත්තේ මෙසේය.

පස්‌සර කොටමුදුන, අමුණුමුල්ල ගමෙහි සූර්යකොටුව නිවසේ කෙළිදෙලෙන් කාලය ගත කරමින් සිටි මගේ බාල පුතාගේ වයස ඒ වන විට අවුරුදු විස්‌සකි. එය 1994-95 කාලය විය. ඒ වන විට ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිසා උතුරේ යුද්ධය දරුණු ලෙස සිදු වෙමින් තිබිණ. 

ඒ කාලයේ හමුදාවට බැඳෙන්නට හදන තරුණ දරුවන්ට ඒ සඳහා අවසර දෙන්නට දෙමාපියෝ මැලි වූහ. මේ නිසාම එකල ජනමාධ්‍ය මගින් හමුදාව එක්‌වන ලෙස ඉල්ලා විවිධ දේශපාලනඥයන්, වගකිවයුතු භික්‍ෂූන් වහන්සේලා මෙන්ව විද්වත්හු රටේ තරුණයන්ට ආයාචනය කළහ.

ඒත කවුරු මොන දේ කිව්වත් මගේ බාල පුතා හමුදාවට යවන්නට මම අකමැති වුණෙමි. ඒ වන විට මගේ ඥති සොයුරියකගේ දරුවකු හමුදාවට එක්‌වී යුද්ධයේදී මියගොස්‌ සිරුර නිවසට ගෙනවිත් තිබීම සහ ඒ පිළිබඳ මුළු ගම ම කම්පාවට පත්ව සිටීම මගේ ඒ අකමැත්තට ප්‍රධාන හේතුවක්‌ විය.

එහෙත් මේ අතරේ දිනක්‌ තමේ විහාරස්‌ථානයේ නායක හිමියෝ අපේ නිවසට ආහ. එසේ පැමිණි උන්වහන්සේ මගේ බාල පුතු දැක ඔහු ඉදිරියේදීම "මේ ඉන්නේ හමුදාවට භාර දෙන්න යස කොල්ලෙක්‌ යෑයි" කීහ. උන්වහන්සේ එදා එසේ පවසත්ම මවක වූ මගේ හදවත ගල් ගැසෙන්නාක්‌ මෙන් මට දැණින. 

එසැණින්ම නායක හිමියන් ඇමතූ මම "අනේ අපේ හාමුදුරුවනේ දරුවගේ මනසට යුද්ධය ගැන අදහසක්‌ නොදෙන්න උන්වහන්සේ ඉදිරියේ වැඳවැටී ආයාචනා කළෙමි. එහෙත් කුමක්‌ හෝ අවාසනාවකට එදා නායක හිමියන් කී පළමු වචනයේදීම මගේ බාල පුතා හමුදාවට යැමට තීරණය කර තිබුණේය. අවසානයේ ඔහු යුද හමුදාවට එක්‌ විය.

එතැන් සිට යුද්ධය පැවති උතුරු ප්‍රදේශයේ රාජකාරියට එක්‌වූ මගේ පුතා නිවසට පැමිණියේ මාස දෙකකට පමණ සැරයකි. අපිව සතුටු කරමින් මටයි දරුවාගේ තාත්තටයි අවශ්‍ය දේ ලබා දීම ඒ සෑම අවස්‌ථාවකදීම පුතාගේ එකම අරමුණ විය. 

එහෙත් පුතා එසේ හමුදාවට බැඳුනු දා සිට මා සිටියේ දැඩි බියෙනි. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අසන්නට මම බිය වීමි. එසේම පුවත්පත් බැලීමට අත්හැර දැමුවෙමි. ගමේ ලියුම් බෙදන්නා නිවසට එන විටත් අහම්බයකින් හෝ පොලිසිය ගමට ආ අවස්‌ථාවලදීත් මා සිටියේ පුතා පිළිබඳ නරක ආරංචියක්‌ ලැබෙතැයි බියෙන් ගැහෙන හදවතිනි.

මේ නිසාම පුතා හමුදාවට එක්‌වී කාලය ගෙවී යද්දී මාත් සැමියාත් රෝගීන් බවටද පත්විය. ඒ අතරේ දිනක්‌ මගේ පුතා ත්‍රස්‌තවාදී දෙමළ පිරිසක්‌ මරා දැමීම නිසා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ යෑයි යන ආරංචිය අපේ නිවසට ලැබිණි. මේ ආරංචිය ලැබුණු දාට පසුදාම මම සැමියාත් සමඟ මගේ පුතා බලන්නට කොළම බන්ධනාගාරයට ගියෙමි. එහිදී සිරගතව සිටි මගේ පුතා කීවේ "අම්මේ මාව නොකළ වරදකට හිරේ දැම්මායි" යන්නය.

කෙසේ වෙතත් අවසානයේ පුතා සහ එහු සමඟ අත්අඩංගුවට ගෙන සිටි හමුදාවේ පිරිසකට කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීම සිදු විය. එහිදී මගේ දරුවා බේරා ගැනීම වෙනුවෙන් අපට හිමිව තිබූ කුඹුරු ඉඩම් පවා විකුණා දමන්නට මටත් සැමියාටත් සිදු විය. අපට ඉතිරි වූයේ ජීවත්ව සිටින නිවස සහ ඉඩමය. 

මග් පුතා අහිංසක තරුණයෙක්‌ බව මවක්‌ ලෙස මම එදා හොඳින්ම දැන සිටියෙමි. එනිසා ඔහුට නපුරක්‌ සිදු නොවනු ඇතැයි මම විශ්වාස කළෙමි. එහෙත් එදා රටේ පැවති දේශපාලන තත්ත්වය මත සියල් සිදුවෙමින් තිබෙන බව නම් අපට දැනෙන්නට විය. 

එය කෙසේ වෙතත් අවසානයේ අපේ සියලු බලාපොරොත්තු සුන් කරමින් අධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවට අනුව මගේ පුතා සහ තවත් දරුවන් සිව් දෙනකුට මරණ දඬුවම නියම කෙරිණි. ඒදා සිට මවක්‌ වශයෙන් මා විඳින වේදනාව අප්‍රමාණය. දරුවාගේ තාත්තාද එසේය. 

දැන් දරුවා එසෙල් සිරගතවී විසර විස්‌සකුත් ඉක්‌ම ගොස්‌ ඇත. මේ කාලය තුළ අපි අපේ දුක ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන් ආදී වශයෙන් වූ සියලු දේශපාලන බලධාරීන්ටත් කීවෙමු. ලිතව එය ලියා යෑව්වෙමු. එහෙත් අදටත් අපට සහනයක්‌ නම් නැත. 

අද මාත් මගේ සැමියාත් ගතකරමින් සිටින්නේ ඉතාම වයෝවෘද වූ කොයි මොහොතේ මරණය ළඟා වේදැයි සිතාගත නොහැකි ජිවිතයකි. එහෙයින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මහතා ඇතුළු වත්මන් රජයේ සියලු බලධාරින්ගෙන් මම ඉල්ලන එකම ඉල්ලීම වන්නේ දැනට විසි වසරක්‌ ඉක්‌ම යනතුරුත් සිර දඬුවම් විඳින මගේ පුතාට මගේ ඇස්‌ පියවීමට පෙර නිදහසක්‌ දෙන්න යෑයි පමණි.

ඩබ්ලිව්. එම්. බේබිනෝනා 

--------------------

අතුරුදන් වී වසර 16 යි; 
එස්‌ටීඑෆ් සෙබළා තවම නැහැ
බලධාරීන් සොයා බැලුවෙත් නැහැ
මව හැඬූ කඳුළින් කියයි

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ "කුමුදු නිවස" ලුණුගල්ල නාරංගල හාලිඇල යන ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. සුගත් අනුර වීරසිංහ (පො.කො. 28323) යන මාගේ පුතා 1989.03.24 දින පොලිස්‌ සේවයට බැඳී එහි කාලයක්‌ සේවය කර 1990.07.27 දින පොලිස්‌ විශේෂ කාර්ය බළකායට බැඳී අම්පාර සංගමන්කන්ද කඳවුරේ සේවය කරමින් සිටියදී 2001.05.12 දින නිවාඩු ලබා නිවසට පැමිණ 2001.05.19 දින සේවා ස්‌ථානය වෙත වාර්තා කිරීම සඳහා නිවසින් පිටව යන ලදී. එහෙත් ඔහු සේවයට වාර්තා නොකළ බැව් දන්වා නිවසට ලිපියක්‌ ලැබීමෙන් පසු පුතා ගැන සෙවීමට අපද කටයුතු කළ මුත් අද වන තුරු ඔහු ගැන කිසිදු තොරතුරක්‌ නොමැත. අතුරුදන්ව දැනට වසර 16 ක්‌ පමණ ඉක්‌මගොස්‌ ඇත. වසර 13 ක්‌ පමණ කාලයක්‌ පොලිසියට රටට ජාතියට කළ සේවය වෙනුවෙන් ඔහු හැදූ අසරණ වයෝවෘද්ධ දෙමාපියන් දෙදෙනා වන අප හට දරුවා වෙනුවෙන් කිසිදු වන්දි මුදලක්‌, වැටුපක්‌, පිළිසරණක්‌ ලබාදී නොමැත. වසර 70 ක්‌ පමණ ඉක්‌මවා ගොස්‌ ඇති අසරණ දෙමාපියන් වන අප තව කොපමණ කලක්‌ ජීවත්වේද?

අතුරුදන් දරුවා වෙනුවෙන් අසරණ දෙමාපියන් වන අප වෙත සහනයක්‌ ලබා ගැනීම සඳහා එවකට පැවැති රජයේ අතිගරු ජනාධිපතිතුමාට ආරක්‍ෂක ලේකම්තුමාට, පොලිස්‌පතිතුමාට, කොපමණ ලිපි සකස්‌ කර ඉදිරිපත් කළද දරුවා රට දැය වෙනුවෙන් දායාද කර දරුවා නැති සොවින් අසරණව සිටින දෙමාපියන් වන අප දෙදෙනාට සහනයක්‌ නොලැබුණි. ඒ අයවලුන්ගේ අවසන් නිගමනය වූයේ දරුවා සේවයට වාර්තා කර නොමැති බවය. රාජකාරි නීතිය කෙසේ වුවද දරුවා නැති වේදනාව අපටය. දරුවාගේ වැටුපෙන් ජීවත් වූ අහිංසක දෙමාපියන් වන අප දෙදෙනා අද අසරණය.

ජනාධිපති තුමනි, ආරක්‍ෂක ලේකම් තුමනි, පොලිස්‌පති තුමනි, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි තුමනි, විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂතුමනි මෙම ලිපිය ඔබ සැමගේ නෙත ගැටී රාජකාරිමය පැත්ත දෙවනුවට තබා මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන වසර 13 ක්‌ පොලිස්‌ සේවයේ සිට අතුරුදන්ව ඇති පුතු වෙනුවෙන් යෑපෙන්නන් වෙනුවෙන් දීමනාවක්‌ හෝ ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුවේ යෑයි අහිංක අපගේ එකම පැතුම වේ. දරුවා අතුරුදන් වූ දින සිට දෙමාපියන් දෙදෙනා වෙත සහනයක්‌ ඉල්ලා සකස්‌ කළ සියලු ලිපි ලේඛන අප වෙනුවෙන් සහනයක්‌ ලබා දීමට ක්‍රියා කරන්නේ නම් ඔබ තුමාන්ලා වෙත ඉදිරිපත් කිරීමට හැකි බැව් කාරුණිකව දන්වා සිටිමි. රාජ්‍ය සේවයේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ වසර 13 ක සක්‍රීය සේවයක්‌ සපුරා ඇති රණවිරුවකු බව කියා සිටිමි.

රණවිරුවාගේ මව සහ පියා

 



No comments: